දිවියේ අරමුණ?

ඔබ අවදිවන විට ඔබ කවදාවත් නොදැක්ක විශාල කර්මාන්ත ශාලාවක අවදිවුනා යැයි මදකට සිතන්න. දහස් ගණනක් මිනිසුන් එම කර්මාන්ත තුළ වැඩ කරමින් සිටන බව ඔබට දැකීමට හැකි වනු ඇත. මෙම කර්මාන්ත ශාලාවේ දොරජනෙල් සියල්ල වසා පිටත නොපෙනෙන අයුරින් අගුළු දමා තිබේ. මෙම කර්මාන්ත ශාලාව තුළ මිනිසුන් වැඩ කරනු ඇත, වෙහෙසට පත් වී නිදා ගනු ඇත, මේ අකාරයෙන් මෙම කර්මාන්ත ශාලාව තුළම තම කාලය ගත කරනු ඇත. මෙවන් දසුනක් දකින ඔබට කුමක් සිහියට ඒවිද? මම මෙම කර්මාන්ත ශාලාවේ මෙම මොහොතේ සිටින්නෙමි, අන් අය සමඟ එක් වී මාද වැඩ කළ යුතුය” යැයි ඔබට හැඟෙනු ඇත. නොඑසේනම්, “මම මෙම ස්ථානයට පැමිණයේ කෙසේද? මම මෙම කර්මාන්තශාලාව තුළට පැමිණයේ කුමන ස්ථානයේ සිටද? මෙම කර්මාන්තශාලාවට පිටතින් ඇත්තේ කුමක්ද? මම මෙම කර්මාන්තශාලාවේ සිටින්නේ කුමන අරමුණක් සඳහාද? මාගේ තේරීමක් නොමැතිවම මා මෙම ස්ථානයේ අවදි වූයේ කුමන හේතුව නිසාද?” යන ප්‍රශ්න ඔබගේ සිතේ හට ගත හැකිය. මෙම ප්‍රශ්න මිහිපිට ජීවත්වන මිනිසුන් වන අපගේ බිහිවීම සම්බන්ධව ඇති ප්‍රශ්නවලට සමාන වේ. එනම් මිනිසුන් වන අපි කිසිම තේරීමක් හෝ විකල්පයක් නොමැති අකාරයෙන් මෙම පෘථිවිය මත බිහිවී ඇත්තෙමු. මිනිසුන් වන අපට සම්භවයක් ඇති බව අපි දන්නෙමු. නමුත් “අප පැමිණියේ කුමන ස්ථානයේ සිටද? මම මෙම මිහිපිට කරන්නේ කුමක්ද? මාගේ දිවියේ අරමුණ කුමක්ද? මරණයෙන් පසු මට සිදු වන්නේ කුමක්ද? මරණයෙන් පසු මා යන්නේ කුමන ස්ථානයටද?” යනාදී ප්‍රශ්න රාශියක් ඔබගේ මනසේ හටගත හැකි ඉතා වැදගත් ප්‍රශ්න කිහිපයකි.

මානව ඉතිහාසය තුළ මෙම  ප්‍රශ්න තරම් මිනිසා විසින් නිරන්තරයෙන් පිළිතුරු සෙවීමට උත්සහ දැරූ වෙනත් ප්‍රශ්න නොමැති තරම්ය. මෙම ප්‍රශ්න මූලික හා හරවත් ප්‍රශ්න වූවත් නොයෙකුත් ලෞකික මායාවන් වලට බොහෝ මිනිසුන් නොදැනුවත්ව හෝ දැනුවත්ව වහල් වී සිටින බැවින් මිනිසුන් ලෞකික අරමුණු උදෙසා තම ජීවිතය ගත කිරීමට පුරුදු වී සිටින අතර මිනිසා පිළිතුරු සෙවිය යුතු ඉහත සඳහන් ප්‍රශ්න වැනි වැදගත් ප්‍රශ්න දෙස අවධානය යොමු කරන්නේ ඉතා කලාතුරකිනි. නමුත් මෙම ප්‍රශ්නවලින් පූර්ණ ලෙස මිදී යෑමට විචාරශීලී මිනිසාට හැකියාවක් නොමැත. එබැවින් ඉහත සඳහන් කළ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සෙවීම මිනිසාගේ පරම යුතුකමක් වන්නේ ය.

මෙම ප්‍රශ්න අතුරින් මිනිස් දිවියේ අරමුණ කුමක්ද?” යන ප්‍රශ්නය සුවිශේෂී ස්ථානයක් හිමි කරගනියි. මිනිස් ජිවිතයේ මෙම සැබෑ අරමුණ කවරක්දැයි බොහෝ විට මිනිසා නොදනියි. ඔබ යම් කෙනෙකුගෙන් “ඔබගේ දිවියේ අරමුණ කුමක්ද?” යි විමසුවේ නම් බොහෝ විට ඔහු පවසන්නේ ලෞකික අරමුණක් ගැනය. ඇතැමුන් වෛද්‍යවරයෙකු වීමට සිහින දරයි. තවත් සමහරුන්ගේ ලෞකික අරමුණ සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමය, තවත් සමහරු ගුරුවරුන්, ගගනගාමීන් වැනි විවිධ අරමුණ කරා හඹා යති. මිනිසාට මෙවන් ලෞකික අරමුණක් තිබීම සාමන්‍ය දෙයකි. මෙම අරමුණ මිනිසාගෙන් මිනිසාට වෙනස් වේ. නමුත් මිනිස් දිවියේ අරමුණ යැයි අදහස් වන්නේ මිනිසා විසින් ගොඩනඟා ගත් ලෞකික බලාපොරොත්තුවක් පිළිබඳව නොව මිනිසා මෙලොව ඉපදී මරණය තෙක් ගත කරන මිනිස් දිවියේ සැබෑ අරමුණ පිළිබඳවය.

අහම්බෙන් සම්භවය වූ මිනිසා මරණින් පසු නිරුද්ධ වන අතර මිනිස් දිවියට හරවත් අරමුණක් නොමැති බවත් ජීවත් වන කෙටි කාලය තුළ හැකි පමණින් සතුටින් හා විනෝද වී මිය යා යුතු බවත් ඇතැමුන් පවසති. මෙලෙස ලෞකික අරමුණක් ඉටු කරගැනීමට වෙර දරන ඇතැමුන් එම අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වන අවස්තාවලදී කලකිරෙති. තවත් පිරිසක් තම ජීවිතයේ මුහුණ දීමට සිදු වන දුක් කම් කටොලු නිසා ඇතැම් විට සිය දිවි පවා නසාගනිති. ඇත්තෙන්ම මිනිස් දිවියට හරවත් අරමුණක් නැද්ද? මිනිසා විසින් නිමවන ලද ලොවේ පවතින ඕනෑම වස්තුවකට යම් අරමුණක් ඇත. මිනිසා අල්ප මාත්‍රයක් පමණක් ගරු කරන ඇල්පනිත්තක නිර්මාණයටත් අරමුණක් ඇත. එසේ තිබියදී ඉතා සංකීර්ණ වූ මිනිසාගේ දිවිය සඳහාද යම් විශේෂ අරමුණක් තිබිය යුතුයි යන්න සිතීම සාධාරණය.

මේ අරමුණ කුමක්ද යන්න විග්‍රහ කිරීමට විවිධ චින්තකයන් උත්සහ දැරුවද මිනිස් දිවියේ අරමුණ මනා ලෙස දන්නේ මිනිසා නිර්මාණය කළ නිර්මාණකරුවා වන සර්වබලධාරී දෙවිඳුන් පමණි. මෙවන් දෙවිඳුන් කෙනෙකු සැබවින්ම සිටියිද? මිනිසා දෙස හා ඔහු ජීවත් වන විශ්වය දෙස විචාරශීලීව බැලීමේදී මෙම විශ්වය හා මිනිසාව නිර්මාණය කළ සර්වබලධාරී දෙවිඳුන් කෙනෙකු සිටින බව විචාරශීලී මිනිස් මනසට වැටහෙන කරුණකි. එසේ නම් මෙම දෙවිඳුන්ගෙන් මිනිස් දිවියේ අරමුණ කුමක්දැයි අප දැන ගන්නේ කෙසේද? නිර්මාණකරුවා මිනිස් දිවියේ අරමුණ ගැන මිනිසාට කියා දීමට ගත් ක්‍රමවේදය කුමක්ද

මෙම කරුණු ගවේෂණය කිරීමේදී පෙනී යන්නේ මිනිසාව නිර්මාණය කළ සර්වබලධාරී දෙවිඳුන් විවිධ කාල වලදී විවිධ ජන සමාජ වෙත එම ජන සමාජයෙන්ම කෙනෙකු දේව පණිවුඩකරුවෙකු ලෙස තෝරාපත් කර ඒවා ඇති අතර එම දේව පණිවුඩකරුවන් හරහා මිනිසාට මිනිස් දිවියේ අරමුණ පැහැදිලි කර ඇති බවය. ආදම්, ඉබ්‍රාහීම් (ඒබ්‍රහම්), නූහ් (නොවා), මූසා (මෝසස්), ඊසා (යේසුස්), මුහම්මද් (දෙවිඳුන්ගේ ශාන්තිය ඔවුන් සියලු දෙනා වෙත හිමි වේවා) යනු දෙවිඳුන් තෝරාපත් කළ දේව පණිවුඩකරුවන් රාශියකින් කිහිප දෙනෙකුය. තවද මිනිසාට මඟ  පෙන්වීම සඳහා මෙම දේව පණිවුඩකරුවන්ට දෙවිඳුන් ධර්ම ග්‍රන්ථද එම ධර්ම ග්‍රන්ථ විවරණය සඳහා වූ දැනුමද අනාවරණය කර ඇත. මුසා තුමාට අනාවරණය වූ ධර්ම ග්‍රන්ථය තව්රාතය (තෝරා)  වන අතර යේසුස් තුමාට අනාවරණය වූ ධර්ම ග්‍රන්ථය ඉන්ජීලයයි. මුහම්මද් යනු දේව පණිවුඩකරුවන්ගේ අවසානයා වන අතර ඔහුට අනාවරණය  වූ ධර්ම ග්‍රන්ථය අල් කුර්ආනයයි.

මෙම දේව පණිවුඩකරුවන් දේශනා කර ඇති දේශනා වලට අනුව මිනිසා නිර්මාණය කරලැබ ඇත්තේ මිනිසාගේ නිර්මාපකයා වන සර්වබලධාරී දෙවිඳුන්ට නැමදීමට ය. මෙහි අදහස හුදෙක් සිරස නමා දෙවිඳුන්ට නමස්කාර කිරීම නොව සැම කටයුත්තකදීම දෙවිඳුන්ගේ අණට අවවනතව කටයුතු කිරීමයි. මෙලෙස දෙවිඳුන්ගේ අණට අවනතව යහකම් කරන්නේ කවුරුන්දැයි පරික්ෂා කිරීම පිණිස මෙලොව කෙටි කාලීන ජීවිතය දෙවිඳුන් මිනිසාට ලබා දී ඇති අතර දෙවිඳුන්ට අවනතව මෙම ජීවිතය හැඩගස්වා ගන්නේ කෙසේද යන මඟපෙන්වීම දේව පණිවුඩකරුවන් හරහා මිනිසාට කියා දී ඇත. දෙවිඳුන්ගේ මඟ පෙන්වීම අනුව කටයුතු කර මෙලොව පරීක්ෂාවෙන් ජය ගන්නාට සියලු සැප සම්පත් වලින් සපිරුණ සදාතනික ස්වර්ගහ හිමි කරගැනීමේ සෞබාග්‍යය උදා වේ. එනම් මෙලොව ජීවිතය පරලොව ජය සඳහා වූ පරීක්ෂාවකි.

මිනිසා මෙලොව ජීවිතය ගත කරන අකාරය තීරණය වන්නේ මිනිස් දිවියේ අරමුණ පිළිබඳව මිනිසා සතු අවබෝධය මත ය. මෙම අරමුණ මිනිසා නොදන්නේ නම් මෙළොව ජීවිතයේ කිසිඳු හරවත් සතුටක් ලැබෙන්නේ නැත. ජීවිතයම දුකක් ලෙස සිතීමටද ඉඩ ඇත. කෙසේනමුත් මිනිස් දිවියේ සැබෑ අරමුණ තේරුම් ගත් පුද්ගලයා තුළ ඔහු මෙලොව ගත කරන ජීවිතය පිළිබඳ නිවැරදි දැක්මක් තිබේ. මෙම නිවැරදි දැක්ම මිනිස් දිවිය සාර්ථක කරගැනීමට උපකාර වනවා පමණක් නොව පරලොව ජයග්‍රහණයට හේතුවක් වේ. එබැවින් මිනිස් දිවියේ අරමුණ නොදැන මෙලොව ජීවිතය හැඩගස්වා ගැනීමට ප්‍රයත්න දැරීම අසම්පූර්ණ  වෑයමකි.

මිනිස් දිවියේ අරමුණ කුමක්දැයි දැන් ඔබට පැහැදිලිය. නමුත් මේ විෂය පිළිබඳව ඔබගේ සිතේ ඇතැම් සැකයන් තවමත් තිබෙනවා විය හැක. “ඇත්තෙන්ම මෙම පිළිතුර මා පිළිගත යුතුද?” , “සියල්ල නිර්මාණය කළ නිර්මාපකයෙක් සැබවින්ම සිටිනවාද?”, “එසේ පිළිගැනීමට ප්‍රබල හේතු තිබෙනවාද?”, “මෙම නිර්මාපකයා විසින් තෝරා පත් කළ දේව පණිවුඩකරුවන් කවුරුන්ද?”, “ඔවුන් මිනිසාට දේශනා කළ ධර්මය සැබවින්ම දෙවිඳුන්ගෙන් ලද බව පිළිගැනීමට ඇති හේතු මොනවාද?”, “එම ධර්මය අද වන තුරු ඒ අයුරින්ම ආරක්ෂා වී තිබෙනවාද?” යනාදී ප්‍රශ්න ඔබ තුළ තිබෙනවා විය හැක. මේ සැකයන් දුරු කර ගැනීමට “අරමුණ” වෙබ් අඩෙවිය ඔබට ප්‍රයෝජනවත් වනු නිසැක ය.

මරණයෙන් පසු නැවත පැමිණීමක් නොමැත. එබැවින් ඇතැම් ගැටළු අවසන් හුස්ම හෙලීමට පෙරම විසඳා  ගත යුතු වේ. එසේ නම් මරණය අත්විඳීමට පෙර නිවැරදි පිළිතුරු සොයා ගැනීමට ඔබත් සූදානම්ද?