ඉස්ලාමයේ මත්පැන් තහනම් කොට ඇත්තේ ඇයි?

මිනිස් ඉතිහාසයේ අනාධිමත් කාලයක පටන් සමාජයේ මත්පැන අති භයානක උවදුරක් මෙන්ම ශාපයක් ව පවතී. අති මහත් පිරිසකට මෙමගින් කියා නිමකළ නොහැකි හානි සිදුවී හා සිදුවෙමින් පවතී. සමාජය මුහුණපාන ප්‍රශ්න කිහිපයකටම ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මත්පැනයි. පවුල් සම්බන්ධතාවන් බිඳ වැටීම, රෝගාබාධ බොහොමයකට හේතු වීම හා අපරාධ රාශියකට හේතුව මත්පැන ලෙස දැක්විය හැක. මත්පැන් ශාලා පවත්වාගෙන යන්නේ රජයේ අනුමැතියෙනි. මෙයින් ලැබෙන බලපත්‍ර ගාස්තු මෙන් අනේක වාරයක පිරිවැයක් මත්පැන් පානයෙන් රෝගීවන්නන් වෙනුවෙන් වැය කරන්නට සිදුවී ඇත. මේ කරුණු මෙසේ තිබියදී මත්පැන් උවදුරින් ජනයා මුදවා ගැනීමේ අර්ථවත් ක්‍රියා පිළිවෙතක් අපට දක්නට නොමැත. නීති විරෝධී මත්පැන් මෙයට වඩා භයානක උවදුරක් බවට පත්ව ඇත. කිසිදු ප්‍රමිතියකින් තොරව සිදු කරන්නා වූ මෙම නීති විරෝධී මත්පැන් නිෂ්පාදන හේතුවෙන් අමතර සෞඛ්‍ය තර්ජන බොහොමයකට එය පරිභෝජනයන කරන්නන් පත්ව ඇත. මේ සියල්ල කෙරෙහි සමස්තයක් වශයෙන් අවධානය යොමු කිරීමේ දී මත්පැන් උවදුරින් රටවැසියා මුදා ගැනීමේ අර්ථවත් හා ඵලදායී ක්‍රියා පිළිවෙතක් වෙත ප්‍රමුඛත්වය ලබා දිය යුතුව ඇතැයි අපි සිතන්නෙමු. මත්පැන් පිළිබඳ අල් කුර්ආන් හා අනෙකුත් දහම් ඉදිරපත් කරන අදහස් කෙරෙහි අවධානය යොමු කරමු.

මත්පැන් පිළිබඳ අල් කුර්ආන් මතය

“විශ්වාස කළවුනි, සැබවින් ම සුරාව ද සුදුව ද (බිලිපුජා කරන) අල්තාරය ද (පේන බැලීම සඳහා භාවිතා කරන) ඊතල ද ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් වූ කිලිටකි. එබැවින් නුඹලා ජයග්‍රහණය කරනු පිණිස එයින් වැළකෙවු” අල් කුර්ආන් 5:90)

මත්පැන් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම්

සුරාමේරය මජ්ජපමාදට්ඨානා  වේරමණී සික්ඛාපදං සමාදියාමී (මදයට ප්‍රමාදයට හේතුවන සුරාමේරය පානයෙන් වැළකීම වූ සික්ෂා පදය සමාදන් වෙමි  

මත්පැන් පිළිබඳ කිතුනු දහමේ මතය

“මද්‍යපානය කෙලාම්කරුවෙකි; සුරාපානය කලහකරුවෙකි; බීමත්කමින් මුළාවෙන්නා මෝඩයෙකි” (බයිබලය – හිතෝපදේශ 20:1)

මත්පැන් පානයේ විපාක – අසාමාන්‍ය හැසිරීම  

මිනිස් මොළයෙහි ප්‍රතිෂේධාත්මක කේන්ද්‍රය (Inhibitory Centre) නමින් වූ ස්ථානයක් ඇත. මෙම කේන්ද්‍රය මගින් තමන් නුසුදුසු යැයි සිතන්නා වූ ක්‍රියාවන්ගෙන් ඔහුව වලක්වයි. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් තම දෙමව්පියන් හා වැඩිහිටියන් ආමන්ත්‍රණය කිරීම සඳහා යමෙක් අපවාදාත්මක වචන උපයෝගී කර නොගැනීම දැකිය හැක. මෙලෙස සිදු වීමට ප්‍රධාන හේතුව මෙම ප්‍රතිෂේධාත්මක කේන්ද්‍රයේ මැදිහත් වීමයි. තමන්ට මළමුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වුවහොත් අපි එය ප්‍රසිද්ධ තැනක සිදු නොකරන්නෙමු. අපි ඒ සඳහා වැසිකිලියක් පාවිච්චි කිරීම සම්ප්‍රදායයි. මෙවන් ක්‍රියා පිළිවෙත් පිළිබඳ ව කටයුතු කිරීමේ දී තමන් නුසුදුසු යැයි සිතන්නා වූ ක්‍රියාවන්ගෙන් තමන් ව වලක්වාලනු ලබන්නේ මෙම ප්‍රතිෂේධාත්මක කේන්ද්‍රයේ මැදිහත් වීම මගිනි.

යමෙක් මත්පැන් පානය කිරීම මගින් මෙම ප්‍රතිෂේධාත්මක කේන්ද්‍රය නිෂ්ක්‍රිය තත්ත්වයට් පත් වෙයි. මේ හේතුව නිසාම මත්පැනින් වෙරිමත් වුවෙකු ඔහු සාමාන්‍ය තත්ත්වයේ සිටියදී නොකරන්නා වූ ක්‍රියාවන් සඳහා ඉදිරපත් වෙයි. මේ හේතුවෙන් වෙරිමතින් ඉන්නා වූ පුද්ගලයෙකු තම දෙමව්පියන්, වැඩිහිටියන් හා අනෙකුත් අය සමග ඉතා පරිභව වචනයෙන් ඇමතීම අපට දැකගත හැකිව ඇත. අනවශ්‍යය රණ්ඩුසරුවල් ඔහු ඇතිකර ගනී.

ලිංගික අපචාර, ස්ත්‍රී දුෂණ, ව්‍යාභිචාරය (සමීප ඥාතීන් සමග ලිංගික අපචාරයේ යෙදීම) සහ ඒඩ්ස් – මත්පැන් පානය කරන්නන් අතර ඉතා බහුලය

ඇමෙරිකාවේ 1996 දී කරන ලද සමීක්ෂණයක් අනුව දෛනිකව ලිංගික බලහත්කාරකම් 2713 ක් වාර්තා වී තිබු බව දක්නට තිබුණි. මෙම ලිංගික බලහත්කාරකමේ යෙදුනු අයගෙන් අතිමහත් බහුතරයක් අපරාධය සිදුකරන අවස්ථාවේ මත්පැනින් මුසපත්වී සිටි බව ද වාර්තාවේ.

සංඛ්‍යාලේඛන දත්ත අනුව ඇමෙරිකානුවන්ගෙන් 8%ක් ව්යාභිචාරයේ (සමීප ඥාතීන් සමග කරන්නා වූ ලිංගික අපචාර) යෙදෙන බවද කරුණු ඉදිරිපත් වී ඇත. සියලුම ව්‍යාභිචාරි ක්‍රියාකාරකම් සිදු කරනු ලැබ ඇත්තේ ද මත්පැන් පානය කිරීමෙන් පසුව බව වාර්තා වී ඇත.

ඉතා භයානක රෝගයක් වූ ඒඩ්ස් (AIDS) ව්‍යාප්තවීමට ද මත්පැන් හේතුසාධක වී ඇත.

සමාජයීය මත්පැන් පානය කරන්නන්  (Social Drinker)

සෑම මත්පැනට ඇබ්බැහිවුවෙකුම ආරම්භයේ සමාජයීය වශයෙන් සුළුවෙන් මත්පැන් පානය කරන්නේකුව සිටි බවට දැනගත හැකිය. මත්පැන් සම්බන්ධයෙන් එයට පක්ෂව තර්ක කරන්නන් පවසන්නේ ඔවුන් වෙරිමත් වන පමණට මත්පැන් පානය නොකරන්නන් බවය. සත්‍යය වශයෙන් ම බේබදුකමේ ආරම්භය මෙය බව ඔවුන් දැන හෝ නොදැන කටයුතු කරමින් සිටිනා බව පැවසිය යුතුව ඇත.

මත්පැන් සම්බන්ධ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශන

“මුහම්මද් තුමාණන් පවසා ඇත්තේ සියළු දුෂ්ට හා අනර්ථකාරී ක්‍රියාවන්හි මව ලෙස ඇත්තේ මත්පැනයි. එය වඩාත් ලැජ්ජාසහගත දුෂ්ටකමකි”. (සුනාන් ඉබ්නු මාජා 3 වන වෙළුම 30 වන පරිච්ඡේදය හදීස් අංක 3371)

“මුහම්මද් තුමාණන් පවසා ඇත්තේ වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් යමකින් මත්වන්නේ ද එම ද්‍රව්‍යය සුලුප්‍රමාණයෙන් ගැනීම ද තහනම් බවය)”. (සුනාන් ඉබ්නු මාජා 3 වන වෙළුම 30 වන පරිච්ඡේදය හදීස් අංක 3392)

ඉහත ප්‍රකාශනයන් අනුව සුළුවෙන් යැයි පවසමින් මත්පැන් ගැනීමට කිසිදු අනුමැතියක් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව නොමැත.

“මුහම්මද් තුමාණන් වරෙක පවසා සිටියේ  මහා කාරුණික අල්ලාහ්ගේ ශාපය මත්පැන් සම්බන්ධයෙන් කටයුතු කරන්නන් කණ්ඩායම් දහයක් වෙත ඇති බවය. එම කණ්ඩායම් දහය නම් මත්පැන් ආසවනය (Distill) කරන්නන්, කවරෙකු සඳහා මත්පැන් ආසවනය කරනු ලැබුවේද එම අය, මත්පැන් පානය කරන්නන්, මත්පැන් ප්‍රවාහනය් කරන්නන්, මත්පැන් කවරෙකු සඳහා ප්‍රවාහනය කරනු ලැබුවේද එම අය, මත්පැන් බෙදා දෙන්නන්, මත්පැන් අලෙවි කරන්නන්, මත්පැනින් මුදල් උපයන්නන්, මත්පැන් මිලදී ගන්නන් හා වෙන අයෙකු වෙනුවෙන් මත්පැන් මිලදී ගන්නන් ආදී වශයෙනි.” (සුනාන් ඉබ්නු මාජා 3 වන වෙළුම 30 වන පරිච්ඡේදය හදීස් අංක 3380)    

මත්පැන් හේතුවෙන් ඇතිවන රෝගාබාධ

මත්පැන් තහනම් කිරීම සඳහා ඇති විද්‍යාත්මක හේතුව නම් ලොව පුද්ගල මරණ සඳහා වූ එක් ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ මත්පැන් පරිභෝජනයයි. ලොව මිලියන ගණනක පිරිසක් මත්පැන් පරිභෝජනයෙන් මියයති. මත්පැන් හේතුවෙන් සිදුවන සෞඛ්‍යමය හානි පිළිබඳ දීර්ඝ විස්තරයක් අවශ්‍යය නොවන්නේ මෙම හානි පිළිබඳ බහුතරයක් ජනයා දැනුවත්ව සිටින හෙයිනි. කෙසේ නමුත් ඉතා සංක්ෂිප්ත ව මත්පැන් පානයෙන් සිදුවන රෝගාබාධ පිළිබඳ විස්තරයක් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.   

  • අක්මාවේ ඇතිවන සැවොම වාගේ දන්නා සිරෝසියාව (Cirrhossis) නමැති රෝගය ඉතා බරපතල රෝගී තත්ත්වයකි
  • අන්නනාලිකාව (Oesophagus), අක්මාව හා බඩවැල ආදියෙහි ඇතිවිය හැකි පිළිකා
  • අන්නස්රෝතස්දාහය (Oesophagitis), අග්න්‍යාශදාහය (Pancreatitis), යකෘත්දාහය (Hepatitis) ආදී රෝග ද මත්පැන් පරිභෝජනයෙන් ඇති විය හැකි බව සනාථ වී ඇත.
  • හෘද රෝග රාශියක් ද මත්පැන් පටිභෝජනයෙන් ඇතිවිය හැක
  • මත්පැන් පරිභෝජනයෙන් ඇති විය හැකි රෝග පිළිබඳ දීර්ග ලැයිස්තුවක් තිබුන ද ඉහත බරපතල රෝග තත්ත්වයන් පිළිබඳ පමණක් වුවත් දැනුවත් වීමෙන් මත්පැනෙහි ඇති සෞඛ්‍ය ගැටළු අවබෝධ කරගත හැක.     

මත්පැනට ඇබ්බැහිවීම රෝගයකි

වෛද්‍යවරුන් විසින් මත්පැන් පිළිබඳව අදහස් දැක්වීමේ දී එය හුදෙක් ඇබ්බැහියක් පමණක් යැයි වර්තමානයේ දී හඳුන්වන්නේ නැත. ඔවුන් එය නිශ්චිත වශයෙන් ම රෝගයක් ලෙස හඳුන්වති.

මත්පැන රෝගයක් නම් ..

  • බෝතල් කොට අලවි කරනු ලබන එකම රෝගය මත්පැනයි
  • පුවත්පත්, සඟරා, ගුවන් විදුලිය හා රුපවාහිනි නාලිකා මගින් ප්‍රචාරණය කොට දිරිගන්වනු ලබන එකම රෝගය මත්පැනයි
  • රජයට ආදායම් ලබා දෙන එකම රෝගය මත්පැනයි
  • මහමඟ බරපත අනතුරු හා මරණ සිදුකරන හේතුවකි මත්පැන
  • පවුල් ජීවිතය විනාශ කොට බොහෝ අපරාධ වලට හේතුවකි මත්පැන

මත්පැනට ඇබ්බැහි වීම රෝගයකට වඩා ෂෙයිතාන්ගේ උපක්‍රමයකි

මහා කාරුණික අල්ලාහ් විසින් මුළුමහත් මනුෂ්‍ය වර්ගයාවම ෂෙයිතාන්ගේ උපක්‍රමයන් පිළිබඳ ව අවවාද කොට ඇත. මිනිසාව තිරිසනෙකුට වඩා පහත් තත්ත්වයකට ඇද දමන මත්පැන සත්‍යය වශයෙන් ම ෂෙයිතාන්ගේ උපක්‍රමයකි. මෙම අති භයානක උවදුරෙන් වැළකෙන ලෙස ඉස්ලාමය සැවොම දැනුවත් කරයි. 

Share Button