මුහම්මද් ﷺ තුමා ගැන පැවසු ලොව සුපතල චරිත

මුහම්මද් ﷺ තුමා යනු සියලුම මිනිස් සමූහයන් සඳහා පැමිණි අවසාන දේව පණිවුඩකරුවා ය. බොහෝ පිරිස් මොහුගේ ධර්ම දේශනාවට ආකර්ෂණය වීමට හේතුවක් ලෙස මොහු තුළ තිබුණු ඉතා උතුම් ගති ගුණ හා මොහුගේ ආදර්ශමත් ජීවිතය සැලකිය හැකිය. මුහම්මද් ﷺ තුමා යන චරිතයට මුස්ලිම්වරුන් පමණක් නොව මුස්ලිම් නොවන්නන්ද ගෞරව කරන බව නොරහසකි.

මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති විද්වතා ලොව ඉපදුනු  සියලු නායකයින් පිළිබඳව ඉතා ගැඹුරු පර්යේෂණයක නියලී 1978 දී “The 100 : A Ranking of the Most Influential Persons in History” නමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කළේය. එහිදී ඔහු විසින් අංක එකට තෝරා ගනු ලැබුවේ මුහම්මද් තුමාවය. එයට හේතු පහත සඳහන් අයුරින් ඔහු ඉදිරිපත් කර ඇත්තේය.

“මා විසින් මුහම්මද්තුමාව ලොව ජීවත්වූ, ජනසමාජයේ යහපතට බලපෑම් කල නායකයින්ගේ ලැයිස්තුවේ අංක එකට තෝරා ගැනීම ඇතැමුන්ගේ ආශ්චර්යට හා ප්‍රශ්න කිරීම් වලට ලක්විය හැක. නමුත් ආගමික මෙන්ම ලෞකික ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨවූ සාර්ථකත්වයක් ලබාගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත.”

මහාත්මා ගාන්ධිතුමා මුහම්මද් තුමාගේ චරිතය පිළිබඳව “Young India” සඟරාවට අදහස් දක්වමින්:

“අද ලොව සිටිනා දස ලක්ෂ සංඛ්‍යාත හදවත්වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳව දැන ගැනීමට මට අවශ්‍ය විය. එය කියවනවිට ඉස්ලාම් ධර්මය බහුතරයක් මනුෂ්‍ය හදවත්වල විශේෂ තැනක් ගැනීමට හේතු වුයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතුවුයේ නබිවරයාගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසිවිටෙක නොතකන  පරාර්ථකාමී ගුණාංගයයි. එතුමාගේ පොරොන්දු වලට එතුමා දැක්වූ වැදගත් කමයි. එතුමාගේ සගයින්ට හා අනුගාමිකයින්ට එතුමා දැක්වූ කැපවීමයි. එතුමාගේ නොබියවන සුළු ස්ථිර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමාගේ අරමුණු කෙරෙහි එතුමාට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමන් ඉදිරියේ තිබු සියලු බාධක සුනුවිසුණු කළා මිස එය කලේ අසිපත නොවේ. නබිතුමාගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කල විට, එතුමා ගැන මට කියවන්නට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත්වීමි.”

ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකුවූ ලාමාර්ටිනි 1854 දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ (2 කාණ්ඩය 276 – 277 පිටුව) පහත සඳහන් අයුරින් කරුණු දක්වා ඇත.

 “මිනිස් හැකියාවන්වල ශ්‍රේෂ්ඨ බව මිනිය හැකි මිනුම් දණ්ඩ ලෙස :

  1. අරමුණෙ විශාලත්වය
  2. ඒ සඳහා ඇති පහසුකම්වල අල්ප බව හා
  3. ලද ජයග්‍රහණයන්හි විශිෂ්ඨත්වය

යනාදිය නම් මුහම්මද් හා ඉතිහාසයේ අන් කිසිවෙකු සසඳන්නට පොහොසත් විය හැක්කේ කව්රුන්ටද? ලොව සුප්‍රකට මිනිසුන් තැනුවේ අවි ආයුධ, නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. මුහම්මද් සලිත කලේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුල පතියන් පමණක් නොවේ. එවකට ලොව තුනෙන් කොටසක්වූ මිලියන සංඛ්‍යාත ජනයින්ද, අල්තාරයන්ද, දෙවිවරුන්ද, ආගම්ද, අදහස්ද, විශ්වාසයන් හා ආත්මයන්ද මුහම්මද් විසින් සොලවා දමන ලදී. තවද ජයග්‍රහණයේදී එතුමා පෙන්වූ චාම් බව, එකම පිවිතුරු අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත් කර ගැනීම මුල්කර නොගත් එතුමාගේ කැපවීම, එතුමාගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමග එතුමා කල අධ්‍යාත්මික කථනයන්, මරණය හා මරණයෙන්ද එතුමා ලද ජය, මේ සියල්ල අපට දක්වන්නේ මුලාවක් නොව සකල මනුෂ්‍ය වර්ගයාටම යෝග්‍යවූ නීති පද්ධතියක් ගොඩනැගීමට එතුමාට සහායවූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කව්රුන්දැයි කියන අතර, කව්රුන් දෙවිඳුන් නොවන්නේද යන්නත් අපට එතුමා පවසයි. දාර්ශනිකයා, කථිකයා, දෙවිඳුන්ගේ නියෝජිතයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩනැඟූ පුද්ගලයා, තර්කානුකුල සංකල්පයන් ස්ථාපිත කල මිනිසා, පිළිම නැති දහමක් ඇති කල නායකයා, අධිරාජ්‍යයන් විස්සක් හා එක් අධ්‍යාත්මික අධිරාජ්‍යයක් ගොඩ නැඟූ සෙන්පතියා, එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියලුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද් ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේ දැයි අපට නොබියව ඇසිය හැක. මුහම්මද් ආගමික ගුරුවරයෙක් විය, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය, යහපත් මගපෙන්වන්නෙක් විය, දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපහ මිතුරෙකු, අගනා සගයෙකුද, හොඳ පියෙකු, ආදරවන්ත සැමියෙකු, යනාදී මෙම සියලු චරිතවල අති උත්තරීතර සම්මිශ්‍රණයක් විය. එතුමාගේ මෙම ගුණාංග වලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි එකම පුද්ගලයෙකුවත් මුළු මිනිස් ඉතිහාසයේම නොමැති තරම්ය. මෙතරම් සුවිශාල ජයක් එතුමාට හිමි කර දුන්නේ එතුමා සතුව තිබු අසීමිත පරාර්ථකාමී බවයි.”

මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්න රාඕ සිය “Muhammed, The Prophet of Islam” යන කෘතියේ මෙසේ පවසයි:

“මුහම්මද්ගේ චරිතය නම් පරිමාණයට ඇතුල් වී එය සම්පුර්ණයෙන් වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන්ම මට ග්‍රහණය කරන්නට ලැබුනේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක්ද! වරෙක දෙවිඳුන්ගේ යටහත් දුතයෙක් එතුමා තුලින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියෙකි. විටෙක ඔහු වෙළෙන්දෙකි. සැනින් එතුමා රාජතාන්ත්‍රිකයෙකි, කථිකයෙකි, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙකි. තවත් එතුමා අනාථයින්ගේ රැකවලෙකි. වහලුන් නිදහස් කරන්නට වෙර  දරන්නෙකි. ස්ත්‍රීන්ගේ ගැලවුම් කරුවෙකි. විනිසුරුවෙකි. සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේම එතුමා එක හා සමාන කතානායකයෙකි.”

දාර්ශනිකයෙකුවූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහුගේ “The Genuine Islam” නම් 1936 දී ලියු පොතේ අදහස් දක්වමින්:

“එතුමා මිනිස් වර්ගයාගේ ගැලවුම්කරුවා යැයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝකයේ අධිරාජයා බවට පත්වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටිනා සියලුම ගැටළු වලින් එතුමා ලොව මුදවා ලොවට අද අත්‍යාවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යැයි මා තරයේම විශ්වාස කරමි. ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ඨතම පුද්ගලයා එතුමාය. එතුමා දහමක් දෙසුවේය. රාජ්‍යයන් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩ නැගුවේය. ගුණයහපත් බවට නව මුහුණු වරක් ඉදිරිපත් කළේය. අලුත් දේශපාලනමය හා සමාජයීය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලී සමාජයක් ගොඩනැගුවේය. එම සමාජය මුහම්මද්ගේ දෙසුම් සියල්ල ක්‍රියාවට නංවමින් ඒ සියල්ල ප්‍රායෝගික බව ලොවට සනාථ කරමින් සිටිනා අතර, සදාකල් පවතින සේ මනුෂ්‍යවර්ගයාගේ සිතුම් පතුම්හි හා හැසිරීම් රටාවන් අතින් මහත් ඵලදායී පෙරලියක් ඇතිකර ඇත්තේය. තිරිසන් කල්ක්‍රියාවලින්ද අඥාණයේ අඳුරෙන්ද එකිනෙකා කුළල් කා ගැනීමෙන් හා වහල් බවෙන් පෙලී ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන්ව එයින් නිදහස් කර සමෘධිමත් දියුණුවක් කරා උසස් කරමින් මානුෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණදම් වලින් හෙබි සමාජයක් පෙර දැරි කොට ගත් උතුම් ධර්මයක ධජය යටතේ එතුමා ජනයාව එක්සත් කළේය. සිවුපාවුන් මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මේසා විශාල අනගිභවනීය තලයකට පත් කිරීම සඳහා එතුමන්ට ගතවුයේ දශක දෙකක කාලයක් පමණක් වීම මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයාට ඇතිවන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියතය.”

මෙවන් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු වන මුහම්මද් තුමා ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔහු ගෙන ආ පණිවුඩය ගැන ඔබ සිතන්නේ කුමක්ද?

Share Button