ජිහාද් යනු කුමක්ද?

ඉස්ලාමය පිළිබඳව තිබෙන වැරදි වැටහීම් අතුරින් ජිහාද් පිලිබඳ වැරදි වැටහීම ප්‍රමුක ස්ථානයක් ගන්නවා. ඇතැම් උදවිය සිතන්නේ ජිහාද් යනු ඉස්ලාම් දහම ප්‍රචාරය කිරීමට කරන යුද්ධයක් බවයි. තවත් සමහරුන් සිතන්නේ ජිහාද් යනු මුස්ලිම් නොවන ජනයා මරා දැමීම සඳහා වූ යුද්ධයක් බවයි. ජිහාද් යනු ත්‍රස්තවාදයක් බවද ඇතැමුන් සිතනවා[1]. උදාහරණයක් ලෙස 9/11 දින ඇමරිකාවේ වෙළඳ සංකීර්ණයට එල්ල කළ ප්‍රහාරය, 7/7 මුම්බායි හි සිදු වූ ප්‍රහාරය යනාදිය ජිහාද් ක්‍රියා ලෙස ඇතැම් බටහිර මාධ්‍ය ප්‍රචාරය කරනවා අපට දැක ගන්න පුළුවන්. මුස්ලිම්වරුන් සිදු කරන සටන් හැඳින්වීමට “ජිහාද්” යන නාමය ඉස්ලාම් දහම විවේචනය කරන්නන් පොදුවේ භාවිතා කරන අතර මෙතුළින් දේශපාලනමය වශයෙන් ඉස්ලාම් කෙරෙහි හා මුස්ලිම්වරුන් කෙරෙහි යම් බියක් ඇති කිරීම මෙම විවේචකයන්ගේ අරමුණයි. මේ අකාරයෙන් විවිධාකාරයේ වැරදි මත සමාජය තුළ තිබෙනවා අපට දැක ගන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී තමා නොදයන්න යම් පදයක, වචනයක තේරුම දැන ගැනීමට එම පදය, වචනය භාවිත වන අවස්ථාව, පසුබිම, සමාජය විසින් එම පදවලට දෙන අර්ථදැක්වීම දිහා මිනිසා අවධානය යොමු කිරීම මිනිසාගේ ස්වභාවයයි. මෙම ස්වභාවයේ කිසිම වැරද්දක් නැහැ. නමුත් මෙම ක්‍රමවේදය තුලින් පදයක අර්ථයක් දැන ගැනීමට උත්සහ දැරීමේදී ඇතැම් විට දෝෂ ඇති වියහැකි බව ඕනෑම පුද්ගලයකුට වැටහෙන කරුණක්. මේ අයුරින් මුස්ලිම් නොවන පුද්ගලයින් හා ඇතැම් නූගත් මුස්ලිම් පිරිස් විසින් වැරදි අර්ථකතන දුන් වචනවලින් එක් වචනයක් වන්නේ “ජිහාද්” නම් වචනයයි. ඇත්තෙන්ම ජිහාද් යනු ත්‍රස්තවාදයක්ද? ජිහාද් යනු අහිංසක ජනයා මරා දැමීම සඳහා කරන්නා වූ යුද්ධයක්ද?

ජිහාද් යනු ත්‍රස්තවාදයක් හෝ අහිංසක ජනයා මරා දැමීමක් හෝ මුස්ලිම් නොවන ජනයා මරා දැමීමක් යන කිසිවක් නොවන බව ඉස්ලාමීය මූලාශ්‍ර නිවැරදි ලෙස අධ්‍යයනය කිරීම තුළින් පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

ජිහාද් යනු කුමක්ද?

ජිහාද් යන අරාබි පදය “ජහද” යන මුල් වචනයෙන් බිදී එන්නක්. එහි අර්ථය “උත්සාහ කිරීම”, “සටන් කිරීම” යන්නයි. මෙලෙස පැවසු පමණින් ඇතැම් අයගේ සිතේ යුද බිමක චිත්‍රයක් ඇතිවීම නොඅනුමානය. මෙයට හේතුව ජිහාද් යන පදයට අර්ථය සෙවීමට ඉහත කී පරිදි වැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීම වෙන්න පුළුවන්. ජිහාද් යන පදයේ ඍජු අර්ථය “සටන් කිරීම” වුණත් මෙම පදය බාවිතා වන පසුබිම, අවස්ථාව අනුව ජිහාද් යන පදයේ අර්ථය වෙනස් වෙනවා.

සිතුවිලි තුළින් සිදු කරන ජිහාදය

මිනිසා යනු චින්තනයක් ඇති පුද්ගලයෙක්. මෙම චින්තනය නිසාම ඔහු ඇතැම් විට වැරදි ක්‍රියා වලට පෙළඹෙනවා. එනිසා කෙනෙකුගේ චිත්ත පාලනය ඉතා වැදගත් දෙයක්. මේ සඳහා මගපෙන්වීම් රාශියක් ඉස්ලාමීය ඉගැන්වීම් තුළ තිබෙනවා.

එක පුද්ගලයෙක් නබි(සල්) තුමාගෙන් “උතුම්වූ ජිහාදය කුමක්ද?” යයි ඇසුවේය. එයට නබි(සල්) තුමා “කුරීරු පාලකයෙක් ඉදිරියේ සත්‍ය පැවසීම” යයි පිළිතුරු දුන්නේය.[2] තවත් අවස්ථාවකදී “මුජාහිද්(ජිහාද් කරන්නා, සටන් කරන්න) යනු අල්ලාහ්ට අවනත වීම සඳහාය තම සිතුවිලි සමඟ සටන් කරන්නාය.” යයි නබි(සල්) තුමා පැවසුවේය.[3] මුහම්මද් තුමාගේ මෙම දෙවන ප්‍රකාශය කෙනෙකුගේ සිත තුළ ඇති වන වැරදි සිතුවිලිවලට එරෙහිව තම මනස තුල සිදු කරන සටන ගැන පැහැදිලි කරනවා.

චිත්ත පාලනය ගැන තවත් කරුණු දැන ගැනීමට පහත ලිපි කියවන්න.

මීට අමතරව තවත් බොහෝ කරුණු චිත්ත පාලන යන මාතෘකාව යටතේ කතා කරන්න පුළුවන්. නමුත් මෙම ලිපියේ අරමුණ ජිහාද් පිළිබඳව තිබෙන වැරදි මතය දුරු කිරීම නිසා චිත්ත පාලනය පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇත්තේ ඉතා සංශිප්තවයි.

ආයුධ සන්නද්ධ ජිහාදය

රණ්ඩුසරුවල් ඇතිකර ගැනීම, යුද්ධ කිරීම පිලිබඳ සිදු කරන මානවවිද්‍යාත්මක අධ්‍යයනයන්ගේ ප්‍රතිපල පවසන්නේ මේ දේවල් මිනිසා තුළ තිබීම මිනිස් යතාර්ථයක් බවයි. රණ්ඩුසරුවල් ඇතිකර ගැනීම, යුද්ධ කිරීමට අදාළ හේතු දේශ සීමා, භාෂාව, ජාතිය, ආගම, නිදහස, ඇතැම් ස්වභාවික සම්පත් යනාදී වශයෙන් විවිධාකාර වෙන්න පුළුවන්. ඉරාකය හා ඇෆ්ගනිස්තානය වැනි රටවල ඇති ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රටවල් සිදු කරන ආක්‍රමණ හා යුද්ධ මේ සඳහා කදිම උදාහරණයක් වෙනවා. ඇතැම් විට තමා ඇතුළු අනෙකුත් අය ආරක්ෂා කිරීමටත්, තම සතුරාව පරාජය කිරීමටත් මිනිසුන් සටන් කරනවා. මින් පෙනී යන්නේ යුද්ධ කිරීම යනු එක් මතවාදයකට, ජාතිකයකට හෝ ආගමකට පමණක් ආවේණික වූ දෙයක් නොවන බවයි.

ඉස්ලාමය යනු ප්‍රයෝගික ජීවන ක්‍රමයක්. එනිසා මෙවන් යුධමය වාතාවරණයකදී කටයුතු කළ යුත්තේ කෙසේද යන්න මගපෙන්වීමක් ඉස්ලාම් දහම මිනිසාට ලබා දෙනවා. මේ අනුව, ඉස්ලාමිය ආණ්ඩුවක් විසින් තම රටේ සාමය පවත්වා ගැනීමට හා රටේ වාසය කරන මුස්ලිම්, මුස්ලිම් නොවන සියල්ල ආරක්ෂා කිරීමට සිදු කරන යුධමය මෙහෙයුම්ද, ජිහාද් යයි හඳුන්වන්න පුළුවන්.

ඕනෑම රටකට තම රාජ්‍යය පවත්වාගෙන යාමට නීති රීති අවශ්‍යයි. මෙය කවුරුවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මෙම නීති වල යුද්ධ සම්බන්ධයෙනුත් නීති තිබෙනවා, අපරාධ සම්බන්ධයෙනුත් නීති තිබෙනවා, දේශ ද්‍රෝහී ක්‍රියා සම්බන්ධයෙනුත් නීති තිබෙනවා.

තම රටට එල්ල වන සතුරු ආක්‍රමණ වලදී එයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීම රටක ආණ්ඩුවක් තම ජනයා වෙනුවෙන් සිදු කළ යුතු අනිවාර්ය වගකීමක්. මෙය රටේ සාමය පවත්වා ගැනීමට උපකාර වෙනවා. මේ බව මෑත ඉතිහාසය දිහා බලන ඕනෑම ලාංකිකයකුට තේරුම් ගැනීම අපහසු වන්නේ නැහැ. ලංකා ආණ්ඩුව එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව සිදු කල මෙහෙයුම අපි සියල්ල දන්නවා. රටේ සාමය රැකීම සඳහා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය සමග යුද්ධ කිරීම කාටත් වැරදියි කියල කියන්න බැහැ. රටට හානියක් වෙනවානම්, රටේ මිනිස්සුන්ට හානියක් වෙනවානම් මෙවන් යුද්ධයක් කර රටේ ජනතාව ආරක්ෂා කිරීම රටේ නායකයන්ගේ වගකීමක්. ලංකාවට එරෙහිව වෙනත් රටක් යුද ප්‍රකාශ කළහොත් ඔවුන් සමග යුද්ධ කරනවා හැරෙන්න වෙන විකල්පයක් නැතිනම් ඔවුන් සමග යුද්ධ කරන්නම සිදු වෙනවා. මෙයට අපි සියල්ලම දායක විය යුතුයි. මේ වගේ අවස්තාවකදී සුද්දන්ගෙන් රට බේරා ගැනීමට අපේ මුතුන්මිත්තන් සිදු කල සටන අපිටත් කරන්න සිදු වෙනවා. මෙහි කිසිඳු වැරැද්දක් නොමැති බව බුද්ධිමත් සියල්ල පිළිගන්නා කරුණක්. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 51ක් වෙනි වගත්නියේ මෙසේ සඳහන් වෙනවා.

“යම් ආයුධ සන්නද්ධ ආක්‍රමණයක් ඇති වුවහොත් තනි පුද්ගලයෙක්ගේ හෝ සාමූහයක ආත්ම ආරක්ෂාව පිලිබඳ නෛසර්ගික අයිතිය දැනට පවතින ප්‍රඥප්තිය විසින්, අහෝසි නොකරන ලදී”[4]

ආත්ම ආරක්ෂාව සඳහා ඉස්ලාමීය ආණ්ඩුවක් සිදු කරන යුද්ධයද (ජිහාදයද) මේ හා සමානයි. මෙහිදී සිදු වන්නේ සතුරු ආක්‍රමණිකයන්ව රටෙන් පන්නා දැමීමයි. ඇත්තෙන්ම මෙය මිනිසාගේ මූලික අයිතියක් මිස ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකන්න බැහැ[5]. උදාහරණයක් ලෙස මුහම්මද් තුමා මදීනා නගරය පාලනය කරන විට මක්කා නගරයේ සිටි ඉස්ලාම් විරෝධීන් දියත් කළ ආක්‍රමණික ප්‍රහාර වලට එරෙහිව යුද්ධ කලේද මේ හේතුව නිසයි. ඒ වගේම 11වෙනි හා 12වෙනි සියවසේදී ක්‍රිස්තියානි කුරුස යුධබටයින් (Crusaders) පලස්තීනය ආක්‍රමණය කළ විටද 13වෙනි සියවසේදී මොන්ගොල්වරු මධ්‍යම ආසියාව, පර්සියාව, ඉරාකය හා සිරියාව ආක්‍රමණය කළ විටද මෙම ආක්‍රමණිකයන් තම රටෙන් පන්නා දැමීමට එම රටේ මුස්ලිම් පාලකයන් හා මුස්ලිම්වරුන් ක්‍රියා කළේද මේ හේතුව නිසයි.

කෙසේනමුත් මෙහිදී සැලකිය යුතු එක් වැදගත් කරුණක් තිබෙනවා. එනම් ඉස්ලාම් දහමේ ඇතැම් නීති සෑම පුද්ගලයෙකුටම පාහේ අදාළ වුණද ඇතැම් නීති අදාළ වන්නේ ඉස්ලාමීය ආණ්ඩුවකට පමණයි. උදාහරණයක් ලෙස රට තුළ ක්‍රියාත්මක කරන අපරාධ නීතිය, යුධමය නීතිය යනාදිය ක්‍රියාවට නැංවිය යුත්තේ ඉස්ලාමීය ආණ්ඩුවක් මිසක් තනි තනි පුද්ගලයින් හෝ කණ්ඩායම් නොවේ. එනිසා මෙම යුධමය ක්‍රියාමාර්ග ගත යුත්තේ ඉස්ලාමීය ආණ්ඩුවක් බව අප මතක තබා ගත යුතු වෙනවා. ඉස්ලාමීය ආණ්ඩුවක් නොමැති නම් මෙවන් යුධමය ක්‍රියාමාර්ග ගැනීම තනි පුද්ගලයින්ට හෝ කණ්ඩායමකට සිදු කරන ලෙස ඉස්ලාමය පවසන්නේ නැහැ. මේ බව අල් කුර්ආනය තුළින් අපට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

අල් කුර්ආනයේ 2:247, 248 යන වැකිවල මුහම්මද් තුමාණන්ට පෙර සිටි එක් දේව පණිවුඩකරුවෙකුගේ ඉතිහාස කථාවක් ගැන සඳහන් වෙනවා. එම දේව පණිවුඩකරුවාගේ සමාජයේ විසූ උදවිය තම සතුරන්ගේ අමානුෂික වධ හිංසා වලට භාජනය වී සිය උපන් ගමෙන් ද නෙරපා දමනු ලැබුවා. මෙම ජන සමාජය බොහෝ සෙයින් අපරාධ කරනු ලැබ පීඩාවට පත්ව සිටිය දීත් යුද ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලූ සාධාරණයන් තිබියදීත් ඔවුන් තම දේව පණිවුඩකරුවාගේ නායකත්වය යටතේ සතුරන්ට එරෙහිව සටන් කළේ නැහැ. මෙම අවස්ථාවේ දි ඔවුන් තම දේව පණිවුඩකරුවාගෙන් ඉල්ලා සිටියේ සතුරන්ට එරෙහිව සටන් කරන්නට තමන්ට එක් රජවරයෙක් නියම කරන ලෙසයි. මෙම ඉල්ලීමට පසුව සර්ව බලධාරී දෙවියන් “තාලුත්” නැමැත්තාව ඔවුන්ට රජෙක් වශයෙන් නියම කර ඔවුන් කෙරෙහි සටන් කිරීම අනිවාර්ය කරනු ලැබුවා. එනම් මෙහිදී සටන් කිරීම අනුමත කරනු ලබන්නේ රජෙකු පත් කළ පසු ඔහු යටතේ පාලනය වන රජාන්ඩුවටයි. සටන් කිරීමට පාලනයක් හෝ රජවරයෙක් (රාජ්‍ය නායකයෙක්) හෝ අවශ්‍ය නොවේ නම් ඔවුන්ගේ ඉල්ලීම පිළිගෙන සර්ව බලධාරී දෙවියන් රජ කෙනෙක් නියම කර සිටින්නේ නැහැ.

මුහම්මද් තුමාගේ කාලයේද සතුරු ආක්‍රමණ වලට එරෙහිව සටන් කිරීමට අනුමැතිය ලැබුණේ මුහම්මද් තුමාගේ පාලනය යටතේ මදීනා නගරයේ ඉස්ලාමීය රාජ්‍යපාලනයක් පිහිටුවීමෙන් පසුවයි. එනිසා ආයුධ සන්නද්ධව සටන් කිරීමට නම් ඒ සඳහා රාජ්‍ය පාලනයක් ද රජ කෙනෙක් ද සිටීම අනිවාර්ය වන අතර තනි පුද්ගලයින්ට මෙම නීතිය කිසි සේත්ම වලංගු වන්නේ නැහැ. රජය කෙරෙහි පනවනු ලබන අණ තනි පුද්ගලයින් විසන් ක්‍රියාත්මක නොකළ යුතුයි.

ඉස්ලාමීය ආණ්ඩුවක් තම රට සතුරු ආක්‍රමණ වලින් බේරා ගැනීමට කළ යුතු උපක්‍රම හා යුද්ධයකදී අනුගමනය කළ යුතු මගපෙන්වීම් පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කරමු.

1. රටේ ආරක්ෂාව සඳහා විවිධ උපක්‍රම යෙදීම

සේනා බලය රැස් කර ගැනීම හා යුදමය වශයෙන් බලසම්මන්න වීම ඉස්ලාමීය ආණ්ඩුවක් තම රට තුළ අනුගමනය කළ යුතු වැදගත් යුතුකමක්. මෙසේ සිදු කරන්නේ අනාගතයේ සිදු විය හැකි සතුරු ආක්‍රමණ වලක්වා ගැනීමටත් යුදමය අවස්ථාවකදී සතුරා පරාජය කර තම රටේ මුස්ලිම්, මුස්ලිම් නොවන සියලු ජනයා බේරා ගැනීමටත්ය.

නුඹලාට හැකි පමණින් ශක්තිය ද යුද අශ්වයින් ද ඔවුන්ට එරෙහිව සූදානම් කර ගන්න. මෙමගින් අල්ලාහ්ගේ සතුරන් ද නුඹලාගේ සතුරන් ද ඔවුන් නොවන අන් අය ද නුඹලා විසින් බිය ගැන්විය හැකිය. නුඹලා ඔවුන් ගැන නොදන්නෙහු ය. අල්ලාහ් ඔවුන් ගැන දනියි. නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ කවරක් වියදම් කළත් එය නුඹලාට සහමුලින් ම පිරිනමනු ලැබේ. නුඹලා අපරාධ කරනු නොලබන්නෙහු ය. [අල් කුර්ආනය 8 : 60]

රටක් බිහි වූ පසු එය තම ආරක්ෂාව තර කර ගැනීම ගැන කිසිවෙකුට දොස් පවරන්න බැහැ. මෙම ක්‍රමවේදය අදටත් දියුණු රටවල් අනුගමනය කරන බව පැහැදිලි සත්‍යයක්. ඇමරිකාව, රුසියාව, කොරියාව, ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවල් යුදමය අතින් බලසම්පන්න වීමට උත්සහ දැරීම රහසක් නොවේ. සතුරු ආක්‍රමණ වලින් බේරීමට මිසයිල් ඇතුළු විවිධ මාදිලියේ උපක්‍රම මෙම රටවල් භාවිතා කරනවා. යුදමය වශයෙන් බලසම්පන්න වීම ලංකාවේත් යුතුකමක්. මෙතුළින් ඉදිරි ත්‍රස්තවාදී හා සතුරු ආක්‍රමණ වලින් රටේ ජනතාව බේරා ගැනීමට පුළුවන්.

එක් රටක සුළුතරයක් ව ජීවත් වන අය මෙසේ සේනා රැස් කර ගත හැකි යැයි ඉහත කුර්ආන් වැකිය (8:60) වටහා නොගත යතු බව පැහැදිලියි. මුහම්මද් තුමාගේ කාලයේ මක්කාවේ වධ හිංසාවට ලක් වෙමින් සිටින විටත් ඇබීසීනියාවේ රැකරවණය ලැබූ විටත් මුස්ලිම්වරු මෙසේ සේනා රැස් කළේ නැහැ, යුදමය වශයෙන් බලසම්පන්න වීමට උත්සහ දැරුවේ නැහැ. මෙසේ සිදු කළේ මුහම්මද් තුමා මදීනාවේ යහ පාලනයක් පිහිටුවා ගත් පසුව යි. මෙසේ කිරීම ප්‍රයෝගික වන්නේද එවිටයි.

2. ඉස්ලාමීය ආණ්ඩුවකට සතුරු ආක්‍රමණ වලට එරෙහිව යුද කළ හැක්කේ කුමන අවස්ථාවේද?

ඉස්ලාමීය රාජ්‍යයක් බිහි වී, සටන් කිරීම සඳහා වූ සියලූ හේතු සාධක තිබියදීත් සටන් කිරීම සඳහා වූ සේනා බලයක් නොමැති නම් එවිට ද ඉස්ලාමීය රාජ්‍යය කෙරෙහි පවා සටන් කිරීම අනිවාර්ය වන්නේ නැහැ. එනම් රටේ සේනා බලය ප්‍රධාන කොන්දේසියක් බව අපට වටහා ගන්න පුළුවන්. ප්‍රමාණවත් බලයක් නොමැතිව යුද පිටියට බැසීම සිය දිවි නසා ගැනීමකට සමානයි. එනිසා ආරම්භයේ දී සතුරන්ගේ බලයෙන් දහයෙන් කොටසක් තිබුණා නම් සතුරන්ට එරෙහිව සටන් කිරීමට අනිවාර්ය කර තිබුණා (අල් කුර්ආන් 8:65 බලන්න). නමුත් පසුව සතුරන්ගේ බලයෙන් අඩක් තිබුණා නම් පමණක් සටන් කිරීම අනිවාර්ය යැයි වගකීම ලිහිල් කරනු ලැබුවා (අල් කුර්ආන් 8:66). ඒවගේම අඩකට වඩා අඩුවෙන් සිටියේ නම් සමාජයට නොයෙකුත් අලාභ හානි සිදු වන බැවින් සටන් කිරීම අනිවාර්ය නොකර කීකරුව කටයුතු කළ යුතු බවද දැනුම් දෙනු ලැබුවා. එනම් මෙම අවස්ථාවේදී සතුරු රට සමඟ නම්‍යශීලී වූවා නම් එහි කිසිඳු වරදක් නැහැ. අල් කුර්ආනයේ ඉගැන්වීම මෙයයි (අල් කුර්ආන් 8:66). සේනා බලය අඩකටත් වඩා අඩුවෙන් තිබුණි නම් ඉස්ලාමීය රාජ්‍යයන් පවා සටන් නොකළ යුතු නියමයක් පවතී නම් රටක සුළුතරයක්ව ජීවත් වන ජනතාව කෙරෙහි සටන් කිරීම කිසිසේත්ම අනිවාර්ය නොවන බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

මුහම්මද් තුමාණන් මක්කාවේ විඳි දුක කිසිවෙකුත් විඳ තිබිය නොහැකියි. මුහම්මද් තුමාණන් එවන් තත්ත්වයක දී සේනා රැස් කළේ නැහැ. එතුමාණන් ඉවසීමෙන් කටයුතු කළා. එතුමාණන් සටන් කළේ මදීනාවට ගොස් රාජ්‍ය පාලනයක් පිහිටුවා සටන් කිරීම සඳහා වූ හේතු සාධක හටගත් විට දී පමණයි.

3. යුද්ධයේදී අනුගමනය කළ යුතු දේ

මිනිස් නීති පද්ධතියක් විසින් යුධමය නීති ලබා දෙනවාට වඩා මිනිසාට යහපත් සාධාරණ යුධ නීති ලබා දිහා හැක්කේ මිනිසා ගැන හොඳින් දන්නා මිනිසාගේ නිර්මාණකරුවාට පමණයි. ඉස්ලාම් දහම තුළ තිබෙන යුධමය නීති ගැන බුද්ධිමත්ව කල්පනා කරන කෙනෙකුට මේ බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඉස්ලාමීය යුධ නීතිය ඇතුළුව අනෙකුත් සියලු අපරාධ නීති පදනම් වී ඇත්තේ පහත ඉගැන්වීම මතයි.

“මිනිස් ඝාතනයක් වෙනුවෙන් හෝ පොළොවෙහි අවුල් ඇති කිරීමක් වෙනුවෙන් හෝ මිස කෙනෙක් තවත් කෙනෙකු ඝාතනය කළේ නම් ඔහු සියලූ මිනිසුන් ඝාතනය කළ කෙනෙක් වැනිය, එක් මිනිසෙකු ජීවත් කරවන්නා සියලූ මිනිසුන් ජීවත් කෙරූ කෙනෙක් වැනිය”….. [අල් කුර්ආනය 5:32]

මේ අනුව, යුද්ධයක් ඇති වීම වලක්වා ගැනීමට කටයුතු කළ යුතුයි.

  • කිසිම හේතුවක් නොමැතිව යුද්ධයක් ආරම්භ කිරීම ඉස්ලාමීය ආණ්ඩුවකට තහනම් වෙනවා. යුද්ධයක් ප්‍රථමයෙන් ආරම්භ නොකළ යුතුයි යැයි ඉස්ලාමය පවසනවා. (අල් කුර්ආනය 2:190, 9:12,13)
  • ඒ වගේම යුද්ධයක් වලක්වා ගැනීම සඳහා සාම ගිවිසුම් ඇති කර ගන්නා මෙන්ද ඉස්ලාම් දහම පවසනවා. එනම් සාමය ප්‍රිය කරන අය සමඟ සටන් වැදීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. (අල් කුර්ආන් 8:61)

නමුත් මේ සියල්ල අභිබවා සතුරු සේනා ඉස්ලාමීය රටකට එරෙහිව යුද්ධයට පැමිණෙනවා නම්, ඔවුන් සමඟ සටන් කිරීම හැරෙන්න වෙන විකල්පයක් නැහැ. මෙවන් තත්වයකදී සීමාව නොඉක්මවා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ඉස්ලාම් දහම පවසනවා.

  • කිසිම විටකදී අහිංසකයන් ඝාතනය කිරීම සිදු කළ නොයුතුයි (අල් කුර්ආනය 5:32)
  • සටන් කළ හැක්කේ කලහකාරීව බලෙන් සටනට එන අය සමඟ යි. (අල් කුර්ආනය 2:190, 9:13)
  • කාන්තාවන් හෝ දරුවන් මරා දැමීම සිදු කළ නොයුතුයි.[6][7]
  • සතුරන්ගේ මුහුණට ප්‍රහාර එල්ල නොකළ යුතුයි[8]
  • යුධ බිමේ මංකොල්ල කෑම තහනම්[9]
  • සතුරන්ව ගින්නෙන් පිලිස්සිය නොයුතුයි [10]
  • සතුරන්ගේ මෘත දේහ විකෘති නොකළ යුතුයි [11]
  • පරාජිත අය අත් අඩංගුවට ගෙන පසුව නිදහස් නොකළ යුතුයි. එසේ සිදු කළේ නම් ඔවුහු නැවතත් සේනාව රැස් කර ගෙන තවත් යුද්ධයකට පැමිණෙන්න පුළුවන්. නමුත් සතුරන් සහමුලින් ම මැඩ පවත්වා ඔවුනට නැවත නැගී සිට සටන් කිරීමට නොහැකි භීතියක් උදා වූයේ නම් අත් අඩංගුවට ගත් අය පසුව නිදහස් කරන්න පුළුවන් (අල් කුර්ආනය 8:67)
  • යුද්ධයේදී යමෙක් සටනෙන් වැළකෙනවා නම් එවන් අය සමඟ සටන් කිරීමට අනුමැතියක් නැහැ. (අල් කුර්ආනය 2:192)
  • සතුරු සේනාවේ සෙබළුන් හා එම සේනාවට උදව් කරන උදවිය සමඟ මිතුරුකම් පැවැත්විය නොහැකියි. මෙහි අරමුණ රටේ රහස් සතුරන් සතු වීම වැළැක්වීමයි. (අල් කුර්ආනය 60:2)
  • ආගම් ව්‍යාප්ත කරවන්නට සටන් කිරීමද තහනම්. (අල් කුර්ආනය 2:256, 9:6, 109:6)

යුද්ධයකදී කටයුතු කළ යුතු අකාරය පිළිබඳව මුහම්මද් තුමාගේ මිතුරෙකු වන අබූ බක්කර් තුමා මෙසේ පවසා තිබෙනවා:

“ඇතැම් විට තම ජීවිතය දෙවියන් වෙනුවන් කැප කළ බව පවසන අය ඔබ පසු කරනු ඇත. එවන් අයට හිංසා නොකරන්න. මම අනුශාසනා දහයක් දෙන්නෙමි. ළමුන්, කාන්තාවන්, මහළු උදවිය ඝාතනය නොකරන්න. පලතුරු වලින් යුත් ගස් විනාශ නොකරන්න. ජනාවාස විනාශ නොකරන්න. අහාර සඳහා මිස සතුරන්ගේ බැටළුවන් හා ඔටුවන් මරා නොදමන්න, ඒවා නුඹලාගේ ආහාර සඳහා තබා ගන්න. මී මැස්සන් පුළුස්සා නොදමන්න, ඔවුන්ව අවුස්සා නොදමන්න. යුද්ධයේදී ලැබුණු දේවල් සොරකම් නොකරන්න. ඒ වගේම බියගුළු නොවන්න. [12]

මීට අමතරව යුද්ධයකදී මුස්ලිම් සෙබලෙක් පිළිපැදිය යුතු තවත් බොහෝ කරුණු තිබෙනවා. ඒවා ඉදිරියේදී මෙම ලිපියට එක් කරන්න බලාපොරොත්තු වන්නෙමු.

ඉහත සඳහන් මඟපෙන්වීම් දෙස අවධානයෙන් බැලීමේදී කෙනෙක් අනුගමනය කළ යුතු කරුණු බටහිර රටවල් තවත් රටක් ආක්‍රමණය කරන විට අනුගමනය කරන ක්‍රමවේදයට හාත්පසින්ම වෙනස් බව තේරුම් ගන්න පුළුවන්. වෙඩි උන්ඩ හා බෝම්බ වල සංඛ්‍යාවට වඩා විශාල මිනිස් ප්‍රමාණයක් ඝාතනය කරමින් තමන් ආක්‍රමණය කරන රටේ යටිතල ව්‍යුහය විනාශ කිරීම මෙම ආක්‍රමණික බටහිර රටවල් වල ක්‍රමවේදයයි. ගුවනින් හෙලන බෝම්බ වලින් මිය යන්නේ සෙබළුන් පමණක් නොව අහිංසක සාමාන්‍ය ජනතාවයි. සතුරු ස්ථාන වලට පමණක්  ඉලක්ක වෙනවා යැයි පවසන “ස්මාර් බෝම්බ” වලින් සැබෑ ලෙස සතුරු ස්ථානවලට ඉලක්ක වී පුපුරා යන්නේ 40%ක බෝම්බ ප්‍රමාණයක් බව බි.බි.සී වාර්තා පවසනවා.[13] එනම් අධික ලෙස මිය යන්නේ සාමාන්‍ය ජනතාව බව පැහැදිලියි. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආක්‍රමණ වලදී මිය ගිය සාමාන්‍ය ජනතාව මෙයට කදිම උදාහරණයක්. රටේ යටිතල ව්‍යුහය විනාශ කළ පසු එම යටිතල ව්‍යුහය නැවත ගොඩනැගීමේ කාර්යය බටහිර ආයතනයකටම ලබා දෙන අතර මේ සඳහා ගෙවිය යුත්තේද ආක්‍රමණයට පත් රටයි. මෙයට කදිම උදාහරණයක් වනුයේ ඇමරිකාව විසින් ආක්‍රමණය කරන ලද ඉරාකයයි.

බටහිර රටක් තවත් රටක් ආක්‍රමණය කිරීමට හේතුව බොහෝ විට ස්වභාවික සම්පත් තමා සතු කර ගැනීම හා වුවද මෙවන් පටු අරමුණක් සඳහා යුද්ධ කිරීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. ඒ වගේම මෙම ලිපියේ සාකච්චා වී ඇති පරිදි සාධාරණ හේතුවක් නිසා සිදු කරන යුද්ධයක් පවා කළ යුත්තේ ඇතැම් සීමාවන් පිළිපදිමින් බව ඉහත කරුණු තුළින් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්.

දුෂ්ට පාලනයට එරෙහිව සිදු කරන යුද්ධය

ඉහත සඳහන් පරිදි සතුරු ආක්‍රමණ වලදී සිදු කරන යුද්ධ වලට අමතරව යම් දුෂ්ට පාලනයකට එරෙහිවද යුද්ධ කිරීමේ අනුමැතිය ඉස්ලාම් දහම ඉස්ලාමීය රජයකට ලබා දෙනවා. යම් අසල්වැසි රටක සිටින ජනතාවට එම රටේ පාලකයන් හිංසා පීඩා සිදු කරන විට එය නැවත්වීමේ හැකියාව ඉස්ලාමීය රටකට තිබෙනවා නම් එම රටේ ප්‍රශ්නයට මැදිහත් වී පීඩාවට ලක් වූ අහිංසක ජනතාව බේරා ගැනීමත් එම රට තුළ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමත් ඉස්ලාමීය ආණ්ඩුවක් විසින් ඉටු කළ යුතු සේවාවක්.

කෙසේනමුත් ඉස්ලාමය තුළ තිබෙන මෙම විදේශ ප්‍රතිපත්තිය බොහෝ බටහිර රටවල තිබෙන විදේශ ප්‍රතිපත්තීන් වලට වඩා හාත්පසින්ම වෙනස්. ලෝකයා වෙනුවෙන් සටන් කරනවා යැයි මෙම බටහිර රටවල් පැවසුවද ඇත්තෙන්ම ඔවුන් සටන් කරන්නේ සම්පත් වෙනුවෙන් බව පැහැදිලි කරුණක්.  බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්, ඩේවිඩ් මිල්ලිබෑන්ඩ්ගේ ප්‍රකාශයක් සලකමු:

“අපගේ පෙරමුණ ස්ථාපිත කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සටන් කිරීමටත් අපගේ මව්රට තුළ සම අයිතිය ලබා ගැනීමටත්ය. අපට තව දුර ගමනක් යාමට තිබෙන බව අපි දන්නෙමු. නමුත් අපගේ මව්භූමිය තුළ ත්‍රස්තවාදයෙන් අපව ආරක්ෂා කළ යුතු නම් අප ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කළ යුතු අතර එය වෙනත් රටවල්වලද ව්‍යාප්ත කළ යුතුයි. [14]

නමුත් මෙම ප්‍රතිපත්තියේ කිසිඳු ප්‍රයෝගික සත්‍යයක් නොමැති බව ඉරාකය හා ඇෆ්ගනිස්තානයේ සිදු වූ ආක්‍රමණ ගැන සැලකීමේදී වටහා ගන්න පුළුවන්. එසේනම් බටහිර රටවල් වල සැබෑ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? මේ බව ඇමරිකානු බ්‍රිගේඩියර් ජෙනරාල් විලියම් ලූනිගේ ප්‍රකාශය තුළින් අපට දැන ගැනීම අපහසු වන්නේ නැහැ.

ඔවුන් රේඩාර් යන්ත්‍ර සක්‍රිය කරන්නේ නම් ඔවුන්ගේ SAMs (surface-to-air missiles) විනාශ කර දමන්නෙමු. ඔවුන්ගේ රට අපට අයිති බව ඔවුන් දනිති. ඔවුන්ගේ ගුවන් අවකාශය අපට අයිතිය. ඔවුන් ජීවත්විය යුතු අකාරය හා කතා කළ යුතු අකාරය අපි අණ කරන්නෙමු. දැන් ඇමරිකාවේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය මෙයයි. මෙය යහපත් දෙයක්, විශේෂයෙන් අපට අවශ්‍ය කරන තෙල් බොහොමයක් එහි තිබෙන විට… ” [15]

මීට වඩා හාත්පසින්ම ඉස්ලාම් දහමේ ඇති විදේශ ප්‍රතිපත්තීන් ගැන අල් කුර්ආනය මෙසේ සරලව සඳහන් වෙනවා:

“අපේ දෙවියනි! අපරාධකරුවන් සිටින මෙම ගම්මානයෙන් අප බැහැර කරනු මැනව! ඔබගෙන් අපට ආරක්ෂකයෙකු සලස්වනු මැනව! ඔබගෙන් අපට පිහිට වන්නෙකු දසලස්වනු මැනවැ”යි පවසමින් සිටින පුරුෂයින්ගෙන් දුබලයින්, ස්ත්‍රීන් හා කුඩා ළමුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් නොකර සිටීමට නුඹලාට සිදු වූයේ කුමක් ද? [අල් කුර්ආනය 4:75]

මෙම නීතිය වලංගු වන්නේද ඉස්ලාමීය රජයකට මිසක් එක් කණ්ඩායමකට නොවේ. මේ පිළිබඳව මෙම වැකියේ පසුබිම තුළින් අපට වටහා ගන්න පුළුවන්. මෙසේ අපි ප්‍රකාශ කිරීමට අල් කුර්ආනයේ ම සාධක ඇත. 4:75 වැකියේ ‘‘දුබලයින් වෙනුවෙන් නුඹලා සටන් නොකරනනේ ඇයි?’’ යනුවෙන් ප්‍රකාශ වේ. දුර්වලයින් යනු මක්කාවේ සුළුතරයක්ව සිටි මුස්ලිම්වරු ය. ඔවුහු මක්කාවේ අනේක විධ වධ හිංසා වලට ලක් වූහ. ගමෙන් බේරී පලා ගියහොත් ප්‍රමාණවත්යැයි සිතන තරමට ඔවුනට සතුරන් විසින් වධ හිංසාවන් හා අපරාධයන් සිදු කරන ලදී. නමුත් ඔවුන් අමතා සටන් කරන ලෙස අණ නොකර ඔවුන් වෙනුවෙන් නුඹලා සටන් නොකරන්නේ ඇයි දැයි මුහම්මද් තුමාණන්ගේ නායකත්වයෙන් යුත් මුස්ලිම් රාජ්‍යයට පරිශුද්ධ වූ අල් කුර්ආනය අණ කරයි. දුර්වලයින් ද බලපෑමට ලක් වූ අය ද සටන් කි්‍රයාකාරකම් වල නියැලිය හැකි නම් සටන් කරන මෙන් අණ පනවා තිබිය යුත්තේ ඒ දුර්වලයින්ට ය. එනම් මෙවන් යුද්ධයක් කිරීමට අනුමැතිය ඇත්තේ බල සම්පන්න ඉස්ලාමීය රජයකට පමණයි.

මෙවන් අවස්ථාවකදී ඉස්ලාමීය ආණ්ඩුවක් අනුමගමනය කළ යුතු ප්‍රතිපත්ති මාලාව ගැන ඉස්ලාම් දහම කියා දෙනවා.

  1. පළමුව මෙම රටේ ජනතාව ඉස්ලාම් දහම කෙරෙහි අරාධනා කිරීම: මිනිසාගේ මෙලොව හා පරලොව ජයග්‍රහණය සඳහා වූ එකම මග ඉස්ලාම් දහමයි. එනිසා කෙනෙක් අපායෙන් මුදවා ස්වර්ගය කරා ගෙන යන ඉස්ලාම් දහම මිනිසුන්ට හඳුන්වා දීම හා ඉස්ලාම් දහම කෙරෙහි මිනිසා ආරාධනය කිරීම සෑම මුස්ලිම්වරයකුගේ මෙන්ම ඉස්ලාමීය ආණ්ඩුවකත් වගකීමක්. නමුත් මෙය සිදු කළ යුත්තේ සාකච්ඡා හා සංවාද තුළිනුයි. මෙහිදී ඉස්ලාම් දහම වැළඳ ගන්නා මෙන් කාටත් බල කරන්න බැහැ.
  2. දෙවන විකල්පය වනුයේ ඉස්ලාම් දහම වැළඳ නොගත්තද සාමය,සාධාරණය,ආරක්ෂාව භුක්ති විඳිමින් ඉස්ලාමීය පාලන භූමිය තුළ ජීවත් වන ලෙස අරාධනා කිරීම: මේ සඳහා ඉස්ලාමීය ආණ්ඩුව මොවුන්ගෙන් යම් සුළු බදු මුදලක් (ජිස්යා බද්ද) වාර්ෂිකව අය කර ගන්නවා[16]. ඉතිහාසය දෙස බැලීමේදී බොහෝ මුස්ලිම් නොවන පිරිස් මෙම දෙවන විකල්පය සතුටින් තෝරාගෙන ඇති බව වටහා ගන්න පුළුවන්. පිලිප් මැන්සෙල්ගේ “කොන්ස්තන්තිනොපල්” නම් පොතේ ඇතුලත් වී ඇති  යුරෝපයේ යුදෙව්වන්ට සිදු වූ පීඩාවෙන් පසු රබ්බායි කෙනෙකු විසින් ලියන ලද සුප්‍රසිද්ධ ලියුමක මෙසේ සඳහන් වෙනවා: “පැමිණිලි කළ හැකි සිසිවක් මෙහි, තුර්කිවරුන්ගේ භූමියේ, නැත. බොහෝ සම්පත් අප සතුව තිබෙන්නේය, අප සතුව බොහෝ රත්රන් හා රිදී තිබෙන්නේය. අපව අධික බදු වලින් පීඩාවට පත් කර නොමැති අතර අපගේ වාණිජකටයුතු බාධාවක් නොමැතිව නිදහසේ කරගෙන යා හැක. පොහොසත් වන්නේ පොලවේ පලතුරු තිබීමය. සෑම දෙයක්ම මිල අඩු වන අතර අප සියල්ලම සාමයෙන් හා නිදහසේ ජීවත් වන්නෙමු[17]
  3. පළමු හා දෙවන යෝජනා දෙකම ප්‍රතික්ෂේප කරන්නේ නම් අවසාන විකල්පය ලෙස ඔවුන් සමඟ සටන් කිරීම: නමුත් මේ යුද්ධය කළ යුත්තේ මෙම ලිපියේ කලින් සඳහන් කළ යුධමය සාරධර්ම හා නීති අනුගමනය කිරීමෙනුයි. මෙහිදී යුද්ධයේ මූලික අරමුණ පාලකයින්ගෙන් පොදු ජනතාවට ඇති වන හිංසාව හා පීඩාව තුරන් කිරීම තුළින් ජනතාවට සාමය හා ආරක්ෂාව ලබා දී ඉස්ලාමීය සාධාරණය ස්ථාපිත කිරීමයි.

දුෂ්ට පාලනයෙන් පීඩාවට පත් මිනිසුන් මුදවා ගැනීමට ඉස්ලාමීය රජයක් ගන්නා සියලු රාජෝපායන් අසාර්ථක වූ විට අවසාන විකල්පය වන්නේ යුද්ධය පමණයි. බුද්ධිමත් කෙනෙක් මෙම විකල්පය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මෙම යුද්ධය සීමාවන් නොඉක්මවා සිදු කළ යුතු අතර ඉස්ලාමීය ඉතිහාසය දෙස බැලීමේදී මුස්ලිම් පාලකයින් ඉස්ලාමීය මගපෙන්වීම් අනුගමනය කිරීමට උත්සහ දරා තිබෙන බව තහවුරු කර ගන්න පුලුවන්.

ක්‍රි.ව 690දි නිකියෝහි (ඊජිප්තුව) කෝප්ටික් බිශෝප්වරයකු වූ ජෝන් මෙසේ පවසවනවා: ඊජිප්තුවේ තමා යන සෑම තැනකම මිනිසුන්ට හිංසාව හා පීඩාව ඇති කළ නිසා හෙරක්ලියස් අධිරාජ්‍යයාට තම මිනිසුන් එදිරිවාදිකම් කරනවා මුස්ලිම්වරුන් දුටු අතර එම ඔවුහු මුස්ලිම්වරුන්ට උදව් කළෝය [18].

ඒ වගේම පීඩාවට පත් වූ යුදෙව්වන් ස්පාඥයෙන් පලාගොස් ඉස්තාන්බුල් හි සිටි මුස්ලිම්වරුන් වෙත ගියෙද මුස්ලිම්වරුන්වරුන්ගේ පාලන භූමිය තුළ තිබූ යුක්තිය හා සාධාරණත්වය ඔවුන් දුටු නිසයි. ඉස්ලාමීය පාලනය තුළ තිබූ මෙම “සතුටුදායක තත්වය” ගැන 19වෙනි සියවසේ සිටි යුදෙව් ඉතිහාසඥයෙකු වන හෙයින්රිච් ග්රේට්ස් (Heinrich Graetz) මෙසේ පවසනවා:

ස්පාඥයේ සිටි යුදෙව්වන් මුහම්මදිකයන්ගේ පාලනය යටතට පැමිණියේද මේ සතුටුදායක තත්වය තුළය……ඔවුන්ව ආදරයින් සලකන ලදී, දිගු කලක් නොලැබුණු ආගමික නිදහස හිමි කරගත්හ, ඔවුන්ගේ ආගමිකයන් අතර අධිකරණ තීරණ ගැනීමට අනුමැතිය තිබුණි. [19]

මුස්ලිම්වරුන්ද මෙම යුදෙව්වන්ව සාදරයෙන් පිළිගත්තා. මේ හා සමාන පුවතක් සයන් සොහාර් නම් යුදෙව් ඉතිහාසඥයා තම “Sephardic & Mizrahi Jewry” නම් පොතේ මෙසේ ප්‍රකාශ කරනවා

එනිසා, ක්‍රි.ව 711දි මුස්ලිම්වරුන් ජිබ්රෝල්ටා සමුද්‍ර සන්දිය පසුකරමින් අයිබීරියානු අර්ධද්වීපය ආක්‍රමණය කළ විට කිතුනුවන්ගේ හිංසා පීඩාවලින් බේරා ගන්න විමුක්තිදායකයන් ලෙස යුදෙව්වෝ මුස්ලිම්වරුන්ව පිළිගත්හ[20]

ඒ වගේම ඉස්ලාමීය මුලාශ්‍රයක් උපුටා දක්වමින් තෝමස් ආර්නෝල්ඩ් පහත සඳහන් අයුරින් අදහස් ඉදිරිපත් කරනවා.

“…. මුස්ලිම් නායකයින් වෙත ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කිතුනුවන් විසින් ‘දෙවිඳුන් අප කෙරෙහි පාලනය ඔබ වෙත නැවත ලබා දෙත්වා. රෝම වරුන්ට එරෙහිව ඔබට ජයග්‍රහණය ලබා දෙත්වා. ජයග්‍රහණය ඔවුන් වෙත  වූවා නම් අප වෙත  කිසිවක් ලබා නොදී අප වෙත ඇති දෑ ද පැහැර ගනු ඇත’ යැයි පවසන ලදී” [21]

මීට අමතරව වත්මන් ධනවාදයේ ප්‍රාරම්භක පියා ලෙස සැළකෙන ඇඩම් ස්මිත් විසින් ඉස්ලාමීය පාලනයේ බලපෑම විග්‍රහකොට ඇත්තේ පහත සඳහන් අයුරිනි.

“රෝම අධිරාජ්‍යයේ විනාශය හා එයත් සමග ඉන් ශත වර්ෂ කිහිපයකට පසු සිදු වූ නීතිය හා සාමයේ සියලු බිඳවැටීම් හේතුවෙන් ස්වභාව ධර්මයේ අධ්‍යයන මුල ධර්ම සියල්ල නොසලකා හරින ලදී.

මෙම රටවල් යටත් කරගන්නන්ගේ වැටීමෙන් පසු, මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ඨත්වයේ ආරක්ෂකයින් වූ කාලිෆ් වරුන්ගේ අධිරාජ්‍ය හේතුවෙන් ලොව තැන්පත්භාවයක් ඇතිවිය. විද්‍යාත්මක දියුණුව සඳහා මෙය අත්‍යාවශ්‍ය සාධකයක් විය.

මෙම ත්‍යාගශීලී හා විශිෂ්ට කුමාරවරුන්ගේ ආරක්ෂාව යටතේ පැරණි දර්ශනවාදය හා ග්‍රීක තාරකා විද්‍යාව ප්‍රතිස්ථාපනය කොට නැගෙනහිරෙහි පිහිටුවන ලදී. ඔවුන්ගේ තැන්පත්, මෘදු, යුක්ති සහගත ආගමික පාලනය විශාල අධිරාජ්‍ය පුරාවට විහිදී ගියේය. මෙය මිනිසාගේ කුතුහලය පණගන්වා ස්වභාව ධර්මයේ බැඳීම් ඇතිකරවන මුල ධර්ම පිළිබඳ අධ්‍යනය සඳහා දිරිගන්වන ලදී.” [22]

යම් රටක පාලනය හිමි කරගත් පසු එහි සිටින ජනතාවට ඉස්ලාමය වැළඳගන්නා මෙන් බල කිරීමට ඉස්ලාමීය ආණ්ඩුවකට කිසිම අනුමැතියක් නැහැ. එනිසා මෙවන් වැරදි ක්‍රියාවලින් වලක්වා ගැනීමට ඉස්ලාමීය ආණ්ඩුවක් සැම විටම උත්සහ කරනවා. අවුරුදු 1400ක ඉතිහාසය මේ බව සනාත කරනවා[23].

ඒවගේම ක්‍රි.ව 647 සිට  657 දක්වා ක්‍රිස්තියානි පූජකපිතෘ ලෙස කටයුතු කළ ඉෂෝයබ්ත් ඉස්ලාමීය පාලනය ගැන මෙසේ ප්‍රකාශ කරනවා:

“දෙවියන් විසින් ලොවේ ආධිපත්‍යය පිරිනැමුණු අරාබිවරුන් අප සමඟ ඔබ දන්නා පරිදිම කටයුතු කරන්නෝය. ඔවුන් කිතුනුදහමට සතුරුකම් නොකරන අතර අපගේ දහමට, අපගේ පූජකවරුන්ට, අපගේ සාන්තුවරුන්ට ගරු කරන්නෝය. අපගේ පල්ලිවලට හා ආරාම වලට උදව් කරන්නෝය”[24]

ආරම්භක ඉස්ලාමීය ස්පාඤ්ඤය පිළිබඳ විශේෂඥයෙකු වූ රෙයින්හාට් ඩෝසි, ඉස්ලාමීය ස්පාඤ්ඤයේ ජිහාදය පිළිබඳ ප්‍රතිඵල විග්‍රහ කළේ පහත සඳහන් අයුරිනි.

“….. අරාබිවරුන්ගේ  අසීමිත රිස්සීමේ චර්යාව සැළකිල්ලට ගත යුතුව ඇත. ආගමික කටයුතු පිළිබඳ ව ඔවුන් කිසිවෙකු කෙරෙහි කිසිදු බලපෑමක් සිදුනොකළහ. කිතුනුවන් විසින් ෆ්රෑන්කස් වරුන්ගේ පාලනයට වඩා අරාබිවරුන්ගේ පාලානය අගය කළහ. [25]

ස්පාඤ්ඤය පිළිබඳ විශේෂඥතාවකින් යුත් සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වූ යුලික් ආර්. බර්ක් විසින් ද මෙයට සමාන නිගමනයක සිටියේය.

අරාබි පාලකයින් වෙතින් දහම හේතුවෙන් කිතුනුවන් කිසිදු ආකාරයක දුෂ්කරතාවකට පත් නොවූහ. අරාබි ස්පාඤ්ඤයේ සම්මතය වුයේ පරිසමාප්ත රිස්සීම පමණක් නොව පිළිගත් සමානාත්මතාවයි.” [26]

ක්‍රි.ව 866 – ක්‍රි.ව 869 දක්වා කාලයේ කලිෆ් අල් මු’තාස් ගේ පාලන ප්‍රදේශවන ඊජිප්තුව හා පලස්තීනයට සංචාරය කළ පූජක බර්නාඩ් ද වයිස්ද සඳහන් කළේ කිතුනුවන් හා මුස්ලිම්වරුන් අතර අදහාගත නොහැකි සමගියක් තිබුණු බවයි. එම සමගිය කෙතරම්ද නම් කිසිම ආරක්ෂාවක් නොමැතිව ඔහුගේ සියලු භාණ්ඩ හැර දමා නගරයට ගොස් පැමිණියද ඔහුගේ භාණ්ඩ ඒ ආකාරයෙන්ම තිබෙන බව ඔහු පවසනවා[27]

ඉහත කරුණු තුළින් සනාත වන්නේ “ඉස්ලාමය පවසන ජිහාදය යනු ත්‍රස්තවාදයක්” බවද?

රටවල් තවත් රටක ප්‍රශ්න වලට මැදිහත් වීම අද කාලයේ පවා අපට දැක ගන්න පුළුවන්. මෙයට කදිම උදාහාරණයක් වන්නේ යූ. එන් හමුදාවයි. මෙය අනුමත කරන ජනයා ඉස්ලාමය පවසන විදේශ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කරන්නේ කුමන පදනමකින්ද? ඉස්ලාමීය විදේශ ප්‍රතිපත්තිය තුළින් සමාජයට සිදු වී ඇත්තේ යහපතක් මිස අයහපතක් නොවන බව ඉහත කරුණු තුළින් පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්.

විවේචන සඳහා වූ පිළිතුරු

දහමක් තුළ යුධමය නීති තිබිය හැකිද?

රටක යුධමය නීති තිබුණද එවන් නීතියක් දහමක තිබිය නොහැකියි යැයි ඇතැමුන් පවසනවා. මෙසේ පැවසීම තර්කානුකූල නොමැති බව මෙම ප්‍රකාශය දෙස බලන බුද්ධිමත් කෙනෙකුට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන්. මිනිසාගේ යහපත සඳහා රටක මෙවන් නීතියක් තිබිය යුතුයි යැයි පැවසීම තුලින් එය මිනිසාගේ යහපතට අවශ්‍ය දෙයක් බව සනාත වෙනවා. එසේ නම් මෙම අවශ්‍යතාවය සඳහා වූ මග පෙන්වීම ඉස්ලාම් දහම අපට කියා දීමේ ඇති වැරැද්ද කුමක්ද? විවේචකයන් සිතන පරිදි අනෙකුත් දහම් වල මෙන් හුදෙක්ම වන්දනාමාන පිළිබඳව පමණක් ඉස්ලාම් දහම කතා කරන්නේ නැහැ. ඉස්ලාම් යනු මිනිසාගේ ජීවිතයේ සියලුම අංශවලට අදාළ මග පෙන්වීම් ලබා දෙන “පරිපූර්ණ ජීවන ක්‍රමයක්”. එනිසා රජයක් පවත්වාගෙන යායුතු ක්‍රමවේදයකුත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම්වල දැකගන්න පුළුවන්. ඒ වගේම ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී යුදමය තත්වයක් උදා වුනොත් ඒ සඳහා ගතයුතු ක්‍රියා මාර්ගත් ඉස්ලාම් දහමේ ඉගැන්වීම්වල තිබෙනවා. ඉස්ලාම් දහම විවේචනය කරන උදවිය මේ ගැන නොදන්නවා නොවේ. ඔවුන්ගේ අරමුණ හුදෙක්ම ඉස්ලාමය විවේචනය කිරීම නිසා මෙම සත්‍ය ඔවුන් නොසලකා හරිනවා.

අල් කුර්ආනය තුළ ප්‍රචණ්ඩකාරී වැකි තිබීම සාධාරණයිද?

මෙම ලිපියේ පැහැදිලි කර ඇති අයුරින් සතුරු ආක්‍රමණ වලදී මෙන්ම දුෂ්ට පාලනයකට එරෙහිව සටන් කිරීමට ඉස්ලාමය ඇතැම් විට අනුමැතියද ඇතැම් විට අනිවාර්ය නියෝගද ලබා දෙන අතර මේ සඳහා ආවේගය හා ධෛර්යය ඇති කරන ප්‍රකාශයන් අල්ලාහ් තම අල් කුර්ආනය තුළින් පවසනවා. යුද්ධයකදී සෙබළුන් ධෛර්යයට පත් කිරීම සඳහා මෙවන් ප්‍රවේශයක් අවශ්‍යයි. යුද්ධයකදී “සතුරාට මල් පොකුරක් ලබා දෙන්න, ඔහුගේ කකුල කිචි කවන්න” යැයි පැවසීම අනුවණකමක් බව අමුතුවෙන් පැවසිය යුතු නැහැ. කෙසේනමුත් යුද්ධයේ අරමුණ ජනයාට සිදුවන හිංසාව හා පීඩනය තුරන් කිරීම බව මතක තබා ගත යුතුයි.

අහිංසකයන් කෙරෙහි එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිගත හැකිද?

ඉහත සාකච්ඡා වූ යුදමය අවස්ථා වලදී සතුරාට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම අද කාළයේ අපට දැක ගන්න පුළුවන්. මේ පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයක් කළ චිකාර්ගෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙක් වන මහාචාර්ය රොබර්ට් පේප් තමාගේ Dying to Win: The Logic of Suicide Terrorism [28] නම් පොතේ මරාගෙන මැරෙන ප්‍රහාර මුස්ලිම් සෙබළුන්ට පමණක් ආවේණික දෙයක් නොව අනෙකුත් සමාජවලද, මතවාදවලද තිබෙන පොදු ක්‍රමයක් බව පෙන්වා දෙනවා. ඒ වගේම මේ සඳහා ආගමික හේතුවලට අමතරව වන්නේ විවිධ දේශපාලනික හේතූන්ද බලපාන බව ඔහු පෙන්වා දෙනවා. වර්ෂ 1980 සිට  2004 දක්වා ලොව සිදු වූ සියලු මරාගෙන මැරෙන ප්‍රහාරවල තොරතුරු ගොනු වූ ප්‍රථම අධ්‍යයනය මොහු විසින් කළ අධ්‍යයනයි. මෙහි කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරමු.

  1. මරාගෙන මැරෙන ප්‍රහාර වල ඉහලින්ම සිටින්නේ ලංකාවේ සිටි දෙමළ කොටි සංවිධානයි.
  2. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ මුස්ලිම්වරුන්ගෙන් 2/3ක්ම සිටින්නේ ඇමෙරිකානුවන්ගේ පාලනය තුළ තිබෙන රටවල් වලය.
  3. වර්ෂ 2003දී ඇමරිකානු හමුදාව ඉරාකය ආක්‍රමණය කිරීම, එතෙක් නොතිබුණු අන්දමින් සිදු වූ මරාගෙන ප්‍රහාර සඳහා වූ මූලික හේතුවයි.

මින් පැහැදිලි වන්නේ යම් දේශපාලනික අසාධාරණකම් මරාගෙන මැරෙන ප්‍රහාර සඳහා යම් අකාරයකින් හේතු වී ඇති බවයි. ඒ වගේම මෙම අසාධාරණකම්, මරාගෙන මැරෙන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා හේතුවක් ලෙස මෙම ප්‍රහාරකයින් භාවිතා කරනවා. මෙනිසා මෙම දේශපාලනික අසාධාරනකම් හා ප්‍රචණ්ඩත්වය වෙනම විෂයක් ලෙස අධ්‍යනය කිරීමේ අවශ්‍යතත්වයක්ද තිබෙන බව පැහැදිලියි.

මහාචාර්යවරයා තවදුරටත් මෙසේ ප්‍රකාශ කරනවා:

“දත්ත පෙන්වා දෙන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාර හා ඉස්ලාමීය මුලධර්මවාදය අතර හෝ අනෙකුත් ආගමක් අතර කිසිඳු සම්බන්ධයක් නොමැති අතර සෑම මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයකම පොදුවේ ඇත්තේ, ත්‍රස්තවාදීන් තමන්ගේ මව් භූමිය ලෙස ඔවුන් සලකන ප්‍රදේශයෙන් හමුදාව ඉවත්කර ගැනීමට  නවීන ප්‍රජාතන්ත්‍රවාදයට කරන බලකිරීම යන, ලෞකික හා උපායශීලී අරමුණයි. [29]

වර්ෂ 2005 ජූලි මස ලන්ඩන් නගරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සැලකීමේදී, විනාශකාරී ලෙස ඉරාකය ආක්‍රමණය කිරීමට ඇමරිකාව සමඟ බ්‍රිතාන්‍ය රජය එක් වීම පළිගැනීමකට ලක් විය හැකි අවධානම අධික කළ බව බ්‍රිතාන්‍ය රජයට කලින්ම අවවාද කරනු ලබා තිබෙනවා. මේ පිළිබඳව බ්‍රිතාන්‍යයේ Joint Terrorism Analysis Centre (JTAC) නම් ආයතනයින් පිට වූ වාර්තාවක මෙසේ සඳහන් වෙනවා:

“ඉරාකයේ සිදු වන සිදු වීම්  බ්‍රිතාන්‍ය තුළ විවිධ මාදිලියේ ත්‍රස්තවාදී ක්‍රියා කිරීමට පෙළඹවීමක් ලෙස දිගින් දිගටම හේතු වී තිබේ”

වර්ෂ 2005දී අප්‍රේල් මස Joint Intelligence Committee (JIC) නම් ආයතනය විසින් පිළියෙළ කළ “International Terrorism: Impact of Iraq” නම් වාර්තාවේ මේ බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා.

“We judge that the conflict in Iraq has exacerbated the threat from international terrorism and will continue to have an impact in the long term. It has reinforced the determination of terrorists who were already committed to attacking the West and motivated others who were not.”

මෙම කරුණු වලින් පැහැදිලිවම පෙනී යන්නේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා මූලික හේතුවක් ලෙස ඇතැම් දේශපාලනික ප්‍රචණ්ඩකාරීත්වයන් හා කුමන්ත්‍රණ ක්‍රියා කර ඇති බවයි. මෙනිසා මුස්ලිම් සමාජයට හා ජිහාදයට චෝදනා එල්ල කිරීමට ප්‍රථමව මුස්ලිම්වරුන්ව මේ තත්වයට පත් කළ දේශපාලනික පසුබිම ගැන අධ්‍යයනය කළ යුතුයි නේද?

දැන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඉස්ලාමීය ක්‍රමයක්ද? යන්න සාකච්ඡා කරමු.

ඉහත පැහැදිලි කර ඇත්තේ මරාගෙන මැරෙන ප්‍රහාර සිදු කිරීම සඳහා යම් පිරිසක් පෙළඹවීමට හේතුවන පසුබිම පිළිබඳවයි. මේ නිසා ඇතැම් විට මරාගෙන මැරෙන ප්‍රහාර සාධාරණ බව කෙනෙක් සිතන්න පුළුවන්. උදාහරණයක් ලෙස හමුදා කඳවුරක් විනාශ කිරීමට පැමිණි කොටි සංවිධානයේ වාහනය මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විනාශ කළ හසලක ගාමිණී නම් ලාංකික රණවිරුවාව සලකන්න පුළුවන්. මෙම අවස්ථාවේදී මෙය වීර ක්‍රියාවක් ලෙසද බහුතරයක් සිතනවා. මේ අකාරයෙන්ම යම් මුස්ලිම්වරයෙක් සිතන්න පුළුවන්. කෙසේනමුත් යුද්ධයකදී සතුරා සමඟ සටන් කිරීමට අනුමැතිය දුන් ඉස්ලාම් දහම මෙවන් මරාගෙන මැරෙන ප්‍රහාර වලට අනුමැතිය දෙන්නේ නැහැ. මෙය මුස්ලිම්වරුන්ට තහනම් වූ ක්‍රියාවක්[30]

අල් කුර්ආනයේ පැහැදිලිවම මෙසේ සඳහන් වෙනවා: නුඹලා නුඹලාවම ඝාතනය කර නොගන්න. [අල් කුර්ආනය 4:29]

ඒ වගේම මුහම්මද් තුමාද මෙසේ පවසා තිබෙනවා: “යම් කෙනෙක් යකඩ කැබැල්ලකින් තමාව ඝාතනය කර ගත්තේ නම් ඔහු එම යකඩ කැබැල්ල තම අත ඇතිව තමාගේ බඩට ඇන ගනිමින් අපා ගින්නේ සදහටම සිටින්නේය.” [31][32]

මෙම කරුණු වලින් පෙනී යන්නේ මහාචාර්ය රොබර්ට් පේප් පවසන පරිදිම ලෝකයේ සිදු වන මරාගෙන මැරෙන ප්‍රහාර හා ඉස්ලාමයේ ඉගැන්වීම් අතර කිසිඳු සම්බන්ධතාවයක් නොමැති බවයි.

ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්

පරිශුද්ධ වූ අල් කුර්ආනයේ තිබෙන සියලූ අණ මුස්ලිම්වරුන්ට අදාළ වූවත් පාලකයින් කෙරෙහි ද රාජ්‍යයන් කෙරෙහි ද පමණක් පනවනු ලබන අණ කිහිපයක් තිබෙන අතර සටන් කිරීම ගැන සඳහන් වන වැකි ද මෙවැනි රාජ්‍යයක් මත පනවන ලද යුතුකමක් මිස තනි පුද්ගලයින් හෝ කණ්ඩායම් මත පනවන ලද්දක් නොවන බව කළින් සාකච්ඡා වී තිබෙනවා. ධර්ම දූතයෙකුගේ නායකත්වය යටතේ ගොඩ නැගුණු ජන සමාජයක් පවා රාජ්‍ය පාලනයක් බිහි නොකර සටන් නොකළ යුතුයැයි ඉස්ලාම් දහම පවසනවා. ඒ වගේම මුස්ලිම්වරුන් යනු ආගමික සහජීවනය හා සාමාජික ඒකාබද්ධතාවය වඩන පරිපූර්ණ ජීවන ක්‍රමයක් වන ඉස්ලාම් දහම සත්‍ය දහම බව පිළිගන්නා ජන සමූහයක්. එනිසා ඉස්ලාමීය ඉගැන්වීම් වලට අනුව මුස්ලිම්වරයෙක් සටන් නොවදින කිසිඳු අහිංසකයෙකුට හිංසා නොකළ යුතුයි. එනිසා ඉස්ලාමය පවසන ජිහාදය පිළිබඳව නිසි ආකාරව තේරුම් නොගෙන මුස්ලිම්වරු ප්‍රචණ්ඩකාරි ක්‍රියාවල නියැලීම වැරදි ක්‍රියාවක්. කුඩා සංවිධාන පිහිටුවා ගෙන “අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරමු” යැයි ජනතාවගේ චින්තනය වෙනස් කර අවි රැගෙන ප්‍රචණ්ඩත්වයේ නියැලෙන බොහෝ පිරිස් ත්‍රස්තවාදීන් මිස ඉස්ලාම් දහම පවසන ජිහාදය ක්‍රියාවට නංවන උදවිය නොවන බව පැහැදිලි කරුණක්.

මෙම කණ්ඩායම් බිහි වීමට හේතුව ඉස්ලාමය යැයි යමෙක් සිතන්න පුළුවන්. මෙම කණ්ඩායම් බිහි වීමට විවිධ සාධාරණ හේතු තිබෙන්න පුළුවන්. නමුත් මොවුන්ගේ බිහිවීමට එකම හේතුව ඉස්ලාම් යැයි පැවසීම නිවැරදි නැහැ. උදාහරණයකට සිසුවන් දෙදෙනෙකු විසින් ආරම්භ වූ තලෛබාන් සංවිධානය සලකමු. සිසුන් පිරිසක් විසින් මෙම සංවිධානය ආරම්භ කළේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ රුසියානු හමුදාවට එරෙහිවයි.

කෙසේනමුත් මෙම කණ්ඩායම්වල ඇතැම් ක්‍රියාකාරම් ඉස්ලාම් අනුමත කරන්නේ නැහැ. මෙයට කදිම නිදසුනක් වන්නේ අහිංසක මිනිස් ඝාතනයන්ය. සෝමාලියාවේ ආරම්භවූ අෂ් ෂබාබ් සංවිධානය, මෑතකදී ආරම්භ වූ අයි.එස්.අයි.එස් සංවිධානය පලි ගැනීමක් වශයෙන් අහිංසක මිනිසුන් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාර එල්ල කරන බව පුවත්පත් වල සඳහන්. නමුත් මෙය ඉස්ලාමය අනුමත නොකරන බව මෙම ලිපියේම සාකච්ඡා වී තිබෙනවා.

නොමග ගිය මෙවන් මුස්ලිම්වරුන් නැවත නිවැරදි මාර්ගයට ගෙන ආ හැක්කේද ඉස්ලාමය තුළින් පමණයි. එය දේශපාලනකි හෝ මතවාදී අරගලයක් වෙන්න පුළුවන්.

සාරාංශය

හිංසාකාරී හා පීඩාකාරී පාලනයක් තුරන් කර සාධාරණය ස්ථාපිත කිරීමට සියලුම මිනිසුන් කැමතියි. ඉස්ලාමය පවසන ජිහාදය තුළින් සිදු වන්නේ මෙයයි. එනම් ඉස්ලාමය තුළ තිබෙන ජිහාදය වගවිභාගයක් නැති ත්‍රස්තවාදයක් නොව හිංසා පීඩා ඉවත් කර අහිංසකයන් ආරක්ෂා කිරීමට උත්සහ දරන යාන්ත්‍රණයක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඉස්ලාමීය ඉගැන්වීම් වලට අනුව ජිහාද් යනු උතුම් දෙයක්. මෙවන් උතුම් ජිහාද් යන යාන්ත්‍රණයක් නොමැතිව රටක සිටින මුස්ලිම් හා මුස්ලිම් නොවන රටවැසියන් ආරක්ෂා කිරීමට හෝ දුෂ්ටපාලනයෙන් ජනතාව බේරා ගෙන යුක්තිය, සාධාරණය ස්ථාපිත කිරීමට හෝ හැකියාවක් නැහැ. ඉස්ලාමීය ඉතිහාසය දෙස බැලීමේදී මේ බව පහසුවෙන් වටහා ගන්න පුළුවන්. බටහිර රටවල්වල හිංසාකාරී විදෙස් ප්‍රතිපත්ති නිසා අද ලොව සිදු වන ඝාතන හා විනාශය දකින ඇතැම් අය සිතන්නේ ඉස්ලාම් පවසන සැබෑ ජිහාදයට නැවත ප්‍රාණයක් දිය යුතු බවයි [15].

ඉස්ලාමය පවසන ජිහාදය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව ඇතැම් මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකාරකම් පමණක් බලා ඉස්ලාම් දහම විවේචනය කිරීමද වැරදි ක්‍රමවේදයක්. ඉස්ලාමය හා ජිහාදය ගැන අවබෝධ කරගැනීමට ඉස්ලාමීය රටවල් යැයි හඳුනාගන්න රටවල් දෙස යොමු වීමද අසාර්ථක උත්සහයක්. මෙයට හේතුව ඔවුන් පූර්ණවශයෙන් ඉස්ලාමීය පාලන ක්‍රමය ස්ථාපිත නොකර තිබීමයි. මෙම රටවල්වල ව්‍යවස්ථා මේ බව සනාත කරනවා. එනම් මෙම රටවල් ඇත්තෙන්ම ක්‍රියාත්මක කරන්නේ ඉස්ලාම් නොවන පාලන ක්‍රමයක්.

ජිහාද් යනු මිලේච්ඡ ලෙස මිනිසුන් ඝාතනය කිරීමක් බවත් මුස්ලිම්වරුන් යනු ලේ පිපාසිත මිනී මරුවන් බවත් බරහිර රටවල් තම ජනයාට විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනවා. නමුත් මෙම ලිපියේ ඉදිරිපත් කර ඇති කරුණු නිසිආකාරව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙක් ඉස්ලාම් පවසන ජිහාදය තුළ විවේචනය කළ හැකි කිසිඳු දෙයක් නොමැති බව පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. කරුණු විශ්ලේෂණය කර බුද්ධිමත් ලෙස තීරණය ගන්නා ජනතාවගේ නිවැරදි තීරණය නොමග යැවීමට, ඉස්ලාම් විරෝධීන් යොදාගත් “ජිහාද් ත්‍රස්තවාදය”,”ඉස්ලාමීය ත්‍රස්තවාදය” යනාදී යල් පැනගිය ප්‍රකාශයන් තවදුරටත් සමත් නොවන බව පැහැදිලි කරුණක්.

එක් පාර්ශවයකට ත්‍රස්තවාදීන් ලෙස පෙනෙන උදවිය තවත් පිරිසකට පෙනෙන්නේ වීරවරුන් ලෙසයි. ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කළ විට ඔවුන්ට විරුද්ධව සටන් කළ ලාංකිකයන් එකළ ඉංග්‍රීසීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ත්‍රස්තවාදීන් නමුත් ලාංකික අපට ඔවුන් ලක්විරුවන්. කොටි සංවිධානයට එරෙහිව සටන් කළ ලංකා හමුදා සෙබළුන් අප දකින්නේ වීරවරුන් ලෙසයි. එසේනම් යම් සාධාරණ හේතුවක් මත සිදු කරන ධර්මතාවයකින් යුත් සටනක් ත්‍රස්තවාදයක් වන්නේ කෙසේද? සාධාරණ හේතුවක් වෙනුවෙන් සටන් කරන මුස්ලිම්වරුන් වීරයන් ලෙස නොදකින්නේ කුමන හේතුව නිසාද?

එනිසා බුද්ධිමතුන්ට අවශ්‍ය කරනුයේ විස්තීර්ණ සංවාදයක් මිස හුදෙක් වචනයෙන් කරන අපහාසයන් හෝ විවේචනයන් නොවේ.

මූලාශ්‍රයන්

[1] http://www.spectator.co.uk/melaniephillips/597641/jihad-with-money.thtml

[2] අන්-නසාඊ, පුවත් අංක 4029

[3] සහිහ් ඉබ්නු හිබ්බාන්, පුවත් අංක 4862

[4] http://www.un.org/aboutun/charter/chapter7.htm

[5] This is different from what many commentators describe as ‘political violence’ please access the following link that differentiates between theology and political violence http://hamzatzortzis.blogspot.com/2008/07/questions-is-islam-responsible-for.html or see section below in this article

[6] සහිහ් බුහාරි, පුවත් අංක 3014

[7] සහිහ් බුහාරි, පුවත් අංක 3015

[8] සහිහ් බුහාරි, පුවත් අංක 2560

[9] සහිහ් බුහාරි, පුවත් අංක 5516

[10] සහිහ් බුහාරි, පුවත් අංක 3016

[11] සහිහ් බුහාරි, පුවත් අංක 5516

[12] අල් මුවත්තා (al-Muwatta’, 982, Kitaab al-Jihaadhttp://sunnah.com/urn/409900

[13] http://news.bbc.co.uk/1/hi/world/middle_east/1184086.stm

[14] http://www.epolitix.com/latestnews/article-detail/newsarticle/david-miliband-speech-in-full/

[15] U.S. Brig. General William Looney (Interview Washington Post, August 30, 1999) Referring, in reality, to the brutal mass-murder of hundreds of civilian Iraqi men, women and children during 10,000 sorties by American/British war criminals in the first eight months of 1999.

[16] “Life as a Non-Muslim in the Caliphate” http://www.caliphate.co.uk/caliphate/nonmuslims.htm

[17] Philip Mansel. 1995. Constantinople : City of the World’s desire, 1453-1924. Penguin Books, p. 15

[18] John of Nikiou, quoted by Petra M. Sijpesteijn, Egypt in the Byzantine World, Cambridge, 2007, P. 442.

[19] H. Graetz, History of the Jews, London , 1892, Vol 3, P. 112.

[20] Zion Zohar, Sephardic & Mizrahi Jewry, New York, 2005, P. 8-9.

[21] T. W. Arnold , Preaching of Islam, London , 1913, P. 61.

[22] The Essays of Adam Smith, London , 1869, P. 353.

[23] “Let there be no compulsion in religion: Truth stands out clear from Error: whoever rejects Taghut (evil) and believes in Allah has grasped the most trust worthy hand-hold that never breaks. And Allah heareth and knoweth all things. ” Qur’an 2:256

[24] Caliph and their non-Muslim subjects: A critical study of the covenant of Umar. A. S. Tritton. Routledge Library Editions: Islam. 2008, p. 138-139

[25] Reinhart Dozy, A History of Muslims in Spain , 1861 (reprinted 1913, 2002), Delhi , P.235.

[26] Ulick R. Burke, A History of Spain , London , 1900, Vol I, P. 129.

[27] Christopher J. Walker, Islam and the West, Gloucester , 2005, P. 17.

[28] http://en.wikipedia.org/wiki/Dying_to_Win:_The_Strategic_Logic_of_Suicide_Terrorism

[29] Ibid

[30] https://islamqa.info/en/217995

[31] සහිහ් බුහාරි, පුවත් අංක 5442

[32] සහිහ් මුස්ලිම්, පුවත් අංක 109

[33] Observer Comment Extra “Imperialism may be out, but aggressive wars and colonial protectorates are back” http://observer.guardian.co.uk/worldview/story/0,,684308,00.html

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *