අදේවවාදය විමසුමකට

මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නා වූ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිඳුන් කෙනෙකු සිටින බව අද ලෝකයේ බහුතරයක් ජනයා පිළිගනිති. අද තිබෙන ප්‍රධාන ආගම් පිළිපදින සියල්ලම මෙය පිළිගනිති. කෙසේනමුත් මෙවන් නිර්මාණකරුවෙකු නොමැති බව පවසන අදේවවාදීන් නම් පිරිසක්ද අප සමාජයේ සිටිති. මෙම අදේවවාදීන්ගෙන් ඇතැම් අයට තම ස්ථාවරය පිලිබඳ නිසි අවබෝධයක් නොමැත. එසේ තිබියදී දේවවාදීන් හා අදේවවාදීන් අතර හරවත් සංවාදයක් ගොඩ නැඟීමට අපහසුය. එබැවින් අදේවවාදීන්ගේ ස්ථාවරය සැබවින්ම කුමක් විය යුතුද යයි නිසි අවබෝධයක් අප සතුව තිබීම වැදගත් වේ.

දෙවිඳුන් සිටිනාවද නැද්ද යන විෂය සම්බන්ධ දාර්ශනික ස්ථාවර 4 ක් තිබේ.

  1. නිර්මාණකරුවෙකු සිටින බව මම දනිමි, එනිසා විශ්වාස කරමි (Gnostic-Theist/Theist)
  2. නිර්මාණකරුවෙකු සිටින බව නොදනිමි, මා ළඟ ප්‍රමාණවත් සාක්ෂි නොමැත. නමුත් විශ්වාස කරමි (Agnostic-Theist)
  3. නිර්මාණකරුවෙකු සිටින බව නොදනිමි, මා ළඟ ප්‍රමාණවත් සාක්ෂි නොමැත. එනිසා විශ්වාස නොකරමි (Agnostic-Atheist/Atheist)
  4. නිර්මාණකරුවෙකු නොසිටින බව දනිමි, එනිසා විශ්වාස නොකරමි (Gnostic-Atheist)

මෙහිදී විශ්වාසය හා දැනුම අතර වෙනසක් තිබේ. අපි දෙයක් දන්නවා නම් එයට අදාළ හේතු හා සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. එයට හේතුව දෙයක් අපි දැන ගන්නේ දැනුමක් තුළින් ය. එනිසා මෙම දැනුම ලබා ගත් ආකාරය වැදගත් වේ. නමුත් විශ්වාසයකට මෙය අවශ්‍ය වන්නේ නැත. මේනිසා ඉහත (2) හා (3) වන ප්‍රකාශ පිළිගන්න පුද්ගලයින් තම විශ්වාසය සඳහා හේතු, සාක්ෂි ඉදිපත් කළ යුතු වන්නේ නැත. නමුත් ඉහත (1) හා (4) වන ප්‍රකාශ දැනුම හා සම්බන්ධ වේ. එබැවින් එම ප්‍රකාශ පිළිගන්නා පුද්ගලයින් තම විශ්වාසයට අදාළ හේතු, සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.

මෙහිදී (1) ප්‍රකාශය දරන පුද්ගලයින් තම ස්ථාවරය පිළිබඳව හොඳින් දනිති. එනිසා “විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවාද?” යන ප්‍රශ්නය පිළිබඳව කරන සාකච්චා වලදී තම ස්ථාවරයට අදාළ හේතු, සාක්ෂි ඉදිරිපත් කිරීම ඔවුන්ගේ කාර්යය වේ. නමුත් (4) ප්‍රකාශය පිළිගන්නා  “දෙවි කෙනෙක් නැහැ” යැයි පවසන බහුතරයක් තම ස්ථාවරය හරියට තේරුම් අරගෙන නොමැති බව බව විවිධ සංවාද, සාකච්චා දෙස බැලීමේදී අපට තේරුම් ගත හැකිය. දැනුමක් පදනම්කරගත් දේව විශ්වාසයට විරුද්ධව කතාකරන අදේවවාදීන් යැයි තමන්ව හඳුන්වාගන්නා පිරිස (4 වන ප්‍රකාශය පිළිගන්නා පිරිස) නිර්මාණකරුවෙකු නොසිටින බව ඔවුන් දන්න නිසා නිර්මාණකරුවෙකු විශ්වාස නොකරනවා නම් ඒ සඳහා සාක්ෂි ඔවුන් ඉදිරිපත් කළ යුතු වේ. නමුත් බොහෝ වෙලාවට ඔවුන් පවසන්නේ සාධන භාරය (Burden of Proof) තිබෙන්නේ දේවවාදීන් ළඟ බවයි. එනම් දෙවි කෙනෙක් සිටිනවා යැයි සනාථ කළ යුත්තේ එසේ නිර්මාණකරුවෙකු සිටින බව විශ්වාස කරන පුද්ගලයා මිස දෙවි කෙනෙකු නැත යන ස්ථාවරය දරන පුද්ගලයා නොවන බව ඔවුන් ප්‍රකාශ කරනවා. එනිසා ඔවුන් තම ස්ථාවරය සඳහා සාක්ෂි ඉදිරිපත් කිරීමට අවශ්‍ය නැති බව පවසති. මෙහිදී ඇත්තෙන්ම ඔවුන් නියෝජනය කරනුයේ අදේවවාදය(Gnostic Atheism) නොව නාස්තිකවාදය(Agnostic Atheism/ Agnosticism)  නමැති ස්ථාවරය යි. මෙයට ප්‍රධාන හේතුව දෙවි කෙනෙක් නැත යැයි පැවසීමට ඔවුන් ළඟ සාක්ෂි නොතිබීමයි. මෙනිසා අදේවවාදීන් යැයි පවසන බහුතරයක්ම ඇත්තෙන්ම සිටින්නේ නාස්තිකවාදී ස්ථාවරයක මිස සැබෑ අදේවවාදී ස්ථාවරයේ නොවේ.

බර්ට්‍රන්ඩ් රසල් විසින් ඉදිරිපත් කළ උපමිතිය දැන් සැලකිල්ලට ගමු. “තේ පෝච්චියක් සූර්යයා වටා පෘථිවිය හා බුද ග්‍රහයා අතර ගමන් කරනවා” යැයි කෙනෙක් පවසනවා නම් මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි සනාත කළ නොහැකි නිසා අන් අය මෙම ප්‍රකාශය විශ්වාස කිරීම තේරුමක් නැති දෙයක් යැයි රසල් පවසනවා. දෙවි කෙනෙක් සිටිනවාද? නැද්ද? යන ප්‍රශ්නයටත් මෙම උපමිතිය ගැලපෙන නිසා සාධන භාරය (Burden of Proof) ඇත්තෙන්ම තිබෙන්නේ දේවවාදීන් ළඟ බවයි මින් අදහස් වන්නේ. ඒ වගේම සාධන භාරය (Burden of Proof) දෙවියන් විශ්වාස නොකරන්නන්ට පැටවීම වැරදි බවත් රසල් පවසනවා. නාස්තිකවාදියෙක් (Agnostic Atheist) මෙසේ පවසනවා නම් මෙය ප්‍රතික්ෂේප කළ යුතු වන්නේ නැහැ. නමුත් අදේවවාදියෙකුට (Gnostic Atheist) මෙසේ පවසන්න බැහැ. හේතුව දෙවිකෙනෙක් නොමැති බව ඔහු දන්න බව ප්‍රකාශ කරන නිසා එයට අදාළ සාක්ෂි ඔහුද ඉදිරිපත් කළ යුතු වීමයි. නමුත් එසේ සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි බව බර්ට්‍රන්ඩ් රසල්ගේ ප්‍රකාශයෙන්ම (මෙම ප්‍රකාශය සාවද්‍ය යැයි සනාත කළ නොහැකි) සනාත වෙනවා. තේ පෝච්චියක් සූර්යයා වටා පෘථිවිය හා බුද ග්‍රහයා අතර ගමන් නොකරන බව දන්න නිසා අප එවන් දෙයක් ඇති බව විශ්වාස නොකරනවා යැයි අප පවසනවා නම් අපගේ විශ්වාසයට අදාළ සාක්ෂි අප ඉදිරිපත් කළ යුතුයි. නමුත්  “තේ පෝච්චියක් සූර්යයා වටා පෘථිවිය හා බුද ග්‍රහයා අතර ගමන් කරනවා” යැයි අප විශ්වාස නොකරන්නේ ඒ සම්බන්ධ දැනුමක් අප තුළ නොමැති නිසයි.

කෙටියෙන් කියනවා නම් “නිර්මාණකරුවෙකු නොසිටින බව දනිමි, එනිසා විශ්වාස නොකරමි (Gnostic-Atheist)  යන ස්ථාවරයේ කෙනෙක් සිටිනවා නම් ඔහු තම විශ්වාසය සඳහා සාක්ෂි ඉදිරිපත් කළ යුතු අතර සාධන භාරය (Burden of Proof) තිබෙන්නේ විරුද්ධ පාර්ශවයේය යැයි පැවසීම නිවැරදි නැහැ. මෙම තත්වය අබබෝධ කර ගත නූතන අදේවවාදීන් දෙවිඳුන් සිටිනවා යයි පැවසීමට සාක්ෂි නොමැති වීම දෙවිඳුන් නොමැති බවට සාක්ෂියක් වන බව පවසමින් ඔවුන් දෙවිඳුන් සිටිනවා යයි විශ්වාස නොකරන බව පවසති (Lack of Belief in God).  එනම් මොවුන් වක්‍රාකාරව පවසන්නේ ඔවුන් අදේවවාදීන් නොව නාස්තිකවාදීන් බවය.

නාස්තිකවාදීන් හමුවේ දේවවාදීන්ගේ (Gnostic-Theist/Theist) කාර්ය භාරය වනුයේ විශ්වය නිර්මාණය කළ දෙවිකෙනෙක් සිටින බව පිළිගැනීමට අදාළ හේතු හා සාක්ෂි ඉදිරිපත් කිරීමය.

Share Button