භෞතිකවාදී ලෝකදෘෂ්ටිය පිළිබඳ විචාරය

මෙම විශ්වය තුළ ජීවත් වන මිනිසා අන් සත්වයින්ගෙන් වෙනස් වන්නේ ඔහු තුළ තිබෙන විචාරශීලී බුද්ධිය නිසා ය. මෙම විචාරශීලී බුද්ධිය උපයෝගීකර ගනිමින් විශ්වයේ පවතින සියලු දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට මිනිසා උත්සහ කරයි. කෙසේනමුත් මෙම අවබෝධය කෙනෙකු දරන ලෝක දෘෂ්ටිය මත වෙනස් වේ. ලෝක දෘෂ්ටියක් යනු ලෝකය අවබෝධ කරගැනීම පිණිස පදනමක් ලෙස උපයෝගී කරගන්නා මතවාදයක් ලෙස අර්ථ දැක්විය හැකිය. විශ්වය පිළිබඳ අවබෝධය කෙබඳු අකාරයෙන් විය යුතුද යන්න ලෝක දෘෂ්ටිය පාලනය කරයි. එබැවින් පළමුව අප කළ යුත්තේ ලෝක දෘෂ්ටියක් වේදිකාවක් කර ගනිමින් විශ්වය දෙස බලනවා වෙනුවට තමා දරන ලෝක දෘෂ්ටිය පිළිබඳව විචාරාත්මකව බැලීමයි.

භෞතිකවාදය දර්ශනයක් ලෙස වර්ධනය වී ඇත්තේ 19 වන සියවසේ දෙවන භාගයේදීය. නමුත් භෞතිකවාදය යනු ඈත අතීතයේ පටන් අද දක්වා පවතින ප්‍රචලිත ලෝක දෘෂ්ටියකි. පවතින්නේ භෞතික පදාර්ථයන් පමණක් බවත් පදාර්ථයන් හැර කිසිවක් නොපවතින බවත් පිළිගැනීම භෞථිවාදය සඳහා වූ සම්ප්‍රදායික නිර්වචනයයි.  එනම් පවතින සියල්ලේම මූලික ඒකකය  පදාර්ථ වේ. එනිසා අද පවතින දේවල් පදාර්ථයන්ගේ විවිධ වින්‍යාසයන් පමණි. මෙවන් වින්‍යාස ලැබී ඇත්තේ අහඹු ලෙස සිදු වූ භෞතික යාන්ත්‍රණ වල ප්‍රතිපල වශයෙනි. ඒ අනුව විශ්වයේ සම්භවයෙන් පසුව අද පවතින මන්දාකිණි, සෞරග්‍රහ මණ්ඩල, ග්‍රහලෝක වැනි දෑ ඇති වී තිබෙන්නේද, පෘථිවියේ සම්භවය වී ඇත්තේද, ජීවය සම්භවය වී ඇත්තේද, ජෛව පරිනාමය තුළින් අද සිටින මිනිසා ඇතුළු අනෙකුත් සතුන් හටගෙන තිබෙන්නේද අහඹු භෞතික යාන්ත්‍රණයක ප්‍රතිපලයක් වශයෙනි. භෞතිකවාදය තුළ මේ සියලු කාරණා අඩංගු වේ. මෙම ලෝක දෘෂ්ටිය අනිවාර්යයෙන් පිළිගත යුතුමද?

භෞතිකවාදය යතාර්ථවාදය (realism) මත රඳා පවතියි. යතාර්ථවාදය යනු  නිරීකෂකයාට ස්වායක්තව වස්තූන් පවතිනවා යන දෘෂ්ටියයි. භෞතිකවාදය යනු එම පවතින වස්තූන් පිළිබඳ කෙරෙන විග්‍රහයයි. යතාර්ථවාදය සත්‍යයක්ද? අප මේ දැන් අත්දකිනේ යම් දිගු සිහිනයක් විය නොහැකිද? පරිගණක ක්‍රීඩාවක් මෙන් වූ ඉතා දියුණු අතථ්‍ය යථාර්ථයක් (Virtual Reality) විය නොහැකිද? අප සිටින්නේ මැට්‍රික්ස් (Matrix) එකක් තුළ විය නොහැකිද? රෙනේ දෙකාර්තිස් නමැති දාර්ශනිකයා පැවසු පරිදි අප මේ අත්දකින්නේ පරිගණකයකින් ජනිත ලොවක් (Brain in the vat) විය නොහැකිද? එසේ නොවන බව පැවසීමට අප අත්දකින ලොව තුළින් අනුභූති වශයෙන් ඉදිරිපත් කළ හැකි සාක්ෂි නොමැත. එබැවින් අප අත්දකින්නේ සැබෑලොවක් යයි කෙනෙක් පවසනවා නම් එම මතය සාක්ෂිවලින් තොර වූ පූර්ව විශ්වාසයක් පමණි. එනම් යතාර්තවාදය පූර්ව විශ්වාසයක් පමණි. එබැවින් යතාර්තවාදය මත පදනම් භෞතිකවාදයද පූර්වවිශ්වාසයක් පමණි. මෙවන් පූර්වවිශ්වාසයක් මත විශ්වය දෙස බැලීමේ වැරැද්දක් නොමැත. කෙසේනමුත් විශ්වය අවබෝධ කරගැනීමට ඇති එකම ලෝක දෘෂ්ටිය භෞතිකවාද බව පැවසීමට පදනමක් නොමැත. ඉහත පැහැදිලි වූ කාරණා වලට අනුව අප අත්දකින ලොවට පරිබාහිර ලොවක් තිබීමේ විය හැකි බවක් පවතින නිසා විශ්වය අවබෝධය සඳහා දේවවාදය ලෝක දෘෂ්ටියක් ලෙස කෙනෙක් යෝජනා කරන්නේ නම් එය වැරදි බව පැවසිය නොහැක. මෙහිදී විද්‍යාවෙන් භෞතිකවාදය සනාත වන බව කෙනෙක් සිතන්න පුළුවන. නමුත් විද්‍යාවද ගොඩනැඟී ඇත්තේ පූර්ව විශ්වාසයන් (axiomatic beliefs) මත වන අතර යතාර්තවාදය ඉන් එකකි. එනිසා විද්‍යාවෙන් කිසිම විටක විද්‍යාව ගොඩනැඟී ඇති පදනම ප්‍රශ්න කළ නොහැක. තවද දේවවාදයද විද්‍යාවට අනගි ලෙස ගැලපෙන දෘෂ්ටියකි. එබැවින් කළ යුතු වන්නේ විශ්වය තේරුම් ගැනීම සඳහා වූ සාර්ථක ලෝක දෘෂ්ටිය කුමක්ද යන්න විශ්ලේෂණය කිරීමය.

ඉහත විශ්ලේෂණයට රුකුලක් වශයෙන් මිනිස් මනසේ ඇතැම් ක්‍රියාකාරීත්වයන්, මිනිස් දිවියේ අරමුණ, අගය හා සාධාරණය යනාදී කරුණු භෞතිකවාදාය තුළින් විග්‍රහ වන්නේ කෙසේද යන්න පහතින් සාකච්ඡා වී ඇත. භෞතිකවාදය තුළට පදාර්ථ හා ශක්තීන් යන දෙකම අඩංගු බව කෙනෙකු පැවසිය හැක. එසේ වුවද සාකච්ඡාවට ලක් වන කරුණු වල හරයේ වෙනසක් වන්නේ නැත.

යමක් පිළිබඳ සාපේක්ෂ හැඟීම (Subjective Experience)

භෞතික ලෝක දැක්ම අනුව පවතින්නේ පදාර්ථ හා එහි වින්‍යාසයන් පමණි. මිනිස් මොළය යනු අහඹු භෞතික යාන්ත්‍රනයකින් ජනිත වූවකි. මිනිස් මනස යනු භෞතික මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ජනිත වූවක් පමණි. කෙසේනමුත් මෙවන් භෞතික සකස්මකින් මිනිස් මනස සතු වූ සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාවක් සහිත බාහිර ලොව නිරීක්ෂණය කරන්නෙක් බිහි වීම පැහැදිලි කළ නොහැක. භෞතික පදාර්ථ වලට මනසේ සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාව උත්පාදනය කළ හැකි විභවයක් නොමැත. එබැවින් පදාර්ථ කුමන සංකීරණ වින්‍යාසයකින් සැකසුනද එතුළින් සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාව ජනිත වන්නේ නැත. නිදසුනක් ලෙස නවීන පරිගණයක් දෙස අවධානය යොමු කරමු. අප යම් විධානයක් පරිගණකයට ලබා දුන් විට එම විධානයට අනුව පරිගණකය ක්‍රියා කරයි. මෙසේ ක්‍රියා කරන්නේ අපගේ විධානයට අනුව ක්‍රියා කරන අයුරින් යාන්ත්‍රිකව පරිගණකය සකසා ඇති නිසාය. පරිගනකය සංකීර්ණ සැකස්මක් වුවද එතුළින් සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාව ජනිත වන්නේ නැත. එනම් බාහර ලොව නිරීක්‍ෂණය කරන්නෙක්ද පරිගණකයෙන් ජනිත නොවේ. සැබවින්ම භෞතික ලෝකයක් තුළ පැවතිය හැක්කේ බාහිර ලෝකය නිරීක්ෂණය කර නීරක්‍ෂණ කෙරෙහි සාපේක්ෂ අත්දැකීම් ලබන නිරීක්ෂකයෙක් තොර වූ භෞතික යාන්ත්‍රණයක් පමණක් වේ.

මිනිස් මනස සතු සාපේක්ෂ අත් දැකීම් ලැබීමේ හැකියාව සහිත නිරීක්ෂකයා භෞතිකයට ඌනනය කළ නොහැක. අත යම් දෙයකින් පිළිස්සණු විට අත ඉවතට ගැනීමේ ක්‍රියාවලිය භෞතිකව පැහැදිලි කළ හැක. එනම් පිළිස්සුම පිළිබඳ පණිවුඩය මොළයට යන අතර මොළයෙන් අත ඉවතට ගැනීමට සංඥා යවනු ලැබේ. ඒ අනුව අත ඉවතට ගනු ලැබේ. නමුත් මෙම අවස්ථාවේදී දැවිල්ල පිළිබඳ අත්දැකීමක් ලැබේ. මෙම අත් දැකීම පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්‍ෂ වේ. මෙම සිදු වීම පුද්ගලයින් දෙදෙනෙකුට සමාන අයුරින්ම සිදු වන්නේ යැයි සිතමු. දෙදෙනාගේම භෞතික තත්වය සියයට සියයක් සමාන වුවද දෙදෙනාම ඔවුනොවුන්ට සාපේක්‍ෂ අත්දැකීමක් ලබනු ඇත. එබැවින් මෙම සාපේක්‍ෂ අත්දැකීම භෞතික රාමුවෙන් පිටත පවතින බව ඉතා පැහැදිලි වේ. මෙම සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාව පිළිබඳව සුපතල භෞතිකවාදියකු වූ රිචර්ඩ් ඩෝකින්ස් මෙසේ පවසයි:  “අපි දන්නේ නැහැ, අපිට එය තේරුම් ගන්න බැහැ”[1]

එසේ නම් භෞතිකවාදය නිවැරදි වන්නේ කෙසේද?

ස්ව කැමැත්ත (Free Will)

මිනිස් මනස යනු භෞතිකයට ඌනනය කළ හැකි දෙයක් නම් මිනිස් මනස සතුව ස්ව කැමැත්තෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබිය නොහැක. නිදහස් කැමැත්තෙන් ගත් තීරණයක් යනු හුදෙක් භෞතික තත්වයක් පමණක් වන අතර එම භෞතික තත්වය ඊට පෙර පැවති භෞතික තත්වය මත භෞතික නියමන් ක්‍රියා කිරීම නිසා ලැබෙන ප්‍රතිඵලයක් පමණි. මෙලෙස සෑම භෞතික සංසිද්ධියක් සඳහාම භෞතික හේතුවක් තිබීම තුළින් නියතිවාදයක් ගොඩනැඟේ. නියතිවාදක් තුළ නිදහස් කැමැත්තක් කියා දෙයක් නොමැත. ඇත්තෙන්ම මිනිසාට ස්ව කැමැත්තක් නොමැතිද?

නිදහස් කැමැත්තක් තිබෙන බව සහජයෙන්ම කෙනෙකුට හැඟෙන කරුණක් නිසා ඉහත සඳහන් නියතිවාදය පිළිගත නොහැකි බව කෙනෙක් පවසනවා නම් එතුළින් හැඟවෙන්නේ නිදහස් කැමැත්ත හෞතික යාන්ත්‍රණයෙන් සිදු නොවන්නක් බවය.

සත්‍ය අවබෝධ කළ හැකිද?

මිනිස් මනස සතු සාපේක්ෂ අත්දැකීම් ලැබීමේ හැකියාව ඇති හා නිදහස් තීරණ ගැනීමේ හැකියාව යනු භෞතික ක්‍රියාවලියෙන් ඇති වූ මායාවක් නම් එවන් මායාවක් තුළින් ලෝකය පිළිබඳ ලැබෙන අවබෝධය පිළිගන්නේ කෙසේද? එවන් මායාවක් තුළින් විශ්වය පිළිබඳ මොනයම් හෝ අවබෝධයක් ලබා ගත හැකිද? මිනිස් මනස මායාවක් නම් මිනිස් මනසේම ප්‍රතිපලයක් වන මිනිස් මනස මායාවක් යන අවබෝධය පිළිගත හැකිද? භෞතිකවාදී ලෝක දැක්ම අනුව මිනිස් මොලය යනු පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ සැකැස්මක් වන අතර මිනිස් සිතුවිල්ලක් යනු මොලය තුළ සිදු වන පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ සැකැස්මක් පමණි. එබැවින් යමක් සත්‍ය බව මිනිසා ගන්නා නිගමනය යනු හුදෙක් පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ සැකැස්මක් පමණි. නිදසුනක් ලෙස 2 + 2 = 4 යන්න සත්‍යයක් බව කෙනෙක් නිගමනය කරනවා නම් එම නිගමනය භෞතිකයට ඌනනය කළ විට   පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ වින්‍යාසයක් පමණි. එසේ නම් මෙම පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ වින්‍යාසය සත්‍යය බව පිළිගන්නේ කුමන පදනමකින්ද? සත්‍යයි යන විශ්වාසය පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ වින්‍යාසයක් සේම අසත්‍යයි යන්නද  පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ තවත් වින්‍යාසයක් පමණි. එක් වින්යාසයකින් තවත් වින්‍යාසයක් තෝරාගැනීමට ඇති පදනම කුමක්ද? සත්‍ය අසත්‍ය යයි වෙන්කර හඳුනා ගැනීමට ඇති පදනම කුමක්ද? මෙම ගැටලුව චාර්ල් ඩාර්වින්ගේ වචන වලින්ම කියනවා නම්

ප්‍රාථමික ජීවින්ගෙන් වර්ධනය වූ මිනිස් මනසට යම් අගයක් තිබෙනවාද? එය සමස්තයක් ලෙස විශ්වාස කළ හැකිද යන භායනක සැකයක් මා තුළ ඇති වෙනවා. වඳුරෙකුගේ මනසේ තිබෙන අවබෝධය කෙනෙක් විශ්වාස කරාවිද? මෙවන් මනසක මොනයම් හෝ අවබෝධයක් තිබෙනවාද? (But then with me the horrid doubt always arises whether the convictions of man’s mind, which has been developed from the mind of the lower animals, are of any value or at all trustworthy. Would anyone trust in the convictions of a monkey’s mind, if there are any convictions in such a mind?”)[2]

කෙටියෙන් පවසනවා නම් භෞතිකවාදී ලෝක දැක්ම අනුව මිනිස් මනසට සත්‍ය අවබෝධ කළ හැකි බව පිළිගැනීමට පදනමක් නොමැත. එනම් භෞතිකවාදය සත්‍ය බව පිළිගැනීමටද පදනමක් නැත. කෙටියෙන් පවසනවා නම් භෞතිකවාදය සත්‍ය බව පිළිගැනීම නිසා එම භෞතිකවාදයම සත්‍ය බව පිළිගත නොහැකි තත්වයක් උද වේ. එනම් භෞතිකවාදය සාර්ථක ලෝක දෘෂ්ටියක් ලෙස පිළිගත හැකිද?

මිනිස් දිවියේ අරමුණ

භෞතිකවාදයට අනුව විශ්වයේ ආරම්භය අහඹු සිදු වීමක ප්‍රතිඵලයකි. විශ්වයේ සම්භවයෙන් පසුව සිදු වූ ජීවයේ සම්භවයද අහඹු සිදුවීමක ප්‍රතිඵලයකි. ජීවයේ සම්භවයෙන් පසුව ජෛව පරිණාමය තුළින් මිනිසා සම්භවය වීමද අහඹු සිදුවීමක ප්‍රතිඵලයකි. මෙලෙස අහම්බෙන් හට ගත් මිනිසා මරණින් පසු නිරුද්ධ වී යයි. එනිසා මිනිස් දිවියට හරවත් අරමුණක් නොමැත. ඒ අනුව ගත කරන මෙම කෙටි ජීවිතය හැකි පමණින් සතුටෙන් හා විනෝදව ජීවත් වී මිය යා යුතු බව කෙනෙක් පවසනවා නම් එහි වැරැද්දක් කිව නොහැක. මෙම දිවිය දුක්බර දිවියක් නම් ඒ පිළිබඳ විශේෂයෙන් කළ හැකි දෙයක් නොමැත. කිසිම බලාපොරොත්තුවක් තබා ගත නොහැක. එනිසා දුක් කම්කටොලු නිසා  මෙසේ සතුටෙන් ජීවත් වීමට අපොහොසත් වූ අවස්ථාවකදී හෝ ජීවත් වීම දැන් ප්‍රමාණවත් යන නිගමනය මත කෙනෙක් සිය දිවි හානි කරගන්නේ නම් එතුළද වැරැද්දක් දැකිය නොහැක.

මිනිසා නිර්මාණය කළ කුඩා අල්පෙනේත්තකට පවා අරමුණක් තිබේ නමුත් ඉතා සංකීර්ණ සැකැස්මකින් යුත් මිනිස් දිවියට අරමුණක් නැද්ද?

මිනිස් ජීවිතයේ අගය

භෞතිකවාදයට අනුව මිනිසා යනු පදාර්ථයන් හා ශක්තීන්ගේ සංකීර්ණ සැකැස්මක් පමණි. එනිසා මිනිස් ජීවිතයට විශේෂ අගයක් භෞතිකවාදය තුළ නිර්ණය කළ නොහැක. බෝම්භ පිපුරුමකින් මිනිසුන් රාශියක් මිය ගිය අවස්තාවක් සලකන්නේ නම් එය භෞතිකවාදය හමුවේ පදාර්ථයන්ගේ විසිරයාමක් හා ශක්තීන්ගේ නික්මයාමක් පමණි. විශාල ඇඹරුම් යන්ත්‍රයක් තුළ මිනිසෙකු අඹරා දැමීමත් නවීන අධික මිල ඇති පරිගණකයක් අඹරා දැමීම යන දෙකම හුදෙක් පදාර්ථයන්ගේ සිදු වන වෙනස්කමක් පමණි. පරිගණකයට වඩා මිනිසා සංකීරණ බැවින් එයට සාපේක්ෂ ඉහළ අගයක් තිබෙන බව කෙනෙක් පැවසිය හැක. සැකැස්ම සංකීරණ වූ පමණින් එයට ඉහල අගයක් තිබිය යුතුයි යයි පැවසීමට ඇති පදනම කුමක්ද? කුඩා අත දරුවෙකුට වඩා විද්‍යා උපාදියක් ඇති මිනිසෙකුගේ සංකීරණතාවය ඉහලය. එනිසා දරුවෙකු මරා දැමීම පිළිගත හැකිද?

විශ්වයේ ඈත කෙළවරක සිට පෘතුවිය දෙය බලන්නේ නම්  භෞතිකවාදයට අනුව පෘථිවියේ සිටින මිනිසාට කිසිඳු වැදගත් කමක් නැත. මිනිසා හා මිනිස් ක්රියාකාරකම් ඇතුළු පෘථිවියේ සිදු වන සියලුම දේ පදාර්ථයන්ගේ හා ශක්තීන්ගේ හැසිරීම් පමණි. එසේ නම් මිනිස් දිවියට කිසිඳු වාස්තවික අගයක් නැද්ද?

සදාචාරය

මිනිසා යනු සදාචාරාත්මක ජීවියෙක් යන්න සම්මත පිළිගැනීමයි. නිදසුනක් ලෙස පවුලේ ඉතා සමීපතයන් සමඟ සිදු වන ලිංගික සම්බන්ධතා, සතුන් සමඟ සිදු වන ලිංගික සම්බන්ධතා වැනි ක්‍රියා සදාචාරාත්මක නොවන ක්‍රියා බව සම්මතයක් පවතී. කෙසේනමුත් භෞතිකවාදය හමුවේ සදාචාරය නිර්ණය කළ හැකිද? මෙම ක්‍රියාවන් භෞතිකයට ඌනනය කළ විට පදාර්ථයන්ගේ සිදු වන හුදෙක් භෞතික ක්‍රියාවලීන් පමණි. මෙම කෝණයෙන් සදාචාරයක් නිර්ණය කිරීමට කිසිඳු පදනමක් නැත. සැමියා හා බිරිඳ අතර ලිංගික එක් වීම හා මවක් හා පුතෙක් අතර සිදු වන ලිංගික එක් වීම අතර සදාචාර සම්පන්න භෞතික වින්‍යාසය කුමක්දැයි තීරණය කරන්නේ කෙසේද? එසේ තීරණය කිරීමට පදනමක් තිබේද?

භෞතිකවාදීන් පවසන්නේ සදාචාරය යනු සමාජීය බලපෑම හෝ පරිණාමය යන කාරණා තුළින් නිර්ණය වන බවයි. කෙසේනමුත් සමාජීය බලපෑම හා පරිණාමය යන සාධක දෙකම වාස්තවික(objective) සදාචාරයක් සඳහා පදනමක් ලබා දෙන්නේ නැත. මෙම සාධක දෙකම යෝජනා කරන්නේ සදාචාරය සමාජීය හා ජීවවිද්‍යාත්මක වශයෙන් අනිශ්චිත ලෙස වෙනස් වන බවය.  එනම් මෙහිදී සදාචාරය කාලයෙන් කාලයට මෙන්ම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. යම් කාලයක හෝ ප්‍රදේශයක සදාචාර නොවන කරුණක් තවත් කාලයක හෝ ප්‍රදේශයක සදාචාරාත්මක බව සලකනු ලැබේ.

නිදසුනක් ලෙස ලංකාව තුළ අඩ නිරුවත් ඇඳුම පිලිබඳ බහුතර ජනයාගේ මතය වන්නේ එය සදාචාරාත්මක නොවන බවය. නමුත් මෙම ඇඳුම බටහිර රටවල මෙම ඇඳුම් සදාචාරාත්මක නොවන ඇඳුම් නොවේ. එසේ නම් ඇඳුම පිළිබඳ වාස්තවික සදාචාරාත්මක නිර්ණායකයක් නොමැත. මෙය ඇඳුමට පමණක් නොව අනෙකුත් සියලුම දේවල් වලට එකඟය.  ජර්මන් නාසිවරුන්  සිදු කල ජන සංහාරය ඔවුන්ට සාපේක්ෂව සදාචාරාත්මක නොවන කාර්යයක් නොවේ. හිට්ලර්ගේ ක්‍රියාව සදාචාරාත්මකව වැරදි බව හා ගාන්ධිගේ අවිහිංසාව සදාචාරාත්මකව නිවැරදියි යයි පැවසීමට තිබෙන වාස්තවික පදනම කුමක්ද? සමාජීය බලපෑම යනු එක් ආකාරයක බහුතර මතයකි. බහුතර මතය අනුව සදාචාරය තීරණය කළ යුත්තේ ඇයි? යම් සමාජයක තිබෙන සම්මතයට එක් පුද්ගලයකු එකඟ විය යුතුමද? එසේ එකඟ විය යුතු බව පැවසීමට ඇති වාස්තවික පදනම කුමක්ද?

සදාචාරය නිර්ණය කිරීමට පරිණාමවාදයට හැකියාවක් තිබේද?  ඩාර්වින් පැවසු පරිණාමය සිදු වන්නේ ආර්ත්මාර්තකාමීත්වය මතයි. ඒ අනුව පරාර්ථකාමී කටයුතු සියල්ල අවසානයේ  ආර්ත්මාර්තකාමීත්වයට ඌනනය කළ හැකි බව ඩාර්වින්වාදය පවසයි. මිනිසා ආර්ත්මාර්තකාමීත්ව කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බව සම්මත පිළිගැනීමක් වුවද භෞතිකවාදී ලෝක දෘෂ්ටිය අනුව මෙහි කිසිඳු වැරැද්දක් නොමැත. මිනිස් ක්‍රියාකාරකම් සියල්ල පරිණාමයේ ප්‍රතිඵලයක් නම් ක්‍රියාවක් සදාචාර වෙනවාද නොවෙනවාද යන්න තීරණය කිරීමට පරිණාමවාදයට හැකියාවක් නොමැත.

කෙටියෙන් පවසනවා නම් භෞතිකවාදී ලෝක දෘෂ්ටිය තුළ සදාචාරය යන්න අර්ථවිරහිත වචනයක් පමණි. ඇත්තෙන්ම මිනිසාට වාස්තවික සදාචාරයක් නැද්ද? එවන් වාස්තවික සදාචාරයක් තිබෙන බව මිනිසාගේ සහජ හැඟීමයි. මෙම සහජ හැඟීම භෞතිකවාදය තුළින් විස්තර කළ නොහැක.

සාධාරණය

මෙම ජීවිතය හුදෙක් භෞතික ක්‍රියාවලියක් පමණි. එතුළ සාධාරණත්වය යන මානයක් තිබිය හැකිද? ජෛව පරිනාමයට අනුවද සාධාරණත්වය අර්ථ දැක්විය නොහැක. “ශක්තිවන්තයා ජය ගනියි” යන භෞතිකවාදී නියමයට අනුව සිද්ධ වූ අසාධාරණය යනු සැබවින්ම අසාධාරණයක් ලෙස පැවසිය නොහැක. එබැවින් ජීවත් වන මෙම කෙටි කාලයේදී යම් අසාධාරණයක් සිදු වූවා යයි කෙනෙක් පවසන්නේ නම් ඒ පිළිබඳ නීතිමය පද්ධතියක් යටතේ දඬුවම් ලබා දීමට කටයුතු කළ හැකිය. නමුත් ඇතැම් විට වැරදි කරුවන් නිදොස්කොට නිදහස් වෙති. මේ පිළිබඳව කළ හැකි විශේෂ දෙයක් නොමැත. කළ හැක්කේ කෙසේ හෝ පලි ගැනීම හෝ ඉවසීමෙන් සිටීම පමණි. පවතින නීති පද්ධතිය හමුවේ නොකළ වරදට දඬුවම් ලබන අවස්ථාද දැකිය හැක. එනම් භෞතිකවාදය තුළ පූර්ණ සාධාරණත්වයක් මිනිසාට මෙම ජීවිතය තුළ බලාපොරොත්තු විය නොහැක.

සාරාංශය

භෞතිකවාදයට අනුව මිනිස් මනස යනු මායාවකි, මිනිස් මනස සතුව සත්‍ය අවබෝධ කිරීමේ හැකියාවක් තිබෙන බව සනාත කළ නොහැක, මිනිස් දිවියට විශේෂ අරමුණක් හෝ අගයක් නොමැත, වාස්තවික සදාචාරයක් නොමැත, මිනිසාට පූර්ණ සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. මින් පෙනී යන්නේ භෞතිකවාදය අසාර්ථක හා අසම්පූර්ණ ලෝක දෘෂ්ටියක් බවය. මෙවන් දෘෂ්ටියක් පිළිගන්න ඔබ සූදානම්ද?

ඉහත සාකච්ඡා වී ඇති කාරණා දේවවාදී ලෝක දෘෂ්ටියක් තුළින් සාර්ථක ලෙස පැහැදිළි කළ හැකි පමණක් නොව දේවවාදී ලෝක දැක්මේ සත්‍යතාවය තහවුරු වන සාධක රාශියක් තිබේ.

මූලාශ්‍ර

[1] Richard Dawkins and Steeve Pinker, “Is Science Killing the Soul?” The Guardian-Dillons Debate, Edge 53. April 8, 1999.

[2] Darwin, C. R. to Graham, William. 3 July 1881.

Share Button