පරිණාමවාදය – දාර්ශනික, ඉස්‌ලාමීය හා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන්

අද සිටින විවිධ ජීවීන් දෙස බැලීමේදී අපගේ මනසට නැඟෙන ප්‍රශ්නය වනුයේ “මෙම ජෛව විවිධත්වය ඇති වූයේ කෙසේද?” යන්නයි. මෙයට හේතුව පරිණාමය බව ඇතැමුන් පවසනවා.

පරිසරයේ ජීවත් වන ජීවින්ගෙන් ඇතිවෙන පසු පරම්පරාවේ වෙනස් වූ ලක්ෂණ සහිත පැටවුන්(ජීවින්) ඇතිවන බවත් මෙම නව පරම්පාරාවෙන් පරිසරයට ගැලපෙන ලක්ෂණ සහිත ජීවින් ස්වභාවය විසින් තෝරාගනු ලබන බවත් (ස්වභාවික වරණය) පරිණාමවාදය අපට කියා දෙනවා. මෙම පරිණාමය ක්ෂුද්‍ර පරිණාමය (Micro Evolution) ලෙස හඳුන්වන්න පුළුවන්. ක්ෂුද්‍ර පරිණාමය පදනම් කරගෙන ගොඩනැගු තවත් සංකල්පයක් වනුයේ මහා පරිණාමයයි (Macro Evolution). එනම් ප්‍රථමව ඒක සෛලික ජීවියෙක් හටගත් අතර මිනිසා ඇතුළුව අද සිටින සෑම ජීවියෙකුම අද සිටින තත්වයට පැමිණ ඇත්තේ වසර ගණනාවකට පෙර සිටි මෙම ඒක සෛලික ජීවියා පරිණාමය වීමෙන් බව මහා පරිණාමවාදය පවසනවා. එනම් මෙම මුල් ඒක සෛලික ජීවියාගේ සිට අද සිටින මිනිසා දක්වා අනන්ත ප්‍රමාණයක්(අති විශාල ප්‍රමාණයක්) අතරමැදි ජීවී විශේෂ ජීවත් වී තිබෙන බව මහා පරිණාමයෙන් පැවසෙනවා.

පරිණාමවාදය හා විද්‍යාවේ දර්ශනය

පරිණාමවාදය උපයෝගී කරගෙන විවිධ නිගමනවලට එළඹීමට ප්‍රථමව විද්‍යාව යනු කුමක්ද යන්න අප දැනගෙන සිටිය යුතුයි. ඒ වගේම විද්‍යාවේ සීමාවන් ගැනද අප දැන ගෙන සිටිය යුතුයි. මේ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට විද්‍යාව, විද්‍යාවේ දර්ශනය හා සීමාව ගැන කරුණු ඉදිරිපත් වන ලිපිය කියවන්න.

විද්‍යාව හා එහි සීමාවන් පිළිබඳව දන්නේ නම් විද්‍යාත්මක ප්‍රකාශ උද්ගමනය මත පදනම් වී ඇති බව අපට තේරුම් ගන්න පුළුවන්. එනම් විද්‍යාත්මක ප්‍රකාශ බොහෝ විට නිශ්චිත දැනුමක් අපට ලබා දෙන්නේ නැහැ. විද්‍යාත්මක වාදයක් වන පරිණාමවාදයද ගොඩනැගී ඇත්තේ උද්ගමනය පදනම් කරගෙනයි. එනිසා උපකල්පන මත පදනම් කරගනිමින් නිරීක්ෂණ වලට ගැලපෙන පැහැදිලිකිරීමක් පරිණාමවාදය තුළින් ලබා දීමට හැකි වුණත් එම පැහැදිලිකිරීම්  නිශ්චිත දැනුමක් අපට ඉදිරිපත් කරන්නේ නැහැ.

ඒ වගේම විද්‍යාත්මක ප්‍රකාශයක් 100% සත්‍ය ලෙස පිළිගැනීමට නම් එය පරීක්ෂාවට ලක් කළ හැකි විය යුතු අතර පරීක්ෂාවට ලක් විය යුතුයි. නමුත් පරිණාමවාදය හා සම්බන්ධ බොහෝ ප්‍රකාශ ඉදිරිපත් වී ඇත්තේ මෙවන් ප්‍රමාණවත් පර්යේෂණ වලින් තොරවයි.

පරිණාමවාදය පිලිබඳ විවාදයේ අපට දැකිය හැකි විශේෂ කරුණ වන්නේ විදාත්මක ක්‍රමය මත පරිණාමවාදය පිලිගන්නවා යැයි පවසන බහුතරයක් ඇත්තෙන්ම පරිණාමවාදය පිලිබඳ විශ්වාසය ගොඩ නගා ඇත්තේ අනෙකුත් අයගේ වාචික සාක්ෂිය (testimony) පදනම් කරගෙනයි. උදාහරණයක් ලෙස පාසල් ගුරුවරු, පොත් පත් යනාදිය සලකන්න පුළුවන්. මොවුන්ද ඇතැම් විට පරිණාමවාදය පිළිබඳව විශ්වාසය ගොඩනගාගෙන ඇත්තේ තවත් කෙනෙකුගේ  වාචික සාක්ෂිය මත වෙන්න පුළුවන්. එනම් බහුතරයක් පරිණාමවාදය පිළිගන්නේ ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමෙන් හා ඒ පිළිබඳව ගවේෂණය කිරීමකින් නොවේ. මෙය එක්තරා විදිහක පූජකභාවයක් – විද්‍යාත්මක පූජකභාවයක්. එනම් පූජකයෙකු පැවසූ පමණින් ඇතැමුන් එම දෙය එලෙසම පිළිගන්නා මෙන් විද්‍යාව පවසනවා යැයි සිතමින් කිසිම ගවේෂණයකින්, පරීක්ෂණයකින් තොරව යමක් සත්‍ය බව විශ්වාස කිරීම මෙහිදී සිදු වෙනවා. කෙසේනමුත් මිනිසුන් යනු වැරදි සිදු කළ හැකි පුද්ගලයින් බව අප අමතක නොකළ යුතුයි. විද්‍යාවේ ඉතිහාසය දෙස බැලීමේදී විද්‍යාඥයින් විසින් කළ ලද මෙවන් බොහෝ වැරදි අපට දැක ගන්න පුළුවන්. විද්‍යාත්මක නිවැරදිතාවය මැනීමට උපයෝගී කරන විද්‍යාත්මක සම්මතියද වැරදුනු අවස්ථා ඉතිහාසයේ අපට දැක ගන්න පුළුවන්.

දාර්ශනිකව සැලකීමේදී යමක් අහම්බෙන් ඉබේ හට ගත්තා යැයි පැවසීම පිළිගත හැකි කරුණක් නොවේ. එනිසා ජීවය සම්භාවය වූයේ ඉබේම, අහම්බෙන් යන මතය ප්‍රතික්ෂේප වී යනවා.

මීට අමතරව පරිණාමවාදයේ දර්ශන පිළිබඳව නොයෙකුත් විවාද මෙම අංශයේ විද්වතුන් අතර තවමත් දැක ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස පරිණාමීය ජීව විද්‍යාවේ සංකල්පමය ගැටළු යන වෙළුමේ මෙසේ සඳහන් වෙනවා: “පරිණාමීය ජීව විද්‍යාව යනු ජීවමාන හා වර්ධනය වෙමින් පවතින විෂයකි. පරිණාමීය ජීව විද්‍යාව පිලිබඳ දර්ශනවේදයද මීට සමානය. විෂයක් වර්ධනය වනවා යැයි පැවසීමට එක් සලකුණක් වන්නේ එම විෂය සම්බන්ධව විවෘත ප්‍රශ්න තිබීමත්, ඒවාට තවමත් තරඟකරමින් සිටින බහුවිධ පිළිතුරු තිබීමත්ය”[1]

ඉහත කරුණු වලට අනුව පෙනී යන්නේ පරිණාමවාදය තුළින් නිශ්චිත දැනුමක් ඉදිරිපත් වනවා යැයි පිළිගැනීම නිවැරදි නොවන බවයි.

පරිණාමවාදය පිලිබඳ ඉස්ලාමීය ස්ථාවරය

ඉස්ලාමය හැමවිටම විද්‍යාව අගය කරන අතර මෙම විශ්වය පිලිබඳ ගවේෂණය කරන මෙන් සැම විටම මිනිසාට අරාධනා කරනවා. මෙම ගවේෂණය සඳහා විද්‍යාව උපකාර වුණද විද්‍යාව යනු සීමා වලින් යුක්ත ක්‍රමවේදයක්. ඒවගේම බොහෝ විද්‍යාත්මක ප්‍රකාශ තුළින් නිශ්චිත දැනුමක් අපට ලබා ගන්න බැහැ. කෙසේනමුත් විද්‍යාව මෙන් නොව දෙවිඳුන් විසින් අනාවරණය වූ පණිවුඩය තුළින් නිශ්චිත දැනුමක් අපට ලබා ගන්න පුළුවන්. දේව පණිවුඩය නිශ්චිත දැනුමක් ලබා දෙන බව විද්‍යාවේ දර්ශනය උපයෝගී නොකර අපෝහනීය ක්‍රමයෙන් තහවුරු කරන්න පුළුවන්. මේ සඳහා “අල් කුර්ආනයේ කතෘ දෙවියන්(අල්ලාහ්) බව පිළිගැනීමට හේතුව” නම් ලිපිය කියවන්න. එනිසා විද්‍යාව හා ඉස්ලාමීය දහම අතර ගැලපීමක් සිදුකරන වන විට හා ඒ දෙක අතර එවන් ගැලපීමක් කළ නොහැකි ආකාරයේ වෙනස්කම් තිබෙනවා නම් සැම විටම දේව අනාවරණයට ප්‍රමුකස්තානය හිමි වෙනවා. එනිසා මෙම විෂයේදීද මුල් තැන දෙනු ලැබෙනුයේ දෙවිඳුන් විසින් අනාවරණය වූ අල් කුර්ආනයට හා මුහම්මද් තුමාගේ ඥානයටයි. මේ අනුව පරිණාමවාදය පිලිබඳ නිවැරදි ස්ථාවරයක් අපට ගොඩනගා ගන්න පුළුවන්.

ඉබේ බිහි විය හැකියි යන මතය ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. ඉස්ලාමය පවසන්නේ ජීවය දෙවිඳුන්ගේ මැදිහත්වීමෙන් සම්භවය වූ බවයි. ජීවීන්ගේ බිහි වීම පිළිබඳව පවසන කුර්ආන් වැකියක් දෙස අවධානය යොමු කරමු.

අහස් හා පොළොව එකට බද්ධව පැවතුණු බවත් අපි ඒදෙක ම වෙන් කළ බවත් දිවි ඇති සෑම දෙයක් ම අපි ජලයෙන් නිර්මාණය කළ බවත් (අප) ප්‍රතික්ෂේප කරන්නෝ සිතා බැලිය යුතු නොවේ ද? ඔවුහු විශ්වාස කළ යුතු නොවේ ද? [අල් කුර්ආනය 31:30]

මේ වැකියට අනුව, ජලයෙන් යම් මුල් ජීවියෙක් (ඒක සෛලික ජීවියෙක්) බිහිවී මෙම ජීවියා ක්ෂුද්‍ර පරිණාමයකටත්, පසුව මහා පරිණාමයටත් ලක් වී අද සිටින සෑම ජීවියෙකුම බිහි වී තිබෙන බව තීරණය කිරීමට පුළුවන්, නොඑසේනම් සෑම ජීවී විශේෂයකම මුල් ජීවීන් ජලයෙන් නිර්මාණය වී තිබෙන අතර ඔවුන් තුළ ක්ෂුද්‍ර පරිණාමය සිදු වන බව තීරණය කිරීමටත් පුළුවන්. කෙසේනමුත් මිනිසා යන ජීව නිර්මාණය මහා පරිණාමයක් තුළින් බිහි වී නොමැති බව අල් කුර්ආනයේ පැහැදිලිවම සඳහන් වෙනවා. සෑම ජීවියෙකුම ජලයෙන් නිර්මාණය වුණා යන ප්‍රකාශයට මෙය පරස්පර විරෝධී නැහැ. මෙහි අදහස මිනිස්නිර්මාණයටත් යම් ආකාරයෙන් ජලය භාවිතා වී ඇති බවයි.  මිනිසා යන ජීවියා තුළ ක්ෂුද්‍ර පරිණාමයක් සිදු වීම තුළින් විවිධ ජාතීන් බිහි වී ඇති බවත් අල් කුර්ආනයේ සඳහන්.

“ඉබ්ලීස්, මාගේ දෑතින් නිර්මාණය කළ දැයට (ආදම්ට) නුඹ යටහත් පහත් වීමෙන් නුඹ වැළැක්වූයේ කුමක් ද? නුඹ උඩඟු වූයෙහි ද? නැතහොත් උත්තරීතර කෙනෙක් වූයෙහි දැ”යි (දෙවියන්) ඇසීය. [අල් කුර්ආනය 38 : 75]

මිනිසුනි, අපි නුඹලා පුරුෂයෙකුගෙන් හා ස්ත්‍රීයකුගෙන් නිර්මාණය කළෙමු. නුඹලා එකිනෙකා දැන ගනු පිණිස අපි නුඹලා ජාතීන් හා ගෝත්‍රිකයින් කළෙමු. අල්ලාහ් හමුවේ නුඹලාගෙන් ඉතා ගෞරවනීය වන්නේ (දෙවියන්ට) අධික ව බිය බැතිමත් වන්නා ය. අල්ලාහ් සර්වඥයෙකිත ප්‍රවීණයෙකි. [අල් කුර්ආනය 49 : 13]

මෙම කරුණු වලට අනුව පරිණාමවාදය සම්බන්ධ පහත ස්ථාවර වලට අපට එළඹෙන්න පුළුවන්.

  1. මිනිසා හැරෙන්න අනෙකුත් සියලුම ජීවීන් ක්ෂුද්‍ර පරිණාමය හා මහා පරිණාමය යන යාන්ත්‍රනය ඔස්සේ බිහි වී තිබෙනවා
  2. මිනිසා ඇතුළු අනෙකුත් සියලුම ජීවීන්ගේ මුල් ජීවී විශේෂය දෙවි විසින් නිර්මාණය කළ අතර එම ජීවින් තුළ ක්ෂුද්‍ර පරිණාමය පමණක් සිදු වෙනවා.

මෙම ස්ථාවර දෙකෙන් කුමන ස්ථාවරය ගත්තද එය ඉස්ලාම් දහමට පටහැනි වන්නේ නැහැ. කෙසේනමුත් විද්‍යාත්මක දත්ත නිවැරදි ලෙස පරිශීලනය කිරීමේදී මහා පරිණාමය සත්‍ය වශයෙන්ම සිදු වූ බවට පිළිගත හැකි නිශ්චිත සාක්ෂි නොමැති නිසාත් නිරීක්ෂණය කළ හැකි සාක්ෂි සනාත කරන්නනේ ක්ෂුද්‍ර පරිමාණය ජීව ලෝකයේ තිබෙන බව නිසාත් ඉස්ලාමය හා පරිණාමය පිලිබඳ වඩාත් නිවැරදි ස්ථාවරය දෙවන ස්ථාවරය බව අපට තීරණය කරන්න පුළුවන්. මේ අනුව බැලීමේදී ඉස්ලාම් දහම පරිණාමය සම්පූර්ණවශයෙන්ම බැහැර නොකරන බව අපට වටහා ගන්න පුළුවන්.

පරිණාමවාදය හා විද්‍යාව

යම් දෙයක් අහම්බෙන් බිහිවිය හැකියි යන්න විද්‍යාව පිලිගන්නේ නැහැ. ඒ වගේම සෛලයක තිබෙන සංකීර්ණතාවය සැලකීමේදී එවන් සෛලයක් ඉබේ බිහි විය නොහැකි බව අපට තීරණය කිරීමට සිදු වෙනවා. සෛලය පමණක් නොව සෛලයේ මූලික ඒකකයක් වන ප්‍රෝටීන සැලකීමේදී ඒවාද අහම්බෙන් බිහි විය නොහැකි තරම් සංකීර්ණයි. එනම් ජීවය අහම්බෙන් බිහි වුණා යැයි පිළිගැනීම විද්‍යාත්මක නැහැ.

ඒ වගේම මහාපරිණාමය සැලකීමේදී එය විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කරන්න බැහැ. එනිසා සැබෑ ලෙසම මහාපරිණාමයක් සිදු වන බව නිරීක්ෂණ තුළින් තහවුරු කරගන්න පුළුවන්කමක් නැහැ. කෙසේනමුත් විවිධ ෆොසිල වාර්තා මහාපරිණාමයක් සිදු වූ බවට සාක්ෂි දරන බව ඇතැමුන් සිතන්න පුළුවන්. මෙහිදී “මහාපරිණාමය” යන උපකල්පනයට ගැලපෙන ලෙස නිරීක්ෂණ යොදා ගෙන තිබුණද ෆොසිල වාර්තා උපයෝගී කර ගනිමින් සැබවින්ම මහාපරිණාමයක් සිදු වී තිබෙන බව අපට නිශ්චිතව පවසන්න බැහැ. ෆොසිල ගැන අධ්‍යයනය කිරීමේදී ඇත්ත වශයෙන්ම සනාත වන්නේ වසර මිලියන ගණනක් ගත වුණත් ජීවීන් තවත් ජීවීන් බවට පත් වී නැති බවයි. අද සිටින ජීවීන් මීට වසර මිලියන ගණනාවකට පෙරත් එලෙසම ජීවත් වී සිටි බව ෆොසිල වාර්තා අපට කියා දෙනවා. ඒ වගේම ෆොසිල වාර්තා වල ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී විශාල ජීවී ප්‍රමාණයක් කුඩා කාලයකදී බිහි වී ඇති බව සොයා ගන්න පුළුවන්. මෙම සිදු වීම කේම්බ්‍රියානු පිපිරීම (Cambrian explosion) ලෙස හඳුන්වනු ලබනවා. මින් පෙනී යන්නේද මහා පරිණාමයක් සිදු වූ බව පිළිගැනීම ඉතා අසීරු බවයි. ඇතැම් අවස්තාවලදී එක් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයක් බිහි වුණා යන මහාපරිණාමය සනාත කරන අතරමැදි ෆොසිල සොයාගනු ලැබූ බව ඇතැම් පරිණාමවාදීන් පැවසුවද එම ෆොසිල ගැන වැඩි දුර අධ්‍යයනය කිරීමේදී ඒවා අතරමැදි ෆොසිල නොව වෙනත් ජීවී විශේෂයකට අයත් ෆොසිල ලෙස සොයා ගෙන තිබෙනවා. ෆොසිල වලට අමතරව ජානමය සමානතා රූපමය සමානතා මහා පරිණාමයක් සිදු වූ බවට සාක්ෂි දරන බවද ඇතැමෙක් සිතන්න පුළුවන්. නමුත් මෙම සාක්ෂීන්ද මහාපරිණාමයක් නිශ්චිත වශයෙන් සිදු වූ බව සනාත කරන්නේ නැහැ.

මීට අමතරව පරිණාමවාදයේ තාර්කිකබව හා පිළිගත හැකි බව  පර්යේෂණාත්මක හා සිද්ධාන්තමය වශයෙන්  ප්‍රශ්න කරන ශාස්ත්‍රීය විද්වතුන් අදටත් අපට දැක ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස සමියුරු ප්‍රතිනිරීක්ෂණය කළ (Bioremediation, Biodiversity and Bioavailability) නම් ජර්නලයේ Wolf-Ekkehard Lönnig, Kurt Stüber, Heinz Saedler and Jeong Hee Kim යන ගවේෂකයන් විසින්  රචිත ‘Biodiversity and Dollo’s Law: To What Extent can the Phenotypic Differences between Misopates orontium and Antirrhinum majus be Bridged by Mutagenesis’ නම් පර්යේෂණ ලිපියේ සයිටෝප්ලාස්මයට, සෛල පටල හා සෛල බිත්ති සඳහා අවශ්‍ය සෑම නව ජානමය ක්‍රියාවන් හා නවීකරණයන් උත්පාදනය කිරීමට විකෘති හා එහි වරණයට පමණක් හැකිද නොහැකිද යන විවාදය තවමත් පවතින බව නිගමනය කර තිබෙනවා [2]

ඒ වගේම ඇතැම් නූතන විද්‍යාඥයින් පවසන්නේ නූඩාවින් වාදයේද ගැටළු තිබෙන බවයි. එනිසා මෙම විද්‍යාඥයින් වෙනත් අකාරයෙන් පරිණාමය පැහැදිලි කරන්න දැන් උත්සහ දරනවා [3][4]. බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වන ඩෙනිස් නොබෙල් පවසන්නේ නූඩාවින් වාදයේ සැලකිය යුතු ප්‍රමාණයේ දෝෂ තිබෙන බව හා එය පරිණාමවාදය නිවැරදි ලෙස පැහැදිලි නොකරන බවයි[5]

කෙසේනමුත් පරිණාමවාදය විද්‍යාත්මක කෝණයෙන් බැලීමේදී විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය කළ හැක්කේ ක්ෂුද්‍ර පරිණාමයයි. ඒ වගේම එම පරීක්ෂණ හා  ඉන් ලැබෙන නිරීක්ෂණ වලට අනුව ඇත්තෙන්ම ක්ෂුද්‍ර පරිණාමය පරිසරයේ සිදු වන බව තහවුරු කර ගන්න පුළුවන්. ක්ෂුද්‍ර පරිණාමය සිදු වන්නේ යම් සීමාවක් තුළයි. එනිසා  ක්ෂුද්‍ර පරිණාමය තුළින් නව ජීවී විශේෂ බිහි වන්නේ නැහැ. මේ පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට  “පරිණාමවාදයේ පරිණාමය හා අතරමං වීම!” නම් ලිපිය කියවන්න.

පරිණාමවාදය හා නිර්මාණන්‍යාය

ජෛව විවිධත්වය, ජීවීන්ගේ සංකීරණ ව්‍යුහය, ක්‍රියාකාරීත්වය, සෛලයේ DNA යනාදී කරුණු දෙස බැලීමේදී මෙම ජීවීන් යම් ආකාරයක ඉහල බුද්ධියක් විසින් යම් කිසි අකාරයකින් නිර්මාණය වී තිබෙන බව තීරණය කිරීමට සිදු වෙනවා. මෙම ජීවින් බිහි වූයේ පරිණාමයෙන් යැයි පැවසුවද පරිණාමය යන ක්‍රියාවලියේ තිබෙන සූක්ෂමභාවය සැලකීමේදී මෙම යාන්ත්‍රනය පාලනය කරන පාලකයෙකු සිටිය යුතු බව අපට තීරණය කිරීමට සිදු වෙනවා. එනම් පරිණාමවාදය කිසිම විටකදී දේව නිර්මාණ න්‍යායට හෝ ඉස්ලාම් දහමට එරෙහිව භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. මේ පිලිබඳ තවත් තොරතුරු “නිර්මාණන්‍යාය ප්‍රතික්ෂේප කිරීමට පරිණාමවාදය භාවිතා කරන්න පුලුවන්ද?” යන ලිපියේ අඩංගුයි.

කෙසේනමුත් මිනිස් නිර්මාණය සිදු වී ඇත්තේ පරිණාමය නම් යාන්ත්‍රණයෙන් නොවන බව ඉස්ලාමීය ස්ථාවරයයි.

සාරාංශය

විද්‍යාත්මක ප්‍රකාශ බොහෝ විට නිශ්චිත දැනුමක් අපට ලබා දෙන්නේ නැහැ. එනිසා අවශ්‍ය කරනුයේ විද්‍යාව පමණක් හැදෑරීම නොව විද්‍යාවේ දර්ශනයද ඊට සමගාමීව ඉගෙන ගැනීමයි. මෙලෙස විද්‍යාවේ දර්ශනය ඉගෙන ගන්න කෙනා විද්‍යාව අගය කරන අතර විද්‍යාත්මක ප්‍රකාශ පදනම් කරගෙන වැරදි නිගමන වලට එළඹීමෙන්ද වැළකෙනවා. විද්‍යාත්මක ප්‍රකාශ මෙන් දේවඅනාවරණයක් තුළින් අපට නිශ්චිත දැනුමක් ලබා ගන්න පුළුවන්. එනිසා විද්‍යාව හා ඉස්ලාමීය දහම අතර ගැලපීමක් සිදුකරන වන විට හා ඒ දෙක අතර එවන් ගැලපීමක් කළ නොහැකි ආකාරයේ වෙනස්කම් තිබෙනවා නම් සැම විටම දේව අනාවරණයට ප්‍රමුකස්තානය හිමි වෙනවා. මේ අනුව මිනිස් නිර්මාණය සිදු වී ඇත්තේ මහාපරිණාමය නම් යාන්ත්‍රණයෙන්  නොවන බව ඉස්ලාම් දහම පවසන අතර අනෙකුත් ජීවීන් දෙවිඳුන්ගේ පාලනයට යටත්ව මහාපරිණාමයෙන් හෝ ඍජු දේව නිර්මාණයෙන් බිහි වී තිබිය හැකියි. කෙසේනමුත් විද්‍යාත්මක දත්ත අනුව ජීවීන් තුළ ක්ෂුද්‍ර පරිණාමය සිදු වන බව තහවුරු වුණද මහාපරිණාමයක් සත්‍ය වශයෙන්ම සිදු වූ බවට නිශ්චිත වශයෙන්ම සනාත වන්නේ නැහැ. එනිසා මිනිසා ඇතුළු අනෙකුත් සියලුම ජීවීන්ගේ මුල් ජීවී විශේෂය දෙවි විසින් නිර්මාණය කළ අතර එම ජීවින් තුළ ක්ෂුද්‍ර පරිණාමය පමණක් සිදු වන බව අපට අවසාන ලෙස තීරණය කරන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] Conceptual Issues in Evolutionary Biology. Edited by Elliot Sober. The MIT Press. 2006, p. ix.

[2] Wolf-Ekkehard Lönnig, Kurt Stüber, Heinz Saedler, Jeong Hee Kim, “Biodiversity and Dollo’s Law: To What Extent can the Phenotypic Differences betweenMisopates orontium and Antirrhinum majus be Bridged by Mutagenesis,”Bioremediation, Biodiversity and Bioavailability, Vol. 1(1):1-30 (2007).

[3] http://www.dissentfromdarwin.org/

[4] http://www.thethirdwayofevolution.com/

[5] Denis Noble, Neo-Darwinism, the Modern Synthesis and selfish genes: are they of use in physiology?(http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3060581/)

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *