යෙසායා පවසන අනාගත දේව පණිවුඩකරුවා

බයිබලයේ යෙසායා පොතේ අනාගත දේව පණිවුඩකරුවෙකු පිලිබඳ අනාවැකි තිබෙන අතර මෙම අනාවැකි වලින් කියවෙන්නේ ඉබ්‍රාහීම් තුමාගේ පුත්‍රයා වන ඉස්මයීල්ගේ පරම්පරාවෙන්, එනම් ඉස්මයීල්ගේ පුත්‍රයා වන කෙදාර්ගේ පරම්පරාවෙන් පැමිණෙන අරාබි ජාතිකයෙකු වූ මුහම්මද් තුමා පිළිබඳව බව මෙම අනාවැකි දෙස හා මුහම්මද් තුමාගේ ජීවිතය දෙස අවධානයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මුහම්මද් තුමාට භාවිතා වන නම් තුනක් යෙසායා පොතේ භාවිතා වී තිබෙනවා. මීට අමතරව මුහම්මද් තුමාගේ පැමිණීම පිළිබඳව තවත් වැදගත් විස්තර කිහිපයක් යෙසාය පොතේ සඳහන්. මෙම අනාවැකි පැහැදිලි ලෙස මුහම්මද් තුමාට ගැලපෙන නමුත් ඇතැම් කිතුනුවන් සිතන්නේ මෙම අනාවැකි වලින් කියවෙන්නේ යෙහෙසුස් ක්‍රිස්තූන් පිළිබඳව බවයි. එනිසා මෙම අනාවැකි මුහම්මද් තුමාට ගැලපෙන්නේ කෙසේද යන්න සාකච්ඡා කරන අතර තුර ඒවා යෙහෙසුස් ක්රිතූන්ට නොගැලපෙන්නේ ඇයි යන්නත් අප දැනගත යුතුයි.

මෙම දේව පණිවුඩකරුවා යැවීමේ අරමුණ

යෙසායා මෙහිදී දෙවියන්ගේ සැලැස්ම උපමා අලංකාර සහිතව මෙසේ විස්තර කරනවා: මම කඳුද හෙල්ද විනාශ කර ඒවායෙහි ගස් වැල් දවා දමන්නෙමි. මම ගංගා, වැව් හා පොකුණු වියළි බිම් බවට හරවන්නෙමි. (යෙසායා 42:15). “කඳුද හෙල්ද විනාශ කර ඒවායෙහි ගස් වැල් දවා දමන්නෙමි” හි අදහස් මිත්‍යාදෘෂ්ටිය රජකරන ලෝකයේ දෙවි විසින් කරනු ලබන සැලකිය යුතු වෙනසක් පිළිබඳව විය යුතුයි. මිත්‍යාදෘෂ්ටිකයන්ගේ භූමියේ වැජඹෙන සියල්ල, පිළිම වන්දනාවෙන් නොමග ගිය සියල්ල, ඔවුන්ගේ සියලු පල්ලි, අල්තාර, පූජාසන යනාදිය පෙරළී විනාශ වී යන්නේය. මෙලෙස සැලකිය යුතු හා සදාතනික වෙනසක් ඇති වන බව මෙම වැකියේ අදහසයි.

යෙසායා පොතේ සඳහන් විශේෂ පුද්ගලයා යවනු ලබන්නේ කුමන පිරිස සඳහාද?

“මම බොහෝ කල් පියවර නොගෙන නිහඬව බලා සිටිමි. මම මාවම පාලනය කරගත්තෙමි. එහෙත් දැන් මම දරුවෙකු බිහි කරන ස්ත්‍රියක මෙන් කෑගසමි. මම හති දමා හයියෙන් හුස්ම ගන්නෙමි. (යෙසායා 42:14)

යෙහෙසුස් තුමා හා මුහම්මද් තුමා අතර අවුරුදු 600 කට වඩා වැඩි නිෂ්ක්‍රීය කාලයක් තිබුණා. එනම් මෙම කාලය තුළ කිසිඳු දේව පණිවුඩකරුවෙකු මෙලොවට පැමිණියේ නැහැ. එනිසා මෙම කාල වකවානුවේදී අරාබිවරුන් පිළිම වන්දනාවේ හා අනෙකුත් පාපකාරී ක්‍රියාවල නියැලුනා. මෙම පාපයන්ගෙන් මිනිසා මුදා ගැනීමටත්, ඒකදේවත්වය ගැන කියදීමටත් දේව පණිවුඩකරුවෙකු ලෙස මුහම්මද් තුමා අරාබිවරුන් අතරින් දෙවි තෝරාපත්කරනු ලැබුවා. ඉහත බයිබල් වැකියේ අදහස මෙය බව අපට තීරණය කරන්න පුළුවන්. මේ පිළිබඳව අල් කුර්ආනයේද පැහැදිලිවම සඳහන් [1]. මෙම විශේෂ පුද්ගලයාව මුලින්ම එක් විශේෂිත ජන සමාජයකටද පසුව මුළු මිනිස් සංහතිය සඳහාම එවනු ලබනවා. එනම් මෙම පුද්ගලයා පළමුව යවනු ලබන්නේ දුර්මාරගයේ සිටින, පිළිමවලට වන්දනා කරන, පිළිම තම දෙවිවරුන් ලෙස සලකන පිරිසට බව යෙසායා පොතේ සඳහන් වෙනවා.

අන්ධයන් ඔවුන් නොදත් මාර්ගයකින් ගෙන යන්නෙමි: ඔවුන් නොදත් මාර්ගවලින් යන්න මම සලස්වන්නෙමි. අඳුරු තැන් මම ආලෝකවත් කර රළුබිම් සමතලා කරමි. මම ඔවුන්ව කිසිදා අත් නොහරිමි.” (යෙසායා 42:16) රූප කෙරෙහි විශ්වාස තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලැජ්ජාවටත් පත්වන්නෝය (යෙසාය 42:17)

මෙම වැකියේ අන්ධකාරය යැයි අදහස් වන්නේ අවිඥානය හා පාපයයි. මේ සියල්ල සම්පූර්ණයෙන්ම වෙනස් වන බවත්, පාපය වෙනුවට යහපත්කමද අවිඥානය වෙනුවට සැබෑ ඥානයද ස්ථාපනය වන බවත් ඉහත වැකිය පවසනවා. මුහම්මද් (සල්) තුමාගේ කාලයේ ජීවත් වූ මිත්‍යාදෘෂ්ටික අරාබිවරුන් මෙම අනාවැකියට මනා ලෙස ගැලපෙනවා. එයට හේතුව මුහම්මද් (සල්) තුමාගේ කාලයේ මුළු ආරාබිකරයම පාහේ පිළිම වන්දනාකරුවන්ගෙන් පිරී තිබුණා ඒ වගේන මුහම්මද් (සල්) තුමාට පෙර දේව පණිවුඩකරුවෙක් ඔවුන් වෙනුවෙන් යවනු ලබා නැහැ. මේ ගැනද කුර්ආනයේ සඳහන් වෙනවා [2][3].

මෙම මෙහෙය අරාබිවරුන්ට පමණක් සීමා නොවන අතර එය සියලුම මිනිසුන්ට අදාලවන බව පහත වැකි වලින් අපට අවබෝධ කරගන්න පුළුවන්.

සෙනඟ හා මා අතර ගිවිසුමක් වන පිණිසත්, ජෙන්ටයිල්වරුන් අතර ආලෝකයක් වන පිණිසත් මම නුඹ පත් කෙළෙමි. [යෙසායා 42:6] ඔවුහු සියල්ලෝම දෙවිට ගෞරවය දෙත්වා! දූපත්වල වැසියෝද දෙවිට ප්‍රශංසා කරත්වා! (යෙසායා 42:12)

මෙහි ජෙන්ටයිල්වරුන් යන පදයේ අර්ථ යුදෙව් නොවන පිරිසයි. එනම් මෙම වැකි වල අදහස වන්නේ මෙම පුද්ගලයාගේ මෙහෙය විශාල පෙදෙසකට ව්‍යාප්ත වන බවයි. ඉස්ලාමය අරාබියානු අර්ධද්වීපය පුරාවට ක්ෂණිකව ව්‍යාප්ත වූ අතර මුහම්මද් තුමාගේ මරණයෙන් වසර සියයකට පමණ පසු ස්පාඥය දක්වාද ඉස්ලාමය ව්‍යාප්ත වුණා. අද වන විට බිලියන දෙකකට වඩා වැඩි මුස්ලිම්වරුන් සංඛ්‍යාවක් ලෝකයේ සිටිනවා. එනම් ලෝකයේ සෑම මිනිසුන් හතර දෙනෙකුගෙන් එක්කෙනෙකු මුස්ලිම්භක්තිකයෙක්. මුහම්මද් (සල්) තුමා ඇත්තෙන්ම යුදෙව් හා යුදෙව් නොවන සියලු මිනිසුන් සඳහාම දෙවි එවූ බව අල් කුර්ආනයේද පැහැදිලිවම සඳහන් වෙනවා[4].

යෙසායා පොතේ සඳහන් ඉහත අනාවැකි යෙහෙසුස් ක්‍රිස්තූන්ට ගැලපෙන්නේ නැහැ. හේතුව යෙහෙසුස් ක්‍රිස්තූන් එවනු ලද්දේ ඉස්රායෙල් ජනතාව සඳහා පමණයි. මේ බව යෙහෙසුස්ම ක්රිස්තූන්ම් පවසා තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා:

උන් වහන්ස(යෙහෙසුස්) කතා කරමින් “මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක [මතෙව් 15:24]

ඒ වගේම ඔහුගේ ජනතාව වන ඉස්රායෙල් ජනතාව ඔහු පැමිණෙන විටත් තව්රාත් ධර්මග්‍රන්ථය හිමි කරගෙන තිබීම හා දේව පණිවුඩකරුවාන් රාශියක්ම ඉස්රායෙල් ජනතාව සඳහා පැමිණ තිබෙනවා. ඉස්රායෙල්වරුන් සඳහා එවන ලද පණිවුඩකරුවන් ලෙස මෝසස්, ආරොන්, ජොශුආ, සාමුවෙල්, නාතන්, දාවිත්, සාලොමොන්, මීකා, හොසීආ, ආමෝස්, මීකා, එලීජා, එලීෂා, ජෝනා, ජොයෙල්, හබක්කු, සේපනියා, යෙරමියා, එසේකියෙල්, දානියෙල්,හග්ගායි, සකරියා, මලාචි, යෙහෙසුස් නමැත්තන් සලකන්න පුළුවන්. එනිසා ඉස්රයෙල් ජනතාවට අන්දයන් යැයි පැවසීම නිවැරදි වන්නේ නැහැ.

නමුත් යෙහෙසුස් ක්‍රිස්තූන් පැමිණි කළ එහි සිටි ඉස්රායෙල් ජනතාව පිළිමවන්දනාකරුවන් නොවේ. ඔවුන් විශ්වයේ නිර්මාපකයා වූ එකම දෙවියන්ව විශ්වාස කල පුද්ගලයන්. එනිසා මෙම අනාවැකිය යෙහෙසුස් ක්‍රිස්තූන්ට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම, ජෙන්ටයිල්වරුන්ගෙන් (යුදෙව් නොවන්නන්ගෙන්)  ඉවත්ව සිටින බවට තම සගයන්ට යෙහෙසුස් පවසා ඇති බවද බයිබලයේ සඳහන්.

යෙහෙසුස් වහන්සේ මෙකී දොළොස්දෙනා(තම සගයෝ 12 දෙනා) යවමින් ඔවුන්ට මෙසේ අණ දුන් සේක: “විජාතීන්ගේ මාවතකට පෑ නොතබන්න; සමරීයයන්ගේ නුවරකට ඇතුළු නොවන්න; ඉශ්රායෙල් වන්ඝයේ නැති වූ බැටළුවන් වෙතට යන්න. [මතෙව් 10:5-6] යෙහෙසුස්ගේ මෙම උපදෙස යෙසායා පොතේ සඳහන් වැකියට පරස්පරවිරෝධී බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එනිසා යෙසායා පොතේ සඳහන් වන්නේ යෙහෙසුස් ක්‍රිස්තූන් ගැන නොවන බව පැහැදිලියි.

අනාවැකියේ සඳහන් විශේෂ පුද්ගලයා ගෙන එන්නේ කුමක්ද?

යෙසායා පොතේ සඳහන් ආකාරයට මෙම විශේෂ පුද්ගලයා නව නීතියක් ගෙනෙන බව අපට අවබෝධ කරගන්න පුළුවන්.

සමිඳුන් හට නව ගීයක් ගයන්න. මුළු ලොව පුරා පැසසුම් පතුරුවා හරින්න….. [යෙසායා 42:10]

මෙහි නව ගීතයක් යනු නව නීතියක්, නොඑසේ නම් වන්දනා කරන නව ක්‍රමවේදයක්. මෙම නව නීතිය මුහම්මද් තුමාට අනාවරණය වූ දේව පණිවුඩයයි. ඒ වගේම මෙම නීතිය පෘථිවියේ සෑම තැනකම පැතිර යන බව මෙම වැකියෙන් අදහස් වෙනවා. මෙතුළින් දෙවියන්ගේ ප්‍රසංශාව ලොව පුරා පැතිර යන බවද අපට තේරුම් ගන්න පුළුවන්. දවස පුරාවටම ලෝකයේ කුමන හෝ ස්ථානයක මුහම්මද් තුමා ගෙනා දහම අනුගමනය කරන අය දෙවියන්ට ප්‍රශංසා කරමින් සිටීම තුළින් මෙම අනාවැකිය තවදුරටත් තහවුරු වෙනවා.

යෙසායා පොතේ සඳහන් වන්නේ යෙහෙසුස් ක්‍රිස්තූන් පිළිබඳව නොවන බව බයිබලයේ නව ගිවිසුම කියවන කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. යෙහෙසුස් ක්‍රිස්තූන් නව නීතියක් ගෙනාවේ නැහැ. ඒ වෙනුවට ඔහු, ඔහුට පෙර පැමිණි මෝසෙස් නම් දේව පණිවුඩකරුවට අනාවරණය වූ තව්රාත් නමැති නීතිය ඇතුළුව ඔහුට අනාවරණය වූ දේව පණිවුඩයද තම ජනයාට ඉදිරිපත් කළා.

යෙහෙසුස් මෙසේ පැවසු බව බයිබලයේ සඳහන් වෙනවා.

“මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරන පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව, සම්පූර්ණ කිරීමටය…..”[මතෙව් 5:17-18]

යෙහෙසුස් ක්‍රිස්තූන්ගේ අනුගාමිකයන් පවා අවනත වූයේ මෝසෙස්ට අනාවරණය වූ තව්රාත් නම් නීතියටයි. යෙහෙසුස් තමන්ගෙන් ඉවත්ව ගිය පසුවත් ඔවුන් යටත් වූයේ තව්රාත් නීතියටයි. යේසුස්ගේ අනුගාමිකයන් තම මග පෙන්වීම සඳහා තව්රාතය උපයෝගී කළ බව බයිබලයේම සඳහන් වෙනවා. යෙහෙසුස්ගේ අනුගාමිකයන්ගේ ක්‍රියා ඇතුලත් වූ “ක්‍රියා” නම් පොතේ මෙසේ සඳහන් වෙනවා.

…ආදී පරම්පරාවල සිටම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාසැහැ කරන්නෝ සියලු නගරවල සිටිති… [ක්‍රියා 15:21]

මෙම සුවිශේෂී පුද්ගලයා සටන්කාමියෙක් වන බව හා ඔහු දෙවිගේ සතුරන් සමග යුදමය වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් සටන් කර ජය ලබන බවද යෙසායා පොතේ සඳහන් වෙනවා:

… එතුමාණෝ රණ වීරයෙකු සේ දිරිගන්වන සේක. රණ හඬ පතුරා, සිහ නද නගා, සතුරන් අබිබවා සිය බලය පෙන්වන සේක. [යෙසායා 42:13] රූප කෙරෙහි විශ්වාස තබන, පිළිම දෙවිවරුන් මෙන් සලකන සියලු දෙනා නින්දාවටත්, අධික ලැජ්ජාවටත් පත්වන්නෝය [යෙසාය 42:17]

දෙවිගේ සතුරන් වන පිළිම වන්දනාකරුවන් සමඟ විවිධ යුද්ධ වල නියැලීමට මුහම්මද් තුමාට සිදු වුණා. මුහම්මද් තුමා ජයග්‍රහණය කලේ අඥානයන්ගේ අගනුවර වූ මක්කා නගරය පමණක් නොවේ. අවුරුදු 23ක ඔහුගේ දේවදූත මෙහෙවර අවසාන වන විට මුළු අරාබිකරයම පිළිම වන්දනාව අත්හැර දමා ආබ්‍රහම්ගේද දෙවි වන සත්‍ය ඒකීය වූ අල්ලාහ්ට අවණත වී ඔහුට පමණක් නමස්කාර කරන්න පටන් ගත්තා.

කෙසේනමුත් යෙහෙසුස්ට තම විරුද්ධවාදීන් සමඟ සටන් කිරීමට පුළුවන් වාතාවරණයක් තිබුනේ නැහැ. එනිසා යෙහෙසුස් මෙසේ පවසා තිබෙන බව බයිබලයේ සඳහන් වෙනවා.

යෙහෙසුස් වහන්සේ පිළිතුරු දෙමින් “මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති නැත. මාගේ රාජ්‍යය මේ ලෝකයට අයිති වූවක් නම් ජුදෙව්වරුන් අතට මා භාර නොදෙන පිණිස මාගේ සේවකයන් සටන් කරනු ඇත [ජොහන් 18:36]

ඒ වගේම යෙහෙසුස්ගේ අනුගාමිකයෝ අවුරුදු 100ක පමණ කාලයක් විරුධ්ධවාදීන්ගේ තාඩන පීඩනවලට ලක් වුණා. මෙම විරුද්ධවාදීන් පේදුරු වැනි යේසුස්ගේ අනුගාමිකන්ව ඝාතනයද කළා. ඒ වගේම යේසුස්ගේ අනුගාමිකයන්ට වධ හිංසා පමුණුවා සිංහයන්ට පවා කන්නට දැම්මා. එනිසා ඉහත බයිබල් වැකියේ සඳහන් වන පුද්ගලයා යෙහෙසුස් ක්‍රිස්තූන් නොවන බව පැහැදිලිවම අපට වටහා ගන්න පුළුවන්.

අවසාන වශයෙන් දෙවි එක් අනතුරු ඇඟවීමක් කරනවා. මෙය යෙසායා පොතේ මෙසේ සඳහන් වෙනවා.

සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, හොඳින් බලන්න….ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම්ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත…..”

මේ දේ අසා, මින්මතු ඊට මැනවින් සවන් දෙන කිසිවෙක් නුඹලා අතරේ සිටීත්ද? [යෙසායා 42:18-23]

අන්දයන් හා බිහිරන් ලෙස මෙම වැකියේ සඳහන් වන්නේ මුහම්මද් (සල්) තුමාණන්ව ප්‍රතික්ෂේප කරන උදවිය පිළිබඳව යන්න පැහැදිලියි. එනිසා ඔබ අතුරින් මුහම්මද් තුමාණන්ව පිළිගැනීම තුලින් දෙවිට සවන්දෙන්නේ කවුරුන්ද?

මෙම අනාවැකිවලට අනුව මුහම්මද් තුමාව හඳුනාගත් ඔහුගේ සහායකයන්

මුහම්මද් තුමා ගැන පෙර පහළ වූ ධර්මග්‍රන්ථ වල අනාවැකි තිබෙන බව මුහම්මද් තුමාගේ සහායකයන් දැන සිටියා. මෙසේ දැන සිටියේ කෙසේද යන ප්‍රශ්නය ඔබට ඇති වෙන්න පුළුවන්. ඇත්තෙන්ම ඉස්ලාම් දහම වැළඳ ගත් ඉබ්නු සලාම් (බෙන් ශාලොම්) වන්නන්ගෙන් මේ පුවත් මුහම්මද් තුමාගේ අනෙකුත් සයායකයන් දැන තිබෙන්න පුළුවන්.

අතා බින් යසාර් මෙසේ පවසනවා:

මා, අබ්දුල්ලාහ් බින් අම්ර් බින් අල් ආස් හමුවී “අල්ලාහ්ගේ දූතයන් ගැන තව්රාතයේ සඳහන් විස්තරය ගැන මට කියන්න” යැයි ඇසුවෙමි, ඔහු මෙසේ පිළිතුරු දුන්නේය, “ඔව්, අල්ලාහ් මත දිවුරා(පවසමි), අල් කුර්ආනයේ ඔහු ගැන සඳහන් ගති ලක්ෂණ වලින් සමහරක් භාවිතා කරමින් තව්රාතයේ ඔහු ගැන විස්තර කරනු ලැබ තිබෙනවා. මෙයට නිදසුනක් ලෙස “(මුහම්මද්,) අපි ඔබ සාක්ෂිකරුවෙක් ව ද සුබාරංචි කියන්නෙකුව ද අවවාද කරන්නෙකුව ද එවීමු (අල් කුර්ආනය 48:8) ගත හැක, ඒවගේම ඉගෙනුම නොලත් ජනතාවට අරාක්ෂකයෙකු වශයෙන් එවීමු. ඔබ මාගේ සේවකයා හා මාගේ පණිවුඩකරුවාය. මම ඔබට “අල් මුතවක්කිල්” (අල්ලාහ් මත රඳා පවතින්නා) යැයි නම් තැබුවෙමි. ඔබ අවනීත හෝ කුරීරු පුද්ගලයකු නොවන අතර වෙළඳ පොලේ ඝෝෂා නගන්නෙකුද නොවේ. ඔබට එදිරිවාදිකම් කරන්නවුන්ට ඔබ එදිරිවාදිකම් කරන්නේ නැත. ඔවුන් සමඟ කරුණාවන්ත ලෙස කටයුතු කරන අතර සමාව ලබා දෙන්නේය. අන්ද ඇස්, බිහිරි කන් හා වැසුනු හදවත් විවර කරන අකාරයෙන්, “නැමදීමට සුදුසුකම අල්ලාහ් හැර වෙන කිසිවකට නැහැ” යැයි කීම තුළින් දුෂ්ට ජනයා ශිෂ්ට ජනයන් බවට පත්කරන තුරු ඔහුව අල්ලාහ් මිය යාමට සලස්වන්නේ නැත [5].

ඒ වගේම තව්රාත් ග්‍රන්ථයේ විද්වතෙකුව සිට ඉස්ලාමය වැළඳ ගත් කාබ් ඉබ්නු අල් අහ්බාර් පවසන්නේ “අහෝ මුහම්මද්, මම ඔබට අන්දයන්ගේ ඇස්, බිහිරන්ගේ කන් හා වැසුනු හදවත් විවර කරන නව තීතියක්(තව්රාතයක්) ලබා දෙන්නෙමි” යැයි තව්රාත් ග්‍රන්ථයේ සඳහන් බවයි [6]. මෙම ප්‍රකාශය යෙසේයා පොතේ “බිහිරෙනි, අසන්න; අන්ධයෙනි, හොඳින් බලන්න….ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම්ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත…..” යන වැකිය හා හොඳින් ගැලපෙන බව ඔබට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] ධර්ම ග්‍රන්ථය හිමි අයවලූනි, “සුබාරංචි කියන්නෙක් හෝ අවවාද කරන්නෙක් හෝ අප වෙත නොපැමිණියේ යැ”යි නුඹලා නොපවසනු පිණිස දූතයින්ගේ සම්ප්‍රාප්තිය නතර වූ කාල වකවානුවක අපේ දූතයා (මුහම්මද්) නුඹලාට පැහැදිලි කිරීමට නුඹලා වෙත පැමිණ ඇත. සුබාරංචි කියන්නෙක් ද අවවාද කරන්නෙක් ද නුඹලා වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලූ දේ කෙරෙහි බලසම්පන්නයෙකි. [අල් කුර්ආනය 5 : 19]

[2] විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙතට ගෙන එනු පිණිස පැහැදිලි කරවන අල්ලාහ්ගේ වැකි නුඹලාට ප්‍රකාශ කරන දූතයෙකු (ඔහු එවීය). අල්ලාහ් ගැන විශ්වාස කොට යහපත් ක්‍රියා කළ අය ස්වර්ගයන්හි ඔහු ඇතුළු කරවයි. ඒවා යටින් ගංගා ගලා බසියි. ඔවුහු එහි සදහට ම සදාකාලීන ව සිටිති. අල්ලාහ් ඔහු වෙනුවෙන් ආහාර ලස්සන කර තබා ඇත. [අල් කුර්ආනය  65 : 11]

[3] “……නුඹට පෙර අනතුරු අඟවන්නෙකු ඔවුනට පැමිණ නැති ජනතාවකට නුඹ අනතුරු ඇඟවීම පිණිස…..” [අල් කුර්ආනය 32:3]

[4] අපි නුඹව මිනිසුන් සියල්ලන්ටම සුබාරංචි පවසන්න ලෙසද, අවවාද කරන්නා ලෙසද හැර (වෙන කිසිවක් සඳහා) නොයව්වෙමු. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් නොදනිති [අල් කුර්ආන් 34:28]

[5] සහිහ් බුහාරි, වෙළඳාම හා ව්‍යාපාරය සම්බන්ධ පොත, පරිච්ඡේදය 50.

[6] Sunan Al Daarimi, Hadith no. 3193, (Hadith scholar Hussain Salim Asad al-Darani in his book on the evaluation of Musnad al Daarimi declared this narration’s chain of transmission to be Hasan (good), see no. 3370, p. 2095)

Share Button