දිවියේ අරමුණ?

ඔබ අවදිවන විට ඔබ කවදාවත් නොදැක්ක විශාල කර්මාන්ත ශාලාවක අවදිවුනා යැයි මදකට සිතන්න. දහස් ගණනක් මිනිසුන් එම කර්මාන්ත ශාලාවේ වැඩ කරන බව ඔබට දැක ගත හැකි වේවි. මෙම කර්මාන්ත ශාලාවේ දොරජනෙල් සියල්ල වසා පිටත නොපෙනෙන අයුරින් අගුළු දමා තිබේ. මෙම කර්මාන්ත ශාලාව තුල මිනිසුන් වැඩ කරාවි, නිදාගනීවී, මේ අකාරයෙන් මෙම කර්මාන්ත ශාලාව තුළම තම කාලය ගත කරාවි. මෙවන් අවස්ථාවකදී ඔබට කුමක් සිහියට ඒවිද? මම මෙම කර්මාන්ත ශාලාවේ මෙම මොහොතේ සිටින්නෙමි, අන් අය සමඟ එක් වී මාද වැඩ කළ යුතුය” යැයි ඔබට හැඟෙනු ඇත. නොඑසේනම්, “මම මෙම ස්ථානයට ආවේ කුමන ස්ථානයේ සිටද? මෙම කර්මාන්තශාලාවට පිටතින් ඇත්තේ කුමක්ද ? මම මෙම කර්මාන්තශාලාවේ සිටින්නේ කුමන අරමුණක් සඳහාද ? මාගේ තේරීමක් නොමැතිවම මා මෙම ස්ථානයේ අවදි වූයේ කුමන හේතුව නිසාද ?” යන ප්‍රශ්න ඔබගේ සිතේ හට ගත හැකිය. මෙම ප්‍රශ්න මිහිපිට ජීවත්වන අපගේ බිහිවීම සම්බන්ධව ඇති ප්‍රශ්නවලට සමාන වේ. මිනිසුන් වන අපි කිසිම තේරීමක් හෝ විකල්පයක් නොමැති අකාරයෙන් මෙම පෘථිවිය මත බිහිවී ඇත්තෙමු. “අප ආවේ කුමන ස්ථානයේ සිටද? මම මෙම ලෝකයේ කරන්නේ කුමක්ද? මරණයෙන් පසු මට සිදු වන්නේ කුමක්ද? මරණයෙන් පසු මා යන්නේ කුමන ස්ථානයටද?” යනාදී ප්‍රශ්න රාශියක් ඔබගේ මනසේ දැනටමත් හටගෙන තිබෙනවා විය හැකිය.

ලෞකික මායාවන් වලට මිනිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින බැවින් මිනිසුන් මෙවන් ප්‍රශ්න දෙස අවධානය යොමු කරන්නේ ඉතා කලාතුරකිනි. එබැවින් මෙවන් මූලික ප්‍රශ්න නොසලකා හැරීමට මිනිසා පුරුදු වී සිටියි. නමුත් මෙම ප්‍රශ්නවලින් පූර්ණ ලෙස මිදී යෑමට මිනිසාට හැකියාවක් නොමැත. අල් කුර්ආනය  මේ පිළිබඳව වැදගත් ඉඟියක් අපට ලබා දේ.

අහස් සහ පොලොව නිර්මාණයකිරීමෙහිද රැය දවාල මාරුවීමෙහිද නුවණැතියන්ට (බොහෝ) සංඥාවන් ඇත. මෙවැන්නන් නැගිට සිටින විටද වාඩිවී සිටින විටද නිදා සිටින විටද අල්ලාහ්වම සිතා අහස්ද භූමියද නිර්මාණය ගැන මෙනෙහි කරමින් “ අපගේ හිමියෙනි! ඔබ මේවා නිකරුනේ අරමුණක් නොමැතිව නිර්මාණය කලේ නැත…..” [අල් කුර්ආනය: අල් ඉම්රාන්(3): 190-191]

එනම් මිනිස් දිවියටද අරමුණක් තිබිය යුතු බව ඉතා පැහැදිලි කරුණකි. මෙහිදී අරමුණ යැයි අදහස් වන්නේ මිනිසා විසින් ගොඩනඟා ගත් ලෞකික බලාපොරොත්තුවක් ගැන නොව මිනිසා මෙලොව ඉපදී මරණය තෙක් ගත කරන මිනිස් දිවියේ අරමුණ පිලිබඳවය. එසේනම් දැන් අපි ඇසිය යුතු ප්‍රශ්නය “මිනිස් දිවියේ අරමුණ කුමක්ද?” යන්නයි.

මිනිස් දිවියේ අරමුණ කුමක්ද යන ප්‍රශ්නයන්ට විසඳුම් සෙවීමේදී අපට විසඳිය යුතු තවත් ප්‍රශ්නයක් මතු වේ. එය මිනිසා ඇතුළු මෙම විශ්වයේ සම්භවයයි. මිනිසා දෙස හා ඔහු ජීවත් වන විශ්වය දෙස විචාරශීලීව බැලීමේදී මෙම විශ්වය නිර්මාණය කළ ඉහළ බුද්ධියක්, නොඑසේනම් නිර්මාණකරුවෙකු සිටිනවා යැයි පිළිගැනීමට සිදු වේ. එසේ නම් මිනිස් දිවියේ අරමුණ මනා ලෙස දන්නේ මිනිසා නිර්මාණය කළ ඒ නිර්මාණකරුවා පමණි. මෙම අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීමට මෙම නිර්මාණකරුවා මිනිසුන් අතුරින් කෙනෙකු පණිවුඩකරුවෙකු ලෙස තෝරාගෙන ඔහු හරහා මිනිසාට මෙම අරමුණ පැහැදිලි කර ඇත. මෙලෙස විවිධ කාල වලදී විවිධ ප්‍රදේශ සඳහා පණිවුඩකරුවන් තෝරා පත් කර ඒවා ඇත.

මිනිස් දිවියේ අරමුණ කුමක්ද යන්න දැන ගැනීමට ඔබත් කැමතියිද? ලෞකික මායාවන්ගෙන් ඉවත්වී අධ්‍යාත්මිකව වැදගත් කරුණු දිහා අවධානය යොමු කරන්න ඔබ සූදානම්ද? එසේ නම් “අරමුණ” වෙබ් අඩවිය ඔබට ප්‍රයෝජනවත් වනු නිසැක ය.

Comments are closed