ලෝකයේ දුක තිබීමට දෙවිඳුන් ඉඩ හැර ඇත්තේ ඇයි?

විශ්වය හා එහි අනෙකුත් සියලු දේ නිර්මාණය කල මැවුම්කරුවා දුක නම් දෙයක් මෙලොව තිබෙන්න ඉඩ හැරියේ කුමන හේතුව නිසාද?

ඉතිහාසය දිහා බලනවිට පෙනී යන්නේ මෙම ප්‍රශ්නය මිනිස් සමාජයට නිරන්තරයෙන්ම ගැටළුවක් වී ඇති බවයි. යහපත්, සියල්ල දන්නා, සර්ව බලධාරී මැවුම්කරුවෙකු සිටිනවානම් මරණය, ලෙඩවීම, වයසට යෑම, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් හා සාගින්න වැනි වේදනා මෙලොව තිබිය නොහැකි බව ඇතැම් අය පවසනවා. එනම් ඔවුන්ගේ මතය පහත අත්තිවාරම් මත ගොඩනැගී තිබෙන බව අපට වටහා ගන්න පුළුවන්.

1. දුකක් නිර්මාණය නොකරන, සර්ව බලධාරී මැවුම්කරුවෙක් සිටිය හැක.
2. වේදනාව, දුක මෙලොව තිබෙනවා.
එනිසා, යහපත්, සර්ව බලධාරී මැවුම්කරුවෙක් සිටිය නොහැක.

කෙසේ නමුත් ඉහත නිගමනයට එළඹීමට තවත් කරුණු සැඟවුණු අත්තිවාරම් ලෙස තිබෙනවා. එම අත්තිවාරම් ඉහත ඍජුවම සඳහන් වෙලා නැහැ.

එනම්,
1. මැවුම්කරුවා සර්වබලධාරී නම් ඔහුට අවශ්‍ය ඕනෑම ආකාරයක ලෝකයක් ඔහුට නිර්මාණය කල හැක.
උදාහරණයක් ලෙස සෑම මිනිසෙකුම සෑම විටම යහපත් දේවල් කරන, දුෂ්ට ක්‍රියා නොකරන දුක් වේදනා නොමැති ලෝකයක් ගැන සලකන්න පුළුවන්. කෙසේවෙතත් මෙවන් ලෝකයක මිනිසාට හොඳ නරක තේරීමේ නිදහසක් ගැන පැවසිය නොහැක. දැන් මිනිසා සතු මෙවන් තේරීමේ නිදහස ඉහත ලෝකයේදී මැවුම්කරුවා විසින් මිනිසාට නොදී බලයෙන්ම යහපත් දේවල් කිරීමට සලස්වා ඇති බව අවධානයෙන් බලන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

2. මැවුම්කරුවා යහපත් කෙනෙකු නම් ඔහු දුක් වේදනා නොමැති ලොවකට කැමති විය යුතුය.

කෙසේනමුත් මෙම සැඟවුණු කරුණු ඉදිරිපත් වී ඇත්තේ කිතුනුවන්ගේ දේව විශ්වාසය ඉලක්ක කරගෙනයි. එනම් දුකක් නිර්මාණය නොකරන සර්වබලධාරී දෙවි කෙනෙක් යන මතය ඉලක්ක කරගෙනයි. දෙවනුව මැවුම්කරු දුක මෙලොව තියෙන්න ඉඩහැරීමට කිසිම හේතුවක් මැවුම්කරුවාට තිබිය නොයුතුයි යන උපකල්පනයත් ඉහත කරුණු වලින් පිළිබිඹු වෙනවා.

මවුම්කරුවාගේ ගති ලක්ෂණ.

මැවුම්කරුවා හුදෙක්ම යහපත් හා සර්වබලධාරී කෙනෙක් ලෙස මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ නැහැ. “ඇතැම් විට අප මැවුම්කරුවාගේ නිර්මාණවල අලංකාරය, ඔහුගේ කරුණාව, ඔහුගේ ක්‍ෂමාශීලී බව පිළිබිඹු වන දේවල් දකිනවා”. ඇතැම්විට මවුම්කරුගේ දැඩිබව හා කෝපය පිළිබිඹු වන දේවල් අපි දකිනවා. කිතුනුවන් හා මුස්ලිම්වරුන් අතර ඇති වෙනස්කම් අතරින් මෙයත් එක් ප්‍රධාන වෙනසක්. උදාහරණයක් වශයෙන් මැවුම්කරු(දෙවි) මිනිසාට අදාරය පමණක් කරන බව කිතුනුවන් පවසනවා. එනිසා මෙලොව දුක්වේදනා තිබීමට හේතුව පැහැදිලි කිරිම ඇත්තෙන්ම ඔවුන්ට ලොකු අභියෝගයක් ලෙස තිබෙනවා.

මැවුම්කරු පරමදයාබර, සියල්ල දන්නා, ආදරය දක්වන බව මුස්ලිම්වරුන්ද විශ්වාස කරන අතර මෙම ලක්ෂණ ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. කරුණාව හා කෝපය යන ලක්ෂණ සැසඳීමේදී කරුණාව ඉදිරියෙන් තිබෙන බව ඉස්ලාමීය මුලාශ්‍ර කියවීමේදී අපට දැක ගන්න පුළුවන්. කෙසේනමුත් මැවුම්කරු බලවත්, වැරදි වලට දඬුවම් කරන කෙනෙක් ලෙසද මුස්ලිම්වරුන් විශ්වාස කරනවා

මැවුම්කරු(අල්ලාහ්) සතුව මෘදු නොවන ස්වභාවය ඇතුළුව නාමයන් රාශියක් ක් තිබෙන බවද මැවුම්කරු සතු මේ ලක්ෂණ මිනිස් බුද්ධියට තේරුම් ගත නොහැකි සංකීර්ණ ආකාරයකට මැවුම්කරු සතුව තිබෙන බවද මුස්ලිම්වරුන් විශ්වාස කරනවා.

නබි මුහම්මද්(සල්) තුමා මෙසේ පවසා තිබෙනවා:
විශ්වාසවන්තයාගේ තත්වය ඇත්තෙන්ම කෙතරම් ආශ්චර්යමත්ද යත් සෑම දෙයකම ඔහුට යහපතක් ඇත. තවද මෙම ලක්ෂණය හිමි වන්නේ ඔහුට පමණි. ඔහු යම් ප්‍රියමනාප දෙයක් අත්දකිනවා නම් ඔහුට(මැවුම්කරුවාට) කෘතඥ වෙනවා. මෙහි ඔහුට යහපතක් ඇත. ඔහු යම් අප්‍රිය දෙයක් අත්දකිනවා නම් ඔහු ඉවසිලිවන්ත වෙනවා. මෙහි ඔහුට යහපතක් ඇත.

මැවුම්කරු මෙලොව දුක පවතින්න ඉඩ හැරීමට හේතුව කුමක්ද යැයි කෙනෙක් දැන් ප්‍රශ්න කරන්න පුළුවන්.

මැවුම්වාදය පිළිනොගන්න උදවිය සැමවිටම ඍනාත්මක දේවල් පිළිබඳව අවධානය යොමු කර දුෂ්ටක්‍රියා හා දුක පවතින්න ඉඩ හැරීමට කිසිම හේතුවක්, අරමුණක් තිබිය නොහැකි බව පවසනවා.

කෙසේනමුත් මැවුම්කරු මිනිසාට කල අවසාන හෙළිදරව්ව වන කුරානයේ මෙසේ සඳහන් කරනවා.
නුඹලාගේ කවරෙකු ක්‍රියාවෙන් ඉතා හොඳදැයි නුඹලා පිරික්සනු පිණිස මරණයත් ජීවිතයත් ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය. තවද ඔහු අතිබලසම්පන්නය, ක්ෂමාශීලීය. [අල් කුරානය පරිච්ඡේදය අල් මුල්ක්(67): 2]
මේ නිසා මිනිසුන් වන අපිව මැවුම්කරු නිර්මාණය කර ඇත්තේ පරික්ෂාකිරීමට බව මුස්ලිම්වරුන් විශ්වාස කරනවා.

ඇතැම් ආගම් මිනිසෙකු මෙලොව අත්විඳන සැපත දෙවිගේ ආශිර්වාදයක්(එනම් එක්තරා ජයග්‍රහණයක්) ලෙස සලකනවා. උදාහරණයක් ලෙස කෙනෙකුට හොඳ රැකියාවක්, ලස්සන නිවසක් තිබෙනවා නම් දෙවි ඔහුට ආදරය කරන බව එම ආගම් පවසනවා. නමුත් ඉස්ලාම් දහමට අනුව සෞඛ්‍ය, ධනය, දුගීබව, රෝගාතුරු වීම යනාදී දේවල් ජයග්‍රහණයක් හෝ පරාජයක් ලෙස සලකනු ලබන්නේ නැහැ. මේවා ඇත්තෙන්ම යම් තත්වයකදී පුද්ගලයෙකු දක්වන ප්‍රතිචාරය පරික්ෂා කිරීම පිණිස පවතින දේවල් ලෙසයි ඉස්ලාම් දහම පවසන්නේ.

කෙසේනමුත් කෙනෙක් තම ජීවිතයේ යම් පීඩාවකට ලක්වෙනවා නම් ඔවුන්ට මුහම්මද් (සල්) තුමා මෙසේ පවසා තිබෙනවා:
(අවසානයේ) මුස්ලිම්වරයකුට කිසිම ව්‍යසනයක් සිදුවන්නේ නැහැ. (හේතුව:) කටු තුඩකින් ඇනීමෙන් සිදුවිය හැකි වේදනාවක් වෙනුවෙන් පවා අල්ලාහ් මුස්ලිම්වරයා කල පාපයන් ක්ෂමා කරනවා. [1]

ඒ වගේම, පොදුවේ බලන විට රෝගාතුරු වීම යනු හොඳ සෞඛ්‍යට සාපේක්ෂව කෙටිකාලීන දුක්බර දෙයක්.

තවත් එක් වැදගත් දෙයක් තිබෙනවා. අපගේ බුද්ධියේ ඇති සීමාවන් නිසා දුක මෙලොව තිබීමට නැණවත් හේතුවක් ග්‍රහණය කල නොහැකි වුනත් එවන් නැණවත් හේතුවක් නැත යන්න පවසන්න බැහැ. උදාහරණයක් ලෙස ඇතැම් විට ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනැගීමේදී කෙනෙක් රෝගාතුරු වෙනවා, භූමිකම්පා නිසා පෘතුවිය තුල වූ පීඩනය ලිහිල් වෙනවා, ගිනි කඳු පිපිරී ඛනිජ ද්‍රව්‍ය පිට කර කෘෂිකර්මය සඳහා උපකාර වන සාරවත් පසක් සකසනවා.

අත්විඳපු දුකක් සමඟ සංසන්දනය නොකිරීමෙන් සැපතක් ගැන කෙනෙක් අගය කර කතාකරන්නේ කෙසේද? රෝගාතුරු වීම නම් දෙයක් නොමැති නම් යහපත් සෞඛ්‍යයක් ගැන කතා කිරීමට පුලුවන්ද? එවන් දෙයක් අර්ථදක්වන්නවත් පුලුවන්ද?

“දුක යනු එක් පින්තූරයක කුඩා අඳුරු තැන් වැනි දෙයකි. එම පෙදෙස දිහා ලංවී බලන විට මෙය දෝෂයක් ලෙස ඔබ දකිනු ඇත. නමුත් තරමක් දුර සිට පින්තූරය දෙස බලන විට මෙම අඳුරු තැන් පින්තූරයේ විචිත්‍රත්වයට දායකවන බව ඔබ දකිනු ඇත.”[2]

හිල්රි හා මෝසස් නම් දේව ගැත්තන් දෙදෙනා සම්බන්ධව අල් කුරානය (අල් කුරානය 18:64-82) ගෙනහැර දක්වන කතාපුවත අපවිසින් ග්‍රහණය කළ නොහැකි මැවුම්කරුවාගේ ඥානය පිළිබඳව එක් වැදගත් තර්කයක් ඉදිරිපත් කරනවා. එනම් එම ඥානය කෙනෙකුගේ බුද්ධියට තේරුම් ගැනීමට අපහසු වුනද අවසානයේ ධනාත්මක ප්‍රතිපලයක් සමාජයට ඇති වන බව එම කතා පුවත අපට කියා දෙනවා.

ඔහු(මූසා) මෙසේ කීවේය “නියතවශයෙන් අප සොයමින් සිටිදේ මෙයයි”. ඒ අනුව තම පා සටහන් පිරික්සමින් ඔවුන් දෙදෙනා ආපසු ගියහ. එවිට, අපගෙන්වූ දයාව පිරිනැමූ සහ අපගෙන්වූ ඥානය අප ඔහුට හැදෑරුවාවූ ගැත්තන් අතුරින් ගැත්තකු ඔවුන් දෙදෙනාට මුණ ගැසිණ. නුඹට උගන්වනු ලැබූ යහදෙයින්, මටද නුඹ උගන්වනු පිණිස මම නුඹ අනුගමනය කරන්නෙමි දැයි මූසා ඔහුට කීවේය. නියතවශයෙන් මා සමඟ ඉවසීමට නුඹට ශක්තිය නැතැයි ඔහු (මූසාට) කීවේය. තවද නුඹ වටහා නොගත් දෑ ගැන නුඹ කෙසේ ඉවසන්නෙහිදැයිද ඔහු කීවේය. අල්ලාහ් අභිමතවූයේ නම්, ඉවසිලිවන්තයකු ලෙසද කිසිම කරුණකදී නුඹට අකීකරු නොවන්නකු ලෙසද නුඹ මා දකින්නෙහි යැයි ඔහු කීවේය. (මූසා!) නුඹ මා අනුගමනය කරන්නෙහි නම් – යම් දෙයක් ගැන නුඹට මා කියන තුරු කිසිම දෙයක් ගැන නුඹ මගෙන් ප්‍රශ්න නොකරනුයි ඔහු(එම ගැත්තා) කීවේය. ඉන් පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුණාහ. ඔවුන් දෙදෙනා නැවකට ගොඩවූ විට ඔහු එය සිදුරු කළේය. එහි සිටි අය ගිල්වීමටද නුඹ එය සිදුරු කළේ?, නියතවශයෙන් බිහිසුණු දෙයක් නුඹ කළේ යැයි ඔහු(මූසා) කීවේය. නියතවශයෙන් නුඹට මා සමඟ ඉවසීමට නොහැකි යැයි මා කීවා නොවේ දැයි ඔහු මූසාට කීවේය. මාගේ අමතකවීම ගැන නුඹ මට දොස් නොපරවනු. තවද මාගේ කාර්යයෙහි මට අසීරු නොකරනුයි මූසා කීවේය. පසුව, ඔවුන් දෙදෙනා නැවතත් ගමන් කළහ. ඔවුන් දෙදෙනාට තරුණයෙකු මුණ ගැසුණු විට හෙතෙම ඔහු මරා දැමුවේය. කිසිවකු නොමැරූ අහිංසක පුද්ගලයකු නුඹ මරා දැමුවාද ? නියතවශයෙන්ම නුඹ කළේ දරුණු දෙයක් බව මූසා කීවේය. නියතවශයෙන් නුඹට මා සමඟ ඉවසීමට නොහැකි යැයි මා කීවා නොවේ දැයි ඔහු මූසාට කීවේය. මින්පසුව මා නුඹෙන් කිසිවක් ඇසුවොත් නුඹ මාව මිතුරෙකු ලෙස ළඟ නොතබාගන්න. නියතවශයෙන් මගෙන් සමාවට කරුණක් නුඹට ඉදිරිපත් වී ඇත යැයි මූසා කීවේය.

පසුව ඔවුන් දෙදෙනා ගමනෙහි යෙදුණාහ. ඔවුන් දෙදෙනා එක් නගරයක ජනතාවක් වෙත පැමිණි කල්හි, එම ජනතාවගෙන් කෑමට දෙයක් ඔවුන් දෙදෙනා ඉල්ලූහ. එවිට ඔවුහු ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාරය ප්‍රතික්ෂේප කළහ. එවිට එහි කඩා වැටෙන්නට ආසන්න බිත්තියක් ඔවුන් දෙදෙනා දුටූහ. ඔහු එය කෙලින් කළේය. (එවිට) නුඹ සිතුවා නම් එයට කුලියක් ලබාගත හැකිව තිබුණා යැයි මූසා කීවේය. මෙය මාත් නුඹත් වෙන්විය යුතු අවස්ථාවකි. නුඹට ඉවසිය නොහකිවූ දෑහි විස්තර මම නුඹට පවසන්නෙමි යැයි හිල්රි කීවේය. නැව ගැන සලකන විට එය මුහුදේ (වෙහෙස මහන්සිවී) වැඩ කරන දුප්පතුන්ට අයත්ය. (එය තවදුර යන විට, පළුදු නැති) සියලු නැව් බලහත්කාරයෙන් පවරා ගන්න රජෙකු ඔවුන් පෙරටුව සිටින නිසා මම එය පළුදු කරන්නට සිතුවෙමි. තවද තරුණයා ගැන සලකන විට, ඔහුගේ දෙමාපියන් විශ්වාසවන්තයන්ය. එම තරුණයා සීමාව ඉක්මවීමෙන්ද ප්‍රතික්ෂේපභාවයෙන්ද ඒ දෙදෙනා අසීරු තත්වයට පත්කරාවි යැයි අපි බියවීමු. එහෙයින් ඔවුන් දෙදෙනාගේ පරමාධිපති හැසිරීමෙන් ඔහුට වඩා යහපත්වූද වඩාත් ආදරවන්තවූද දරුවෙක් ඔහු වෙනුවට ඔවුන් දෙදෙනාට ලබාදෙනු ඇති අපි අදහස් කළෙමු. බිත්තිය ගැන සලකන විට, එය නගරයේ වෙසෙන අනාත දරුවන් දෙදෙනකුට අයත්වීය. එය යට ඔවුන් දෙදෙනා වෙනුවෙන් නිධානයක් වීය. ඔවුන් දෙදෙනාගේ පිය දැහැමියෙක් විය. ඔවුන් දෙදෙනා වැඩි වියට පත්ව ඔවුන් දෙදෙනාට අයත් නිධානය ඔවුන් දෙදෙනා විසින් මතුකර ගන්නට නුඹගේ පරමාධිපතිගේ අභිමතය විය. (මේ සියල්ල) නුඹගේ පරමාධිපතිගේ දයාලුභාවය නිසාය. මේවා මාගේ කැමැත්ත අනුව මම නොකළෙමි. මේ, නුඹට ඉවසා සිටිය නොහැකිවූ දෑහි විස්තර යැයි ඔහු මූසාට කීවේය.

එනම්, දුක තවත් ආකාරයක ප්‍රයෝජනයක් ලබා දෙනවා. උදාහරණයක් ලෙස කුසගින්නේ සිටින මිනිසුන් නැතිනම් අපගේ අනුකම්පාව ඔවුන් වෙත යොමු වන්නේ කෙසේද? මේ ආකාරයෙන්ම සුනාමියට පසුව මිනිසුන් තම අනුකම්පාව ව්‍යසනයට පත් ජනතාව වෙත උපරිම ලෙස යොමු කරමින් වෛද්‍ය උපකාර, ආහාර, මුදල් වැනි දෑ ඔස්සේ ලබා දි ඔවුන්ට සහයෝගය දුන් බව අපි දන්නවා. එනිසා ඍනාත්මක සිදුවීමක් ධනාත්මක සිදුවීමක පැවතීම සඳහා දායක වෙනවා.

සුනාමිය ගැන සැලකීමේදී ව්‍යසනයට පත් ජනතාව මෙම සිදුවීම අසාධාරණ සිදුවීමක් ලෙස සලකන්න පුළුවන්. මෙලෙස ඔවුන් සිතන්නට හේතුව මරණයෙන් පසු ජීවිතය නොසලකා හරිමින් ඔවුන් හොඳ හා නරක යන දෙක මෙම ලෞකික ලෝකයට අනුව පමණක් තීරණය කිරීමයි. මේ ලොව ඔහු විඳපු දුකට වඩා හිතපු නැති තරම් ශ්‍රේෂ්ට ත්‍යාගයක් ඔහුට මරණින් පසුව හිමි වන්න පුළුවන්.

කෙනෙක්ව තම මැවුම්කරුවාට අවනත වීම කරා ගෙන යනු ලැබීමට ඔහු විඳින පීඩාව උදව්වෙනවා. බොහොමයක් අවස්ථාවලදී තම මැවුම්කරුවා(අල්ලාහ්) දෙස යොමු වී පුර්ණ විශ්වාසය ඔහු මත තැබීම තුලින් පුද්ගලයෙක් සිතන්නේවත් නැති යහ මාර්ගයකට දොර විවෘත වෙනවා.

මෙයට කදිම නිදසුනක් වනුයේ කැට් ස්ටීවන්ස් නම් පොප් ගායකයායි. ස්ටීවන්ස් දවසක් පිහිනීම සඳහා මලිබු වෙරළට ගිහින් තිබෙනවා. පැය බාගයකට පසුව ඔහුට අපහසු වී තිබෙනවා පැසිෆික් මුහුදේ තවදුරටත් පිහිනන්න. ඔහු ගොඩට පීනන්න උත්සහ දරා ඇතිමුත් එය අපහසු වන ආකාරයට මුහුදු රල තිබී තිබෙනවා. තව මොහොතකින් මුහුදේ ගිලේවි කියල ඔහුට වැටහී ගිය නිසා ඔහු දේව පිහිට පතා තිබෙනවා. ආශ්චර්යමත් අකාරයෙන් එක් රැල්ලක් ඔහුව උස්සා දැමු නිසා ඔහුට ගොඩබිම කරා පිහිනීමට හැකි වී තිබෙනවා. ඔහුගේ සහෝදර ඩේවිඩ් අල් කුරානයේ පිටපතක් ඔහුට ලබා දුන් මොහොතේ ඔහුගේ හදවත තවදුරටත් විවෘත වී තිබෙනවා. ස්ටීවන්ස් සොයමින් සිටි ප්‍රශ්න වලට පිළිතුරු සොයාගැනීමට කුරානය උපකාර වී ඇත්තේ වසා තිබුණු දොරක් ඇරගනීමට දායක වූ යතුරක් ලෙසයි. කුරානයේ සඳහන් දේවල් ඔහුට හුරුපුරුදු දේවල් වුනත් එවන් පොතක් ඔහු මීට කලින් කියවා නැති බව ඔහු පවසා තිබෙනවා. මෙනිසා ස්ටීවන්ස් රහසිගතවම ඉස්ලාමයේ අධ්‍යාත්මික දේවල් තම ජීවිතයට එක්කරගත්තා. ඔහු රහසිගතවම දෙවියන්ට නමස්කාර කරන්න පටන් ගත්තා, මත්පැන් භාවිතයෙන් ඉවත් වුනා, සමාජ ශාලාවලට හා සාද වලට යාම නතර කළා. අවසානයේදී 1977 වන වසරේදී සංගීත ශේස්ත්‍රයෙන් ඉවත් වී ඉස්ලාම් දහම තම ජීවන ක්‍රමය ලෙස තෝරා ගත්තා. ඔහු තම නම යූසුෆ් ඉස්ලාම් ලෙස වෙනස් කර ගත්තා[3].

හේතුවක් නොමැති නිකරුනේ තිබෙන දුක මෙලොව තිබෙනවාද?

දුක නම් දෙයක් මෙලොව තිබෙන බව මුස්ලිම්වරුන් විශ්වාස කරනවා. නමුත් හේතුවක් නොමැති නිකරුනේ තිබෙන මිනිසාට සාපේක්ෂ දුකක් ගැන මුස්ලිම්වරුන් විශ්වාස කරන්නේ නැහැ.

ලොව තිබෙන දුක ගැන අවධානය යොමු කරන්නා උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. එයට හේතුව වාස්ත්වික වශයෙන් දුකකක් හෝ යහපතක් ගැන කතා කිරීමට මැවුම්කරුවා අවශ්‍ය වීමයි. මැවුම්කරුවෙකු නොමැතිනම් දුක හා යහපත යන්න ඇත්තෙන්ම සාපේක්ෂ දේවල් බවට පත්වෙනවා.

එනිසා පහත ආකාරයෙන් මෙම කරුණු සාරාංශගත කරන්න පුළුවන්.

1. මැවුම්කරුවෙකු නොමැති නම් දුක, යහපත ඇතුළු වාස්ත්වික සදාචාරයක් පවතින්න පුළුවන්කමක් නැහැ.
2. නමුත් දුක නම් දෙයක් පවතින බව අපි දන්නවා
3. එනිසා වාස්ත්වික සදාචාරයක් අප අතර තිබෙනවා. එනම් මැවුම්කරුවෙකු සිටිනවා.

මැවුම්කරුවෙකු පිළිබඳව සඳහන් නොකර මෙම දුක නම් ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී විකල්ප පිළිතුරු දෙකක් අපට සඳහන් කරන්න පුළුවන්.

1. සමාජය විසින් යොමුවන පීඩනය
2. පරිණාමවාදය

කෙසේනමුත් මෙම විකල්ප පිළිතුරු දෙකේදීම පැවසෙනුයේ අපගේ සදාචාරය සමාජයේ වෙනස්වීම මත හා ජීවවිද්‍යාත්මක වෙනස්වීම් මත පදනම් වන බව බුද්ධිමත්ව සිතන කෙනෙකුට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. එනම් සදාචාරය යන්න ලොව සියලු ජනයා සඳහා ඇති දෙයක් ලෙස සැලකිය නොහැකි තත්වයකට යාමට අපට සිදු වෙනවා. මින් පැහැදිලි වන්නේ මැවුම්කරුවෙකු නොමැති නම් සදාචාරය සඳහා වාස්ත්වික (Objective) පදනමක් පැවතිය නොහැකිය යන්නයි. එනම් සියලු සදාචාරාත්මක මිනුම් සාපේක්ෂ වන අතර එවන් තත්වයකදී දුක, නපුර නම් වාස්ත්වික කිසිම දෙයක් නොමැත යැයි අපට පවසන්න සිදු වෙනවා.

එනිසා මැවුම්කරුවෙකු සිටිනවා යැයි විශ්වාස කරන මුස්ලිම්වරයෙකු හෝ වෙනත් අයෙකු නාස්තිකවාදීන්ගෙන් පහත ආකාරයක ප්‍රශ්නයක් අසන්න පුළුවන්.

දුක, නපුර යනාදීය මැනීම සඳහා වූ වාස්ත්වික(Objective) සදාචාර පද්ධතියක පැවැත්මට මැවුම්කරුවෙකුගේ පැවැත්ම අවශ්‍ය වන නිසා මැවුම්කරුවෙකු නැහැ යැයි පැවසීමට දුක, නපුර යනාදී දේවල් සලකන්නේ කෙසේද ?

සරලව පවසනවා නම් මැවුම්කරුවෙකු නැහැ යයි පැවසීමට නාස්තිකවාදීන් තර්කයක් ගොඩනගනවා. නමුත් වාස්ත්විකව එම තර්කය ගොඩනැගීමට මැවුම්කරුවෙකුගේ පැවැත්ම අවශ්‍ය වනවා. එනිසා ඔවුන්ගේ ප්‍රශ්නය දාර්ශනිකව නිවැරදි නැති බව අපට වටහා ගන්න පුළුවන්.

දුකට හේතුව සෙවීම සඳහා ඉදිරිපත් වූ ඇතැම් දර්ශන

ඇතැම් දාර්ශනිකයන් දුකට හේතුව ලෙස කර්මය නම් සංකල්පයක් ඉදිරිපත් කර තිබෙනවා. සරලව කියනවා නම් කෙනෙක් පෙර භවයකදී කල පාප කර්මයක් නිසා මෙම භාවයේ දුක් විඳිනවා යැයිද මෙම භාවයේ කරන පාප කර්මයක් නිසා ඊළඟ භවයේ දුක් විඳින්න සිදු වෙන බවත් පවසනවා. උදාහරණයක් ලෙස කාන්තාවක් ලෙස මෙම භාවයේ ඉපදීමට හේතුව පෙරභවයේ කල පවක් ලෙසයි බුද්ධ දර්ශනය පවසන්නේ[4]. මීට සමාන අදහසක් හින්දු දහමේ හා ජෛන දර්ශනයේ තිබෙනවා. කෙසේනමුත් මෙය හුදෙක්ම දුකට හේතුව පැහැදිලි කිරීමට ගත් උත්සහයක් පමණක් බව අවධානය යොමු කරන කෙනෙකුට වටහා ගන්න පුළුවන්. කර්මය, පුනර්භවය යනාදී සංකල්ප තුලින් දුකට හේතුව පැහැදිලි කිරීමට උත්සහ දැරුවත් එය යතාර්තයට එකඟද නැද්ද කියන එක අපි සිතිය යුතුයි. දාර්ශනිකවම බැලීමේදී පුනර්භවය යන සංකල්පය දෝෂ සහිත බව අපිට තේරුම් ගන්න පුළුවන්. මේ පිලිබඳ පැහැදිලිකිරීම සඳහා යතාර්ථවාදී නොවන “අනන්තය” මත පදනම් වූ පුනර්භවය නම් ලිපිය කියවන්න.

සාරාංශය

දුක නම් ප්‍රශ්නයට පිළිතුරු මෙම ලිපියේ සාකච්ඡා වෙලා තිබෙනවා. දුක, නපුර, පීඩනය යනාදී දේවල් පූර්ණව ඉවත්වීම තුලින් පරිපූර්ණත්වයක් බිහි වෙනවා. නමුත් මෙම පරිපූර්ණත්වය මැවුම්කරුවා සඳහා පමණක්ම වෙන් වූ ලද්දක්. මෙලොව අප ගත කරන ජීවිතය කවදාවත් ස්වර්ගයක් වන්නේ නැහැ. මෙම තත්වය(ස්වර්ගය) හිමි කරගත හැක්කේ මෙම ලෝකයේ ඔවුන්ට ලැබී ඇති පරීක්ෂණය සමත් වන පිරිසට පමණයි.

දුක මෙලොව තිබීම තර්කයක් ලෙස ගෙන මැවුම්කරුවෙකු නැහැ යැයි පැවසීම තර්කානුකූල නැහැ. උපරිමවශයෙන් කෙනෙකුට පැවසිය හැක්කේ දැඩි, මෘදු නොවන ස්වභාවයක් ඇති මැවුම්කරුවෙකු සිටිනවා යන්නයි.

මුස්ලිම්වරුන්ලෙස මැවුම්කරු සතුව අපි නොදත් ඥානයක් තිබෙන බවත් අපි විශ්වාස කරනවා. එනිසා මෙලොව මේ ආකාරයක දුක සතුට යන දෙකෙහිම මිශ්‍රණයක් ලෙස තිබීමේ සැබෑ ඥානය මැවුම්කරු සතුව තිබෙන බවත් එය සිතීමේ හැකියාව සීමිත මිනිසාට පුර්ණව තේරුම් ගත නොහැකි බවත් මුස්ලිම්වරුන් විශ්වාස කරනවා. අපගේ අරමුණ වෛද්‍යවරයාගේ බෙහෙත් තුණ්ඩුව ගැන විවේචනය නොකර බෙහෙත් ටික අරගෙන ලෙඩේ සුව කර ගැනීමයි. එනම් මැවුම්කරුවා දී ඇති අණ අනුව ක්‍රියා කර පරලොව ජයග්‍රහණය ලබා ගැනීමයි.

මූලාශ්‍රයන්.
[1] සහිහ් අල් බුහාරි, පුවත් අංක 5640 (Sahih al-Bukhari 5640)
[2] නාස්තිකවාදියකු සමඟ කතාබහක් – Dr. Mostafa Mahmoud
[3] යූසුෆ් ඉස්ලාම්ගේ ජීවිත කතාව, http://www.yusufislam.com/biography/
[4] http://www.accesstoinsight.org/lib/authors/dewaraja/wheel280.html

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *