සත්වයින්ගේ මූලික අවශ්‍යතාවලින් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන්නේ අහාර අවශ්‍යතාවයයි. සත්වයාගේ පැවැත්ම සඳහා අහාර අත්‍යවශ්‍ය සාධකයක් වේ. සත්වයා ස්වභාවිකව සැකසී ඇති අකාරය අනුව සතුන් ගන්නා අහාර කවරේද යන්න තීරණය වේ. සත්ව ලෝකයේ ඇතැම් සතුන් ශාක භක්ෂකය, තවත් සමහර සතුන් මාංශ භක්ෂකය, තවත් සමහර සතුන් ශාකමය හා මාංශමය අහාර දෙවර්ගයම ගන්නා සර්වභක්ෂක සතුන් වේ. මිනිසාගේ ජීව විද්‍යාත්මක සැකැස්ම පෙන්වා දෙන්නේ මිනිසා සර්වභක්ෂක සතෙකු බවය. මිනිසාට ඇත්තේ සර්ව භක්ෂක දත් පෙළකි. කෘෂි ආහාර අනුභවයට සුදුසු පැතලි දත් මෙන්ම මාංශ අනුභවයට උපකාරීවන දඩයම් දත් ද මිනිසාට තිබේ. මිනිසාගේ ජීරණ පද්ධතිය ද සකස්වී ඇත්තේ කෘෂි මෙන්ම මාංශ ආහාර ජීරණය කළහැකි වන අයුරිනි. මෙම ජීව විද්‍යාත්මක සැකැස්ම නිසා මිනිසා ස්වභාවයෙන්ම තම අහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ශාකමය, මාංශමය හා මත්ස්‍ය අහාර උපයෝගී කර ගනියි. මෙනිසා මාංශ හා මත්ස්‍ය අනුභවය ලෝකයේ ස්වභාවික තත්වයකි.
එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ආහාර හා කෘෂිකර්මාන්ත සංවිධානයේ (Food and Agriculture Organization – FAO/UN) 2013 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව වාර්ෂික ලෝක ඒක පුද්ගල මාංශ පරිභෝජනය (per capita consumption of meat) කි. ග්‍රෑ. 43.1 ක් වන අතර මත්ස්‍ය පරිභෝජනය කි. ග්‍රෑ. 19.7 ක් ලෙස දක්වා ඇත. බිලියන 7.181 (USCB) ක් වූ ලෝක ජනගහනයෙන් මෙම පරිභෝජන දත්තයන් වැඩි කිරීමෙන් 2013 වර්ෂය සඳහා වූ මාංශ හා මත්ස්‍ය පරිභෝජන ප්‍රමාණයන් ලබාගත හැක.
- මාංශ පරිභෝජනය = 7.181 X 43.1 = කි. ග්‍රෑ. බිලියන 309.50
- මත්ස්‍ය පරිභෝජනය = 7.181 X 19.7 = කි. ග්‍රෑ. බිලියන 141.47
මෙලෙස ලෝකයේ බහුතරයක් මාංශ හා මත්ස්‍ය යන අහාර වර්ග දෙකම අනුහව කළද මාංශ හා මත්ස්‍ය අහාර වලින් පූර්ණව වැලකී ශාකමය අහාර වලට පමණක් සීමා විය යුතු බව ඇතැම් පිරිස් තර්ක කරති. මෙම මතය පිළිගත හැකිද?
හොඳම ප්‍රෝටීන් ප්‍රභවය
මිනිස් ශරීරයේ ව්‍යුහයන් තැනීමට, පවත්වා ගැනීමට හා අලුත්වැඩියා කිරීමට ප්‍රෝටීන් උපකාර වේ. ප්‍රෝටීන් යනු මිනිසාට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් එකකි. ප්‍රෝටීන සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල වලිනි. මිනිස් ශරීරය නිවැරදිව ක්‍රියා කිරීමට ශරීරය තුළ ඇමයිනෝ අම්ල වර්ග 22ක සමතුලිතතාවයක් අවශ්‍ය වේ. මෙම ඇමයිනෝ අම්ල අතුරින් ඇමයිනෝ අම්ල 9ක් ශරීරයට නිපදවිය නොහැක. එබැවින් මෙම ඇමයිනෝ අම්ල අඩංගු අහාර කෑම වේලට එක් කරගත යුතු වේ. මේ සඳහා මාංශමය හෝ ශාකමය අහාර අනුභව කළ හැකිය. මාංශමය අහාර යනු බාහිරෙන් ශරීරයට එකතු කර ගත හැකි අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල නවයම අඩංගු පූර්ණ ප්‍රෝටීන් ප්‍රභවයකි. කෙසේනමුත් ප්‍රෝටීන් ලබා දෙන බොහෝ ශාකමය අහාර පූර්ණ ප්‍රෝටීන් ප්‍රභවයන් නොවේ. එනම් බොහෝ ශාකමය අහාර වල මෙම ඇමයිනෝ අම්ල නවයම එකවිට පිහිටන්නේ නැත. තවද ශාක ප්‍රෝටීන වල සමහර ප්‍රභවයන් ශරීරය ජීර්ණය කර භාවිතා කිරීමට වැඩි කාලයක් ගත වේ [1]. එබැවින් ප්‍රෝටීන ලබා ගැනීමේ පහසුම ක්‍රමය මාංශමය අහාර අනුභව කිරීමය. මෙවන් කාරණා නිසා අහාර වේලට මාංශමය ආහාර එක් කරගන්නා මෙන් වෛද්‍යවරුන් පවා උපදෙස් දෙන අවස්තා අපට දැක ගත හැකිය [2].
ශාක අහාර පමණක් ගැනීම ගෝලීයව වලංගු ද?
මාංශ වලින් තොරව ශාකමය අහාර මත යැපීම ගෝලීය වශයෙන් ප්‍රයෝගික නොවේ. නිදසුනක් ලෙස එස්කිමොවරුන්ට හා කාන්තාර ආශ්‍රිතව ජීවත්වන අරාබිවරුන්ට මාංශමය අහාර වලින් බැහැර වී ශාකමය අහාර ලබා ගැනීම ඉතා අසීරුය. ලෝක ජනගහනයෙන් ප්‍රථම ස්ථානයේ සිටින චීන ජාතිකයන් තම අහාර අවශ්‍යතාවය සඳහා අධික වශයෙන් යැපෙන්නේ මත්ස්‍ය අහාර මතය[3]. ඔවුන්ව මත්ස්‍ය අහාර වලින් බැහැර කර ශාකමය අහාර වලට පමණක් සීමා කිරීම ඉතා අසීරුය. එබැවින් ශාකමය ආහාර වලට පමණක් සීමාවීම ප්‍රයෝගික නොවන යෝජනාවක් බව සරලව වටහා ගත හැකිය.
තවද ශාක, මාංශ හා මත්ස්‍ය යන සාධාක තුනෙන්ම දැනට පවතින ලෝක ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම අසීරු තත්වයක පවතියි. එබැවින් මාංශ හා මත්ස්‍ය වලින් බැහැර වී ශාකමය අහාර වලට පමණක් යොමු වීමෙන් සිදු වන්නේ ලෝක අහාර හිඟය තවදුරටත් වර්ධනය වීමයි. මෙම ගැටලුවේ මීළඟ අධියරය වන්නේ ශාකමය අහාර වල ඉල්ලුම ඉහළ යාම නිසා එහි මිල ක්‍රමයෙන් ඉහළ යාමයි. අද පවතින ආර්ථික අසමතුලිතතාවය නිසා මෙම ප්‍රශ්නයට දුගීන්ට මුහුණ දීම ඉතා අසීරුය. මෙනිසා දුගීන් සඳහා අහාර ලැබීමේ සම්භාවිතාව අඩු විය හැක. මෙනිසා අවසානයේ පීඩා විඳින්නේ දුගී ජනතාවයි. එනම් ශාක අහාර පමණක් අහාරයට ගැනීම ගෝලීය වලංගු නොවන සිද්ධාන්තයකි.
කෙනෙක් මාංශ හා මත්ස්‍ය අහාර අනුභව කිරීම ප්‍රතික්ෂේප කරනවා නම් එය ඔහුගේ පෞද්ගලික කැමැත්තකි. නමුත් ලොව සියලු දෙනා ශාකමය අහාර පමණක් අනුභව කල යුතු බව පැවසීම පිළිගත නොහැක. ලොව අද පවතින සියලු ප්‍රධාන ආගම් මාංශ හා මත්ස්‍ය අහාර අනුභවය අනුමත කරීමට ප්‍රධාන හේතුව මෙය ලෝක යථාර්ථයක් බව පිළිගෙන ඇති නිසා විය හැක.
මාංශ ආහාර සඳහා සත්ව ඝාතනය
මාංශ අනුභවය ගෝලීයව නොවැලැක්විය හැකි කාරණයක් වුවද ජෛන දර්ශනය මාංශ අනුභවය කිසිම අයුරකින් අනුමත කරන්නේ නැත. මෙයට හේතුව මාංශ අනුභවය වක්‍රාකාරව සත්ව ඝාතනයට ඉඩ දෙන බවත් එම සත්ව ඝාතනය අකුසලයක් ලෙසත් ඔවුන් විශ්වාස කිරීමයි. බෞද්ධ දර්ශනයට අනුවද සත්ව ඝාතනය අකුසලයක් වේ. නමුත් මාංශ අහාර අනුභවය පිළිබඳව බෞද්ධ විද්වතුන් අතර මතභේද පවතියි. මාංශ අහාර අනුභවය තුළින් වක්‍රාකාරව සත්ව ඝාතනයට අනුභල දීමක් සිදු වන බව පවසන ඇතැම් බෞද්ධ විද්වතුන් මාංශ අනුභවය අකුසලයක් ලෙස තර්ක කළද ප්‍රබල බෞද්ධ විද්වතුන්ගේ මතය ඊට විරුද්ධය. සැබවින්ම බුද්ධ දර්ශනයට අනුව ත්‍රිකෝටි පාරිශුධීය මස් අනුභව කිරීම කෙනෙකුට අනුමතය. මජ්ඣිම නිකායේ ජීවක සූත්‍රයෙහි රාජකීය වෛද්‍යවරයා වන කෝමාරභච්ච ජීවක තුමා බුදුරදුන් හමුවට ගොස් තමන් වහන්සේ උදෙසා මරන ලද සතුන්ගේ මස් වළඳන බවට රටේ කතාවක් පැතිරී තිබෙන බවත්, එය සත්‍යක් දැයි විමසා සිටියේය. එහිදී බුදුන් වහන්සේ ජීවකට කරුණු පැහැදිලි කර දෙමින් එය අභූත චෝදනාවක් බවත්, එහෙත් කරුණු 3කින් පිරිසිඳු වූ මස් මාංශ වැළඳීම එනම් ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය අනුමත කරන බවත් පැවසුහ. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය යනු,
- තමා වෙනුවෙන් මරණ ලදැයි නොදුටු (අදිට්ඨ)
- තමා වෙනුවෙන් මරණලදැයි නොඇසූ (අසුත)
- තමා වෙනුවෙන් මරණ ලදැයි සැක නැති (අපරිසංකිත)
ඉහත කොන්දේසි තුනට යටත් වේ නම් මාංශ අනුභව කිරීම බුද්ධ දර්ශනයට අනුව ගැටළුවක් නොමැත. බුදුන් පවා මස් වැළඳු බව බෞද්ධ මූලාශ්‍ර වල සඳහන් වේ [4][5]. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ වලට යටත්ව වුවත් භික්ෂුණ් අනුභව නොකළ යුතු මස් වර්ග දහයක්ද විනය පිටකයේ මහාවග්ගපාලියේ (556-560 පිටු) සඳහන් වෙයි.
- මිනී මස් (මනුස්ස මාංශ)
- ඇත් මස් (හත්ථි මාංශ)
- අශ්ව මස් (අස්ස මාංශ)
- සිංහ මස් (සිංහ මාංශ)
- කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ)
- දිවි මස් (දීපි මාංශ)
- බලු මස් (සුනඛ මාංශ)
- සර්ප මස් (අහි මාංශ)
- වලස් මස් (අච්ඡ මාංශ)
- වෘක මස් (තරච්ඡ මාංශ)
ඉහත කරුණු වලින් පෙනී යන්නේ බෞද්ධ දර්ශනය අහාර පිණිස සත්ව ඝාතනය අනුමත නොකළද මාංශ අනුභවය මුළුමනින්ම ප්‍රතික්ෂේප නොකරන බවය. මෙම කරුණ වටහාගෙන ඇති බෞද්ධ චින්තකයෝ පවසනුයේ බෞද්ධ දර්ශනය පෙන්වා දෙන කොන්දේසි වලට අනුව මාංශ අනුභවය අකුසලයක් නොවූවද එම කොන්දේසි අනුගමනය කිරීම ඉතා අසීරු බැවින් ප්‍රාණඝාත අකුසලයට හසු විය හැකි සම්භාවිතාවය අධික නිසා මාංශ අහාර අනුභාවයෙන් මිදීම ඉතා යෝග්‍ය බවය.
කෙසේනමුත් කිසිඳු ප්‍රාණ ඝාතනයකින් තොරව ශාකමය අහාර පමණක් ලබා ගැනීම පවා ප්‍රයෝගික නොවන කාරණයකි. සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුව ද කිරීමට අපට හැකියාව තිබේ ද? තම ගෙවත්තේ ඉතා සුළු පරිමාණයේ ගොවි තැනක් පළිබෝධ නාශක නොයොදා කිරීමට ඉඩකඩ සමහරවිට තිබිය හැක. මෙසේ කිරීම ද අපගේ අත්දැකීම් අනුව සැමවිටම ප්‍රායෝගික නොවේ. නමුත් මහා පරිමාණ කෘෂි ගොවිතැන සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධ නාශක යොදා ගැනීමේ අවශ්‍යතාවය අපි දැක ඇත්තෙමු. ගොවිතැනට හානි කරන කෘමීන් ගොවියා විසින් හඳුනා ගැනීම පළමුව සිදුවේ. උන්ට ජීවයක් ඇති බව ගොවියා ඉතා හොඳින් දනී. උන්ගෙන් ගොවිතැනට සිදුවන හානිය අවබෝධ කරගන්නා ගොවියා උන්ව මරා දමන්නට චේතනාවක් ඇති කර ගනී. මේ සඳහා විවිධ උපක්‍රමයන් ගොවියා උපයෝගී කර ගනී. මෙම උපක්‍රමයන් මගින් කෘමීන් මරා දමා ඔහුගේ ගොවිතැන රැක ගන්නට ගොවියා ක්‍රියා කරයි. මෙයින් පැහැදිලි වන්නේ සත්ව ඝාතනයෙන් තොරව කෘෂි ගොවිතැන වුවද සාර්ථක අන්දමින් කර ගැනීමට අපට හැකියාවක් නොමැති බවය.
මින් පෙනී යන්නේ මිනිස් අවශ්‍යතා සඳහා අහාර ලබා ගැනීමේදී ප්‍රාණ ඝාතනය නොවැලැක්විය හැකි සංසිද්ධියක් බවය.
අහාරාමය අවශ්‍යතා වලට අමතරව සිදු වන සත්ව ඝාතන
අහාර අවශ්‍යතා සඳහා පමණක් නොව මිනිසාගේ අනෙකුත් විවිධ අවශ්‍යතා වෙනුවෙන්ද සත්ව ඝාතනය සිදු වීම ලෝක යතාර්ථය වේ.
නියුමෝනියාව, ක්‍ෂය රෝගය වැනි ආසාධනයන් ඇතිවූ විට අපට ප්‍රති ජීවක (Antibiotic) බෙහෙත් ගැනීමට අනිවාර්යයෙන්ම සිදුවන්නේය. මෙම ප්‍රති ජීවක බෙහෙත් මගින් සිදු වන්නේ ශරීර ගතවී ඇති කෝටි ගණන් රෝගකාරක විෂබීජ නසා දමා අපට දිවි රැක ගැනීමට උපකාරී වීමක් නොවේද?
අප රට විවිධ වසංගත රෝගයන්ට මුහුණ පා ඇත. 19 වන සියවසේ ආරම්භයේ ඇතිවූ මැලේරියා වසංගතයෙන් ජනගහනයෙන් කොටසක් මියගිය අතර රටවැසියන් මේ හේතුවෙන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්වූහ. දැනට අප මුහුණපාමින් සිටින්නේ තවත් වසංගත රෝග රැල්ලකටය. ඩෙංගු හා බරවා වැනි වසංගත රෝග මුළු රටටම ඉතා විශාල අභියෝගයක් බවට පත්ව ඇත. ඩෙංගු වසංගතයෙන් මිය යන සංඛ්‍යාව දිනපතා පුවත්පත් මගින් කියවනවිට අප පත්වන්නේ ඉතාමත් කම්පනීය තත්ත්වයකටය. මෙම වසංගත රෝග බෝකරන විෂබීජ මිනිසාගේ ශරීරයට ඇතුලත් වන්නේ මදුරුවන් මාර්ගයෙනි. මෙම රෝගකාරක විෂබීජ ශරීරගත කරන මදුරුවන් මරා දමන්නට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විවිධ වැඩ සටහන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මදුරුවන් මරාදමන්නට අප ඉදිරිපත් නොවුනානම් සිදුවන විනාශකාරී තත්ත්වය යමෙකුට සිතාබලන්නට බැරි තරම් බරපතල හා භයානක එකක් බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැත.
පිස්සු බල්ලෙක් නිසා ජනයා පීඩා විඳියි නම් එම පිස්සු බල්ලාව මරා දැමීම සාමාන්‍ය දෙයකි. මෙලෙස මිනිසාට හානි කරදෙන සතුන් මැරීමට සිදු වන අවස්ථා රාශියක් අපට දැක බලා ගත හැකිය.
තවද මිනිසාගේ යහපත පිණිස විවිධ පර්යේෂණ වල යෙදෙමින් වෛද්‍ය විද්‍යාව උදාර ඉදිරි ගමනක යෙදී සිටියි. මෙම වෛද්‍ය පර්යේෂණ සඳහා සතුන් රාශියකගේ ජීවිත පරිත්‍යාග සිදුවී හා සිදුවෙමින් පවතී. ප්‍රාණ ඝාතනය සම්පුර්ණයෙන්ම වැරදියි යන මතයේ අප එල්බ ගෙන සිටියේ නම් වෛද්‍ය විද්‍යාව අදත් ප්‍රාග් ඵෙතිහාසික තත්වයෙන් ඉදිරියට ගමන්කළ නොහැකි තත්ත්වයේ අනිවාර්යයෙන්ම රැඳී සිටිනු ඇත.
මෙවන් අවස්තාවලදී සත්ව ඝාතනය අනුමත නොකළේ නම් එයද වක්‍රාකාරව සත්ව ඝාතනයට ඉඩ දීමකි. ලෙඩ රෝග වලින් අවසානයේදී මිනිස් ජීවිතයම අහිමි විය හැකිය. මිනිසාගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් සත්ව ඝාතනය සිදු වීම ලෝක යතාර්ථයක් වන බව ඉහත සඳහන් කරුණු තුළින් මනා ලෙස පැහැදිලි වේ. එසේ තිබියදී අහාර සඳහා සත්ව ඝාතනය ප්‍රතික්ෂේප කිරීමට පදනමක් නොමැත.
අහාර පිණිස සත්ව ඝාතනය වැළැක්වීම තුළින් සිදු විය හැකි බලපෑම්
ශ්‍රී ලංකාව තුළ රජයෙන් අවසර පත් ලද ගවයින් කපන ස්ථාන 300 ක් පමණ ඇත. මෙම අවසර පත් ලබා දෙන්නේ එම ප්‍රදේශය අයත් පළාත් පාලන ආයතනය මගිනි. මේ සඳහා ටෙන්ඩර් කැඳවීම තුළින් වැඩිම ටෙන්ඩරය ලබා ගන්නා තැනැත්තාගෙන් එම පළාත් පාලන ආයතනය විශාල මුදලක් අය කර ගනී. මෙම ගවයින් කපන අවසර පත් ලද ස්ථාන 300 මගින් දිනකට ගවයින් සාමාන්‍යයෙන් 450ක්ද , එළුවන් හා බැටළුවන් 142ක්ද කපන බව සංඛ්‍යා ලේඛන අනුව දැන ගත හැක. මේ පිළිබඳව පශු සම්පත් අමාත්‍යංශය මගින් වැඩි දුර තොරතුරු ලබා ගත හැක[6].
පෝය දින 12 අතහැර වර්ෂයකට සාමාන්‍ය වශයෙන් දින 350 කදී බලපත්‍ර ලබා ඇති ස්ථාන මගින් පමණක් කපන ගවයින්, එළුවන් හා බැටළුවන් සංඛ්‍යාව පහතින් දැක්වේ:
- ගවයින්: 450 X 350 = 157,500
- එළුවන් හා බැටළුවන්: 142 X 350 = 49,700
මෙය වර්ෂයක් තුළ බලපත්‍ර සහිතව කපන ගවයින්, එළුවන් හා බැටළුවන්ගේ සංඛ්‍යාවයි. බලපත්‍ර නොමැතිව ද නීතියට පටහැනිව ඉහත සතුන් කැපීම අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි. මෙයට අමතරව දැනට ජීවතුන් අතර ඉන්නා ගවගහනය එළුගහනය හා බැටළුගහනය සැළකිල්ලට ගත් විට මෙම සතුන් කැපීම නතර කළ හොත් වර්ෂ කිහිපයකින් මිනිස් ජනගහනයට වඩා මෙම සතුන් වැඩි විය හැකි බව බුද්ධිය ඇති සැමට ඉතාම සරලව වටහා ගත හැකි සත්‍යයකි. මෙයින් සිදුවිය හැකි පාරිසරික අසමතුලිතතාවය ඉතාම භයානක ප්‍රතිඵල ගෙන දිය හැක්කක් බව ඕනෑම අයෙකුට පැහැදිළි වන කරුණකි.
නොවැලැක්විය හැකි ප්‍රයෝගික හේතු නිසා මාංශ හා මත්ස්‍ය අනුභවය මෙන්ම ඒ සඳහා සත්ව ඝාතනයද අනුමත කළ යුතු තත්වයක් පවතියි. මෙනිසා ඉස්ලාමය මාංශ හා මත්ස්‍ය අනුභවය හෝ ඒ සඳහා සතුන් ඝාතනය කිරීම වළක්වන්නේ නැත. කෙසේනමුත් ඉතා වැදගත් කොන්දේසි රාශියක් ලබා දී ඇත. මූලික වශයෙන් සාධාරණ හේතුවක් නොමැතිව සතෙකු ඝාතනය කිරීම ඉස්ලාමය අනුමත කරන්නේ නැත. සතුන් පිළිබඳව ඉස්ලාම් දරණ පොදු මතයට අනුව සතුන්ට කරුණාව දැක්වීම හා සත්ව හිංසාවෙන් ඉවත් වීම ඉතා වැදගත් වේ. සියලු සත්වයින් කෙරෙහිම කරුණාවෙන් කටයුතු කිරීම ඉස්ලාමයේ වැදගත්ම ඉගැන්වීමක් වෙයි.
මුහම්මද් නබිතුමාණන් මෙසේ පැවසුවේය: “සියලු සත්වයින් දෙවිඳුන්ගේ නිර්මාණයන්ය. දෙවිඳුන්ගේ නිර්මාණයන්ට යමෙක් කාරුණික වන්නේද ඔහු කෙරෙහි දෙවිඳුන්ගේ කරුණාව ඇත්තේය.”
“මෙයට පෙර ජීවත් වූ නබිවරයෙකු ව කුහුඹියෙකු දෂ්ට කිරීමෙන් ඇතිවූ කෝපය හේතුවෙන් සියලු කුහුඹි තුඹස් පුළුස්සා විනාශ කරන්නට එම නබිවරයා උපදෙස් දීම හේතුවෙන් දෙවිඳුන්ගේ දැඩි කෝපයට ඔහු පත්වුණි. ‘එක් කුහුඹියෙකු ඔබව දෂ්ට කිරීම හේතුවෙන් මට තුති පුදමින් සිටි මහා කුහුඹි සමුහයක්ම විනාශ කරන්නට ඔබ ඉදිරිපත්ව ඇතැ’යි දෙවිඳුන් කෝපයෙන් පැවසු බවද දන්වා සිටියේය”. (බුහාරි – 3072)
සතුන් සම්බන්ධව හිංසනය, කෲරත්වය හා දැඩි භාවයකින් යුක්තව කටයුතු කිරීම ඉස්ලාමය සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇත.
අශ්වයින්ගේ කේශරය හෝ වලිගය කැපීම, සතුන්ගේ මුහුණට පහරදීම, සතුන්ව ඉතා දැඩි වේදනාවකට පත් කරමින් කරන්නාවූ හංවඩු ගැසීම, අශ්වයින්ගේ පිටමත නිකරුණේ සෑදලය බැඳ තැබීම, සතුන්ට දරන්නට බැරි බර පැටවීම, සතුන්ට යහ අයුරින් ආහාර, ජලය හා අවශ්‍ය පෝෂණය ලබා නොදීම, සතුන්ගෙන් ප්‍රමාණයට වඩා වැඩ ගැනීම, කුරුලු කුඩු වලින් පැටවුන් පැහැර ගැනීම වැනි මවගෙන් පැටවුන් ඈත් කිරීමේ ක්‍රියාවන්, සතුන්ට ප්‍රමාණවත් නොවන කුඩු වල තැබීම, කිරි දෙමින් සිටිනා සතුන් ආහාරය සඳහා කැපීම වැනි කරුණු සම්බන්ධව නබි තුමාණන් ඉතා දැඩි ලෙස අවවාද කොට ඇත. සතුන්ට කරන්නා වූ හිංසනයන් දුටු විට එතුමාණන් එම සතුන්ගේ අයිතිකරුවන් හමුවී “සතුන්ට යහ අයුරින් සලකන්න. උන්ට කරන්නා වූ හිංසනයන් පිළිබඳව දෙවිඳුන්ගේ දඬුවමට බියවන්න” යැයි උපදෙස් දී ඇති බව ‘සහිහ් මුස්ලිම්’ හදීස් ග්‍රන්ථයෙහි ඉතා පැහැලිදිව සඳහන් කොට ඇත. සතුන් යොදවා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී හා අනිකුත් වැඩ ගැනීමේදී උන්ට හිංසනයක් වන ලෙස පහර නොදෙන ලෙසද අවවාද කොට ඇත. සත්ව පොර හා සතුන්ව ඉලක්කයන් ලෙස තබා ක්‍රීඩාවක් ලෙසින් විදීමද වෙඩි තැබීමද විනෝදය සඳහා දඩයම් කිරීම තහනම් කොට ඇත. සතුන්ට උපත් පාලන ක්‍රියාවලියක් ලෙසින් කරන්නා වූ (කර ඇඹීම) වණ්ධ්‍යකරණයද ඉස්ලාමය තහනම් කර ඇත.
සතුන්ට කරුණාව දැක්වීමේ යහ ආනිසංසද ඉස්ලාමීය ඉගැන්වීම් තුළ විශාල වශයෙන් අපට දක්නට හැකිය. එක් උදාහරණයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“පිපාසයෙන් පීඩිතව මියයන්නට ආසන්නව සිටි සුනඛයෙකු සම්බන්ධව එක් පාපතර කාන්තාවක් සානුකම්පිත හැඟීමෙන් යුක්තව ළිඳකට බැස තම පාවහනේ දිය පුරවා ගෙනැවිත් එම සුනඛයාගේ පිපාසය සංසිඳුවීමේ පින හේතුවෙන් ඇගේ සියලු පාපයන්ට දෙවිඳුන් පාප ක්‍ෂමාව ලබාදුන් බව නබිතුමාණන් පවසා ඇත.” (බුහාරි හදීස් ග්‍රන්ථය 3208)
එලෙසම සතුන්ට කරන්නා වූ හිංසනයන්ට ලබා දුන්නාවූ දඬුවම් පිළිබඳවද ඉස්ලාමය උගන්වා ඇත්තේ අප සැමට එවැනි කටයුතු වලින් වැළැකී ජීවත් වීම සඳහාවූ අවවාදයක් ලෙසිනි.
“කාන්තාවක් පුසෙකුව කුඩුවක වසා තබා ආහාර ලබා නොදී හා කුඩුවෙන් පිටත ගොස් ආහාර ලබාගන්නටද ඉඩ නොදී කුසගින්නේ මියයන්නට ඉඩහැරීම හේතුවෙන් එම කාන්තාවට නිරයට යන්නට සිදු වූ බව නබිතුමාණන් වරෙක පවසා සිටියේය” (බුහාරි 4:54:535).
ඉස්ලාමීය ඉගැන්වීම්
මිනිසාගේ අහාර අවශ්‍යතාවය සඳහා මාංශමය අහාර හා මත්ස්‍ය අහාර අනුභව කිරීම ඉස්ලාමය අනුමත කර ඇත. කෙසේනමුත් මාංශමය අහාර සැලකීමේදී අනුභව නොකළ යුතු මාංශ වර්ග කවරේද යන්න ඉතා පැහැදිලිව ඉස්ලාමය තුළ සඳහන් වේ.
- මූලික වශයෙන් ඌරු මස් අනුභව කිරීම තහනම්ය [7].
- දඩයම් දත් සහිත මාංශභක්ෂක සතුන් (කිඹුල්ලන්, සිංහයන්, කොටීන්, දිවියන්, බල්ලන්, වෘකයින්, වලසුන් වැනි) [8], [9]
- දඩයම් නිය සහිත පක්ෂීන් (උකුස්සන්, රාජාලීන් වැනි)[10] .
-
කුණු මස් අහාරයට ගන්නා කළු කපුටන්, ගෝමර වැටුණු කපුටන්, ගිජු ලිහිණියන් වැනි සතුන් [11]
- ගෘහාශ්‍රිත බූරුවන් [12],
- විෂ සහිත සතුන් (හූනන්, සර්පයන්, ගෝනුස්සන්, මීයන් වැනි) ගේ මාංශ අනුභවය තහනම්ය[13],[14] [15]
- මනා රුධිර වාහනයක් පිට කළ නොහැකි කෘමි සතුන් (කැරපොත්තන්, කුහුඹුවන්, මැස්සන්, මී මැස්සන්, දෙබරුන්, පනුවන්, උකුණන්, මැක්කන්, ඇඳමකුණන්, මදුරුවන් වැනි)[16]
- මිනී මස් [17]
- මැරීමට තහනම් කළ සතුන්
- කුහුඹුවන්, මී මැස්සන්, හූපෝ පක්ෂියා, ශ්‍රයික් කුරුල්ලා [18]
- බළලුන් [19][20]
- ගෙම්බන්[21]
මෙසේ බැලීමේදී ගොඩ බිම සිටින සතුන් අතුරින් සාමාන්‍යයෙන් මාංශමය ආහාර සඳහා යොදා ගනුයේ ඔටුවන්, ගවයින්, එළුවන්, බැටළුවන්, කුකුල් විශේෂ වැනි සතුන්ය. මීට අමතරව මුව විශේෂ, හා විශේස හා පරවී විශේෂ අහාරයට ගන්නා අවස්ථා දැකිය හැකිය. තාරවන්ද අහාරයට ගන්නා අතර ඔවුන් අපිරිසිදු අහාර අනුභව කරන්නේ නම් තරාවන්ගෙන් වැලකි සිටීම ඉතා යෝග්‍ය වේ. [22]
මත්ස්‍ය අහාර සැලකීමේදී සෞඛ්‍යට අහිතකර නොවේ නම් මත්ස්‍ය අහාර සියල්ලම පාහේ අනුමතය[23] [24][25]. මෙලෙස ඉස්ලාමය තුළ පොදුවේ මාංශ හා මත්ස්‍ය අහාර අනුභවයට අනුමැතිය තිබුණද මාංශ හෝ මත්ස්‍ය අහාර අනුභවය අනිවාර්ය කාර්යයක් නොවේ. මාංශ හෝ මත්ස්‍ය අහාර අනුභවයෙන් තොරව යහ මුස්ලිමයෙකු වීමට කිසිම බාධාවක් නොමැත.
මාංශ අනුභවය අනුමත කළද මාංශ හ වලින් හැකි පමණින් රුධිරය පිටතට වහනය වී තිබිය යුතු බව ඉස්ලාමය අවධාරණය කරයි. රුධිරය යනු අහිතකර සංඝටක වලින් පිරුණු ද්‍රවයෙකි. එබැවින් රුධිරයෙන් අධික මාංශ ගැනීමෙන් සෞඛ්‍ය බලපෑම් ඇති විය හැකිය. තවද තහනමට ලක් නොවූ ගොඩබිම සතුන් අතුරින් පළඟැටියන් හැර ඉබේ මිය ගිය සතුන්ගේ මාංශ අනුභාවයද ඉස්ලාමය තහනම් කර ඇත [26]. විවිධ හේතු නිසා සතා මිය ගොස් තිබිය හැකිය. නිදසුනක් ලෙස යම් විෂගෝර සර්පයෙකුගේ සපා කෑමක් නිසා යම් ආසාදනයක් නිසා විය හැකිය. මෙවන් සතුන්ගේ මස් අහිතකර විය හැකිය. ඉබේ මිය ගිය සතුන්ගෙන් රුධිර පිටතට වහනය වීම මනා ලෙස සිදු නොවන නිසා මිය ගිය සතුන්ගේ මාංශ වල අහිතකර සංඝටක තිබීමේ හැකියාව අධිකය. පළඟැටියන් සතුව ඇති රුධිරය ඉතා අල්ප බැවින් මිය ගිය පළඟැටියන් අනුභව කිරීමේ අවධානමක් සාමාන්‍යයෙන් නොමැත [27]. එබැවින් ඉස්ලාමය පවසන පරිදි මිය ගිය සතුන්ගේ මාංශ වලින් වැළකීමෙන් මෙම අවධානමෙන් අපව ආරක්ෂා කරගත හැකිය.
ගොඩබිම සතුන් මෙන් නොව ජලයේ පමණක් ජීවත් වන ඉබේ මිය ගිය මත්සයන් අනුභව කිරීම ඉස්ලාමය තහනම් කර නොමැත [28][29]. මත්සයන් තුළ ගොඩබිම ජීවීන්ට සාපේක්ෂව රුධිර සංසරණය අවම වීම නිසා මිය ගිය මසුන් තුළ අධික වශයෙන් රුධිරය තැන්පත් වන්නේ නැත[30]. එබැවින් මිය ගිය මසුන් අනුභව කිරීමේ ගැටළුවක් නොමැත. ඇතැම් සතුන් ජලයේ මෙන්ම ගොඩබිම ජීවත් වෙති. මෙවන් සතුන්ගේ ජීව විද්‍යාත්මක සැකැස්ම දෙස අවධානයෙන් බලා තීරණය කළ යුතුය. කැස්බෑවන්, දියබල්ලන් වැනි සතුන් සතුව අනෙකුත් ගොඩබිම සතුන් මෙන්ම වැඩි රුධිරයක් තිබෙන බැවින් මිය ගිය කස්බාවන්ද අනුභව නොකළ යුතු වේ. මුහුදු කකුළුවන් ගොඩබිම වාසය කළත් ඔවුන් සතුව රුධිර සංසරණ පද්ධතියක් නොමැති බැවින් මිය ගිය මුහුදු කකුළුවන් අනුභව කිරීමේ ගැටළුවක් නොමැත.
ඉහත සඳහන් ඇතැම් සත්ව වර්ග හැර මිය ගිය සතුන්ගේ මාංශ අනුභවය සුදුසු නොවන නිසා එම සතුන්ගේ මාංශ අහාර ලබා ගැනීමට සතුන් ඝාතනය කිරීමට සිදු වේ. මේ සඳහා විවිධ ක්‍රම විවිධ පුද්ගලයින් භාවිතා කරයි. ගෙල මිරිකා මරණයට පත් කිරීම, උස් තැනක සිට පහලට දමා මරණයට පත් කිරීම, උල් ආයුධ වලින් ඇන මරණයට පත් කිරීම ආදිය මින් සමහරකි. මෙම ක්‍රම වලදී සත්වයාගේ මරණය ක්ෂණිකව සිදු වන්නේ නැත. තවද මෙම ක්‍රම තුළින් ලේ පිටතට වහනය වීම මනා ලෙස සිදු නොවන නිසා විෂ සහිත ලේ මස් වල තිබීමේ හැකියාව ඉතා අධික වේ. සතුන් ඝාතනය සඳහා ඉහත ක්‍රම ඉස්ලාමය අනුමත නොකරන අතර මනා ලෙස ලේ වහනය සිදු වන “දබීහා” නම් සතුන් කැපීමේ ක්‍රමය නිර්ණය කර ඇත. මේ කාරණා පිළිබඳව ඉතා කෙටියෙන් පහත කුර්ආන් වැකියේ සඳහන් වේ.
“මළ සතුන් ද රුධිරය ද සුකර මාංශ ද අල්ලාහ් හැර වෙනත් දෑ සඳහා (ඒවායෙහි නාමයෙන්) භාර කරනු ලැබූ දෑ ද ගෙල මිරිකා මරන ලද සතුන් ද පහළට වැටී මරණයට පත් සතුන් ද ඇනීමෙන් මරණයට පත් සතුන් ද තවද නුඹලා (ඉස්ලාමීය) අනුමත ක්‍රමයට අනුව කැපීමෙන් මිස තිරිසන් සතුන් ආහාරයට ගත් දෑ ද පිළිම වෙනුවෙන් කපනු ලැබූ දෑ ද ඊතල මගින් පංගු තීන්දු කිරීම ද නුඹලාට තහනම් කරනු ලැබ ඇත….” (අල් කුර්ආන් 5:3)
ඉබේට මළ දේ, ගැලීමට සැලැස් වූ ලේ, අපිරිසිදුම වූ ඌරාගේ මස, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් බෙලි කපනු ලැබූ පාප වූ දේ(වන මස) හැර වෙන කිසිවක් අනුභව කරන්නා කෙරෙහි, එය අනුභව කිරීමට වළක්වනු ලැබූ දෙයක් ලෙස මට වහී ලෙස දන්වනු ලැබූ දේහි මා දුටුවේ නැතැ යි (නබි) ඔබ පවසන්න! කවරෙක් හෝ පාපය කරන චේතනාවක් නැතිවද සීමාව නොඉක්මවාද (මේවා අනුභව කිරීමට) බල කරවනු ලබයිද නියතව ඔබගේ ස්වාමියා අධිකව සමාකරන්නාද අසම දයාවන්තයාද වේ. (අල් කුර්ආන් 6: 145)
ඔවුනට පිරිසිදු දේ අනුමත කර, අපිරිසිදු දේ ඔවුනට වළක්වන්නේය. (අල් කුර්ආන් 7: 157 )
මේ අනුව මිනිසාගේ ආහාරය සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ඉස්ලාමීය පිළිවෙත අනුව කපනු ලැබූ අනුමත සතුන්ගේ මාංශ පමණි. කෙසේනමුත් මෙම සතුන් තම පැටවුන්ට කිරි ලබා දෙන සතෙකු නොවිය යුතුය. සතුන් කැපීමේදී අනුගමනය කළ යුතු නිසි ක්‍රමවේදය පිළිබඳවද ඉස්ලාමය උපදෙස් ලබා දී තිබේ.
- සතා මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතු අතර කිසිම අසීරුතාවකින් නොසිටිය යුතුය.
- සත්වයාට හොඳින් ආහාර හා ජලය ලබා දීම.
- පිහිය ඉතාමත්ම හොඳින් මුවහත් කර තිබීම. සතා ඉදිරියේ පිහිය මුවහත් නොකළ යුතුය.
- කලබලකාරිත්වයකින් තොරව සෙමින් සතාව කපන තැනට ගෙන යෑම. එක් සතෙකු ඉදිරියේ තවත් සතෙකු නොකැපිය යුතුය.
- කපන්නා හොඳ සිහිය ඇති වැඩිහිටි මුස්ලිමයෙකු වීම.
- කැපීම දෙවිඳුන්ගේ නාමය පවසමින් කළ යුතුය. සියලු ජීවීන් දෙවිඳුන්ට අයත් බවත් දෙවිඳුන් ලබාදුන් ජීවියෙක්ව අනුමත ක්‍රමයට ආහාරය පිණිස ගැනීමට කරන්නා වූ ක්‍රියාවක් බව මෙයින් සහතික කොට ඇත.
- කැපීම ඉතාමත්ම මුවහත් පිහියකින් ඉදිරියට හා පසුපසට ගෙන ඒමෙන් ඉතා ක්ෂණිකව එක් කැපීමකින් අවසන් කිරීම.
- කැපීමෙන් ශ්වාසනාලය, ආහාර මාර්ගය, හා ප්‍රධාන ලේ නහර කැපී යා යුතුය. සුෂුම්නාව (Spinal cord) නොකැපිය යුතුය.
- කැපීමෙන් පසු ඉතා හොඳින් රුධිරය ගලා යෑමට සැලසිය යුතුය.
ඉස්ලාමය කොතෙක් දුරට සත්ව කැපීම ගැන සාධාරණ ලෙස අවධානය යොමු කර ඇද්ද යන්න ඉහත විස්තරයන්ගෙන් මනාව සනාථ වෙයි.
මාංශමය අහාර ලබා ගැනීම සඳහා ඉස්ලාමය අනුමත කරන සතුන් දඩයම් කිරීමට අවශ්‍ය වන අවස්ථාවලදී කටයුතු කළ යුතු අකාරයද ඉස්ලාමය පෙන්වා දී ඇත. දුනු-ඊතල මඟින් දඩයම් කරන අවස්ථාවේදී එම ඊතල මුවහත් විය යුතු අතර සතාගේ ලේ වහනය වන අයුරින් තුවාල විය යුතුය. ඊතලය වැදුණු පීඩනයට මිය ගියේ නම් එම සතාගේ මාංශ අනුමත නොවේ. [31] මෙහිදී ඇතැම් විට ලේ වහනය සාපේක්ෂව අඩු වන අවස්ථා ඇති විය හැකිය. එවන් අවස්තාවලදී යම් සහනයක් ඉස්ලාමය තුළ පවතියි. [32] ඊතලය එල්ල වූ පසු සතා පලා ගොස් දිනයකට පසුව හමු වූ විට එම සතා මත ඊතලයේ සලකුණ පමණක් තිබෙන්නේ නම් කෙනෙකුගේ කැමැත්ත මත එම සතාගේ මාංශද අනුමතය [33]. නමුත් සතා හමු වෙන විට එම සතා වතුර වලක වැටී මිය ගොස් සිටියේ නම් මෙහිදී සතා මිය ගියේ ඊතලය නිසාද වතුර නිසාද යන්න ගැටළුවක් මතු වන නිසා එම සතාගේ මාංශ අනුභවය තහනම් වේ.[34]
දඩයම් කිරීම සඳහා දඩයම් බල්ලෙක් උපයෝගී කරන්නේ නම් දෙවිඳුන්ගේ නාමයෙන් එම බල්ලාව පිටත් කළ යුතු වේ. එම බල්ලා සතාව පණ පිටින් අල්ලා ගත්තේ නම් දබීහා ක්‍රමයට එම සතාව කපා අහාරයට හැක. එම සතා මිය ගොස් තිබුණේ නම්ද අහාරයට ගත හැක. නමුත් දඩයම් බල්ලා සමඟ තවත් බල්ලන් එක්ව ගොදුරු කරගැනීමෙන් එම සතා මිය ගියේ නම් සතා මිය ගියේ දඩයම් බල්ලා හේතුවෙන්ද අනෙක් බල්ලන් හේතුවෙන්ද යන සැකය මතු වන නිසා එම සතාගේ මාංශ අනුභව කළ නොහැක. තවද දඩයම් බල්ලා එම සතාව සපා කා තිබුණේ නම්ද එම සතාව අනුභව කළ නොහැක. [35]
අහාරයට අනුමත ඉබේ මිය ගිය සතුන් වන මත්සයන් හා පලන්ගැටියන් අහාර සඳහා ඝාතනය කිරීමට අවශ්‍ය වන්නේ නම් යම් සුදුසු අකාරයකින් එය සිදු කළ හැකිය.
ඉස්ලාමය පවසන සතුන් කැපීමේ ක්‍රමය (දබීහා)
මාංශ අනුභවය සඳහා සතුන් ඝාතනය කරන විවිධ ක්‍රම ලෝකයේ උපයෝගී කරති. කෙසේනමුත් මාංශ අනුභවය හා ඒ වෙනුවෙන් සතුන් කැපීම පිළිබඳ ඉතා පරිපුර්ණ මඟපෙන්වීම් ඇත්තේ ඉස්ලාමය තුළ පමණි. සතුන් කැපීම පිළිබඳ ඉස්ලාමය ඉදිරිපත් කරන නුතන විද්‍යාවට එකඟතාවක් ඇති මෙන්ම හිංසනයෙන් තොර වූ ක්‍රියා පිළිවෙත පහතින් ඉදිරිපත් සඳහන් වේ. මේ සඳහා ජර්මනියේ පළවන සත්ව පාලකයින් හා විද්‍යාඥයින් අතර ජනප්‍රිය “German Veterinary Weekly” යන සඟරාවේ 85 වන වෙළුමේ 62-66 යන පිටුවල සඳහන් දීර්ඝ විස්තරයෙන් උපුටා ගත් කරුණු පහතින් ඉදිරිපත් කර ඇත්තෙමු.
ජර්මානු සත්ව සුබ සාධන පනත (Animal Welfare Act of 24th July 1972) අනුව සතුන් පිළිබඳව ක්‍රියා කිරීමේදී උද්වේගයට වඩා විද්‍යාත්මක සාධක මත පදනම් වී කටයුතු කළ යුතු බව සඳහන් වී ඇත. මෙම පනත අනුව හිංසනයෙන් තොරව සතුන් කැපීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක අවශ්‍යතාව මතුකොට තිබිණ. මේ අනුව මහාචාර්ය W. ෂුල්ට්ස්, H. ෂුල්ට්ස්, A.S. හාසිම්, හා R. ග්‍රොස් යන විද්‍යාඥයින් විසින් ජර්මනියේ හැනොවර් විශ්ව විද්‍යාලයේදී විද්‍යාත්මක පර්යේෂණයක් පවත් වන ලදී. බටහිර දැනට භාවිතයේ ඇති සියලු ක්‍රමවේදයන් පිළිබඳව ඔවුන් විසින් පර්යේෂණ පවත්වා එමගින් මරණයට පත්වීමට පෙර සතාට විඳින්නට සිදුවන වේදනාවන් පිළිබඳව විද්‍යානුකුල තක්සේරුවක් කර ගන්නා ලදී. මෙම ක්‍රමය තුළින් සනාථ වූ ප්‍රධාන සාධක නම්, සතුන් විශාල ලෙස කලබලයට පත්වීම, විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG) අනුව සතුන් දැඩි වේදනාවකට පත් වීම හා හෘද ස්පන්දනය සැනින් නතර වී යෑම හේතුවෙන් ශරීරයෙන් රුධිරය ඉවත් වීම අවමවීම යන කරුණුය. මෙම කරුණු වලින් පෙනී යන්නේ සතාට දැඩි වේදනාවක් මෙන්ම සතාගේ ශරීරයෙන් රුධිරය පිටවීම අවම වීම හේතුවෙන් එම මාංශය සෞඛ්‍යයට එතරම් හිතකර එකක් නොවන බවය.
මෙම පර්යේෂණයට විද්‍යුත් මස්තිෂ්ක රේඛය (Electro Encephalogram – EEG), විද්‍යුත් කන්තු රේඛය (Electro Cardiogram-ECG), රුධිර පීඩන මාපකය ආදිය ඇතුළු ව තවත් සංකීර්ණ උපකරණ උපයෝගී කර ගන්නා ලදී. විශේෂයෙන්ම EEG මගින් වේදනාවක් ඇති වන විට මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනස මැනීමට හැකියාවක් තිබිණ. මෙම පර්යේෂණය ඉතා සංකීර්ණ තාක්ෂණික විස්තරයන්ගෙන් යුක්ත වුවක් වන අතර එමගින් සොයාගත් කරුණු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු. ඉස්ලාමීය පිළිවෙත අනුව සතුන් කැපීමේදී හෙළි වු කරුණු අනුව:-
- ඉතා මුවහත් වූ පිහියකින් කැපීමේදී කැපීමට පෙර හා පසු EEG මානයේ එක සමාන කියවුම් දක්නට ලැබිණ. කැපීමේ කාලයේදී දක්නට තිබු සුළු ප්‍රතික්‍රියාව පහත සඳහන් අයුරින් විය. එළුවන් බැටළුවන් වැනි සතුන් සඳහා තත්පර 4 සිට 6 දක්වාද ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 10 ට වැඩි නොවන අයුරින් එම ප්‍රතික්‍රියා කාලය විය.
- ශුන්‍ය රේඛනයක් EEG මානයේ එළුවන් හා බැටළුවන් සඳහා තත්පර 13 කට පසුවද, ගවයින් වැනි ලොකු සතුන් සඳහා තත්පර 23 කට පසුවද දක්නට ලැබිණ.
- තාප වේදනා උත්තේජකයේ (Thermal Pain Stimuli) කිසිදු වෙනසක් දක්නට නොතිබිණ.
- ගවයින් වැනි ලොකු සතුන් කැපීමෙන් තත්පර 40 කට පසු හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට 240 දක්වාත් එළුවන් බැටළුවන් වැනි සතුන්ගේ හෘදස්පන්දන වේගය මිනිත්තුවකට 280 දක්වාත් වැඩි විය. මෙසේ හෘද ස්පන්දනය වැඩි වන්නේ සතාට ජීවය ඇති නිසා හෝ වේදනාව දැනෙන නිසා හෝ නොවන බව සොයා ගන්නා ලදී. මෙයට හේතුව පහතින් දක්වා ඇත්තෙමු.
ඉහත නිරීක්ෂණයන් පදනම් කරගෙන පහත සඳහන් නිගමනයන්ට එළඹීමට ජර්මන් විද්‍යාඥයින්ට හැකි වූ බව සඳහන් කොට තිබිණ.
- ඉහත සාධකයන් අනුව නියමිත ආකාරයට කැපීම සිදු කළහොත් පිහිය තබා කපන තත්පර කිහිපයක ප්‍රතික්‍රියාව හැර අන් කිසිම වේදනාවක් දැරීමට සිදු නොවන බව විද්‍යාත්මකව ඔප්පු විය. මෙසේ කිරීමේදී මොළයට රුධිරය සපයන ප්‍රධාන නාලයන් විසන්ධි වන හෙයින් මොළය අක්‍රීය තත්වයට පත් වෙයි. ශරීරයෙන් මොළයට පණිවිඩ ගෙන යන නාල සියල්ල විසන්ධි වීම හේතුවෙන් සතාට වේදනාව දැනීමේ හැකියාව නැති වී යන්නේය. ශ්වාසනාලයද විසන්ධි වන හෙයින් මොළයට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යාමෙන් සතා නිර්වින්දන තත්වයකට පත්වන්නේය.
- කැපීමෙන් පසු හෘදස්පන්දනය ඉහළ යෑමට හේතුව මොළයේ ක්‍රියාකාරිත්වයකින් තොරව සිදුවන්නාවූ මාංශ පෙශීන්ගේ ප්‍රතීක (Reflex) ක්‍රියාකාරිත්වයක් බව සොයා ගන්නා ලදී. මේ හේතුවෙන් ශරීරය තුළ ඇති රුධිරයෙන් අති විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට හැකියාව ඇති වී තිබේ.
- අධික රුධිරය අඩංගු මාංශය මිනිසාගේ සෞඛ්‍යයට හිතකර නොවන හෙයින් රුධිරය බැහැර කිරීමේ ක්‍රියාවලියෙන් ඒ අයහපතද ඉවත් කර ගන්නට හැකියාව ඇති වී තිබේ.
ඉහත විද්‍යාත්මක පර්යේෂණයෙන් සොයා ගත් කරුණු වලින් ඉතා මැනවින් ඔප්පු වන්නේ අහාර වෙනුවෙන් සතුන් කැපීමට ඉස්ලාමය අනුමත ක්‍රමය හිංසනයෙන් තොර වූ හොඳම ක්‍රමය බවය [36].
සාරාංශය
සත්ව ඝාතනයෙන් තොරව මිහිතලය මත මිනිස් පරපුරක පැවැත්ම කිසිසේත්ම සිදුවිය නොහැක්කක් යන්න ලෝක යථාර්ථයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වන අහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ශාකමය හා මාංශමය යන අහාර වර්ග දෙකම මත යැපීමට මිනිසාට සිදු වන අතර මාංශමය අහාර වලින් බැහැර වී ශාකමය අහාර මත පමණක් යැපීම ගෝලීය වශයෙන් ප්‍රායෝගික නොවන බව ඉතා පැහැදිලිය. මෙම මාංශමය අහාර ලබා ගැනීම සඳහා සත්ව ඝාතනය සිදු වීම වැළැක්විය නොහැකි ගෝලීය යතාර්තයකි. එබැවින් මෙම යතාර්තයට මුහුණ දීමට යම් මඟ පෙන්වීමක් අවශ්‍ය වේ.
මිනිසාට අනුමත මාංශ වර්ග මොනවාද එම මාංශ අහාර ලබා ගැනීම සඳහා සතුන් ඝාතනය කිරීමට සිදු වන අවස්ථාවේදී කටයුතු කළ යුතු අකාරය කුමක්ද? මෙම විෂයේදී පවතින සීමාවන් කවරේද යන්න දෙවිඳුන් මිනිසාට මඟ පෙන්වා ඇත. දෙවිඳුන්ගේ මෙම මඟපෙන්වීම යතාර්තයට අනුකූල ප්‍රයෝගික ඉගැන්වීමක් බව මෙම ලිපියේ සඳහන් කරුණු කියවීමේදී බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ කර ගත හැකිය.
මූලාශ්‍ර
[1] https://www.medicalnewstoday.com/articles/322827.php
[2] https://patient.info/doctor/healthy-diet-and-enjoyable-eating
[3] http://www.fao.org/fishery/facp/CHN/en
[4] පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි, නිර්මාංශ ප්‍රශ්නය
[5] කලුන්දාවේ කමලසිරි හිමි, නිර්මාංශාහාරය පිළිබඳ බෞද්ධ ස්ථාවරය
[6] http://203.94.94.89/mainsite/Agriculture/StaticalInformation/rubb5
[7] අල් කුර්ආනය 5:3
[8] https://sunnah.com/muslim/34/23
[9] https://sunnah.com/bukhari/4/38
[10] https://sunnah.com/muslim/34/23
[11] al-Mawsoo’ah al-Fiqhiyyah al-Kuwaitiyyah (5/135)
[12] https://sunnah.com/bukhari/64/258
[13] https://sunnah.com/muslim/39/195
[14] https://sunnah.com/muslim/15/72)
[15] https://sunnah.com/muslim/15/83)
[16] අල් කුර්ආනය 5:3
[17] අල් කුර්ආනය 5:2
[18] https://sunnah.com/abudawud/43/495
[19] https://sunnah.com/tirmidhi/14/82
[20] https://sunnah.com/urn/1273560
[21] https://sunnah.com/nasai/42/93
[22] https://sunnah.com/bukhari/11/6
[23] අල් කුර්ආනය 4:29
[24] අල් කුර්ආනය 2:195
[25] අල් කුර්ආනය 5:96
[26] https://sunnah.com/urn/1273240
[27]https://www.nrcresearchpress.com/doi/abs/10.1139/z69-206?journalCode=cjz#.Xi_ECDIzbIU
[28] https://sunnah.com/urn/1273240
[29] අල් කුර්ආනය 5:96
[30] http://www.fao.org/3/v7180e/v7180e04.htm
[31] https://sunnah.com/bukhari/72/1
[32] අල් කුර්ආනය 2:185
[33] https://sunnah.com/muslim/34/10
[34] https://sunnah.com/muslim/34/11
[35] https://sunnah.com/muslim/34/10
[36] http://www.iupui.edu/~msaiupui/slaugteringanimals.htm