අල් කුර්ආනයේ සඳහන් සැඟවුණු ඉතිහාසය

අල් කුර්ආනය විශ්වයේ අධිපති අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් මුහම්මද් තුමාණන් අල්ලාහ්ගේ අවසන් ධර්ම දුතයාණන් බවත් කිසිදු සැකයකින් තොරව සහතික කරන බිඳිය නොහැකි ප්‍රබල සාක්ෂි වශයෙන් ඇති ඓතිහාසික ප්‍රාතිහාර්යයන් කිහිපයක් විමසා බලන්නට මෙම ලිපිය තුළින් අපේක්ෂා කරන්නෙමු.

‘හමාන්’ සහ පෞරාණික ඊජිප්තු ස්මාරකයන්

අල් කුර්ආනය මූසා ධර්ම දුතයාණන්ගේ ජීවිතය පිළිබඳ තොරතුරු රාශියක් ඉතා පැහැදිලි අයුරින් ඉදිරිපත් කොට ඇත. මූසා ධර්ම දුතයන් හා පාරාවෝ (Pharaoh) අතර තිබු ගැටුම් පිළිබඳ විස්තර මෙන්ම යුදෙව් ජාතිකයින් සමග තිබු සබඳතාවන් හා ඓතිහාසික ඊජිප්තුව පිළිබඳ තොරතුරු රාශියක් අල් කුර්ආනය ගෙන හැර දක්වයි. මෙම ඓතිහාසික තොරතුරු පිළිබඳ වැදගත්කම කෙරෙහි ලොව උගතුන්ගේ අවධානය යොමු වන්නට පටන් ගත්තේ මෑතකදී ය. විචාරය පදනම් කර ගනිමින් පුර්ව නිගමනයන්ගෙන් බැහැර ව බුද්ධිමය චින්තනයෙන් යුතු ව යමෙකු මෙම තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්නේ නම් අල් කුර්ආනය සත්‍යය වශයෙන් ම සර්වඥානී අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව අංශු මාත්‍රයක සැකයකින් තොරව සනාථ වන්නේ මෙය නුතන විද්‍යාත්මක ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් හා සෘජුවම බැඳියාවක් ඇති හෙයිනි.

අල් කුර්ආනයේ ඇති ‘හමාන්’ පිළිබඳ සඳහන එවන් එක් ප්‍රඥා පූර්වක සටහනකි. පාරාවෝ පිළිබඳ සඳහන් කරන ඇතැම් අවස්ථාවන් හි ‘හමාන්’ පිළිබඳ සඳහන අල් කුර්ආනයේ දැකිය හැක. අල් කුර්ආනයේ අවස්ථා හයක දී ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී ඇති අතර ඔහු පාරාවෝගේ සමීපතමයෙකු ලෙස මෙමගින් අවබෝධ කර ගත හැක. අති විස්මයජනක කරුණක් ව ඇත්තේ බයිබලයේ පරණ ගිවිසුමේ මූසා ධර්ම දුතයාණන් පිළිබඳ ඇති විස්තරයන් හි ‘හමාන්’ පිළිබඳ කිසිදු සටහනක් නොමැති වීමය. ‘හමාන්’ පිළිබඳ සටහනක් බයිබලයේ දැකිය හැක්කේ පරණ ගිවිසුමේ අවසන් පරිච්ඡේද කිහිපයක මුසා ධර්ම දුතයාණන්ට වර්ෂ 1100 කට පමණ පසු ජීවත් වූ යුදෙව් ජාතිකයින් පිළිබඳ ව සැහැසි අයුරින් කටයුතු කළ බැබිලෝනියානු රජෙකුගේ ආධාරකරුවෙකු ලෙසය. නුතන පුරාවිද්‍යාත්මක තොරතුරු මගින් පැහැදිලි අයුරින් හෙළිදරව් වී ඇති කරුණු මෙයට හාත්පසින්ම පරස්පරතාවක් දක්වයි. ඊජිප්තුවේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයට අයත් ශිලා ලේඛනයක් අනුව ‘හමාන්’ නම් පුද්ගලයා මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ජීවත් වූවෙකු බවත් පාරාවෝ ගේ රාජ්‍යය පාලනයේ වැදගත් තනතුරක් දැරූ අයෙකු බවත් හෙළිදරව් වී ඇත.

පාරාවෝ ගේ යුගයේ භාවිත කරනු ලැබුයේ සංකේත භාෂාවකි. දහඅට වන සියවස තෙක් මෙම සංකේත භාෂාව විසංකේතීකරණය කොට නොතිබූ හෙයින් එම යුගයේ කරුණු දැනගැනීමේ හැකියාව නොතිබුණි. මෙම භාෂාව අවසන් වරට භාවිත වී ඇත්තේ ක්‍රි. ව. 394 දී පමණ බව ඉතිහාසය අපට දන්වයි. ක්‍රි. ව. 1799 දී ඉතිහාසඥයින් බහුතරයකගේ අසීමිත සතුට ට හේතු වූ ඓතිහාසික ශිලා ලේඛනයක් සොයා ගන්නා ලදී. ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ මෙම ශිලා ලේඛනය ක්‍රි. පූ. 196 ට අයත් වූවක් බව එම තොරතුරු හි දක්නට ඇත.

Egyptian hieroglyphs on the wall

Egyptian hieroglyphs on the wall

මෙම ශිලා ලේඛනයේ සුවිශේෂත්වය නම් එය භාෂා තුනකින් සකස් වූවක් වීමය. සාම්ප්‍රදායික ඊජිප්තු සංකේත භාෂාව, එම යුගයේ පූජකයින් අතර බහුල ව භාවිත වූ භාෂා ශෛලියක් හා ග්‍රීක භාෂා මෙම ශිලා ලේඛනය සකස් කිරීමේ දී භාවිත කොට තිබුණි. ග්‍රීක භාෂාවේ උපකාරයෙන් අනෙකුත් භාෂා දෙක විසංකේතීකරණය කර ගැනීමෙන් පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙතෙක් සැඟ වී තිබු ඉතා වැදගත් තොරතුරු රාශියක් මනුෂ්‍ය වර්ගයාගේ දැනුම් සම්භාරයට එකතු කිරීමේ දොරටු විවෘත කර ගැනීමට මෙමගින් හැකි වී ඇත. ඉතිහාසයේ ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් වූ මෙම යුගයේ සංස්කෘතිය, ඇදහීම්, සමාජ ජීවිතය වැනි වැදගත් ක්‍ෂේත්‍රයන් රාශියක් පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු රාශියක් මෙමගින් දැන ගැනීමට හැකියාව ලැබී ඇත. එම යුගයේ භාවිත කරන ලද පුරාණ භාෂා විසංකේතීකරණය කිරීමේ කටයුත්ත ප්‍රංශ ජාතික ජීන් ෆ්රන්සුවා චම්පොලියොන් (Jean Francoise Champollion) විසින් ඉතා සාර්ථක අන්දමින් ඉටු කොට ඇත.

මෙම විසංකේතීකරණය තුළින් අති වැදගත් නමක් පිළිබඳ තොරතුරක් හෙළිදරව් කර ගැනීමට අවස්ථාව උදා විය. මෙම ලේඛනයේ ‘හමාන්’ පිළිබඳ ව සඳහන් වී තිබීම හේතුවෙන් සැවොම පත් වූයේ අදහාගත නොහැකි විස්මයජනක තත්ත්වයකට ය. වියනා නුවර හොෆ් කෞතුකාගාරයේ (Hof Museum in Vienna) තබා ඇති තවත් ශිලා ලේඛනයක ද හමාන් පිළිබඳ ව සඳහන් කොට තිබීම දක්නට තිබුණි. එම ශිලා ලේඛනය අනුවත් ‘හමාන්’ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තු පාලකයා වූ පාරාවෝ ගේ සමීපතමයෙකු ලෙස සඳහන් වී තිබුණි. මෙම තොරතුරු සියල්ල මගින් මෙතෙක් ඉතිහාසයේ අඳුරු සෙවණැලි තුළ සැඟ වී තිබු අති වැදගත් තොරතුරු කිහිපයක් ලොවට හෙළිදරව් කර පෙන්වීමට හැකියාව ලැබී ඇත. මෙම තොරතුරු අතර ඉතාම වැදගත් තොරතුරු කොටස වුයේ ‘හමාන්’ පාරාවෝ ගේ ගඩොල් පෝරණු භාරකරු බවට කටයුතු කොට තිබීමය. මෙම විස්තරය අල් කුර්ආනයේ ප්‍රාතිහාර්යයක් බවට පත් වීමට හේතු සාධක වූ කරුණු කෙරෙහි ද අවධානය යොමු කරමු.

වර්ෂ 1450 කට පමණ පෙර අරාබි දේශයේ මක්කා නගරයේ උපතින් ම අනාථභාවය උරුම කර ගෙන මෙලොව එළිය දුටු මුහම්මද් නම් දරුවාට කිසිදු සම්මත අධ්‍යාපනයක් ලබා ගැනීමේ භාග්‍යය නොලැබී තිබුණි. මේ හේතුවෙන් ම ඔහුට කිසිදු සාක්ෂරතාවක් නොතිබුණු අතර පහතින් උපුටා දක්වා ඇති අල් කුර්ආන් වැකිය ද මේ බව සාක්ෂි දරයි.

“(නබිවරය) මෙයට පෙර නුඹ කිසිදු පුස්තකයක් හදාරන්නෙකු ව නොසිටියේය. තව ද නුඹ එවැන්නක් නුඹගේ දකුණතින් නොලිව්වේය. එසේ වූයේ නම් අසත්‍යයේ සිටින්නන්ට සැක කරන්නට ඉඩ තිබුණි”. (අල් කුර්ආන් – 29 : 48)

මෙම උතුම් මිනිසාගේ 40 වන වියේ දී අති උතුම් අල්ලාහ් විසින් ලොව පවතින තුරු වලංගු මනුෂ්‍ය වර්ගයා ව යහ මඟට යොමු කරවීම සඳහා වූ අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය එතුමන් වෙත පහළ කොට මහා කාරුණික දෙවිඳුන්ගේ අවසන් ධර්ම දූතයා ලෙස පත් කර ගන්නා ලදී. මෙලෙස පහළ කරන ලද මාර්ගෝපදේශය ‘අල් කුර්ආන්’ නමින් හැඳින්වෙන අතර එම දේව පුස්තකයෙන් පහත සඳහන් කොටස ඔබගේ අවධානය පිණිස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

“ ‘ප්‍රධානියෙනි, මා හැර අන් කිසිදු දෙවියෙකු නුඹලාට ඇතැයි මම නොදනිමි. එබැවින් හමාන්, මා හට කිරි මැටි පුලුස්සා මූසාගේ දෙවිඳුන් මට බැලිය හැකි සේ මා වෙනුවෙන් (පියගැට පෙළින් යුත්) මන්දීරයක් තනව්. තව ද සැබැවින්ම ඔහු අසත්‍යවාදීන්ගෙන් කෙනෙකු යැයි මම අනුමාන කරමි යැ’යි ෆිර්අවුන් (පාරාවෝ) ප්‍රකාශ කළේය”. (අල් කුර්ආන් – 28 : 38)

ඉහත අල් කුර්ආන වැකියෙන් පැහැදිලි වන්නේ මූසා ධර්ම දුතයාණන්ගේ යුගයේ ඊජිප්තුවේ රජු (පාරාවෝ) විසින් තමා දෙවිඳුන් යැයි උපකල්පනය කොට එම අදහස ජනයා විසින් ද විශ්වාස කළ යුතු බව සිතා සිටි බවය. මේ පිළිබඳ ව අල් කුර්ආනයේ අන්තර්ගත තවත් ආශ්චර්යමත් ඓතිහාසික ප්‍රාතිහාර්යයක් ගැන මෙම ලිපිය අවසානයේ උපුටා දක්වා ඇත්තෙමු.

පෞරාණික ඊජිප්තු ස්මාරක සමග සැඟ වී යන්නට ඉඩ තිබු වැදගත් සත්‍යය තොරතුරක් හෙළිදරව් කර ගන්නට හැකි වුයේ ‘රොසෙටා ගල’ (Rosetta Stone) නම් වූ ශිලා ලේඛනයේ තොරතුරු විසංකේතීකරණයෙන් පසුවය. මෙම තොරතුරු මගින් හෙළි වූ කරුණු කිහිපයක සංක්ෂිප්ත අදහස් පහතින් දක්වා ඇත්තෙමු.

සාක්ෂරතාවක් නොතිබූ මුහම්මද් තුමාණන් විසින් කිසිදු ඉතිහාස හෝ ආගමික ග්‍රන්ථයක නිවැරදි අයුරින් සඳහන් නොවී තිබු ඓතිහාසික තොරතුරක් කෙලෙස නම් ඔහුගේ මනුෂ්‍ය බුද්ධිය උපයෝගී කර ගෙන අල් කුර්ආනයට ඇතුළත් කළ හැක්කේ දැයි අප විසින් විමසා බැලිය යුතු නොවන්නේ ද? වසර තුන් දහසකට වැඩි කාලයකට පෙර වූ සිදුවීම් නුතනයේ ඉතා මවිත කර අයුරින් හෙළිදරව් කර ගැනීමෙන් පසු අප විසින් දැන ගන්නා ලද තොරතුරු මිනිස් හැකියාවන්ට පමණක් සීමා වී කෙලෙස නම් වර්ෂ 1400 කට පමණ පෙර පහළ කරන ලද්දේ යැයි පවසන අල් කුර්ආනයට ඇතුළත් විය හැක්කේ දැයි අප විසින් සිතා බැලිය යුතු නොවන්නේ ද? මෙම කරුණු සියල්ල අප වෙත ලබා දෙන පැහැදිලි පණිවිඩය නම් වර්ෂ 1400 ක් පමණ පැරණි අල් කුර්ආනයෙහි මෙම කරුණු ඉතා නිවැරදි අයුරින් සඳහන් වී ඇත්නම් එය සත්‍යය වශයෙන් ම සිදු විය හැක්කේ මනුෂ්‍ය හැකියාවන්ට පරිබාහිර වූ අසමසම ශක්තියකින් බව අවිවාදයෙන් පිළි ගත යුතු කරුණක් බව නොවේ ද? මේ පිළිබඳ සැකයක් තිබිය හැක්කේ කාහට ද? මෙම ප්‍රාතිහාර්යජනක තොරතුරු නිසැකවම අපට හඬ නගා පවසන්නේ මුහම්මද් තුමාණන් අති උතුම් අල්ලාහ්ගේ ධර්ම දුතයාණන් බවත් අල් කුර්ආනය අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බවත් නොවේ ද?

මුහම්මද් ධර්ම දුතයාණන් විසින් අල් කුර්ආනය සකස් කර ගන්නා ලද්දේ බයිබලයේ තොරතුරු චෞර ලෙස උපුටා ගනිමින් ඒවා දෙවිඳුන් විසින් එතුමාණන් වෙත පහළ කරන ලද දේව පණිවිඩ බව අසත්‍ය ලෙස පවසමින් බව වර්ෂ ගණනක් තිස්සේ අල් කුර්ආනයේ සත්‍යතාව පිළිබඳ අභියෝගාත්මක චෝදනාවක් මතු කොට තිබිණි. අල් කුර්ආනයේ තොරතුරු පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් සමග සම්පුර්ණ එකඟතාවකින් යුක්ත වීමත් එම තොරතුරම බයිබලයේ සඳහන් අයුරු සම්පුර්ණයෙන්ම නුතන සොයා ගැනීම් සමග පරස්පරතාවක් දැක්වීමත් මගින් පෙන්නුම් කරන්නේ අල් කුර්ආනය බයිබලයෙන් සොරා ගත් තොරතුරු මත පදනම් වී නොමැති බවත් එය සර්වඥානී අති උතුම් අල්ලාහ් විසින් පහළ කරන ලද්දක් බව නොවේ ද? අසත්‍යය සදාතනික නොවේ යන්න මෙමගින් සනාථ වන පැහැදිලි කරුණකි.

‘හමාන්’, පාරාවෝ හා මූසා ධර්ම දුතයාණන් යන සැවොම ඉතිහාසයේ එකම යුගයක ජීවත් වූ පිරිසකි. ඉහතින් ගෙන හැර දැක්වූයේ අල් කුර්ආනය කිසිදු සැකයකින් තොරව සත්‍යය වශයෙන් ම දිව්‍යමය මුලාශ්‍රයෙන් පහළ වූවක් බවට ඇති වැදගත් ඓතිහාසික සාක්ෂියකි. මෙම තොරතුරු විමසා බැලීමේ දී මතු වූ පාරාවෝ පිළිබඳ ව අල් කුර්ආනයේ ඇති තවත් වැදගත් ඓතිහාසික ප්‍රාතිහාර්යක් පිළිබඳ විමසුමක් පහතින් දක්වා ඇත.

පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh)

firawnදැනට වර්ෂ 3000 කට පමණ පෙර ඊජිප්තුවේ පාලකයා වු දෙවන රැම්සෙස්ගේ පුත් මෙරනෙප්තාගේ මෘත දේහය දැනට තැන්පත් කර තිබෙන්නේ කයිරෝ නගරයේ තිබෙන ජාතික කෞතුකාගාරයේ ය. මෙම රජ පරපුර එම යුගයේ හඳුන්වනු ලැබුවේ පාරාවෝ – ෆිර්අව්න් (Pharaoh) යනුවෙනි. මෙර්නෙප්තා ෆිර්අව්න්ගේ ඉතිහාසය අනුව ඔහු තමන් අධිපති දෙවිඳුන් බව හඳුන්වා දි තිබු අතර විශ්ව පරමාධිපතිඳුන්ගේ තවත් ධර්ම දුතයෙකු වු මෝසෙස් තුමාගේ සමකාලිනයෙකුව ද සිටියේය. මෝසෙස් තුමා සමග නිතර ගැටුනු මෙම ෆිර්අව්න් මෝසෙස් තුමා හා එතුමාගේ අනුගාමිකයන් ව මරා දමන්නට ලුහුබැඳ ආ අවස්ථාවේදී, දෙවිඳුන් විසින් රතු මුහුද දෙබෑ කොට මෝසෙස් තුමා හා පිරිසට රතු මුහුදින් එතෙර වන්නට ඉඩ සලසා දුන් අතර ෆිර්අව්න් හා ඔහුගේ හමුදාව රතු මුහුදට අවතිර්ණ වු විගස දෙබෑවු ජලකඳ එකට එකතු වීමෙන් ඔහු හා ඔහුගේ පිරිස මියගිය බව ආගමික ඉතිහාසය අපට උගන්වයි. මේ සම්බන්ධ ව ඇති අල් කුර්ආන් වැකියන් අනුව අවුරුදු 3000කට පමණ පෙර මිය ගිය ෆිර්අව්න් ගේ මලකඳ විනාශයට පත් වන්නට ඉඩ නොදී මතු පරම්පරාවට අවවාදයක් වනු පිණිස සුරක්ෂිත කරන ලද බව දෙවිඳුන් අපට දන්වා ඇත. දැනට අවුරුදු 1400ට පමණ පෙර පහළ කරනු ලැබු අල් කුර්ආනයට මෙම කරුණු ඇතුළත් වීමට නම් මෙම මෘත දේහය සොයා ගෙන ඒ පිළිබඳ ව දැනුමක් තිබූ උදවිය එම යුගයේ ජීවත් ව සිටිය යුතුය. මෙවැනි තත්ත්වයක් අවුරුදු 1400 කට පෙර නොතිබුණේනම් එය එසේ විය හැක්කේ අල් කුර්ආනයේ පණිවිඩය පහළ කරනු ලැබුවේ සර්වඥතාවයකින් යුත් මුලාශ්‍රයකින් බව අපට අවිවාදයෙන් පිළිගැනිමට සිදුවෙනවා නොවේද? මේ සම්බන්ධ ව විකල්ප මතයක් ඉදිරිපත් කිරීමට අවකාශ තිබේ ද? මේ සම්බන්ධ ව අල් කුර්ආන් වාක්‍යය පළමු ව විමසා බලමු.

“නුඹට පසුව එන අයට ප්‍රාතිහාර්යයක් වනු පිණිස මෙදින නුඹගේ සිරුර අපි ගොඩ දමා ආරක්ෂා කරන්නෙමු. නියත වශයෙන්ම මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් අපගේ ආයාත් (වදන් – සංඥා) ගැන නොතකන්නෝම යැයි (අල්ලාහ් පැවසීය)”. (අල් කුර්ආන් – 10 : 92)

මෙම වාක්‍යය පහළ වු කාලයේ එය කොතරම් සුවිශේෂි හා අසාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට ඇති ද? ෆිර්අවුන්ගේ මෘත දේහය විනාශ නොවී සුරැකී ඇති බව සොයා ගන්නට වසර 1300 කට පෙර අල් කුර්ආනයේ ඉහත වැකියෙන් පහළ කළ පණිවිඩය එම යුගයේ ජනයාට එක්තරා අන්දමින් ප්‍රහේළිකාවක් වුවා විය හැක. මහාචාර්ය ලොරට් නම් විද්‍යාඥයා විසින් මෝසෙස් තුමාගේ යුගයේ ජීවත් වු ෆිර්අව්න්ගේ මෘත දේහය සොයා ගත්තේ 1898 වසරේදීය. මහාචාර්ය ලොරට් විසින් සොයා ගත් ෆිර්අව්න්ගේ සිරුර වසර 3000 කට වැඩි කාලයක් තීබ්ස් නුවර නෙක්රෝපොලිස් සොහොන තුළ ඇතිරිල්ලක ඔතා තැන්පත් කර තිබිණ. 1907 ජුලි මස 8 වැනි දින මහාචාර්ය එලියට් ස්මිත් නම් විද්‍යාඥයා මෙම සොහොන විවෘත කොට මෘත දේහය විද්‍යාත්මක පරික්ෂණයන්ට ලක් කළේය. ඉන් අනතුරු ව “Royal Mummies” නමින් මෙම විස්තර අඩංගු පොතක් ද ඔහු පළ කළේය. මහාචාර්ය ලොරට් විසින් 1898 දී සොයා ගනු ලැබුවේ මෝසෙස් තුමාගේ යුගයේ මිසරයේ රජකම් කළ එමෙන්ම තමන් ව අති උත්තරිතර දෙවිඳුන් ලෙස හඳුන්වා දෙමින් ද, මෝසෙස් තුමාගේ සියලු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරමින් ද අවසානයේදී මෝසෙස් තුමා ව මරා දැමීමේ අදහසින් එතුමා ලුහුබැඳ ගිය ගමනේදී ජලයේ ගිලී මියගිය ෆිර්අව්න්ගේ දේහය බවට මෙම විද්‍යාත්මක පරික්ෂණයන්ගෙන් සනාථ කර ගන්නා ලදී.

කයිරෝ නගරයට ගෙන යන ලද මෙම දේහය සම්බන්ධ ව 1975 වසරේදී ප්‍රංශ විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයෙකු වූ ද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වූ ද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් වැඩි දුර පරික්ෂණ පවත් වනු ලැබිණි. සියලු පර්යේෂණ අවසානයේදි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශයනය නිකුත් කරන ලදී.

“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳ ව සාධක සොයන පිරිස ෆිර්අව්න්ගේ සිරුර පිළිබඳ ව අල් කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මයජනක සාධක දැක ගන්නට නම් කයිරෝ නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරයට යා යුතුයි”.

තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් අල් කුර්ආනය හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමකට යොමු කොට ‘The Bible Quran and Modern Science’ නැමැති ග්‍රන්ථය 1978 දි ප්‍රකාශයට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන ජාත්‍යන්තර කිර්තියට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන් අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදින.

“අල් කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල් කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදන්නෙකු විසින් මුළු මහත් අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේ ද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් තොරව ශත වර්ෂ දාහතර කට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේ ද?” (125 පිටුව)

ෆිර්අව්න්ගේ සිරුර මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට අවවාදයක් ලෙසින් ආරක්ෂා කරන බව අල් කුර්ආන් හත්වන සියවසේ සඳහන් කළ ද මෙම තොරතුරු සනාථ වුයේ 19 වන සියවසේ එම සිරුර සොයා ගැනීමෙන් අනතුරුවයි. අල් කුර්ආනය විශ්වයේ පරමාධිපති විසින් පහළ කරන ලද පණිවිඩය බවට සහතික කරන්නට තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබෙන් විමසන්නට කැමැත්තෙමු.

ඉදිරි ලිපි මගින් අල් කුර්ආනයේ සත්‍යතාව තහවුරු කරන තවත් මවිත කර සාක්ෂි ඔබගේ විචාර බුද්ධියේ විමසුමට ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.

“සත්‍යය නුඹගේ පරමාධිපතිගෙන් ය. සැබැවින් ම නුඹ (ඒ පිළිබඳ ව) සැක කරන්නන් අතුරින් අයෙකු නොවවූ”. (අල් කුර්ආන් – 2 : 147)

“අල් කුර්ආනය ඔවුන් (විශ්වාස නොකරන්නන්) පරිශීලනය නොකරනුයේ මන්ද? එය අල්ලාහ්ගෙන් නොවී වෙන කෙනෙකුගෙන් වූයේ නම් එහි නුඹලා බොහෝ පරස්පරයන් (හා වැරදි) දකිනු ඇත”. (අල් කුර්ආන් – 4 : 82)

මෙවන් සැඟවුණු ඓතිහාසික තොරතුරු අල් කුර්ආනයේ ඇතුළත් කර ඇත්තේ සියලු දේ දන්නා දෙවිඳුන් නොවේද?

Share Button