නිර්මාණකරුව නිර්මාණය කළේ කවුරුන්ද?

මෙම විශ්වය නිර්මාණය වූ දෙයක් බවත්, එය නිර්මාණය වීමට හේතු වූ හේතුකාරකයක් තිබිය යුතු බවත් පැහැදිලි සාක්ෂි තුලින් අපට වටහාගන්න පුළුවන්. මෙම හේතුකාරකය හැඳින්වීමට මැවුම්කරුවා, දෙවි යන නම් ආගම්වල භාවිතා වෙන බවත් පැහැදිලි කරුණක්.

මෙවන් මැවුම්කරුවෙකුගේ පැවැත්ම බුද්ධිමත් අකාරයෙන් සනාථ වෙන අවස්තාවන් වලදී මෙම මතයට විරුද්ධ පිරිස් අසන එක ප්‍රධාන ප්‍රශ්නයක් තිබෙනවා.

“විශ්වය මැව්වේ මැවුම්කරු නම් මැවුම්කරුව මැව්වේ කව්ද ?”.
මෙයයි ඔවුන් අසන ප්‍රශ්නය. මෙම ප්‍රශ්නය දිහා බලන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙම ප්‍රශ්නය වලංගු ප්‍රශ්නයක් කියලා. නමුත් මෙම ප්‍රශ්නය දිහා දාර්ශනිකව කෙනෙක් බලනවානම් එහි තිබෙන අඩුපාඩු පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්.

මුලින්ම අපි නිකමට හිතමු මෙම ප්‍රශ්නය වලංගු ප්‍රශ්නයක් කියලා.

මෙම ප්‍රශ්නය තුලින් මෙම විශ්වයේ අරාම්භයට හේතුවූ මැවුම්කරුවෙකු නැහැ කියලා පවසන්න බැහැ. මෙම ප්‍රශ්නය හුදෙක්ම එම මවුම්කරුවාගේ ආරම්භ හා සම්බන්ධ ප්‍රශ්නයක් පමණයි.

එනිසා “මවුම්කරුට තමාව මැවූ මැවුම්කරුවෙකු සිටිය නොහැකියි” යන පිළිතුරයි මෙම ප්‍රශ්නයට දිය හැකි සරලතම පිළිතුර. මෙසේ පිළිතුරු දීමට එක්තරා පදනමක් තිබෙනවා. එනම් යමක් සදාකල් පවතින්නේද එයට නිර්මාපකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවානම් ආරම්බයක් ඇති දෙයකට පමණයි එම ආරම්භයට හේතුවූ නිර්මාපකයෙක් සිටිය යුත්තේ.

හිතන්න ඔබ මෙම ලිපිය කියවීමට භාවිතා කරන පරිගණකය සදාකල් පැවතුන දෙයක් කියලා. එසේ නම් එම පරිගණකය නිර්මාණය කිරීමට නිර්මාපකයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ.

තවත් උදාහරණයක් දිහා බලමු.

සොල්දාදුවෙකු ඉදිරියේ සතුරෙක් සිටිනවා. සොල්දාදුවා තම තුවක්කුව සතුරා දෙසට හරවා වෙඩි තියන්න සූදානම් වෙනවා. නමුත් වෙඩි තැබීමට තම ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. මෙසේ අවසර දීමට එම ඉහල නිලධාරියා තමාගේ ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. එම අවසරය දීමටත් මෙම ඉහල නිලධාරියා තමාගේත් ඉහල නිලධාරියාගෙන් අවසර ගැනිය යුතු වන අතර මෙම අවසර ගැනීමේ ක්‍රියාව නිමාවක් නොමැතිව දිගින් දිගටම අනන්තයක් දක්වා යනවා යැයි සිතමු. කවදා හරි සොල්දාදුවාට තම සතුරාට වෙඩි තියන්න පුළුවන් වේවිද?

පැහැදිලි පිළිතුර වනුයේ “නොහැකියි, ඔහුට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ නැහැ” යන්නයි.

සොල්දාදුවාට තම සතුරාට කොයි මොහොතේ හෝ වෙඩි තැබීමට පුළුවන් වෙන්නේ ඉහත සඳහන් අවසර ගැනීමේ ක්‍රියාදාමයේ තවදුරටත් අවසර ගැනීමට අවශ්‍ය නැති එක් පුරුකක් ලෙස ඉතා ඉහල නිලධාරියෙක් සිටියහොත් පමණි. එවිට එම ඉතා ඉහල නිලධාරියාගේ සිට අවසරය අනෙකුත් නිලධාරියන්ට අනු පිළිවෙලට හමු වෙන අතර අවසානයේ සොල්දාදුවාටද හිමිවෙනවා. දැන් සොල්දාදුවාට පුළුවන් සතුරාට වෙඩි තියන්න.

විශ්වය මැවුම්කරුවෙකු විසින් නිර්මාණය වුන දෙයක්. දැන් අපි විමසුවොත් මැවුම්කරුව නිර්මාණය කලේ කව්ද කියලා. ඊලඟට අපිට විමසන්න සිදුවෙනවා “මැවුම්කරුව නිර්මාණය කල මැවුම්කරුව නිර්මාණය කලේ කව්ද කියල”. මේ ආකාරයට දිගින් දිගටම අපිට විමසන්න පුළුවන්.

මැවුම්කරුව නිර්මාණය කලයුතු තවත් මැවුම්කරුවෙකු සිටිය යුතුයි කියන මතය දිගින් දිගටම ගියහොත් අද අපිට විශ්වයක් බලා ගන්න බැහැ. මෙය හරියට සොල්දාදුවාට තම සතුරාට වෙඩි තියාගන්න බැරි වුනා වගෙයි.

නමුත් අද විශ්වයක් තියෙනවා. එනිසා අවසාන පුරුක ලෙස ආරම්භයක් නොමැති මැවුම්කරුවෙකු සිටිය යුතුයි. මෙයයි යතාර්ථය. ආරම්භයක් නොමැති දෙයක් තිබිය හැකියි යන මතය යතාර්ථවාදී සත්‍යයක් කියල දැන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්.

විශ්වය නිර්මාණය වුන දෙයක් බවත් විශ්වය නිර්මාණය කලේ ආරම්භයක් නොමැති මැවුම්කරුවෙක් බවත් ඔබට දැන් පැහැදිලියි නේද? දැන් ඔබටම පුළුවන් මෙම ලිපියේ මාතෘකාව වශයෙන් ඇති ප්‍රශ්නය වලංගු ප්‍රශ්නයක් නොවන බව වටහාගන්න .

Share Button