ඉස්ලාමය අනුමත කරන බහු භාර්යා විවාහය පිළිබඳව

මනුෂ්‍ය වර්ගයා සත්ව ලෝකයේ බොහෝ සාමාජිකයින් මෙන් ස්ත්‍රී පුරුෂ යන දෙකොටසින් සංයුක්ත වනවා. තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම සහතික කරන්නට නම් මෙම දෙපිරිසගේ සහභාගිත්වයෙන් ප්‍රජනන ක්‍රියාවලිය සිදුවිය යුතුයි. සත්ව ලෝකයේ අන් සාමාජිකයින් අතර නොමැති විශේෂිත සබඳතාවක් තුළින් මෙම ක්‍රියාවලිය ඉටු කිරීමට අනාදිමත් කාලයේ සිට මනුෂ්‍ය වර්ගයා හුරු වී සිටිනවා. මිනිසාටම ආවේණික වූ සදාචාරය පදනම් කරගෙන විවිධ සංස්කෘතීන් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව පවත්වාගෙන යෑමට විවිධ නීති රීති මෙන්ම සම්මා හා අසම්මා නිර්ණායකයන් සකස් කරගෙන විවාහය නම් සම්බන්ධතාවය ගොඩනැඟී තිබෙනවා. එනිසා මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කරන්න පුළුවන්. ශිෂ්ටසම්පන්න සමාජයක විවාහය කියන්නේ මූලික අවශ්‍යතාවයක්.

කෙසේනමුත් ඉස්ලාම් පවසන මෙම විවාහ නීතිරීති සම්බන්ධයෙන් සමාජයේ බහුතරයකට ඇත්තේ තරමක සංකීර්ණ ගැටළු මෙන්ම අසතුටුදායක ආකල්පයන් බව පැවසිය යුතුයි. විශේෂයෙන් “බහුවිවාහය” සම්බන්ධයෙන් මුස්ලීම් සමාජයට පවා තවම ඇත්තේ සීමිත අවබෝධයක් පමණයි. ඒ අනුව ඉස්ලාම් දහමට එරෙහිව නැඟෙන චෝදනා අතර පිරිමීන් සදහා විවාහ 04 ක් සිදුකර ගැනීමට අවසර ලබාදීමද  ප්‍රධාන තැනක් ගන්නවා. මුස්ලිම් නොවන ඇතැම් අය සිතන්නේ මුස්ලිම් පුරුෂයෙක් යනු බිරියන් හතරදෙනෙකු විවාහ කර ගත් කෙනෙක් බවයි. ඒ වගේම බහු භාර්යා විවාහය සදාචාරාත්මක නොවන බවත් සදාචාරාත්මක වන්නේ ඒකභාර්ය විවාහය බවත් ඉස්ලාම් දහම කාන්තාව සම්බන්ධයෙන් පිරිමින්ට සාපේක්ෂව ඇය පහත් කොට සලකනවා යන්නත් ඇතැමෙක් චෝදනා කරනවා. සැබවින්ම ඉස්ලාම් දහම කාන්තාව පහත කොට සලකනවාද නැද්ද යන්න දැන ගැනීමට ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන නම් ලිපිය කියවන්න.

බහු භාර්ය විවාහය හඳුන්වා දුන්නේ ඉස්ලාමයද?

බහු ස්ත්‍රී විවාහය යනු සහජයෙන් හිමිවන ජානමය ලක්ෂණයක් බවත් මෙතුළින් යම් පරම්පරාවක බලවත් ජාන ඊළඟ පරම්පාරාවට ගෙන යන බවත් බටහිර මානවවිද්‍යාඥයින් පවසනවා. උදාහරණයක් ලෙස කණ්ඩායමේ සිටින බලවත්ම සිංහයා වන, රාජ්‍ය සිංහයා අනෙකුත් සිංහ ධේනුන්ව ඒකාධිකාරී ලෙස පාලනය කරන අතර මෙතුළින් පසු පරම්පරාවේ සිංහ පැටවුන් රාජ්‍ය සිංහයාගේම බව සහතික කරගන්නවා.

මිනිසා ගැන සැලකීමේදී ස්ත්‍රිය ස්වභාවයෙන්ම පිරිමියාට වඩා දුර්වල ස්වභාවයකින් යුක්ත වන නිසා මෙම දුර්වලත්වය තම වාසියට උපයෝගී කරගැනීම බොහෝ පුරුෂෝත්තම සංස්කෘතීන්හි සම්ප්‍රදායානුකුලව සිදුවන්නක් බව අප සැවොම දන්නා කරුණක්. පාලනයකින් තොර වූ මෙන්ම අයුක්තිය හා අසාධාරණය මත පදනම් වූ බහුභාර්ය සේවනය විවිධ සංස්කෘතීන්හි ඇති වීමට හේතු වූ ප්‍රධාන සාධක නම් ස්ත්‍රියගේ ස්වභාවික දුර්වලත්වය උපයෝගී කරගැනීම හා ස්ත්‍රිය ලිංගික තෘප්තිය සඳහා පමණක් වූ භාණ්ඩයක් ලෙස සලකා කටයුතු කිරීම බව බහුතරයකගේ මතයයි. මෙවන් බහු භාර්ය විවාහ මුහම්මද් තුමාට පෙර සංස්කෘතීන් වලද තිබුණු අතර එක් පිරිමියෙකු කාන්තාවන් ගනනාවක් විවාහ කරගැනීමේ සම්ප්‍රදාය එදා ඉස්ලාම් දහම ප්‍රකාශ වූ අඥාන සමාජයේ පවා ඒ වනවිටත් ඉතා ඉහල මට්ටමකින් ක්‍රියාත්මක වූ බව ඉතිහාසය කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. බහු ස්ත්‍රී විවාහ පමණක් නොව ඇතැම් සංස්කෘතීන් වල බහු පුරුෂ විවාහද තිබුණු බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මෙලෙස තිබූ බහුභාර්ය විවාහය යම් විධිමත් ක්‍රමයකට ගෙන එනු ලැබූයේ ඉස්ලාම් දහම විසිනුයි. ඒ අනුව බහු භාර්ය විවාහය සිදු කළ ඇතැම් මුස්ලිම්වරුන් ඉතිහාසය පුරාවට දැක ගන්න පුළුවන්. මෙම විවාහ ක්‍රමයට එරෙහිව ඇතැම් පුද්ගලයින් චෝදනා කරන්න පටන් ගෙන තිබෙන්නේ විසිවෙනි සියවසේ මුල් භාගයේදීයි.

මෙම ලිපිය මගින් පළමුව බහු භාර්ය විවාහය පිලිබඳ ඉස්ලාමයේ ස්ථාවරයද ඉන්පසුව අනෙකුත් සංස්කෘතීන් වල මෙම පිළිවෙත ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව විමසා බැලීමක් කරන්නට අදහස් කරන්නෙමු. මෙසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත් වී ඇත්තේ විවිධ ක්ෂේත්‍රයන් මගින් ප්‍රකාශිත අදහස් අනුව බහු ස්ත්‍රී විවාහය ලොවට හඳුන්වා දුන්නේ ඉස්ලාමය බව පෙන්වා දීම නිවැරදි කිරීමේ අවශ්‍යතාවය මතුවී ඇති නිසයි. අනෙකුත් සංස්කෘතීන් වල පැවති බහු ස්ත්‍රී විවාහ පිළිබඳව විමසා බලන්නේ විවේචනය හෝ අපහාසය පදනම් කරගෙන නොවන බව කරුණාකර සලකන්න.

ඉස්ලාමය පවසන බහු භාර්ය විවාහය

අනාදිමත් කාලයේ සිට පැවත ආ බහු ස්ත්‍රී විවාහය පිළිබඳව ඉස්ලාමයේ ස්ථාවරය පැහැදිලි කළ විට එමගින් ඇත්තෙන්ම කාන්තා අයිතිවාසිකම් පමණක් නොව කාන්තාවගේ ගෞරවය කෙතරම් දුරට සුරැකී ඇත්තේ දැයි අවබෝධ කර ගැනීමට හැකි වේ යයි සිතන්නෙමු. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකිය විමසා බලමු.

“අනාථයින් පිළිබඳව නුඹලා විසින් යුක්තිගරුකව කටයුතු නොකරනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම් ස්ත්‍රීන් අතුරින් නුඹලාට ප්‍රියමනාප අය දෙදෙනා තිදෙනා සිව්දෙනා බැගින් විවාහ කර ගනිවු. නුඹලා විසින් සාධාරණය ඉටු නොවනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම් එක් ස්ත්‍රියක් හෝ නුඹලාගේ දකුණත සතුකර ගත් (වහල්) අය (ප්‍රමාණවත්)ය. එය නුඹලා අසාධාරණකම් නොකිරීමට ඉතා සමීපය.” [අල් කුර්ආනය 4:3]

අල් කුර්ආනය පහළ කළ යුගයේ, එනම් දැනට ශත වර්ෂ 14 කට පෙර අරාබි හා ලොව  අනෙකුත් සමාජයන්හි ස්ත්‍රීන් අසීමිත සංඛ්‍යාවක් විවාහ කර ගැනීම සාමාන්‍යය සම්ප්‍රදාය බවට පත්ව තිබුණා. ඉහත අල් කුර්ආන් වැකිය මගින් මෙම වැරදි සමාජ සම්ප්‍රදාය නිවැරදි කිරීමට ලොව පළමු පියවර හා මග පෙන්වීම ඉදිරිපත් කරණු ලැබුවා. එම යුගයේ ඉස්ලාමයට විරුද්ධව විවිධ යුද්ධ ඇතිවූ අතර සෑම යුද්ධයක් අවසානයේදීම පිරිමින් විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් වැන්දඹු වූ ස්ත්‍රීන් හා අනාථ වූ  දරුවන්  විශාල පිරිසක් බිහි වූ අතර ඔවුන් රැක බලා ගැනීම සමාජයේ ජීවත් වුවන්ගේ වගකීම බවට පත් වුණා. මෙම වැකිය  මගින් පළමුව දන්වා සිටින්නේ අනාථ දරුවන් යහ අයුරින් රැක බලා ගැනීමේ වගකීම නිසි ලෙස ඉටුකිරීම මුල් කරගෙන බහු ස්ත්‍රී විවාහය සඳහා යොමු වන ලෙසයි.

එනම් පොහොසත් කෙනෙක් තම කුඩා වයසැති දියණියක් හැර දමා මරණයට පත්වූයේ නම් ඔහුගේ ඥාතියෙක් ඒ අනාථ කාන්තාවත් ඇගේ දේපළත් පරිපාලනය කිරීමේ වගකීම භාර ගැනීම එකළ සම්ප්‍රදායක් ලෙස පැවතුණා. මෙහිදී බොහෝ අවස්තාවලදී සිදු වන්නේ මෙසේ වගකීම් භාර ගත් තැනැත්තා තම භාරකාරත්වය යටතේ සිටින අනාථ කාන්තාවන්ව විවාහ කර ගැනීමයි. ඒවගේම එම කාන්තාවට හිමි විය යුතු මහ්ර් නම් විවාහ ත්‍යාගයද ඔහු ඇයට ලබා දෙන්නේ නැහැ. ඒ කාන්තාවන්ගේ දේපළත් තමා සතු කර ගන්න ඔවුන් පුරුදු වී සිටියා.

මෙම වැකිය පහළ වූයේ මෙසේ තම භාරකාරත්වය යටතේ සිටින අනාථයින් මුළා කරන අයට අවවාද කිරීමටයි. කාන්තාවන් දෙදෙනෙක්, තිදෙනෙක්, සිව් දෙනෙක් විවාහ කර ගැනීමට අනුමත කර තිබෙන විට නුඹලාගේ භාරකාරත්වය යටතේ සිටින අනාථ කාන්තාවන් මුළා කර විවාහ කර ගන්නේ ඇයි දැයි මෙම කුර්ආන් වැකිය තුළින් අනුශාසනා කරනු ලැබෙනවා. මිනිසා තම භාරකාරත්වය යටතේ සිටින අයට තමන් නොදැනුවත් ව ම ද්‍රෝහිකම් කිරීම එකළ සාමාන්‍යය සිද්දියක්. මොහු නඩත්තු කරන්නේ අපි නොවෙමු ද? යන චේතනාව හේතු කොටගෙන මෙසේ කටයුතු කිරීමට ඔවුන් පෙළඹෙනවා. අල්ලාහ් මෙහි දී පෙන්වා දෙන්නේ මෙම දුර්වලතාවයයි. නුඹලාගේ භාරකාරත්වය යටතේ සිටින අනාථයින් ඔවුනට සුදුසු තැන්වල විවාහ කර දෙන්න. නුඹලා වෙනත් කාන්තාවන් විවාහ කර ගන්න යන අර්ථය ඉහත කුර්ආන් වැකිය තුළ අන්තර්ගත වී තිබෙනවා. ඒවගේම අනාථ කාන්තාවන්ගේ දේපළ වල පමණක් නොව ඔවුන්ගේ විවාහ අයිතිවාසිකම් වල දී පවා අසාධාරණයක් සිදු කිරීමේ ඉඩ ප්‍රස්තා තිබෙනවා. එනම් තමන් යටතේ සිටින අනාථ කාන්තාව අකැමති වන විටත් තම භාරකාරත්වය යටතේ සිටින එකම හේතුව නිසා ඇය බලාත්කාරයෙන් විවාහ කර ගැනීමේ අසාධාරණයක් ද සිදු වීමට අවස්ථාවක් තිබෙනවා. මෙම වැකිය ඒ අසාධාරණය ගැන ද පවසනවා. ‘‘අනාථයින් වෙත යුක්තිසහගතව කටයුතු නොකරන්නෙහු යැයි බිය වුවහොත්’’ යන්න සියලූ ආකාරයේ අසාධාරණයන් අන්තර්ගත ප්‍රකාශයක්.

දැන් අප ඉස්ලාමය අනුමත කරන බහු භාර්යයා විවාහය සම්බන්ධයෙන් අවධානය යොමු කරමු.

බහු ස්ත්‍රී විවාහයට ඉස්ලාමය තුළ අනුමැතිය තිබුණද එය අනිවාර්ය කටයුත්තක් ලෙස ඉස්ලාම් දහම කිසිසේත්ම පවසන්නේ නැහැ. කෙසේ නමුත් බහු ස්ත්‍රී විවාහය අවශ්‍ය වන තත්වයන් පුද්ගලික හා සමාජ හේතුන් මත ඇති වෙන්න පුළුවන්. ප්‍රථමයෙන් එම කරුණු විමසා බලමු.

බොහෝ සමාජයන්හි කාන්තා ජනගහන ප්‍රතිශතය පුරුෂයින්ට වඩා වැඩිය.

ලෝකයේ කාන්තා ජනගහනයේ අධිකත්වය යනු සැවොම පිළිගන්නා සත්‍යයක්. ඇමෙරිකානු එක්සත් ජනපදයේ පුරුෂයින්ට වඩා ස්ත්‍රීන් මිලියන අටක් පමණ සිටිනවා. නිව් යෝර්ක් නගරය සලකනවා නම් එහි කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියනයකින් වැඩියි. බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියන හතරකින් වැඩියි. ජර්මනියේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියන පහකින් වැඩියි. රුසියාවේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමීන්ට වඩා මිලියන නවයකින් වැඩියි.

“ගිනීයා රටේ පිරිමින් 100 දෙනෙකුට ස්ත්‍රීන් 122 දෙදෙනෙකු ද ටැන්සානියාවේ අනුපාතය පිරිමින් 95.1 ට ස්ත්‍රීන් 100 ලෙසද සිටිනවා.” (‘Polygamy Reconsidered: African  Plural Marriage and the Christian Churches – New York – Page 88-93)

මෙලෙස කාන්තා ජනගහනය පුරුෂයින්ට වඩා වැඩි වීම විවිධ හේතූන් නිසා සිදු විය හැකියි.

1. යුද්ධ වල දී තරුණ භාර්යාවන්ගේ ස්වාමි පුරුෂයෝ අධිකව මරණයට පත් වීම.

යුද්ධ ගැටුම්වලදී අධික වශයෙන් මිය යන්නේ පිරිමීන් බව පැහැදිලි කරුණක්. විශේෂයෙන් අතීතයේ පටන් ලොව තුල ක්‍රියාත්මක වන යුධ තත්වයන් එයට එක් හේතුවක්. මුහම්මද් තුමාගේ කාළයේ ඉස්ලාමයට විරුද්ධව විවිධ යුද්ධ ඇතිවූ අතර සෑම යුද්ධයක් අවසානයේදීම පිරිමින් විශාල ප්‍රමාණයක් මිය යෑම හේතුවෙන් වැන්දඹු කාන්තාවන්ගේ සංඛ්‍යාව අධික වීම සිදු වූ අතර මොවුන්ට යමෙක් ජීවිතයක් ලබා දීමේ දැඩි අවශ්‍යතාවයක් එකළ තිබුණා. ඒ වගේම ලොව අමිහිරි සලකුණක් සටහන් කල පලමු හා දෙවන ලෝක යුද්ධය සැලකූවිට එහි සිදුවූ මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් පිලිවලින් 8,834,000 හා 22,100,000 වනවා. ඇෆ්ගනිස්තානයේ සිදු යුද්ධයේදී මිනිස් ජීවිත මිලියන 1-1.5 ප්‍රමාණයක් අහිමි වූ බව තක්සේරු කර තිබෙනවා. මින් බහුතරයක් විවාහ වයසේ සිටි පිරිමීන්. ශ්‍රී ලංකාවේ මෑතකදී අවසන් වූ දශක තුනක ත්‍රස්තවාදී ගැටුම අවසානයේදීද ජීවිතයේ හෙටක් පිළිබඳ විශ්වාසය අහිමි වූ අති විශාල වැන්දඹු වූ කාන්තා පිරිසක් සමාජයට එකතු වී සිටිනවා. ඒ වගේම යුද්ධයෙන් පසු ස්ත්‍රී පුරුෂ අනුපාතයද උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙනස් වී ඇති බව සත්‍යයක්. මීට අමතරව ලොව සිදුවූ විවිධ යුධ සංහාර අපමණයි. මේවා තුලින් යුධ සෙබළුන් ලෙසත් කැරලිකරැවන් ලෙසත් මියගිය බහුතරය පිරිමීන් බව අප සියල්ලෝම දන්නවා.

මෙම වැන්දඹු කාන්තාවන් සම්බන්ධයෙන් විසඳුමක් දීමට රටේ පවතින නීතියට හැකියාවක් නැහැ. ඔවුන් පිළිබඳව යහ විසඳුමක් ලබාදීමේ මඟ විවෘතවී ඇත්තේ ඉස්ලාමීය ඉගැන්වීම් තුළ පමණක් බව මෙම ලිපියේ කරුණු මධ්‍යස්ථව විමසා බලන අයෙකුට තේරුම් ගන්න පුළුවන්.

2. පිරිමි ජනගහනය වැඩි විවීමට තවත් හේතුවක් වන්නේ කාන්තාවන්ගේ උපත් අනුපාතය ඉහළ අගයක පැවතීම හා මරණ අනුපාතිකයේ පුරුෂයින්ට වඩා කාන්තාවන් අඩුවෙන් සිටීමයි.

මරණ අනුපාතයේදීද පිරිමීන් ඉහල අගයක සිටිනවා. පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැණු ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ හැකියාව ඉහළ නිසා පිරිමි ළදරුවන් ගැහැණු ළදරුවන්ට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් රෝගාතුරු වී මිය යනවා [1]. මෙලෙස ස්වභාවිකව ළදරු මන අනුපාතයේ අගය පිරිමීන් සදහා ඉහල අගයක පැවතුනද ඊට අමතරව වෙනත් බොහෝ හේතූන් නිසාද පිරිමි මරණ අනුපාතයේ අගය ඉහල යමින් පවතිනවා. එනම් මත්පැන්, දුම්බීම වැනි කටයුතුවලින්ද බහුලව මිය යන්නේ පිරිමින්ය. ඒ වගේම සියදිවි හානිකර ගැනීම සලකනවා නම් එහිද පිරිමි අනුපාතය ඉහල අගයක පවතිනවා.

මෙම පිරිමි ජනගනය අතුරින්ද විවාහය සඳහා සුදුසු පිරිමීන් සිටින්නේ තවත් අඩු අගයකිනි, මෙයට හේතු කිහිපයක් තිබෙනවා.

  • විවාහ වන අවධියට පත කාන්තාවන් විවාහ වන අවධියට පත් පුරුෂයින්ට වඩා කිහිප ගුණයකින් අධිකයි. මෙයට හේතුව කාන්තාවන් පුරුෂයින්ට වඩා වසර 10 කට පමණ පෙර දී ම විවාහයට සූදානම් වීමයි.
  • පිරිමීන් අතර සිදුවන සමලිංගික විවාහ නිසාද විවාහ කර ගැනීමට සුදුසු පිරිමීන්ගේ සංඛ්‍යාව තවත් අඩු වී තිබෙනවා. උදාහරණයක් ලෙස නිව් යෝර්ක් නගරය සලකනවා නම් එහි පිරිමි ජනගහනයෙන් තුනෙන් එකක් සමලිංගික සම්බන්ධකම් පවත්වන පිරිමීන්. සම්පූර්ණ ඇමරිකාව සැලකුවද එහි පිරිමීන්ගෙන් මිලියන 25කට වඩා වැඩි ප්‍රමාණයක් සමලිංගික සම්බන්ධකම් පවත්වන පිරිමීන්. මොවුන් කාන්තාවක් විවාහ කිරීමට පෙළඹෙන්නේ ඉතා කලාතුරකින්. (සම ලිංගික සම්බන්ධකම් කාන්තාවන් අතර තිබුණද පිරිමි සමලිංගිකයන්ට සාපේක්ෂව එහි සංඛ්‍යාවෙන් අඩුයි)
  • ජීවිතයේ විමුක්තිය උදෙසා ජිවිත බැදීම්වලින් දුරස්ව හුදෙකලා ජීවිතයක් ගතකිරීම අත්‍යඅවශ්‍ය බව සමාජයට උගන්වන ආගම් හා දර්ශනයන් අද ලොව බොහෝමයක් දක්නට තිබෙනවා. මේවා සදහා ද බොහෝ විට යොමුවන්නේ පිරිමි පාර්ශවයන්ය. මෙම තත්වය වර්ථමාන ලොව තුල ප්‍රබල කාරණයක් නොවුවද අනාගතයෙදී සමාජ පැවැත්මට මෙයත් උග්‍ර ගැටළුවක් වනවා නොඅනුමානයි.

කෙසේනමුත් මිනිස් දිවියේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ලිංගික අවශ්‍යතාවය යන්න තම දිවිය තුල මූලික අංගයක්. එය නොලැබීයාම තුල පිරිසක් සමාජ විරෝධි ක්‍රියාවන් හි නිරතවන අතර තවත් පිරිසත් මානසික විකෘතිතාවයන්ට මෙන්ම මානසික රොගීන් බවට පත්වෙනවා. මෙම සමාජ තත්වය අද බොහෝ වෛද්‍යවරුන්ගේ “ඔයා බැදලා ද?” යන ප්‍රශ්නය තුලින් මනාව පිළිඹිබු කරනවා. මේ නිසා මනුෂ්‍ය දිවියේ සෑම කෙනෙකුටම මෙම අවශ්‍යතාවය සැපිරිය යුතුයි යන්නෙහි කිසිවකුටත් විරුද්ධ මතයක් තිබෙන්න හැකියාවක් නැහැ. ඒවගේම නුතන සමාජ පිලිගැනීම අනුව මෙය ප්‍රායෝගික වීමට නම්, ස්ත්‍රී පුරුෂ අනුපාතය ලොව සමාන වියයුතුයි. දැන් එවැනි තත්වයක් නොමැති බව ඉහත කරුණු වලින් පැහැදිලි වෙනවා. මේ අනුව එකභාර්ය විවාහ ක්‍රමය අනුගමනය කරන සමාජය තුල පවතින කාන්තා පිරිමි අසමානතාවය මත කාන්තාව තම මානසික හා කායික අවශ්‍යතාවය සදහා තෝරා ගතයුතු යහපත් විකල්පය කුමක්ද?

මෙවන් තත්වයන් තුළ ස්ත්‍රී ජනගහනයෙන් කොටසකට පුරුෂයින් ලබාගැනීමේ නොහැකියාවට විසඳුම් ලෙස යෝජනා කිහිපයක් විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. එවැනි යෝජනා කිහිපයක් ගැන සලකා බලමු.

  • බ්‍රහ්මචර්යාව රැකීම
  • ස්ත්‍රී බිලිඳු ඝාතනය
  • ලිංගික අපචාරය
  • බහු ස්ත්‍රී විවාහය අනුමත කිරීම

බ්‍රහ්මචර්යාව රැකීම

නුතන මනෝවිද්‍යාත්මක මතයන් අනුව බ්‍රහ්මචර්යාව රැකීම පවසන තරම් පහසු කාර්යයක් වන්නේ නැහැ. බ්‍රහ්මචර්යාව රැකීමට බැඳී සිටින පුජක පක්ෂයේ සාමාජිකයින් පිළිබඳව හෙළිදරව් වූ වාර්තා අනුව මෙම අයගෙන් බහුතරයක් රහසිගතව ලිංගික ක්‍රියාවන්හි යෙදී සිටින බව සනාථ වෙනවා. මෙම රහසිගත ලිංගික ක්‍රියාවලිය සමලිංගික මෙන්ම විෂමලිංගික වශයෙන් පවත්වන්නක් ලෙසද හෙළි වී තිබෙනවා. සමලිංගික ක්‍රියාවලිය විකෘති දෙයක් ලෙස මෙන්ම මිනිසාගේ ස්වභාවිකත්වයට හා පැවැත්මට හානිකර දෙයක් නිසා බහුතරයක් ජනයා හා දහම්ද එය අකුසලයක් ලෙස සලකන බව අපට දැක ගන්න පුළුවන්. රහසිගත විෂමලිංගික ක්‍රියාවලියෙන් එයට සහභාගී වන ස්ත්‍රියට බිරියක් ලෙසින් උරුම අයිතිවාසිකම් කිසිවක් ලබාගැනීමට හැකියාවක් නැහැ. ඇගෙන් බිහිවන දරුවන්ගේ තත්වය මෙයට වඩා භයානකයි. එනිසා ස්ත්‍රී පුරුෂ අනුපාතයේ ඇතිවන අසමානත්වයට පිළියමක් ලෙස බ්‍රහ්මචර්යාව යහ විසඳුමක් ලෙස පිළිගැනීමට ඇති හැකියාව ප්‍රතික්ෂේප කරන්නට සිදු වෙනවා. විවාහ ජීවිතය ප්‍රතික්ෂේප කරන පැවිදිවරු, බ්‍රහ්මචාරිවරු විවාහයට සුදුසු පුරුෂයින්ගේ හිඟකම තව තවත් වැඩි කර ප්‍රශ්නය සංකීර්ණ කරනවා මිස ප්‍රශ්නයට පිලියමක් ලබා දෙන්නේ නැහැ.

ස්ත්‍රී බිලිඳු ඝාතනය

මීළඟ විසඳුම ලෙස ඇත්තේ ස්ත්‍රී බිලිඳු ඝාතන සිදුකිරීමයි. ඇතැම් සමාජවල මෙම අනුමත කළ නොහැකි ක්‍රියාව සිදු වෙමින් පවතිනවා. දැනට ඉන්දියාවේ මෙම ක්‍රියාව බහුලව සිදුවෙනවා දැක ගන්න පුළුවන්. මේ නිසා ඉන්දියාවේ කාන්තා ජනගහනය පිරිමි ජනගහනයට වඩා අඩුයි. දැරුවා හදා වඩා ගැනීමට තරම් ආර්ථිකක් නොමැති වීම, විවාහ කරදීමේදී දෑවැදි දීමට නොහැකි වීම යන හේතු නිසා තම බිලිඳු වයසේදීම ගැහැනු දරුවන් පණ පිටින් මරා දැමීමත් දරුවා බිහිවන්නට පෙර පරිලෝකනය (Scanning) කර බැලීමෙන් කලලය ස්ත්‍රී ලිංගික එකක් බව දැනගත් විට ගබ්සාවක් මගින් එය විනාශ කර දැමීමත් දෛනික සිද්ධීන් බවට පත් වෙමින් තිබෙනවා.  මේ කරුණු දෙකම බරපතල අපරාධයන් නිසා සදාචාර සම්පන්න කිසිම සමාජයක් අනුමත නොකරන ක්‍රියාවන් බව අමුතුවෙන් පැවසිය යුතු වන්නේ නැහැ. මේ පිළිබඳව ඇති අල් කුර්ආන් වැකියන් විමසා බලමු. අල් කුර්ආනය පහළ කරණු ලැබූ යුගයේ අරාබි සමාජයේ පැවති එක් වැරදි ක්‍රියාවක් වූ, තම පළමු දරුවා ගැහැණු දරුවෙක් වූ බොහෝ පවුල්වල එම දරුවාව පන පිටින් වළලා දැමීම සිරිතක්ව තිබුණා. ඒ පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනය තුළින් මෙසේ පවසනවා:

ඔවුන්ගෙන් කෙනෙකුට ගැහැණු දරුවෙකු ලැබුණා යැයි සුභාරංචි කිවහොත් ඔහුගේ මුහුණ (ශෝකයෙන් හා) කෝපයෙන් අඳුරු වන්නේය. (ගැහැණු දරුවෙකු ප්‍රසුත වුනේ යැයි) ඔහුට කියනු ලැබූ මෙම නපුරු සුභාරංචිය ගැන (පිළිකුලෙන්) අවමානයට ලක්වූ එය තබා ගන්නේද? නැතහොත් (පණ පිටින්) එය පස් යට වළලා දමන්නේදැයි (දුක් වී) ජනතාව ඉදිරියට නොගොස් සැඟවී සිටින්නෝය…. [අල් කුර්ආනය 16:58,59]

පණ පිටින් වළලනු ලැබූ ගැහැණු දරුවන්ගෙන් කුමන වරදක් නිසා ඔබ (පණ පිටින් වළලනු ලැබ) ඝාතනය කරණු ලබුවෙහුදැයි අසනු ලබන්නේය. [අල් කුර්ආනය 81:9]

එනිසා පිරිමි හා කාන්තා අනුපාතය තුලනය කිරීමට ස්ත්‍රී බිලිඳු ඝාතනය පිළිගත හැකි විකල්පයක් නොවන අතර දැනට සිදු වන ස්ත්‍රී බිලිඳු ඝාතනය සඳහාද පිලියමක් තිබිය යුතු බව බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ස්ත්‍රී බිලිඳු ඝාතනය නවතා දමනවා නම් ඉන්දියාවේ පවා කාන්තා ජනගහනය පිරිමීන්ට වඩා වැඩි වීම පහසුවෙන්ම අනුමාන කරන්න පුළුවන් වන අතර අපි සාකච්ඡා කරමින් සිටින විවාහ ප්‍රශ්නය නැවත මතු වෙනවා.

ලිංගික අපචාරය

මීළඟ විසඳුම වන්නේ ලිංගික අපචාරයේ යෙදීමයි. දෙමාපියන් විසින් දෑවැදි ලබා දී විවාහ කර දීමට නොහැකි බව අවබෝධ කර ගන්නා තරුණ කාන්තාවන් තමන් විසින් ම ජීවිතයක් සොයා ගන්නේ යැයි සිතා රැවටී පතිවත අහිමි කරගෙන පැමිණෙන අවස්ථා බොහෝ විට අපට දැක ගන්න පුළුවන්. මෙලෙස බොහෝ කාන්තාවන්ට විවාහ ජීවිතයක් නොලැබීම නිසා දුරාචාරය වර්ධනය වෙමින් පවතින බවත් සැබෑවක්. මෙයද සදාචාර විරෝධී ක්‍රියාවක් යන්න පිළිබඳව කිසිම  මතභේදයක් නැහැ. උදාහරණයක් ලෙස දෙවන ලෝක යුද්ධයට පසුව ජර්මනියේ ඇති වූ තත්වය සලකන්න පුළුවන්. පුරුෂයන්ට වඩා කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වුවද එරට ක්‍රිස්තියානි පල්ලි බහුභාර්ය විවාහය ප්‍රතික්ෂේප කළ යුතු දෙයක් බව පැවසුවා. මෙහි ප්‍රතිඵලය වූයේ ගණිකා වෘතිය නීත්‍යානුකූල කිරීමට සිදු වීමයි. ජර්මනියේ ගණිකාවන් අනෙකුත් රැකියා කරන වෘතිකයන් මෙන් සලකනු ලබනවා. රජයෙන් ඔවුන්ට විවිධ සෞඛ්‍ය දීමනා හිමි වන අතර අනෙකුත් පුරවැසියන් මෙන් මොවුන්ද රජයට බදු ගෙවනවා. මීට අමතරව කාන්තාවන් හා පිරිමීන් අතර සිදු වන විවාහ අනුපාතය පරපුරෙන් පරපුරට ක්‍රමයෙන් අඩුවෙමින් පවතිනවා. මෙයට හේතුව විවාහය යනු තමන්ට අදාළ නොවන දෙයක් යැයි මෙම සමාජය සිතන්න පටන් ගැනීමයි.

එපමණක් නොව, අති භයානක සමාජ රෝගයන්ටත් බිලිවිය හැකි තත්වයක් මෙමගින් ඇතිවෙන්න පුළුවන්.

ඉහත කරුණු තුළින් පෙනී යන්නේ ගැටලුව තවත් සංකීර්ණ වී ඇති අතර දුරාචාරය, ගණිකා වෘතිය යනාදී සමාජීය ගැටළුවලටද පිළියම් සෙවීමේ අවශ්‍යතාවයක්ද තිබෙන බව පැහැදිලිය.

මීට අමතරව කාන්තාවන්ට විවාහ කර දීමට දෑවැදි විශාල ප්‍රමාණයක් ලබා දෙන ශෝචනීය තත්ත්වය ද වැඩි වෙමින් පවතිනවා. ඒවගේම තමන්ට විවාහයක් සිදු නොවනු ඇතැයි සිතා සිය දිවි නසා ගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාව ද වර්ධනය වෙමින් පවතිනවා. මෙම ගැටළුවටද පිලියමක් අවශ්‍ය නොවේද? දෑවැදි සම්ප්‍රදාය ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික බොහෝ රටවල කාන්තා සමාජය දුර්වල කරන ඔවුන්ගෙන් විවාහය දුරස් කරන පිලිලයක් ලෙස “දෑවැදි” සම්ප්‍රදාය හඳුන්වන්න පුළුවන්. මේ හේතූන් නිසාද බොහෝ කාන්තාවන්ට තම විවාහ අවස්ථාව අහිමි වී තිබෙනවා. මනුෂ්‍ය ආත්මයක් ලද කාන්තාව දුර්භාග්‍යයක් ලෙස අදත් සමාජය සිතන්නට මෙම තත්වය එනම් විවාහය දුෂ්කර වීමද එක් හේතුවක්. එනම් ඇයට යහපත් පවුල් ජීවිතයක් උදාකරලීම වර්ථමාන සමාජ සම්ප්‍රදාය තුල දෙමාපියන්ට දුෂ්කර කාර්‍යයක් බවට පත්ව තිබීම.

යහපත් සමාජයක් සඳහා විධිමත් පවුල් ව්‍යූහයක් තිබිය යුතුයි. මෙනිසා අවසාන වශයෙන් ඉතිරිව ඇත්තේ ඇත්තේ යුක්තිය හා සාධාරණය මත පිහිටා නීත්‍යනුකුලව කරගන්නාවූ බහු ස්ත්‍රී විවාහයකට අවතීර්ණ වීමය. මෙයින් කාන්තාවට බිරියක් වශයෙන් ලැබිය යුතු සියලු අයිතිවාසිකම් ලැබෙන අතර දරුවන්ටද අයිතිවාසිකම් මෙන්ම නීත්‍යනුකුලභාවයක් හිමිවෙනවා. බොහෝ කාන්තාවන් දෙවනුව හෝ තමන්ට ස්වාමි පුරුෂයෙක් ලැබුණහොත් ප්‍රමාණවත් ය යන තත්ත්වයක පසු වීම බහු භාර්යා විවාහයේ සාධාරණත්වය තවදුරටත් තහවුරු කරනවා. මෙවන් අවස්ථාවකදී බහු ස්ත්‍රී විවාහයට අනුමැතියක් නොමැති නම් සිදු වන්නේ අප නොදන්නා අන්දමින් ක්‍රමක් ක්‍රමයෙන් සමාජය පිරිහීමකට ලක්වීමයි.

පුරුෂයාගේ පෞද්ගලික අවශ්‍යතාවය මත සිදු කරන බහු භාර්ය විවාහය. 

බහු ස්ත්‍රී විවාහයක් සිදුකර ගැනීම සාධාරණීය කරන තවත් සාධක කිහිපයක් උදාහරණ මගින් පෙන්වා දෙන්න පුළුවන්. තම බිරියට දරු සම්පත නොමැති අවස්ථාවන්හි දරුවෙක් අපේක්ෂා කරන පුරුෂයින් සමහර අවස්ථාවන්හි අපේක්ෂා භංගත්වයට පත් වී ඉතාමත් පීඩාකාරී මෙන්ම වේදනාකාරී තත්වයන්ට පත්වනු අප දැක තිබෙනවා. මෙවන් තත්වයන්හිදී දරු සම්පත නොමැති තම බිරිය දික්කසාද කොට තවත් විවාහයකට ඉදිරිපත් වීම අප දැක ඇති සාමාන්‍යය සමාජ සත්‍යයක්. දහසක් බලාපොරොත්තු ඇතිව විවාහ දිවියට පිවිසි මෙවන්  ස්ත්‍රීන්ට අනාගතයක් සහතික කිරීම ඉතාමත්ම දුෂ්කර කාර්යයක්. දික්කසාද වූ ස්ත්‍රියක් නැවත විවාහ වීම අප සමාජ ක්‍රමය තුළ එතරම් පහසු කාර්යයක් නොවෙයි. නමුත් බහු ස්ත්‍රී විවාහ නීතිය ක්‍රියාත්මක නම් ඇයට එවන් අවාසනාවන්ත තත්වයකට පත්වීමට අවශ්‍යතාවක් නැහැ. ඒ වගේම ඉතා අඩු වයසින් කාත්තාව රෝගිතත්වයක් හෝ වෙනයම් ස්වභාවික හේතූන් නිසා ලිංගික අවශ්‍යතාවයන්ගෙන් මිදෙන විට සැමියා එම අවශ්‍යතාවයේ උච්චතම අවධියක පසුවන්නට පුළුවන්.

ඇතැම් අවස්තාවලදී පුරුෂයා තම විවාහක බිරිඳට අමතරව ඔහුගේ පුද්ගලික ආශාවක් නිසා තවත් කාන්තාවකට ආකර්ශනය වීමද සාමාන්‍යයෙන් සිදු වන දෙයක්. කාන්තාවට සාපේක්ෂව පිරිමියා කායික හැඟීම්වලට වහල්වීමේ අවස්ථාව ඉහල මට්ටමක පැවතීම කිසිවකුටත් ප්‍රතික්ෂේප කලනොහැකි ප්‍රායෝගික සත්‍යයකි. මේ හැඟීම්වලට වහල්වීම නිසා තම මාපියන්, සහෝදරයන්, මිතුරන්ට පවා එරෙහි වන අවස්ථාවන් අප සමාජය දකින්නෙමු. එය කොතරම් ද යන්න පවසනවා නම් තම ආත්මගෞරවය පවා නොසලකා පහත් තැනකට වැටෙන පිරිමීන් අප සමාජයේ අප දැක ඇත්තෙමු. තම අවශ්‍යතාවය ඉටුකරගැනීම පිණිස ඕනෑම පහත් ක්‍රියාවක් සිදුකිරීමටත් පෙළඹෙන මිනිසුන් අප දැක ඇත්තෙමු. මේ හේතුව නිසාම මිනිස් ඝාතනයන් පවා සිදුවන අවස්ථාවන් අප දිවිය තුල ඕනෑ තරම් දැක ඇත්තෙමු. විශේෂයෙන් අප රටේ සතිඅන්ත පුවත්පතක් බැලූවිට මෙවැනි අයතා සම්බන්ධතා නිසා ඇති වූ විවිධ ගැටළු බොහෝමයක් නිරන්තරයෙන් කියවන්නට ලැබේ.

මෙවැනි කෙනෙකු සදහා යෝජනා කරන විකල්පය කුමක්ද? මෙහිදී සුදුසු වන්නේ ඔහු ඔහුගේ අවශ්‍යතාවය ඉටුකරවාලීම සදහා ගණිකා නිවාසයක් කරා හෝ තවත් කාන්තාවක් කරා යාමද? එසේ යන්නේ නම් ඔහු තමාටත්, තම බිරිඳටත්, දුරාචාරයේ යෙදුන කාන්තාවටත් ද්‍රෝහී කමක්, අසාධාරණයක් කර අවසන්.

බොහෝ කාන්තාවන් සමඟ සම්බන්ධකම් පවත්වාගෙන ඔවුන් මගින් ලෙඩ රෝග ලබාගෙන පළමු භාර්යාවට තිළිණ කරන අමතර බලපෑමද මෙමගින් පළමු භාර්යාවට ඇති වෙනවා. ඒ අනුව නැවතත් විමසන්නට ඇත්තේ ප්‍රථම බිරිද අසාධාරණයකට ලක්වීම බහුවිවාහය ප්‍රතික්ෂේප කිරීමට හේතුව නම්, බහුවිවාහයට එරෙහිව හඬ නඟන කාන්තා සංවිධාන හා සමාජ හිතවාදීන් කාන්තා සමාජ පරිහානියට හේතුවක් වී තිබෙන අයතා සම්බන්ධතාවයන් හා ගණිකා මඩම්වලට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද යන්නයි. 

නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති ඒඩ්ස් රෝගය බෝ වන්නේත් ලිංගික අපචාරයෙන් බව සැවොම දන්නා කරුණක්. මේ පිළිබඳව ඉතාමත්ම ප්‍රාතිහාර්ය ජනක අනාවැකියක් මුහම්මද් නබි තුමාණන් (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශීර්වාදය හා සාමය අත්වේවා) විසින් මෙයට වර්ෂ 1450 කට පෙර ප්‍රකාශ කර තිබීම ඉබ්න් මාජා හා අල් හාකිම් ග්‍රන්ථයන්හි සටහන් වී තිබෙනවා.

දුරාචාරය ජනයා අතර විවෘතව හා ප්‍රචලිතව සිදුවන්නක් බවට පත්වූ විට විවිධ වසංගත රෝග හා මෙයට පෙර නොදැන සිටි රෝගයන් ජනයා අතර පැතිරෙන්නට පටන් ගනීවි. (ඉබ්න් මාජා, අල් හාකිම්)

දුරාචාරය නිසා ඇති වූ හා පැතිරෙමින් පවතින මාරාන්තික රෝගයක් වූ “ඒඩ්ස්” මෙයට පෙර විසු ජන සමාජයන් දැන නොසිටි රෝගයක්. වර්ෂ 1450 කට පෙරම මෙම රෝගය පිළිබඳව නිවැරදි අනාවැකිය මුහම්මද් නබි තුමාණන් විසින් ප්‍රකාශ කර තිබීම සැබවින්ම ප්‍රාතිහාර්ය ජනක නොවන්නේද? මෙය එතුමාණන් සත්‍යය වශයෙන්ම දෙවිඳුන්ගේ අවසාන ධර්ම දුතයානන් බව සහතික කරන එක් වැදගත් සාධකයක් බව අපට පිළිගන්නට සිදු වෙනවා නොවේද?

විවාහයට පරිභාහිරව සිදු වන ලිංගික සම්බන්ධතා නිසා ඇති වන රෝග විධිමත් බහුස්ත්‍රී විවාහය මගින් වලකා දමනවා.

එසේනම් ඉහත සඳහන් පිරිමීන්ගේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා සුදුසු වන්නේ ගණිකා නිවාස වලට යාම හෝ අනියම් සම්බන්ධතා පැවැත්වීමද? නොඑසේ නම් තම අවශ්‍යතාවය අනුව කාන්තාවක් නීතියානුකූලව ලබාගැනීමද? සදාචාර සම්පන්න සමාජයක පිලිතුර ලෙස පැවතිය හැක්කේ එකක් පමණයි. ඒ තවත් විවාහයකට යොමුවීම යන්න පමණයි. එසේනම් ඉස්ලාම් මිනිස් සමාජයට යෝජනා කරන බහුවිවාහය සමාජ පැවැත්මක අත්‍යඅවශ්‍ය සාධකයක් යන්න පැහැදිලි වෙනවා නොවේද? 

මෙහිදී ඉස්ලාම් අනුමත කරන බහුවිවාහයට එරෙහිව මතුකරන ප්‍රධාන තර්කය වන්නේ මෙම බහුවිවාහය තුලින් ප්‍රථම බිරිදට කිසියම් අසාධාරණයක් සිදුවෙනවා යන්නයි. මේ ඉදිරිපත් කරන තර්කය සාධාරණ වූ එකක් නම් එය ඉස්ලාම් පවසන බහුවිවාහය සදහා පමණක් නොව අතිතයේ පැවතී අන්ත:පුර මෙන්ම වර්ථමානයේ පවතින අනියම් සම්බන්ධතා, ගණිකා නිවාස යනාදීන් තුලින් ද මෙම අසාධාරණය සිදුවන බව වටහා ගතයුතුයි. තවත් කාන්තාවක් විවාහ කර ගැනීමෙන් හටගන්නා බලපෑමට වඩා මෙය අධික බලපෑමක් ඇති කරනවා. එනිසා දෙවන විවාහයට එරෙහි වන අය අනියම් භාර්යාවන් තබා ගැනීමත් දුරාචාරයත් නීත්‍යානුකූලව තහනම් කළ යුතුයි. නමුත් බහු භාර්යා විවාහය තහනම් කරන බොහෝ රටවල දුරාචාරයට හෝ අනියම් භාර්යාවන් තබා ගැනීමට හෝ තහනමක් නැහැ. එය වරදක් ලෙස ද සලකනු ලබන්නේ නැහැ. ප්‍රංශය වැනි රටවල විවාහක බිරිඳට හොරින් වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධකම් පැවැත්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබෙනවා. ප්‍රංශයේ විසිතුරු මල් විකුණන ඇතැම් වෙළඳ කුටි වල පවා “ඔබගේ බිරිඳව අමතක නොකරන්න!” යැයි දැන්වීම් පුවරුවල සඳහන් වී තිබෙනවා. [2] කෙසේනමුත් පිරිමියෙක් පළමු බිරිඳට අමතරව තවත් කාන්තාවක් සමඟ විවාහ ගිවිසගත්තේ නම් පමණක් මෙය නිත්‍යානුකූල වරදක් ලෙස මෙම රටවල් වල නීති පවසනවා. එනිසා ඇතැම් පුරුෂයින් නීත්‍යානුකූල භාර්යාවක් සිටින විට තවත් කාන්තාවක් විවාහ නොකර අනියම් භාර්යාවක් ලෙස තබා ගැනීමට පුරුදු වී සිටිනවා. මෙය දැන ගත් නීත්‍යානුකූල භාර්යාව ස්වාමි පුරුෂයාට එරෙහිව පොලිසීයේ පැමිණිලි කළත් ඔහු දෙවන කසාදයක් සිදු කළා දැයි විමසා එසේ නොමැති විට පැමිණිල්ල ප්‍රතික්ෂේප කර දමනවා. මේ හේතුව නිසාම අධිකරණයේ නඩුවක් ගොනු කළත් ඒ නඩුව නිෂ්ප්‍රභා කරනු ලබනවා. මෙවන් සිද්ධීන් රාශියක් ඉන්දියාවේ සිදු වී තිබෙනවා.

අනියම් භාර්යාවන් තබා ගන්නා පුරුෂයින් ද දුරාචාරයේ නියැලෙන පුරුෂයින් ද වැළැක්වීමට නොහැකි වූ බැවින් ද තවත් තැනැත්තියකගේ ස්වාමි පුරුෂයා වන බව දැනගෙන ද ඔහු අත් වසඟ කර ගන්නා කාන්තාවන් වැළැක්වීමට නොහැකි වූ බැවින් ද ‘නීත්‍යානුකූල භාර්යාව යන සුදුසුකම ලබා දී පවුල් ජීවිතය ගත කරන්නැ’යි ඉස්ලාම් පවසනවා. මෙම නිගමනය ඉහත සදහන් අරාජික තත්වයට වඩා යහපත් තත්වයක් යන්නෙහි කිසිවකුටත් විරුද්ධ මතයක් පැවතිය නොහැක. තම විවාහ දිවියේ දුර්වලතාවයක් නිසා හෝ තමන්ගේ ලිංගික අවශ්‍යතාවයන් නිසි අයුරින් ඉටුනොවීම නිසා හෝ පිරිමීන් එම අවශ්‍යතාවය සපුරාගැනීම සදහා බාහිර ලෝකයෙන් අවස්ථාව පැතීම සාමාන්‍ය ක්‍රියාවලියක් එහිදී ඔහු අයතා සම්බන්ධතාවයන්ට හෝ ගණිකා මඩම්වලට යොමු වී විනාශ වනවාට වඩා තවත් නීත්‍යානුකූල විවාහයක් තුලින් “එම අවශ්‍යතාවය ඉටුකරගන්න” යන්න ඉස්ලාම් බහුවිවාහය තුලින් මිනිස් සමාජයට යෝජනා කරන ප්‍රායෝගික විසදුමයි. ඉස්ලාම් පවසන මෙම විසදුම අභියෝගයට ලක්කරන පිරිස් මෙවැනි ප්‍රායොගික ගැටළු සදහා මීට වඩා යහපත් විසදුමක් යෝජනා කිරීමට ඉදිරිපත් වියයුතුයි. වාදවිවාද තර්කවිතර්ක කිරීම නොව වියයුත්තේ, මෙවැනි අවස්ථාවක් සදහා ප්‍රායෝගික නීතියක් යෝජනා කිරීම තමා අවශ්‍යතාවය. ඉස්ලාම් පෙන්වාදෙන ආදර්ශය අභියෝගයට ලක්කරන පිරිස් මීටවඩා යහපත් ආදර්ශයක් ලොවට හදුන්වාදීමේ යුතුකම හා වගකීම තුල දැන හෝ නොදැන සිර වී සිටිනවා.

ඉස්ලාමය බහු භාර්යා විවාහය තුළින් ස්වයං පාලනය වර්ධනය වනවා මිස සදාචාරය පිරිහෙන්නේ නැහැ

බහුභාර්ය විවාහයට අනුමැතිය තිබුණද මුස්ලිම්වරුන් අතර මෙවන් විවාහයක් සිදු කරගෙන තිබෙන්නේ 10-15% ක් පමණයි. එම ප්‍රතිෂතයෙනුත් බිරියන් 4 දෙනෙක් විවාහකරගෙන තිබෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. මෙයට හේතුව ස්ත්‍රීන් කිහිපදෙනෙක් විවාහ කිරීමේ ආශාව බොහෝ දෙනෙකුට තිබුණද බහුභාර්ය විවාහය තුළ තිබෙන වගකීම මුස්ලිම්වරුන් හොඳින් තේරුම්ගෙන තිබීමයි. ඇතැම් විට මූල්‍යමය වශයෙන් බිරියන් දෙදෙනෙකුට වියදම් කළ හැකි වුවද මානසිකව වගකීම් දැරීම පහසු කාර්යයක් වන්නේ නැහැ. එදිනෙද පවුල් ජීවිතයේ ඇති වන සාමානය ප්‍රශ්න වල මුහුණ දීම බහු භාර්ය විවාහය තුළින් අධික වෙනවා.

බහු භාර්ය විවාහයක් සාර්ථක වන්නේද මෙම වගකීම් නිසි ලෙස තේරුම් ගෙන ඒ අයුරින් කටයුතු කළහොත් පමණයි. එනිසා බහු භාර්ය විවාහය ප්‍රයෝගිකව පහසු වන්නේ ඉස්ලාමය නිසි ලෙස පිළිපැදීමට උත්සහ දරන දැහැමි ලෙස ජීවත් වන උදවියට පමණයි.

එක් මිනිසෙක් දෙවනුව කාන්තාවක් විවාහ කර ඇයට සිළුම අවශ්‍යතා සපුරා දී ඇයටත් ඇයට හිමිවන දරුවන්ටත් ආරක්ෂාව ලබා දීමත් නීත්‍යානුකූල වරදක් වන්නේ කෙසේද? විවාහ නොකර කාන්තාවක් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීම නීත්‍යානුකූල වරදක් නොවන්නේ කෙසේද?

දුරාචාරය, ගණිකාවෘතිය යනාදී සදාචාරාත්මක නොවන දේවල් නීතියෙන් තහනම් කර බහු භාර්ය විවාහය අනුමත කිරීම මගින් සිදු වන්නේ බොහෝ කාන්තාවන් සමඟ සම්බන්ධකම් පවත්වන අයගේ සංඛ්‍යාව අඩු වීමයි. මන්දයත් විවාහයක් නම් වගකීම් දැරීමට සිදු වන බැවින් පුරුෂයින් ඉතා අඩු සංඛ්‍යාවක් පමණක් බහු භාර්යා විවාහය තෝරා ගන්නවා. නමුත් දුරාචාරයට හෝ අනියම් භාර්යාවන් තබා ගැනීමට හෝ කිසිඳු වගකීමක් දැරිය යුතු නොවන බැවින් පුරුෂයින් නොයෙකුත් කාන්තාවන් සමඟ නොමනා සම්බන්ධකම් පවත්වාගෙන පරිහානියට පත්වන තත්ත්වයක් උදා වේ. විවාහ වීමට පෙර ස්ත්‍රීන් ගැබ් ගැනීම ද අත් හැර දමනු ලැබීම ද මැලේසියානු හින්දු ජාතිකයින් අතර වැඩිවෙමින් පැවතීම දැක එහි සිටින හින්දු ජාතිකයින් බහු භාර්යා විවාහය තමන්ට ද අනුමත කරන මෙන් අරගලයක් සිදු කළ හ. (මැලේසියානු ‘නන්බන්’ පුවත්පත – 05-01-2002)

දෙවන විවාහය තුළින් මෙම කාන්තාවට නීත්‍යානුකූල අයිතියක්ද, ආරක්ෂාවක්ද හිමි වෙනවා. ඒ වගේම, ගරුත්වය ආරක්ෂා වන අතර ඇයට දරුවන් ලැබුණේ නම් ඔවුන්ටද සියලු අයිතීන් හා ආරක්ෂාව නීත්‍යානුකූලව හිමි වෙනවා. මේ දේවල් හිමි වන්නේ විවාහයක් තුළින් පමණයි. එසේ නොමැතිව අනියම් ලෙස කාන්තාවක් සමඟ සම්බන්ධකම් පැවැත්වීමෙන් ඉහල බලපෑමක් සිදු වන්නේ එම කාන්තාවටයි. එනිසා බහු ස්ත්‍රී විවාහය තුළින් ඇත්තෙන්ම සිදු වන්නේ කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමක් බව අපට තේරුම් ගන්න පුළුවන්. බටහිර රටවල නීති බොහෝ දුරට සම්පාදනය කරන්නේ පිරිමි පාර්ශවයයි. එනිසා බහු ස්ත්‍රී විවාහය නීතියට පටහැනි දෙයක් බව ඔවුන් පවසනවා, මෙයට හේතුව විවාහයක් නොකර කාන්තාවක් සමඟ ඇසුරු කිරීම තුළින් පිරිමියාට කිසිම වගකීමක් නොපැවරෙන අතර මෙම ඇසුර විවාහයක් තුළින් සිදු කිරීමේදී පිරිමියාට වගකීම් දැරීමට සිදු වීමයි. එනම් දෙවන බිරිඳගේ අවශ්‍යතා සපුරා දීම, ඇයට වියදම් කිරීම, ඇයගේ දරුවන් රැකබලා ගැනීම, යනාදී වගකීම් ඔහුට දරන්න සිදු වෙනවා. නමුත් කිසිම මූල්‍යමය වගකීමක් නොදරා කාන්තාවන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාව ඒකභාර්ය විවාහය තුළ තිබෙනවා. අද බටහිර රටවල බහුතරයක් මෙවන් අයුතු සම්බන්ධතා පවත්වාගෙන යනවා. එනිසා ඔවුන් පවසන ඒකභාර්ය විවාහය යනු වචන වලට පමණක් සීමා වූ දෙයක් මිස එහි කිසිඳු සත්‍යතාවයක් නැහැ. 

මෙවැනි කරුණු රාශියක් මගින් බහු ස්ත්‍රී විවාහය කාන්තාවගේ අයිතිවාසිකම් සුරැකීමේ පිළිවෙතක් මිස එය කාන්තාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමේ මගක් නොවන්නක් බව පෙන්වා දෙන්න පුළුවන්.

විධිමත් බහුභාර්ය විවාහයක අවශ්‍යතාවය

එනිසා මෙවන් අවස්ථාවකදී කාන්තාවන් ප්‍රිය කරන්නේ විධිමත් බහු භාර්ය විවාහයක් මිස අන් විකල්පයක් නොවේ. මෙයට පැහැදිලි හේතුව සමාජීය වශයෙන් හා ආර්ථිකමය වශයෙන් ආරක්ෂාවක් තිබෙන්නේ බහුභාර්ය විවාහය තුළ වීමයි. 

මෙයට පෙර පෙන්වා දුන් පරිදි බහු ස්ත්‍රී විවාහය ඉස්ලාමය විසින් ලෝකයාට හඳුන්වා දුන්නක් නොවන බවත්, ඉස්ලාමීය ඉගැන්වීම් මගින් මෙම පිළිවෙත මනුෂ්‍ය වර්ගයාගේ යහපතට මෙන්ම කාන්තාවගේ අයිතීන් සුරැකෙන පරිදි සකස් කර දීම පමණි කර ඇත්තේ. ඉස්ලාම් දහමේ මැදිහත්වීම ඉහත කරුණුවලට අනුව බහුවිවාහ සම්ප්‍රදාය ලොව තුල නිර්මාණය කරදීමේ කාර්යයෙහි ඉස්ලාම් කොටස්කරුවන් නොවන බව අවබෝධ කරගැනීම අපහසු නැහැ. නමුත් නිවැරදි නීතිමාලාවක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවී, පුද්ගල තරාතිරම, බලය, වත්කම, සමාජ පිලිගැනීම, විශ්වාස, සම්ප්‍රදායන්… යනාදී කරුණු මත පදනම් ව මෙම බහුවිවාහ ක්‍රියාත්මක වූ නිසා එය විදිමත් ලෙස නීතිගත කිරීම ඉස්ලාම් සිදුකරන ලදී.

මෙහිදී සදහන් කලයුතු ප්‍රධාන කාරණයක් තිබෙනවා. එනම් ඉස්ලාම් අවශ්‍ය කරන අයට පමණක් අනුමැතියක් ලබා දුන්නා මිස බහු භාර්යා විවාහය සිදු කරන මෙන් බල කළේ නැති බව පැහැදිලිව වටහා ගත යුතුයි. තමන්ට අවශ්‍යනම් ඉස්ලාම් පනවන කොන්දේසිවලට යටත්ව තවත් විවාහයක් කරගැනීමේ හැකියාව අවසරයක් ලෙස ඉස්ලාම් ලබාදෙන අතර එය අනවශ්‍යනම් වැලකීසිටීමටද පුළුවන්. එය ඉස්ලාම් දහම තුල උතුම් ක්‍රියාවක් යන්න මින් අදහස් වන්නේ නැහැ. ඉස්ලාම් මෙවැනි දෑ යෝජනා කිරීම තුලින් අපේක්ෂා කරන්නේ සමාජ විනයක් හා කාන්තාව සදහා වූ ආරක්ෂිත ක්‍රියා පිලිවෙතක් පමණයි.

ඉස්ලාමය මගින් බහු ස්ත්‍රී විවාහයකට අනුමැතිය ලබාදුන්නද ඒ සඳහා වැදගත් කොන්දේසි කිහිපයක් පනවා තිබෙනවා. එහි පළමු වැන්න නම් මිනිස් ඉතිහාසයේ පළමු වරට බහු ස්ත්‍රී විවාහය හතර දක්වා සීමා කර තිබීමයි. මීට පෙර තිබුණු ධර්ම ග්‍රන්ථ වල බහු භාර්ය විවාහය සඳහා සීමාවක් තිබුණේ නැහැ. ඒ වගේම බහු භාර්ය විවාහය සඳහා ඉස්ලාමය ඉදිරිපත් කරන ඉතාමත්ම වැදගත් කොන්දේසිය වන්නේ බහු ස්ත්‍රී විවාහය අනුමත වුවද තමන්ගේ බිරියන් අතර යුක්තිය හා සාධාරණය ඉටුකරන්නට නොහැකිකමක් ඇතැයි තමන් බිය වන්නේ නම් එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගන්නා ලෙසයි. මේ අනුව එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගන්නා ලෙස උපදෙස් ලබාදෙන එකම ආගමික ග්‍රන්ථයද අල් කුර්ආනයයි. ස්ත්‍රීන් අතර යුක්තිය හා සාධාරණය ඉටුකිරීම පිළිබඳව මිනිසාගේ දුර්වලකම් ඉතා හොඳින් දන්නා මිනිසාගේ නිර්මාතෘ මෙම දුර්වලතාව පිළිබඳවද මිනිසාව දැනුවත් කරයි.

නුඹලා කොතෙක් ආශා කළද බිරියන් අතර යුක්ති සහගත සමානාත්මතාවකින් කටයුතු කිරීමට නුඹලාට නොහැක්කේමය. (එකියෙකු වෙත පමණක්) පුර්ණ නැඹුරු වීමකින් නැඹුරු වී (අනෙක් බිරිය විවාහ ජීවිතය හා දික්කසාදය අතර) එල්ලෙන (අවිනිශ්චිත) දෙයක් මෙන් නුඹලා අතහැර නොදමවූ. තවද නුඹලා (තමන්ව) සංශෝධනය කර ගනිමින් බියභක්තිමත් වන්නෙහු නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, පරම කරුණාභරිතය. [අල් කුර්ආනය 4:129]

මෙයින් පැහැදිළි කරනුයේ මිනිසා කොතෙක් උත්සාහ කළද බිරියන් අතර සෙනෙහස පිළිබඳව සමානාත්මතාවක් පවත්වා ගෙන යෑමට මිනිසාට ඇති නොහැකියාවයි. ඉස්ලාමයේ ඉගැන්වීම් මෙම නොහැකියාව යථාර්ථයක් බව පිළිගන්නා අතර සෙනෙහස දැක්වීමේදී එක් බිරියක් සහමුලින්ම නොසලකා හැර තවත් බිරියක් වෙත අසීමිත ලෙස සෙනෙහස දැක්වීමේ තත්වයට පත් නොවන ලෙසයි. මේ පිළිබඳව සමීප සමානාත්මතාවක් පවත්වාගෙන යෑමට නිරන්තරයෙන් උත්සාහ කළ යුතු වෙයි. නමුත් බිරියන් අතර ගත කරන කාලය හා භෞතික සම්පත් ලබා දීම පිළිබඳව සමානාත්මතාවයක් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යා යුතුයි. තම භාර්යාවන් සමඟ කොතරම් සාධාරණව ක්‍රියා කළ යුතු දැයි අවබෝධ කර ගැනීමට අබූ අමීනා බිලාල් ෆිලිප්ස් හා ජමීලා ජෝන්ස් විසින් රචිත “ඉස්ලාමයේ බහු භාර්යා විවාහය” (Polygamy In Islam) නම් පොත කියවන්න [3]. මෙහි සඳහන් කොන්දේසි දෙස බලන විට බහු ස්ත්‍රී විවාහයකට අවතීර්ණ වන්නට පෙර පුරුෂයෙකු විසින් දෙවරක් නොව කිහිප වාරයක්ම නැවත නැවත සිතා බැලිය යුතු බව පැහැදිලි වෙනවා. “බහුවිවාහය” යන්න පිරිමියෙකු හට සුන්දර වචනයක් වුවද, ඒ තුල ඉස්ලාමීය කොන්දේසිවලට යටත්ව ක්‍රියා කිරීම එතරම් සුන්දර කාරණයක් වන්නේ නැහැ. එය ඇතැම් විට ඔහුගේ ලෞකික මෙන්ම ලෝකොත්තර ඉරණම උඩුයටිකුරු කරන්නට තරම් ප්‍රබල වන්නට පුළුවන්. ඉස්ලාම් බහුවිවාහය සදහා අනුමැතිය ලබාදී තිබිය දී පවා (අනිකුත් සමාජයන් (විකල්ප ක්‍රමයන්ට යොමුවෙන තරම)ට සාපේක්ෂව) මුස්ලීම් සමාජය තුල එය අවම මට්ටමක පවතින්නේ බහු භාර්ය විවාහයේ තිබෙන අධික වගකීම මුස්ලීම් සමාජය නිවරැදිව හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කරන නිසයි. බහු භාර්ය විවාහයන් සහිත ජීවිතයක් සාර්ථකව රැගෙන යන්න පුළුවන් වන්නේ පුරුෂයා හා බිරියන් සියල්ලෝම ඉවසිලිවන්ත හා ආගමට ලැදි අය වුවහොත් පමණයි.  

ඉස්ලාම් පිරිනමා තිඛෙන මෙම අනුමැතිය ඇතැම් මුස්ලිම්වරු සම්මතයට පටහැනිව උපයෝගී කර ගැනීමත් අපි මෙහි දී හුවා දැක්විය යුතුයි. දෙවන විවාහයක් සිදු කර ගන්නා අය පළමු භාර්යාවට ඒ ගැන නොදන්වා රහසිගතව විවාහ කර ගන්නවා. පළමු භාර්යාවට මේ ගැන දැන්විය යුතු නැතැයි ද මොවුන් සිතනවා. සැබවින් ම පළමු භාර්යාවගේ අයිතිවාසිකම් හා මෙහි සම්බන්ධතාවක් තිඛෙන බැවින් ඇයට දැන්විය යුතු අවශ්‍යතාවක් මෙහි තිබෙනවා. මෙහිදී පළමු කාරණය වනුයේ බොහෝ කාන්තාවන් කුමණ තත්වයකදී වුවද බිරිදක් ලෙස තමන්ට ලැබී තිබෙන තැන තවත් කාන්තාවක් හා බෙදාගැනීම එකඟ නොවීමයි. විශේෂයෙන් තම ස්වාමියා තවත් කාන්තාවකගේ ස්වාමියා බවට පත්වීම කිසිදු කාන්තාවක් අනුමත කරන්නේ නැහැ. 

යම් කෙනෙක් භාර්යාවක් සමඟ ජීවත් වන විට ඔහුගේ සියලූ දින ඇයට ම වෙන් කරනවා. ඇයට ම තම ධනය වියදම් කරනවා. මෙවන් තත්ත්වයක දී ඔහු වෙනත් විවාහයක් සිදු කර ගත්තේ නම් පළමු භාර්යාව ලද දින වලින් අඩක් ඇයට අහිමි වනවා. ආර්ථීක පහසුකම් වලින් ද අඩක් අහිමි වනවා. දෙවන විවාහය තුළින් පළමු භාර්යාව බලපෑමට ලක් වන විට ඇයට දැන්විය යුතු අවශ්‍යතාව ඉබේම උදා වෙනවා. “සියලූ දින මට ම ලබා දෙන බැවින් මම ඔබව විවාහ කර ගනිමි. ඒ දිනවල අඩක් ම මට නොලැබේ නම් එවැනි ජීවිතයක් මට අවශ්‍ය නැතැ”යි ද ඇය සිතන්න පුළුවන්. ඉහත දැක්වූ අයිතිවාසිකම් ඇයට ලබා ගත හැක්කේ දෙවන විවාහය ගැන ඇයට දන්වනු ලබන විට දී පමණයි. පළමු භාර්යාවට නොදැනුවත් ව දෙවන විවාහය සිදු කළේ නම් දෙවන භාර්යාව ද බලපෑමට ලක් වෙනවා. මන්දයත් පළමු භාර්යාවට නොදැනුවත් ව විවාහ සිදු කරන අය, ඇය නොදැන සිටිය යුතු බැවින් එක සමානව භාර්යාවන් දෙදෙනා අතර දින ගත නොකිරීමයි. හිඳහිට යම් කිසි බොරුවක් පවසා දෙවැනි භාර්යාව වෙතට යෑමට පුරුදුව සිටිනව. මේ හේතුවෙන් දෙවන භාර්යාවට ඇයට ලැබිය යුතු අයිතිවාසිකම් ඔහු විසින් ලබා දිය නොහැකි තත්ත්වයක් උදා වෙනවා. පළමු භාර්යාවට නොදැනුවත් ව දෙවන විවාහය සිදු කර සිටිය දී ඔහු මරණයට පත් වූයේ නම් එවිට ද ඔහුගේ භාර්යාව බලපෑමට ලක් වනවා නියතයි. ස්වාමි පුරුෂයාගේ දේපළ තමන්ට ද තම දරුවන්ට ද පමණක් හිමියැයි පළමු භාර්යාව සිතාගෙන සිටින්න පුළුවන්. ඔහු මරණයට පත් වූ විගස ම දෙවන භාර්යාවත් ඇගේ දරුවනුත් දේපළෙන් කොටස් ඉල්ලා සිටියේ නම් එයින් ද පළමු භාර්යාවත් ඇගේ දරුවනුත් මුළා කරනු ලැබෙනවා. දෙවන විවාහය ගැන පළමු භාර්යාවට දන්වා සිටින විට ඇය පිළිගත්තා නම් ගැටළුවක් නැහැ. “දෙවන විවාහය සිදු කළෙහි නම් මම නුඹ සමඟ ජිවත් නොවෙමි”යි ඇය තීරණයක් ගත්තා නම් ඒ සඳහාද ඇයට අයිතියක් තිබෙනවා. තම ස්වාමි පුරුෂයා තමන් හැර කිසිවෙක් විවාහ නොකළ යුතුයැයි කාන්තාවක් බල කර සිටියේ නම් පුරුෂයින්ට ඉස්ලාම් පිරිනමා තිඛෙන අයිතිය ඇය ප්‍රතික්ෂේප කළ කෙනෙක බවට පත් වන්නේ නැහැ. අලී (රලි) තුමාට තම දියණිය විවාහ කර දීමට හිෂාම් බින් මුකීරා නැමැත්තා අවසර ඉල්ලා සිටියා. එවිට නබි නායක (සල්) තුමාණන් “අවසර නොදෙමි! නැවතත් අවසර නොදෙමි! නැවතත් අවසර නොදෙමි. අවශ්‍ය නම් අලී, මාගේ දියණිය දික්කසාද කර ඔහුගේ දියණිය සරණ පාවා ගනිත්වා`” යැයි පැවසුවා. (මූලාශ්‍රය : බුහාරි 5230)

 අනෙකුත් සම්ප්‍රදායන් වල බහු භාර්යා විවාහය

බහුවිවාහය හා සමාජ සම්ප්‍රදාය මීට වසර 1400 කට පමණ පෙර මිනිස් සමාජයට ඉහත සදහන් පිරිමි පාර්ශවය සදහා බහුවිවාහ නීතිය ඉස්ලාම් දහම තුල ප්‍රකාශ වුවත් ඊට පෙර සමාජවල පවා බහුවිවාහය විවිධ සම්ප්‍රදායක ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වූ බවට ඉතිහාසගත පැහැදිලි සාක්ෂීන් දක්නට තිබෙනවා. කීර්තිමත් මානවවේදියෙකු වන එඩ්වර්ඩ් වෙස්ටර්මාර්ක් ඔහුගේ “මිනිසාගේ විවාහ ඉතිහාසය”(History of Human Marriage) නම් වෙළුම් දෙකකින් සමන්විත ලේඛනයේ සඳහන් කරන්නේ යුදෙව් හා කිතුනු ඇතුළු අනෙකුත් සියලුම සංස්කෘතීන් හා ආගම් වල බහු භාර්ය විවාහ සම්ප්‍රදාය තිබුණු බව පැහැදිලිවම පවසනවා. මේ පිළිබඳව අපගේ අවධානය යොමු කරමු. මෙහිදී මෙම සංස්කෘතීන් විවේචනය කරන්නට දරන වෑයමක් ලෙස නොසිතා මිනිස් ඉතිහාසයේ යථාර්ථයන් අවබෝධ කරගන්නට උත්සාහ කරන ලෙස ඉල්ලා සිටින්නෙමු.

හින්දු සංස්කෘතිය

හින්දු ඉතිහාසයේ සඳහන් නොයෙකුත් දර්ශිමිට චරිත ගැන සලකනවා නම් ඔවුන් භාර්යාවන් කිහිපදෙනෙක් විවාහ කරගෙන සිටි බව අපට දැන ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස රාමාගේ පියාවන දසරදර් රජුට භාර්යාවන් කිහිපදෙනෙක් සිටියා. ඒ වගේම ක්‍රිෂ්ණා කුමාරයාටත් භාර්යාවක් කිහිපදෙනෙක්ම සිටියා.

හින්දු ජාතිකයන් සිටින ඉන්දියාවේ නීතිය සැලකීමේදී මුල් කාළයේ බහු භාර්ය විවාහය හින්දු ජාතිකන්ට තහනම් කර තිබුණේ නැහැ. නමුත් වර්ෂ 1954දී සම්මත වූ හින්දු විවාහ නීතියට අනුව හින්දු ජාතිකයන්ට බහු භාර්ය විවාහය තහනම් කරනු ලැබුවා.

“ඉස්ලාම් කාන්තාවන්ගේ තත්වය පිලිබඳ කොමිසම” විසින් වර්ෂ 1975 ප්‍රකාශිත වාර්තාවේ 66,67 පිටු වල සඳහන් පරිදි සර 1951හි සිට 1961දක්වා හින්දු ජාතිකයන්ගේ බහු භාර්ය විවාහ ප්‍රතිශතය 5.06% වන අතර මුස්ලිම් ජාතිකයන්ගේ බහු භාර්ය විවාහ පතිශතය 4.31% ක් වෙනවා. ඉන්දියානු නීතියට අනුව බහු භාර්ය විවාහයට අනුමැතිය තිබෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට පමණයි. ඉන්දියානු නීතියෙන් තහනම් නමුත් හින්දු ජාතිකයන්ගේ බහු භාර්ය විවාහ ප්‍රතිශතය මුස්ලිම්වරුන්ට සාපේක්ෂව ඉහළ බව ඉහත වාර්තාවට අනුව පෙනී යනවා. ඉන්දියාවේ සිටින ඇතැම් සුප්‍රසිද්ධ පුද්ගලයින් පවා බහු භාර්ය විවාහයන් සිදු කළ අය බව පැහැදිලි සත්‍යයක් [4].

මේ අනුව සනාථ වන තවත් කරුණක් වන්නේ බහු භාර්ය විවාහය සමාජයේ සිටින ඇතැම් පුරුෂයින්ගේ අවශ්‍යතාවයක් බවයි.

යුදෙව් හා කිතුනු සංස්කෘතිය

යුදෙව් දහමේ බහු භාර්ය විවාහයට අනුමැතිය දී තිබෙනවා. මෙය ඔවුන්ගේ තල්මූද් නීති ග්‍රන්ථ වල සඳහන් වෙනවා. ඒ වගේම යුදෙව්වන් හා කිතුනුවන් පිළිගන්නා බයිබලයේ පරණ ගිවිසුම සැලකුවද එහි දේව වක්තෘවරුන් බොහෝමයක් බහුවිවාහය සිදුකොට සිටී බවට සදහන් වෙනවා. උදාහරණයක්ට ආබ්‍රහම් නම් දේව පණිවුඩකරුවාට භාර්යාවන් තුන්දෙනෙක් සිටි අතර සලොමොන් රජුට භාර්යාවෝ සිය ගණනක් සිටි බව බයිබලය පවසනවා.

“ඔහුට (සලමොන් රජුට) රාජකීය, වංශවත්, භාර්යාවෝ සත්සියයක් හා උපභාර්යාවෝ තුන්සියයක් සිටියෝය. ඒ භාර්යාවෝ ඔහුගේ සිත නොමඟ යැවුහ” (බයිබලය – 1 රාජාවලිය – 11:3)

“දාවිත් හෙබ්රොන්හි සිට පැමිණි පසු තවත් උපභාර්යාවන්ද භාර්යාවන්ද ජෙරුසලමෙන් පාවාගත්තේය.” (බයිබලය – 2 සාමුවෙල් – 5:13)

ක්‍රි.ව 960 සිට ක්‍රි.ව 1030 දක්වා කාලයේ ජීවත් වූ ජෙර්ශෝම් බෙන් යෙහූදා නම් රබ්බායිවරයා බහු භාර්ය විවාහයට එරෙහිව නීති පණවන තෙක් යුදෙව්වන් අතර මෙම බහු භාර්ය විවාහ සම්ප්‍රදාය තිබුණා. ඒ වගේම මුස්ලිම් රටවල ජීවත් වූ යුදෙව් ජන පිරිස් අතරද වර්ෂ 1950 දක්වා බහු භාර්ය සම්ප්‍රදාය තිබුණු අතර මෙය තහනම් කරනු ලැබූයේ ඉස්රයෙල් ජේෂ්ඨ රබ්බායි නීතියට අනුවයි.

යුදෙව්වන්ට මෙන්ම කිතුනුවන්ටද බහු භාර්ය විවාහයට තහනමක් තිබුණේ නැහැ. බහුභාර්ය විවාහය තහනම් කරන කිසිවක් යෙහෙසුස් ක්‍රිස්තූන් පැවසු බවට බයිබලයේ නව ගිවිසුමේ සඳහන් වන්නේද නැහැ. බයිබලයේ නව ගිවිසුමේ සඳහන් වන්නේ යෙහෙසුස් ක්‍රිස්තූන් පැමිණියේ පරණ ගිවිසුම අහෝසි කරනු පිණිස නොව එය සම්පූර්ණ කිරීමට බවයි (මතෙව් 5:17-21). එනම් පරණගිවිසුමේ සඳහන් බහුභාර්ය විවාහ නීතිය ඔහුද අනුමත කර තිබෙනවා. එනිසා යුදෙව් සම්ප්‍රදාය අනුගමනය කළ පැරණි කිතුනුවන් පවා බහු ස්ත්‍රී විවාහය සිදු කර තිබෙනවා. එකළ කිතුනු පල්ලි යුදෙව් රබ්බායිවරුන්ගේ කාමුක ක්‍රියා වලට එරෙහි වුණද බහු භාර්ය විවාහයට එරෙහි වුණේ නැහැ. විශේෂයෙන් ශාන්ත ඔගස්තීන් පියතුමා බහු භාර්ය විවාහය ප්‍රතික්ෂේප නොකරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා. ලූතර් ඇතැම් අවස්ථාවලදී බහුභාර්ය විවාහය සාධාරණ අන්දමින් ඉවසා ගත් අතර හෙස්සි හි ෆිලිප් ගේ ද්වි විවාහයද ඔහු අනුමත කර තිබෙනවා. වර්ෂ 1531 දී ඇනාබැප්ටිස්ට්වරුන් ප්‍රසිද්ධියේ දේශනා කළේ සැබෑ කිතුනුවෙකුට භාර්යාවන් කිහිපදෙනෙක් සිටිය යුතු බවයි. [5]

කිතුනුවන් අතර බහු භාර්ය විවාහය තහනම් කර ඇත්තේ මීට සියවස් කිහිපයකට පෙර පාවුල්ගේ මත පදනම්ව බිහිවූ කිතුනු පල්ලිවලිනුයි. කෙසේනමුත් මෙම බහු භාර්ය විවාහය සිදු කරන ඇතැම් කිතුනුවන් (උදා: ඇතැම් මොර්මන්වරු) වර්තමානයේදී පවා අපට දැක ගන්න පුළුවන් [6].

221032_5_article-2421825-1BD960CD000005DC-485_634x410Mormons-Dish-About-Polygamy

බෞද්ධ සංස්කෘතිය

බහුභාර්ය විවාහ සම්ප්‍රදාය පැරණි ඉන්දියාවේද තිබුණා. සිදුහත් කුමරාගේ (පසුකාලිනව ගෞතම බුදුන්) පියා වූ සුද්ධෝධන රජතුමාද බහුභාර්ය විවාහය සිදු කළ පුද්ගලයෙක්. එනම් ඔහු මහමායා දේවිය හා මහාප්‍රජාපති ඝෝතමි යන සොහොයුරියන් දෙදෙනාවම සරණපාවා ගත්තා. මේ පුවත බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමිපාණන් වහන්සේගේ  “බුද්ධ චරිතය” නම් පොතේ මෙසේ සඳහන් වෙනවා:

සිංහහනු රජුහු ගේ දරුවන් අතුරෙන් වැඩිමහලු සුද්ධෝධන කුමරු රූප සම්පත්තියෙන් සේම ශූර වීර බැවින් අන් හැමට වඩා විශිෂ්ට විය. යුධ ශිල්පයෙහි ද ප්‍රවීණ විය. වරෙක ශාක්‍ය රටේ පසල් දනව්වෙක මහා කරල්ලෙක් පන නැංගේය. සිංහහනු රජු එය සංසිඳුවනු පිණිස තම දරුවන් යැවීමට අදහස් කළේය. ශුද්ධෝදන කුමරු හැර සෙස්සෝ පසු බෑහ. ශුද්ධෝදන කුමරු බල සෙනඟක් ගෙන පසල් දනව්වට ගොස් කැරළිකරුවන්ගේ බලය බිඳ ඔවුන් තමන් යටතට ගෙන දනව්ව සංසිඳුවා පෙරලා කපිලවාස්තු පුරයට වුත් පියරජහු ඉදිරියේ පෙනී සිටියේය. රජ ඔහු කළ දෑ අසා බොහෝ පැහැද තමා කැමති වරයක් ඉල්ලන්නැයි කීය. සුදොවුන් කුමරු මහාමාය ප්‍රජාවතී යන සිය මයිලණුවන්ගේ දූන් දෙදෙනා ගැන බමුණන් කී අනාවැකි අසා තිබුණෙන් කවරදා හෝ මේ දෙදෙනාම පාවා ගන්නෙමි යි ඉටා ගෙන සිටියේය. ‘වරයක් ඉල්ලන්නැයි පියරජු කී බව අසා තමා ඉටු දැය සිදුකරැ ගන්නට කාලය පැමිණියේ වන යි සිතා, සිය මයිලණුවන්ගේ දූන් දෙදෙනාම පාව ගන්නට අවසර ඉල්ලීය. 

විශේෂයෙන් සැළකියැ යුතු කරුණක් නැති වැ, එක් භාර්යාවකට වැඩියෙන් බිරියන් තබා ගැන්ම ශාක්‍යවංශික රජුන්ගේ නීතියෙන් තහනම් වූ දැයෙක. එබැවින් සිංහහනු රජ රාජ සභාව කැඳවා පුතු ගේ ඉල්ලීම එයට ඉදිරිපත් කළේය. රාජ්‍යසභාව සුදෝවුන් කුමරුගේ අදහස විචාරා එයට කී කරුණු විමසා බලා කුමරියන් දෙදෙනාම් පවා ගන්නට අවසර දුන. සිංහහනු රජ අංජන රජුට පණිවුඩ යවා කැමැත්ත ගෙන ඔහුගේ දූ කුමරියන් දෙදෙනාම සුදෝවුන් කුමරුට පවා දි යුවරජ තනතුරද පත් කළේය.[7]

ඒ වගේම සිදුහත් කුමරා (පසුකාලිනව ගෞතම බුදුන්) රජ මාලිගාවේ රදවා තබා ගැනීම සදහා තම පියා (සුද්දෝදන රජු) විසින් විශාල අන්ත:පුරයක් එතුමාණන්ට නිර්මාණය කරදී තිබූ බවට ද ඉතිහාසගත තොරතුරු පවසනවා.

“තවද සරභඞ්ග ජාතකයෙහි (475 වැනි ජාතකය) බ්‍රහ්මදත්ත රජහට ධනුශිල්ප දැක්වූ පරිද්දෙන්ම; ශර පවුරුය, අක්ෂණ වෙධිය, ශබ්ද වෙධිය, වාල වෙධිය, ශර වෙධිය, ගොඩ විදමනය, දියෙහි විදමනය, ආකාශ විදමනය, දුර විදමනය, ආසන්න විදමනය, යපට විදමනය, තඹපට විදමනය, පිදුරු බිසී විදමනය, වැලි බිසී විදමනය, මී හං විදමනය, උදලු තැටි විදමනය, දිඹුල් පෝරු පියා පෝරු විදමනය, යනාදී වූ නොයෙක් ධනුශ්ශිල්ප දක්වා මහත්වූ බල පරාක්‍රම පෑ මුළු ලෝ විශ්මයට පත් කළ දෑය. මේ වික්‍රම දැක සන්තෝෂවූ නෑයෝ තමන් තමන් දු වරුන් සරසා සතලිස් දහසක ශාක්‍ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ. මෙසේ මාගේ බෝධිසත්ත්වයෝ යශෝධරා දේවීන් ප්‍රධාන වු මේ සතළිස් දහසක ස්ත්‍රීන් පිරිවරා මානික්‍ය ශෝභාවෙන් දිලිසෙන්නාවූ කනක ප්‍රාසාද බඳුවූ පිය රජහු කරවා දුන් තුන් ප්‍රසාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මදහසලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්‍යශ්‍රී සම්පත් විඳිනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසක උයන් කෙළි කෙළිනා කැමතිව රථාචාර්යයා කැඳවා මඟුල් රථය සරහා ලවයි කී දෑය.” (පුජාවලිය 151-152 පිටු).

මීට අමතරව ගෞතම බුදුන්ගේ කාලයේදීද බහුභාර්ය විවාහ සම්ප්‍රදාය ඔහුගේ ජනයා අතර තිබුණු බවත් පැරණි ලියකියවිලි වල සඳහන් වෙනවා.

“ඒ වේලෙහි කොසොල් රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාට බණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි.” (පුජාවලිය – 422 වැනි පිටුව).

අපගේ ගවේෂණයට අනුව ඒකභාර්ය විවාහයට වැඩි ප්‍රමුකත්වයක් දී තිබෙන බව බෞද්ධ ඉගැන්වීම් වලින් තේරුම් ගන්න පුළුවන්ඒකභාර්ය විවාහය පමණක් අනුමත කළ වගක් හෝ බහුභාර්ය විවාහය තහනම් කළ වගක් ගෞතම බුදුන්ගේ ඉගැන්වීම් වල සඳහන් වන්නේ නැහැ. කෙසේනමුත්. ඇතැම් බෞද්ධ සමාජ තම ප්‍රදේශයේ තිබුණු සම්ප්‍රදායට අනුව විවාහ සිදු කර ඇත්තේ මේ නිසා වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස ටිබෙට් ජාතික බෞද්ධයන් අතර බහු පුරුෂ විවාහ ක්‍රමය දැක ගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලාංකීය සමාජය තුලද “එකගෙයි කෑම” සම්ප්‍රදාය (එනම් එක් කාන්තාවක් සහෝදරයන් කිහිපදෙනෙකු විවාහ කරගැනීම) ද පැවතී බවට ඉතිහාසගත තොරතුරු එලිකරනවා. 

එපමණක් නොව අතිතයේ ජීවත් වූ ලොව ජනප්‍රිය රජවරුන් හා පාලකයන් සදහා බිරින්දෑවරුන් හා අන්ත‍:පුරයන් සිටි බවට බොහෝ සාක්ෂීන් ඉතිහාසයේ දක්නට තිබෙනවා.  ලෝකයා සම්බන්ධයෙන් පමණක් නොව අපේ රට වන ලංකාව පදනම් කරගෙන මෙම විෂය විමසා බැලුවත් විවිධ රජවරුන් සදහා බිරින්දෑවරුන් මෙන්ම අන්ත:පුරයන්ද පැවතී බවට ඉතිහාසගත සාක්ෂි දක්නට තිබෙනවා.

ඒකභාර්ය විවාහය පිලිබඳ කෙටි විමසුමක්

බටහිර රටවල් වල තිබෙන ඒක භාර්ය විවාහ ක්‍රමය එම රටට පැමිණ තිබෙන්නේ ග්‍රීක හා රෝම සම්ප්‍රදායෙනුයි. ග්‍රීක හා රෝම සම්ප්‍රදායට අනුව එක් පිරිමියෙකුට නීත්‍යානුකූලවශයෙන් විවාහ කර ගත හැක්කේ එක් කාන්තාවක් පමණයි. නමුත් විවාහ නොවී කාන්තාවන් කිහිප දෙනෙක් සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමට මෙම සම්ප්‍රදායන් තුළ තහනමක් තිබුණේ නැහැ. අද බටහිර රටවල්වල තිබෙන තත්වයද මෙයට සමානයි. එනම් ඒකභාර්ය විවාහය යනු නීතිමය සැකසුමක් නොමැති බහුභාර්ය විවාහයක් ලෙස සලකන්න පුළුවන්. එනිසා මෙම ඒකභාර්ය ක්‍රමය තුළ කාන්තාවට කිසිඳු නීතිමය ආරක්ෂාවක් නොමැති අතර නීතියානුකූල නොවන බිරින්දෑවරුන්ගේ වගකීම හෝ එම බිරින්දෑවරුන් වදන දරුවන්ගේ වගකීම පිරිමියාට පැටවෙන්නේ නැහැ. කෙසේනමුත් ඉස්ලාමය පවසන බහු භාර්ය විවාහ ක්‍රමය තුළ යුක්තිසහගතව කටයුතු කළ හැකි නම් පමණක් පිරිමියෙකුට කාන්තාවන් කිහිපදෙනෙක් (උපරිම ලෙස හතර දෙනෙක්) විවාහ කර ගන්න පුළුවන්. මෙහිදී සියලුම බිරින්දෑවරුන්ට සම අයිතිය හා ගරුත්වය හිමි වන අතර නීතිමය වශයෙන් ආරක්ෂාවද හිමි වෙනවා. තම වින්දනය සඳහා පමණක් කාන්තාව යොදා ගන්නා නමුත් ඔවුන්ගේ වගකීම් දැරීමට අකමැති පිරිමීන් නීත්‍යානුකූල බහුභාර්ය විවාහ ක්‍රමයටද අකමැති අතර එම ක්‍රමයට විරුද්ධ වනවා. මෙයට හේතුව බහු භාර්ය විවාහය තුළ කාන්තා හා පිරිමි යන දෙපිරිසගේම අයිතීන් අරාක්ෂා වන නමුත් ඒකභාර්ය විවාහය තුළ සිදු වන්නේ පිරිමියාගේ අයිතීන් පමණක් බේරා ගැනීමයි.

මේ අනුව පෙනී යන්නේ ඒකභාර්ය විවාහය මිනිසාගේ සැබෑ අවශ්‍යතාවය සම්පූර්ණය නොකරන බවයි.

බහු පුරුෂ විවාහය

පුරුෂයින්ට අනුමත කරන්නාක් මෙන් කාන්තාවන්ට ද බහු පුරුෂ විවාහය අනුමත කළ යුතුයැයි සමහරු පවසනවා. මෙය පිළිගත නොහැකි තර්කයකි. බහු භාර්ය විවාහය සඳහා ඉහත අපි පෙන්වා දුන් කිසිඳු කාරණාවක් බහු පුරුෂ විවාහය සඳහා අදාළ වන්නේ නැහැ. කාන්තාවන්ට බහු ස්වාමි පුරුෂයින් අනුමත කරන්නට කිසිඳු සාධාරණ හේතුවක් නැහැ.

කාන්තාවන්ට මෙම අනුමැතිය අවශ්‍ය යැයි පවසන අයගේ කැමැත්ත පරිදි අනුමත කළේ නම් සිදු වන්නේ ඉහත දැක් වූ අයහපත් ප්‍රතිවිපාක තවදුරටත් වැඩි වීමයි. පුරුෂයෙක් කාන්තාවන් සිය දෙනෙක සමඟ වර්ෂයක් පුරාම හුදෙකලාවේ සිටින්නට සැලැස්සුවහොත් ඒ කාන්තාවන් සිය දෙනා ම දරුවන් සියයක් වැදිය හැකියි. නමුත් කාන්තාවක් පුරුෂයින් සිය දෙනෙක් සමඟ හුදෙකලා කරන ලද්දේ නම් ඇය විසින් දරුවන් සියයක් වැදිය හැකි ද? පුරුෂයෙකුට බොහෝ කාන්තාවන් මගින් දරුවන් දහයක් ඉපදුණේ නම් ඒ දරුවන් දහ දෙනාගේ පියා කව් ද? මව කව් ද? යන්න දැනගත හැකියි. බොහෝ පුරුෂයින් සමඟ සම්බන්ධකම් පැවැත් වූ කාන්තාවක් වදන්නේ එක ම එක් දරුවෙකු වූවත් එම දරුවාගේ මව කවුදැයි දැනගත හැකිවනවා මිස පියා කව්දැයි දැන ගැනීම ඉතාමත් අසීරුයි. මෙම තත්ත්වයට වඩා ඒ දරුවාට වෙනත් අවමානයක් තිබිය නොහැකියි. මෙලෙස බිහිවන, පියා කව්දැයි නොදන්නා දරුවන් සිත් තැවුලට පත් වී මානසික රෝග වලට ගොදුරු වෙන්නත් පුළුවන්. පුරුෂයෙක් භාර්යාවන් හතරක් මගින් දරුවන් හතර දෙනෙකු වැදුවේ නම් ඒ දරුවන් හතර දෙනා ම නඩත්තු කරන වගකීම ඔහුගේ හිස මත පැවරිය හැකියි. ඒ දරුවන් වෙනුවෙන් දැරිය යුතු වියදම් ලබා දෙන ලෙස ඔහුට බල කරන්නත් පුළුවන්. නමුත් කාන්තාවක් පුරුෂයින් හතර දෙනෙකු සමඟ එක් වී වදන දරුවෙකුට මෙම වගකීම් සහතිකය ලබා දිය හැකි ද? සෑම තැනැත්තෙක් ම ඒ දරුවා තමන්ගේ නොවේ යැයි ප්‍රතික්ෂේප කළේ නම් ඔහු මත වගකීම් පැවරිය හැක්කේ කුමන පදනමක් මත ද? ඒ දරුවාගේ වියදමට ලබා දෙන මෙන් ඔහුට බල කළ හැක්කේ කෙසේ ද? එසේ වූයේ නම් වැඩෙන ඒ දරුවාගේ අනාගතය අඳුරෙන් පිරෙනවා නිසැකයි. ඒවගේම සෑම තැනැත්තෙක් ම ඒ දරුවා මාගේ යැයි උරුම කියන්නට ඉදිරිපත් වූයේ නම් ඒ දරුවා කැබලි වලට කපා එක් එක් තැනැත්තාට කොටස් කර දිය හැකි ද? කෙනෙකුට බහු භාර්යාවන්ගෙන් දරුවන් සියයක් තිබුණත් ඔහු මරණයට පත් වූ පසු දරුවන් සියයට ම පියා කව්දැයි නිශ්චිතව දන්නා බැවින් උරුමක්කරුවන් වශයෙන් ඔහුගේ දේපළෙන් කොටස් ඉල්ලා සිටින්න පුළුවන්. බහු පුරුෂයින් විවාහ කළ තැනැත්තියගේ ස්වාමි පුරුෂයින්ගෙන් කවරෙක් මරණයට පත් වූවත් ඇගේ දරුවන්ට පියාගේ දේපළෙන් උරුමකම් කියන්නට මගක් නොමැති වෙන්න පුළුවන්.

කාන්තාවක් පුරුෂයන් කිහිපදෙනෙක් විවාහ කිරීම තුළින් දැනට තිබෙන කාන්තා හා පිරිමි අසමතුලිතතාවය තවදුරටත් වැඩි වන නිසා ගැටලුව තවත් සංකීර්ණ වෙනවා මිස විසඳුමක් වන්නේ නැහැ. ඒ වගේම කිසිම දරුවෙක් මට පියවරුන් කිහිපදෙනෙක් සිටිනවා යැයි පවසන්න කැමති වන්නේද නැහැ.

සාරාංශය

ඉස්ලාමයේ ඉගැන්වීම් සකස් වී ඇත්තේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාටම, සෑම රටකටම හා සෑම යුගයකටම සුදුසු හා පිළිගත හැකි මෙන්ම මිනිසාගේ සමාජ අධ්‍යාත්මික සදාචාර ගැටලුවලට නිවැරදි මග පෙන්වන්නක් ලෙස බැවින් බහු භාර්ය විවාහය සම්බන්ධ ඉගැන්වීම් එහි අන්තර්ගත වී තිබීම අත්‍යවශ්‍ය දෙයක්. මේ අනුව ඉස්ලාම් පවසන බහුවිවාහය අතීත හා වර්ථමාන සමාජයට කෙසේ වෙතත් අනාගත සමාජයකට නම් උග්‍ර අවශ්‍යතාවයක් යන්න මෙම ලිපියෙහි අන්තර්ගත කරුණු පමණක් විශ්ලේෂණය කලද පහසුවෙන් වටහා ගන්න පුළුවන්. මෙම තත්වය කල්තියා හදුනාගත් ඉස්ලාම් මිනිස් සමාජයේ පැවැත්ම හා ප්‍රායෝගික අවශ්‍යතාවය වන බහුවිවාහය යෝජනා කර තිබෙනවා. ඊට අදාළ සීමා හා නීතිද ලබා දී තිබෙනවා. මෙය පරිපූර්ණ දහමක පැවතිය යුතු ලක්ෂණයක්. 

ඉස්ලාම් බහුවිවාහය යෝජනා කරන්නේ ඇයි? වර්ථමාන ලොව තුල බහුවිවාහය නීතියෙන් වැලැක්වීමට හැකි වුවත් එහි අවසාන ප්‍රථිපලයෙන් සමාජය මුදවාගැනීම හැකි වී නැහැ. දිනෙන් දින වැඩිවන ගණිකා නිවාස හා ඊට සමාන අයුරින් ක්‍රියාත්මක අනිකුත් විකල්ප ක්‍රම එය මනාව පිලිඹිබු කරනවා. මෙම තත්වය එකම හේතුව කරගෙන ඉස්ලාම් බහුවිවාහය අනුමත කලේ නැහැ. ඉස්ලාමීය දැක්මට මීට වඩා පුළුල් වපසරියක් තිබෙනවා. මිනිසා ගැන හොඳින් දන්නා මිනිසාගේ නිර්මාපකයා මිනිසාට ලබා දී ඇත්තේ ඔහුගේ යහපත සඳහා වූ මගපෙන්වීම් බව අප මතක තබා ගත යුතුයි. ඉස්ලාම් දිව්‍යමය දහමක් ලෙස පටු අරමුණූවල පමණක් සිට තීන්දු තීරණ ගන්නා, යෝජනා කරන්නා ආගමක් නොවේ. එහි දැක්ම පුළුල්ය. ඒ අනුව බහුවිවාහය ඉස්ලාම් යෝජනා කරන්නේ ප්‍රධාන හේතූන් බොහෝමයක් මුල්කරගෙනය. ඒ බව මෙම ලිපියේ සඳහන් කරුණු කියවීමේදී බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන්.

බහු භාර්ය විවාහයට අනුමැතිය ලබා දෙන ඉස්ලාමය, එයට හැකියාවක් නොමැති නම් වහල් ස්ත්‍රීන් ඔබ ප්‍රමාණවත් යැයි පවසනවා. මෙහිදී ඉස්ලාම් දහම වහල්භාවය අනුමත කරනවාද? යනාදී ප්‍රශ්න ඔබට මතු වෙන්න පුළුවන්. එනිසා මේ පිළිබඳව නිවැරදි කරුණු දැන ගැනීමට ඉස්ලාම් දහම හා වහල් භාවය පිලිබඳ වැරදි වැටහීම යන ලිපිය කියවන්න.

මූලාශ්‍රයන්

[1] http://www.ncbi.nlm.nih.gov/pubmed/23151996

[2] http://www.telegraph.co.uk/women/sex/11751923/In-France-when-it-comes-to-cheating-everyone-must-remain-discreet.html

[3] Abu Ameenah Bilal Philips & Jameelah Jones, Polygamy In Islam, https://www.kalamullah.com/Books/Polygamy%20in%20Islam.pdf

[4] http://timesofindia.indiatimes.com/assembly-elections-2011/tamil-nadu/Why-bigamy-law-wont-put-Karunanidhi-in-spot/articleshow/7783936.cms

[5] Werner Menski, Modern Indian Family Law, page 149

[6] http://www.whatloveisthis.tv/mormonpolygamy.htm

[7] බළන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමිපාණන් වහන්සේ, බුද්ධ චරිතය, පිටු 7,8

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *