කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

ඉස්ලාමය කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බවත් කාන්තාවන්ට අසාධාරණයක් සිදු කරන බවත් ඉස්ලාම් දහම විවේචනය කරන ඇතැම් නූතන විවේචකයන් පවසනවා. කෙසේනමුත් ඉස්ලාමය කාන්තාව සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද යන්න නිසි ආකාරව අබබෝධකර ගන්නවා නම් මෙවන් චෝදනාවලට කිසිඳු ඉඩක් නොමැති බව ඕනෑම කෙනෙකුට වටහා ගැනීමට පුළුවන්. මේ සඳහා මුලින්ම අල් කුර්ආනයේ ඉගැන්වීම් අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රමවේදය අප දැන සිටිය යුතුයි. මීට අමතරව ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන යන ලිපියද කියවන්න. මෙම ලිපිය තුළින් ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් මඟපෙන්වීම් වල පදනම තේරුම් ගන්න පුළුවන්. මෙම කරුණු පිළිබඳව මනා අවබෝධයක් අප සතුව තිබෙන්නේ නම් විවේචකයන් එල්ල කරන චෝදනා සඳහා වූ නිසි පිළිතුරු මොනවාද යන්න අපට තේරුම් ගන්න පුළුවන්.

කාන්තා ඇඳුම පිළිබඳ විග්‍රහයක්

කාන්තාවක් තම මුහුණ හා මැණික් කටුව දක්වා අත් හැරෙන්න අනෙකුත් සියලු ශරීර අවයව නොපෙනන පරිදි ලිහිල් ඇඳුමක් ඇඳිය යුතු බව ඉස්ලාම් දහම පවසනවා. මෙම ඇඳුම “හිජාබ්” යැයි පොදුවේ හැඳින්වෙනවා. “හිජාබ්” යන වචනය සෑදෙන්නේ අරාබි වචනයක් වන “හජාබා” නම් පදයෙනුයි. එහි අදහස යමක් පෙනීමෙන් සැගවීම හෝ වසං කිරීමයි. නමුත් පවත්නා වු වකවානුවේ හිජාබ් හී සන්දර්හය වනුයේ එය මුස්ලිම් කාන්තාවකගේ විනීත වහන්තරාව යන්නයි. හිජාබය යනු හුදෙක් ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කරන වස්ත්‍රයක් පමණක් ම නොව නමුදු එය ඊටත් වඩා වැදගත් වන චර්යාව, හැසිරීම, කථාබහ සහ පොඳු ස්ථානයන් හී පෙනී සිටින ලීලාව යන්නද තේරුම් ගන්න පුළුවන්. වස්ත්‍රය එහි එක් මුහුණුවරක් පමණයි.

මුස්ලිම් නොවන සමාජයේ ඉස්ලාමය ගැන තිබෙන වැරදිමත වලින් එකක් වන්නේ ඉස්ලාමය කාන්තාවන්ට නිර්ණය කරන මෙම ඇඳුමයි. එනම් ඉස්ලාමය පවසන ලෙස ඇඳීම කාන්තාවන්ට දෙන පීඩනයක් ලෙසත්, කාන්තා අයිතිය උල්ලංගනය කිරීමක් ලෙසත්, කාන්තාවන්ගේ පුද්ගලික නිදහසට බාධා කිරීමක් ලෙසත් ඇතැමුන් සිතනවා. කෙසේනමුත් ඉස්ලාමීය ඉගැන්වීම් පිළිබඳව විවෘත මනසින් තරමක් ගැඹුරින් අධ්‍යයනය කරනවා නම් එය මිනිසාට හා සමාජයට ගෙන දෙන යහපත පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

ඉස්ලාමයේ ඉගැන්වීම් ගත් කල, ඉස්ලාමය ‘නැමදුම් කටයුතු’ පමණක් ගැන කථා කරන ආගමක් නොවන බව මුලින්ම මතක තබා ගත යුතුයි. ඒ තුළ මිනිස් ජීවිතයේ විවිධ අංශ සඳහා මගපෙන්වීම් තිබෙනවා. මිනිසාගේ දුර්වලතා හා අනෙකුත් සියලු දේ හොඳින් දන්නේ මිනිසා නිර්මාණය කළ ඔහුගේ නිර්මාපකයායි. එනිසා ඔහුගේ යහපත සඳහා වූ නිවැරදි මගපෙන්වීම් පැමිණිය යුත්තේ ඔහුගෙනුයි. මිනිසා විසින් කාන්තාවන්ට නිර්ණය කළ ඇඳුමත් මෙවන් එක් මග පෙන්වීමක්. කෙසේනමුත් ඉස්ලාමීය නීතියේ අරමුණ හුදෙක්ම කාන්තාවකට එක් වස්ත්‍රයක් නිර්ණය කිරීම නොව සාරධර්ම වලින් පිරුණු සමාජයක් බිහි කිරීමයි. කාන්තා වස්ත්‍රය මූලික වශයෙන් ක්‍රියා කරන්නේ මෙම අරමුණ ඉටු කරගැනීම සඳහා වූ එක් සාධකයක් ලෙසයි. යහපත් සමාජයක් ඇති කිරීමට ඉස්ලාම් දහම ඉදිරිපත් කරන මගපෙන්වීම් රාශියක් තිබෙනවා, ඒ සියල්ල මෙම ලිපියෙන් කිසිසේත්ම ඉදිරිපත් කිරීම ඉතා අසීරු කාර්යයක්. එනිසා මෙහි සාකච්ඡා වන්නේ මාතෘකාවට අදාළ කරුණු පමණයි.

මිනිසා ස්වාභාවිකවම නිර්මාණය වී ඇත්තේ ලිංගික ආශාවන් ඇති පුද්ගලයෙකු ලෙසයි. කෙසේනමුත් මෙම ආශාව නිසි ලෙස පාලනය නොකරන්නේ නම් ඉන් ඇති වන බලපෑම අති මහත්. මෙම බලපෑම පුද්ගලික හෝ සමාජීය හෝ වීමට පුළුවන්. මෙයට පිළිතුරක් වශයෙන් ඉස්ලාම් දහම ප්‍රථමයෙන් පිරිමියා හැසිරිය යුත්තේ කෙසේද යන්න පවසනවා. පසුව කාන්තාව හැසිරිය යුත්තේ කෙසේද යන්න පවසනවා. සමාජයේ පැවැත්ම එනම් සාමයෙන් ජීවත්වීම, අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීමේ අවකාශ වසා දැමීම යන කාරණා මුල් කරගෙන ඉස්ලාමය මෙම මඟපෙන්වීම් ලබා දී තිබෙනවා.

පිරිමින් සඳහා වූ හිජාබය

ස්ත්‍රියක් දුටු කල, පිරිමියෙකුට ඇති වන සිතිවිලි, ගැහැණියකගේ අවයවයවන් දුටු කල එයින් පිරිමියා ලබන ආශ්වාදය මේ සියල්ලම ගැන මිනිසාගේ නිර්මාපකයා වන දෙවිඳුන් හොඳින් දන්නවා. එනිසා විශ්වාසවන්ත (එනම් මුස්ලිම්) පිරිමීන්ට අල්ලාහ් මෙසේ පවසනවා:

ඔවුන් තමන්ගේ බැලීම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද (නබි) ඔබ විශ්වාසවන්ත පිරිමින්ට පවසන්න! මෙය ඔවුනට වඩාත් පිරිසිදු වේ. නියතව ඔවුන් කරන දේ ගැන අල්ලාහ් හොඳින් දන්නාය. [අල් කුර්ආනය 24:30]

විශ්වාස කළ පිරිමින් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද පතිවත රැකගත යුතු යැයිද 24:30 වන වැකියේ සඳහන්. බැලුම් පහත් කරගත යුතුයි යන්නෙහි අදහස බිම බලාගෙන ගමන් කළ යුතුය යන්න නොවේ. කුර්ආනයේ සමහර වැකි යම් යම් විෂයන් ගැන පවසන්නේ සංශිප්තවයි. බැලීමට නුසුදුසු දර්ශණයක් අනපේක්ෂිතව දැකීමට සිදුවූයේ නම්, නැත්නම් තමා ඉදිරියෙහි ඉස්ලාමය අනුමත නොකරන දර්ශණයක් පෙනෙන්නට ඇත් නම්, එදෙස නොබලා තමාගේ බැල්ම පහත් කරගත යුතුය යන්න එහි අර්ථයයි. මේ පිළිබඳව මුහම්මද් තුමාගේ ඉගැන්වීම් වලින්ද තේරුම් ගන්න පුළුවන්.

ජරීර් ඉබ්නු අබ්දුල්ලාහ් මෙසේ පැවසුවේය: “වැරදීමකින් කාන්තාවක් දෙස බැලීම පිළිබඳව මා අල්ලාහ්ගේ දුතයාණන්ගෙන් විමසුවෙමි. මාගේ බැල්ම වෙනතකට යොමු කරන ලෙස ඔහු මට අණ කළේය” [1]

අල්ලාහ්ගේ දුතයාණන් මෙසේ පැවසුවේය: “අලි!, එක් බැල්මකට පසු තව සැරයක් නොබලන්න, පළමු බැල්ම සඳහා සමාව හිමිවේ, නමුත් දෙවන බැල්ම සඳහා සමාව හිමි නොවේ” [2]

මින් අදහස් වන්නේ කාන්තාවක් දෙස වැරදීමකින් බැලීමෙන් පසුව අපගේ බැල්ම පහත් කළ යුතු අතර නැවත උවමනාවෙන්ම නොබැලිය යුතු බවයි. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් කෙනෙකුගේ සිත වැරදි සිතුවිලි නොඑන අකාරයෙන් පහසුවෙන් පාලනය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය අනුගමනය කිරීම ඇත්තෙන්ම අභියෝගයක්. මෙය පහසු වන්නේ ඉස්ලාමීය නීති පිළිපැදීමට උත්සහ දරන අවංක පුද්ගලයෙකුට පමණයි.

මීට අමතරව මුස්ලිම් පිරිමියෙකුගේ ඇඳුම කෙසේ තිබිය යුතුද යන්නත් ඉස්ලාම් දහම පවසනවා. පිරිමීන් ශරීරයේ නාභියේ සිට දනහිස් දක්වා ඇති කොටස ආවරණය කළ යුතුයි. ඔවුන් එම කොටස නිරාවරණය කළ හැක්කේ තම බිරින්දෑවරුන් ඉදිරියේ පමණයි. මේ හැරෙන්නට අනෙකුත් සියළු දෙනා ඉදිරියෙහි මෙම කොටස අනිවාර්යයෙන්ම ආවරණය කළ යුතුයි (වෛද්‍ය හේතුවක් සඳහා මෙම කොටස නිරාවරණය කිරීමේ කිසිම වැරැද්දක් නැහැ). ඔවුන්ගේ වස්ත්‍රයන් කාන්තාවන්ගේ වස්ත්‍රයන් මෙන්ද තිබිය නොයුතුයි. ඒ වගේම ඔවුන්ගේ ඇඳුම් කාන්තාවන්ගේ හැඟීම් අවදි කරවන තද වස්ත්‍රයන්ද නොවිය යුතුයි. පුරුෂයන්ට සේද රෙදි සහ රත්රන් පැළඳීමද තහනම්. මූලික වශයෙන් මුස්ලිම්වරයෙකු ඇඳුම් හැඳිය යුත්තේ ඔවුන් මුස්ලීම්වරුන් ලෙස හඳුනා ගැනීමටයි.

කාන්තාවන් සඳහා වූ හිජාබය

පිරිමියාට මගපෙන්වීම් ලබා දීමෙන් පසු ඉස්ලාමය කාන්තාවට යම් මග පෙන්වීම් කිහිපයක් ලබා දෙනවා. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා:

(නබිවරයාණෙනි!) ඔබ විශ්වාසවන්ත කාන්තාවන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද, තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද, ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න! තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. තමන් වසාගෙන සිටින තමන්ගේ අලංකාරය දන්වනු ලැබීම පිණිස තමන්ගේ පාදවලින් තට්ටු කිරීමද නොකළ යුතුය. විශ්වාසවන්තයිනි! ඔබලා ජය ලැබීම පිණිස ඔබලා සියලුදෙනාම අල්ලාහ්ගෙන්ම පාපවලට සමාව අයදින්න. [අල් කුර්ආනය 24:31]

අල්ලාහ් සිටින බව, මලක්වරුන් සිටින බව, අල්ලාහ් විසින් වේදක පහළ කළ බව හා අවසාන වේදකය කුර්ආනය බව, අල්ලාහ් විසින් දූතයින් යවනු ලැබූ බව හා මුහම්මද් තුමා ඔවුන්ගෙන් අවසාන දූතයා බවද, එලෝ දිනයක් ඇති බවද, යහකම් හා අයහකම් සියල්ල අල්ලාහ්ගේ අනුමැතිය ඇතිවම සිදු වේ යැයි සැකයෙන් තොරව විශ්වාස කර, එම විශ්වාසය තමන්ගේ ක්‍රියාවල ප්‍රායෝගිකව පෙන්වන ගැහැණුන් විශ්වාසවන්ත කාන්තාවන් යන ඝණයට ඇතුලත් වනවා. එනම් මෙම නියෝගය අදාළ වන්නේ ඉස්ලාමය සත්‍ය දහම ලෙස පිළිගත්, අල්ලාහ්ගේ අණට කීකරු වීමට ප්‍රිය කරන මුස්ලිම් කාන්තාවන්ට පමණයි.

දැන් ඉහත කුර්ආන් වැකියේ සඳහන් කරුණු එකිනෙක සාකච්චා කරමු.

1.(නබිවරයාණෙනි!) ඔබ විශ්වාසවන්ත කාන්තාවන් හමුවෙහි, ඔවුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද,…

විශ්වාසවන්ත ගැහැණුන් තමන්ගේ බැලුම් පහත් කරගත යුතු බව ඉහත වගන්තිය පවසනවා. එනම් ඉස්ලාමය අනුමත නොකරන දර්ශණ නොබැලිය යුතු බවද, අනපේක්ෂිතව එවැනි දර්ශණයක් දුටුවේ නම්, නැවත නොබලා තමන්ගේ බැලුම් පහත් කරගත යුතු යැයිද මෙම වැකිය පවසනවා. උදාහරයක් වශයෙන්, පිරිමියෙක් ගැහැණියකව සිප ගැනීම වැනි දර්ශණයක් දුටුවේ නම් එය දෙස නොබලා තමන්ගේ බැලුම් පහත් කරගත යුතුයි. මෙමගින් ඇයට ඇයව ආරක්ෂා කරගත හැකියි. එදෙස නොබැලීමෙන් ඇයගේ ආශාව ඇවිස්සීමක් සිදු වන්නේ නැහැ. එනිසා නුසුදුසු මාර්ගයන්හි නොයා ඇය ඇයව ආරක්ෂා කරගන්නවා. මෙය සමාජයේ පැවැත්ම වෙනුවෙන් ඉස්ලාමය දෙන විශිෂ්ට උපදෙසක්.

බාල වියේ පසුවන ළමුන් අන්තර්ජාලය හරහා ආරම්භකව නුසුදුසු දර්ශණ බැලීමට ප්‍රිය කරනවා. මෙය වර්ධනය වීම හේතුවෙන් ඔවුහු සමහර වැරදි ක්‍රියාවලද යෙදෙනවා. ඔවුන් කළ මුල්ම වැරැද්ද නුසුදුසු දර්ශණ බැලීමයි. මේ හේතුව නිසාම කුර්ආනය  නුසුදුසු දේ බැලීමේ මෙම වැරැද්ද නොකරන ලෙස පළමුව උපදෙස් දෙනවා.

2. තමන්ගේ පතිවත රැකගත යුතු යැයිද,…

ස්ත්‍රියක් තමාගේ පතිවත රැකීම යහපත් ක්‍රියාවක් යන්නෙහි කිසිදු ප්‍රතිවිරුද්ධ තර්කයක් නැහැ. නමුත් නොහොබිනා දර්ශණ බැලීමෙන් වැළකී සිටීම, ස්ත්‍රියක් තමාගේ පතිවත රැකගැනීමට රුකුලක් වෙනවා. විවාහ වූ මෙන්ම විවාහ නොවූ ස්ත්‍රීන් යන දෙකොටසම මෙවැනි දර්ශණ බැලීමෙන් වැළකී සිටිය යුතුයි. ඒ වෙග්ම අයුතු සම්බන්ධතා වලින්ද තමාව ආරක්ෂා කර ගත යුතුයි.

 3. ඔවුන්ගේ අලංකාරයෙහි පිටතට පෙනෙන දේ හැර ඔවුන් වෙන කිසිවක් හෙළි නොකළ යුතු යැයිද, තමන්ගේ හිස් වැසුම් වස්ත්‍රය තමන්ගේ පියයුරු මත දමාගන්නා ලෙසද ඔවුනට පවසන්න!

ස්ත්‍රියකගේ අලංකාරය පෙන්වන සමහර අවයවයන්ව අන් පිරිමින්ට නොපෙන්විය යුතු බව මෙම වගන්තිය පවසනවා. එනම් මුස්ලිම් ස්ත්‍රිය තම මුහුණ හා අතෙහි මැණික් කටුවේ සිට ඇඟිලි  දක්වා වූ කොටස වැසීම අනිවාර්ය නොවන අතර ඉතිරි කොටස් සියල්ල ආවරණය කළ යුතුයි. මුස්ලිම් ස්ත්‍රියක් තමාගේ හිසද ආවරණය කළ යුතුයි. හේතුව ස්ත්‍රියකගේ හිසකෙස්ද පිටතට පෙනෙන අලංකාරයක් වීමයි. කේෂාලංකාරය යැයි කේෂය ගැන වර්ණනා කිරීමක් සාහිත්‍ය පොත්වලද දැකගන්න පුළුවන්. මෙසේ හිස ආවරණය කරන වස්ත්‍රය මගින් තමන්ගේ පියයුරු ආවරණය කරගන්නා ලෙසටද මෙම වැකිය පවසනවා. මුස්ලිම් ස්ත්‍රියක් තමාගේ පියයුරුවල හැඩය අන් පිරිමින්ට පෙන්වීම තහනම්ය.

ඉස්ලාමය පවසන කාන්තා ඇඳුම කාන්තාවන්ට ඉතා සුදුසු ඇඳුමක් බව කිසිඳු සැකයක් නැහැ. එසේ තිබියදීත් බොහෝ අවස්ථාවන් වලදී මුස්ලිම් කාන්තාවන්ට එදිනෙදා ජීවිතයේ දී ඇසීමට ලැබෙන ප්‍රශ්නයක් ලෙස “මුස්ලිම් කාන්තාවන් ඔවුන්ගේ හිස ඇතුළුව මුළු ශරීරයම ආවරණය කරන්නේ ඇයි?” යන ප්‍රශ්නය සලකන්න පුළුවන්. මෙම  ප්‍රශ්නය සඳහා වූ පිළිතුර ඉතාම සරලයි. ඇත්තෙන්ම මුස්ලිම් කාන්තාවන් හිජාබය පළදින්නේ (නැතහොත් හිස සහ කය ආවරණය කරන්නේ) එය ඒකීය දෙවියන් වහන්සේ වන අල්ලාහ් ගේ නියෝගයක් වන නිසා හා එම නියෝගය පිළිපැදීම අල්ලාහ්ගේ ආදරය හිමි කරගැනීමටත් පසුව ස්වර්ගය හිමි කරගැනීමත් උපකාර වන නිසයි. එනිසා මෙම නියෝගය අදාළ වන්නේ විශ්වාසවන්ත කාන්තාවන්ට පමණයි. නමුත් මෙම ඇඳුම මුස්ලිම් නොවන කාන්තාවන්ටද ඉතා යෝග්‍ය බව මෙම ඇඳුමින් ලැබෙන ප්‍රයෝජන ගැන සැලකීමේදී කෙනෙකුට තීරණය කරන්න පුළුවන්.

ඉස්ලාමීය කාන්තා ඇඳුමේ ප්‍රයෝජනය

විශ්වාසවන්ත මුස්ලිම් කාන්තාවට නිර්ණය කරන ඇඳුම පිළිබඳව අල් කුර්ආනයේ තවත් තැනක මෙසේ සඳහන් වෙනවා:

නබිවරයාණෙනි! ඔබගේ භාර්ය්‍යාවන්ට ද, ඔබගේ දූවරුන්ටද, විශ්වාසවන්තයින්ගේ ගැහැණුන්ටද, ‘ඔවුන් තමන්ගේ හිස් ආවරණය තමන් කෙරෙහි එල්ලෙමින් තිබෙන සේ සකසාගන්නා ලෙසට පවසන්න! ඔවුන් හැඳින ගනු ලැබීම පිණිසද, හිරිහැර වලට ලක් නොවී සිටීම පිණිසද මෙය ඉතා සමීප දෙයක් වේ. තවද, අල්ලාහ් අධිකව සමාකරන්නා ලෙසද, අසම දයාවන්තයා ලෙසද සිටියි.” [අල් කුර්ආනය 33:59]

අල්ලාහ්ගේ අණට කීකරු වීම තුළින් ඔහුගේ ආදරය හිමි කරගෙන ස්වර්ගයට පිවිසෙන්න ප්‍රිය කරන මුස්ලිම් කාන්තාවන් අල්ලාහ්ගේ නියෝගය පරිදි හිස ඇතුළුව තම ශරීරය ආවරණය කර ගන්නවා. මෙම නියෝගයේ තිබෙන මූලික ප්‍රයෝජන දෙකක්ද අල්ලාහ් ඉහත කුර්ආන් වැකියේ සඳහන් කර තිබෙනවා..

  1. හැඳින ගනු ලැබීම පිණිස (එනම් දැහැමි කාන්තාවන් ලෙස හැඳින ගනු ලැබීම පිණිස)
  2. හිරිහැර වලට ලක් නොවී සිටීම පිණිස (එනම් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා)

මේ ගැන තරමක් ගැඹුරින් සාකච්චා කරමු.

සත්ව ලෝකයේ ඇඳුම් අඳින්නේ මිනිසා පමණි. මිනිසා සහ සත්ව ලෝකයේ අනිකුත් සතුන් අතර ඇති වෙනස්කම් අතුරින් ප්‍රධාන එක් වෙනස්කමක් ලෙස මෙය සලකන්න පුළුවන්. අප පමණක් මෙසේ කරන්නේ ඇයිද යන ප්‍රශ්නයට ලැබිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ මිනිසාට පමණක් උරුම වූ ලැජ්ජ බය මත පදනම් වූ සදාචාරය යැයි පැවසීම ඉතාමත් නිවැරදියි. එම නිසා ඇඳුම යනු සදාචාරය හා බැඳුනු ක්‍රියාවක් බව පැහැදිලියි. සදාචාරය හා බැඳීමක් නොමැත්තෙකුට ඇඳුම් පිළිබඳ ගැටලුවක් බොහෝ විට නොමැති අතර ඇඳුමේ ප්‍රමාණය අඩුවෙන තරමට හෝ ඇඳුම් නොමැතිවීම හෝ හොඳ යැයි සිතීමට ඉඩ තිබෙනවා. අප යහ මිනිසුන් යැයි හඳුන්වන්නේ සදාචාර සම්පන්න වුවන්ට යැයි පැවසීම ලොව ඕනෑම සමාජයක් පිළිගන්නා වූ යථාර්ථයක්. සදාචාරය සෑම දහමකම මුලික පදනම ලෙස සැලකෙන්නේ ඒ නිසයි. මෙම ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැකිය යන්න අප සියල්ලම දන්නා කරුණක්. එනිසා අපට අවශ්‍ය කරන්නේ ඇඳුම සඳහා වූ සුදුසු නිර්ණායකයන් බව පැහැදිලියි.

නුතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවයි. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු  දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමෙන් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණක්. අනෙක් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයක්. නැවත වරක් අප පැවසිය යුතුව ඇත්තේ තමන්ගේ මව, බිරිය, දියණිය හෝ සොයුරිය මහමග බහුතරයකගේ රාගික හැඟීම් ඇවිස්සීමේ ආධාරකයක් බවට පත්වීම සදාචාර සම්පන්න කිසිම පිරිමියෙක් අනුමත කරන ක්‍රියාවක් නොවන බවයි. නමුත් පිටස්තර ස්ත්‍රීන් එසේ තමන්ගේ රාගය ඇති කරවන භාණ්ඩයක් බවට පත්වීම අපේක්ෂා කරන පිරිමින්ද අප සමාජයේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් බව පැවසිය යුතුයි. මෙවන් ‘රෑ දනියෙල් දවල් මිගෙල්’ චරිත නිසා සිදු වී ඇති හානිය ඉමහත්ය.

පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ අතිප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය ගැන පවත්වන ලද පර්යේෂණයක් මගින් සොයා ගත් කරුණු පිළිබඳ විස්තරයක්. අපගේ අමතර විස්තර කිරීමකින් තොරව අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ තත්වය කුමක්ද කියා මෙමගින් ඔබට අවබෝධ කරගන්නට හැකි වේවි යැයි සිතන්නෙමු.

පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක) කාන්තාවන්ව කෙළි භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවයි.

නැෂනල් ජියොග්රැෆික් නිව්ස්: ඇමරිකාවේ, චිකාගෝ නගරයේ සිට ක්‍රිස්ටීන් ඩෙල් ඇමෝ වාර්තා කරනවා.

පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවන බව ඔප්පු වී තිබෙනවා. අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන්ගේ පින්තූර පිරිමින්ට පෙන් වූ විට උපකරණයක් හෝ මෙවලමක් දුටු විට ඔවුන්ගේ මොළයේ උද්දීපනය වන කොටස අවදි වූ බව ස්කෑනයක (පරිලෝකනයක) මාර්ගයෙන් සනාථ කර ගෙන තිබෙනවා. ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වූ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් වූ සුසාන් ෆිස්ක් විසින් කරන ලද මෙම පර්යේෂණය අනුව අඩු ඇඳුමින් සැරසුණු කාන්තාවන්ගේ පින්තූර දුටු විට පිරිමින්ගේ සිත් තුළ උත්තම පුරුෂ ක්‍රියා පදයන් වූ “මම තද කරමි, මම බදා ගනිමි, මම හසුරුවන්නෙමි” යනාදී අදහස් ඇති වන බවද මෙම මනෝ විද්‍යාඥවරිය පවසා තිබෙනවා.

ෆිස්ක් මහත්මියගේ ප්‍රකාශනයක් අනුව ඉතාම කම්පනීය සොයා ගැනීම වුයේ මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ ඇතැම් පිරිමින්ගේ මොළයේ මෙම පර්යේෂණ අවස්ථාවේදී තවත් අයෙකු මුණ ගැසුන විට අනිකාගේ අදහස් පිළිබඳව සිතන ස්ථානයේ කිසිදු ක්‍රියාකාරකමක් දක්නට නොලැබුණු බවයි. මෙයින් අදහස් වන්නේ මෙම පිරිමින් ස්ත්‍රීන් සම්බන්ධව දකින්නේ  ලිංගිකත්වයට ආරාධනා කරන අය ලෙස බවත් එම ස්ත්‍රීන්ගේ සිතුවිලි පිළිබඳව තැකීමක් මෙම පිරිමින් අතර නොතිබුණු බවයි. මෙය සාමාන්‍යයෙන් කිසිසේත්ම සිදුවන තත්වයක් නොවෙයි යන්නත් ඇයගේ අදහසයි.

විෂම ලිංගික(ස්ත්‍රී/පුරුෂ) චර්යාවන් ඇති පිරිමි 21 දෙනෙකු තෝරා ඔවුන්ගේ ලිංගික ආකල්පයන් ගැන පළමුව පරීක්ෂණයක් පවත්වන ලදී. මෙම පරීක්ෂණයට පැමිණි පිරිමින්ට අඩුවෙන් ඇඳගත් කාන්තාවන්ගේ හා හොඳින් ඇඟ වැසෙන පරිදි ඇඳ ගත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තූර පෙන්වන ලදී. පිරිමින්ගෙන් බහුතරය හිස පෙදෙස නොමැති බිකිනි ඇඳ ගත් කාන්තාවන්ගේ රුප තත්පරයෙන් 1/5 ක් වූ කාලයකට පෙන්වුවත් ඒවා ඉතා හොඳින් මතකයේ රඳවා ගෙන තිබුණු බව දක්නට ලැබුණා. මේ බව ෆිස්ක් මහත්මිය විසින් ඇමරිකානු විද්‍යාඥන්ගේ සංගමයකට වාර්තා කර තිබෙනවා.

දරුණු ලිංගිකත්වයක් ඇති පිරිමින් ලෙස වැඩිම ලකුණු ලබා ගත්තේ පිරිමින්ගේ ක්‍ෂේත්‍රය ආක්‍රමණය කරන හා පාලනය කරන උදවිය ලෙස ස්ත්‍රීන්ව දුටු අයයි. එයට අමතරව මිනිසත් බවක් ඇති, සිතීමට හැකි, චේතනාවන් ඇති අයෙක් දුටු විට මොළයේ ඇති වන ආකාරයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම බිකිනි ඇඳ ගත් ස්ත්‍රීන්ව දුටු විට ඔවුන්ගේ මොළයේ දකින්න ලැබිලා නැහැ. විද්‍යාඥයින් විසින් මෙවැනි මොළයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙයට පෙර නොදැක තිබුණේ නිවාස නොමැති හා මත් ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන්ගේ පින්තූර පෙන් වූ විට පමණයි.

නැෂනල් ජියෝග්‍රෆි ප්‍රවෘත්තියට ෆිස්ක් මහත්මිය විසින් පවසා සිටි පරිදි මෙවන් අධ්‍යයනයක් ස්ත්‍රීන්ව සම්බන්ධ කරගෙන අඩු ඇඳුමින් සැරසුන පිරිමින්ගේ ශරීර පෙන්වුයේ නම් මෙවන් ආකාරයෙන් එම පිරිමින්ව අමනුෂ්‍ය (භාණ්ඩයක) තත්වයට ඔවුන් විසින් පත් නොකරනු ඇත යන්නයි.

පරිනාමීය මනෝ විද්‍යාඥයින්ගේ මතය වුයේ ස්ත්‍රීන් වස්තුව හා බලය ඇති සහකරුවන් කෙරෙහි කැමැත්තක් දක්වන බවයි. එහෙයින් ෆිස්ක් මහත්මියගේ සහායකයන් විසින් අධික මිලැති වාහන හා අනෙකුත් ධනවත් සංකේත  අසල සිටිනා පිරිමින්ගේ පින්තුර පෙන්වා මෙවැනි පරීක්ෂණයක් කරන්නට යෝජනා කරන ලදී. නමුත් ෆිස්ක් මහත්මියගේ අදහස වන්නේ එය එලෙසින්ම සිදුනොවනු ඇත යන්නයි. මෙයට හේතුව ස්ත්‍රීන් තමන් කැමති පිරිමින් පිළිබඳව ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ ඔවුන්ගේ මනස පිළිබඳ අවබෝධයක් ඇති කරගැනීමෙන්, ඔවුන් කැමති දේවල් පිළිබඳව කල්පනාකාරී වීමෙන් හා ඉන් පසු ඔවුන්ව සතුටු කිරීමට උත්සාහ කිරීමෙන් වන නිසායි.

මෙම පරීක්ෂණයෙන් තහවුරු වන්නේ අන්‍ය අය ඉදිරියේ අඩු ඇඳුමින් සැරසී සිටීම කාන්තාවගේ ගරුත්වයට හානි ගෙන දෙන බව නොවේද? කාන්තාවන්ගේ වර්ණය, ලස්සන, තාරුණ්‍යය හා ඔවුන්ගේ ශරීර අවයව යනාදිය දෙස බලා රස විඳීම පිරිමියාගේ ස්වභාවයයි. අඩ නිරුවත් ඇඳුම් හෝ ශරීරය සමඟ තදින් තිබෙන ඇඳුම් අඳින කාන්තාවන් දෙස නිතර නිතර බැලීමට පිරිමියා පෙළඹෙන්නේ මේ නිසයි. මෙම ආශාව නොමැති පිරිමීන් ඉතා ස්වල්පයක් සිටියද බහුතරයකගේ ස්වභාවය මෙයයි. පිරිමියාගේ මෙම ආශාව පදනම් කරගනිමින් අසභ්‍ය චිත්‍රපට සඳහා දැන්වීමක් ලෙස අධිකව කාන්තාවන් යොදාගන්නවා. චිත්‍රපට නිපදවීම තුළින් බොහෝ අවස්ථාවල ධනය ඉපැයීමක් අපේක්ෂා කෙරෙනවා. එනිසා  වර්තමානයේ තිරගත වන බොහෝ චිත්‍රපටවල ගැහැණුන්ගේ අඩ නිරුවත් දර්ශණ අඩංගු වී තිබෙනවා දැක ගන්න පුළුවන්. මෙවැනි දර්ශණ නොමැති නම්, පිරිමි ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාවෙහි අඩුවීමක් දකින්න පුළුවන්. මීට අමතරව විවධ වෙළඳ දැන්වීම් වලදීද කාන්තාවන් යොදා ගැනෙනුයේ පිරිමියා ආකර්ෂණය කර ගන්නා මාද්‍යයක් ලෙසයි. මින් පෙනී යන්නේ කාන්තාව ලිංගික භාණ්ඩයක් බවට පත් වී අවසන් බව බවයි. කාන්තාවක් ඇඳුම් ඇඳිය යුත්තේ ඇයගේ ගරුත්වයට හානි වන අකාරයෙන්ද?

පිරිමීන් තමන්ගේ ඇතැම් ශරීර අවයව (කකුල්, පපුව) පෙනෙන්න ඇඳුම් ඇන්දද එයින් විශාල බලපෑමක් නැහැ. එවැනි පිරිමීන් පවා ගෞරවාන්විතව සලකනු ලැබීමට ශරීරය පූර්ණ ලෙස වැසෙන ආකාරයේ ඇඳුම් අඳිනවා (රටක ජනාධිපති, මන්ත්‍රීවරුන්, අචාර්යවරු, ගුරුවරු යනාදී පුද්ගලයින්). නමුත් ශරීර අවයව පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් තමා දෙස බලන කෙනෙකුට වැරදි චින්තනයක් ලබා දිය හැකි ශරීරයක් තිබෙන කාන්තාවන් තම ශරීර අවයව ආවරණය නොකර අන් අයට මනා ලෙස පෙනෙන ආකාරයට ඇඳීම පුදුම සහගත දෙයක්.

කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුණියකගේ හෝ ඇඳුම එක හා සමාන නොවෙන්න පුළුවන්. නමුත් මෙම ඇඳුම් දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදියි. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇතිවන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇතිවීමට ඉඩක් තිබේද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇතිනොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍යය වන්නේ ඔවුන්ගේ සිරුරු වැසෙන පරිදි ගෞරවනීය ලෙස ඇඳ ඇති “ඇඳුම” බව නොවේද? එසේනම් තමන්ගේ මව, බිරිය, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත් තුළ ලිංගික හැඟීම් ඇති නොකොට සිටී නම් ඔවුන්ගේ ඇඳුම් සංවර විය යුතු බව අප පිළිගත යුතු නොවන්නේද?

කිතුනු මව් තුමිය ඇගේ මුහුණ, දෑතේ මැණික් කටුවෙන් (wrist) පහත අත්ල හා දෙපයේ වළලුකරින් (ankle) පහත පාද කොටස යන ශරීර පෙදෙස් හැර මුළු ශරීරයම වැසෙන පරිදි  ඇඳුම් ඇඳ ඇති ආකාරය දකින පිරිමියෙකුගේ මනසේ ඇය පිළිබඳව ඇති වන්නේ ගෞරවයක් යන්න අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. ඇගේ පාදද පාවහන් වලින් හා බොහෝ විට මේස් වලින් ආවරණය වී තිබෙනවා. මෙහෙණීන් වහන්සේගේ ඇඳුමද මෙයටම සමාන සංවරතාවකින් යුක්ත වනවා. එකම වෙනස වන්නේ හිස්ආවරණයයි. භික්ෂුණියකට හිස වසා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන්නේ එය සම්පුර්ණයෙන්ම මුඩුගා ඇති නිසයි. මොවුන් මෙවන් සංවර ඇඳුමක් අඳින්නේ නොමැති නම් කිතුනු මව්තුමිය මෙන්ම මෙහෙණීන් වහන්සේ නමක් වුවද දකින පිරිමියෙකුට ගෞරවය වෙනුවට ඇති විය හැක්කේ කුමන ආකාරයේ චෛතසික හැඟීම් ද යන්න ගැන අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් නැහැ.

බෞද්ධ මෙහෙනින් වහන්සේලාගේ ඇඳුම, හා කිතුනු කන්‍යා සොහොයුරියන්ගේ ඇඳුම් බොහෝ සෙයින් මුස්ලිම් ස්ත්‍රියකගේ ‘අබායා’ ඇඳුමට සමාන තත්වයක පවතිනවා. කෙසේනමුත් ආගමික උපදේශිකාවන්ට යැයි එක ඇඳුමක් හා අන් අයට තව ඇඳුමක් යැයි ඉස්ලාමයේ නැහැ. විශ්වාස කළ ස්ත්‍රීන්ට යැයි ඉස්ලාමය මෙම නීතිය සියලුම මුස්ලිම් ස්ත්‍රීවරුන්ට යැයි පොදුවේ පවනවා.

යම්කිසි මුස්ලිම් කාන්තාවක් තම හිස ආවරණය කිරීම තුළින් ගමය්‍ය කරණුයේ ඇයගේ අනන්‍යතාවයයි. කිසියම් පුද්ගලයෙකු ඇයව දැකීමෙන් හඳුනාගනුයේ ඇය මුස්ලිම් කාන්තාවක් ලෙසත් ඇය ඉතා සදාචාරාත්මක චරිත ස්වභාවයකින් යුත් තැනැත්තියක් ලෙසයි. බොහෝ හිජාබය පළඳින මුස්ලිම් කාන්තාවන් තමන් පිළිබද ආනූභාවයක් සහ ආත්ම අභිමාණයක් හොබවනවා. ඒවගේම අන්‍යන් ඔවුන් මුස්ලිම් කාන්තාවන් ලෙස හඳුනා ගැනීමද ඔවුන්ගේ සතුටට කරුණක්. ඇය චාම් පතිවත රකින, නිරහංකාර විනීත, නිර්මල සුදු කාන්තාවක්, ඇය සියළු පිරිමින්ගේ අන්‍යෝන්‍ය පටු මාත්‍රයක් තරම් වත් වු කාමුක කථාබස් වලින් නිදහස් කාන්තාවක්. ආවරණය වු කාන්තාව තම ලිංගිකත්වය වසන් කළත් ඇයගේ ස්ත්‍රීභාවය විදහා දක්වනවා. මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවටද මතයක් තිබෙනවා. මෙය පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම  අර්ථ විරහිත අදහසක්. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ  බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටයි. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇති වන්නේ ලැජ්ජ බය මුසු වූ  තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්වයක්. කාන්තාවන් කුමන ඇඳුම ඇන්දත් පිරිමියාට සිත පාලනය කර ගෙන සිටිය නොහැක්කේ ඇයි යැයි ද, මෙය කාන්තාවන්ගේ අඩුවක් නොව පිරිමියාගේ මානසික රෝගයක් ලෙසද ඇතැමුන් සිතුවද එය රෝගයක් නොව කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වීම පිරිමියාගේ ස්වභාවික සැකැස්ම බව ඉහත පර්යේෂණය සනාත කරනවා.

කාන්තාවන් දැහැමි කාන්තාවන් ලෙස හැඳින ගනු ලැබීමට ඉස්ලාමය නිර්ණය කරන ඇඳුම උපකාර වන බවත් මෙම ඇඳුම කාන්තාවන්ගේ ගරුත්වය ඉහළ නංවන බවත් ඉහත කරුණු දෙස බලන ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්.

කාන්තාවන් අඩු ඇඳුමින් සැරසී සිටීම නිසා මොවුන් ඇතැම්විට විවිධ ආකාරයෙන් හිරිහැර වලට ලක් වන්නද පුළුවන්. කාන්තාවන්ගේ අවයව දැකීම තුළින් පිරිමින්ගේ ආශා ඇවිස්සීමට ඉඩ තිබෙන අතර මෙම ආශාව පාලනය කර ගත නොහැකි විට එම තැනැත්තියටද මෙන්ම පිරිමියාටද අනතුරක් සිදුවීමට ඉඩ තිබෙනවා.

ගැහැණියගේ සමහර අවයවයන් දැකීමෙන් පිරිමියා යම් ආශ්වාදයක් ලබනවා. මෙය පිරිමීන් තුළ වැරදි සිතුවිලි ඇති වීමට මෙය බලපානවා නිසැකයි. කාන්තාවක් දෙස බලන තරුණයින් පිරිසක් ළඟ සිටින්නේ නම් ඔවුන් තුළ ඇති වන මෙම වැරදි සිතුවිලි ගැන හොඳින් දැන ගන්න පුළුවන්. මෙය පිරිමියාගේ සදාචාරය නැති කර දමනවා නොවේද?

මෙසේ ආශාවෙන් ඇවිස්සූ ඔහු සමහර විටෙක මෙම කාර්යය ක්‍රියාවට නැංවීමටද උත්සාහ දරනවා. අන්‍ය ස්ත්‍රියක් ලෙස මෙසේ ආකර්ෂණය වන විවාහකයින් අනියම් සම්බන්ධකම් පවත්වා ගෙන යාමට පෙළඹෙනවා. මින් බලපෑමට ලක්වන්නේද ස්ත්‍රීන් බව පැහැදිලි කරුණක්. ඇතැම් විට කාන්තාවක් දෙස බලා රසවිඳ තම සිත පාලනය නොකළ හැකි මොහොතේ එම කාන්තාවගේ කැමැත්ත නොමැතිවද ඇයට ලිංගික බලහත්කාරකම් කිරීමට ඇතැම් පිරිමීන් පෙළඹෙනවා. පිරිමියෙක් මොනයම් ඇඳුමක් ඇන්දත් ඔහුට කාන්තාවකගෙන් බලපෑමක් ඇති වන්නේ නැහැ. හේතුව කාන්තාවගේ කැමැත්ත නොමැතිවද ඇයට ලිංගික බලහත්කාරකම් කිරීමට පිරිමීන්ට පුලුවන් වුවද පිරිමියෙක් දෙස බලන කාන්තාවකට, පිරිමියාගේ කැමැත්තක් නොමැතිව කිසිසේත්ම පිරිමියා සමඟ ලිංගිකව එක් වීමට නොහැකි වීමයි. එනිසා කාන්තාවක් තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත් වීම වළක්වාගත නොහැකි කරුණක්. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු දෙනෙත් තමා වෙත යොමු වන විට යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටයි. මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසා ගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නැහැ. එනිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝ විට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක් විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකයි. ඒ වගේම කාන්තාවක් දූෂණය කිරීම හේතුවෙන් දඬුවම් හිමිවේ යැයි බිය වන පිරිමීන් මෙම කාන්තාව ඝාතනය කර සැඟවා දමන්න පෙළඹෙනවා. මෙවන් සිදුවීම රාශියක් සිදු වී තිබෙන බව පුවත් පත් තුළින් දැන ගැනීමට පුළුවන්.

අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද? කාන්තාවන්ට ඇති වන හිරිහැර වලින් ආරක්ෂා කිරීමට ඉස්ලාමය නිර්ණය කරන කාන්තා ඇඳුම උපකාර වන බව පැහැදිලි සත්‍යයක්. එක් අවස්තාවක ඉරාන පාසල් ශිෂ්‍යාවක් මෙසේ පවසා සිටියා:

“අපිට අවශය්‍ය පිරිමියා අප කාමුකත්වය අරමුණු කරගෙන අප පිළිබද සැලකීම වළක්වාලීමයි. මන්දයත් ඔවුන් ඉඩ ලැබෙන්නාවු සෑම අවස්ථාවකදීම අවදානය යොමු කළේ එයට පමණයි. අපිට අවශය්‍ය ඔවුන් අපගේ මුහුණුවර හෝ භාහිර පෙනුම නොසලකා හැර අපගේ පෞරුෂත්වයට සහ චින්තනයට විශේෂ සැලකිල්ලක් දැක්වීමයි. අපිට අවැසි ඔවුන් අපිට අනෙකාට මෙන් සමාන සැලකිල්ලක් දැක්වීමයි. නැතහොත් අපගේ භාහිර පෙනුමට හෝ රූපයට අප පසුපස හබා එන පිරිමින් නොවේ.”

මෙම කරුණු වලින් පැහැදිලි වන්නේ හිජාබය කාන්තාව ආරක්ෂා කරමින් ඇයට අයිති නිසි ගරුත්වය දී ඇති බවයි.

ඉස්ලාමීය ඇඳුමින් ලැබෙන තවත් ප්‍රයෝජන

ශරීර අවයව පෙනෙන ලෙස ඇඳුමක් ඇඳගත් කාන්තාවක් දෙස ලිංගික ආශාවෙන් බැලීමේද වැරැද්දක් නොමැති බව ඇතැමුන් තර්ක කරන්න පුළුවන්. නමුත් මෙහි බලපෑම ගැන මදක් අවධානයෙන් බලන්නේ නම් මෙම තර්කය වැරදි බව අපට වටහා ගත හැක.

  1. අන්‍ය කාන්තාවක් කෙරෙහි වැරදි සිතුවිල්ලක් පිරිමියාගේ මනසේ වෙනවා
  2. තම විවාහක බිරිඳට වඩා වෙනත් කාන්තාවට ආශා කරන අතර ඇයව කෙසේහෝ ලබා ගැනීමට පෙළඹීම : නොඑසේනම් මානසිකව වුවද මෙම කාන්තාවට බැඳී සිටීම සිදු විය හැකියි. මෙම කාන්තාව තම විවාහක බිරිඳ සමඟ සංසන්දනය කිරීම තුළින් තම බිරිඳ කෙරෙහි තිබෙන ආශාව ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙන්නත් පුළුවන්.
  3. ස්ත්‍රී දූෂණයට පෙළඹීම: සිත පාලනය කළ නොහැකි විට ස්ත්‍රී දූෂණයට පෙළඹීම
  4. විකෘති ලිංගික අශා ඇති වීම : නිතර නිතර මෙවන් දර්ශන දැකීම තුළින් ලිංගික ආශාවන් සංතෘප්ත විය හැකි බැවින් කෙනෙකුට විකෘති ලිංගික ආශාවන්ද ඇති විය හැකියි (සම ලිංගික සම්බන්ධකම්, සතුන් සමඟ ලිංගික සම්බන්ධකම් යනාදිය සලකන්න පුළුවන්) මෙලෙස කෙනෙකුගේ පවුල් ජීවිතයට හානියක් ගෙන දෙන්න පුළුවන්.

ඉස්ලාමය පවසන කාන්තා ඇඳුම

ඉස්ලාමය පවසන කාන්තා ඇඳුම කෙබඳු විය යුතුද යන්න අල් කුර්ආනය තුළින්ද මුහම්මද් තුමාගේ ඉගැන්වීම් තුළින්ද අපට දැන ගැනීමට පුළුවන්.

  • “ආදම්ගේ දරුවනි, සැබැවින්ම නුඹගේ රහස්‍ය අවයව වසා ගැනීමටද අලංකාරයක් ලෙසද සළු පිළි ප්‍රදානය කළෙමු. නමුත් (දෙවිඳුන් කෙරෙහි) බිය භක්තිමත් බව නම් වූ සළු පිළි (එයට වඩා) උතුම්ය” (7:26)
  • “එක් එක් දහමකටම අයත් සදාචාරාත්මක පිළිවෙත් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජා බය  (අල් හයා) මත සකස් වී ඇත.” (නබි වදනක්-ග්‍රන්ථය: අල් හාකිම්)
  • “ලැජ්ජා බය (අල් හයා) ඊමානයේ කොටසකි. ඊමානය ස්වර්ගයට මග පෙන්වයි” (නබි වදනක්)
  • “තවද, (නබිවරයාණනි) විශ්වාස කරන ස්ත්‍රීන්ට, තමන්ගේ බැල්ම පහත හෙළන්නටද, තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරගන්නටද, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන දේ හැර) නොපෙන්වන ලෙසටද තමන්ගේ ළැම පෙදෙස සළුවකින් ආවරණය කරගන්නටද පවසවූ.” (24:31)
  • “නබිවරයාණෙනි, නුඹගේ භාර්යාවන්ටද, නුඹගේ දියණියන්ටද, විශ්වාසවන්තයින්ගේ ස්ත්‍රීන්ටද, ඔවුන් තමන්ගේ ජිල්බාබය (නිවසින් බැහැර යනවිට ශරීරය වැසෙන පරිදි අඳින කබාය) ඔවුන් වැසෙන පරිදි  අඳින ලෙස පවසවූ. මෙය ඔවුන් (ගෞරවනීය අය යැයි) හඳුනා ගැනීමට ද හිංසනයෙන් සුරක්ෂිත වීමට ද ඉතාමත් යෝග්‍ය වන්නේය.  අල්ලාහ් අති ක්‍ෂමාශීලීය, අති කරුණාභරිතය.” (අල් කුර්ආනය 33:59)
  • “තවද, නුඹගේ නිවෙස්හි රැඳී සිටින්න. (අල් කුර්ආනය පහළ කිරීමට) පෙර වූ අඥාන යුගයේ මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නො ඇවිදින්න.” (33:33)
  • “අයීෂා වාර්තා කරන ලදී; දිනක් අබු බක්කර් ගේ දියණිය අස්මා, සිහින් ඇඳුමෙන් සැරසී දේවදුතයානන් (අල්ලාහ් ගේ සාමය හා සමාදානය ඔහුට හිමි වේවා!) වෙත පැමිණි කල, ඔහු ඇය කරා ගොස්, “අහෝ අස්මා! ගැහැණු දරුවෙකු වැඩිවියට පාත්‍ර වු පසු එය නිරාවරණය වීම නුසුදුසුයි නමුත් මෙය සහ මෙය හැර.” ඔහු ඇයගේ මුහුණට සහ අත්වලට ඇඟිල්ල දික්කර පෙන්වුහ.” [මුලාශ්‍රය – අබු දාවුද්]
  • “ඉබන් අබ්බාස් වාර්තා කරන ලදී: ‘දේවදූතයානන් (අල්ලාහ් ගේ සාමය හා සමාදානය ඔහුට හිමි වේවා!) ගැහැණුන් ලෙස පෙනී සිටින පිරිමින්ට ද, පිරිමින් ලෙස පෙනී සිටින ගැහැණුන්ට ද ශාප කළහ.'” [මුලශ්‍රය – බුහාරි]
  • “කාන්තාවන් වස්ත්‍රව සිටියත් නිර්වස්ත්‍රව පෙනේ. ඔවුන්ගේ හිස මත ඔටුවන්ගේ මොල්ලි මෙන් දිස් වේ. ශාපය ඔවුන් මතයි නියත වශයෙන්ම ඔවුන් ශාපලද්දෝය.” [මුලාශ්‍රය මුස්ලිම්]

එනම් කාන්තාවක් තමන්ගේ රමණීයත්වය සහ අලංකාරය අන්‍ය පුද්ගලයින්ට නොපෙන්විය යුතුයි. නමුත් නොවැලැක්විය හැකි කාරණා මත නිරාවරණය වන දෑ හැර එනම් සුළං හැමීම මඟින් නිරාවරණය වන දෑ හැර, හිස් වැස්ම ඇයගේ හිසකෙස්, ගෙල සහ පපු පෙදෙස වසන් කළ යුතුයි. මෙම හිජාබයට යම් විශේෂ වර්ණයකින් තිබිය යුතුයි යැයිද යම් විශේෂ ක්‍රමයකින් තිබිය යුතුයි යැයිද කිසිම නීතියක් නැහැ. අවශ්‍යකරනුයේ මුහුණ හා මැණික් කටුව දක්වා අත් දෙක හැරෙන්න අනෙකුත් ශරීර අවයව ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීමය. මීට අමතරව කාන්තාවකගේ ශරීරයේ හැඩය නොපෙනෙන ලෙස බුරුල් ලෙස හිජාබය තිබීමද අනිවාර්ය වේ. ශරීරයේ හැඩය වසන් කිරීමට කදිම මඟ තමන්ගේ ඇඳුම් වලට පිටතින් කබායක් වැනි දැයක් හැඳීමයි. නමුත් තමන්ගේ වස්ත්‍රයන් ලිහිල් නම් පිටතින් වෙනත් කබායක් පැළදීම අවශ්‍ය වන්නේ නැහැ. ඇඳුමෙහි ඝනකම එහි තෙවන අවශ්‍යතාවයයි. සමෙහි වර්ණය සහ සිරුරෙහි හැඩය නොපෙනෙන තරම් ඝනකමින් යුක්ත විය යුතුයි. අවයවයන් පෙනෙන ආකාරයේ සිහින් රෙදිවලින් ඇඳුම් ඇඳීමද ඉස්ලාමය අනුමත නොකරයි. තවත් එක් අවශ්‍යතාවයක් නම් මුළුමනින් එය ගෞරවයට පාත්‍රවන සුළු දර්ශනයක් වීමයි. වස්ත්‍රයන් පිරිමියාගේ ආකර්ෂණයට භාජණය නොවිය යුතුයි. එය දිලිසෙන බාහිරාලංකාරයෙන් යුත් වස්ත්‍රයන් නොවිය යුතුයි. ඒ වගේම වස්ත්‍රයන් විනීත විය යුතුයි, ඉතා අලංකාර නොවිය යුතුයි, එමෙන්ම එවා ඉතා වැරහැලි වැනි අනුන්ගේ අනුකම්පාවට තුඩු දෙන ඒවා නොවිය යුතුයි.

මේ හැරුණ විට තවත් එක් විය යුතු අවශ්‍යතාවයන් ද තිබෙනවා:

  • කාන්තාවන් පිරිමින් අනුගමනය වන ලෙස ඇඳුම් නොඇඳිය යුතුයි.
  • කාන්තාවන් විශ්වාස නොකරන කාන්තාවන් (මිථ්‍යාදෘශ්ටිකයන්) ලෙසත් ඇඳුම් නොහැඳිය යුතුයි.

මුහුණ ආවරණය කළ යුතුයිද?

මෙම විෂයයේදී මුස්ලිම්වරුන් අතර මූලික වශයෙන් මත දෙකක් තිබෙනවා. මුස්ලිම් ස්ත්‍රිය තම මුහුණ හා අතෙහි මැණික් කටුවේ සිට ඇඟිලි  දක්වා වූ කොටස වැසීම අනිවාර්ය නොවන අතර ඉතිරි කොටස් සියල්ල ආවරණය කළ යුතුය යන්න ඉන් එක් මතයක්. මුහුණ හා මැණික් කටුවේ සිට ඇඟිලි  දක්වා වූ කොටස ඇතුළුව අනෙකුත් සියලුම කොටස් ආවරණය කළ යුතුය යන්න අනෙක් මතයි. මින් නිවැරදි මතය වන්නේ පළමු වැන්නයි. මෙම දෙවන මතය සනාත කරන බොහෝ ඉගැන්වීම් ඉස්ලාමීය මූලාශ්‍රවල තිබෙනවා. කෙසේ නමුත් දේව දූතයානන්ගේ (අල්ලාහ් ගේ සාමය හා සමාදානය ඔහුට හිමි වේවා!) බිරින්දෑවරුන්ට ඔවුන්ගේ මුහුණු ආවරණය කිරීම අනිවාර්ය වූ දෙයක්, මන්දයත් ඔවුන් අන්‍ය පිරිමින්ගේ කාමුක සිතුවිලි තුලට ග්‍රහනය නොවී සිටීමටයි. එයට හේතුව ඔවුන් ඒ කාලයේ සිටම ඔවුන් “විශ්වසවන්තයින්ගේ මවූවරුන්” වීමයි. නමුත් එම නියොගය අනෙකුත් කාන්තාවන් දක්වා විස්තීරණය වූයේ නැහැ.

මුස්ලිම් ස්ත්‍රීන්ට තමන්ගේ අලංකාරය කවුරුන් හට පෙන්විය හැකිදැ යි දැන් බලමු.

ඇතැම් මුස්ලිම්නොවන්නන් සිතන්නේ මුස්ලිම් කාන්තාවන් නිවස තුළ සිටින්නේද හිජාබය ඇඳගෙන බවයි. නමුත් මුස්ලිම් කාන්තාවන් නිවසේ සිටින්නේ මෙම හිජාබය හැඳගෙන නොවේ. මුස්ලිම් කාන්තාවක් තම අලංකාරය පෙන්විය හැක්කේ කාටද යන්න පහත කුර්ආන් වැකිය පැහැදිලි කරනවා.

…..තවද, ඔවුන් තමන්ගේ අලංකාරය තමන්ගේ ස්වාමි පුරුෂයින් හෝ තමන්ගේ පියවරුන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පියවරුන් හෝ තමන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරයින් හෝ තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් හෝ තමන්ගේ ගැහැණුන් හෝ තමන්ගේ වහලුන් හෝ ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති (ඔවුනට) සමීපව ජීවත් වන (මහලු)  පිරිමින් හෝ ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධ නොකරගත් කුඩා ළමුන් යනාදීන් හමුවෙහි හැර අනෙක් අය හමුවෙහි හෙළි නොකළ යුතුය. (ශු.කු.24:31)

එනම් තමාගේ ස්වාමි පුරුෂයා, තමාගේ පියා, තමාගේ ස්වාමි පුරුෂයාගේ පියා, තමාගේ පිරිමි දරුවන්, තමාගේ ස්වාමි පුරුෂයාගේ පිරිමි දරුවන් (එනම්, ස්වාමි පුරුෂයාගේ තවත් විවාහයක් හේතුවෙන් ලැබුන පිරිමි දරුවන්) , තමාගේ සහෝදරයින්, තමාගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන්, තමාගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන්, තමාගේ ගැහැණුන්, තමාගේ වහලුන්, ගැහැණුන් කෙරෙහි ඇල්මක් නැති එමෙන්ම ඔවුන්ට සමීපව ජීවත් වන මහලු පිරිමීන්, ගැහැණුන්ගේ රහස් ස්ථාන ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හමුවෙහි හැර අන් අය හමුවෙහි තමාගේ අලංකාරය පෙන්වීම මුස්ලිම් ස්ත්‍රියකට තහනම්.

කෙසේනමුත් මෙහි අදහස මෙම වැකියේ සඳහන් පුද්ගලයින් සියලුදෙන ඉදිරියේ තමා හිතන අන්දමේ ඇඳුම් ඇඳගෙන සිටීමට පුළුවන් යන්න නොවේ. මෙහිදී වැරදි සිතුවිලි ඇති නොකරන චාම් ඇඳුමක් ඇඳීමට මුස්ලිම් කාන්තාවන් වග බලා ගතයුතුයි. නමුත් අඹු සැමි දෙදෙනා තනිව සිටින විට මෙවන් කිසිඳු සීමාවක් මුස්ලිම් කාන්තාවන්ට නැහැ.

සමාජ සදාචාරයට උපකාර වන මුස්ලිම් කාන්තා ඇඳුම

ලංකාවේ දුම්රියවල, සත්ව උද්‍යානයේ සමහර තැන්වල, එමෙන්ම උද්භිද උද්‍යානවල ‘විනීතව හැසිරෙන්න’ යන පාඨ සහිත පුවරු දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙය නීත්‍යානුකූල අඹු සැමි සම්බන්ධකම් පවත්වන්නන්ට අදාල වන්නේ නැහැ. හේතුව ඔවුන්ට එසේ හැසිරීමේ අවශ්‍යතාවයක් බොහෝ සේ ඇති නොවීමයි. නමුත් බටහිර සමාජයේ නීත්‍යානුකූල අඹු සැමියන්ද මෙසේ අන් අය ඉදිරිපිට හැසිරීම දැකිය හැකියි. එය ඔවුන්ගේ සංස්කෘතිය වීම එයට හේතුවයි. මෙසේ අවිනීතව හැසිරීම මුස්ලිම් නොවන සමාජයද වැරැද්දක් ලෙස දකින බවක් මෙයින් සනාත වෙනවා. මෙම විනීතභාවයේ එක් අංගයක් වන්නේ විනීත ඇඳුම් බව සියල්ලෝම පිළිගන්නා කරුණක්. සමාජයේ සදාචාරය පිරිහීමට එක් කාරණයක් ලෙස කාන්තාවන්ගේ නුසුදුසු ඇඳුම් හා පිරිමීන් ආකර්ෂණය කරන මෝස්‌තර, සැරසිලි හා ආභරණ යනාදිය සලකන්න පුළුවන්. 

කාන්තා සහ පිරිමි යන දේපාර්ශවයටම ඉහත සදහන් වස්ත්‍රයන්ගේ අවශ්‍යතාවය ගෙන හැර දැක්වුයේ ඔවුන් ව සීමා කිරීමට නොව නමුත් සමාජයට ඔබින ලෙස ඉස්ලාමීය පැවැත්මක් මත පදන්ම් ව යහපත් ජීවිතයක් ක්‍රියාත්මක කරවීමටයි. කෙසේනමුත් බහුතරයක් කාන්තාවන්ට මුස්ලීම්වරයෙකු විමේ සතය්‍ය පරික්ෂණය උරගා බලන්නා වු මංචකය තමන් අඳින මෙම හිජාබයයි.

තමාගේ ශරීරයේ අවයවයන් වස්ත්‍රවලින් ආවරණය කරමින් සිටින මුස්ලිම් කාන්තාව දෙස බලන අන් පිරිමියෙකුගේ ආශාව ඇවිස්සීමක් සිදු නොවේ. මේ හේතුවෙන් ඇය දෙස බලන පිරිමියා මෙන්ම එම කාන්තාවද ආරක්ෂා වනවා. අල්ලාහ්ට බිය වී ජීවත්වීමට ප්‍රිය කරන තැනැත්තියක් තමාට අන් පිරිමින්ගෙන් බලපෑමක් ඇතිවීම හෝ අන් පිරිමින්ට තමාගෙන් යම් බලපෑමක් ඇතිවීම ප්‍රිය කරන්නේ නැහැ. අපට හිතෙන ඕනෑම ඇඳුමක් අපි අඳින්නෙමු, සිත පාලනය කරගෙන සිටිය යුත්තේ පිරිමීන් බව මෙම විශ්වාසවන්ත මුස්ලිම් කාන්තාවන් පවසන්නේ නැහැ. ඔවුන් ඇත්තෙන්ම කරන්නේ පිරිමීන්ට උදව් කිරීමක්. මුස්ලිම් කාන්තාවන් හා පිරිමීන් ගැන  අල් කුර්ආනයේ සඳහන් වන්නේ ඔවුන් එකිනෙකාගේ උදව්කරුවන් බවයි. 

විශ්වාසවන්තයින් වන පිරිමින්ද ගැහැණුන්ද ඔවුන්ගෙන්  සමහරු තවත් සමහරුන්ට උදව්කරුවන් වෙති. ඔවුහු යහපත අණ කරති. අයහපතෙන් වළක්වති. සලාතය තහවුරු කර, සකාතයද දී, අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අවනත වී ක්‍රියා කරති. අල්ලාහ් ඔවුනට ආශිංෂණය පහළ කරන්නේය. නියතව අල්ලාහ් සියල්ල අභිභවූකෙනාය; අධික ඥානවන්තයාය. [අල් කුර්ආනය 9:71]

මින් පෙනී යන්නේ සාදාචාරාත්ම සමාජයක් බිහි කිරීමට ඉස්ලාමීය කාන්තා ඇඳුමද එක් සාධකයක් ලෙස ක්‍රියා කරන බවයි.

පුහු චෝදනා හා ඒවා සඳහා පිළිතුරු

සමාජයේ සදාචාරයට උපකාර වන සියලු මගපෙන්වීම් නොසලකා ඉස්ලාම් කාන්තාවට නිර්ණය කරන ඇඳුම ගැන පමණක් ඇතැමුන් විවේචනය කරනවා. මෙම විවේචනයේ කිසිඳු පදනම් නොමැති බව දැනටමත් අපට තේරුම් ගන්න පුළුවන්. කෙසේනමුත් මේ පිලිබඳ තව ගැඹුරට සාකච්චා කිරීම ඇතැමුන්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

1. පිරිමියාට හා කාන්තාවට ඇඳුම් විෂයේදී සම තැනක් තිබිය යුතුයි

ඉස්ලාමීය කාන්තා ඇඳුම විවේචනය කරන ඇතැමුන් පවසන්නේ පිරිමියාට හා කාන්තාවට ඇඳුම් විෂයේදී සම තැනක් තිබිය යුතු බවයි. මොවුන් තමන්ගේ මතයේ සත්‍යවන්තයන් ලෙස සිටින්නේ නම් ඇඳුම් විෂයේ පිරිමින්ට තිබෙන නිදහසම කාන්තාවටත් ලබා දිය යුතුයි. නමුත් කාන්තා හා පිරිමි සමානතාවය ගැන කතා කරන මොවුන් පවා මෙවන් නිදහසක් කාන්තාවන්ට පිරිනැමීමට සූදානම් නැහැ.

පිරිමියෙකුට තම පෙකණියේ සිට දණහිස වැසෙන පරිදි ඇඳුමක් ඇඳීම සදාචාර විරෝධී ක්‍රියාවක් ලෙස කිසිවෙක් දකීවියි අපි නොසිතන්නෙමු. නමුත් එම ඇඳුම ස්ත්‍රියකට කෙසේ නම් සුදුසු විය හැකිද? මහන්සි වී වැඩ කරන පිරිමි කම්කරුවෙකු සලකමු. උඩුකයේ කිසිම වස්ත්‍රයක් නොමැතිව පෙකණියේ සිට දණහිස දක්වා ඇඳුමක් ඇඳගත් පිරිමියෙකු තම ගෙවත්තේ වැඩ කරන විට එය අසලින් යන පිටස්තර ස්ත්‍රීන්ට ඔහු ලිංගික ආකර්ෂණයක් වන්නේ නැති නිසා ඔහුට තම කාර්යය කිසිම හිරිහැරයක් නොමැතිව සිදු කරගෙන යන්න පුළුවන්. නමුත් එම ඇඳුමම ඇඳ ස්ත්‍රියක් එම කාර්යයේම නියැළුනහොත් සිදුවිය හැකි  කලබැගෑනිය පිළිබඳව අමුතුවෙන් කිව යුතු වන්නේද? මෙසේ වැඩ කිරීම හෝ අන් අය ඉදිරියේ පෙනී සිටීම අනුමත කළ හැකි දෙයක් නොවන බව සැවොම පිළිගන්නා කරුණක්. තම බිරිඳ, මව, දුව යනාදී අය මෙවන් ඇඳුම් ඇඳ අන් අය ඉදිරියේ පෙනී සිටීම කිසිවෙක් අනුමත කරන්නේ නැහැ. කාන්තා හා පිරිමි සමානතාවය ගැන කතාකරන්නන් පවා අනුමත කරන්නේ නැහැ.

මෙලෙස එක් පිරිමියෙක් උඩු කය නිර්වස්ත්‍රව එළිමහනේ වැඩ නොකලත් ගෙදර තුළ මෙසේ සිටීම සාමාන්‍ය දෙයක්. සෑම මොහොතේම නොමැති වුණත් අධික උණුසුම් කාලගුණයක් තිබෙන විට කිසිම ගැටළුවක් නොමැතිව මෙසේ උඩු කය නිර්වස්ත්‍රව පිරිමියාට සිටින්න පුළුවන්. නමුත් මෙම අවස්ථාවේදි පිරිමියා මෙන් කාන්තාවකට හැසිරෙන්න බැහැ. අන් අය ඉදිරියේ පමණක් නොව තම පවුලේ උදවිය ඉදිරියේ පවා කාන්තාවක් මෙසේ සිටින්නේ නැහැ. පවුලේ කාන්තාවන් ඉදිරියේ පවා එක් කාන්තාවක් මෙසේ උඩුකය නිර්වස්ත්‍රව සිටින්නේ නැහැ. කාන්තා හා පිරිමි සමානතාවය ගැන කතාකරන කිසිවෙක් මෙය අනුමත කරන්නේ නැහැ.

මින් පෙනී යන්නේ ස්ත්‍රී පිරිමි දෙකොටසේම  ඇඳුම් සම විය නොහැකි බව හා පිරිමියාට වඩා ආවරණය කළ යුතු ශරීරයක් කාන්තාවන් සතු බව කාන්තාවන් මෙන්ම පිරිමීන්ද හොඳින්ම දන්නා කරුණක් බවයි.

කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන ඇතැම් සංවිධාන අසභ්‍ය චිත්‍රපටවලට එරෙහි  වීමත් කාන්තාවන්ගේ අඩ නිරුවත් පෝස්ටර ඉරා දැමීමත් එම පෝස්ටර් වලට කළු තෙල් අලේප කිරීමත් පෙන්වා දෙන්නේ කාන්තාවක් යනු තම ශරීරය ආවරණය කර සදාචාර සම්පන්න චරිතයක් යන හැඟීම මෙම සංවිධාන වල සාමාජිකයන් තුළ තිබීමයි. කෙසේනමුත් මෙම සංවිධාන ඉස්ලාමීය කාන්තා ඇඳුමට ඇතැම් විට චෝදනා කිරීම දෙබඩි පිළිවෙතක් නොවේද?

2. ඉස්ලාමීය කාන්තා ඇඳුම් කාන්තා නිදහස උල්ලංගනය කිරීමකි

ඉස්ලාමය මුස්ලිම් කාන්තාවන්ට නිර්ණය කරන කාන්තා ඇඳුම කාන්තාවන්ගේ පුද්ගලික නිදහසට බාධාවක් ලෙසත්, අනවශ්‍ය බරක් බවත්, කාන්තා අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවත් පවසමින් මුස්ලිම්කාන්තාවන්ව බේරා ගත යුතුයි යැයි ඇතැම් ඉස්ලාම් විරෝධීන් පවසනවා.

ඉස්ලාම් විරෝධීන් උත්සහ දරන්නේ කාන්තාවන්ගේ ඇඳුමේ ප්‍රමාණය අඩු කිරීමටය, කාන්තාවගේ ගරුත්වය අඩු කිරීමටය. කාන්තාවක් ඇඳිය යුත්තේ කුමක්ද යන්න බොහෝ විට තීරණය කරන්නේ පිරිමීන්ය. මෙයට එක් උදාහරණයක් වන්නේ කාන්තා විලාසිතාවයි. කාන්තා විලාසිතාවය යනු පුරුෂ ආධිපත්‍යයේ එක් අංශයක්. විලාසිතා යැයි පවසමින් කාන්තාවක් ඇඳිය යුත්තේ කුමක්ද, කෙසේද වර්ණය යනාදිය සමාජගත කිරීම මෙහිදී සිදු වෙනවා. මෙම සමාජීය නිර්ණායක වලට වහල් වන ස්ත්‍රීන් නොදැනුවත්ම සමාජය විසින් පාලනය කරනු ලබනවා. කාන්තා නිදහස යනු මෙයද? නොඑසේනම් මිනිසා ගැන සියල්ල දන්නා දෙවිඳුන් මිනිසාගේ යහපත සඳහා දෙන ලද නිර්ණායකවලට අනුව ඇඳුම් ඇඳීම සුදුසු බව මුස්ලිම් කාන්තාවන් තෝරා ගැනීමද?

ඉස්ලාමීය කාන්තා ඇඳුම ස්ත්‍රියකගේ අයිතිවාසිකමෙහි අත පෙවීමක් නොවන බව පැහැදිලි කරුණක්. මෙම නීතිය සියලුම ස්ත්‍රීන්ට අදාළ වන්නේ නැහැ. මෙය අල්ලාහ්ව විශ්වාස කළ ස්ත්‍රීන්ට පැනවූ නීතියක්. කෙනෙක් ඉස්ලාමයට පිවිසීමට පෙර එහි නීති රීති ගැනද දැනගත යුතුයි. එම නීති පිළිපැදීමට කැමති නම් ඉස්ලාමයට ඇතුළු වෙන්න පුළුවන්. මෙම කාර්යයේදී බල කිරීමක් නැහැ. ඉස්ලාමයේ යම් යම් නීති පමණක් පිලිපදින්නෙමි යන තත්වයක කිසිවෙකුටත් ඉස්ලාමයට ඇතුළු වන්න බැහැ. මුස්ලිම්වරයෙකුට ඉස්ලාමයේ පවතින කිසිදු  නීතියක් ප්‍රතික්ෂේප කරන්න බැහැ. කෙනෙක් එසේ යම් නීතියක් ප්‍රතික්ෂේප කරයි නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවේ යන තත්වයට පත් වනවා.

අසභ්‍ය චිත්‍රපටයේ සිටින කාන්තාවන් තම කාර්යයේ නිරත වන්නේ කාන්තා අයිතිවාසිකම මුල් කරගෙනම. එනම් ඇයට අවශ්‍ය ලෙස හැසිරීමේ අයිතිය ඇය සතු බව ඇයගේ තර්කයයි. ඇයගේ චිත්‍රපටය එළිදක්වන්නේද ඇයගේ අනුමැතිය සහිතවයි. මෙම චිත්‍රපටය ඇයම නරඹනවා, රස විඳිනවා. මෙසේ තිබියදී අසභ්‍ය චිත්‍රපටවලට එරෙහි  වීමත් කාන්තාවන්ගේ අඩ නිරුවත් පෝස්ටර ඉරා දැමීමත් එම කාන්තාවගේ අයිතිවාසිකම් උදුරා දැමීමක් නොවේද?

මෙලෙස තමා කරන සදාචාරසම්පන්න නොවන ක්‍රියා සාධාරණීකර කිරීමට හේතුව මෙම කාන්තා අයිතිවාසිකම් යන මතය නිවැරදිව තේරුම් නොගැනීමයි. කෙනෙකුගේ අයිතිවාසිකම සමාජයේ පරිහානියට හේතු විය නොයුතුය. අසභ්‍ය චිත්‍රපටවලින් සිදු වන්නේ සමාජය ක්‍රමක් ක්‍රමයෙන් පරිහානියට ලක්වීමයි. (සමාජයේ යහපත සඳහා ඇත්තෙන්ම එරෙහි විය යුත්තේ අසභ්‍ය චිත්‍රපටවලට පමණක් නොවේ. උදාහරණයක් ලෙස ඇතැම් පරිගණක ක්‍රීඩා තුළින්ද මෙම පරිහානිය සිදු වෙමින් පවතින බව නොරහසක්). එක්තරා ඔලිම්පික් තරඟයකදී ස්ත්‍රීන් කීප දෙනෙක් තමන්ගේ උඩුකය විවෘත තත්වයෙන් එම භූමියට පැමිණියා. එසේ පැමිණි ස්ත්‍රීන්ගේ උඩුකය වස්ත්‍රයකින් ආවරණය කර, ඔවුන්ව එම භූමියෙන් ඉවත් කිරීමේ සිදුවීමක්ද මෑතකදී දක්නට ලැබුනි. එය ඔවුන්ගේ නිදහසක් යැයි සමහරෙකුට කිවහැකියි. නිදහස භුක්ති විඳීමේදී අන් අයට අයහපතක් හෝ බාධාවක් හෝ සිදුනොවිය යුතුයි.

මේ අයුරින්ම ඕනෑම ඇඳුමක් ඇඳීම කාන්තාවකගේ පුද්ගලික අයිතියක් ලෙස කෙනෙක් සිතුවත් එතුළින් සමස්ත සමාජයට සිදුවන බලපෑම සැලකිය යුතුයි. කාන්තා ඇඳුම කෙසේ විය යුතුද යැයි ඉස්ලාම් දහම පවසන්නේ මෙම බලපෑම සලකමින්ය.

3. ස්ත්‍රී දූෂණයට එකම හේතුව කාන්තා ඇඳුමද?

යම් වැරැද්දක් සිදු වීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. එනිසා මෙම වැරැද්ද වලක්වාගැනීමට මෙම හේතු සියල්ල සලකා බලා පිළියම් යෙදිය යුතුයි.

නිසි අධ්‍යාත්මික චරිතයක් නොමැති වීම, පිරිමියාගේ කාමුක ආශාව අවුස්සන අකාරයේ විවිධ චිත්‍රපට, දැන්වීම් යනාදිය තිබීම, මත් ද්‍රව්‍ය භාවිතය, ක්‍රියාකාරී නිසි දණ්ඩ නීතියක් නොතිබීම යනාදී කාරණා ස්ත්‍රී දූෂණය වැඩි වීම සඳහා හේතු ලෙස සලකන්න පුළුවන්. මීට අමතරව ස්ත්‍රී දූෂණයට පිරිමියාව පෙළඹවීමට එක් හේතුවක් ලෙස කාන්තා ඇඳුමද සැලකන්න පුළුවන්. මෙනිසා ස්ත්‍රී දූෂණය වැනි අපරාධයක් වලක්වා ගැනීමට මෙම සියලු දේවල් වලට පිළියම් යෙදිය යුතුයි. කාන්තා දූෂණයක් සිදු වූ විට අපරාධකරුවන්ට මැදපෙරදිග රටවල මෙන් දැඩි දඬුවම් දිය යුතු බව විවිධ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධාන උද්ගෝෂණය කරනවා අපට දැක ගන්න පුළුවන්. මෙම ඉල්ලීමේ කිසිඳු වැරැද්දක් නැහැ. නමුත් පිරිමීන්ගේ ආශාවන් අවුස්සන අන්දමින් සැකසුණු කාන්තා ඇඳුම ගැන මෙම සංවිධාන චෝදනා කරන්නේ නැහැ. ප්‍රශ්නයට අදාළ සියලු හේතූන් නොසලකමින් ප්‍රශ්නය ගැන පමණක් බලා එයට විසඳුම් සෙවිය නොහැකි බව පැහැදිලි සත්‍යයක්.

සදාචාරසම්පන්න සමාජයක් බිහි කිරීම සඳහා ඉස්ලාම් දහම විවිධ අකාරයෙන් කටයුතු කරනවා. කෙනෙකුගේ ක්‍රියාවක මෙලොව හා පරලොව පලවිපාක පැහැදිලි කිරීම තුළින් යම් අපරාධයකට පෙළඹවීමේ මුල් බීජය නැති කරනවා. පසුව සමාජයේ විවිධ අපරාධ සඳහා හේතු වන මත් ද්‍රව්‍ය භාවිතයේ පලවිපාක පැහැදිලි කරන අතර ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. දැහැමි ජීවිතයක් ගත කිරීමට පිරිමියාට හා කාන්තාවට අදාළ උපදෙස් ලබා දෙනවා. කාන්තාවට සුදුසු ඉස්ලාමීය ඇඳුම නිර්ණය කරන්නේද මිනිසාගේ යහපත සඳහායි.

එනම් ඉස්ලාමයීය කාන්තා ඇඳුම ස්ත්‍රී දූෂණය අඩුකර ගැනීම සඳහාවූ එක් සාධකයක් පමණයි.

3. මුස්ලිම් කාන්තා ඇඳුම ඔවුන්ගේ දියුණුවට බාධාවක්ද?

හිජාබය පළඳින මුස්ලිම් කාන්තාවන්ට එය ඔවන්ගේ එදිනෙදා කාර්ය්‍ය බහුල ජීවිතයට බාධකයක් හෝ ප්‍රායෝගික නොවන දෙයක් නොවන බව ඇතැමුන් තර්ක කරනවා. මෙය පදනම් විරහිත චෝදනාවක්. ඉතිහාසය දෙස බැලීමේදී සමාජයේ යහපත සඳහා විවිධ අකාරයෙන් දායක වූ මුස්ලිම්කාන්තාවන් සිටි බව අපට දැක ගන්න පුළුවන්. වර්තමානයේද  ගුරුවරුන්, වෛද්‍යවරුන් යනාදී උගත් මුස්ලිම් කාන්තාවන් සිටින බව පැහැදිලි සත්‍යයක්. මොවුන්ගේ දියුණුවට මොවුන්ගේ ඇඳුමේ තිබුණු බාධාව කුමක්ද?

4. අත් හා මුහුණ ආවරණය නොකිරීම තුලින්ද කාන්තාවකට බලපෑමක් සිදු විය හැකියි නේද? 

හිජාබයේ ඇති ප්‍රයෝජන ගැන සැලකීමේදී එය කාන්තාවට ඉතා සුදුසු ඇඳුමක් බව අපට තේරුම් ගන්න පුළුවන්. නමුත් මුහුණ ආවරණය කිරීම ඉස්ලාම් දහම අනිවාර්ය කරන්නේ නැහැ. මෙයට හේතුව කෙනෙකුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට මුහුණ මූලිකවශයෙන් උපකාර වීම බව අපට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම යම් කාර්යයක් පහසුවෙන් කිරීමට අවශ්‍ය නිසා මැණික්කටුව දක්වා අත ආවරණය කිරීම අවශ්‍ය නැති බවත් ඉස්ලාම් දහම පවසනවා.  මෙම අවයව දෙක නිරාවරණය කිරීමෙන්ද කාන්තාවට බලපෑමක් සිදු විය හැකි බව කෙනෙක් තර්ක කළද ඉහත සඳහන් පරිදි නොවැලැක්විය හැකි හේතු නිසා මෙම අවයව දෙක ආවරණය කිරීම අනිවාර්ය නොවන බව ඉස්ලාම් දහම පවසනවා.

විවිධ සංස්කෘතීන් තුළ කාන්තා ඇඳුම

නිතර නිතර අමතක වන කරුණක් වන්නේ නුතන බටහිරකරණය වු වස්ත්‍රයන් නව නිමැවුමක් වීමයි. අතීතයේ කාන්තාවන්ගේ හැඳිවත දෙස බලන විට ඒවා ඉස්ලාමීය ඇඳුමට සමාන බව අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම විවිධ සංස්කෘතීන්වලද ඉස්ලාමීය කාන්තා ඇඳුමට සමාන ඇඳුම් තිබෙන බව අපට දැක ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස පෝලන්ත, අයර්ලන්ත, වේල්ස්, චීන, ජපන්, හින්දු, සීක්, රුසියානු යනාදී සංස්කෘති වල කාන්තාවන්ගේ සම්ප්‍රදායික ඇඳුම් සලකන්න පුළුවන්. මෙම කාර්ය්‍ය බහුල බටහිර කාන්තාවන්ගේ වස්ත්‍ර දිගු එවා විමෙනුත්, සම්පූර්ණ වස්ත්‍රයන් විමෙනුත්, විවිධාකාර වු හිසි ආවරණ පැළඳිමෙනුත් ඔවුන් කිසිවිටෙක නිෂේධිත වූවන් බවට පති වූයේ නැහැ.

c5fe9da6bd1e3da795600d10eab3cc4dmuslim-christian-jew-hijab-15  polish-folk-dance-performed-by-a-couple-wearing-bilgoraj-image-ilvic

urquhart-200px       two_women_in_national_dress_drinking_tea_jones_nlw3363089        427149_3675286920653_1428003586_n

1e2caee550454bcf529688ae34af8035kimono60d74d3f6082a24a83de73b777f10857

වසර 1916දි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයා වන ෆ්‍රාන්ස් ජෝසෆ්ගේ අවමගුල් උත්සවයට එවකට සිටි රජුන් හා තම බිරිඳ සහභාගී වූ අකාරය පහත දැක්වෙනවා. රැජිනව දැකීමට වෙනත් කිසිවෙකුට අයිතියක් නැති නිසා ඇය ඇඳ තිබෙන්නේ පූර්ණවශයෙන් ආවරණය වූ ඇඳුමක්. රැජිනට අමතරව තවත් කාන්තාවන්ද මෙම අවමගුල් උත්සවයට සහභාගී වූයේ මෙවන් ඇඳුමක් ඇඳගෙනයි.

යුදෙව් දහමේ හා කිතුනු දහමේ මතය

“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතුය. එලෙස කරන සියල්ලෝ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි” (ද්විතීය නීති සංග්‍රහය 22:5)

“එසේම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩා මෝස්‌තර ද, රන් මුතු ආභරණ ද, අනර්ඝ වස්ත්‍ර ද, යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳ ගත යුතුය.” (1 තිමෝති 2:9)

“ඔබගේ අලංකාරය, කොණ්ඩා මොස්තර ද, රන් රිදී ආභරණ ද ඇඳුම් පැලඳුම් ද, යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුය. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගති පැවතුම් මඟිනි.” (1 පේදුරු 3:3-4)

“හිස නොවසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන ස්ත්‍රිය තමාගේ ප්‍රධානියාට අගෞරව කරයි. එසේ කිරීම ඈ හිස මුඩු කර ගැනීම වැනිය. ස්ත්‍රියක් හිස වසා නොගනී නම් ඈ හිසකේ කපා ගනී වා. හිස මුඩු කිරීම හෝ හිසකේ කැපීම ස්ත්‍රියකට ලැජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇති ව සිටීවා.” (1 කොරින්ති 11:5-6)

“කාම මිත්‍යාචාරය නොකරන්නැයි කී බව ඔබ අසා ඇත. එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාම රාගයෙන් බැලු කෙණෙහි ම ඔහු ඈ සමග සිතින් කාම මිත්‍යාචාරය කර ඇත. වරදට වැටීමට හේතුව ඔබේ දකුණැස නම්, එය උගුලා ඉවත ලන්න. මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා ඔබේ අවයව වලින් එකක් නැති වීම ඔබට යහපත්ය.” (ශුද්ධවර මතෙව් 5:27-29)

යුදෙව් කාන්තාවන් (පළමු තීරුව) හා කිතුනු කන්‍යා සොහොයුරියන් (දෙවන තීරුව) [1][2][3]

1297520807774_originalimages-2-e1466579194189

bgqvp_gcmae_hp8christ-hijab3

p1-as296_yjewsa_g_20091030173022-e1466579065708nuns-sm-e1466579141931

තම ඇඳුම ගැන පවසන යුදෙව් කාන්තාවෝ.

බුදු දහමේ මතය

“ආරාමසීලා උය්යානං නදී ඤාති පරකුලං

දුස්සමන්ඩන මනුයුත්තා යාචිත්ථි මජ්ජපායිනි.

යාව නිල්ලොකන සිලා යාව පද්වාරඨායිනි,

නවහි එතෙහි ඨානෙනිපදොස මාහරන්ති ඉත්ථියො”

(කුණාල ජාතකය)

ස්ත්‍රීන් විසින් සැමියාට වරද කරන කරුණු නවය.

  1. සැමියාගේ අවසරයක් නැතිව ආරාමයන්ට යන්නාවූ ද
  2. සැමියාගේ අවසරයක් නැතිව උයන් වලට යන්නාවූ ද
  3. සැමියාගේ අවසරයක් නැතිව ගංගා සමීපයට යන්නා වූ ද
  4. සැමියාගේ අවසරයක් නැතිව නෑ ගෙවලට යන්නා වූ ද
  5. සැමියාගේ අවසරයක් නැතිව අනුන්ගේ ගෙවලට යන්නා වූ ද
  6. වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නා වූ ද
  7. මත්පැන් පානය කරන්නා වූ ද
  8. නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද
  9. තමා ගේ අවයව දක්වමින් දොරකඩ වෙසෙන්නා වූ ද

ස්ත්‍රීහු මේ කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.

(මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ලියන ලද “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථයේ 154 වැනි පිටුවෙන් උපුටා ගන්නා ලදී).

සාරාංශය

මව, දියණිය, සහෝදරිය, බිරිය යනාදී ගෞරවනීය මිනිස් බැඳියාවන්ට උරුමකම් පෑමට හැකියාව ඇත්තේ කාන්තාවකට පමණයි. ඇයව වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ලිංගික සන්තර්පණයේ මාර්ගයක් පමණක් බවට  පත් කළ විට සිදු විය හැකි සමාජ ව්‍යසනය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු නොවන්නේද? අද සිදු වී හෝ සිදුවෙමින් පවතින්නේ කුමක්ද? ස්ත්‍රිය අඩුවෙන් ඇඳුම් අඳින විට ආගමික නායකයින් ඇතුළු සමාජයේ බහුතරය මුනිවත රකිනවා. මෙම භයානක නිහැඬියාව අපට හඬ නගා පවසන්නේ කුමක්ද? මුළු මහත් සමාජ ව්‍යුහයම සදාචාර සෝදාපාළුවකට ලක් වී ඇති බව නොවේද? රණස්ගල්ලේ හිමියන් රචිත ‘ලෝකෝපකාරයෙහි’ එන “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යන වදනට අනුව වර්තමාන සමාජ නායකත්වය අන් අයට යහ ඔවදන් නොදී, ඔවුන්ව සදාචාරයේ මගට නොකැඳවා  සිටින්නේ තමා සම්මතයේ නොමැති නිසාද කියා අසන්නට අපට සිදුවෙනවා නොවේද?

වඩාත් අදහාගත නොහැකි කරුණ බවට පත් වී ඇත්තේ ස්ත්‍රියක් තමන්ගේ සංස්කෘතිය අනුව සදාචාර සම්පන්න ලෙස ඇඳුමින් සැරසී සමාජගත වන විට මතු කරන්නා වූ අවලාදයන් ගැනයි. මෙවන් සදාචාර විරෝධී හඬ දහමක නමින් එන විට මුළු සමාජයම පත් වන්නේ කුමන තත්වයකටද? අසංවරකම ප්‍රගුණ කරන්නට දරන්නාවූ වැයමක් ලෙස මෙය හඳුන්වාදිය නොහැකිද? දරුවන් ඇති යහ දෙමව්පියන් මේ පිළිබඳව දක්වන ප්‍රතිචාරය කුමක්ද? කාගේ හෝ සැඟවුණු න්‍යාය පත්‍රයකට අනුව හෝ තවත් ශ්‍රී ලාංකේය ජනවාර්ගික කොටසක් කෙරෙහි ඇති තමන්ගේ පදනම් විරහිත වෛරය නිසා හෝ යහ චින්තනයකින් තොරව සමාජ සදාචාරය පිරිහීමට දිරි දෙන අයුරින් කටයුතු නොකළ යුතු යැයි ඉතා නිහතමානීව අපි ඉල්ලා සිටින්නෙමු.

නුතන වාණිජ සමාජය විසින් ස්ත්‍රීයව වෙළෙඳ භාණ්ඩයක් බවට පත් කර තිබීම ගැන කිසිම හඬක් ඇසෙන්නේ නැහැ. ශරීරයෙන් 5% ක් පමණ වසා ගත් තරුණියන්ගේ රාගය දනවන රූප රාමු වෙළෙඳ දැන්වීම් වලට යොදා ගැනීම ගැන දහම් ගැන කථා කරන්නන් මුනිවත රකිමින් රහසිගත වින්දනයක යෙදී සිටින්නේදැයි අසන්නට තරම් කාරණයක් බවට පත්වී තිබෙනවා. කසාය බිව් ගොළුවා සේ මෙම උදවිය කටයුතු කරන්නේ කුමන හේතුව නිසාද?  මෙවන් රූප රාමු වලට තම මව, බිරිය, සහෝදරිය හෝ දියණිය ඉදිරිපත් කරන්නට අපි අකැමැති වන්නෙමු. අවාසනාවට, පිටස්තර ස්ත්‍රීන්ගේ කාමුක දර්ශන දෙස බලා මානසික වශයෙන් රෝගී වින්දනයක් ලබාගන්නට සමහරුන් හුරු වී ඇති අතර මෙම රෝගයේම කොටසක් ලෙසින් තම ශරීරය සදාචාර සම්පන්න ලෙස වසාගන්නා වූ ස්ත්‍රීන්ට අවලාද නගන්නටද හුරු වී සිටිනවා. සාරධර්ම හා සදාචාරයෙන් යුත් සමාජයක් ගොඩ නැගීම සඳහා වූ ඉස්ලාමීය ඉගැන්වීම් ගැන විරුද්ධත්වය පාමින් ඊනියා ස්ත්‍රී අයිතිවාසිකම් ගැන කතා කරන්නන්ගේ සැඟවුණු අරමුණු කුමක්ද යන්න දැන් පැහැදිලි වී ඇතැයි සිතන්නෙමු. මනසේ මවා ගත් හරයක් නැති මතවාදයන් ඉදිරිපත් කරමින් සමාජය නොමඟ යවන්නට යමෙක් කටයුතු කරයි නම් එය ඉතාමත්ම පහත් ක්‍රියාවක් බව පැවසිය යුතුයි.

මෙම කරුණු දෙස බලන බොහෝ දෙනා පිරිමියාට වඩා කාන්තාව තම ශරීරය ආවරණය කළ යුතු බව පිලිගන්නවා. එනම් පූර්ණව නොමැති වුණත් යම් තරමකට ඉස්ලාමීය කාන්තා ඇඳුම මොවුන් පිළිගන්නා බව මෙහි අදහසයි. ඔවුන් හා මුස්ලිම්වරුන් අතර ඇත්තේ ශරීරය ආවරණය කළ යුතු ප්‍රමාණය කුමක්ද යන මත භේදය පමණයි. මෙම ප්‍රමාණය තීරණය කළ යුත්තේ මිනිසා ගැන හොඳින් දන්නා ඔහුගේ නිර්මාණකරුවා බව පිළිගන්න මුස්ලිම්වරුන් දෙවියන්ගේ නියෝගය පරිදි තම ඇඳුම සකස්කරගෙන තිබෙනවා.

කෙසේනමුත් ඉස්ලාමය පවසන කාන්තා ඇඳුම දෙස බැලීමේදී එය කාන්තාවන්ට ඉතා සුදුසු ඇඳුමක් බවත්, මෙම ඇඳුම දුෂ්ට සිතුවිලි තිබෙන පිරිමීන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමටත්, පිරිමීන්ගේ චිත්ත පාලනයට උපකාර වනවා. කෙටියෙන් පවසනවා නම් මෙම ඇඳුම සදාචාරාත්මක සමාජයක් බිහි කිරීමට එක් සාධකයක් ලෙස ක්‍රියා කරන බව  විවෘත මනසින් මෙම විෂය අධ්‍යයනය කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නූතන බටහිර රටවල් වල අද තිබෙන ඇඳුම් සම්ප්‍රදාය මගින් සමාජ සදාචාරයට ඇති කර ඇති හානිය දෙස බැලීමේදී කිසිවෙකුට ඉස්ලාමය පවසන කාන්තා ඇඳුමට කිසිසේත් චෝදනා කළ නොහැකියි.

මූලාශ්‍රයන්

[1] Reported by al-Tirmidhi, who said: This is a saheeh hasan hadeeth. See al-Sunan, 2700

[2] Reported by al-Tirmidhi, 2701; see Saheeh al-Jaami’, 7953

[1] https://en.wikipedia.org/wiki/Traditional_Welsh_costume

[2] https://www.pinterest.com/pin/405394403928610814/

[3] https://en.wikipedia.org/wiki/Irish_clothing

[4] http://www.realsikhism.com/index.php?action=qans&qid=10

[5] http://www.thelovelyplanet.net/traditional-dress-of-poland-truly-symbolic-in-the-polish-culture/

[6] https://en.wikipedia.org/wiki/Women%27s_clothing_in_China

[7] https://en.wikipedia.org/wiki/Kimono

[8] http://www.torontosun.com/2014/01/31/inside-lev-tahor-jewish-sect-is-traditional-and-radical-but-is-it-illegal

[9] http://www.kurskroot.com/orthodox_nuns.html

[10] http://www.asianews.it/news-en/Controversy-in-Israel-over-burqa-wearing-ultra-Orthodox-Jews-20726.html

Share Button