ස්වයං පරස්පරවිරෝධී වන සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox)

මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නැහැ යැයි පවසන අදේවවාදීන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් තමන්ගේ ස්ථාවරය සනාථ කරන්න උත්සහ දරනවා. මෙලෙස ඔවුන් ඉදිරිපත් කරන එක් තර්කයක් වන්නේ සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) මත පදනම් වූ තර්කයයි. මෙම සර්වබලධාරී විරුද්ධාභාසය (Omnipotent Paradox) පහත සඳහන් අකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්.

A සර්වබලධාරී දෙවියෙක් ‍යැයි සිතමු. A විසින් මවන ලද ජිවියෙක් A වෙතින් මෙසේ අසනනවා යැයි සිතමු,

“දෙවියනි ඔබ සර්වබළධාරි නම් ඔබට ඔබ විසින් නොසැල්විය හැකි ගලක් මවා ඔබේ සර්වබළධාරිත්වය තහවුරු කරන්න”.

මෙහිදී, A  විසින් මවන ලද ජිවියා A ට අභියෝගයක් කරනවා.

දැන් විය හැකි අවස්ථා බලමු.

  1. A ගල මවනවා. නමුත් ඉන් පසු A ට එම ගල නොසැල්විය හැකියි. එසේනම් ඔහුගේ සර්වබළධාරිත්වය අහෝසි වී යයි.
  2. A ගල මවන්නේ නැහැ. ජිවියාගේ අභියෝගය A ට ඉටු කල නොහැක. මෙහිදීද  ඔහු සර්වබළධාරියෙක් නොවේ.

මෙම තර්කයෙන් පැවසෙන්නේ සර්වබළධාරිත්වය යනු හුදෙක් සංකල්පයක් මිස යතාර්ථයක් නොවන බවයි. මේ නිසා සර්වබලධාරී දෙවිකෙනෙක් සිටිනවා යැයි පිළිගැනීමද අතාර්කික බව මෙම තර්කයෙන් පැවසෙනවා.

මෙම තර්කය නිවැරදිද?

බැලූ බැල්මට මෙම තර්කය ප්‍රබල තර්කයක් ලෙස පෙනුනද, මෙම තර්කයට අදාළ උපකල්පන හා නිගමන දෙස අවධානයෙන් බැලීමේදී මෙම තර්කය නිවැරදි නොවන බව අපට තේරුම් ගන්න පුළුවන්.

මෙම තර්කයෙන් ප්‍රශ්න කෙරෙනුයේ විශ්වය නිර්මාණය කළ දෙවියන්ගේ සර්වබලධාරීත්වය ගැන පමණයි. කෙසේනමුත් මෙම තර්කය තුළින් විශ්වය නිර්මාණය කළ කිසිම දෙවිකෙනෙක් (සර්වබලධාරී නොවන) නැහැ යැයි පවසන්න බැරි බව අපට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

ඒ වගේම මෙම තර්කය ගොඩ නැගීමේදී සිදු වී ඇත්තේ සර්වබලධාරීත්වයට යම් නිර්වචනයක් ලබා දී එම නිර්වචනයට අනුව විශ්වයේ නිර්මාණකරුවා සර්වබලධාරීද? නැද්ද? යන්න ප්‍රශ්න කිරීමයි. සර්වබලධාරීත්වය යනු කුමක්ද? සර්වබලධාරීත්වය විවිධ අකාරයෙන් නිර්වචනය කළ හැකි අතර මින් ප්‍රධාන ආකාර දෙකක් ගැන අප සලකමු.

  1. උපරිම සර්වබලධාරීත්වය (Maximal Omnipotence): මෙම නිර්වචනයට අනුව තාර්කික, අතාර්කික යන සියලු ක්‍රියාවන් ක්‍රියාවට නැංවිය හැකි විය යුතුයි. උදාහරණයක් ලෙස දෙවියන්ට තේ වත්තක් නිර්මාණය කළ හැකි විය යුතු අතර මුළු හතරකින් යුත් ත්‍රිකෝණයක්, ගෝලාකාර ඝනකාබයක් යනාදියද නිර්මාණය කළ හැකි විය යුතුයි.
  2. සාමාන්‍ය සර්වබලධාරීත්වය (Common Omnipotence): මෙම නිර්වචනයට අනුව තාර්කික ක්‍රියාවන් සියල්ල ක්‍රියාවට නැංවිය හැකි විය යුතුයි.

මෙම නිර්වචන සැලකිල්ලට ගෙන සර්වබලධාරී විරුද්ධාභාසය පිලිබඳ කරුණු විශ්ලේෂණය කරමු.

මෙහිදී, “දෙවියන්ට සෙලවිය නොහැකි ගලක්” යන ප්‍රකාශය මුලින්ම සලකමු. මෙම ප්‍රකාශය හරියට ගෝලාකාර ඝනකාබයක් යන ප්‍රකාශයට සමානයි. එනම්, බලවත් දෙවිකෙනෙක් සිටිනවා නම් ඔහුට සෙලවිය නොහැකි ගලක් තිබීමට හැක්යාවක් නැහැ. ඒ වගේම ගලක් යනු දෙවියන්ට සෙලවිය හැකි වස්තුවක්. එනිසා “දෙවියන්ට සෙලවිය නොහැකි ගලක්” යන ප්‍රකාශය අර්ථයක් නොදෙන හුදෙක් වාක්‍යයක් පමණයි.

“දෙවියන්ට සෙලවිය නොහැකි ගලක්” යන ප්‍රකාශන අර්ථ ශුන්‍ය වුනද සර්වබලධාරී දෙවි කෙනෙකුට මෙම ප්‍රකාශය ක්‍රියාවට නැංවිය හැකි විය යුතුයි යැයි කෙනෙක් පවසනවා නම් ඔහු මෙහිදී සර්වබලධාරීත්වය යැයි අදහස් කරන්නේ උපරිම සර්වබලධාරීත්වයයි. (Maximal Omnipotence). එසේ නම් “දෙවියන් විසින් සෙලවිය නොහැකි ගලක් දෙවියන්ට සෙලවිය හැකියි” යැයි පැවසීමේද වැරැද්දක් නැහැ. මෙහිදී “දෙවියන් විසින් සෙලවිය නොහැකි ගලක් දෙවියන්ට සෙලවිය හැකියි” යැයි පැවසීම තර්කානුකූල නැති බව කෙනෙක් පවසන්න පුළුවන්. නමුත් උපරිම සර්වබලධාරීත්වයට (Maximal Omnipotence) අනුව අතාර්කික දේවල්ද දෙවියන්ට ක්‍රියාවට නැංවිය හැකි නිසා “දෙවියන් විසින් සෙලවිය නොහැකි ගලක් දෙවියන්ට සෙලවිය හැකියි” යන ප්‍රකාශයේ වැරැද්දක් දකින්න බැහැ. එනිසා දැන් විරුද්ධාභාසය බිඳ වැටෙනවා. මෙයට හේතුව විරුද්ධාභාසය ගොඩනගා ඇත්තේ අතාර්කික දේවල්ද ක්‍රියාවට නැංවිය හැකියි යන උපරිම සර්වබලධාරීත්වය මත වීමයි.

විරුද්ධාභාසයේ බිඳ වැටීම වලක්වා ලීමට නම් තර්කය භාවිතා කළ යුතුයි. නමුත් විරුද්ධාභාසය ගොඩනගා ඇත්තේ අතාර්කික දේවල්ද ක්‍රියාවට නැංවිය හැකියි යන උපරිම සර්වබලධාරීත්වය මත නිසා තර්කය භාවිතා කිරීම අනවශ්‍ය දෙයක්.

දැන් විකයල්පය වනුයේ සර්වබලධාරීත්වය සඳහා සාමාන්‍ය සර්වබලධාරීත්වයට (Common Omnipotence) යන අර්ථය ලබා දීමයි. මෙම අර්ථ කථනයට අනුව සර්වබලධාරී විරුද්ධාභාසයක් ගොඩනගන්න කිසිඳු පුළුවන් කමක් නැහැ. හේතුව සාමාන්‍ය සර්වබලධාරීත්වයට අනුව දෙවියන්ට කළ හැක්කේ සියලු තාර්කික දේවල් වීම වන අතර “දෙවියන්ට සෙලවිය නොහැකි ගලක්” යන ප්‍රකාශය අතාර්කික නිසා මෙවන් අතාර්කික දෙයක් නොකිරීම දෙවිගේ සර්වබලධාරීත්වයට භාධාවක් නොවීමයි.

කෙටියෙන් පවසනවා නම් සර්වබලධාරී විරුද්ධාභාසය ගොඩනැගීමට සර්වබලධාරීතත්වයට උපරිම සර්වබලධාරීත්වයට යන නිර්වචනය හෝ සාමාන්‍ය සර්වබලධාරීත්වය යන නිර්වචනය ලබා දිය යුතු වන අතර මෙම නිර්වචන වලට අනුව සර්වබලධාරී විරුද්ධාභාසය බිඳ වැටෙන අතර මෙම නිර්වචන වලට අනුව දෙවියන් සර්වබලධාරී නොවන බව පැවසිය නොහැකි බව අපට තේරුම් ගන්න පුළුවන්.

දෙවියන්ගේ සර්වභාලධාරීත්වය තේරුම් ගැනීමට උදව් වන දේවවේදීය පැහැදිලි කිරීම.

සර්වබලධාරීත්වය යනු දෙවියන්ට පරිබාහිර දෙයක් නොවේ. එය දෙවිගේ ස්වභාවය හා සම්බන්ධ එක් ගති ලක්ෂණයක්. උදාහරණයක් ලෙස මිනිසෙකු සතුව තිබෙන දිවීමේ හැකියාව මිනිසාගේ ස්වාභාවය හා සම්බන්ධයි. මිනිසාගේ ස්වභාවයට පිටින් යන දෙයක් මිනිසා කරන්නේ නැහැ. මේ අකාරයෙන්ම සර්වබලධාරීත්වය යන්න දෙවියන්ගේ ලක්ෂණයක් වන අතර දෙවියන් ඔහුගේ ස්වභාවයට පිටින් වූ දෙයක් කරන්නේ නැහැ.  එසේ කිරීම ඔහුගේ ස්වභාවයට පටහැනියි. උදාහරණයක් ලෙස දෙවියන් බොරු කියන්නේ නැහැ (බොරු කීම දේව ස්වභාවයට පිටින් තිබෙන දෙයක්), දෙවියන් තමාව විනාශ කරගන්නේ නැහැ. මෙසේ කිරීම දේව ස්වභාවයට පටහැනියි. මෙහිදී අපට පෙනී යන්නේ දෙවි බොරු නොකියන නිසා ඔහු දෙවිකෙනෙක් නොවන බව හෝ සර්වබලධාරී නොවන බව පැවසීම නිවැරදි නොවන බවයි. දෙවි යනු සැමදා සිටින කෙනෙක් නිසා ඔහුව විනාශ කරගන්නවා යන්න ඔහුගේ ස්වභාවයට පිටින් තිබෙන දෙයක්.

දෙවියන්, දෙවියන් වීමට හේතුව ඔහු කරන්නේ දේව ස්වභාවයට අනුකූල දේවල් වීම නිසයි. ඔහු දේව ස්වභාවයට පටහැනි දෙයක් කළේ නම් ඔහුව දෙවියන් යැයි පවසන්න බැහැ.

දෙවියන්(අල්ලාහ්) පුත්‍රයෙකුව ඇති කර ගැනීම දේව ස්වභාවයට පටහැනි දෙයක්. මේ බව දෙවියන් අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරනවා.

“අල්ලාහ් එක් කෙනෙක් යැ”යි පවසන්න. අල්ලාහ් අවශ්‍යතා වලින් තොර කෙනෙකි. ඔහු (කිසිවෙකු) වැදුවේ නැත. (කිසිවෙකුට) ඉපදුණේ ද නැත. ඔහුට සමානව කිසිවෙක් නැත. [අල් කුර්ආනය 112:1-4]

කිසිඳු දරුවෙකු බිහි කර ගැනීම අල්ලාහ්ට යුතු නැත. ඔහු සුවිශුද්ධවන්තයා ය. ඔහු කිසියම් කටයුත්තක් තීරණය කළ විට “වනු”යි පවසයි. වහාම එය සිදු වෙයි. [අල් කුර්ආනය 19:35]

ඒ වගේම පොරොන්දු කඩ කිරීම අල්ලාහ්ගේ ස්වභාවය නොවේ.

“……. අල්ලාහ් පොරොන්දු කඩ නොකරයි. [අල් කුර්ආනය 3 : 09]

ඒ වගේම තම ගැත්තන්ට අසාධාරණ ලෙස කටයුතු කිරීමද අල්ලාහ්ගේ ස්වභාවය නොවේ.

“…… අල්ලාහ් ගැත්තන්ට අපරාධ කරන්නෙක් නොවේ.” [අල් කුර්ආනය 3 : 182]

මගේ ගත්තනි හිංසා කිරීම මා මටම තහනම් කරගෙන ඇත්තෙමි…. [1]

මේ අනුව බැලීමේදී “අල්ලාහ්ට නොසෙල්විය හැකි ගලක් නිර්මාණය කිරීම යනු” අල්ලාහ්ගේ ස්වභාවයට අනුකූල දෙයක් නොවේ. එනිසා මෙවන් ක්‍රියාවක් අල්ලාහ් කරන්නේ නැහැ.

මූලාශ්‍රයන්

[1] සහිහ් මුස්ලිම්, පුවත් අංක 6246

Share Button