හේතු ඵල වාදයේ සීමාව! දාර්ශනික විග්‍රහයක්

යම් දෙයකට ආරම්භයක් තිබෙනවා නම් එය හේතුවක් නොමැතිව ඉබේම ඇති වෙන්න බැහැ. උදාහරණයකට කිසිම හේතුවක්, එහෙමත් නැත්නම් තවත් යමක බලපෑමක් නොමැතිව ජංගම දුරකතනයක් බිහි වෙන්න පුලුවන්ද? බැහැ කියල සරලවම පවසන්න පුළුවන්. ආරම්භයක් ඇති දෙයකට එම ආරම්භය සඳහා වූ හේතුවක් තිබිය යුතුයි කියල දාර්ශනිකයන් පවසන්න හේතුව මෙයයි. මෙම කරුණ අපිටම පවා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. හේතු-ඵල වාදය ලෙස සැලකෙන්නේ මෙයයි. කෙසේනමුත් යමක ආරම්භයට හේතුවූ දෙයට හෝ හේතුවටත් ආරම්භයක් තිබෙනවා නම් එම හේතුවේ ආරම්භයටත් තවත් හේතුවක් තිබිය යුතු බව දැන් ඔබට පැහැදිලි ඇති.

එනම්,

  • A නම් ඵලයක් තිබෙනවා යැයි සිතමු.
  • A හි ආරම්භයට හේතුව B ලෙස සලකමු.
  • B ට ආරම්භයක් තිබෙනවාඑනම් එහි ආරම්භයටත් C නම් හේතුවක් හේතුවක් තිබිය යුතුයි.
  • මේ ආකාරයෙන් දිගින් දිගටම සිතන්න පුළුවන්. මෙලෙස දිගින් දිගටම යෑම යතාර්තවාදීද ? මේ ගැන කරුණු මෙම ලිපියේ අඩංගු කර තිබෙනවා.

කෙසේනමුත් ආරම්භයක් නොමැති මුල් හේතුවක් තිබෙනවා නම් හේතු ඵල වාදය දිගින් දිගටම යන්නේ නැහැ. දැන් ඔබේ සිතට එක් සැකයක් මතු වෙන්න පුළුවන්. “ආරම්භයක් නොමැති දෙයක් තිබෙන්නේ කෙසේද?” යන ප්‍රශ්නය ඔබගේ සිතේ දැන් හට ගෙන තිබෙනවා ඇති.

මෙයට අදාල පිළිතුර ගැන දැන් සාකච්චා කරමු.

පහත උදාහරණය දිහා අවධානය යොමු කරන්න.

සොල්දාදුවෙකු ඉදිරියේ සතුරෙක් සිටිනවා. සොල්දාදුවා තම තුවක්කුව සතුරා දෙසට හරවා වෙඩි තියන්න සූදානම් වෙනවා. නමුත් වෙඩි තැබීමට තම ඉහළ නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. මෙසේ අවසර දීමට එම ඉහළ නිලධාරියා තමාගේ ඉහළ නිලධාරියාගෙන් අවසර ගැනිය යුතුයි. එම අවසරය දීමටත් මෙම ඉහළ නිලධාරියා තමාගේත් ඉහළ නිලධාරියාගෙන් අවසර ගැනිය යුතු වන අතර මෙම අවසර ගැනීමේ ක්‍රියාව නිමාවක් නොමැතිව දිගින් දිගටම අනන්තයක් දක්වා යනවා යැයි සිතමු. කවදා හරි සොල්දාදුවාට තම සතුරාට වෙඩි තියන්න පුළුවන් වේවිද?

පැහැදිලි පිළිතුර වනුයේ “නොහැකියි, ඔහුට වෙඩි තියන්න පුළුවන් වෙන්නේ නැහැ” යන්නයි.

සොල්දාදුවාට තම සතුරාට කොයි මොහොතේ හෝ වෙඩි තැබීමට පුළුවන් වෙන්නේ ඉහත සඳහන් අවසර ගැනීමේ ක්‍රියාදාමයේ තවදුරටත් අවසර ගැනීමට අවශ්‍ය නැති එක් පුරුකක් ලෙස ඉතා ඉහළ නිලධාරියෙක් සිටියහොත් පමණි. එවිට එම ඉතා ඉහළ නිලධාරියාගේ සිට අවසරය අනෙකුත් නිලධාරියන්ට අනු පිළිවෙලට හමු වෙන අතර අවසානයේ සොල්දාදුවාටද හිමිවෙනවා. දැන් සොල්දාදුවාට පුළුවන් සතුරාට වෙඩි තියන්න.

තවත් උදාහරණයක් සලකමු.

ඔබ මෙම ලිපිය කියවන පරිගණකය නිපදවීමට එක් රෝබෝවරයෙක් අවශ්‍ය යැයි සිතමු. එම රොබෝවරයා නිපද වීමට විශාල කර්මාන්තශාලාවක් අවශ්‍ය යැයි සිතමු. එම කර්මාන්තශාලාව නිපදවීමට විශාල ක්රෙන් යන්ත්‍රයක් අවශ්‍ය යැයි සිතමු. මේ අකාරයෙන් දිගින් දිගටම අවශ්‍යතාවය දික් ගැස්සෙන්නේ නම් ඔබට මෙම ලිපිය කියවන්න පරිගණකයන් දැන් තිබෙන්න බැහැ. එසේ ඔබට පරිගණකයකින් මෙම ලිපිය කියවන්න පුළුවන් වන්නේ ආරම්භයක් නොමැති මුල් හේතුවක් තිබුනොත් පමණි. සරලව කියනවා නම් ඔබ පරිගණකය තුළින් මෙම ලිපිය කියවීම ආරම්භයක් නොමැති මුල් හේතුවක පැවැත්ම සනාථ කරනවා.

බර්ට්‍රන්ඩ් රසල් නම් දාර්ශනිකයා මෙසේ ප්‍රකාශ කරනවා “ඕනෑම දෙයකට ආරම්භයක් තිබිය යුතු යැයි සිතන්නට පෙළඹෙන්නේ අපගේ චින්තනයෙහි පවත්නා දරිද්‍රත්වය හේතුවෙනි [1].

හේතු-ඵල වාදය දිගින් දිගටම යනවා යයි පැවසීම තර්කානුකූල නොවන අතර යතාර්තයට පටහැනි බව දැන් ඔබට තේරෙනවා ඇති. හේතු-ඵල වාදය මුල් හේතුවක් නොමැතිව දිගින් දිගටම යනවා යැයි කෙනෙක් පවසනවා නම් එහි ප්‍රතිඵලය කිසිවක් නොමැති ශුන්‍යයක් විය යුතුයි. කිසිම ඵලයක් හෝ හේතුවක්, නිමාවක් නොමැතිව යන හේතුඵල දාමය යන සංකල්පයේ තිබෙන්නේ බැහැ. ඒ වගේම ආරම්භයක් නොමැති මුල් හේතුවක් යතාර්තයට අනුකූල හේතු-ඵල ක්‍රියාවලියට තිබිය යුතු බවත් ඔබ දැන් අවබෝධ කරගෙන ඇති යැයි සිතනවා.

කෙසේ නමුත් ආරම්භයක් නොමැති මුල් හේතුවක් තිබෙනවා යයි පිළිගැනීමට අකමැති ඇතැම් චින්තකයන් එසේ ආරම්භයක් නොමැති මුල් හේතුවක් අවශ්‍ය වන්නේ හේතු-ඵල ක්‍රියාදාමය රේඛීයව සැලකීමේදී පමණක් යයි පවසමින් මුල් හේතුවක අවශ්‍යතාවක් නොමැති චක්‍රීය හේතු-ඵල වාදයක් ඉදිරිපත් කරනවා.

එනම් උදාහරණයක් ලෙස පහත චක්‍රීය හේතු-ඵල දාමයක් සලකන්න පුළුවන්.

causation

  • A හි ආරම්භයට B හේතු වනවා
  • B හි ආරම්භයට C හේතු වනවා
  • C හි අරාම්භයට D හේතු වනවා
  • D හි ආරම්භයට A හේතු වනවා.

බැලු බැල්මට මෙම සංකල්පයේ වැරැද්දක් කෙනෙකුට දකින්න බැරි වෙන්න පුළුවන්. නමුත් මෙම චක්‍රීය ආකෘතියද තර්කානුකූල නොවන බවත් එය යතාර්තයට පටහැනි බවත් බුද්ධිමත්ව කල්පනා කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. ඉහත සඳහන් චක්‍රීය හේතු-ඵල දාමය නම් සංකල්පයේ ඇති දෝෂය හඳුනාගැනීමට තර්ක කිරීම මෙසේ සිදු කරමු.

A හි ආරම්භයට B හේතු වනවා. එනම් B නොමැතිව A ඇති වන්නේ නැහැ

causation causation1 causation2

B හි ආරම්භයට C හේතු වනවා. එනම් C නොමැතිව B ඇති වන්නේ නැහැ

causation1 causation2 causation3

C හි අරාම්භයට D හේතු වනවා, එනම් D නොමැතිව C ඇති වන්නේ නැහැ

causation2 causation3 causation4

D හි ආරම්භයට A හේතු වනවා. එනම් A නොමැතිව D ඇති වන්නේ නැහැ

මේ මොහොතේදී A තවම ආරම්භවී නැති බව ඔබට පහසුවෙන් වටහා ගන්න පුළුවන්. එනිසා දැන් කිසිවක් ඇතිවිය නොහැකියි.

සරලව කියනවා නම් අවසානයේදී A හි ආරම්භයට හේතු වන්නේ Aම බව ඉහත ප්‍රකාශ වලින් ඔප්පු වෙනවා. මෙය හරියට “ඔබගේ මව ඇයවම ප්‍රසූත කළා” යැයි පවසනවා වාගේ. එක දෙයක් එකම මොහොතේ තිබෙන්නයි නොතිබෙන්නයි පුලුවන්ද? A ආරම්භ වීමට A අවශ්‍යයි. නමුත් තවම A ආරම්භ වෙලා නැහැ. එනිසා චක්‍රීය හේතු-ඵල දාමය අවසානයේ කිසිම හේතුවක් හෝ ඵලයක් යතාර්ථවාදීව ඉතුරු නොවන රික්තයක් බවට පත් වෙනවා. එනිසා යම් ආකාරයක ඵලයක් තිබෙනවා නම් එය චක්‍රීය හේතු-ඵල දාමයෙන් කවදාවත් කිසිම අකාරයකින් විග්‍රහ කරන්න බැහැ.

දැන් ඔබට දෝෂය පැහැදිලි ඇති. එනිසා යතාර්ථය වන්නේ ආරම්භයක් නොමැති මුල් හේතුවකින් අවසන් වන හේතු-ඵල දාමයක් බව බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

මූලාශ්‍රයන්
[1] Burtrand Russel, Why I am not a Christion
* Jafar Idris, “The Contemporary Physicists and God’s Existence”, http://jaafaridris.com/the-contemporary-physicists-and-gods-existence/

Share Button