මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙක්ද?, උම්මත්තකයෙක්ද?, නොඑසේනම් සත්‍යවන්තයෙක්ද?

මීට අවුරුදු 1400 කට පමණ පෙර අරාබිකරයේ මක්කා නගරයේ මුහම්මද් තුමා ඉපදුණේය. මුහම්මද් තුමා ඉතා ආදර්ශමත් ජීවිතයක් ගත කළ පුද්ගලයෙක් වූ අතර සියලු දෙනාගේ හද දිනා ගෙන සිටියේය. මෙසේ ජීවත් වූ මුහම්මද් තුමා තම මැදි වියේදී ජනතාවට සුවිශේෂී පණිවිඩයක් ඉදිරිපත් කළේය. එනම් අල්ලාහ් හැර වෙන කිසිඳු දෙවි කෙනෙක් නොමැති බවත්, නැමදීමට සුදුස්සා අල්ලාහ් පමණක් බවත් මිනිසුන්ට දේශනා කළ අතර තමා අල්ලාහ්ගේ අවසාන පණිවුඩකරුවා බවද මිනිසුන්ට දැනුම් දුන්නේය. මොහුගේ මෙම පණිවුඩය ඇතැමුන් පිළිගත්හ, තවත් සමහරු තම මුතුන් මිත්තන්ගේ දහම් ඉවතලීමට අකමැති වී මුහම්මද් තුමාගේ පණිවුඩය ප්‍රතික්ෂේප කළහ. මුහම්මද් තුමාගේ ජීවිතය පිළිබඳව කෙටියෙන් දැන ගැනීමට “මුහම්මද් ﷺ තුමාගේ ජීවිතය කෙටියෙන්” යන ලිපිය කියවන්න.

මුහම්මද් තුමා ගෙන ආ පණිවුඩය ඇත්තෙන්ම සත්‍යයක්ද?

විවිධ තාර්කික හේතු මත මොහු ගෙන ආ පණිවුඩය සත්‍යය බව අපට තීරණය කළ හැකිය (නිර්මාණ න්‍යායවිශ්මිත කුර්ආනය). කෙසේනමුත් මෙම ලිපියේ, මුහම්මද් ﷺ තුමාගේ ජීවිතය පිලිබඳ කරුණු එළිදරව් කරන ඉතිහාසගත තොරතුරු වලට අනුව මොහුගේ පණිවුඩයේ සත්‍ය අසත්‍යතාව විමසා බලා ඇත.

මුහම්මද් ﷺ තුමා පිලිබඳ ලියැවුණු ඉතිහාසය පිළිගැනීමේ පදනම

ඥාන විභාගය (epistemology – දැනුම හා විශ්වාසය පිලිබඳ අධ්‍යයනය) යන දාර්ශනික විෂයේදී, වාග් ප්‍රකාශය (testimony) යනු දැනුම ලබා ගත හැකි එක් මූලාශ්‍රයකි. වාග් ප්‍රකාශය නිවැරදි ලෙස යොදා ගැනෙන්නේ නම් එය පදනම් කරගනිමින් සාධාරණ විශ්වාසයන් ගොඩනගා ගත හැකිය. වාග් ප්‍රකාශය පිළිගත හැකි දැනුම් මූලාශ්‍රයක් වන්නේ මෙම වාග් ප්‍රකාශය විශ්වාසනීය මාධ්‍යයකින් පැමිණෙන්නේ නම් පමණි. විශේෂයෙන් එකම වාග් ප්‍රකාශය බහු විධ මාධ්‍යයන්ගෙන් අපට ලැබි ඒ අතර එකඟතාවයක් ඇත්නම් මෙම වාග් ප්‍රකාශය වලංගු, පිළිගතහැකි වාග් ප්‍රකාශයක් බවට පත් වේ. වාග් ප්‍රකාශය භාවිතා කිරීමේදී විවිධ කොන්දේසි තිබුණද පොදුවේ වාග් ප්‍රකාශය දැනුම ලබා ගත හැකි වලංගු මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකිය. උදාහරණයක් ලෙස ලොව සියලුම දෙනා පිළිගන්නා මහත්මා ගාන්දි තුමාගේ අවිහිංසාව පත පදනම් වූ දර්ශනයට අවධානය යොමු කරමු. ලොව සිටින බහුතරයකට ඔහුව හමු වීමට හෝ ඔහු සමග කාලය ගත කිරීමට හෝ ඔහු සමග එක්ව සාමකාමී විරෝධතා වැඩසටහන් වලට සහබාගි වීමට අවස්තාව ලැබී නැත. කෙසේනමුත් මහත්මා ගාන්දි තුමා යනු අවිහිංසාවාදී දර්ශනය අනුගමනය කළ පුද්ගලයෙකු බව අපි සියලු දෙනා පිළිගන්නේ කිසිඳු අපහසුතාවයකින් තොරවය. මෙසේ තීරණය කිරීමට අපට ලැබී ඇති පුනරාවර්තී වාග් ප්‍රකාශයන් උපකාර වී ඇත. එනම් මහත්මා ගාන්දි තුමා අවිහිංසාවාදී දර්ශනය අනුගමනය කළ පුද්ගලයෙකු බව වාග් ප්‍රකාශයන් රාශියක් මිනිසුන් රාශියකගෙන් ලැබී තිබෙන අතර ඒ වාග් ප්‍රකාශයන් අතර එකඟතාවයක් තිබේ. යම් කරුණක් පිළිබඳව බොහෝ පිරිසකගෙන් බහු විධ මාධ්‍යයන්ගෙන් වාග් ප්‍රකාශයන් ලැබී ඒ වාග් ප්‍රකාශයන් අතර එකඟතාවයක් තිබෙන්නේ නම් ඔවුන් යම් මුසාවක් මත එකඟ වී ඇති බව පිළිගැනීම අසීරුය. මෙම වාග් ප්‍රකාශයන් ලබා දුන් පුද්ගලයින් එකිනෙකා හමු වී නොමැති නම්, ඔවුන් ජීවත් වන්නේ විවිධ ප්‍රදේශ වල නම්, ඔවුන් ජීවත් වී ඇත්තේ විවිධ කාල වලදී නම් ඔවුන් යම් මුසාවක් මත එකඟ වී ඇති බව පැවසීම තවත් අසීරු වේ. දැන් මොහොතකට “මාහත්මා ගාන්දි තුමා බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කුඩා කාලයක් සේවය කළ අතර මෙම කාලයේදී 2000කට අධික සිරකරුවන්ට වධ හිංසා පමුණුවා ඇත” යන ප්‍රකාශය ගැන මදක් සිතන්න. කෙනෙකු මෙම ප්‍රකාශයට වැදගත්කමක් දීමට නම් ඒ සඳහා පැහැදිලි සාක්ෂි අවශ්‍ය වනවා නොවේද?

මුහම්මද් ﷺ තුමාගේ ජීවිතය පිළිබඳවද බහු විධ මාධ්‍යයන්ගෙන් අපට තොරතුරු ලැබී ඇත. මෙම කරුණු සාධාරණය හේතුවක් නොමැතිව ප්‍රතික්ෂේප කිරීම මහත්මා ගාන්දි තුමාගේ අවිහිංසාවාදී දර්ශනය ප්‍රතික්ෂේප කිරීමට සමානය.

ඉහත කරුණු මතකයේ තබා ගනිමින් තමා දේව පණිවුඩකරුවෙකු යැයි මුහම්මද් ﷺ තුමා පැවසු ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව ගැන කරුණු සාකච්ඡා කරමු.

විය හැකි අවස්ථාවන් සැලකීමේදී මුහම්මද් ﷺ තුමා තමා දේව පණිවුඩකරුවෙකු යයි පැවසු ප්‍රකාශය බොරුවක් විය යුතුය, නොඑසේනම් ඔහු උමතුවෙන් මෙවන් දෙයක් දොඩවා තිබිය හැක. මෙම නිගමන දෙකම නිවැරදි නොවේ නම් ඔහු පවසා ඇත්තේ සත්‍ය කරුණක් බව අපට තීරණය කළ හැක. මෙම නිගමන තුන හැරුණු කොට වෙනත් තාර්කික නිගමනයක් අපට යෝජනා කළ නොහැකිය.

මුහම්මද් ﷺ තුමා ප්‍රකාශ කළේ බොරුවක්ද?

මුහම්මද් ﷺ තුමා පිලිබඳ ලැබී ඇති ඉතිහාසගත තොරතුරු අවධාරණය කරනුයේ මුහම්මද් තුමාගේ අවංකභාවයයි. මෙතුමා බොරුකාරයෙකු නොවන බව ඉතා පැහැදිලි කරුණකි. මෙතුමාට හතුරුකම් කළ උදවිය පවා මොහුට පවසා සිටියේ “සත්‍යවන්තයා” ලෙසය.[1]

බොරුකාරයෙකු සාමාන්‍යයෙන් බොරු පවසන්නේ යම් ලෞකික වාසියක් සඳහාය. කෙසේනමුත් මුහම්මද් ﷺ තුමාගේ ධර්ම දේශනය මෙවන් ලෞකික වාසියක් සඳහා සිදු වූ බව තීරණය කළ නොහැක. ඔහුගේ ධර්ම දේශනාව නවත්වන්නේ නම් සැප සම්පත්, කාන්තාවන් ඇතුළු රජකම ලබා දෙන බව ඔහුගේ ධර්ම දේශනාවට විරුද්ධ වූවන් පැවසුවද මුහම්මද් ﷺ තුමා ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය. මෙම දීමනාවලට අශා වී ඔහුගේ පණිවුඩය ඔහු අත හැර දැමුවේ නැත. ඔහු පවසා සිටියේ සූර්යා හා චන්ද්‍රයා තම අතට ගෙනැවින් දුන්නද තම ධර්ම දේශන මෙහෙය නවත්වන්නේ නැති බවය. එබැවින් ලෞකික සැප සම්පත් වෙනුවට ඔහුට සිදු වූයේ ඔහුගේ පණිවුඩය ප්‍රතික්ෂේප කළ පිරිසගෙන් පීඩා විඳීමටය.[2] දිනක් දෙවිඳුන්ට නමදිමින් සිටින විට ඔහුට සතුරුකම් කළ කෙනෙක් ඔටු බඩවැල් ගෙනැවිත් ඔහුගේ බෙල්ලේ දැමුවේය. මොහු තායිෆ් නගරයට ගිය විට ඔහුට ගල් මුල් වලින් ගැසුවෝය. මොහුව මරා දැමීමට කුමන්ත්‍රණය කළහ. මේ හේතුව නිසා තම උපන් භූමියෙන් පිට වී වෙනත් නගරයකට සංක්‍රමණය වීමට සිදු විය. මොහුගේ ආදරණීය අනුගාමිකයන්ට හිංසා කළ අතර ඇතැම් අනුගාමිකයන්ව මරා දැමූහ.[3] මේ සියලු පීඩා විඳ දරාගනිමින් ඔහු ඉතා චාම් ජීවිතයක් ගත කළේය. බොරු පවසන පුද්ගලයා තමා බොරුවක් පවසන බව හොඳින් දනී. එනිසා ඔහු පවසන දේ ඔහු විශ්වාස කරන්නේ නැත. මෙවන් කෙනෙක් තම බොරුව වෙනුවෙන් පීඩා විඳීමට සූදානම් වන්නේද නැත. නමුත් මුහම්මද් තුමා මෙම පීඩාවන් විඳ දරා ගැනීම තුළින් සනාත වන්නේ මොහු දේශනා කළ පණිවුඩය මොහු තරයේම විශ්වාස කර තිබෙන බවය.

අරාබි හා ඉස්ලාමීය අධ්‍යයනය ක්ෂේත්‍රයේ ගෞරව සහිතව විශ්‍රාමලත් මහාචාර්ය W. මොන්ට්ගොමෙරි වොට්, “මක්කාවෙහි මුහම්මද්”(Muhammad at Mecca) නම් පොතේ මේ පිළිබඳව මෙසේ සඳහන් කරයි:

ඔහුගේ විශ්වාස හේතු කොටගෙන පීඩා විඳීමට ඔහු තුළ තිබු සූදානම් බව, ඔහුව විශ්වාස කළ අයගේ උසස් සදාචාරාත්මක චරිත හා ඔහුව නායකයෙකු ලෙස බැලීම, ඔහුගේ අවසාන ජයග්‍රහණයේ තිබුණු ශ්‍රේෂ්ඨත්වය යන සියල්ල ඔහුගේ මූලික අවංකභාවය පිළිබඳව කරුණු ඉදිරිපත් කරයි. මුහම්මද් යනු රැවටිලිකාරයෙක් යැයි සිතීම බොහෝ ගැටලු ඇති කරනවා මිස විසඳන්නේ නැත.[4]

දේශපාලනික හා අධාත්මික ජයග්‍රහණයට හා සාර්ථකත්වයට තුඩු දුන් මූලික කරුණ වූයේ මුහම්මද් තුමාගේ සත්‍යවන්තභාවයයි. ඔහුගේ චරිතයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන සත්‍යවන්තභාවය ඔහු තුළ නොතිබුණේ නම් කුඩා කාලයකදී ඔහු සාක්ෂාත් කරගත් කිසිවක් ඉටු කර නොගෙන තිබී ඇත. මේ පිළිබඳව ඉතිහාසඥයෙක් වන එඩ්වඩ් ගිබන් හා සයිමන් ඔක්ලේ ඔවුන්ගේ සාර්සන් අධිරාජ්‍යයාගේ ඉතිහාසය (History of the Saracen Empire) නම් කෘතියේ මෙසේ සඳහන් කරති.

අව්‍යාජ සදාචාරාත්මක සාදකය මුහම්මද් තුමාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණයට හේතු විය. [5]

ඉහත කරුණු තුළින් මුහම්මද් තුමා බොරුකාරයෙකු විය නොහැකි බව පැහැදිලිවම සනාත වේ. තවද ඔහුට දරාගැනීමට සිදු වූ අධික පීඩාකාරී තත්ව යටතේද තම ධර්ම දේශනාව දිගටම සිදු කරගෙන යාමේ මානසික තත්වය බොරුකාරයෙකුට කිසිසේත්ම ගැලපෙන්නේ නැත. එනිසා මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙකු යැයි පැවසීම සාක්ෂි නොමැතිව පවසන පුහු ප්‍රකාශයක් පමණි.

මුහම්මද් ﷺ තුමා උම්මතකයෙක්ද?

මුහම්මද් තුමාගේ ඉගැන්වීම් උම්මතකයෙකුගේ ඉගැන්වීම් නොවන බව එම ඉගැන්වීම් අධ්‍යයනය කරන කෙනෙකුට පහසුවෙන්ම වටහා ගත හැක. උතුම් චරිතයක් ගොඩනඟා ගන්නේ කෙසේද? අන් අයට උදව් කරන්නේ කෙසේද? වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ කෙසේද? යනාදී කරුණු රාශියක් ඔහු මිනිසුන්ට කියා දී ඇත. තවද යතාර්ථය කුමක් වුවද උමතු පුද්ගලයෙකු තුළ තමා පවසන දේ පිලිබඳ අධික විශ්වාසයක් ඇත. එබැවින් කෙනෙකු උමතුවෙන් සිටින්නේ නම් අසත්‍ය කරුණු සත්‍ය කරුණු ලෙස විශ්වාස කරන අතර, ඒ අනුව විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරන්නේය. නමුත් මුහම්මද් තුමා මතුවට සිදු වීමට නියමිත විවිධ කාරණා පිලිබඳ අනාවැකි පල කර ඇත. මේ කරුණු මුහම්මද් තුමා පැවසු අකාරයින්ම සිදු වී ඇත. මෙවන් නිවැරදි අනාවැකි උමතු පුද්ගලයෙකුට පැවසිය නොහැකිය. මුහම්මද් තුමා පල කල අනාවැකි කිහිපයක් පහත දක්වා ඇත.

මුහම්මද් ﷺ තුමාගේ අනුගාමිකයෙකු වූ අම්මාර් තුමා සිවිල් යුද්ධයකදී ප්‍රාණත්‍යාගියෙකු වන බව අනාවැකි පල කල අතර එය එසේම සිදු විය. “අම්මාර්! කැරලිකරුවන් පිරිසක් නුඹව මරා දමනු ඇත” [6]

මුහම්මද් ﷺ තුමාගේ මරණයෙන් පසු ඔහු සමඟ එක් වන පළමු වැන්නා තම දියණිය වූ ෆාතිමා තුමිය බව මුහම්මද් ﷺ තුමා අනාවැකි පල කර ඇත: “මුහම්මද් ﷺ තුමාගේ මරණයට පෙර ඔහුගේ දියණිය වූ ෆාතිමා තුමියට තමා වෙත පැමිණෙන ලෙස පවසා ඔහුගේ මරණයෙන් පසු ඔහු හා එක් වන (එනම් මිය යන) ඔහුගේ පවුලේ පළමු වැන්නා ඇය බව පැවසුවේය. (මුහම්මද් ﷺ තුමාගේ මරණයෙන්) මාස හයකට පසු ෆාතිමා තුමිය තම පියා සමඟ එක් විය”[7]

මොන්ගොල්වරුන්ගේ ආක්‍රමණය පිලිබඳ මුහම්මද් තුමා අනාවැකි පල කර ඇත: “අරාබි නොවන්නන් අතුරින් කුද් හා කිර්මාන් සමඟ ඔබ සටන් කරන තුරු හෝරාව උදා වන්නේ නැත. ඔවුන් රතු පැහැති මුහුණු, පැතලි නාස් හා කුඩා ඇස් සතු අය වේ. ඔවුන්ගේ මුහුණු පැතලි පලිහක් මෙන් දිස් වේ, ඔවුන්ගේ පාවහන් රෝම සහිත වේ.”[8]

එනම් මුහම්මද් තුමා උමතුවෙන් කිසිවක් පවසා නොමැති බව ඉහත කරුණු තුළින් මනා ලෙස තහවුරු වේ.

මුහම්මද් ﷺ තුමා බොරුකාරයෙක් හා උම්මතකයෙක්ද?

මෙය වචන වලට පමණක් සීමා වූ ප්‍රකාශයක් මිස මෙම ස්ථාවරයේ කිසිඳු සත්‍යතාවයක් නොමැත. කෙනෙකු එකම වර බොරුකාරයෙක් ලෙසද උම්මතකයෙක් ලෙසද සිටිය නොහැක. බොරුකීම යනු සිහි බුද්ධියෙන් සිතාමතා කරන දෙයකි. නමුත් උමතුව හට ගැනෙන්නේ විකෘතියට පත් යතාර්ථයක් මත පදනම් වූ විශ්වාසයක් හේතු කරගෙනය. එනිසා උමතුවෙන් දොඩවන පුද්ගලයා තමා කරන ප්‍රකාශය බොරුවක් බව නොදනී. එනම් මෙම සංසිද්ධි දෙකම අත්‍යන්තයෙන් විරුද්ධ සංසිද්දීන් දෙකකි. එනිසා “තමා දේව පණිවුඩකරුවෙකි යැයි මුහම්මද් තුමා පැවසු ප්‍රකාශය” මුහම්මද් තුමාගේ බොරුවක් හා ඔහු උමතුවෙන් දෙඩවූ ප්‍රකාශයක් යැයි පැවසීම තර්කානුකූල නැති අතර එය අර්ථ ශුන්‍ය පුහු ප්‍රකාශයක් පමණි.

එසේනම්, මුහම්මද් ﷺ තුමා සත්‍යවන්තයෙක් නොවේද?

ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් Hero Worship And The Heroic In  History නම් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත:

මෙම පුද්ගලයාගේ වචන බොරු නොවේ, ඔහුගේ ක්‍රියාවන්ද බොරු නොවේ.. [9]

ඉහත ඉදිරිපත් වී ඇති කරුණු දෙස සුපරීක්ෂාකාරීව බැලීමේදී මුහම්මද් තුමා බොරුකාරයෙකු හෝ උම්මතකයෙකු හෝ ඒ දෙකම හෝ නොවන බව මනා ලෙස පැහැදිලි වේ. එනම් ඔහු සත්‍යවන්තයෙකු බව මනා ලෙස තහවුරු වේ.

එසේ නම් මුහම්මද් තුමාගේ පණිවුඩය පිළිගැනීමට ඔබ සූදානම්ද?

මූලාශ්‍රයන් 

[1] Martin Lings. Muhammad: his life based on the earliest sources. 2nd Revised Edition. The Islamic Texts Society. 1983, page 34.
[2] Ibid, page 52.
[3] Ibid, pages 53 – 79.
[4] W. Montgomery Watt. Muhammad at Mecca. Oxford. 1953, page 52.
[5]Edward Gibbon and Simon Oakley. History of the Saracen Empire. London, 1870.
[6] Bukhari, Muslim and Musnad Ahmad
[7] Bukhari
[8] Muslim
[9] On Heroes and Hero Worship and The Heroic in History

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *