මැවුම්කරුවා එක්කෙනෙකු බව අප දැන ගන්නේ කෙසේද? දේවවේදීය හා දාර්ශනික දෘෂ්ටිකෝණයෙන්

මැවුම්වාදය ගැන මුස්ලිම්වරුන් තර්කානුකූලව කරුණු ඉදිරිපත් කිරීමේදී මැවුම්වාදය නොපිළිගන්නන් විසින් එක්තරා විශේෂ ප්‍රශ්නයක් අසනවා. එනම්, “මැවුම්කරුවෙකු සිටිනවා නම් ඔහු එක්කෙනෙකු බව පිළිගැනීමට හේතු මොනවාද ?”. මෙයයි ඒ ප්‍රශ්නය.

කෙසේවෙතත් මෙම ප්‍රශ්නය මැවුම්වාදය ප්‍රතික්ෂේප කිරීමට භාවිත කළ නොහැකි බව බුද්ධිමත්ව සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මැවුම්වාදයේ තර්කානුකූලභාවය වෙනත් කෝණයකින් ඉහත සඳහන් ප්‍රශ්නයට ස්වාධීනව සනාථ කළ හැකි වීමයි මෙයට ප්‍රධාන හේතුවයි. මැවුම්වාදය තුලින් මෙම විශ්වය නිර්මාණය වුන ලද්දක් යැයි සරලවම සනාථ වෙන නිසා මැවුම්වාදය පිළිගැනීමට ඒක දේවවාදය හෝ බහුදේවවාදය කිසිම බලපෑමක් සිදු කරන්නේ නැහැ. මැවුම්වාදය කෙනෙක් පිළිගන්නේ නැතිනම් “නිවැරදි වන්නේ ඒක දේවවාදයද? බහුදේවවාදයද?” යන ප්‍රශ්නය ගැන පවා සිතීම තර්කානුකූල නැහැ.

එනිසා මැවුම්වාදය තාර්කිකව පිළිගැනීමෙන් අනතුරුව දැන් අප කරුණු සාකච්ඡා කළ යුත්තේ ඒක දේව වාදය හා බහු දේව වාදය අතරින් නිවැරදි, තර්කානුකූල වන්නේ කුමක්ද යන්නයි.

ඉස්ලාමීය දේවවේදයේ ඒකීයත්වය(තව්හීද්) මූලික කරුණක්ව තිබෙන නිසා මෙම ප්‍රශ්නය ඇත්තෙන්ම ඉතාවැදගත් බව මුලින්ම අප තේරුම්ගත යුතුයි. මැවුම්කරුවාගේ ඒකීයත්වය යන සංකල්පය අල් කුරානයේ මෙන්ම මෙලොව පහළ වූ සියලුම දිවැසිවරුන්ගේ (දේව පණිවුඩකරුවන්ගේ) ඉගැන්වීම් වල තිබෙන මූලිකම ඉගැන්වීමයි.

අල්ලාහ් තම කුරානයේ මෙලෙස ප්‍රකාශ කරනවා.

“පවසනු! ඔහු, අල්ලාහ්, එක්කෙනෙක්ය. අල්ලාහ්ට (කිසිවකුගේ) අවශ්‍යතාවයක් නැත. ඔහු කිසිවෙකු වැදුවේද නැත. ඔහු කිසිවෙකුට දාව ඉපදුනේද නැත. ඔහුට සමාන කිසිම කෙනෙකු නැත [අල් කුරානය පරිච්ඡේදය අල් ඉහ්ලාස්(112):1-4]

මෙහිදී අල්ලාහ් යනු විශ්වයේ මැවුම්කරු හැඳින්වීම සඳහා කුරානයේ භාවිතා වී ඇති නාමයයි.

මෙනිසා මුස්ලිම්වරයෙකු විශ්වයේ මැවුම්කරුවා එක්කෙනෙකු බව විශ්වාස කරනවා. කෙසේ නමුත් මෙම විශ්වාසය තර්කානුකූලද යන ප්‍රශ්නය ඔබතුළ ඇතිවෙන්න පුළුවන්. එනිසා මැවුම්කරුවා එක්කෙනෙකු බව වටහා ගැනීමට පහත සඳහන් තර්ක දිහා අවධානය යොමු කරමු.

  1. කුරානය මත පදනම් වූ විශ්වාසය.
  2. ඔකම් රේzසර් (Occam’s Razor) මූලධර්මයට අනුව මැවුම්කරුවාගේ ඒකීයභාවය.
  3. තර්කානුකූල හා දාර්ශනික නිගමනය.

දැන් මෙම තර්ක එකිනෙක ගෙන සාකච්ඡා කරමු.

1. කුරානය මත පදනම් වූ විශ්වාසය.

මැවුම්කරුවා එක්කෙනෙකු යැයි පැවසීමට ඉතාමත් පහසුම ඒ වගේම තර්කානුකූල ක්‍රමයක් ලෙස කුරානය මත පදනම් වූ මැවුම්කරුවා එක්කෙනෙක් යන විශ්වාසය හඳුන්වන්න පුළුවන්.

මෙම තර්කය පහත අකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.

  • (අ) කුරානය මිනිස් නිර්මාණයක් විය නොහැකි අතර එය යම් බාහිර, ඉහල බුද්ධියක් විසින් මුහම්මද් (සල්) නබි තුමාට අනාවරණය කළ ලද්දක්.
  • (ආ) එම අනාවරණයේ විශ්වය නිර්මාණය කරන ලද්දක් බව ප්‍රකාශ වන අතර විශ්වයේ විවිධ දේවල් පිළිබඳවත් කරුණු සඳහන් වී තිබීම.
  • (ඇ) සිටින්නේ එක් අති බලසම්පන්න මැවුම්කරුවෙකු බවත් විශ්වය නිර්මාණය කළේ එම මැවුම්කරුවා බවත් කුරානයේ සඳහන්වී තිබීම
  • (ඈ) එනිසා සිටින්නේ එක් අති බලසම්පන්න මැවුම්කරුවෙකු පමණක් වන අතර විශ්වය නිර්මාණය කළේද මේ මැවුම්කරුවායි.

මෙම තර්කය දිහා බලන, දර්ශනයවේදය නොදන්නා ඇතැම් අය, “මේ තර්ක කිරීම හොරාගේ අම්මගෙන් පේන බලනවා වගේ” යැයි පවසන්න පුළුවන්. නමුත් දාර්ශනිකව කෙනෙක් මෙම කරුණු දිහා බලන්නේ නම් මෙම තර්කයේ වලංගුභාවය පහසුවෙන්ම අවබෝධකරගන්න පුළුවන්. මෙහිදී වැදගත්ම තර්කය වනුයේ (අ) නම් තර්කයයි. එනම්, “කුරානය මිනිස් නිර්මාණයක් විය නොහැකි අතර එය යම් බාහිර, ඉහල බුද්ධියක් විසින් මුහම්මද් (සල්) නබි තුමාට අනාවරණය කළ ලද්දක්” යන තර්කයයි. පරම සත්‍යයක් ලෙස පවතින මෙම තර්කය දැන ගැනීමට විශ්මිත කුර්ආනය නම් අංශයේ ඉදිරිපත් කර ඇති ලිපි කියවන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.

මෙම දාර්ශනික තර්ක කිරීමේදී (අ), (ආ), (ඇ) නම් තර්ක වලට අනුව (ඈ) නම් නිගමනය ඉදිරිපත් වී ඇති බව ඔබට වටහා ගන්න පුළුවන්. මෙහිදී කෙනෙක් නිගමන වැරදියි යැයි පැවසීමට නිගමන පදනම් වී ඇති (අ), (ආ), (ඇ) යන කරුණු වල සත්‍යතාවය බිඳ දැමිය යුතුයි. එසේ නොකරන්නේ නම් “සිටින්නේ එක් අති බලසම්පන්න මැවුම්කරුවෙකු පමණක් වන අතර විශ්වය නිර්මාණය කළේද මේ මැවුම්කරුවායි” නම් නිගමනය වලංගු නිගමනයක් බව දර්ශනවාදය දන්න කිසිවෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

දැන් ඊළඟ කරුණ දිහා අවධානය යොමු කරමු.

2. ඔකම් රේzසර් (Occam’s Razor) මූලධර්මයට අනුව මැවුම්කරුවාගේ ඒකීයභාවය.

පළමුව මැවුම්වාදයේ දාර්ශනික පදනම දිහා අවධානය යොමු කරමු.

  • (අ) ඕනෑම දෙයක් ඉබේම බිහිවිය නොහැකියි. සිතන්න! ඔබ ඉදිරියේ එක පාරටම අලියෙක් ඉබේ බිහිවිය හැකිද ?
  • (ආ) ආරම්භයක් ඇති ඕනෑම දෙයකට එම ආරම්භයට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතුමය. ඔබගේ ජංගම දුරකථනය දිහා බලන්න! යම් කලකට පෙර එවන් දෙයක් මෙම ලෝකයේ තිබුනේ නැහැ . එයට ආරම්භයක් තිබෙන බව ඔබ දන්නවා නේද ? මෙය ඉබේම ඇතිවිය නොහැකි බව පැහැදිලියි නම් ජංගම දුරකථනයේ ආරම්භයට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතු බව ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන්.
  • (ඇ) විශ්වයට ආරම්භයක් තිබෙනවා. මහා පිපුරුම් න්‍යාය මෙය විද්‍යාත්මකව සනාථ කරනවා
  • (ඈ) එසේ නම් විශ්වයේ ආරම්භයට හේතු වූ හෙතුකාරකයක් තිබිය යුතුමයි.
  • (ඉ) මෙම විශ්වයේ ආරම්භයට හේතු වූ හේතුකාරකය හැඳින්වීමට මැවුම්කරුවා යන නම භාවිතා කළ හැකියි.
  • (ඊ) එනිසා, මෙම විශ්වය නිර්මාණය කළ මැවුම්කරුවෙකු සිටිනවා.

මෙහිදී විශ්වය එකකට වඩා වැඩි ප්‍රමාණයක් මැවුම්කරුවන් නිර්මාණය කළ බව කෙනෙකුට පවසන්න පුළුවන්. නමුත් ඔකම් රේzසර් (Occam’s Razor) මූලධර්මයට අනුව බැලීමේදී මෙය (එකකට වඩා මැවුම්කරුවන් ප්‍රමාණයක් සිටිනවා යැයි පැවසීම) ප්‍රබල තර්කයක් ලෙස සලකන්න බැහැ. ඔකම් රේzසර් (Occam’s Razor) යනු 14 වැනි සියවසේ විසු තර්කවිද්‍යාවේ විශාරදයෙකු මෙන්ම ප්‍රැන්සිස්කානු පූජකවරයෙක් වන ඔකම්ගේ විලියම් (William of Ockham) ගේ නම හිමි කරගන්නා දාර්ශනික මූලධර්මයකි[1]. මෙම දාර්ශනික මූලධර්මය සරලව “Pluralitas non est ponenda sine necessitate”, (Plurality should not be posited without necessity) යැයි පවසනු ලබනවා. සිංහලෙන් කියනවා නම්,“අවශ්‍යතාවයක් නොමැතිව බහුවිධතාව කිසිමවිටක ඉදිරිපත් කළ නොහැකියි”.

වෙනත් විදිහකින් කියනවා නම් සරල හා විස්තීර්ණ විවරණය සැමවිටම විශිෂ්ටම විවරණයයි එනම් බහුවිධතාවයක අවශ්‍යතාවක් නොමැතිනම් හෝ බහුවිධතාවයක අවශ්‍යතාවය සඳහා කිසිම සාක්ෂියක් නොමැතිනම් සරල හා විස්තීර්ණ විවරණය සැමවිටම තෝරාගත යුතු බව මෙම ඔකම් රේzසර්, දාර්ශනික මූලධර්මය පවසනවා.

මේ අනුව බැලීමේදී විශ්වයේ ආරම්භයට හේතුන් දෙකක්, තුනක් හෝ දහසක් තිබිය යුතුයි යැයි පැවසීමට කිසිම සාක්ෂියක් නැහැ. එනිසා සරල හා විස්තීර්ණ විවරණය වන්නේ විශ්වයේ ආරම්භයට එක් හේතුවක් තිබිය යුතුයි යන දාර්ශනික නිගමනයයි.

හේතුන්ගේ බහුත්වයක් තිබිය යුතුයි යන මතය ඇත්තෙන්ම විස්තීර්ණ පැහැදිලි කිරීමක් නොවේ. එනම් විශ්වයේ ආරම්භයට හේතුන් එකකට වඩා තිබිය යුතුයි යැයි පැවසීම එම පිළිතුරේ ඇති විවරණ හැකියාව වර්ධනය කරන්නේ නැහැ. උදාහරණයකට, විශ්වයේ ආරම්භයට අති ප්‍රබල හේතු කිහිපයක් තිබිය යුතුයි යන ප්‍රකාශයට වඩා විශ්වයේ ආරම්භයට එක් අති ප්‍රබල හේතුවක් තිබිය යුතුයි හෝ හැකියි යැයි පැවසීම සරලයි, ඒ වගේම එය විස්තීර්ණ ප්‍රකාශයක් (එනම් විවිධ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ හැකියාව වැඩියි). මෙයට හේතුව අති බලසම්පන්න නිසාම එවන් එක් අති බලසම්පන්න එක් හේතුවක් (මැවුම්කරුවෙක්) විශ්වයේ නිර්මාණය සඳහා තිබීම ප්‍රමාණවත් වීමයි.

මෙම තර්කයට කෙනෙක් පහත අකාරයෙන් ප්‍රතිවාදයක් ඉදිරිපත් කරන්න පුළුවන්.

එනම්, “ඔකම් රේzසර් දාර්ශනික මූලධර්මය ඊජිප්තුවේ තිබෙන පිරමීඩයේ ආරම්භය සඳහා යෙදුවේ නම් එක් මිනිසෙක් පිරමීඩය නිර්මාණය කළ බව පැවසෙනවා නේද?” යැයි කෙනෙක් අහන්න පුළුවන්. කෙසේ නමුත් මෙලෙස ප්‍රශ්න කිරීමට හේතුව ඔකම් රේzසර් දාර්ශනික මූලධර්මය වැරදි ආකාරයෙන් තේරුම් ගැනීම හෝ වැරදි ආකාරයෙන් භාවිතා කිරීමයි. පිරමීඩය එක් මිනිසෙක් නිර්මාණය කළා යන මතය ඇත්තෙන්ම සරලතම හා විස්තීර්ණ විවරණයක්(පැහැදිලිකිරීමක්) නොවේ. මෙම මතය ප්‍රශ්නයකට පිළිතුරක් සපයනවා වෙනුවට තවත් ප්‍රශ්න රාශියක් ඇති කරනවා. උදාහරණයකට එක් මිනිසෙක් විශාල පිරමීඩයක් නිර්මාණය කරන්නේ කෙසේද? යන ප්‍රශ්නය ඇති වෙනවා. නමුත් පිරමීඩය මිනිසුන් රාශියක් විසින් නිර්මාණය වී තිබෙනවා යැයි පැවසීම කලින් පැවසු මතයට වඩා විස්තීර්ණයි (එනම් පුළුල් පැහැදිලි කිරීමේ පරාසයක් මෙම දෙවන මතයට තිබෙනවා).

දැන්, විශ්වය විශිෂ්ට අන්දමින් නිර්මාණය වී තිබෙන නිසාත් එහි ක්‍රියාකාරීත්වය හා ව්‍යුහය සංකීර්ණ නිසාත් විශ්වය එක් මැවුම්කරුවෙකු නිර්මාණය කළා යැයි පැවසීම පිරමීඩය එක් මිනිසෙක් නිර්මාණය කළා යන මතය මෙන්ම විස්තීර්ණ පැහැදිලි කිරීමක් නොවන බව කෙනෙක් පවසන්න පුළුවන්. මෙලෙස පැවසීමත් ඇත්තෙන්ම ඔකම් රේzසර් දාර්ශනික මූලධර්මය වැරදි අකාරයෙන් තේරුම් ගැනීමක්. එයට හේතුව විශ්වය එක් අති බලසම්පන්න මැවුම්කරුවෙකු නිර්මාණය කළා යැයි පැවසීම අති බලසම්පන්න මැවුම්කරුවන් කිහිපදෙනක් (හෝ හේතු කිහිපයක්) විසින් නිර්මාණය කළා යැයි පවසනවාට වඩා සරලයි ඒ වගේම බහුත්වයට වඩා විස්තීර්ණ විවරණයක් මැවුම්කරුවාගේ ඒකීයභාවය තුල තිබෙනවා.

දැන් යම් විවේචකයෙක් පිරමීඩය පවා එක් අති ප්‍රබල පුද්ගලයෙක් විසින් නිර්මාණය වී තිබිය හැකියි නේද යන අවසාන ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන්. කෙසේ නමුත් මෙවන් නිර්මාණයක් කළ හැකි අති බලසම්පන්න කිසිම පුද්ගලයෙක් මේ විශ්වය තුල නැති අතර පිරමීඩය ඇත්තෙන්ම මිනිසුන්රාශියකගේ නිර්මාණයක් බවට බාහිර සාක්ෂි තිබෙන නිසා මෙම ප්‍රතිවාදයත් බිඳ වැටෙනවා.

කෙටියෙන් පවසනවා නම් “විශ්වයේ නිර්මාණය කළේ එක් අති බලසම්පන්න මැවුම්කරුවෙකු” යැයි පැවසීම “විශ්වය නිර්මාණය කළේ අති බලසම්පන්න මැවුම්කරුවන් කිහිපදෙනෙකු විසින්ය” යැයි පවසනවාට වඩා සරල හා විස්තීර්ණ පැහැදිලිකිරීමක් බව ඔකම් රේzසර් දාර්ශනික මූලධර්මය තුලින් අපට අවබෝධ කරගන්න පුළුවන්. මෙනිසා විශ්වය නිර්මාණය(ආරම්භයක් ඇති බව) වුන ලද්දක් බව අප දන්නේ නම් එම ආරම්භයට හේතු වූ හේතුකාරකය(මැවුම්කරුවා) එකක් විය යුතු බව අපට දැන් පහසුවෙන් තේරුම්ගන්න පුළුවන්.

3. තර්කානුකූල හා දාර්ශනික නිගමනය.

මැවුම්කරුවන් එක් කෙනෙකුට වඩා වැඩි ප්‍රමාණයක් මෙම විශ්වය නිර්මාණය කළේ නම් විශ්වයේ අද පවතින සුසරකිරීමක් දැක ගත නොහැකි අතර එහි ව්‍යාකූලත්වයක් තිබිය යුතු බව තාර්කිකව බැලීමේදී අපට වටහා ගන්න පුළුවන්.

කෙසේනමුත් කාරයක් නිර්මාණය කිරීමේදී එක්කෙනෙකුට වඩා වැඩි දෙනෙක් අවශ්‍ය වෙනවා. එක පුද්ගලයෙක් කාරයේ රෝද සවිකරනවා. තවත් කෙනෙක් කාරයේ එන්ජිම සවිකරනවා. තවත් කෙනෙක් කාරයට අදාල විද්‍යුත් පද්ධතිය සවිකරනවා. මෙම උදාහරණය බැලීමේදී එක්කෙනෙකුට වඩා වැඩි දෙනෙක් එකතු වී නිර්මාණය කළත් ව්‍යාකූලත්වයක් නොමැති අන්දමින් කාරය නිපදවා ගත හැකි බව කෙනෙක් පවසන්න පුළුවන්.

මේලෙස බැලීමේදී විශ්වය නිර්මාණය කිරීමටද එක්කෙනෙකුට වඩා මැවුම්කරුවන් ප්‍රමාණයක් සිටිය හැකියි යන අදහස මතුපිටින් පිළිබිඹුවන නමුත් අති බලසම්පන්න, අසීමිත අභිමතයක් ඇති මැවුම්කරුවන් එක්කෙනෙකුට වඩා සිටිය යුතුයි යන මතය කිසිසේත්ම ඉදිරිපත් වන්නේ නැහැ. මෙයට හේතුව මැවුම්කරුවා අති බලසම්පන්න නම්, ඔහුට අසීමිත අභිමතයක් තිබෙන්නේ නම් තම නිර්මාණයක් සඳහා තවත් මැවුම්කරුවෙකු අවශ්‍ය නොවීමයි. එනිසා මෙම වෙනස හඳුනාගැනීමට දෙවි(God) යන නාමය මෙම අති බලසම්පන්න හා අසීමිත අභිමතයක් ඇති මැවුම්කරුවා හැඳින්වීමට මෙතැන් සිට භාවිතා කරන්නෙමු.

සාමාන්‍යයෙන් දෙවිවරු දෙදෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින්නේ නම් ඔවුන්ගේ අභිමතයන් වල තරඟයක් නිර්මාණය වෙනවා. එනිසා එම අභිමතයන් ක්‍රියාවට නැංවීම අවසන් වන්නේ ව්‍යකූලත්වයකින් හා අපිලිවෙලකින් බව බුද්ධිමත්ව සිතන කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්.

කෙසේනමුත් තම තමන්ට වෙන්වූ ක්‍රියාවන් මෙම දෙවිවරුට තිබිය හැකියි නේද? යැයි කෙනෙක් අසන්න පුළුවන්. මෙහිදී දෙවියකුගේ අභිමතය එක් සීමාවකට ලක්වනවා. එනම් දෙවි යන වචනයේ අර්ථ දැක්වීමට අනුව ඔහු තවදුරටත් දෙවියෙකු යැයි පවසන්න බැහැ.

මෙම තර්කය ඉබ්නු අබී අල් ඉzස් නම් විද්වතා, “අකීදා අත් තහාවියා” (තහාවී නම් විද්වතා විසින් රචිත ඉස්ලාමීය මූලධර්මයන් විස්තර කරන පොතක්) නම් පොත සඳහා ලියු විවරණයේ පහත අකාරයෙන් පැහැදිලි කර තිබෙනවා.

“ඉදිරිපත් කරන තර්ක අතුරෙන් සාමාන්‍ය තර්කය වන්නේ නිෂේධය නම් තර්කයයි. මෙම තර්කය මෙලෙස පැහැදිලි කළ හැකියි.
මැවුම්කරුවන් දෙදෙනෙකු සිටින්නේ නම් හා ඔවුන් යම් දෙයක් පිළිබඳව එකඟතාවයක් නොදක්වන්නේ නම්, (උදාහරණයක් ලෙස එක් මැවුම්කරුවෙකුට x නම් වස්තුව චලනය කිරීමට අවශ්‍ය වන අතර අනිත් මැවුම්කරුවාට මෙම x නමැති වස්තුව චලන නොවී තිබීමට අවශ්‍ය වනවානම්, එක් මැවුම්කරුවෙකුට y නම් ජීවියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය වන අතර අනිත් මැවුම්කරුවාට එම y නමැති දෙය අජීවී වස්තුවක් ලෙස නිර්මාණය කිරීමට අවශ්‍ය වන්නේ නම්) තර්කානුකූලව බැලීමේදී අවස්ථා 3ක් තිබීමට පුළුවන.

  1. දෙදෙනාගේම අභිමතයන් ක්‍රියාවට නැංවීම.
  2. දෙදෙනාගෙන් එක්කෙනෙකුගේ අභිමතය ක්‍රියාවට නැංවීම.
  3. දෙදෙනාගෙන් කිසිම කෙනෙකුගේ අභිමතයන් ක්‍රියාවට නොනැංවීම

එකිනෙකට පරස්පර ක්‍රියාවන් දෙකක් එකවර පැවතිය නොහැකි නිසා ඉහත අවස්ථා අතුරෙන් පළමු අවස්ථාව සිදුවිය නොහැකි බව සරලවම තේරුම් ගන්න පුළුවන්. තුන්වන අවස්ථාව සැලකීමේදී දෙදෙනාගේම අභිමතයන් ක්‍රියාවට නැංවීමට නොහැකි වන නිසා දෙදෙනාම දෙවි යන ස්ථානය අහිමි කරගන්නවා. එනම් මෙහිදී දෙදෙනාවම දෙවි ලෙස සලකන්න බැහැ. ඉහත අවස්ථා අතුරෙන් දෙවන අවස්ථාව සැලකීමේදී තම අභිමතය ක්‍රියාවට නැංවිය හැකි වන්නා දෙවි වීමට සුදුස්සෙක් වන අතර තම අභිමතය ක්‍රියාවට නැංවීමට නොහැකි වන්නා දෙවි යැයි අපට සැලකිය නොහැකියි. “

දැන්, දෙවිවරු දෙදෙනාම එකම අභිමතයක් පවත්වාගෙන යා හැකි නේද යන අවසාන ප්‍රශ්නය කෙනෙක් අසන්න පුළුවන්. නමුත් සෑම විටම ව්‍යකූලත්වයකින් තොරව අභිමතයන් එකම වන්නේ නම්, ඔවුන්දෙදෙනා ඇත්තෙන්ම දෙදෙනෙක් නොව එක්කෙනෙක් බව බුද්ධිමත් කෙනෙකුට තේරුම්ගන්න පුළුවන්. එනම් එකම අභිමතයක් වැරදි ලෙස දෙදෙනෙකු ලෙස දැක්වීම නිසා දෙවිවරු දෙදෙනාම එකම අභිමතයක් පවත්වාගෙන යා හැකි නේද? යන වැරදි ප්‍රශ්නය නිර්මාණය වී තිබෙනවා.

මේ අනුව පහත ආකාරයක තර්කානුකූල නිගමනයකට අපට එළඹෙන්න පුළුවන්.

  1. අප ජීවත්වන විශ්වයට ආරම්භයක් ඇති නිසා එය නිර්මාණය වුන ලද්දක්
  2. නිර්මාණයේ ව්‍යාකූලත්වයක් නොමැති නිසා එය නිර්මාණය කරන ලද්දේ එක් ඇති බලසම්පන්න, අසීමිත අභිමතයක් ඇති මැවුම්කරුවෙක්

ඉහත අන්දමින් අප කරුණු ඉදිරිපත් කරනවිට ඇතැම් අය පොදුවේ ඉදිරිපත් කරන එක්තරා ප්‍රශ්නයකට දැන් අපි අවධානය යොමු කරමු.

විශ්වය නිර්මාණය කළ මැවුම්කරුවෙක් සිටිනවා යැයි පවසන්නේ ඉස්ලාම් දහම පමණක් නොවෙයි. යුදෙව්,ක්‍රිස්තියානි හින්දු යන දහම් පවා විශ්වය නිර්මාණය කළ මැවුම්කරුවෙක් සිටිනවා යැයි පවසනවා. එනිසා විශ්වය නිර්මාණය කළේ කුමන මැවුම්කරුවාද? අල්ලාහ්ද ?, යෙහෝවාද? , ඊශ්වරද ? යැයි කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. කෙසේනමුත් මෙය ඇත්තෙන්ම බොළඳ තර්කයක්.

මෙම තර්කය තුලින් මැවුම්කරුවෙකු නැත යන්න හෝ එක්කෙනෙකුට වඩා වැඩි මැවුම්කරුවන් සිටිනවා යන්න හෝ සනාථ වන්නේ නැහැ. මෙහිදී විශ්වය නිර්මාණය කළ එකම මැවුම්කරුවා හැඳින්වීමට විවධ නම් භාවිතා වී තිබෙනවා මිස ඔවුන් එකිනෙකට වෙනස් දෙවිවරු හෝ මැවුම්කරුවන් නොවේ. උදාහරයක් වශයෙන් විශ්වයේ මැවුම්කරුවා හැඳින්වීමට නම් 99 ක් මුස්ලිම්වරුන් භාවිතා කරනවා. නමුත් මෙමඟින් ඔවුන් මැවුම්කරුවන් 99ක් සිටිනවා යැයි අදහස් කරන්නේ නැහැ.

සාරාංශය

විශ්වය නිර්මාණය කළ මැවුම්කරුවාගේ ඒකීයභාවය සනාථ කිරීමට ඉදිරිපත් කළ හැකි තර්ක හා දර්ශනවාදී නිගමනයන් කිහිපයක් ඉහත අප සඳහන් කර තිබෙනවා. මීට අමතරව තවත් තර්ක කිහිපයක්ම තිබෙනවා. ඒවා මෙම ලිපියේ සඳහන් වෙලා නැහැ. කෙසේනමුත් මෙම ලිපියේ ඉදිරිපත් කර ඇති කරුණු දිහා කෙනෙක් ඉවසිල්ලෙන් හා අවධානයෙන් බලන්නේ නම් එම කරුණුවලින් සනාථ වන අදහස (මැවුම්කරුවාගේ ඒකීයභාවය) ඔහුට වටහා ගත හැකි වන බව අපගේ විශ්වාසයයි.
මූලාශ්‍රයන්.
[1] Ockham’s razor, http://www.britannica.com/EBchecked/topic/424706/Ockhams-razor.
* Hamza Andreas Tzortzis, How Do We Know God is One? A Philosophical & Theological Perspective, http://www.hamzatzortzis.com/essays-articles/philosophy-theology/how-do-we-know-god-is-one-a-philosophical-theological-perspective/

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *