මෙම විශ්වය හා මිනිස් මනස නිර්මාණය වී තිබෙන්නේ ඉතාමත් ආශ්චර්යමත් අන්දමිනුයි. විශ්වය අගුලක් නම් එය විවර කරන යතුරක් ලෙස මිනිස් මනස ක්‍රියා කරනවා. විශ්වයේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට ගත් උත්සහයේ එක් ප්‍රතිපලයක් වන්නේ විද්‍යාවයි. එනම්, විවිධ භෞථික සංසිද්ධීන් දෙස බලන මිනිසා ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන අතර එම සංසිද්ධීන් සවිස්තරාත්මකව තේරුම් ගැනීමටත්, එම සංසිද්ධීන් ගණිතමය වශයෙන් පැහැදිලි කිරීමටත් නැඹුරු වී සිටිනවා. මිනිස් මනසට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙන් වූ විශ්වයක් නිර්මාණය වී තිබෙන්නේ අහඹු සිදුවීමකින් නොව එසේ මනස හා විශ්වය නිර්මාණය වී තිබීම නිසයි. මේ පිළිබඳව “ගවේෂණය සඳහා නිර්මාණය වී තිබීම” නම් ලිපියේ සාකච්ඡා වී තිබෙනවා.
විශ්වය ඇතුළු එහි තිබෙන භෞථික දේවල් වල ක්‍රියාකාරීත්වය, ව්‍යුහය යනාදිය පිලිබන්දව අබබෝධ කරගැනීම විද්‍යාව තුළින් සිදු වුනද විද්‍යාවේ සීමාවන් නිසා ඇතැම් විට විද්‍යාත්මක ප්‍රකාශයන් නිශ්චිත ප්‍රකාශයන් ලෙස සලකන්න බැහැ. විද්‍යාවේ මෙම සීමාවන් ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා “විද්‍යාවේ දර්ශනය ගැන සඳහන්” ලිපිය කියවන්න. කෙසේනමුත් විද්‍යාවේ අලංකාරය තිබෙන්නේ මෙම අවිනිශ්චිතභාවයේ බව පැවසීම සාධාරණයි. එයට හේතුව අවිනිශ්චිතභාවය, තවදුරටත් ගවේෂණය කිරීමට සඳහා අපව පෙළඹවීමයි. ස්වභාවය පිලිබඳ ගවේෂණය කිරීම, ස්වභාවයේ නිර්මාණකරුව හඳුනා ගැනීමට උපකාර වෙනවා.
අල් කුර්ආනය යනු විශ්වයේ නිර්මාණකරුවා විසින් මිනිසාගේ යහපත සඳහා ඔහුගේ අවසාන දේව පණිවුඩකරුවාට අනාවරණය කළ දේව පණිවුඩයයි. අල් කුර්ආනයේ සඳහන් වැකි මුහම්මද් තුමාට අනාවරණය වී තිබෙන්නේ එම කරුණු මිනිසාට දේශනා කිරීමටත්, එම කරුණු ගැන මිනිසා තම චින්තනය යෙදීමටත් බව අල් කුර්ආනය පවසනවා.
(මුහම්මද්,) අපි ඔබට පෙර පුරුෂයින් ම දූතයින් ලෙස එවීමු. අපි ඔවුනට පැහැදිලි සාධක සමඟ ද ලේඛන සමඟ ද අපේ දූත පණිවුඩ දැනුම් දුනිමු. නුඹලා නොදැන සිටින්නෙහු නම් බුද්ධිමතුන්ගෙන් අසන්න. ජනතාවට පහළ වූ දේ ඔබ ඔවුනට පැහැදිලි කරනු පිණිසත් ඔවුන් සිතනු පිණිසත් අපි මෙම උපදේශය ඔබට පහළ කළෙමු. [අල් කුර්ආනය 16 : 43,44]
එනම් මිනිසා කල්පනා කළ යුතු දේවල්ද අල් කුර්ආනයේ ඇතුලත් වී තිබෙන බව අපට තේරුම් ගන්න පුළුවන්. මිනිසා තම චින්තනය යෙදිය යුතු දේවල් අතුරින් ස්වභාවික සංසිද්ධීන්ද එකක්. විවිධ ස්වභාවික සංසිද්ධීන් ගැන පවසන කුර්ආනය මිනිසාට අරාධනා කරන්නේ මෙම සංසිද්ධි පිළිබඳව තම බුද්ධිය යොදන ලෙසයි. ඇතැම් විට මෙම ස්වභාවික සංසිද්ධියේ මූලික කරුණක් පමණක් කුර්ආනයේ සඳහන් වෙනවා, එම සංසිද්ධියේ සැබෑ ස්වරූපය එහි අඩංගු වන්නේ නැහැ.
අල් කුර්ආනයේ සඳහන් ස්වභාවික සංසිද්ධීන්ගේ අරමුණ අරමුණ කුමක්ද?
අල් කුර්ආනයේ සඳහන් ස්වභාවික සංසිද්ධීන්ගේ අරමුණද එය ගවේෂණය කිරීම තුළින් එය නිර්මාණය කළ සර්වබලධාරී දෙවියන්ව හඳුනා ගැනීම ගැනීමයි. මීට අමතරව මෙම සංසිද්ධි ගැන අධ්‍යනය කිරීම තුළින් එහි ක්‍රියාකාරීත්ව, ව්‍යුහය යනාදියද මිනිසාට දැනගන්න පුළුවන්. මෙම දැනුම මිනිසාගේ යහපත සඳහාද භාවිතා කරන්න පුළුවන්. අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සඳහන් වීමේ මූලික අරමුණ එක් කාල රාමුවකට සීමා වී නැහැ. ඇතැම් අවස්ථාවලදී අල් කුර්ආනය ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නේ විවිධ කාල වල සිටින පුද්ගලයින්ට තේරුම් ගැනීමට පුළුවන් අකාරයෙනුයි. මෙම ලක්ෂණය අල් කුර්ආනයට ලැබී ඇත්තේ එහි ඇතැම් වැකි වලට විවිධ අර්ථකථනයන් දිය හැකි අකාරයෙන් අල් කුර්ආනය සැකසී තිබීම නිසයි. කෙසේ නමුත් අල් කුර්ආන් වැකියට භාෂාමය වශයෙන් ලබා දෙන්න පුළුවන්නේ සීමිත අර්ථකතනයන් පමණයි.
ස්වභාවික සංසිද්ධීන් ගැන පැවසෙන ඇතැම් වැකි වලට විවිධ අර්ථකතන ලබා දිය හැකි නිසා අල් කුර්ආනය පවසන ස්වභාවික සංසිද්ධිය විවිධ කාල වලදී විවිධ අකාරයෙන් තේරුම් ගන්න පුළුවන්. කෙසේ තේරුම් ගත්තද මෙම වැකියේ අරමුණ ඉෂ්ට වෙනවා. මේ සඳහා උදාහරණ කිහිපයක් අපි සැලකිල්ලට ගමු.
සූර්යගේ චලිතය පිළිබඳව පවසන අල් කුර්ආනය.
රැයත් දවාලත් ඉරත් සඳත් නිර්මාණය කළේ ඔහු ය. සියල්ල ම කක්ෂයෙහි පාවෙති. [අල් කුර්ආනය 21 : 33]
ඉහත කුර්ආණ වැකිය පහළ වූ කාළයේ මිනිසුන් තේරුම් ගෙන ඇත්තේ සූර්යයා පෘථිවිය වටා ගමන් ගන්න බවයි. නමුත් අද තිබෙන දැනුම අනුව සූර්යයාද ක්ෂීරපථය නම් මන්දාකිනිය වටා ගමන් ගන්නා බව අපට තේරුම් ගන්න පුළුවන්. කෙසේ නමුත් අල් කුර්ආන් වැකියට භාෂාමය වශයෙන් ලබා දෙන්න පුළුවන්නේ සීමිත අර්ථකතනයන් පමණයි. කලකදී සූර්යයා නිශ්චලව තිබෙන අතර පෘතුවිය එය වටා ගමන් ගන්නා බව පැරණි විද්වතුන් පිළිගත්තා. නමුත් මෙම මතයට අල් කුර්ආනය විරුද්ධ වන බව මෙම වකියෙන් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එනම් විද්‍යාත්මක ස්ථාවර සියල්ලක්ම නිවැරදි බව අල් කුර්ආනය පිළිගන්නේ නැහැ.
කළලය
පසුව අපි ශුක්‍රාණුව එල්ලී සිටින පිණ්ඩයක්(අලකා) කළෙමු. [අල් කුර්ආනය 23:14]
මෙම වැකියේ අලකා යන වචනයට එල්ලී සිටින පිණ්ඩය,කූඩැල්ලා, රුධිර පිණ්ඩය හෝ පොදුවේ රුධිරය යනාදී අර්ථයන් තිබෙනවා. මෙහි පළමු අර්ථය වන “එල්ලී සිටින පිණ්ඩය” සැලකුවේ නම් මෙම වැකිය අල් කුර්ආනය පහළ කළ කාළයේ තිබු ග්‍රීක විද්‍යාවට එකඟ බව අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් නූතන විද්‍යාත්මක සොයා ගැනීම් අනුව කළලයේ ප්‍රථමික අවධිය අන්වීක්ෂයකින් නිරීක්ෂණය කළේ නම් එහි හැඩරුව කූඩැල්ලෙකුට සමාන බවද එය රුධිර පිණ්ඩයක් ලෙස දිස් වෙන බවද අපට අවබෝධ කර ගන්න පුළුවන්.
ඇතැම් අවස්තාවලදී අල් කුර්ආනයේ ස්වභාවික සංසිද්ධියක් ගැන සාකච්ඡා වන වැකියකට භාෂාමය වශයෙන් ලබා දිය හැක්කේ එක් තේරුමක් පමණි. මෙම වැකියේ සඳහන් ස්වභාවික සංසිද්ධියේ සැබෑ අදහස එක් කාල පරිච්ඡේදයක ජීවත් වන කොට්ඨාශයකට තේරුම් ගත නොහැකි වන්නත් පුළුවන්. මෙවන් වැකි වල අදහස තේරුම් ගැනීමට අනාගතයේ සිදු වන විද්‍යාත්මක දියුණුව උපකාර වෙන්න පුළුවන්.
මුහම්මද් තුමා මෙසේ පවසා තිබෙනවා:
මා දේශනා කළ දේවල් ඇසූ අය එය අන් අයටද ඔවුන් තවත් අයටද දැනුම් දිය යුතුයි. මේ අකාරයෙන් පණිවුඩය ගෙන යෑමේදී අවසානයේ පණිවුඩය ලැබෙන තැනැත්තා මාගේ දේශනය කෙලින් සවන් දුන් පුද්ගලයාට වඩා හොඳින් තේරුම් ගන්නේය. [1]
මෙහිදී ඉස්ලාමීය දේවවේදයට අදාළ කරුණු හොඳින් තේරුම් ගත හැක්කේ මුහම්මද් තුමාගේ කාළයේ ජීවත් වූ ඔහුගේ සහයකන්ට පමණක් බව අප වටහා ගත යුතුයි. නමුත් මුහම්මද් තුමාගේ සහයකයන්ට වඩා අපට තේරුම් ගත හැක්කේ ස්වභාවික සංසිද්ධි හා සම්බන්ධ ඉගැන්වීම් පිළිබඳව පමණයි. මේ සඳහා උදාහරණ කිහිපයක් සලකමු.
සාගර අතර ඇති භාධකය
“සාගර දෙකක් එකිනෙක මුණ ගැසෙන පරිදි ඔහු (අල්ලාහ්) සලස්වා ඇත. එම (සාගර) දෙක අතර එක් බාධකයක් තිබෙන්නේය. එකක් අනෙක ඉක්මවා නොයන්නේය. නුඹගේ දේවිගේ වරප්‍රසාදයන්ගෙන් කවර දෙයෙක් බොරු යයි සලකන්නේහුද ? ඒ (සාගර) දෙකෙන්ම මුතු හා කොරල් ඉකුත් වන්නේය“[අල් කුර්ආනය 55:19-22]
සාගර අතර ඇති භාධකයක් ගැන අල් කුර්ආනයේ ඉහත වැකියේ සඳහන් වෙනවා. මෙය අල් කුර්ආනය අනාවරණය වූ කාලයේදී විස්තරාත්මකව තේරුම් ගැනීමට අපහසු වුනද අද තිබෙන විද්‍යාවට අනුව මෙම වැකිය හොඳින් තේරුම් ගන්න පුළුවන්.
විශ්වයේ ප්‍රසාරණය
ශක්තියෙන් අහස නිර්මාණය කළෙමු. තව ද අපි (එය) ප්‍රසාරණය කරන්නෝ වෙමු. [අල් කුර්ආනය 51:47]
ඉහත කුර්ආන් වැකියේ සඳහන් සංසිද්ධිය අල් කුර්ආනය අනාවරණය වූ කාලයේදී විස්තරාත්මකව තේරුම් ගැනීමට අපහසු වුනද අද තිබෙන විද්‍යාවට අනුව මෙම වැකිය හොඳින් තේරුම් ගන්න පුළුවන්.
ඉහත පැහැදිලිකිරීම් තුළින් අපට තේරුම් ගත හැක්කේ ඇතැම් අවස්තාවලදී අල් කුර්ආනයේ සඳහන් ස්වභාවික සංසිද්ධීන් සවිස්තරාත්මකව තේරුම්ගැනීමටත් අල් කුර්ආනයේ වැකි වලට අර්ථ කිහිපයක් තිබෙන්න පුළුවන් අවස්ථා වලදී මෙම අර්ථ කිහිපයෙන් නිවැරදි අර්ථය කුමක්ද යැයි දැන ගැනීම පිණිසත් විද්‍යාව උපකාර කරගන්න පුළුවන් බවයි. ඇතැම් විට අල් කුර්ආන් වැකියේ අදහස දැනට පිළිගත් විද්‍යාව සමඟ එකඟ නොවන්න පුළුවන්. මෙහිදී විද්‍යාත්මක ස්ථාවරයට එකඟ වන ලෙස අල් කුර්ආන් වැකියට අර්ථකතනයක් ලබා දීමට අරාබි භාෂාවේ ඉඩ තිබෙනවාද යන්න බැලිය යුතුයි. එසේ තිබෙනවා නම් එම වැකියට එම නව අර්ථ කථනය ලාබා දීමේ ගැටළුවක් නැහැ. මෙසේ සිදු කළ හැක්කේ ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව වූ කුර්ආන් වැකි සඳහා පමණයි. එසේ නොමැති අවස්තාවලදී අපට තීරණය කළ හැක්කේ විද්‍යාත්මක ස්ථාවරය වර්ධනය විය යුතු බවයි. නොඑසේ නම් මෙම වැකියෙන් සඳහන් වන්නේ විද්‍යාත්මක මානයෙන් ඔබ්බට තිබෙන දෙයක් විය හැකියි.
ඇතැම් විට විද්‍යාත්මක ගවේෂණ වල පරාසය වැඩි කර ගැනීමට අල් කුර්ආන් වැකි වල තිබෙන විවිධ අර්ථ අපට උපයෝගී කරගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අහස් සත ගැන සඳහන් කුර්ආන් වැකිය අපට සලකන්න පුළුවන්.
අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙක් බවත් අල්ලාහ් සියලූ දේ දැනුමෙන් වටලා ගෙන සිටින බවත් නුඹලා දැන ගනු පිණිස අහස් සත ද පොළොවෙහි එවැන්නක් ද නිර්මාණය කළේ අල්ලාහ්ය. ඒවා අතර අණ පහළ වෙයි. [අල් කුර්ආන් 65:12]
මෙහි අහස් හත යන්න විශ්ව හත ලෙසත් පරිවර්තනය කරන්න පුළුවන්. මෙහිදී විශ්ව හත යනු එකම විශ්වයේ කොටස් හතක් ලෙසත් තේරුම් ගන්න පුළුවන්. මෙම අර්ථකතන විද්‍යාත්මක ගවේෂණ සඳහා උපකාර කර ගන්න පුළුවන්.
මී මැස්සා ගැන පවසන කුර්ආනය
“නුඹ කඳු වල ද ගස් වල ද මින්සුන් තනන දැයෙහි ද මී වද තනා ගනු. පසුව සියලූ පලතුරු වලින් අනුභව කරනු. නුඹේ දෙවියන්ගේ මාවත්හි පහසුවෙන් ගමන් කරනු”යි ඔබේ දෙවියන් මී මැස්සන්ට දැනුම් දුන්නේය. උන්ගේ උදරයන්ගෙන් එකිනෙකට වෙනස් විවිධ වර්ණ වලින් යුත් පානයක් හෙළි වෙයි. එහි මිනිසුන්ට රෝග නිවාරණයක් ඇත. සිතන ජනතාවට මෙහි සාධකයක් ඇත. [අල් කුර්ආනය 16 : 68,69]
මෙහිදී මී මැස්සාට උදර එකකට වැඩි සංඛ්‍යාවක් තිබෙන බවත් මී පැණි නිෂ්පාදනය වන්නේ මී මැස්සාගේ උදරයේ බවත් සඳහන් වන අතර මෙය මුහම්මද් තුමාගේ කාළයට පෙර කිසිවෙක් දැන සිටියේ නැහැ.
ස්වභාවික සංසිද්ධීන් ගැන සාකච්ඡා වන තවත් බොහෝ වැකි අල් කුර්ආනයේ අන්තර්ගත වේ.
මූලාශ්‍රයන්
[1] සහිහ් බුහාරි, පුවත් අංක 5550