විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන කුර්ආනීය තර්කය

අපි අප ගැන කල්පනා කරන විට යම් එක් මොහොතක අපගේ පැවැත්ම ආරම්භ වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එක් මොහොතකදී අප සිටියේ නැහැ, නමුත් දැන් අප පවතිනවා (ජීවත් වෙනවා) එනම් අපට ආරම්භයක් තිබෙන බව පැහැදිලියි. මිනිසාගේ මේ ආරම්භය සම්බන්ධව වැදගත් ප්‍රශ්න කිහිපයක් අල්කුර්ආනයේ ඉදිරිපත් වී තිබෙනවා.

ශුන්‍යයක් විසින් ඔවුන් නිර්මාණය කරනු ලැබුවේද? නොඑසේනම් ඔවුහු ඔවුන්ගේම නිර්මාණකරුවෝ වෙත්ද? නොඑසේනම් ඔවුහු අහස් හා පොළොව නිර්මාණය කර ඇත්තෝද?…… [අල් කුර්ආනය 52:35-36]

මිනිසාගේ ආරම්භය සම්බන්ධව ඉහත කුර්ආන් වැකිය අපිට කරුණු පහදා දෙන නමුත් ආරම්භයක් තිබෙන ඕනෑම දෙයකට මෙම කුර්ආන් ප්‍රකාශය වලංගු වෙන බව බුද්ධිමත් කෙනෙකුට වටහා ගන්න පුළුවන්. එනම් ආරම්භයක් තිබෙන ඕනෑම දෙයක් බිහි විය හැකි ආකාරය පිළිබඳව පහත පිළිතුරු ඉදිරිපත් කරන්න පුළුවන්.

  1. ඉබේම බිහිවී තිබිය යුතුයි.
  2. තමා විසින්ම තමාව නිර්මාණය කරගෙන තිබිය යුතුයි.
  3. යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි. (මෙහිදී මෙම බාහිර හේතුවට ආරම්භයක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්)
    1. ආරම්භයක් ඇති යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි
    2. ආරම්භයක් නොමැති යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි

ඒ අනුව මෙම කුර්ආන් වැකිය ඉදිරිපත් කරන තර්කය විශ්වයේ ආරම්භය සම්බන්ධයෙන්ද යොදා ගන්න පුළුවන්. මෙහිදී පළමුව විශ්වයට ආරම්භයක් තිබෙනවා යන්න අප අවබෝධකරගෙන තිබිය යුතු වෙනවා. විශ්වයට ආරම්භයක් තිබෙනවා යැයි සනාථ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මෙම ලිපියේ කරුණු ඉදිරිපත් වී තිබෙන්නේ විශ්වයට ආරම්භයක් තිබෙනවා යන ස්ථාවරයේ සිටයි. කෙසේනමුත් විශ්වයට ඇත්තෙන්ම ආරම්භයක් තිබෙනවා යැයි පිළිගැනීමට පහත හේතු හා සාක්ෂි උපකාර වෙනවා.

  1. විශ්වයේ මහා පිපුරුම් න්‍යාය
  2. තාපගති විද්‍යාවේ දෙවන නියමය
  3. ප්‍රසාරණය වන විශ්වයකට යම් මොහොතක ආරම්භයක් තිබිය යුතු වීම
  4. අයින්ස්ටන්ගේ සාපේක්ෂතා වාදය
  5. හීලියම් හා හයිඩ්රිජන් අනුපාතය
      මීට අමතරව
  1. අල් කුර්ආනය සර්වඥ අල්ලාහ්ගේ ප්‍රකාශයන් සහිත පුස්තකයක් වීම හා විශ්වයට ආරම්භයක් තිබෙනවා යැයි එහි සඳහන් වීම
    (මෙම පිළිතුර කෙනෙකු මෙම මොහොතේ නොපිළිගන්න පුළුවන්. නමුත් මෙය සනාථ කරන්න පුළුවන් සත්‍ය කරුණක්)

විශ්වයට ආරම්භයක් තිබෙනවා යන්න විද්වතුන් පිළිගන්නවා.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ජෝන් ග්‍රිබන් නම් තාරකාභෞතිකවිද්‍යාඥයා මහා පිපුරුම ගැන මෙසේ පවසනවා:
“…the discovery of the century, in cosmology at least, was without doubt the dramatic discovery made by Hubble, and confirmed by Einstein’s equations, that the Universe is not eternal, static, and unchanging.” (….සියවයේ අනර්ග සොයාගැනීම වන්නේ විශ්වයේ ඉතිහාසය අනන්තයක් නොවන බවත්, එය ස්ථාවර නොවන බවත්, වෙනස් නොවී නොපවතින බවවත් සොයාගැනීමයි. මෙය හබල් විසින් සොයාගත් විශිෂ්ට සොයාගැනීමක් වන අතර අයින්ස්ටයින් ගේ සමීකරණයෙන් සනාථ වී තිබෙනවා )[1].

විශ්වවේදියෙකු වන ඇලෙක්සැන්ඩර් වෙලින්කින් මෙසේ පවසනවා:
With the proof now in place, cosmologists can no longer hide behind the possibility of a past-eternal universe. There is no escape, they have to face the problem of a cosmic beginning (දැනට ඇති සාක්ෂි වලට අනුව විශ්වවේදීන්ට තවදුරටත් “අන්නන්තයක් පැරණි සදාකල් පැවතෙමින් තිබෙන විශ්වය” යන මතය පසුපස සැඟවෙන්න බැහැ. කිසිම විකල්පයක් නැහැ, විශ්වයේ ආරම්භය යන ප්‍රශ්නයට ඔවුන් මුහුණ දිය යුතුමයි. ) [2]

ඒ වගේම භෞතික විද්‍යාඥයෙකු වන ස්ටීවන් හෝකින්ස් මෙසේ ප්‍රකාශ කරනවා:
At the big bang itself the universe is thought to have had zero size (මහා පිපුරුම සිදු වූ අවස්ථාවේ මෙම විශ්වයේ පරිමාව ශුන්‍ය වේ.) [3]

එනම් විශ්වයට ආරම්භයක් තිබෙනවා යන්න පැහැදිලි සත්‍යයක්

විශ්වයට ආරම්භයක් තිබෙනවා නම් මෙම කුර්ආන් වැකියට අනුව විශ්වයේ ආරම්භය වූයේ කෙසේද යන ප්‍රශ්නයට පහත පිළිතුරු අපට ඉදිරිපත් කරන්න පුළුවන්.

  1. විශ්වය ඉබේම බිහිවී තිබිය යුතුයි.
  2. විශ්වය තමා විසින්ම නිර්මාණය කරගෙන තිබිය යුතුයි.
  3. විශ්වය යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.
    1. විශ්වය, ආරම්භයක් තිබෙන යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.
    2. විශ්වය, ආරම්භයක් නොමැති යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.

මෙම පිළිතුරු එකිනෙක සාකච්ඡා කරමු.

1. විශ්වය ඉබේම බිහිවී තිබිය යුතුයි.

මෙම පිළිතුර නිවැරදි නැහැ. එබේම කිසිවක් බිහිවන්න බැහැ. පී. ජේ ස්(z)වාර්ට් (P. J. Zwart) නමැති චින්තකයා මෙසේ පවසනවා:
අපට සිතා ගන්න බැරි යමක් තියෙනවා නම් ඒ දේ වන්නේ “ශුන්‍යකින් යමක් බිහි වීමයි” “If there is anything we find inconceivable it is that something could arise from nothing.”[4]

2. විශ්වය තමා විසින්ම නිර්මාණය කරගෙන තිබිය යුතුයි.

මෙය පිළිගත හැකි පිළිතුරක් ලෙස මතු පිටින් කෙනෙකුට පෙනුණාට මෙම පිළිතුර පරස්පර විරෝධී පිළිතුරක්. එනම් තමා විසින් තමාව නිර්මාණය කිරීමට නම් මුලින්ම තමා සිටිය යුතුයි. එනිසා දැන් නිර්මාණ කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම නිර්මාණය වීමේ අවශ්‍යතාවය තිබෙන්නේ විශ්වය බිහිවී නොතිබුනොත් පමණයි. විශ්වය පවතින්නේ නොමැති නම් “විශ්වය විසින් (එනම් තමා විසින්)…” යැයි පැවසීම නිවැරදි නැහැ. මෙහිදී විශ්වය තිබෙනවා හා නොතිබෙනවා යන අවස්ථා දෙකම එකවර තිබිය යුතු වෙනවා. මෙය පරස්පර විරෝධී ප්‍රකාශයක්.

නිදසුනක් ලෙස “ඔබගේ මව ඇයවම ප්‍රසූත කළා” යන ප්‍රකාශය සලකන්න. මෙය විය හැකිද? මෙසේ වීමට නම් ඇයගේ පැවැත්ම හා නොපැවැත්ම යන දෙකම එකම විට තිබිය යුතු වෙනවා. නමුත් මෙය පැහැදිලිවම පරස්පර විරෝධී ප්‍රකාශයක් යැයි ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම තීරණය කරන්න පුළුවන්. එනම් “විශ්වය තමා විසින්ම නිර්මාණය කරගෙන තිබිය යුතුයි” යන පිළිතුර අපට පිළිගන්න පුළුවන්කමක් නැහැ.

3. විශ්වය යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.

ඇත්තවශයෙන්ම මෙම පිළිතුර කොටස් දෙකකට බෙදන්න පුළුවන්.
a. විශ්වය, ආරම්භයක් තිබෙන යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.
b. විශ්වය, ආරම්භයක් නොමැති යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි.

මුලින්ම “විශ්වය, ආරම්භයක් තිබෙන යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි” යන පිළිතුර සලකමු. විශ්වය නිර්මාණය කළ බාහිර හේතුවටද ආරම්භයක් තිබෙනවා නම් එහි ආරම්භය ගැනද අපට ප්‍රශ්ණ කළ යුතු වෙනවා. එය ඉබේම හෝ තමා විසින්ම නිර්මාණය විය නොහැකි නිසා එම හේතුවද තවත් බාහිර හේතුවක් නිසා ආරම්භ වී තිබිය යුතුයි. මේ ආකාරයෙන් දිහින් දිගටම හේතු ඵල දාමය රැගෙන යන්න පුළුවන්. නමුත් මෙම හේතු ඵල දාමය නිමාවක් නොවී අනන්තයක් දක්වා අතීතයට යන්න පුළුවන්කමක් නැහැ.

මෙම උදාහරණය දිහා අවධානය යොමු කරන්න. U1 නම් විශ්වය U2 නමැති හේතුවක් නිසා බිහිවුණා යැයි සිතන්න, U2ට ආරම්භයක් තිබෙන අතර එය U3 නම් හේතුවක් නිසා බිහිවුණා යැයි සිතන්න. මේ ආකාරයෙන් දිගින් දිගටම යනවා නම් අපට කවදාවත් U1 නම් ඵලය (විශ්වය) හටගෙන තිබීම දැකගන්න බැහැ. ඒ වගේම අවසානයේ අපට ඉතිරි වන්නේ ශුන්‍යයක් මිස වෙන කිසිවක් නොවේ. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් හේතු ඵල වාදයේ සීමාව! දාර්ශනික විග්‍රහයක්” නමැති ලිපියේ තිබෙනවා.

එසේනම් අපට ඉතිරි වී ඇත්තේ එකම එක් පිළිතුරයි. එනම් “විශ්වය, ආරම්භයක් නොමැති යම් බාහිර හේතුවක් නිසා බිහිවී තිබිය යුතුයි” යන පිළිතුරයි. ඒ වගේම විශ්වයේ ඇති සූක්‍ෂමභාවය ගැන අවධානය යොමු කිරීමේදී විශ්වයේ ආරම්භයේ හේතුකාරකය යම් ඉහල බුද්ධියක් යැයි නිගමනය කරන්න පුළුවන්. එනම් විශ්වයට බුද්ධිමත් නිර්මාණකරුවෙකු සිටිනවා යන්න පැහැදිලිවම සනාථ වෙනවා.

මූලාශ්‍රයන්
[1] John Gribbin, In the Beginning: The Birth of the Living Universe (Boston: Little, Brown and Company, 1993), page 19.
[2] Alexandar Velinkin, Many Worlds in One [New York: Hill and Wang, 2006], p.176
[3] Stephen Hawkings, Brief History of Times, pp 123
[4] P. J. Zwart, About Time (Amsterdam and Oxford: North Holland Publishing Co., 1976), pages 117-19

Share Button