ඇරයුම

යමෙක්, යම් දෙයක් තීරණය කළ යුත්තේ හෝ විශ්වාස කළ යුත්තේ අන්ධ භක්තිකයෙක් ලෙස නොවේ. බුද්ධිමත් සත්වයා යන ගෞරවාන්විත නාමය හිමි කරගෙන ඇති මිනිසා යම් දෙයක් විශ්වාස කළ යුත්තේ බුද්ධිමත් අයුරිනි.

මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ සර්වබලධාරී දෙවිඳුන් කෙනෙකු සිටින බව පිළිගැනීම මිත්‍යා විශ්වාසයක් හෝ අන්ධ විශ්වාසයක් නොව මිනිසාගේ විචාර බුද්ධියෙන් වටහා ගත හැකි සත්‍යයකි. (වැඩිදුර අධ්‍යයනයට: නිර්මාණ න්‍යාය)

මෙම දෙවිඳුන් මිනිසාව නිර්මාණය කර ඇත්තේ යම් අරමුණක් සඳහාය. එනම් දෙවිඳුන්ට පමණක් නැමදීම සඳහා දෙවිඳුන් මිනිසාව නිර්මාණය කර ඇත. නැමදීම යනුවෙන් මෙහි අර්ථවත් වන්නේ සිරස නමා සිදු කරන නමස්කාරය පමණක් නොවේ. නැමදීම යනු සියලු කටයුතු වලදී දෙවිඳුන්ගේ අණට අනුව ක්‍රියා කිරීමය. මිනිසාගෙන් කවරෙක් දෙවිඳුන්ගේ අණට අනුව කි‍්‍රයා කරන්නේදැයි පරික්‍ෂා කරනු පිණිස කෙටි කාලීන මෙලොව ජීවිතය දෙවිඳුන් මිනිසාට ලබා දී ඇත. දෙවිඳුන් මිනිසාට ලබා දුන් කාලය අවසාන වෙත්ම මිනිසා මිය යන අතර සියලු මිනිසුන් දෙවිඳුන් එක් දිනයකදී නැවත නැඟිටුවන්නේය. පසුව මිනිසුන් මෙලොව කළ ක‍්‍රියාවන් විනිශ්චයට ලක් කරනු ලබන අතර විනිශ්චයෙන් පසු මිනිසාට සදාතනික ස්වර්ගය හෝ සදාතනික නිරය හිමි වේ. මිනිසා මෙලොව ගත කරන තාවකාලික ජීවිතය මිනිසාග් මරණින් මතු සදාකාලික ජීවිතයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා වූ පරීක්ෂණයකි. මෙම පරීක්ෂණයෙන් ජය ගැනීමට දෙවිඳුන්ට අවනතව කටයුතු කළ යුතු වේ. දෙවිඳුන්ට අවනතවීම ඉස්ලාම් නම් වන අතර අවනතවන්නා මුස්ලිම් නම් වේ.

දෙවිඳුන්ට අවනත වීමේ ඉස්ලාම් ධර්මය මිනිසාට කියා දීමටත් ඉස්ලාමයට අනුව යහපත් ජීවිතයක් ගත කරමින් මෙලොව හා පරලොව ජයග‍්‍රහණය ලබා ගන්නේ කෙසේදැයි ඉගැන්වීමත් දෙවිඳුන් විවිධ කාල වලදී විවිධ ප‍්‍රදේශ වලට එම ජන සමාජයෙන්ම දේව පණිවුඩකරුවන් තෝරා පත්කර යවා ඇත. පළමු මිනිසා වන ආදම්, නූහ්, ඉබ්‍රාහීම්, මෝසෙස්, දාවුද්, සුලෛමාන්, යේසුස් (දෙවිඳුන්ගේ ශාන්තිය මොවුන් සියලු දෙනා වෙත ඇති වේවා) යනු මෙවන් දේව පණිවුඩකරුවන්ය. මුහම්මද් ﷺ තුමා යනු දේව පණිවුඩකරුවන්ගේ අවසානයාය. (වැඩිදුර අධ්‍යයනයට: දෙවිඳුන්ගේ පණිවුඩකරුවා) සත්‍ය ඒකීය දෙවිඳුන් හැර වෙන කිසිඳු දෙවි කෙනෙකු නොමැති බවත් ඔහුට පමණක් මිනිසා නැමැදිය යුතු බවත් මෙම දේව පණිවුඩකරුවන් ජනතාවට දේශනා කළහ. මීට අමතරව කාලයට සුදුසු එම ජන සමාජයට සුදුසු ඉගැන්වීම් එම ජනයාට කීයා දීමත් මෙම පණිවුඩකරුවන්ගේ වගකීමක් විය. අනෙකුත් සියලූ දේව පණිවුඩකරුවන් පැමිණියේ ඔවුන් අයත් ජනසමාජය සඳහා පමණි. නමුත් මුහම්මද් ﷺ තුමා  මුළු මිනිස් සංහතිය සඳහාම පැමිණි දේව පණිවුඩකරුවාය. ඔහු හරහා ඉස්ලාම් ජීවන ක‍්‍රමය පරිපූර්ණත්වයට පත්විය.

ජනයාට සත්‍ය කියා දීමට පැමිණි දේව පණිවුඩකරුවන්ට දෙවිඳුන්  විවිධ ධර්ම ග‍්‍රන්ථ ද පිරිනමන ලදී. මෙම ධර්ම ග‍්‍රන්ථ වලට අමතරව මෙම ධර්ම ග‍්‍රන්ථය විවිරණය කිරීමේ දැනුමත් මෙම දේව පණිවුඩකරුවන්ට දෙවිඳුන් අනාවරණය කරන ලදී. මෙම විරණය ලෙස කටයුතු කළේ ඔවුන්ගේ ඉැගැන්වීම් ය. එනම් ඔවුන් තම ජනයාට පැවසූ කරුණු, ඔවුන්ගේ ක‍්‍රියා හා ලබා දුන් අනුමැතියන්ය.

මෝසෙස් عليه السلام තුමාට තව්රාත් නම් ධර්ම ග්‍රන්ථය අනාවරණය වූ අතර මූසා عليه السلام තුමාට පසු  ඉස්රායෙල් ජනයා වෙත පැමිණි සියලූ දේව පණිවුඩකරුවන්ගේ නීති පොත විය. දාවුද් عليه السلام තුමාට දේව ගුණ ගායනා සහිත සබූර් නම් ග්‍රන්ථය අනාවරණය විය. යේසුස්  عليه السلام දේව පණිවුඩකරුවාට තව්රාරතයට අමතරව ඉන්ජීල් නම් ධර්ම ග්‍රන්ථය අනාවරණය විය. කෙසේනමුත් මෙම ධර්ම ග‍්‍රන්ථ හා එම ධර්ම ග‍්‍රන්ත අනාවරණය වූ දේව පණිවුඩකරුවන් මිනිසුන්ට දේවානුභාවයෙන් දේශනා කළ ඉගැන්වීම් මෙම දේව පණිවුඩකරුවන්ට පිරිනැමුණු ඒ මුල් ස්වරූපයෙන්ම අද අපට දැක ගත නොහැකි ය. අපට දැක ගත හැක්කේ මෙම ධර්ම ග‍්‍රන්ථ හා ඔවුන් දේවානුභාවයෙන් මිනිසුන්ට ලබා දුන් ඉගැන්වීම් වල ඇතැම් කරුණු අඩංගු පැරණි ලියකියවිලි හා මොවුන්ගේ ඉතිහාසය ගැන සඳහන් වී ඇති පැරණි ලියකියවිලි පමණි. මෙම පැරණි ලියකියවිලිවලද මුල් පිටපත් අප සතුව නැත. අප සතුව ඇත්තේ මුල් පිටපතේ සිට වසර ගණනාවකට පසුව ලියවුණු එම මුල් පිටපත් වල අත්පිටපත්ය. යුදෙව්වන් හා කිතුනුවන් භාවිතා කරන බයිබල් සකසා ඇත්තේ මෙම ලියකියවිලි පදනම් කර ගෙනය. බයිබලය ඉතා අවධානයෙන් කියවන කෙනෙකුට එහි ඇති මූලික ඉගැන්වීම් ඉස්ලාම් දහමේ ඉගැන්වීම් වන බව පහසුවෙන්ම වටහා ගත හැකිය. මූලික වශයෙන් ඒක දේවත්වය යන සත්‍ය ධර්මය මෙම ධර්ම ග්‍රන්ථ වල පැහැදිලිවම සඳහන් වේ. මීට අමතරව අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා ගැන වැදගත් අනාවකිද බයිබලයේ සඳහන් වේ. (වැඩිදුර අධ්‍යයනයට: ධර්ම ගවේෂණ)

හින්දු භක්තිකයන් දැන් භාවිතා කරන ධර්ම ග්‍රන්ථ ගැන සැලකීමේදී එහි ඇති ඇතැම් කරුණුද දේව පණිවුඩකරුවන්ට අනාවරණය වූ දේව පණිවුඩ ඇසුරෙන් ලියා ඇති බව වටහා ගත හැකිය. නමුත් මෙම දේව පණිවුඩකරුවන් කවුරුන්ද යයි නිශ්චිත සඳහනක් මෙම ග්‍රන්ථ වල නොමැත. ඒක දෙවත්වය යන සත්‍ය හින්දු ධර්ම ග්‍රන්ථ තුළද සඳහන් වේ. තවද මුහම්මද් ﷺ තුමා ගැන වැදගත් අනාවකිද හින්දු ධර්ම ග්‍රන්ථ වල සඳහන් වේ. (වැඩිදුර අධ්‍යයනයට: ධර්ම ගවේෂණ)

අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමාට දෙවිඳුන් පිරිනැමූ ධර්ම ග‍්‍රන්ථය වනුයේ අල් කුර්ආනයයි. අල් කුර්ආනයේ විශේෂත්වය වන්නේ අනෙකුත් ධර්ම ග‍්‍රන්ථ මෙන් නොව එය අනාවරණය වූ ලෙසින්ම අදටත් සංරක්‍ෂණය වී තිබීම ය. අල් කුරානය සැබවින්ම දෙවිඳුන්ගේ අනාවරණයක් බව තහවුරු කරන බොහෝ සාදක කුර්ආනය තුළ දැක ගත හැකිය. (වැඩිදුර අධ්‍යයනයට: විශ්මිත කුර්ආනය)

ඉහත කරුණු දෙස ඔබ අවධානය යොමු කිරීමේදී ඔබ පිළිපැදිය යුතු සත්‍ය ධර්මය ඉස්ලාමය බව ඔබට වටහා ගත හැකිය. සත්‍ය ධර්මය ලෙස කෙනෙකු ඉස්ලාම් දහම තෝරා ගෙන අනුගමනය කරන්නේ නම් ඔහුට හෝ ඇයට හිමි වීමට නියමිත ත්‍යාගය සදාකාලීන ස්වර්ගය යි. අන් අයට සිදුවන්නේ නිරතුරුවම අපාගත වීමටය. එබැවින් පරලොව ජය හිමි කර ගැනීමට නම් ඉස්ලාමය වැළඳ ගත යුතුම ය. එබැවින් ඉස්ලාම් ධර්මය වැළඳගෙන නොමැත්තන්ට ඉස්ලාම් ධර්මය වැළඳගන්නා මෙන් අපි හද පතුලෙන්ම ආරාධනා කරන්නෙමු. නමුත් බල නොකරන්නෙමු.

(මෙම) ධර්මයෙහි කිසිදු බල කිරීමක් නොමැත. දුර්මාර්ගයේ සිට යහ මාර්ගය පැහැදිලි වී ඇත. [අල් කුර්ආනය 2:256]

විශ්වය ඇතුළු සියලූ නිර්මාණයන් නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ ඒකීය සර්වබලධාරී දෙවිඳුන් වන අල්ලාහ් හැර කිසිඳු දෙවි කෙනෙකු නොමැති බවත් නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවත් මුහම්මද් ﷺ තුමා අල්ලාහ්ගේ ගැත්තා හා පණිවුඩකරුවා බවත් කෙනෙක් විශ්වාස කරන්නේ නම් එම පුද්ගලයා ඉස්ලාම් ධර්මය තුළට ප‍්‍රවිශ්ට වී මුස්ලිම්වරයෙකු බවට පත් වී හමාරය. මෙම ප‍්‍රවිශ්ඨ වීම පහත අයුරින් ප‍්‍රතිඥා දීම තුළින් තහවුරු වේ.

“අශ්හදු අල් ලාඉලාහ ඉල්-ලල්ලාහු ව අශ්හදු අන්න මුහම්මදන් අබ්දුහු ව රසූලූහු!”

මෙහි අරුත:
“නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවක් නොමැති බවට මම සාක්‍ෂි දරමි.  තවද මුහම්මද් ﷺ තුමාණෝ ඔහුගේ ගැත්තා හා පණිවුඩකරුවා බවත් සාක්‍ෂි දරමි.”

කෙනෙකු මෙලෙස සාක්‍ෂි දරමින් ඉස්ලාම් දහම වැලඳ ගන්නේ නම් ඔහු හෝ ඇය ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර කළ සියලූ පාපයන් ක්‍ෂමා කරුනු ලැබ අලූතින් ඉපදුනු ළදරුවෙකු සේ වන්නේය. තවද ඔහු හෝ ඇය ඉස්ලාමය වැළඳ ගැනීමට පෙර කළ යහපත් ක‍්‍රියාවන් සඳහා ආනිසංස හිමි වේ. මෙලෙස සදාතනික ස්වර්ගයට පිවිසීමට මඟ පෑදේ.

සත්‍ය ගවේෂණයෙන් පසු ඔබත් ඉස්ලාම් ධර්මය වැළඳගත් නවකයෙක් නම් අපගේ නව මුස්ලිම්වරයා (http://www.newmuslim.lk/si/) වෙබ් අඩවියට පිවිසෙන්න. නවක මුස්ලිම්වරයෙකු සඳහා ප්‍රයෝජනවත් බොහෝ තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඔබට ඉගෙන ගත හැකිය.

ඔබ තවමත් ඉස්ලාම් දහම වැළඳගෙන නොමැතිනම්, සත්‍ය සොයා යෑමේ ගමන තවදුරටත් කරගෙන යන්න. ඉස්ලාම් ධර්මය ගැන තොරතුරු නිවැරදි මූලාශ්‍ර වලින් ඉගෙනගන්න. ඔබට උදව් කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. මිනිස් ජීවිතය කෙටිකාලීනය. මරණය කුමන මොහොත් පැමිණේදැයි නොදනිමු. තවද මරණයෙන් පසු නැවත පැමිණීමක්ද නැත. එබැවින් නිවැරදි තීරණ ගැනීමට පමා නොවන මෙන් ඉල්ලා සිටින්නේමු.