කිතුනුවන් විශ්වාස කරන මුල් පාපය නම් සංකල්පය පිළිගන්න පුලුවන්ද?

ලෝකයේ බහුතරයක් ජනයා විශ්වාස කරන ආගම් ලෙස ක්‍රිස්තියානි හා ඉස්ලාම් දහම සලකන්න පුළුවන්. අප ජීවත් වන මෙම විශ්වය එක් මැවුම්කරුවෙකු විසින් නිර්මාණය ලක බව මෙම ආගම් දෙකම පවසනවා. මෙය, මෙම ආගම් දෙක අතර තිබෙන එක් ප්‍රධාන පොදු විශ්වාසයක්. මීට අමතරව බොහෝ සමානකම් මෙම ආගම් දෙක අතර පවතිනවා. කෙසේනමුත් සැලකිය යුතු වෙනස්කම්ද මේ ආගම් දෙක අතර තිබෙන බව අප සියල්ල දන්නා කරුණක්. මෙම වෙනස්කම් අතුරින් එකක් ලෙස “මුල් පාපය” (Original Sin) නම් විශ්වාසය සලකන්න පුළුවන්. මේ ලිපිය තුලින් සාකච්චා කරන්න බලාපොරොත්තු වන්නේ මේ “මුල් පාපය” පිළිබඳවයි.

අද සිටින කිතුනුවන් විශ්වාස කරන්නේ පළමු මිනිසා හා ගැහැණිය වන ආදම් හා ඒවා දෙවිගේ අණට අකීකරු වීම නිසා පාපයක් සිදු කළ බවත් එම පාපය මෙම දෙපළගෙන් පැවතගෙන එන මුළු මිනිස් සමාජයටම උරුම වූ බවයි. ආදම් හා ඒවා දෙවිගේ නියෝගය කඩ කර තහනම් කරන ලද ගසෙහි ගෙඩි අනුභව කළ බව සත්‍යයක්. නමුත් මේ ගැන බයිබලය මෙසේ පවසනවා:

එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට “හොඳ නරක අවබෝධ වීම නිසා දැන් මිනිසාද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා එයින් වළඳා සදහටම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතුය’ යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරනු පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් පිට කළේය. [උප්පත්ති 3:22,23]

මෙම වැකියට අනුව ආදම් හොඳ නරක තේරුම් ගන්නේ තහනම් ගෙඩිය කෑමෙන් පසුවය. ඒ කියන්නේ ආදම් අතින් පාපයක් සිදු වුණා කියල පවසන්න බැහැ. හේතුව ගෙඩිය කෑමට පෙර ගෙඩිය කෑම පාපයක් කියලා ඔහු දන්නේ නැහැ. පාපයක් යැයි නොදත් ආදම් කළ ක්‍රියාවට දෙවි දඬුවම් කිරීම සාධාරණද?

ඉහත බයිබල් වැකියට අනුව, ආදම් සදාකාලීනව ජීවත් නොවුණු පිණිසත් භූමියෙහි වසනු පිණිසත් පොළවට ඔහුව යැවිය යුතු බව දෙවියන් වහන්සේ පෙරාවතුවම සැලසුම් කර තහනම් ගසෙහි ගෙඩිය අනුභව කිරීමට සලස්වා ඇති බව අපට වටහා ගන්න පුළුවන්.

ඉහත බයිබල් වැකියට අනුව ආදම් පාපයක් කළා යැයි පැවසිය නොහැකි වුනත් කිතුනුවන් විශ්වාස කරන්නේ ආදම් පාපයක් කල බවයි. එනිසා ආදම් පාපයක් කළා යන ස්ථාවරයේ සිට ඉදිරියට අපි සාකච්චා කරමු.

යහපත හා නපුර දන ගැනීමට සුදුසුකම් ලත් ආදම් දෙවියන්ගේ නියෝගය කඩ කර තිබීම වරදක් බවද පැහැදිලිවම දන්නවා. එනිසා ඔහු කල පාපයට ඔහු දෙවිගෙන් සමාව අයැද සිටිය යුතුයි. මෙයට හේතුව “ආදම් සමාව අයැද නොසිටියේය” යැයි අප තීරණය කළහොත් “ආදම් යහපත හා නපුර දැන ගත්තේය” යන දෙවිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කල යුතු තත්වයක් උදා වීමයි. මෙසේ ආදම් පව් ක්ෂමාව අයැද සිටියා නම් දෙවි එයට ක්‍ෂමාව නිසැකවම දී තිබිය යුතුයි. එසේ පැවසීමට හේතුව පාපයක් සිදු කිරීම කෙසේ මනුෂ්‍යයෙකුගේ ස්වභාවය වේදෝ එලෙසම පාපයන් ක්‍ෂමා කිරීම දෙවිගේ ස්වභාවය වීමයි. මෙලොව හා මිනිසාව නිර්මාණය කළ දෙවි ගැන බයිබලය පවසන්නේද පාපයට සමාව දෙන්නෙකු ලෙසයි.

“අපේ දෙවි ස්වාමීන්වහන්සේ දයාන්විතය. ක්‍ෂමාගුණයෙන් යුක්තය” [දානියෙල් 9:9]

මෙනිසා කෙනෙක් දෙවිගෙන් ක්‍ෂමාව අයැද සිටියි නම් දෙවි ඔහුට සමාව ලබා දෙනවා. මේ බව බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා.

“අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූද, ධර්මිෂ්ඨ වූද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින්ද අප පවිත්‍ර කරන සේක.” [1 ජොහන් 1:9]

ඒ විතරක් නොවේ දෙවි මිනිසාට සමාව දුන් බොහෝ අවස්ථා බයිබලයේ සඳහන් වෙලා තිබෙනවා.

” ‘එබැවින්, කරුණාකර ඔබ වහන්සේගේ ඉමහත් දයාව පාම අනුව, මොවුන් මිසරයෙන් පැමිණි දින සිට අද දක්වා කමා කල ලෙස, මේ සෙනඟට කමා කරනු මැනවැ’ හි අයැදීය. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, ‘නුඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කළෙමි. [ගණන් කතා 14:19,20]

ගණන් කතාවේ සඳහන් මිනිසුන් කළ පාපය හා ආදම් කළ පාපය සංසන්දනය කරන්නේ නම්, ආදම් කළ ක්‍රියාව පාපයක් ලෙස සලකන්න බැහැ. එනිසා දෙවිගෙන් පව්සමාව ඉල්ලා සිටියත් උන්වහන්සේ ක්‍ෂමා කරන්නේ නැහැ යැයි සිතීම දෙවිගේ ගුණාංග වලට පටහැනියි. ඉහත බයිබල් වැකි වලටත් පටහැනියි. මෙලෙස මිනිසුන් සිදු කළ බැරෑරුම් පාපයක් පවා දෙවි ක්‍ෂමා කළා නම් ආදම් කළ පාපය දෙවි ක්‍ෂමා නොකලා යැයි තීරණය කිරීම සාධාරණ නැහැ. එනිසා අපට තීරණය කළ යුතු වන්නේ දෙවි ආදම්ගේ පාපයට සමාව දි තිබිය යුතු බවයි.

සමහරු නොදන්නවා වුණත් ක්‍රිස්තියානිවරුන්ගේ රෝමානු කතෝලිකයන් කියන කොටසටත්, ප්‍රොතෙස්තන්ත කියන කොටසටත් වෙන වෙනම බයිබල් අනුවාද තිබෙනවා. කතෝලිකයන්ගේ බයිබල් අනුවාදයේ සලොමොන්ගේ ප්‍රඥාව නම් එක් පොතක් තිබෙනවා. මෙම ග්‍රන්ථය ප්‍රොතෙස්තන්තවරුන් බයිබලයෙන් ඉවත්කර දමා තිබෙනවා. එනිසා ප්‍රොතෙස්තන්ත බයිබල් අනුවාදයේ මෙම පොත අඩංගු වන්නේ නැහැ.

මෙම සලොමොන්ගේ ප්‍රඥාව නම් පොතේ ආදම්ගේ පාපය ක්‍ෂමා කරනු ලැබූ බව පැහැදිලිවම ප්‍රකාශ වී තිබෙනවා.

“මිනිස් වර්ගයාගේ පියාවූ මවනු ලැබූ පළමු මිනිසා තනිව මවන ලදී. ඔහුගේ රැකවල්කරු ප්‍රඥාව වූවාය. ඈ ඔහු පවින් මුදා ගත්තාය.” [සලොමොන්ගේ ප්‍රඥාව 10:1]

ආදාම් කළේ පාපයක් වූවත් තමාගේ ප්‍රඥාව යොදාගෙන ඔහු එම පාපයෙන් ගැලවුණු බව ඉහත වැකිය පැහැදිලිවම ප්‍රකාශ කරනවා. දෙවි ආදම්ට සමාව දුන් බව ඉස්ලාම් දහමත් පැහැදිලිවම පවසනවා. ආදම් පාපය සිදු කල පසු එම පාපයට දෙවි ක්ෂමාව දුන්නේ නම් ආදම්ගෙන් පැවතගෙන එන්නන්ට උරුම වෙනවා කියන ජන්ම පාපය යන සංකල්පයට කිසිම ඉඩක් නැහැ.

ජන්ම පාපය කියන සංකල්පය ඇත්තෙන්ම සාධාරණ සංකල්පයකුත් නොවේ. නිදසුනක් ලෙස, අද කෙනෙකු එක් මිනී මැරුමක් සිදු කළා යැයි සිතමු මේ මිනී මරුමට දඬුවමක් වශයෙන් මිනී මරුවාගේ පුත්‍රයාව එසේත් නැත්නම් මුණුබුරාව එල්ලුම් ගස් යැවීමට උසාවිය තීන්දු කරාවිද? තවත් කෙනෙකු සොරකමක් සිදු කළා යැයි සිතමු. එම සොරකම සඳහා සොරාගේ දරුවාට උසාවිය දඬුවම් නියම කරාවිද? මෙහි ඇති අසාධාරණත්වය උසාවිය හොඳින් දන්නවා. ඒ නිසා තමයි වරදිකරුවාට පමණක් දඬුවම් නියම කරන්නේ. සෑම මොහොතකම සාධාරණය ඉෂ්ට කිරීමට උසාවිය වග බලා ගන්නවා. දුර්වලතා තිබෙන මිනිසාම සාධාරණය ඉෂ්ට කරන්න වෑයම් කරනවා නම් මිනිසා නිර්මාණය කළ පරිපූර්ණ දෙවි සාධාරණය ඉෂ්ට කිරීමේ සීමාවක් අපට හිතාගන්නවත් බැහැ. සාධාරණය ඉෂ්ට කිරීමෙහි ඔහුට සමාන කවුරුන්වත් නැහැ.

බයිබලයේ පහත සඳහන් වැකි දිහා අවධානය යොමු කරමු.

“දරුවන්ගේ වැරදිවලට ඔවුන්ගේ පියවරුන්ද, පියවරුන්ගේ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ද මරණයට පත් නොකළ යුතුයි. හැම කෙනෙක්ම තම තමාගේම පාපය නිසා මරණයට පත් කරනු ලැබේ.” [ද්වීතීය නීති සංග්‍රහය 24:16]

“පව් කරන පුද්ගලාම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ. පියාද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ටයා සිය ධර්මිෂ්ඨකමේ ඵලවිපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේය.” [එසෙකියෙල් 18:20]

” ‘පියවරුන් ඇඹුල් මිදි පල කෑවෝය, දරුවන්ගේ දත් හිරිවටුනේය’ යැයි තවත් කියනු නොලබන්නේය. එහෙත් එකිනෙක නසින්නේ තමන්ගේ පව් නිසාය. දත් හිරිවටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේමය” [යෙරෙමියා 31:30]

කෙනෙකුගේ පාපය තව කෙනෙක් කිසිසේත් උසුලන්නේ නැති බව ඉහත බයිබල් වැකි ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. නමුත් අද සිටින ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් ඉහත බයිබල් වැකි කිලවලා තිබෙනවද?, එහි ඉගැන්වීම් විශ්වාස කරනවාද?

ඒ විතරක් නොවේ ජන්ම පාපය යන සංකල්පය පිළිගන්නවා නම් මෙලොව ඉපදෙන කිසිවක් නොදත් ළදරුවෙක් පවා පාපීව ඉපදෙන බව කිතුනුවන්ට විශ්වාස කරන්න සිද්ද වෙනවා. හොඳ නරක ගැන වැටහීමක්වත් නොමැති ළදරුව පවා පාපය හිමි කරගෙන ඇති බව පිළිගැනීම සාධාරණද? එය බයිබල ඉගැන්වීම් වලට එකඟද?

ඇත්ත වශයෙන්ම දරුවන් පාපකාරී නොවන බව යෙහෙසුස් වහන්සේගේ ඉගැන්වීම් තුලින් අපට පහසුවන්ම වටහාගන්න පුළුවන්.

“එහෙත් යෙහෙසුස් වහන්සේ කතා කොට ‘ළදරුවන්ට මා වෙත එන්න ඉග හරින්න; ඔවුන් නොවලක්වන්න. මන්ද, ස්වර්ග රාජ්‍ය මෙවන්නන්ගේ’ යැයි වදාළ සේක” [මතෙව් 19:14]

සෑම කෙනෙක්ම පවෙන් තොරව ඉපදෙන බවත්, දරුවන් ස්වර්ග රාජ්‍යට අයත් අය වැනි බවත් ඔබට දැන් වැටහෙනවාද?

මීට අමතරව බයිබලයේ නව ගිවිසුමේ ඇති පහත වැකියත් කියවා බලන්න.

පැල කළ තැනැත්තා හා වතුර දැමූ තැනැත්තා අතර වෙනසක් නැත. එකිනෙක තම තමාගේ වැඩය අනුව නිසි විපාකය ලබන්නෝය. [1 කොරින්ති 3:8]

මෙම බයිබල් වැකි දිහා විවෘත මනසින් බලනවා නම් අද කිතුනු සමාජයේ බහුතරයක් පිළිගන්න මුල් පාපය නමැති සංකල්පය බයිබලය පිළිගන්නේ නැති බව ඕනෑම කෙනෙකුට වටහා ගන්න පුළුවන්.

මෙම මුල්පාපය නමැති සංකල්පය පදනම් කරගෙන බයිබලයට එකඟ නොවන තවත් විශ්වාස කිහිපයක් කිතුනු සභා ඇති කරගෙන තිබෙනවා. එනම් මිනිසා උරුම කරගෙන තිබෙන මෙම ජන්ම පාපය සෝදා දැමීමට ජීවිත පූජාවක් අවශ්‍ය බවත්, හුදෙක් එක් මිනිසෙකු පූජා කර මුළු මිනිස් සංහතියේම පාපය සෝදා හැරිය නොහැකි නිසා දෙවීම තමාව පූජා කළ යුතු බවත් විශ්වාස කල යුතු බව කිතුනු සභාවන් පවසනවා. මේ නිසා දෙවි මනුෂ්‍ය පුත්‍රයෙක් වන යෙහෙසුස් ලෙස ඉපදුණු බවත් ඔහු කුරුසයේ මිය ගොස් මුළු මිනිස් සංහතියේම පාපය සෝදා දැමු බවත් මොවුන් විශ්වාස කරනවා. මේ විශ්වාසයන් සියල්ලම එකිනෙකට බැඳුනු දම්වැලක් ලෙස තිබෙන බව ඔබට පැහැදිලි ඇති. මින් එක් පුරුකක් දුර්වලයි කියන්නේ මුළු විශ්වාස පද්ධතියම බිඳ වැටෙනවා.

Share Button