අල් කුර්ආනයේ ඉතිහාසය

මෙම විශ්වය හා එහි මිනිසා ඇතුළු සියලු දේ නිර්මාණය කළ දෙවිඳුන් විසින් මිනිසාගේ දිවියේ අරමුණ පැහැදිලි කිරීමටත්, යහපත් ජීවිතයක් ගතකරමින් මෙලොව හා පරලොව ජයග්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමටත් විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරාපත්කර යැවූ අතර ඔවුන්ට විවිධ ධර්ම ග්‍රන්ථද පිරිනමන ලදී. මෙලෙස පැමිණි දේව පණිවුඩකරුවන් අතුරින් අවසාන දේව පණිවුඩකරුවා අරාබිවරුන් අතුරින් පැමිණි මුහම්මද් ﷺ තුමා වූයේය. මුහම්මද් ﷺ තුමාට පෙර පැමිණි සියලු දේව පණිවුඩකරුවන් යවනු ලැබූවේ ඔවුන්ගේ ජන සමාජය සඳහා පමණක් වුවද මුහම්මද් ﷺ තුමා යවනු ලැබ ඇත්තේ මුළු මිනිස් සංහතිය සඳහාමය. එතුමාට දෙවිඳුන් අනාවරණය කළ ධර්ම ග්‍රන්ථය වන්නේ “අල් කුර්ආනයයි”.

සමාජයේ පිරිහීම දෙස බලා කලකිරුණු මුහම්මද් ﷺ තුමාණෝ හිරා නම් ගුහාවකට ගොස් භාවනා කරමින් ජීවිතයේ යතාර්ථය වටහා ගැනීමට උත්සහ කළේය.  දිනක් හිරා ගුහාවේ මෙලෙස  භාවනාවේ සිටින විට ඔහු වෙත විශ්වය ඇතුළු මිනිසා නිර්මාණය කළ දෙවිඳුන් ජිබ්රීල් නම් සුර දූතයා යවා අල් කුර්ආනයේ මුල් වැකි කිහිපය අනාවරණය කළේය. ඉන් අනතුරුව මුහම්මද් ﷺ තුමාව අවසාන දේව පණිවුඩකරුවා ලෙස පත් කර ඉස්ලාමීය ධර්ම දේශනා මෙහෙය ආරම්භ කරන ලෙස දෙවිඳුන් අණ කළේය. දෙවිඳුන් විසින් විවිධ අවස්තාවලදී විවිධ දේව පණිවුඩ මුහම්මද් ﷺ තුමාට අනාවරණය කළ අතර එම වැකි මුහම්මද් ﷺ තුමාගේ හදවතේ දෙවිඳුන් තැන්පත් කළේය. මෙම අල් කුර්ආනයේ ඇතැම් වැකි මුහම්මද් ﷺ තුමා මක්කාවේ සිටින කාලයේදීද අනෙකුත් වැකි මදීනා නගරයට සංක්‍රමණය වූ පසුවද අනාවරණය විය. එනම් අවුරුදු 23ක් පුරාවට කොටස් වශයෙන් අනාවරණය විය.

අල් කුර්ආනයේ වැකි මතකයේ තබා ගැනීමට මුහම්මද් ﷺ තුමා උත්සහයක් දැරුවද එය අවශ්‍ය නොවීය. මේ පිලිබඳ දෙවිඳුන් මුහම්මද් ﷺ තුමාට කුර්ආනය තුළින්ම මෙසේ සඳහන් කරයි.

සැබෑ රජාණන් වන අල්ලාහ් උත්කෘෂ්ට විය. (මුහම්මද්,) ඔහුගේ දූත පණිවුඩය සහමුලින් ම ඔබට ප්‍රකාශ කරනු ලැබීමට පෙර කුර්ආන් විෂයයෙහි ඔබ ඉක්මන් නොවන්න. “මාගේ දෙවියනි, මට අධ්‍යාපනය වැඩි කරනු මැනවැ”යි පවසන්න. (අල් කුර්ආනය 20:114)

“නැවත නැවත පාරායණා කර කට පාඩම් කිරීමට ඔබ උත්සාහ නොකරනු එය ඔබේ හදවතේ එක් රැස් කිරීම අපගේ වගකීමක් යැ”යි පරිශුද්ධ වූ අල් කුර්ආනය ප්‍රකාශ කළේ ය. (අල් කුර්ආනය 75:16-19)

“අපි ඔබට පාරායණා කර පෙන්වන්නෙමු. ඔබ අමතක නොකරන්නෙහි ය” (අල් කුර්ආනය 87: 6)

එබැවින් ජිබ්රීල් නැමති සුර දූතයා බොහෝමයක් වැකි ප්‍රකාශ කළත්, ප්‍රකාශ කළ විගස ම කැසට් පටයක පටිගත වන්නාක් මෙන් මුහම්මද් ﷺ තුමාණන්ගේ හදවතේ ඒවා රැ‍ඳෙන්නට විය. සර්වබලධාරී දෙවිඳුන් තම ධර්මදූතයා වශයෙන් එතුමාණන් පත් කර තිඛෙන බැවින් එතුමාණන්ට මේ විශේෂ සුදුසුකම පිරිනැමීය. එබැවින් අල් කුර්ආනයේ අවසාන වශයෙන් අන්තර්ගත විය යුතු අල් කුර්ආන් වැකි මුහම්මද් ﷺ තුමාණන්ට අමතක වූයේ නැත. මනුෂ්‍යයෙක් ලෙස එසේ අමතක වුවද එම වැකි නැවත මතක් කර දීම දෙවිඳුන්ගේ සැලැස්ම විය. තවද සෑම වසරක් පාසා ම ජිබ්රීල් නම් වූ සුර දූතයා පැමිණ එතෙක් පහළ වූ වැකි නැවත සිහි කරවා, ක්‍රමවත් කර, පෙළ ගස්වා ගියේ ය. නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වූ අවසන් වසරේ දී ජිබ්රීල් නම් සුර දූතයා දෙවතාවක් පැමිණ මෙසේ සම්පිණ්ඩනය කර දුන් බව නබි මග සටහන් වී තිඛෙන හදීස් ග්‍රන්ථයන් හි සම්මත ලෙසින් වාර්තා වී ඇත. (මූලාශ්‍රය: බුහාරි 6, 1902, 3220, 3554, 4998)

මුහම්මද් ﷺ තුමාට අනාවරණය වූ අල් කුර්ආනය අක්ෂර ආකාර හතකින් අනාවරණය විය. මෙලෙස අනාවරණය වී ඇත්තේ විවිධ ජන කොටස් අල් කුර්ආනය පහසුවෙන් තේරුම් ගැනීමට උපකාරකයක් ලෙසය. මෙම අක්ෂර ආකාර හත අතර උච්චාරණ, වචන වල වෙනස් කම් තිබුණද එහි මූලික පණිවුඩය එකම විය. මේ අක්ෂර අකාරයකින් එකක් පරායණය කිරීම ප්‍රමාණවත් බව මුහම්මද් ﷺ තුමා පැවසුවේ මේ නිසාය.

නබි නායක (සල්) තුමාණන් ප්‍රථමයෙන් කවර ජන සමාජයක් හමු වූයේ ද ඒ ජන සමාජය කියවීමට හා ලිවීමට නොදන්නා, අකුරු දැනුමක් නොමැති ජන සමාජයක් ව ද ඒ අතර ම දැඩි මතක ශක්තියක් තිඛෙන ජන සමාජයක් ව ද සිටිය හ. මුහම්මද් ﷺ තුමාට අනාවරණය වූ කුර්ආන් වැකි ඔහු තම අනුගාමිකයන් ඉදිරියේ පරායණය කර පෙන්වූ අතර ඔවුන්ද එම වැකි තම මනසේ රඳවා තබා ගත්හ. අල් කුර්ආනයේ අක්ෂර ආකාර හතින් කුමක් පරායණය කළද ගැටළුවක් නොවූ නිසා මුහම්මද් ﷺ තුමාගේ අනුගාමිකයන් මේ කුමන අක්ෂර ක්‍රමයද යයි වෙන් කර පාඩම් කර ගත්තේ නැත. ඔවුන් මුහම්මද් ﷺ තුමාගෙන් ඇසූ පරිදිම පාඩම් කර ගත්හ. එබැවින් මෙම අක්ෂර ආකාර හතේ සම්මිශ්‍රණයක් ලෙස ඔවුන් අල් කුර්ආනය පාඩම් කර ගත්හ. මෙසේ පාඩම් කරගත් කුර්ආනය නැවත මුහම්මද් ﷺ තුමා ඉදිරියේ පාරායනය කර පෙන්වා තහවුරු කර ගත්හ.

අල් කුර්ආනය දෙවිඳුන් කොටස් වශයෙන් අනාවරණය කිරීම මෙලෙස කටපාඩම් කිරීම සඳහා උපකාරකයක් විය. පරිශුද්ධ වූ අල් කුර්ආනය සමස්තයක් වශයෙන් එක ම දිනක දී හෝ කෙටි කාලයක් තුළ දී හෝ පහළ වී ඇත්නම් එම ජන සමාජයට එය කට පාඩම් කර ගැනීමට නොහැකි වී තිබිය හැකිය. තවද මෙම කුර්ආන් වැකි දිනපතා ඉටු කරන පස් වෙල් නැමදුමේද අනෙකුත් අමතර නමදුම් වලද පාරයණා කරන නිසා මෙම වැකි අමතක කිරීම විය නොහැකි දෙයක් ලෙස තිබුණි. අල් කුර්ආනය ආරක්ෂා වීමට මෙය ඉතා අනර්ග සැලසුමක් විය. පරිශුද්ධ වූ අල් කුර්ආනය කට පාඩම් කළ මුස්ලිම්වරු එය අමතක නොකර සිටීමට මෙම සැලසුම ඉමහත් රුකුලක් විය. තව ද කට පාඩම් නොකළ අයත් සලාතයේ දී පාරායණා කළ යුතු පිණිස පරිශුද්ධ වූ අල් කුර්ආනය කට පාඩම් කරන තත්ත්වයක් උදා කිරීමට මෙය පිටිවහල් විය. ඉස්ලාමය පිළිගත් ජනතාව විසු සෑම පෙදෙසකට ම කුර්ආනය උගන්වා දීම සඳහා එතුමාණන් තම මිත්‍රවරු කිහිප දෙනෙක් ම යැවූ හ. පරිශුද්ධ වූ අල් කුර්ආනය සිත්හි සංරක්ෂණය කිරීමට මෙය තව දුරටත් පිටිවහල් විය. තවද අල් කුර්ආනය පාඩම් කිරීමේ වැදගත් කම හා එය අමතක කිරීමේ විපාක තම අනුගාමිකයන්ට කියා දුන්නේය. එබැවින් මුහම්මද් ﷺ තුමාගේ සිතේ මෙසේ ආරක්ෂා වූ අල් කුර්ආනය ඔහුගේ අනුගාමිකයන්ගේ සිතේද ආරක්ෂා විය. බොහෝ නබි මිත්‍රවරු පරිශුද්ධ වූ අල් කුර්ආනය මුළුමනින් ම කට පාඩම් කර සිටියහ. මොවුන්ගෙන් බොහෝ අය නබි නායක (සල්) තුමාණන් කාලයේ ම කුර්ආනය කට පාඩම් කර නිමා කළහ. සමහරු නබි නායක (සල්) තුමාණන්ගේ අභාවයෙන් පසුව කට පාඩම් කළහ. මෙලෙස අනුගාමිකයන් කටපාඩම් කර ගත අල් කුර්ආනය මුඛ පරම්පරාවෙන් ඊළඟ පරම්පරාවට ගියේය. එනිසා උගතුන්ගේ සිතේ අල් කුර්ආනය ඉතා සූක්ෂම අන්දමින් ආරක්ෂා විය. මේ පිළිබඳව දෙවින්දුන්ම එක් කුර්ආන් වැකියක මෙසේ සඳහන් කරයි:

නමුත් මේවා පැහැදිලි වැකි වේ. අධ්‍යාපනය දෙන ලද අයගේ සිත් තුළ පවතී.420 අපරාධකරුවන් මිස අන් කිසිවෙක් අපේ වැකි ප්‍රතික්ෂේප නොකරති. (අල් කුර්ආනය 29:49)

අල් කුර්ආනය ලිඛිත ස්වරූපයෙන් සංරක්ෂණය වීම

අල් කුර්ආනය සංරක්ෂණය වී ඇත්තේ උගතුන්ගේ සිතේ පමණක් නොවේ. එය ලිඛිතවද සංරක්ෂණය වී ඇත. තම අනුගාමිකයන්ගේ සිත්හි කුර්ආනය ආරක්ෂා කිරීමට සැලසීමත් සමඟ නතර නොවී ඒ ජන සමාජයේ ලිවීමට දන්නා අය කැඳවා තමන්ට ඒ ඒ අවස්ථා වල දී ලැඛෙන දේව පණිවුඩ වහා ම මුහම්මද් ﷺ තුමාණන් වාර්තා කර ගත් හ. පරිශුද්ධ වූ අල් කුර්ආනයේ වැකි පහළ වූ විගස ම, “මේ වැකිය මේ අදහස ප්‍රකාශ කරන පරිච්ඡේදයේ තබන්න” යනුවෙන් මුහම්මද් ﷺ තුමාණන් අණ කරති. නබි මිත්‍රවරු ඒ අනුව ලියා ගනිති. (තිර්මිදි Vol. 5, Book 44, Hadith 3086). අල් කුර්ආනයේ කුමන පරිච්ඡේදයේ කුමන අනුපිළිවෙලට වැකි පිහිටා තිබේ ද එය නබි නායක (සල්) තුමාණන් පෙන් වූ මග පෙන්වීමට අනුව ම පිහිටා ඇත. වැකිවල අනුපිළිවෙලත් එක් පරිච්ඡේදයක සඳහන් වන වැකි මොනවා ද යන්නත් නබි නායක (සල්) තුමාණන්ගේ අණ පරිදි ම තීන්දු වී ඇත. මේ ලේඛකයෝ මුහම්මද් ﷺ තුමාණන් දේව වැකි ප්‍රකාශ කරන විට රට ඉඳි ගස් පොතු වලත් සුදු පැහැති ගල් ඵලක වලත්, පදම් කරන ලද සම් වලත් සිවුපාවුන්ගේ පැතලි ඇටකටු වලත් ලියා ගත් හ. එකල ජන සමාජය ලේඛන මාධ්‍ය වශයෙන් භාවිත කළේ මෙවැනි ද්‍රව්‍යයන් ය. අල් කුර්ආනය මෙලෙස ලියා ගැනීමේ කර්තව්‍යයේ මූලිකව ක්‍රියා කළ පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස සෙයිද් බින් තාබිත් නම් මුහම්මද් ﷺ තුමාගේ අනුගාමිකයා සැලකිය හැකිය. මෙසේ ලියන ලද කුර්ආන් වැකි වල පිටපත් මුහම්මද් ﷺ තුමාණන්ගේ නිවසේ තබන ලදී. තවද කුර්ආනය කට පාඩම් කර ගත් ලේඛකයන් වෙන ම පිටපත් තමා සතුව තබා ගත්හ. මෙලෙස මුහම්මද් ﷺ තුමාණන් කාලයේ පහළ වූ මුළු කුර්ආනය ම තම අනුගාමිකයන්ගේ සිත් හි ද ලිඛිත ලේඛන වල ද මුහම්මද් ﷺ තුමානන්ගේ කාලයේදීම සංරක්ෂණය විය.

මුහම්මද් ﷺ තුමාණන්ගෙන් පසුවද අල් කුර්ආනය සංරක්ෂණ වීම

මුහම්මද් ﷺ තුමාණන් අභාවප්‍රාප්ත වීමෙන් පසුව අබූ බක්ර් (රලි) තුමා ඉස්ලාමීය රාජ්‍ය පාලන වගකීම භාර ගත්තේ ය. එතුමාගේ පාලන කාලයේ දී (හිජ්රි 12 වන වසරේ දී) “යමාමා” නැමැති සටන සිදු වූ අතර මෙම සටනේ දී කුර්ආනය කට පාඩම් කළ නබි මිත්‍රවරු 70 දෙනෙකු පමණ සතුරන් විසින් ඝාතනය කරනු ලැබූහ. මෙම සිද්ධියෙන් පසුව උමර් (රලි) තුමා අබූ බක්ර් (රලි) තුමාව හමු වී කුර්ආනය ලිඛිත ස්වරූපයෙන් එක් රැස් කර ක්‍රමවත් ව සකස් කරන මෙන් අවධාරණය කළේ ය. අබූ බක්ර් (රලි) තුමා උමර් (රලි) තුමාගේ මෙකී ඉල්ලීම පිළිගැනීමට මුල දී පැකිළුණේ ය. නමුත් උමර් (රලි) තුමාගේ ප්‍රකාශයේ පවතින සියලූ සාධාරණයන් හේතු සාධක සහිතව ස්ථීර ව හා නිශ්චිත ව ප්‍රකාශ කර මෙය ඉටු කළ යුතු මෙහෙවරක් යැයි විග්‍රහ කර දුන් පසු අබූ බක්ර් (රලි) තුමා මෙය පිළි ගත්තේය. එවිට කුර්ආනය කට පාඩම් කළ අයගෙන් ද ලේඛන ගත කළ අයගෙන් ද අති විශිෂ්ට කෙනෙකු වූ ද, තරුණයෙකු වූ ද සෛද් බින් සාබිත් (රලි) තුමා කැඳවා අබූ බක්ර් (රලි) තුමා මෙකී වගකීම ඔහුට භාර දුන්නේ ය. ඔහු ද එම වගකීම භාරගෙන කුර්ආනය ක්‍රමවත් කිරීමේ මෙහෙවර ඉටු කළේ ය. (මූලාශ්‍රය : බුහාරි 4988, 4989)

නබි නායක (සල්) තුමාණන් කුර්ආන් වැකි ලියා ගන්නට පවසන සෑම අවස්ථාවක දී ම සෑම ලේඛකයෙක් ම මදීනාවේ සිටින්නේ නැත. ඇතැම් වැකි පහළ වන විට පිට පළාතක සිටි අය ඒවා තම ලේඛන වල ලියා සිටින්නේ නැත. මේ නිසා සෑම ලේඛකයෙකුගේ ම ලේඛනයන්හි යම් වැකි කිහිපයක් හෝ පරිච්ඡේද කිහිපයක් හෝ මග හැරී යෑමට ඉඩ ප්‍රස්තා ඇත. සෑම ලේඛකයෙක් ම, තමන් සතුව තිඛෙන දේ පමණක් සම්පූර්ණ අල් කුර්ආනය යැයි වැරදි ලෙස සිතන විට කුර්ආනයේ ප්‍රතිවිරුද්ධතා තිඛෙන්නාක් මෙන් හැ‍ඟේ. සෑම ලේඛකයෙකුගේ ම සියලූ ලේඛන එක් රැස් කර, කට පාඩම් කළ සියලූ දෙනා හමුවේ නිවැරදි දැයි පරීක්ෂා කර බලන විට සෑම කෙනෙකුට ම ලිවීමට අත පසු වූ වැකි මොනවා ද පරිච්ඡේද මොනවා ද යන්න සොයා ගත හැකිය. අබූ බක්ර් (රලි) තුමා සෛද් බින් සාබිත් නම් වූ නබි මිත්‍රයා ලවා සිදු කළේ මෙකී මෙහෙවරයි. නබි නායක (සල්) තුමාණන්ගේ නිවසේ පැවති ලේඛන ද කුර්ආන් ලේඛකයන් සතුව පැවති ලේඛන ද සෛද් බින් සාබිත් (රලි) තුමා එක් රැස් කළේ ය. කට පාඩම් කළ අය කැඳවා ඔවුන් කට පාඩම් කළ දැයත් ලිඛිත ස්වරූපයට පෙරළී ය. මේවා ගොනු කර, කට පාඩම් කළ අයගේ කට පාඩමට අනුව පරිශුද්ධ වූ අල් කුර්ආනය අනුපිළිවෙලට සැකසී ය. සංරක්ෂණය කරන ලද මෙම මුල් පිටපත අබූ බක්ර් (රලි) තුමාගේ භාරකාරත්වය යටතේ පැවතුණි. එය ජනතාවට සේන්දු වූයේ නැත. කට පාඩම් කළ අය සියල්ලෝ ම මරණයට පත් වූවත් එවිට මෙම මුල් පිටපත අනුව කුර්ආනය සකස් කර ගත හැකි විය. අබූ බක්ර් (රලි) තුමාගේ මරණයෙන් පසු ව මෙකී මුල් පිටපත උමර් (රලි) තුමා සතුව පැවතුණි. උමර් (රලි) තුමාගේ මරණයෙන් පසුව එතුමාගේ දියණිය වූත් නබි නායක (සල්) තුමාණන්ගේ භාර්යාව වූත් හෆ්සා (රලි) තුමිය සතුව පැවතුණි.

මෙම කුර්ආන් පිටපත පොදු ජනතාවට බහුලව සේන්දු වූයේ නැත. මෙසේ තිබියදී උස්මාන් (රලි) තුමාගේ කාලයේදී ඉස්ලාමය වැළඳ ගත් ඇතැම් නවකයන් අතර තමුන් පාරයානයා කරන ක්‍රමය අන් ක්‍රමයට වඩා උසස් යන සිතුවිල්ල ඇතිවිය. කෙසේනමුත් එක් පාරයනා ක්‍රමයක් අනෙකට වඩා උසස් යැයි පැවසීම වැරදිය. මෙය දැන ගත් උස්මාන් (රලි) තුමා මෙම මත භේදයට නිසි පිලියමක් යෙදිය යුතු බව තීරණය කළේය. එනිසා පාරායනා ක්‍රමය වෙනස් වුවද එක් ලිඛිත අනුවාදයක් සැකසීමට උත්සහ දැරීය. මෙම අනුවාදයේ සුවිශේෂී තාවයක් තිබුණි එනම් මෙය හැකි තාක් දුරට සියලු අක්ෂර ක්‍රම හා පාරයනා ක්‍රම වලට ඉඩ ප්‍රස්තා දෙන පරිදි සකස් කරන මෙන් උස්මාන තුමා අණ කළේය. එකළ අරාබි ලිඛිත අක්ෂර ප්‍රාථමික මට්ටමක තිබුණු හෙයින් මෙම කර්තව්‍ය ඉතා පහසු විය. නමුත් ඇතැම් තැන වලදී විවිධ අක්ෂර ක්‍රම නියෝජනය කල නොහැකි බැවින් එවන් අවස්තාවලදී කුරෛෂි වරුන්ට පහල වූ අක්ෂරයෙන් කුර්ආන් වැකිය ලේඛනගත කරන මෙන් උස්මාන් තුමා අණ කළේය. මේ සඳහා සෙයිද් බින් තාබිත් තුමාගේ නායකත්වය යටතේ අබ්දුල්ලාහ් බින් සුබෛර් (රලි) තුමා, සයීද් බින් අල් ආස් (රලි) තුමා, අබ්දුර් රහ්මාන් බින් අල් හාරිස් (රලි) තුමා ඇතුළු කමිටුවක් පත් කළේය. උස්මාන් (රලි) තුමා මෙම මෙහෙවර හිජ්රි 25 වන වසරේ දී සිදු කළේ ය. එනම්, නබි නායක (සල්) තුමාණන් අභාවප්‍රාප්ත වී වසර 15 ක් තුළ කුර්ආනය දැන් තිඛෙන අනුපිළිවෙලට සකස් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. තව ද උස්මාන් (රලි) තුමා පිටපත් රැසක් ගැනීමට සලස්වා ඒ පිටපත් තම පාලනය යටතේ පැවති සියලූ ප්‍රදේශ වලට එවීය. ඒ පිටපත් අනුව පමණක් අන් අය පිටපත් ලබාගත යුතු යැයි අණක් ද පැනවීය. සෑම කෙනෙක් ම තමා සතුව තිබූ අංග සම්පූර්ණ නොවූ පැරණි පිටපත් ගිනි බත් කරන ලෙසත් අණ පැනවීය. උස්මාන් තුමාගේ මෙම වැඩපිළිවෙල මුළු මුස්ලිම් සමාජයම අනුමත කළහ. උස්මාන් (රලි) තුමා විවිධ ප්‍රදේශ වලට යැවූ මුල් පිටපත් යැයි විශ්වාස කරන පිටපත් දෙකක් අදටත් සංරක්ෂණය වෙමින් පවතී. ඉන් එකක් තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි කෞතුකාගාරයේ ද තවත් පිටපතක් රුසියාවේ “තාෂ්කණ්ඩ්” අගනුවර පිහිටි කෞතුකාගාරයේ ද සංරක්ෂණය වෙමින් පවතී. තවද මෑතකදී සොයා ගත බිර්මින්හැම් කුර්ආන් පිටපතද උස්මාන් තුමාගේ කාලයේ සකස් කළ පිටපතක් බව විද්වතුන් පවසති.

අල් කුර්ආනයේ ගායන ක්‍රම සංරක්ෂණය වීම

උස්මාන් (රලි) තුමා මෙලෙස එක් ලිඛිත අනුවාදයක් සකස් කළද එක් ගායන ක්‍රමයක් පමණක් තිබිය යුතු බව උස්මාන් තුමා පැවසුවේ නැත. එනිසා මෙම ගායන ක්‍රම මුඛ පරම්පරාවෙන් සංරක්ෂණය වූ අතර ලේඛනගත කළ පිටපත මේ සඳහා උපකාරකයක් ලෙස ක්‍රියා කළේය. මෙලෙස සංරක්ෂණ වී ඇති ගායන ක්‍රම 10ක් අද මුස්ලිම් ලොව සතුව ඇත. පසු කාලයේදී මෙම ගායනක්‍රම වෙන වෙනම පිළිබිඹු කරන ලෙස පිටපත් සකස්කරනු ලැබීය. මෙම ගායන ක්‍රම 10 අතුරින් දෙකක් ඉතා ප්‍රචලිත වන අතර එම ගායන ක්‍රම දෙක එම ගායන ක්‍රම දෙකට අනුව පාරයණය කළ සුප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නමින් නම් කරන ලදී. මේ ක්‍රම දෙක වන්නේ හෆ්ස් හා වර්ෂ්ය. වර්ෂ් ගායන ක්‍රමය මොරොක්කෝ හා අප්‍රිකානු රටවල ප්‍රචලිත වන අතර හෆ්ස් ගායන ක්‍රමය අනෙකුත් රටවල ප්‍රචලිතය.

නූතන කුර්ආන් පිටපත් සැකසුණු අකාරය

කාලයත් සමඟ අරාබි අක්ෂරද වෙනස් වීම් වලට ලක් විය. උච්චාරණය පහසුව මෙම අරාබි අක්ෂර ක්‍රමය වෙනස් වීමට මූලික හේතුවකි. මෙසේ වෙනස් වීම් වලට ලක් වූ අරාබි අක්ෂර මුද්‍රිත සම්ප්‍රදාය ආරම්භවීමත් සමඟ සම්මත අක්ෂර බවට පත් විය. මේ සම්මත අක්ෂර අනුව සැකසු සම්මත පිටපත ලෙස 1929 දී ඊජිප්තුවේ සකස්කළ කුර්ආන් අනුවාදය සැලකිය හැකිය. මෙය හෆ්ස් ගායන ක්‍රමයට අනුව සැකසී ඇත. අද පවතින බොහෝ කුර්ආන් පරිවර්තන සඳහා යොදා ගැනෙනුයේ මෙම අනුවාදයයි.

මේ අකාරයෙන් මුහම්මද් ﷺ තුමාට අනාවරණය වූ අල් කුර්ආනය අදටත් ඉතා සූක්ෂම ලෙස සංරක්ෂණය වී ඇත. මෙසේ සංරක්ෂණය කිරීම දෙවිඳුන්ගේම සැලැස්ම අනුව සිදු වේ.

අපි ම මෙම උපදේශය පහළ කළෙමු. අපි ම එය ආරක්ෂා කරන්නෙමු. (අල් කුර්ආනය 15:9)

Share Button