දේවත්වය පිළිබඳ ආගමික ග්‍රන්ථ ඉදිරිපත් කරන මතයන්

ලොව තිබෙන ප්‍රධාන ආගම් අතුරින් කිතුනු දහම, ඉස්ලාම් දහම, යුදෙව් දහම, හින්දු දහම ප්‍රමුක ස්ථානයක් ගනී. මෙම දහම් අතර විවිධ වෙනස් කම් තිබුණද යම් යම් මූලික කරුණු වල එකඟතාවයක් ඇත. දේව විශ්වාසය පිලිබඳ මෙම දහම් දරන මතයන් සුපරික්ෂාකාරීව බැලීමේදී මෙම දහම් සියල්ල මූලික දේව විශ්වාසය පිලිබඳව එකම මතයක සිටින බව අපට තීරණය කළ හැක. මෙයට හේතුව පහත කුර්ආන් වැකි තුළින් අපට තේරුම් ගත හැක.

“අල්ලාහ් නමදිනු. තවද ‘තාඝුත්’ (අල්ලාහ් විසින් පහළ කළ මඟ පෙන්වීමට එරෙහි බලවේග) පිළිවෙතින් වැළකී සිටිනු’යි ප්‍රකාශ කරන රසුල් වරයෙකු (ධර්ම දූතයෙකු) සියලු ජන සමාජයන් වෙත නියත වශයෙන්ම අපි යැවීමු. එවිට ඔවුන්ගෙන් සමහරුන්ට අල්ලාහ් මඟ පෙන්වීය. ඔවුන්ගෙන් ඇතමෙකුට නොමඟ යෑම තහවුරු විය. ඒ නිසා මිහිතලයෙහි සැරිසරනු. (රසූල්වරුන්) බොරු යැ’යි කී අයගේ අවසානය කෙසේ වී දැයි බලනු”. (අල් කුර්ආන් 16 : 36)

“සෑම ‘උම්මතයකටම’ (ජන සමාජයකටම) රසුල් වරයෙකු (පැමිණ) සිටියේය”. (අල් කුර්ආන් 10 : 47 )

ඉහත අල් කුර්ආන් වැකි අනුව සෑම ජනසමුහයකටම විශ්වයේ අධිපති සත්‍යය දෙවිඳුන්ගේ නිවැරදි මඟ පෙන්වීම ලබා දීම පිණිස ධර්ම දුතයින් එවූ බව අපට උගන්වයි.  මෙම කරුණු සිත්හි දරාගෙන විවිධ දහම් හි දේව සංකල්පයන් විමසා බලමු.

ඉස්ලාම් දහම

“සැබවින් ම ඔහු(අල්ලාහ්) හැර අන් දෙවියෙකු නොමැති බවට අල්ලාහ් ද මලක්වරු ද සත්‍යයෙන් හා යුක්තියෙන් යුතු දැනුමෙන් පිරිපුන් අය ද සාක්ෂි දරති. සර්ව බලධාරී සර්ව ඥානී වූ අල්ලාහ් හැර අන් දෙවි කෙනෙකු නොමැත”. (අල් කුර්ආන් 3 : 18)

හින්දු දහම

හින්දු දහමේ මුලාශ්‍රයන් අතුරින් පිළිගැනීමට ලක් වී ඇති වැදගත්ම මුලාශ්‍ර පහත සඳහන් අයුරින් අනු පිළිවෙලින් දැක්විය හැක.

  1. වේද
  2. උපනිෂද්
  3. ඉතිහාස්
  4. බගවත් ගීතා
  5. පුරාණා

මෙම මූලාශ්‍ර වල දේවත්වය පිළිබඳව සඳහන් කරුණු දෙස අවධානය යොමු කරමු.

  • “ඒකම් ඉවද්විතියම්” (චන්දෝග්‍ය උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – දෙවන කොටස – පළමුවන වැකිය) අර්ථය: ඔහු (දෙවිඳුන්) ඒකීය ය, දෙවැන්නෙකු නොමැත.
  • “නාකස්යා කෂිජ් ජනිත නා කදිපා” (ශ්වේතශ්වතාර උපනිෂද් – හය වැනි පරිච්ඡේදය – නව වැනි වැකිය) අර්ථය : දෙමව්පියන් හෝ අධිපතියෙකු ඔහුට නොමැත
  • “නා තස්යා ප්‍රතිමා අස්ථි” (ශ්වේතශ්වතාර උපනිෂද් – හතර වන පරිච්ඡේදය – 19 වැනි වැකිය සහ යජුර්වේද – 32 වන පරිච්ඡේදය – තුන් වන වැකිය) අර්ථය : ඔහුට සමාන කිසිවක් නොමැත
  • “නා සම්ද්ර්සේ තිස්තාති රුපම් අස්යා, නා කක්සුසා පස්යාටි කස් කනයිනම්” (ශ්වේතශ්වතාර උපනිෂද් – හතර වන පරිච්ඡේදය – 20 වැනි වැකිය) අර්ථය : ඔහුගේ ස්වරූපය දැකිය නොහැක, කිසිවෙකු ඔහුව දෑසින් නොදකින්නේය
  • “මා චිදන්යද්වි ශන්ෂාටා” (යජුර්වේද – 40 වැනි පරිච්ඡේදය – අට වැනි වැකිය) අර්ථය : ඔහු භෞතික ශරීරයකින් නොයුක්ත හා අති පාරිශුද්ධ ය)
  • “අන්ධාත්මා ප්‍රවිශාන්ති යේ අසම්භූති මුපස්තේ” (යජුර්වේද – 40 වැනි පරිච්ඡේදය – නව වැනි වැකිය) අර්ථය : භෞතික දෑ නමදින්නන් අන්ධකාරය වෙත පිවිසෙති
  • “දෙව් මහා ඕසි” (අතර්වේද – 20 වැනි ග්‍රන්ථය – 58 වැනි පරිච්ඡේදය – තුන් වැනි වැකිය) අර්ථය : “දෙවිඳුන් අති උතුම්ය

එනම් හින්දු දහමේ අති වැදගත් මුලාශ්‍ර අනුව ඔවුන්ගේ ආගමික විශ්වාසය ඒකදේවත්වය මත පදනම් වූවක් බව පැහැදිලි වන්නේය. අවාසනාවට පසු කාලීන පිරිහීම් හේතුවෙන් ඔවුන් තිස්තුන් කෝටියක් දෙවි වරුන් නමදින්නන් බවට පත් ව ඇත. ඔවුන්ගේ එක් විශ්වාසයක් අනුව සියල්ල දෙවිඳුන්ය.

සමයාන්තර අධ්‍යයනයේ මුලාරම්භකයා ලෙස සැලකෙන මහාචාර්ය මැක්ස් මුලර් ඔහුගේ “History of Sanskrit Literature” නම් ග්‍රන්ථයේ විග්‍රහ කරන අන්දමට හින්දු දහමේ (බ්‍රාහ්මණ දහම) මුලාරම්භක ඉගැන්වීම් ඒකදේවත්වය මත පදනම් වුවක් වන අතර පසු කාලීන ආධ්‍යාත්මික පිරිහීම් හේතුවෙන් බහුදේවත්වය හින්දු දහමට අවතීර්ණ වූ බවය.

යුදෙව් හා කිතුනු දහම්

මෝසෙස් (මුසා) ධර්ම දුතයාණන් වෙත දෙවිඳුන් විසින් පහළ කර ලද ‘තෞරාත්’ මාර්ගෝපදේශයේ අන්තර්ගත යැ’යි සඳහන් වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න, අපේ සමිඳාණන් වහන්සේ ම පමණක් දෙවියන් වහන්සේ වන සේක. දෙවි සමිඳාණන් වහන්සේට ඔබේ මුළු ආත්මයෙන් ද ඔබේ මුළු වීර්යයෙන් ද ප්‍රේම කළ යුතුය”. (බයිබලය – පැරණි ගිවිසුම – ද්විතීය නීති සංග්‍රහය – 6 : 4 – 5)

“ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතුය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතුය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතුය. ඔබ අවට සිටින සෙනඟගේ අනිකුත් දෙවි දේවතාවන්ට ඔබ නමස්කාර නොකළ යුතුය”. (බයිබලය – පැරණි ගිවිසුම – ද්විතීය නීති සංග්‍රහය – 6 : 13 – 14)

ඊසා ධර්ම දුතයාණන් වෙත දෙවිඳුන් විසින් පහළ කරන ලද ‘ඉන්ජීල්’ මාර්ගෝපදේශයේ අන්තර්ගත යැ’යි සඳහන් වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන් වහන්සේ සමඟ විවාද කරනු අසා උන් වහන්සේ ඔවුන්ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක ‘සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥා ව කිමෙක්දැ’යි  උන් වහන්සේගෙන් ප්‍රශ්න කළේය. ජේසුස් වහන්සේ උත්තර දෙමින් ‘ශ්‍රේෂ්ඨතම ආඥා ව මේය, ඉශ්රායෙල් වැසියෙනි, අසන්න, අපේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න” (ශුද්ධාවර මාක් 12 : 28 – 30)

සාරාංශය

ඉහතින් ඉතා සංක්ෂිප්තව ඉදිරිපත් කරන ලද ආගමික ඉගැන්වීම් සියල්ල අපට හඬ නගා පවසන්නේ මෙම දහම් සියල්ලේ දේව විශ්වාසය ඒකදේවත්වය මත පදනම් වුවක් බවය. පසු කාලීනව සිදු වූ ආධ්‍යාත්මික පිරිහීමත් සමග පිරිසිදු ඒකදේවත්වය සමග විවිධ බහුදේවවාදී මතයන් ඈඳා ගැනීමත් සමග මිනිසා වැරදි විශ්වාසයන් වෙත යොමු වී ඇත.

Share Button