මුස්ලිම්වරුන් කලු පැහැති ගොඩනැඟිල්ලකට හා කලු පැහැති පාශානයකට වඳිනවා ද?

ලෝ වැසි මුස්ලිම් ජනයා තමන්ගේ නැමදුම් (සලාතය) සඳහා යොමු වන දිශාව වූ මක්කා නගරයේ පිහිටි ‘කාබා’ නමින් හැඳින්වෙන කළු රෙද්දකින් ආවරණය කොට ඇති චතුරශ්‍රාකාර ඉපැරණි මස්ජිදය පිළිබඳ ව ඇතැම් ඉස්ලාම් නොවන්නන් සිතන්නේ මුස්ලිම් ජනයා ඒ වෙත නැමදුම් කරන බවයි. මෙම වැරදි මතය පදනම් කරගනිමින් එය පිළිම වන්දනයට සමාන ක්‍රියාවක් ලෙස ඔවුන් සලකති. සත්‍යය වශයෙන් ම මුස්ලිම්වරුන් කරනුයේ ඒ දෙසට යොමු වී තම නැමදුම් ඉටු කිරීමයි. ඒ වෙත නැමදුම් කිරීමක් නොකරති. සියලු නැමදුම් විශ්වයේ නිර්මාතෘ මහා කාරුණික අල්ලාහ් වෙත පමණක් සිදු කිරීම ඉස්ලාමයේ ඉතා වැදගත් පිළිවෙතකි. 

“නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන කිබ්ලා ව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු”. (අල් කුර්ආන් 2:144)   

ඉහත අල් කුර්ආන් වැකිය ඉතා පැහැදිලි අයුරින් දන්වා සිටින්නේ සියලු ඉස්ලාමිකයින් ලොව කොතැන සිටියත් තම සලාතය ඉටු කරන අවස්ථාවේ යොමු විය යුතු දිසාව  මක්කාවේ පිහිටි මෙම මස්ජිදය බවය. සලාතය සඳහා නිශ්චිත දිසාවක් තිබීම හේතුවෙන් සියල්ල අතර එකමුතුකමකින් මෙම වැදගත් කාර්යය ඉටුකිරීමට හැකි ව ඇත. දෛනික ව පස්වතාවක් කළ යුතුව ඇති සලාතය සඳහා ඇරයුම් කිරීමේ ප්‍රකාශනය අරාබි බසින් ‘අසාzන්’ යැයි දැක්වේ. ආරම්භක යුගයේ අසාzන් පවසනු ලැබුවේ මෙම කාබාව මත සිටය. පිළිම වන්දනයෙහි යෙදෙන්නන් පවා එම පිළිම මත සිට කිසිදු ආගමික වතාවක් නොකරති. එලෙසම කාබා ව නැමදුම් ලබන්නක් නම් ඒ මත සිට අසාzන් පැවසීම නොකළ යුත්තකි. මෙසේ කිරීමෙනුත් පැහැදිලි වන්නේ කාබා ව වන්දනය හෝ නැමදීම සඳහා වූ ස්ථානයක් නොවන බවයි. 

මෙම කාබා නමින් හැඳින්වෙන අති පෞරාණික මස්ජිදය මුස්ලිම් වරුන්ගේ හජ් හා උම්රා නම් වූ වැදගත් ආගමික කර්තව්‍යයන්හිදී ඉතා වැදගත් ස්ථානයක් ලෙස සැලකේ. මෙම කටයුතු දෙකෙහි ම එක් නිශ්චිත ස්ථානයකින් ආරම්භ කොට කාබා ව වටා හත්වරක් පැදකුණු කළ යුතු ව ඇත. මෙම ආරම්භක ස්ථානය සනිටුහන් කිරීම උදෙසා එහි කළු පැහැති ගලක් සවි කොට ඇත. මෙම ගල පිළිබඳ ඓතිහාසික විස්තරයක් ඇතත් එය නැමදුම් කරනු ලබන සංකේතයක් නොවන බව නිශ්චිත වශයෙන් ම පැවසිය යුතුව ඇත. හත්වරක් කාබා ව වටා පැදකුණු කිරීමේ දී මෙම කළු පැහැති ගල සිප ගැනීම, අතින් ඇල්ලීම හෝ එසේ කිරීමට නොහැකි නම් අතින් සංඥා කිරීම කරනු ලැබේ. මුහම්මද් තුමාණන්ගෙන් පසු ඉස්ලාමීය රාජ්‍යයේ දෙවෙනි පාලකයා වූ උමර් තුමා මෙම ගල සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් කොට ඇත.

“කිසිදු සැකයකින් තොරව එය ගලක් පමණි. එයට කිසිවෙකුට කිසිදු හානියක් හෝ යහපතක් කළ නොහැකිය. අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් එය සිප ගැනීම නුදුටුවා නම් මා එය සිප නොගන්නේය”. (සහීහ් බුහාරි)

ඉහතින් උපුටා දක්වා ඇති උමර් තුමාගේ ප්‍රකාශනය අනුව ‘හජ්ර් අල් අස්වද්’ නමින් හැඳින් වෙන මෙම කළු පැහැති ගල සහතික වශයෙන් ම ඉස්ලාමිකයින් කිසිදු ආකාරයක නැමදුම් කරනු ලබන සංකේතයක් නොවන බව පැහැදිලි වෙයි. නැවත වරක් අප විසින් ඉතා අවධාරණයෙන් පැවසිය යුතුව ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් අනුව සියලු නැමදුම් මහා කාරුණික අල්ලාහ් වෙත පමණක් ම විය යුතුය. කිසිදු නිර්මාණයකට නැමදුම් නොකොට සියල්ලෙහි  නිර්මාතෘ වූ  සදාතනික මහා කාරුණික දෙවිඳුන්ට පමණක් නැමදුම් කිරීම ඉස්ලාමීය පිළිවෙතයි. මෙම විස්තර අනුව මුස්ලිම් නොවන ඇතැම් පිරිසකගේ සිත් තුළ ඇතිව තිබු ඉස්ලාමීය නැමදුම් පිළිවෙත පිළිබඳ වැරදි වැටහීම නිරවුල් හා නිවැරදි අයුරින් වටහා ගැනීමට උපකාරී වේ යැයි විශ්වාස කරන්නෙමු.   

Share Button