නිර්මාණ න්‍යාය බොරු කිරීමට විද්‍යාවට පුලුවන්ද?

විද්‍යාව නමැති විෂය හැදෑරීම මිනිස් මනසේ  දියුණුවට උපකාර වනවා. මෙම විශ්වය හා එහි ඇති ස්වභාවික සංසිද්ධි පිලිබඳව අවබෝධයක් ලබා ගැනීමට උත්සහ දැරීම විද්‍යාවේ අරමුණයි. ස්වභාවික සංසිද්ධිවල ක්‍රියාකාරීත්වය කුමක්ද? ස්වභාවයේ ඇති දේවල් වල ව්‍යුහය කුමක්ද? යනාදී ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට විද්‍යාව උත්සහ දරන අතර මේ සඳහා ගණිතමය ආකෘති, විවිධ නියමයන් ගොඩනගා ගැනීමද විද්‍යා විෂයේදී අපට දැකගන්න පුළුවන්. මෙම ආකෘති හා නියමයන් තුළින් විවිධ අනාවැකි ඉදිරිපත් කිරීමද සිදුවෙනවා. අපි නොදැන සිටි ස්වභාවික සංසිද්ධි සොයාගැනීමත් විද්‍යා විෂයේ එක් අංගයක්. මීට අමතරව මිනිසාගේ යහපත සඳහා වූ තාක්ෂණවේදයටත් විද්‍යාවේ දායකත්වය ලැබී තිබෙන බව අපට වටහා ගන්න පලුවන්. විද්‍යාව හිමිකරගෙන ඇති මෙම උසස් තත්වය නිසා විද්‍යාවට හොඳ පිළිගැනීමක් සමාජයේ තිබෙනවා. එනිසාම මිනිසාගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දිය යුත්තේ විද්‍යාවයි යන මතයක් ඇතැම් උදවියගේ මනසේ හට ගෙන තිබීම අපට දැකගන්න පුළුවන්. “මරණින් පසු සිදු වන්නේ කුමක්ද?”, “අපට ආත්මයක් තිබෙනවාද?”, “විශ්වය නිර්මාණය කළ දෙවිකෙනෙක් සිටිනවාද?”, “මෙම විශ්වයේ ආරම්භයට හේතුව කුමක්ද?” යනාදී ගැඹුරු ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට මෙම පිරිස් විද්‍යාවේ සරණ පතනවා. එනිසා විද්‍යාඥයින් මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යැයි දැනගැනීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වනවා.

මෙම ප්‍රශ්නවලට පිළිතුරු ඉස්ලාම් දහම තුළ තිබෙනවා. විශේෂයෙන්ම මෙම විශ්වය නිර්මාණය කළ දෙවිකෙනෙක් සිටින බව ඉස්ලාම් දහම පවසනවා. නමුත් මෙයට විද්‍යාත්මක සාක්ෂි කිසිවක් නොමැත යැයි පවසිමින් විද්‍යා විෂය හදාරන සමහරුන් ඉස්ලාම් දහම සාවද්‍ය යැයි පවසනවා. ඒ වගේම ඉස්ලාම් දහම විද්‍යාවට විරුද්ධ බවත් ඇතැමුන් පවසනවා. ඇත්තෙන්ම ඉස්ලාම් දහම විද්‍යාව වැනි විෂයක් හැදෑරීමට මිනිසුන් පොළඹවනවා මිස ඉස්ලාම් දහම විද්‍යාවට විරුද්ධ නැහැ. නිදසුනක් ලෙස පහත කුර්ආන් වැකි සැලකිල්ලට ගන්න.

ඔවුන් ඔටුවන් කෙසේ නිර්මාණය කරනු ලැබ තිබේ දැයි අවධානය යොමු නොකරන්නෝද? (අල් කුර්ආනය 88:17)

තමන්ට ඉහලින් ඇති අහස දෙස බල: එය අප කෙසේ නිර්මාණය කළෙමු දැයි ද ? එය කෙසේ අලංකාර කළෙමු දැයිද? ඔවුන් නොබැලුවේද ?…… (අල් කුර්ආනය 50:6)

ස්වභාවික සංසිද්ධි ගැන කරුණු ඉදිරිපත් කරන අල් කුර්ආනය මේ පිළිබඳව විමසිල්ලෙන් බලන ලෙස මිනිසාට ආරාධනා කරනවා. අද අප භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමයේ ප්‍රාරම්භකයා වන්නේද ඉබ්නු හයිතම් නමැති මුස්ලිම් විද්‍යාඥයායි. පුරාතන ග්‍රීකයන් සිද්ධාන්ත වශයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීම් කළද ඒ සඳහා නිරීක්ෂණ පදනම් කළ යුතුයි යන ස්ථාවරයේ සිටියේ නැහැ. නමුත් ඉබ්නු හයිතමි පරීක්ෂණ හා නිරීක්ෂණ පදනම් කරගෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉදිරිපත් කළ පුද්ගලයෙක්[1]. විද්‍යාව සඳහා තමාව යොමු කළේ අල් කුර්ආනය බව ඉබ්නු හයිතමි සඳහන් කිරීම අපි මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු වෙනවා[2].

ඉබ්නු හයිතමි පමණක් නොව මුස්ලිම් විද්‍යාඥන් රාශියක් ඉතිහාසයේ බිහි වී තිබෙනවා[3].  මුස්ලිම්වරුන් කලක් පාලනය කළ ස්පාඥය මුස්ලිම්වරුන් විද්‍යාවට හා තාක්ෂණයට ඉටුකළ දායකත්වය හොඳින්ම තහවුරු කරනවා [4]. ඒ වගේම යුරෝපයේ ඇතැම් විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා උපකාර වී තිබෙන්නේ මෙම මුස්ලිම් විද්‍යාඥයින්ගේ විද්‍යාත්මක දැනුමයි. මෙම කරුණු තුළින් පෙනී යන්නේ මුස්ලිම්වරුන් විද්‍යාවට විරුද්ධ පිරිසක් නොවන බවත් ඉස්ලාම් දහම තුල විද්‍යාවට තහංචියක් නැති බවයි.

එසේනම් විද්‍යාව විසින් ඉස්ලාම් දහම සාවද්‍ය බව ඔප්පු වෙනවාද? විද්‍යාව යනු ඇත්තෙන්ම කුමක්ද යන්නත් එහි සීමාවන් කුමක්ද යන්නත් අප දන්නවා නම් විද්‍යාව තුළින් වැරදි නිගමන වලට එළඹීමෙන් වැළකෙන්න පුළුවන්. එනම් “විද්‍යාව විසින් ඉස්ලාම් දහම සාවද්‍ය බව ඔප්පුවෙනවා” යන වැරදි නිගමනයට එළඹීමෙන් අපට වැළකෙන්න පුළුවන්.

විද්‍යාව යනු කුමක්ද?

විද්‍යාව ලෙස පරිවර්තනය කර ඇති Science නම් වචනය ලතින් භාෂාවේ Scientia නම් වචනයෙන් බිහි වී තිබෙනවා. මෙහි තේරුම “දැනුම” (knowledge) යන්නයි. දාර්ශනිකයෙකු වූ බර්ට්‍රන්ඩ් රසල් විද්‍යාව මෙසේ අර්ථ දක්වනවා:

නිරීක්ෂණ හා ඒ මත විචාරශීලී ලෙස බල විශ්වය පිලිබඳ ඇතැම් තොරතුරු හා මෙම තොරතුරු එකිනෙකා සම්බන්ධ කරන නියමයන් සොයාගැනීමට උත්සහ දැරීම විද්‍යාවයි (නොඑසේනම් විද්‍යාත්මක ක්‍රමයයි)

මේ අනුව බැලීමේදී විද්‍යාවෙන් සිදුකරන්නේ නිරීක්ෂණය කළ හැකි දේවල් ගැන තීරණය වලට එළඹීමයි. එනම් නිරීක්ෂණය කළ හැකි දේවල් වලට පමණක් විද්‍යාව සීමා වෙනවා. මේ පිළිබඳව විද්‍යාව පිළිබඳ දාර්ශනිකයෙකු වන එලියට් සොබර් තමන්ගේ අනුභූතිවාද (Empiricism) නම් ලිපියේ මෙසේ පවසනවා:

ඕනෑම මොහොතකදී තමා ළඟ තිබෙන නිරීක්ෂණ වලට විද්‍යාඥයින් සීමා වෙනවා… නීක්ෂණ වලට අනුව විසඳිය හැකි ප්‍රශ්නවලට පමණක් විද්‍යාවට පිළිතුරු දිය හැකි වීම මෙම සීමාවයි [5].

ඉස්ලාමයේ පදනම  එක් දේව විශ්වාසයි. දෙවියන් පිලිබඳ වූ සැබෑ නිර්වචනයට අනුව දෙවියන්ව මෙලොව සිට නිරීක්ෂණය කළ නොහැකියි. එසේනම් නිරීක්ෂණය කළ නොහැකි දෙවියන් සිටිනවා යන්න සාවද්‍ය බව නිරීක්ෂණ මත පදනම් වූ විද්‍යාත්මක ක්‍රමය තුළින් නිගමනයට පැමිණෙන්න පුලුවන්ද? වෙනත් අකාරයකින් කියනවා නම් දෙවි පිලිබඳ ප්‍රශ්නය විද්‍යාවේ සීමාවන්ට පිටතින් ඇති දෙයක් ඒ නිසා මෙවන් දෙවිකෙනෙක් නැත යැයි විද්‍යාවට පවසන්න පුළුවන්කමක් නැහැ.

විද්‍යාවේ අනෙකුත් සීමාවන්

නිරීක්ෂණය කළ හැකි දේවල් පිළිබඳව පවා 100%ක් නිශ්චිතව පවසන්න විද්‍යාවට පුළුවන් කමක් නැහැ. මෙය කරුණු 2ක් ඔස්සේ අපට වටහා ගන්න පුළුවන්.

  1. උද්ගමනය පිලිබඳ ප්‍රශ්නය (Problem of Induction)
  2. අනුභූතිවාදය (Empiricism)

උද්ගමන පිලිබඳ ප්‍රශ්නය (Problem of Induction)

විද්‍යාව පදනම් වී තිබෙන්නේ නිරීක්ෂණ මතයි. නමුත් ඕනෑම සංසිද්ධියක් සම්බන්ධ නිරීක්ෂණ සියල්ලම (100%) සලකා තීරණ වලට පැමිණීමට බැහැ. එනිසා සීමිත නීරීක්ෂණ මත පාදනම් වී විද්‍යාඥයින් තීරණ වලට පැමිණෙනවා. නිදසුනක් ලෙස අපි එක් පොකුණක සිටින හංසයින් නිරීක්ෂණය කරනවා යැයි සිතමු. හංසයින් 1000ක් දකින අපි එම හංසයින් 1000ම පාටින් සුදු බව නිරීක්ෂණය කරනවා යැයි සිතමු. මේ අනුව හංසයා යන සත්වය පාටින් සුදු බව නිගමනය කරනවා. නමුත් මෙම නිගමනයේ නිශ්චිතභාවය ගැන ඔබ සිතන්නේ කුමක්ද? නියතවශයෙන්ම ඉහත නිගමනය නිශ්චිත නිගමනයක් නොවේ. එයට හේතුව ඔබ දකින 1001 වෙනි හංසයා පාටින් කළු වෙන්න පුළුවන්. මේ අකාරයෙන්ම විද්‍යාත්මක නිගමනයන් උද්ගමනය(Induction) නමැති ක්‍රමය මත පදනම් වන නිසා විද්‍යාත්මක නිගමන නිශ්චිත නිගමනයන් නොවේ. මෙහිදී එක් වැදගත් කරුණක් අප හොඳින් තේරුම් ගත යුතුයි. එනම් හංසයින් 1000ක් නිරීක්ෂණය කළ පසු හංසයින් පාටින් සුදු බව නිගමනය කිරීම නිවැරදි නිගමනයක් වෙන්න පුළුවන් නමුත් එම නිගමනය නිවැරදි බව ඔබට නිශ්චිතවශයෙන්ම පවසන්න බැහැ. මෙයින් පෙනී යන්නේ විද්‍යාත්මක නිගමන නිශ්චිත දැනුමක් අපට ලබා නොදෙන අතර පසු නිරීක්ෂණ විද්‍යාත්මක නිගමනය සම්පූර්ණයෙන්ම අවලංගු කර දමන්න පුළුවන්.

කෙසේනමුත් අප ජීවිතයේ භාවිතයට ගන්නා විශිෂ්ඨ විද්‍යාත්මක නියමයන් අපට දැක ගන්න පුළුවන්. එනිසා මෙම විද්‍යාත්මක නියමයන් ඇත්තෙන්ම නිශ්චිත දැනුමක් ලබා දෙන බවත් එම නියමය දෙවිකෙනෙක්ගේ අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරන බවත් ඇතැම් අය සිතනවා. විද්‍යාත්මක නියමයන් යනු කුමක්ද?

විද්‍යාත්මක නියමයන් මගින් සිදු වන්නේ විශ්වයේ ඇති රටාවට හා එය ක්‍රියාත්මක වන ධර්මතාවයට ගණිතමය පැහැදිලිකිරීමක් ලබා දීමයි. පසුව, නිරීක්ෂණ සමඟ මෙම ගණිතමය පැහැදිලිකිරීම එකඟද යන්න සොයා බලනවා. එසේ එකඟ නම් පිළිගත හැකි විද්‍යාත්මක නියමයක් බවට එම ගණිතමය පැහැදිලි කිරීම සලකනු ලබනවා. ඒ වගේම එම නියම තුළින් අනාගත අනාවැකි ඉදිරිපත් කිරීම ලබා දිය හැකි විය යුතුයි. නමුත් නියමය නිශ්චිත නියමයක් වන්නේ නැහැ හේතුව නව නිරීක්ෂණයක් මෙම නියමය අහෝසි කර දමන්න පුළුවන්. ඒ වගේම එම නියමය තුළින් ලබා දුන් අනාවැකි වැරදෙන්න පුළුවන්. නිදසුනක් ලෙස නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය සලකන්න පුළුවන්.

බුද ග්‍රහයා පිලිබඳ කල නිවැරදි නිරීක්ෂණ සැලකීමේදී එහි චලිතය හා ඒ පිළිබඳව නිව්ටන් ගේ නියමය ලබා දෙන අනාවැකි අතර වෙනසක් තිබෙනවා. කෙසේනමුත් මෙම නිරීක්ෂණ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව නිවැරදි ලෙස පැහැදිලි කරන්න පුළුවන්[6]. එනිසා අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය නිව්ටන්ගේ නියමයට සාපේක්ෂව නිවැරදියි යැයි පවසන්න පුළුවන් වුනත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය විශ්වධර්මතාවය පැහැදිලි කරන අවසාන සත්‍ය නියමය යැයි පවසන්න පදනමක් නැහැ. (තවමත් නිව්ටන්ගේ නියමයන් අප භාවිතා කරන්නේ එහි ඇති සරලබව නිසයි)

මෙනිසා කාල් පොපර් නමැති විද්වතා පවසන්නේ විද්‍යාත්මක නිගමනයක් හෝ නියමයක් නිවැරදියි යැයි සනාථ කළ නොහැකි අතර කළ හැක්කේ එම විද්‍යාත්මක ක්‍රමය වැරදි බව සනාථ කිරීමට හැකියාව ඇති බවයි.

එසේනම් සීමිත නිරීක්ෂණ මත පදනම් විද්‍යාත්මක ක්‍රමයකින් විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නැත යැයි පවසන්නේ කෙසේද?

අනුභූතිවාදය (Empiricism)

අනුභූතිවාදය යනු ඉන්ද්‍රියන්ගේ අත්දැකීමෙන් තොරව දැනුමක් ලබා ගත හැකි කිසිම ක්‍රමයක් නොමැත යන ස්ථාවරයි. මේ පිළිබඳව එලියට් සොබර් තම “අනුභූතිවාදය” නම් ලිපියේ මෙසේ පවසනවා:

නිරීක්ෂණය කළ නොහැකි යම් දෙයක් හේතුවාදී ලෙස සත්‍ය යැයි පිළිගැනීම අනුභූතිවාදීන් ප්‍රතික්ෂේප කරනවා. අනුභූතිවාදියෙකුට, යම් වාදයක් තාර්කිකව ස්ථාවරයි නම්, අනුභූති වශෙන් එම වාදය සුදුසුයි යැයි පැවසීමට තිබෙන එකම තොරතුරු මූලාශ්‍රය වන්නේ නිරීක්‍ෂණයන් පමණයි. [7]

මෙම අනුභූතිවාදයේ සීමාවන් හා තාර්කික ගැටළු රාශියක්ද තිබෙනවා. අනුභූතුවාදයේ එක් වර්ගයක් වන්නේ ප්‍රබල අනුභූතිවාදයයි (strong empiricism)එනම් නිරීක්ෂණය කළ හැකි දේවල් පමණක් සත්‍ය බව පිළිගැනීමයි. මෙම ප්‍රබල අනුභූතිවාදය තාර්කික ගැටළු රාශියකට මුහුණ දෙනවා. මෙහි ප්‍රධානම ගැටලුව නම් ප්‍රබල අනුභූතිවාදය නිරීක්ෂණය කළ හැකි දේවල් මත පදනම් වීමෙන් පමණක් තීරණය වලට එළඹෙන අතර නිරීක්ෂණය කළ නොහැකි දේවල් පිළිබඳව තීරණ වලට එළඹීමට නොහැකි වීමයි. එලියට් සොබර් මෙම ගැටලුව පහත ආකාරයට පැහැදිලි කරනවා:

අනුභූතිවාදීන් ප්‍රත්‍යක්ෂඥානය පිලිබඳ වූ දර්ශනය සම්බන්ධ ගැටළුවලට පිළිතුරු දිය යුතු වෙනවා. යමක් දැකීමට නම් දෘශ්‍ය අත්දැකීම ලබා දෙන අනදමට එම වස්තුවේ සිට ආලෝකය ඇසට පැමිණිය යුතුයි යන ප්‍රකාශයට පළමු ප්‍රහාරය එල්ල වෙනවා. කෙසේනමුත් හිමකුණාටුවක් තුළ සිටින බළලෙක් දැකිය නොහැකි වීම හා කැලිසේයාව දැකීම පෙන්වා දෙන්නේ මෙය අවශ්‍ය වන්නේ නැති බව හා ප්‍රමාණවත් නොමැති බවයි. [8]

සොබර්ගේ උදාහරණය ගැන අප තවත් සාකච්චා කරමු. ගෙදරින් පිටවී හිමකුණාටුවක් දෙසට ගමන් කරන සුදු බළලෙක් ඔබ දකිනවා යැයි මදකට සිතන්න. හිමකුණාටුව තුළට යන තෙක් ඔබට බලළාව දැක ගන්න පුළුවන්. හිමකුණාටුව තුළට බළලා ගිය පසු ඔබට බලලාව දැකගන්න පුළුවන්කමක් නැහැ. ප්‍රබල අනුභූතිවාදියෙක් ස්ථාවරය වන්නේ හිමකුණාටුව තුළ බළලා සිටිනවා යන්න ප්‍රතික්ෂේප කිරීමයි. එසේත් නොමැතිනම් බළලා සම්බන්ධ දැනුමක් ඔහුට නැහැ යැයි පැවසීමයි. කෙසේනමුත් බුද්ධිමත්ව කල්පනා කරන්නෙක් හිමකුණාටුව තුළ බළලා සිටින බව දකින්න හැකි වුනත් නොහැකි වුනත් විචාරශීලිව කල්පනා කරමින් හිමකුණාටුව තුළ බළලා සිටින බව තීරණය කරනවා. මෙසේ කරන්නා හේතුවාදියෙක් ලෙස හඳුන්වනු ලබනවා. හිමකුනාටුව තුළ මෙම සුදු බළලා සිටිනවා නොපෙනුනත් එහි මෙම බළලා නැත යැයි පැවසීම නිවැරදි වන්නේ නැහැ.

ප්‍රබල අනුභූතිවාදයේ  තිබෙන ගැටලුව අනුභූතිවාදීන් නොදන්නවා නොවේ. එනිසා මෙම ගැටලුවට ඔවුන් පිළිතුරු දීමට උත්සහදරා තිබෙනවා. ඔව්න් ගත් එක් ප්‍රවේශයක් නම් අනුභූතිවාදය වෙනත් අකාරයෙන් දුර්වල අර්ථදැක්වීමක් ලබාදීමයි. මෙම අර්ථදැක්වීමට අනුව යම් දෙයක් පිළිබඳව දැනුමක් ලබා ගත හැක්කේ එය ඉන්ද්‍රීය අත්දැකීම් තුළින් තහවුරු කළ හැකි නම් හෝ එයට ඉන්ද්‍රීය අත්දැකීම් උදව්වෙනවා(ඍජු නොවන නිරීක්ෂණ) නම් පමණි (we can only know something if it is confirmed or supported by sensory experience). මෙය දුර්වල අනුභූතිවාදය ලෙස හඳුන්වනු ලබනවා. කෙසේනමුත් අනෙකුත් අනුභූතිවාදීන් ප්‍රබල අනුභූතිවාය පිළිගන්නා අතර ඔවුන් පවසන්නේ යමක් පිලිබඳ දැනුමක් ලබා ගත හැක්කේ ඍජු නිරීක්ෂණ මගින් පමණක් බවත් ඉන්ද්‍රීය අත්දැකීම් උදව්වෙන් (ඍජු නොවන නිරීක්ෂණ) යමක් පිලිබඳ දැනුමක් ලබා ගැනීම සුදුසු ක්‍රමයක් නොවන බවයි.

ජෝන් කොටින්හැම් නම් දාර්ශනිකයා Rationalism (හේතුවාදය) නමැති පොතේ මේ පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කරනවා:

“දෙන ලද වායුගෝල පීඩනයකදී සෙල්සියස් අංශක 100දි සියුම ජලය නටනවා” යන ප්‍රකාශය කෙබඳුද? මෙම ප්‍රකාශය අසීමිත ගෝලීය සාමාන්‍යයීකරණයකින් යුත් ව්‍යුහයක් දරන නිසා යම් සීමිත නිරීක්ෂණ වලට ඒකාන්ත වශයෙන් සත්‍ය ස්ථාපිත කරන්න පුළුවන් වන්නේ නැති බව තීන්දු වෙනවා. ඇතැම්විට තවදුරටත් ගැටලුසහගත තවත් ප්‍රශ්නයක් වන්නේ විද්‍යාවේ ඉහල මට්ටම් වලට ලඟා වන විට මොනම අකාරයකින්වත් ඍජු ලෙස නිරීක්ෂණය කළ නොහැකි සැකසුම් හා වස්තූන් පිළිබඳව කටයුතු කිරීමට අපි පෙළඹීමයි. පරමාණු, ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන  යනාදිය සංකීර්ණ සිද්ධාන්තමය නිමවීම්ය. මෙහිදී අප ඍජු “අනුභූතික නිරීක්ෂණ” යන ස්ථාවරයෙන් ඉතා දුරින් සිටින බව පෙනෙනවා. මෙම ගැටලුවට ප්‍රත්‍යක්ෂවාදීන් (positivists) පිළිතුරු දීමට නැඹුරු වී තිබෙන්නේ නිර්වචනය සඳහා වූ නිර්ණායක දුර්වල කිරීමෙන්ය. “ප්‍රකාශයක් අර්ථවත් වන්නේ එම ප්‍රකාශය ඉන්ද්‍රීය අත්දැකීම් තුළින් තහවුරු කළ හැකි නම් හෝ එයට ඉන්ද්‍රීය අත්දැකීම් උදව්වෙනවානම් පමණි. කෙසේනමුත් මෙම දුර්වල නිර්ණායක ඇත්තෙන්ම පැහැදිලි නැහැ…. දෙවි පිලිබඳ ප්‍රකාශ, නිදහස පිලිබඳ ප්‍රකාශ, ද්‍රව්‍යයන්ගේ ස්වභාවය, පරම දේ(Absolute) යන්න අත්දැකීමෙන් ඍජු ලෙස පරික්ෂා කරන්න හැකියාවක් නොතිබෙන්න පුළුවන්. එනිසා ප්‍රත්‍යක්ෂවාදීන් (positivists) බරපතල උභතෝකෝටිය තත්වයකට මුහුණු දීමට සිදු වන බව පෙනෙනවා. සෑම සාමාන්‍යයීකරණයක්ම (generalizations) හා විද්‍යාව පිලිබඳ සියලු සිද්ධාන්තමය ප්‍රකාශ බැහැර කරන අන්දමට තම නිර්ණායකයන් ප්‍රබල කිරීම හෝ පාරභෞතික දේවල් පිළිබඳවද අනුමාන කල හැකි අන්දමට තම නිර්ණායක ලිහිල් කරන්න ඔවුන්ට (ප්‍රත්‍යක්ෂවාදීන්ට) සිදු වෙනවා. මෙම උභතෝකෝටිය තත්වය අදටත් විසඳී නැහැ [9]

දුර්වල අනුභූතිවාදය අනුව බැලීමේදී එම ස්ථාවරය විශ්වයට නිර්මාණකරුවෙකු නැහැ යැයි පැවසීමට භාවිත කරන්න පුළුවන් වන්නේ නැහැ. දුර්වල අනුභූතිවාදයට අනුව ඇත්තෙන්ම සිදු වන්නේ විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු සිටිනවා යැයි තහවුරු වීමයි. මෙම විශ්වයේ තිබෙන ඉස්තරම් සැලැස්ම, අනුපිලිවෙල හා සූක්ෂමභාවය දෙස බලා මේ දේවල් ඉබේ බිහිවිය නොහැකි නිසා මෙම විශ්වය නිර්මාණය කළ නිර්මාණකරුවෙකු සිටින බව අපට තීරණය කරන්න පුළුවන්. නමුත් කෙනෙක් ප්‍රබල අනුභූතිවාදය පිළිගන්නේ නම් ඔහුට දෙවියන් සිටිනවාද? නොසිටිනවාද? යන ප්‍රශ්න හමුවේ නිශ්ශබ්දව සිටීමද සිදු වෙනවා. මෙයට හේතුව ප්‍රබල අනුභූතිවාදයට අනුව දැනුමක් සඳහා ඍජු නිරීක්ෂණ අවශ්‍ය වීමත් ඕනෑම මොහොතක අපට යම් දෙයකට අදාළ නිරීක්ෂණ සියල්ලම ලබා ගත නොහැකි වීමයි.

සත්‍ය සෙවීමට ඇති එකම ක්‍රමය විද්‍යාත්මක ක්‍රමයද?

විද්‍යාවාදය (Scientism)

සත්‍ය සෙවීමට ඇති එකම ක්‍රමය විද්‍යාවයි යැයි විශ්වාසකිරීම “විද්‍යාවාදයයි”. මෙම වාක්‍ය බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම තේරුම්ගත හැකි කරුණක් නම් “සත්‍ය සෙවීමට ඇති එකම ක්‍රමය විද්‍යාවයි” යන ප්‍රකාශය විද්‍යාත්මක ප්‍රකාශයක් නොවන බවයි. එනම් “විද්‍යාවාදය” තමාවම පරාජය කරන ස්ථාවරයක්. තවත් අකාරයකින් කියනවා නම් “විද්‍යාවාදය” ස්වයං පරස්පරවිරෝධි ස්ථාවරයක්. මින් අපට නිගමනය කළ හැක්කේ  සත්‍ය සෙවීමට ඇති එකම ක්‍රමය විද්‍යාව යැයි අපට තීරණය කළ නොහැකි බවයි.

මීට අමතරව විද්‍යාවට පිටතින් ඇති සත්‍යතාවයන්ද තිබෙනවා. (මේවාගෙන් කිහිපයක් දෙස අවධානය යොමු කරමු)

  1. ගණිතමය හා තාර්කික සත්‍යතාවයන්
  2. සදාචාරාත්මක සත්‍යතාවන්
  3. වාචික සාක්ෂිය (Testimony)

1. ගණිතමය හා තාර්කික සත්‍යතාවයන්

2+2 = 4 යන්න අනිවාර්යයෙන්ම සත්‍ය විය යුතු ප්‍රකාශයක්. මෙයට විද්‍යාත්මක පදනමක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම P යන ප්‍රකාශය සත්‍ය නම් Q නමැති ප්‍රකාශය සත්‍ය වන්නේ යැයි සිතමු. එනිසා P යන ප්‍රකාශය සත්‍ය යැයි පැවසීම තුලින් Q යන ප්‍රකාශය ඉබේම සත්‍ය වෙනවා (If P, then Q. P. Therefore, Q) මෙයටත් විද්‍යාත්මක පදනමක්  අවශ්‍ය වන්නේ නැහැ.

2. සදාචාරාත්මක සත්‍යතාවන්

“සොරකම් කිරීම වැරදියි” යැයි පැවසීම සත්‍ය බවත් “වැඩිහිටියන්ට සැලකීම හොඳ දෙයක්” ලෙස පැවසීම සත්‍ය බවත් අප දන්නවා. නමුත් මෙයට විද්‍යාත්මක පදනමක් අවශ්‍ය වන්නේ නැහැ. මේ වගේම ආදරය, ලස්සන යනාදියටද විද්‍යාත්මක පදනමක් ලබා දෙන්න පුළුවන් වන්නේ නැහැ.

3. වාචික සාක්ෂිය (Testimony)

කෙනෙකුගේ මව ඔහු තමාගේ සැබෑ මව ලෙස පිළිගන්නේ වාචික සාක්ෂි මතයි. මේ සඳහා අප විද්‍යාත්මක පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. මේ පමණක් නොවේ අප බොහෝ දේවල් පිලිබඳව ඇත්තෙන්ම දැනුම ලබා ගන්නේ වාචික සාක්ෂි (Testimony) තුලිනුයි. දාර්ශනික මාතෘකාවක් වන ඥාන විභාගය නමැති අංශයට අනුව වාචික සාක්ෂි (Testimony) යනු දැනුම ලබා ගන්නා එක් මාධ්‍යයක්. “වෙනත් කෙනෙකුගේ වාචික ප්‍රකාශ වලින් දැනුම ලබා ගැනීම හා සාධාරණ විශ්වාස ගොඩ නගා ගන්නේ කෙසෙද හඳුනා මෙහිදී සැලකෙනවා” [10]

විද්‍යාත්මක කරුණක් පවා අප පිළිගන්නේ ඒ පිලිබඳ පරීක්ෂණ අප විසින්ම සිදු කිරීමකින් තොරවයි. අපි ඍජු ලෙසම විද්‍යාඥයින්ගේ වාචික සාක්ෂිය මත මෙම විද්‍යාත්මක කරුණු ඉගෙන ගන්නවා. ඇතැම්විට විද්‍යාඥයින්ටද වෙනත් විද්‍යාඥයින්ගේ වාචික සාක්ෂි මත පදනම් වී තම විද්‍යාත්මක පරීක්ෂණ කරගෙන යෑමට සිදුවෙනවා. වාචික සාක්ෂි (Testimony) මත අප පිළිගන්න සත්‍යයන් පිළිබඳව මහාචාර්ය C. A. J. Coady පෙන්වා දෙනවා.  “අපගෙන් බහුතරයක් දරුවෙකු ප්‍රසූත කරනවා දැකලා නැහැ, ඒ වගේම අපගේ රුධිර සංසරණය පරික්ෂා කරලත් නැහැ” යැයි ඔහු පවසනවා. [11]

වාචික සාක්ෂි (Testimony) නමැති විෂය පිළිබඳව තවත් සාකච්චා කළ හැකි නමුත් ඉහත ඇති සංක්ෂිප්ත විස්තරය මෙම ලිපියට ප්‍රමාණවත් වන බව ඔබට තේරුම් ගන්න පුළුවන්.

විද්‍යාවට පිළිතුරු දිය නොහැකි “ඇයි” ප්‍රශ්නය

සර් ෆ්‍රැන්සිස් විට්ල් විසින් නිර්මාණය කරන ලද ජෙට් එන්ජිම දෙස මදකට අපගේ අවධානය යොමු කරමු. විද්‍යාත්මක නියමයන් මෙම ජෙට් එන්ජිම නිර්මාණය කලාද? නොඑසේනම් බුද්ධිමත් සර් ෆ්‍රැන්සිස් විට්ල් ජෙට් එන්ජිම නිර්මාණය කලාද? විද්‍යාත්මක නියමක් යමක් උත්පාදනය කරන්නේ නැහැ, කරන්නත් බැහැ. ඉන් සිදු වන්නේ මූලික වශයෙන් ක්‍රියාකාරීත්වය ගණිතමය ස්වරූපයකින් පැහැදිලි කිරීමයි. එනම් විද්‍යාත්මක නියමයන් වලට ජෙට් එන්ජිමේ ක්‍රියාකාරීත්වය සිදු වන්නේ “කෙසේද” යන්න  පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ජෙට් එන්ජිම බිහි වුනේ කෙසේද යන්න මෙම නියමයන් වලට පැහැදිලි කරන්න බැහැ. ඒ වගේම විද්‍යාත්මක ජෙට් එන්ජිම ක්‍රියාකාරීත්වය සිදුවන්නේ “ඇයි” කියන ප්‍රශ්නයට පිළිතරු ලබා  දීමට විද්‍යාත්මක නියමයන්ට පුළුවන්. නමුත් ජෙට් එන්ජිම නිර්මාණය කිරීමේ අරමුණ සම්බන්ධ “ඇයි?” ප්‍රශ්නයට පිළිතුරු දීමට විද්‍යාත්මක නියමයන්ට පුළුවන්කමක් නැහැ. එනම් “ජෙට් එන්ජිම නිර්මාණය කරන ලද්දේ ඇයි?” යන ප්‍රශ්නය විද්‍යාවෙන් පිළිතුරු දිය නොහැකි විද්‍යාවෙන් පිට තිබෙන ප්‍රශ්නයක්. කිසිම දෙයක් නොතියෙනවා වෙනුවට යමක් තිබෙන්නේ ඇයි? මේවා විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න බව දැන් ඔබට පැහැදිලියිද?

සාරාංශය

විද්‍යාව නිරීක්ෂණය කළ හැකි දේවල් පිළිබඳව පමණක් කරුණු පැහැදිලිකරන නිසාත් විද්‍යාව තුළ ඉහත සඳහන් කළ තවත් සීමාවන් තිබෙන නිසාත් අඩුම වශයෙන් අප පැමිණිය යුතු නිගමනය විය යුත්තේ “දෙවිකෙනෙක් සිටිනවාද යන ප්‍රශ්නයේදී විද්‍යාව නිහඬ බවයි”.  කෙසේනමුත් විශ්වය නිර්මාණය කළ දෙවි කෙනෙක් සිටිනවා යැයි අපෝහනය කරගැනීමට විද්‍යාව උපකාර කරගන්න පුළුවන්.  විද්‍යාත්මක නියමයන් තුළින් අපට පෙනී යන්නේ මෙම විශ්වය යම්කිසි ධර්මතාවයකට අනුව ක්‍රියා කරන බවයි. මෙම ධර්මතාවය පැහැදිලි කිරීමට උත්සහ දැරීම විද්‍යාව තුළින් සිදු වෙනවා. විශ්වයේ මෙම ධර්මතාවය ඇති වූයේ කෙසේද? විඥාණයක් නොමැතිව මෙවන් ධර්මතාවයක් පවතින්න පුලුවන් කමක් නැහැ. එනිසා මෙම ධර්මතාවය බිහි කළ ඉහළ බුද්ධියක් සිටිනවා යැයි තීරණය කිරීම අතාර්කික නිගමනයක්ද? නොඑසේනම් විචාර බුද්ධියෙන් ගත් නිවැරදි තාර්කික තීරණයක්ද ?

දෙවි ඇති කර ඇති මෙම විශ්වයේ ධර්මතාවය විද්‍යාත්මක පැහැදිලි කිරීම තුලින් දෙවි කෙනෙක් නොමැත යැයි පවසන්නේ කෙසේද? කෙප්ලර්,නිව්ටන් වැනි විද්‍යාඥයෝ විද්‍යාව භාවිතා කළද එතුලින් දෙවි කෙනෙක් නැහැ යැයි පැවසුවේ නැහැ. ඔවුන් විශ්වය නිර්මාණය කළ දෙවි කෙනෙක් සිටින බව පිළිගත්තා.

ආගමක් නොමැති විද්‍යාව අබ්බගාතයකි. විද්‍යාව නොමැති ආගම අන්ධයෙකි. මෙසේ පවසන්නේ සුප්‍රකට විද්‍යාඥ අයින්ස්ටයින්ය.

මූලාශ්‍රයන්:

[1] D. C. Lindberg. Theories of Vision from al-Kindi to Kepler. University of Chicago Press. 1976, pp. 60–7.

[2] Steffens, B., Ibn al-Haytham: first scientist, 2007

[3] http://www.1001inventions.com/

[4] Thomas Arnold. The Preaching of Islam, p. 131.

[5]  Elliot Sober “Empiricism” in The Routledge Companion to Philosophy of Science. Edited by Stathis Psillos and Martin Curd. 2010, pp. 137-138.

[6] Stephen Hawkings, A Briefer History of Time, p. 14

[7] Elliot Sober “Empiricism” in The Routledge Companion to Philosophy of Science. Edited by Stathis Psillos and Martin Curd. 2010, p. 129.

[8] Elliot Sober “Empiricism” in The Routledge Companion to Philosophy of Science. Edited by Stathis Psillos and Martin Curd. 2010, p. 131.

[9] John Cottingham. Rationalism. Paladin. 1984, pp. 109 -110.

[10] Benjamin McMyler. Testimony, Truth and Authority. Oxford University Press. 2011. p. 3.

[11] C. A. J. Coady. Testimony: A Philosophical Study. Oxford University Press. 1992, p. 82.

Share Button