ගවේෂණය සඳහා නිර්මාණය වී තිබීම

ප්‍රාථමික ජීවින්ගෙන් වර්ධනය වූ මිනිස් මනසට යම් අගයක් තිබෙනවාද? එය සමස්තයක් ලෙස විශ්වාස කළ හැකිද යන භායනක සැකයක් මා තුළ ඇති වෙනවා. වඳුරෙකුගේ මනසේ තිබෙන අවබෝධය කෙනෙක් විශ්වාස කරාවිද? මෙවන් මනසක මොනයම් හෝ අවබෝධයක් තිබෙනවාද? (But then with me the horrid doubt always arises whether the convictions of man’s mind, which has been developed from the mind of the lower animals, are of any value or at all trustworthy. Would anyone trust in the convictions of a monkey’s mind, if there are any convictions in such a mind?”)[1]

ඉහත උපුටා දක්වා තිබෙන්නේ චාර්ල්ස් ඩාර්වින් විසින් ක්‍රි.ව 1881දි ලියන ලද ලිපියක කොටසක්. ඔහුට ගැටළුවක් වී තිබෙන්නේ මිනිස් මනස විශ්වාස කරන්නේ කෙසේද යන්නයි. මිනිස් මනස බිහි වී තිබෙන්නේ නොදියුණු ජීවීන්ගෙන් නම්, ඒ වගේම මිනිස් මනස ඇති වී තිබෙන්නේ අහඹු භෞථික ක්‍රියාවන් වල ප්‍රතිපලයක් ලෙස නම් අපගේ මනස අපට විශ්වාස කරන්න පුලුවන්ද යන්න ඔහුට තිබූ ගැටලුවයි.

ඇත්තවශයෙන්ම “අපගේ මනස අපට විශ්වාස කරන්න පුලුවන්ද?”, “සත්‍ය සොයා ගැනීම සඳහා අපට තර්ක කරන්න පුලුවන්ද?”, “විශ්වය තේරුම්ගැනීමේ හැකියාව අප ලබා ගත්තේ ඇයි? කෙසේද?” යනාදී ප්‍රශ්න අතීතයේ පටන්ම ශ්‍රේෂ්ට චින්තකයන්ගේ අවධානයට ලක් වී තිබෙන බව නොරහසක්. අපගේ මනස ඇත්තෙන්ම ආශ්චර්යමත්. අනෙකුත් ජීවින්ට වඩා උසස් යැයි පහසුවෙන්ම සැලකිය හැකි මනසක් මිනිසා සතුයි. ඒ වගේම ස්වභාවික වරණය සඳහා අවශ්‍ය සාධක පරදවා දමන්න තරම් ඥානාන්තමක හැකියාවක් මිනිස් මනසට තිබෙනවා.

ස්වභාවික වරණයේදී සැලකෙන්නේ කුමක් සත්‍යද යන්න නොවේ. ස්වභාවික වරණයේදී සැලකෙන්නේ යමක් නොනැසී ඉතිරි වෙනවාද යන්නයි. එනම් සත්‍ය විශ්වාස හා අසත්‍ය විශ්වාස යන දෙකම ප්‍රමාණවත් ලෙස නොනැසී පැවතෙන්න පුළුවන්. මෙම කරුණ තේරුම් ගැනීමට පහත උපමිතිය අපට සලකන්න පුළුවන්.

ජෝන් හා මාර්ක් යන පුද්ගලයින් දෙදෙනාට තම ඇස් දෙක පියාගෙන අධි වේගී මාර්ගයක් හරහා ගමන් කරන ලෙස අණක් ලැබුණා යැයි සිතන්න. ජෝන්ගේ තාර්කික හැකියාව නිවැරදිව ක්‍රියා කරනවා යැයි සිතමු. එනිසා ඔහු වටහා ගන්නවා මෙසේ ගමන් කිරීම ඉතා අනතුරුදායකයි කියලා. එනිසා මෙසේ ගමන් නොකිරීමට ඔහු තීරණය කරනවා. නමුත් මාර්ක්ගේ තර්කන හැකියාව බිඳ වැටී තිබෙනවා යැයි සිතමු. ඔහු විශ්වාස කරනවා අධි වේගී මාර්ගයේ වාහන නොයන බව. කෙසේ නමුත්  ඔහු විශ්වාස කරනවා ඔහුගේ පාද පොළොවට තදින් ඇලී තිබෙනවා කියලා. එනිසා අධි වේගී මාර්ගය හරහා ගමන් නොකිරීමට මාර්ක්ද තීරණය කරනවා. මෙම උපමිතියෙන් පැහැදිලිවම පෙනී යන්නේ විශ්වාසයක් නොනැසී පැවතීමට එය සත්‍ය විය යුතුම නැති බවයි.

ඇත්තෙන්ම ආශ්චර්යමත් වන්නේ අපගේ මනස පමණක් නොවේ. අප සිටන විශ්වයත් ඇත්තෙන්ම ආශ්චර්යමත් දෙයක්.

සෑම දෙයක්ම බිහි වී තිබෙන්නේ අහඹු සිදුවීම් වල ප්‍රතිඵලයක් ලෙස නම් ගණිතමය වශයෙන් ගැලපෙන විශිෂ්ට ධර්මතාවයකින් යුත් විශ්වයක් ඇති වන්නේ කෙසේද? විශ්වයේ තිබෙන මෙම තර්කාන්විත ස්වභාවය හා ඉස්තරම් සැකසුම දිහා බැලූ බොහෝ දෙනා ඉන් වශී වී තිබෙනවා. මේ පිළිබඳව අයින්ස්ටයින් මෙසේ ප්‍රකාශ කරනවා.

විශ්වය පිළිබඳව සිතා ගත නොහැකි දෙයක් වන්නේ එය පිළිබඳව සමස්තයක් ලෙස සිතිය හැකි වීමයි (“What is inconceivable about the universe is that it is at all conceivable.”)[2]

අප ජීවත් වන්නේ ඉස්තරම් ක්‍රමවත් සැකසුමකින් යුත්, විශිෂ්ට ධර්මතාවයකින් යුත් විශ්වයකයි. අක්‍රමවත් භාවයකින් ක්‍රමවත් භාවයක් ඇති වෙන්න බැහැ. අකුරු ලියවී ඇති පුවරු රාශියක් අහසට විසි කර ඉන් අර්ථවත් වාක්‍යයක් බිහි වේ යැයි අපි බලාපොරොත්තු වන්නේ නැහැ. බුද්ධිමත් නොවන දෙයකින් බුද්ධිමත් භාවයක් බිහි වෙන්න පුළුවන්කමකුත් නැහැ, එසේ පිළිගැනීම හාස්‍යජනකයි. මෙසේ පැවසීම ශුන්‍යතත්වයකින් යමක් ඇති වූවා යැයි පැවසීමට සමානයි.

මිනිසා විද්‍යාව නම් විෂයේ විශිෂ්ඨ ප්‍රගතියක් පෙන්නුම් කර තිබෙන බව අපට පැහැදිලිවම පෙනෙන්න තිබෙනවා. නමුත් විද්‍යාවේ මිනිසා අත් කරගෙන සිටින මෙම ප්‍රගතිය සඳහා අත්‍යාවශ්‍ය සාධක දෙකක් ලෙස බුද්ධිමත් මනසක හා තර්කාන්විත ධර්මතාවයකින් යුත් විශ්වයක් අවශ්‍ය වෙනවා. මේ අත්‍යාවශ්‍ය සාධක දෙකෙන් එකක් නොමැති නම් විද්‍යාව යන විෂයක් ගැන අපට කතා කරන්න පුළුවන්කමක් නැහැ. විද්‍යාව පැවැත්මට නම් මෙම අත්‍යාවශ්‍ය සාධක දෙකම පැවතිය යුතු අතර අනුපූරක ලෙස මේ දෙකම එකිනෙකට බැඳී කටයුතු කළ යුතුයි. මේ සංසිද්ධිය අවබෝධ කර ගැනීමට උපමිතියක් ලෙස “අගුල” හා “යතුර” යන වස්තූන් දෙක සලකන්න පුළුවන්. තර්කාන්විත ධර්මතාවයකින් යුත් විශ්වය නම් අගුල ඇරීමට බුද්ධිමත් මනස නම් යතුරට හැකියාවක් තිබෙනවා. අගුල ඇරගැනීමට පුළුවන් වන යතුරක් මෙන්ම එම යතුරෙන් ඇරගත හැකි අගුලක් ඉබේම බිහි වන්නේ නැහැ.

අදේවවාදීන්ට මෙහිදී තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. මෙම විශ්වය තේරුම්ගත හැකි මනසක් අපට ලැබී ඇත්තේ කෙසේද? අගුලකට යතුරක් අහම්බෙන් ගැලපෙන්නේ අහඹු සිදු වීමක් ලෙස නොවේ. අගුලට ගැලපෙන ලෙස යතුරත් යතුරට ගැලපෙන ලෙස අගුලත් නිර්මාණය කර තිබෙන බව අප සියල්ලම පැහැදිලිවම දන්නා කරුණක්. මින් පෙනී යන්නේ විශ්වය මෙන්ම එය තේරුම්ගත හැකි මිනිස් මනසක් නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටින බවයි.

බුද්ධියක්, බුද්ධියක් නොමැති දෙයකින් බිහි වන්න බැරි නම්, ඒ වගේම අහම්බෙන් ඇති වූ නිසා අපට අපගේ මනස විශ්වාස කරන්නද බැරි නම්, අපගේ මනස විශ්වාස කිරීම සඳහාද, බුද්ධියක් බිහි වන්නේ බුද්ධියකින්ම පමණක් යැයි පැවසීම සඳහාද මිනිස් බුද්ධියට තේරුම්ගත හැකි විශ්වයක් හා විශ්වය තේරුම් ගත හැකි මිනිස් බුද්ධියක් සියල්ල දන්නා ඉහළ බුද්ධියක් විසින් බිහි කර ඇති බව තීරණය කරන්න සිදු වෙනවා.

අල් කුර්ආනය කියවීමිදී එහි ලේඛකයා වන අල්ලාහ් තමා සිටින බව තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කරන්නේ කලාතුරකින් බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වෙනුවට සිටින්නේ එකම දෙවි වන අල්ලාහ් පමණක් බවත් නැමැදිය යුත්තේ ඔහුට පමණක් බවත් පවසන කුර්ආන් වැකි අධික ලෙස දැක ගන්න පුළුවන්. මේ සඳහා අල්ලාහ් තම නිර්මාණයන් දෙස අවධානයෙන් බලන ලෙස මිනිසාට අරාධනා කරනවා. මෙම නිර්මාණයන් දෙස බැලීමේදී මේවා නිර්මාණය කළ ඉහළ බුද්ධියක් සිටින බව පහසුවෙන්ම අපට වටහා ගන්න පුළුවන්. ඒවගේම මෙවන් සර්වබලධාරී නිර්මාපකයෙකු වන අල්ලාහ් යනු නැමදීමට සුදුසුකම් ලද්දෙක් බවත් අවසානයේදී අපට තීරණය කරන්න පුළුවන්.

“නියත වශයෙන්ම අහස් හා පොළොව නිර්මාණය කිරීමෙහිද රාත්‍රිය හා දහවල මාරු වීමෙහිද තේරුම්ගන්නා ජනයාට සාක්ෂි තිබෙන්නේය” [3] යැයි අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරනවා. මෙම වැකියෙන් අපූරු නිගමනයකට එළඹෙන්නට අපට පුළුවන්.

අල්ලාහ් අපට බුද්ධිමත් මනසක් හා ධර්මතාවයකින් යුත් විශ්වයක් ලබා දී තිබෙනවා. එනිසා මෙම නිර්මාණය ගවේෂණය කර එහි ඇති ධර්මතාවය තේරුම් ගැනීමෙන් එවන් ධර්මතාවයක් ඇති කළ ඉහළ බුද්ධියක් සිටින බව තීරණය කරන්න පුළුවන්. ඉන්පසු අපගේ දිවියේ අරමුණ වන අපව නිර්මාණය කර අපට සියල්ල ලබා දුන් අල්ලාහ්ට නමස්කාර කිරීම සම්පූර්ණ කරන්න පුළුවන්. ඇත්තවශයෙන්ම අපව නිර්මාණය කර අපට සියල්ල ලබා දුන් කෙනාට නමස්කාර කිරීම ඉතා යෝග්‍ය කටයුත්තක් බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

[1] Darwin, C. R. to Graham, William. 3 July 1881.
[2] Santillana, Giorgio de and Hertha von Dechend. Hamlet’s Mill: an Essay on Myth and the Frame of Time. Boston: Godine, 1977.
[3] The Qur’an, Chapter 3, Verse 190

Share Button