ඉස්ලාමීය දණ්ඩ නීතිය කුරීරුද?

“ඉස්ලාමයේ අපරාධ නීතිය ඉතා දරුණු ය, මානව දයාවෙන් තොර ය” යනුවෙන් ඇතැම් නූතන විවේචකයන් ඉස්ලාම් දහම විවේචනය කරනවා අපට දැකගන්න පුළුවන්.

කෙසේනමුත් දණ්ඩ නීති ගැන සැලකීමේදී මානව සංහතියට ඉතා යහපත ගෙන දෙන නීතිය ඉස්ලාමීය අපරාධ නීති වන බව මෙම විෂය පිළිබඳව මධ්‍යස්ථව සිතන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී අපට නිවැරදි තීරණයකට එළඹිය හැක්කේ “වරදකරුවා දඬුවම් ලැබිය යුතුය” යන ස්ථාවරයේ අරමුණ කුමක් ද යන්න වටහා ගන්නේ නම් පමණයි. උදාහරණයකට මිනී මැරුමකදී ඝාතකයාට මරණීය දන්ඩනය දිමෙන් ඝාතනය කරන ලැබූ තැනැත්තාගේ ප්‍රාණය නැවත ලැඛෙන්නේ නැති බව පැහැදිලියි. දූෂකයාට මරණීය දණ්ඩනය ලබා දීමෙන් දූෂණයට ලක් වූ ස්ත්‍රියගේ පතිවත ආපසු ලැඛෙන්නේද නැහැ. භාණ්ඩ හා දේපළ සම්බන්ධ සොරකම වැනි යම් යම් වැරදි වලට නම් අහිමි වූ දේවල් ඇතැම් අවස්ථා වල දී ආපසු ලැබිය හැකි මිසක් වැරදි වලින් බහුතරයකට වරදකරු දඬුවම් කරනු ලැබීමෙන් ඔහු විසින් පීඩාවට පත් වූ තැනැත්තාට කිසිඳු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. එනම්, අහිමි වූ දේ ආපසු ලබා ගැනීම දඬුවම් කිරීමේ අරමුණක් නොවන බව මෙයින් වටහා ගන්න පුළුවන්. එසේ නම්, වරදකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණ කුමක් ද? මේ සඳහා මූලික හේතු කිහිපයක් තිබෙනවා.

  1. වරදක් සිදු කළ තැනැත්තාට දෙනු ලබන දඬුවම ඔහු නැවත නැවත වරද කිරීමෙන් වැළැක්විය යුතුයි.
  2. වරදකරුවෙකුට දෙනු ලබන දඬුවම දැක අන් අය වැරදි කිරීමට බිය විය යුතුයි.
  3. වරදකරුගෙන් පීඩාවට පත් වූ තැනැත්තා තමන්ට යුක්තිය ලැබුණු බව විශ්වාස කළ යුතු වන අතර සෑහීමකටද පත් විය යුතුය.

වරදකරුවන් දඬුවම් කරනු ලැබීමට මේ කරුණු තුන හැර වෙනත් හේතුවක් ලෞකික ජීවිතයේ තිබිය නොහැකියි. ලොව පුරා බන්ධනාගාර, පොලිස් ස්ථාන, අධිකරණ සියල්ලක් ම පිහිටුවා ඇත්තේ වරදකරුවා නැවත වැරදි නොකිරීමටත් වැරදි කිරීමට සිතන අය එදෙසට ළං නොවීමටත් බව අප සියල්ලෝම දන්නා කරුණක්. වරදකරුවන්ට කිසිඳු දඬුවමක් ලබා නොදිය යුතු යැයි ලොවේ කිසිඳු රජයක් ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් ලොවේ බොහෝ රටවල් සම්පාදනය කර තිඛෙන අපරාධ නීතියෙන් අපරාධය අවම කර ගැනීමට සමත් වී නැහැ. එපමණක් නොව වරදකරුවන්ට බන්ධනාගාර වල සලසා දී තිඛෙන පහසුකම් අපරාධ වැඩි වීමට මග පාදනවා. එනම්, අපරාධ වැළැක්විය යුතු නීතිය ම අපරාධ කිරීමට පොලඹවන තත්වයක් මෙහිදී උදා වෙනවා.

සොරකම්, ස්ත්‍රි දූෂණ, මිනිස් ඝාතන, මංකොල්ල කෑම් හා වෙනත් වැරදි වල නියැලෙන සමාජ ද්‍රෝහීන්ට පිරිනමනු ලබන දඬුවම් කුමක් ද? වසර කිහිපයක් හෝ මාස කිහිපයක් හෝ සිර දඬුවම් ලබා දීම බොහෝ රටවල් හි දෙනු ලබන දඬුවමයි.

සිර දඬුවම යනු කුමක් ද?

බාහිර ලොවට පැමිණිය නොහැකිය යන අංගයක් ඉවත් කර බලන විට අන්ත දුගී දුප්පත් අසරණ බොහෝ ජනතාවගේ ජීවිතයට වඩා බන්ධනාගාර ජීවිතය උසස් මට්ටමක පවතිනවා. යුක්තිසහගතව ද අවංකව ද ජීවත්වන දුප්පතුන්ට එදිනෙදා වේලේ බතකටවත් මගක් නැති අතර අයුක්තිසහගතව ද අක්‍රමිකව ද කටයුතු කළ වරදකරුවන්ට තුන් වේලේ ආහාරයට සහතික වීමක් මෙහිදී දක්නට ලැබෙනවා. උසස් ගණයේ වෛද්‍ය පහසුකම් ඔවුනට සපයනු ලබනවා. ඔවුන්ගේ විනෝදාංශයට නොයෙකුත් පහසුකම් ද බන්ධනාගාර තුළ සපයා දෙනු ලබනවා. මේ වරදකරුවන්ගෙන් පීඩාවට පත් වූ අය විසින් වරදකරුවන්ට කිසිවක් සිදු කළ නොහැකි අයුරින් ආරක්ෂාව හා පහසුකම් සලසා දෙනු ලබනවා . මෙහි දී ශෝකයට පත් විය යුතු කරුණ නම් කවර ජනතාවගෙන් කෙනෙක් සොරකම් කරන්නේ ද, කවර ජනතාවක් ඝාතනය කරන්නේ ද, කවර ස්ත්‍රින් දූෂණය කරන්නේ ද, ඒ ජනතාවගේ බදු මුදල් වලින් ම මේ අපරාධකරුවන්ට මෙතරම් පහසුකම් සලසා දෙනු ලැබීම යි.

එනිසා මෙම නාමික දඬුවමින් කිසිඳු ප්‍රයෝජනයක් සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස “53 වතාවක් බන්ධනාගාරගත වූ තැනැත්තා නැවත අත් අඩංගුවට ගනු ලැබේ. 15 වතාවක් පා පැදි සොරකම් කළ තැනැත්තා නැවතත් අත් අඩංගුවට ගනු ලැබේ.” යනාදී වශයෙන් දිනපතා පුවත්පත් වල පුවත් පළ වෙනවා. 53 වතාවක් දෙනු ලැබූ දඬුවම් තුළින් ඔහුට කිසිඳු භීතියක් හටගෙන නැති අතර කිසිඳු සංශෝධනයක් සිදු වීද නැහැ. ඒ වගේම ඔහු එය දඬුවමක් සේද සලකා නොමැති බව පැහැදිලියි.

බන්ධනාගාර වල ලැඛෙන පහසුකම් ගැන අන් අය දැන ගන්නා නිසා “අවංකව ජීවත් වී ආහාර වේලකට දුක් මහන්සි වන්නේ කුමකට ද? යම් කිසි වරදක් සිදු කළා නම් බන්ධනාගාර වල තුන් වේලේ ආහාර ලැබේවි” යැයි සිතා සාමාන්‍ය පුද්ගලයින්ද අපරාධ සිදු කිරීමට පටන් ගන්න පුළුවන්. ඒ වගේම වරදකරුවෝ බන්ධනාගාර වල කණ්ඩායම් වශයෙන් රැස් වී සැලසුම් කිරීමට ද අවස්ථාව ලැඛෙන බැවින් තවදුරටත් මහා පරිමාණයේ වැරදි කිරීමට අලූත් උපාය මාර්ග ද යොදා ගන්න පලුවන්. එනිසා මේ කාරණයේදී බන්ධනාගාර යනු අපරාධ විශ්ව විද්‍යාල වශයෙන් කටයුතු කරනවා.

සෑම වසරක් පාසා ම වැරදි හා අපරාධ ද වැඩි වන නිසා වරදකරුවන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. වරදකරුවන් වැඩි වීම නිසා ජනතාවගේ බදු මුදල් නාස්ති කරනු ලැබෙනවා.

අපරාදයේදී පීඩාවට පත් වූ අය මේ දඬුවම් වලින් සෑහීමකට පත් වේ ද? යන්න අපි සිතා බැලිය යුතුයි. උදාහරණයකට සොරකමට ලක් වූ කෙනෙකුගෙන් “සොරකමට කුමක් කළ හැකි දැ”යි ඇසුවේ නම් “මාස හයකට තුන් වේලේ බත් කන්නට දෙමු”යි ඔහු පවසන්නේ නැහැ. ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ පුත්‍රයාගෙන් “ඝාතකයාට කුමක් කළ හැකි දැ”යි ඇසුවේ නම් “වසර 14ක් රජයේ වියදමෙන් ඔහු පෝෂණය කළ යුතුයැයි ඔහු පවසයිද? නො එසේනම් හිස ගසා දැමිය යුතුයැයි පවසයිද? දූෂණයට ලක් වූ කාන්තාවක් එමගින් තම අනාගතය ම අඳුරුව තිබිය දී දූෂණය කළ තැනැත්තාට කෙබඳු දඬුවමක් දුන්නේ නම් ඇගේ සිත සෑහීමකට පත් වේ ද? යනාදී වශයෙන් පීඩාවට පත් වූ අයගේ හැඟීම් සලකා බලා දඬුවම් ලබා දීම සාධාරණ ක්‍රමයක් වන බව බුද්ධිමත්ව කල්පනා කරන කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

පීඩාවට පත් වූ අයගේ හැඟීම් ගැන සලකා බලනු නොලැබීමට හේතුව පීඩාවට පත් වූ අයගේ තත්ත්වයේ සිට නොබලා පීඩාවට පත් නොවූ තැනක අසුන් ගෙන නීති සම්පාදනය කරනු ලැබීමයි. නමුත් ඉස්ලාම් දහම මේ ගැන අවධානය යොමු කරනවා. කෙනෙක් දස දෙනෙකු මරා මරණ දඬුවමක් හිමි කරගන්නවා යැයි සිතමු. ඔහුගේ දඬුවමට රටක ජනරජයේ නායකයාට පිරිනමා තිඛෙන බලය අනුව පොදු සමාව ලබා දීමට පුළුවන් බව ලොවේ බොහෝ රට වල තිබෙන නීති වල තිබෙනවා. ඝාතනයට ලක් වූ අයට ජනරජයේ නායකයා ඥාතියෙක් නොවූවත් ඒ බලය ජනරජයේ නායකයාට ලබා දී තිබීම තුළින් නීතිය පීඩාවට පත් වූ අයගේ තත්ත්වය ගැන අමබල් රේණුවක තරම්වත් සැලකිල්ලට ගෙන නොමැති බව දැන ගන්න පුළුවන්.

ඉස්ලාමීය දණ්ඩ නීතිය පවසන්නේ කුමක් ද?

දැන් ඉස්ලාමීය නීතිය කෙතරම් අර්ථවත් ද නැණවත් ද යන්න විමසා බලමු. ඉස්ලාමීය දණ්ඩ නීතිය ක්‍රියාත්මක වන්නේ අපරාධකරුවන්ට මිසක් නිර්දෝෂී අසරණ සාමාන්‍යා ජනයාට නොවේ. ඉස්ලාමීය දණ්ඩ නීතිය මූලික වශයෙන් පහත අපරාධ සඳහා ක්‍රියාත්මක වෙනවා.

  • මිනී මැරුම් හා ශාරීරික තුවාල කිරීම්
  • දුරාචාරය
  • ස්ත්‍රී දූෂණ
  • සොරකම්
  • දේශ ද්‍රෝහී ක්‍රියා

මිනී මැරුම්

ඉස්ලාමීය අපරාධ නීතිය පිහිටා තිබෙන්නේ ඇසට ඇස, දතට දත යන පදනම අනුවවයි. එනම් කෙනෙක් තවත් කෙනෙකුගේ ඇස් අන්ධ කළේ නම් ඉස්ලාම්හි මෙයට අදාළ දඬුවම වරදකරුවාගේ ද ඇස් අන්ධ කළ යුතුය යන්නයි. ඝාතකයාට රජය විසින් වහාම මරණ දඬුවම ලබා දෙන්නේ නම් කිසිවෙක් මිනිසුන් ඝාතනය කිරීමට එඩිතර වන්නේ නැහැ. කෙනෙක් තවත් කෙනෙකුගේ දතක් කැඩුවේ නම් රජය විසින් වරද කළ අයගේ දතක් කඩනු ලැබේ යැයි දැන ගත් විට කිසිවෙක් අනුන්ගේ දත් කැඩීමට යොමු වන්නේද නැහැ.

කෙසේනමුත් ඇස අහිමි වූ තැනැත්තා වරදකරුට ක්ෂමාව දුන්නේ නම් හෝ වරදකරුගෙන් ඒ සඳහා වන්දි මුදලක් ලබා ගත්තේ නම්ද වරදකරුට දඬුවම් කිරීමට ඉස්ලාමීය ආණ්ඩුවට කිසිඳු අයිතියක් නැහැ. මේ අකාරයෙන්ම ඝාතනයට ලක් වූ තැනැත්තාගේ උරුමක්කරුවන්ගෙන් කෙනෙක් වරදකරුගේ ප්‍රාණය උදුරා නොගන්නැයි පැවසුවේ නම් හා වන්දි මුදලක් ඉල්ලා එය වරදකරු ලබා දුන්නේ නම් වරදකරුට මරණ දඬුවම ලබා දීමට ඉස්ලාමීය ආණ්ඩුවට කිසිඳු අයිතියක් නැහැ.

දුරාචාරය

දුරාචාරය සැලකීමේදී, දුරාචාරයේ යෙදුන පුද්ගලයන් විවාහක නම් ඔවුන්ව ගල් ගසා මරනු ලබන අතර අවිවාහක නම් ඔවුන්ට කස පහරවල් 100ක් දෙනු ලබනවා. මෙහිදී මෙම දුරාචාරය ඇසින් දුටු සාක්ෂි හතරකින් සනාථ විය යුතු අතර හතර දෙනෙකුට අඩුවෙන් මෙම චෝදනාව නගනු ලැබුවේ නම් එසේ චෝදනා නැගූ අයට කස පහර වල් 80ක් බැගින් ලබා දෙන ලෙස ඉස්ලාම් දහම අණ කරනවා. මෙලෙස සාක්ෂි නොමැති විට වැරදි කරුවන් හතර වරක්ම් පාපොච්චාරණය කළහොත් පමණක් ඔවුන්ට හිමි දඬුවම ලබා දෙනවා.

පතිවත රකින ස්ත්‍රීඟන්ට චෝදනා කොට පසුව සාක්ෂිකරුවන් සතර දෙනෙකු නොගෙනෙන අයට කස පහර අසූවක් ගසන්න. ඔවුන්ගේ සාක්ෂිය කිසිවිටෙක පිළි නොගන්න. වරදකරුවෝ ඔවුහු ම ය. [අල් කුර්ආනය 24 : 05]

ස්ත්‍රී දූෂණ

ස්ත්‍රී දූෂනයකදී ක්ෂමා කිරීම් වලංගු නොවන අතර ස්ත්‍රී දූෂණය ඔප්පු වොවහොත් ස්ත්‍රී දූෂකයාට මරණ දඬුවම නිසැකවම හිමි වෙනවා. මෙහිදී දූෂණයට පත් වූ කාන්තාව සාක්ෂි හතරක් ඉදිරිපත් කළ යුතු වන්නේ නැහැ.

සොරකම්

සොරකමේ යෙදෙන ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයේ ම දකුණත මැණික් කටුව දක්වා කැපිය යුතු යැයි ඉස්ලාම් පවසනවා.

සොරා, සෙර ආදී දෙදෙනාගේ අත් කපා දමන්න. මෙය ඔවුන් කළ දැයට හිමි කුලියක් ද අල්ලාහ්ගේ දඬුවමක් ද වේ. අල්ලාහ් අබිබවන්නෙකි. ප්‍රඥාවන්තයෙකි. [අල් කුර්ආනය 5:38]

  • මෙසේ අත කපා දමන විට සොරා දිගින් දිගට ම සොරකම් කරන්නේ නැහැ. සොරකම් කිරීමට ද හැකියාවක් නැහැ. නැවතත් සොරකම් කිරීමට මනසෙන් නොසිතීම සමාජයට මෙන්ම ඔහුට ලැබෙන එක් යහපතක්.
  • පළමු වර සොරකම් කිරීමට සිතන කෙනෙක් ඊට ලැඛෙන දඬුවම ගැන දැන ගන්නා විට සොරකමට උනන්දු වන්නේද නැහැ. මෙයද සමාජයට මෙන්ම ඔහුට ලැබෙන තවත් යහපතක්.

මෙහිදී දඬුවම් ලබා දීමේ අරමුණ සම්පූර්ණයෙන් ම ඉෂ්ට වෙනවා. එපමණක් නොව වරදකරුවා වසර ගණනාවක් පුරා බන්ධනාගාරගත කර ඔහු නඩත්තු කොට ආරක්ෂා කොට පෝෂණය කිරීමේ දී දැරීමට සිදු වන වියදම් ද ඉතිරි කරගන්න පුළුවන්. එනිසා මෙම නීතිය තුළින් ජනතාවගේ බදු මුදල් නාස්ති වීම වැළකෙනවා.

“අනේ පව්` අත කපා දමනවාලූ`” යනුවෙන් අනුකම්පා බස් දෙඩවීම මානව දයාව යැයි සමහරු සිතනවා. මෙම ස්ථාවරය සාධාරණද? මරණ මංචකයේ සිටින තම භාර්යාවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඛෙහෙත් මිල දී ගැනීමට යන පුද්ගලයෙකුගෙන් සොරෙක් මුදල් සොරකම් කරනවා යැයි සිතන්න. මෙහි දී මුදල් පමණක් නොව තම භාර්යාවගේ ජීවිතයත් අහිමි කර ගෙන තුෂ්නිම්භූත වී සිටින තැනැත්තා වෙනුවෙන් අනුකම්පා වන්නේ කවුරුන් ද? යුක්තිය හා අවංක බව ප්‍රිය කරන කෙනෙක් පීඩාවට පත් වීම දෙසත් මහ මගට පත් වීම දෙසත් බලා අනුකම්පා නොකර ඔහු මහ මගට පත් කළ දුෂ්ටයා වෙනුවෙන් මානව හිතවාදී යැයි තමුන්ව හඳුන්වා ගන්නා පිරිස් අනුකම්පා කරනවා. ඒවගේම මෙසේ සොරකමට අත් කපා ගෙන ගියේ නම් අත් නැති අයගේ සංඛ්‍යාව වැඩි වනු ඇතැයිද සමහරු පවසනවා. නියත වශයෙන් ම අත් නැති අයගේ සංඛ්‍යාව වැඩි වී නැහැ. එක ම එක් සොරෙකුගේ අත කපා දමන විට අන් කිසිවෙකුට සොරකම් කිරීමට ධෛර්යයක් ඇති වන්නේ නැහැ. එනිසා කපනු ලබන අත් වල සංඛ්‍යාව නියත වශයෙන්ම වැඩි වන්නේ නැහැ. මෙහි දී සොරකමට අදාළ දඬුවම ගැන සඳහන් කර ඇත්තේ උදාහරණයක් වශයෙන් පමණයි. ඉස්ලාම් පවසන සියලූ දඬුවම් පිහිටා ඇත්තේ මේ අකාරයෙනුයි.

දේශ ද්‍රෝහී ක්‍රියා

දේශ ද්‍රෝහී ක්‍රියා සඳහා කෙනෙකුට හිමි වන දඬුවම වන්නේ මරණය හෝ රටින් පිටමං කිරීම හෝ කුරුසයේ තබා ඇන ගැසීමයි. මෙහිදී පමණක් මෙම දඬුවම ලබා දීමේ අයිතිය රාජ්‍ය නායකයාට හිමි  වෙනවා. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉස්ලාමය හැර යන්නාට මරණ දඬුවමද? යන ලිපියේ සඳහන් වී තිබෙනවා.

සමාව දීම

ඉහත අපරාධ සැලකීමේදී සමාව ලබා දිය හැකි අපරාධ වලදී පීඩාවට පත් පිරිස් වැරදිකරුවාට සමාව ලබා දීම ඉස්ලාමය ඉතා උතුම් ලෙස සලකන මෙහිදී සඳහන් කළ යුතුයි.

සාරාංශය

ලෝවේ රටවල් ජනරජ නායකයාට ලබා දුන් බලය පීඩාවට පත් වූ අයට ඉස්ලාම් ලබා දෙනවා. නීතියක් තිබිය යුත්තේ මෙලෙස ය යන්න යුක්තිසහගත අදහස් දරන කිසිවෙකු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පීඩාවට පත් වූ අයගේ සිත් සෑහීමකට පත් වන අයුරින් දඬුවම් නොතිබුණි නම් පීඩාවට පත් වූ අය ම වරදකරුවන් බවට පත් වන තත්ත්වයක් ඉන් උදා වන අවස්ථා එදිනෙදා ජීවිතයේදී අපට දැක ගන්න පුළුවන්. මිනී මැරුම් චෝදනාවට අත් අඩංගුවට ගනු ලබන තැනැත්තා ඇප මත මුදා හරිනු ලබන විටත් බන්ධනාගාරයෙන් අධිකරණයට ගෙන යනු ලබන විටත් ඝාතනයට ලක් වූ අයගේ ඥාතීන් සාතකයා මරා දැමීම දෛනික සිදු වීමක් බවට පත් වී තිබෙනවා. මෙවන් තත්ත්වයකට හේතුව කුමක් ද? “මෙම නීතිය ඝාතකයාට දඬුවම් නොදීම ය. දඬුවම් කළ ද එය ප්‍රමාණවත් නොවීම ය” යන හැඟීමෙන් ඝාතනයට ලක් වූ අයගේ ඥාතීහු ද වරදකරුවන් බවට පත් වෙනවා. අපරාධ වැඩි වීමට මෙය ද හේතුවක් යැයි පැවසීම සාධාරණයි.

ලෝකයේ බොහෝ රජයන් පාලන බලයට පැමිණ ගොස් තිබෙනවා. නමුත් ජනතාවගේ ජීවිත වලට ද දේපළ වලට ද කාන්තාවන්ගේ පතිවතට ද ආරක්ෂාව සැලසිමේ වගකීම සම්බන්ධයෙන් සියලූ රජයන පරාජයට පත් වී තිබෙනවා. කවදා කොහි මොහොතේ කුමක් සිදු වේවි ද යන බියෙන් ම ජනතාව ජීවත් වීමේ අවධානම් සහගත තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතු නම් වරදකරුවන්ට දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් කරුණාව යන වචනයට ම ඉඩක් නොතිබිය යුතුයි.

ඉස්ලාම් පවසන්නේ ය යන පටු අරමුණින් ඉස්ලාමීය දඬුවම් ක්‍රම ප්‍රතික්ෂේප නොකර එයින් හට ගන්නා යහපත් ප්‍රතිපල ගැන අවධානය යොමු කර එය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් විය යුතුයි. වරදකරුවන්ට සම්බාහනයක් ලබා දෙන දඬුවම් වෙනස් කර ඔවුනට එරෙහි ව කසය ඔසවා දරුණු දඬුවම් ක්‍රියාත්මක කළේ නම් ලෝකය සාමයේ නිවෙස්නයක් බවට පත් වනු නිසැකයි.

කෙසේනමුත් නොසැලකිලි අන්දමින් දඬුවම් ලබා දෙන ලෙස ඉස්ලාම් දහම පවසන්නේ නැහැ. දඬුවම් ලබා දෙන ලෙස පවසන්නේ වරද මනා ලෙස ඔප්පු කිරීමෙන් පසුවයි. උදාහරණයක් ලෙස මරණ දඬුවම ලැඛෙන්නා වූ වරදක් ලෙස සලකනු ලබන දුරාචාරයේ යෙදීමේ වරද සෘජු ඇසින් දුටු සාක්ෂි හතරක් මගින් ඔප්පු කළ යුතු වන අතර හතර දෙනෙකුට අඩුවෙන් මෙම චෝදනාව නගනු ලැබුවේ නම් එසේ චෝදනා නැගූ අයට කස පහර වල් 80ක් බැගින් ලබා දෙන ලෙස ඉස්ලාම් දහම අණ කරනවා.

අන් සියලු පාලන ක්‍රම වල මෙන්ම ඉස්ලාමීය පාලන ක්‍රමය තුළද සාක්ෂිකරුවන් නොමැති වන විට ඇතැම් වැරදිකරුවන්ට මෙලොවදී දඬුවමින් ගැලවිය හැකියි. නමුත් පරලොව විනිශ්චයෙන් බේරීමට ඔවුන්ට පුළුවන් කමක් නැහැ.

මෙහිදී මෙම දණ්ඩ නීතිය ක්‍රියාත්මක කිරීමට ඉස්ලාම් දහම අනුමැතිය ලබා දී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යකට පමණක් බව සැලකිය යුතුයි. එනිසා මෙම නීති සියල්ල ලංකාව වැනි ඉස්ලාමීය පාලනයක් නොමැති රටවල ක්‍රියාත්මක කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. 

Share Button