“දේව විශ්වාසය” පිළිබඳ සහජ හැඟීම (ෆිත්රා)

ඉතිහාසය දිහා බැලීමේදී බහුතරයක් මිනිසුන් සර්වබලධාරී මැවුම්කරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු විශ්වාස කර ඇති බව අපට වටහා ගන්න පුළුවන්. මිනිස් මනසේ තිබෙන යම් හේතුවක් නිසා මෙසේ විශ්වාස කරන බව මෙතුළින් පැහැදිලි වෙනවා. ඇත්තෙන්ම සෑම මිනිසෙකුගේම චෛතසිකයේ අභ්‍යන්තරයේ මුළු මහත් විශ්වයට අධිපති ගුප්ත පාලන ශක්තියක් තිබෙනවා යන හැඟීමක් තිබෙනවා. එනම් විශ්වයට මැවුම්කරුවෙකු සිටිනවා යැයි පිළිගැනීම මිනිසුන්ගේ මනසේ තැන්පත් වී තිබෙන ස්වාභාවික විශ්වාසයක්. මෙම විශ්වාසය ඔවුන්ට ලැබී තිබෙන්නේ උපතින්මයි. මනෝවිද්‍යා විද්වතුන්ද මේ බව පැහැදිලිවම සඳහන් කර තිබෙනවා.

2008 ජුලි 26 වැනි දින ඕස්ට්‍රේලියාවේ  පළ කෙරුණු “The Age” නම් පුවත්පතට ලිපියක් සපයමින් බාර්නි ස්වාට්ස් නම් ලේඛකයා පහත සඳහන් අයුරින් ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා.

“ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් පවසා සිටි පරිදි බිළින්දන් දේව විශ්වාසය හා තදින් බැඳී ඇති අතර අදේවත්වය ඔවුන් පසුව අත්කර ගන්නක් බවයි. බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය මගින් ‘දහම හා මනෝවිද්‍යාව’ යන තේමාව යටතේ පවත් වන ලද සම්මන්ත්‍රණයකදී, පෙර පාසැල් දරුවන් පවා ඔවුන්ගේ භෞතික ලෝකය පිළිබඳ අවබෝධය තුළ දේවධර්ම සංකල්පයන් නිර්මාණය කළ බවද ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියාය. දහම් පිළිබඳ මනෝවිද්‍යාත්මක විශේෂඥවරියක් වන ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච් පවසා සිටියේ මිනිසාගේ ස්වභාවිකත්වය දේව විශ්වාසය ද නැතිනම් අදෙවත්වය ද යන්න පිළිබඳ  මනෝවිද්‍යාඥයින් අතරේ විවාදයක් තිබු අතර ඇගේ මතය වුයේ දේව විශ්වාසය උගන්වනු ලබන්නක් නොව ස්වභාවයෙන් ම වර්ධනය වන්නක් බවයි. ‘The Age’ සඟරාව වෙත ඇය පවසා සිටියේ දේව විශ්වාසය මිනිස් චෛතසිකයට ඉතා තදින් ම බැඳී ඇති බවයි. ආචාර්ය පෙට්‍රොවිච් පවසා සිටියේ තම නිගමනයන් විවිධ අධ්‍යයනයන් මත අපදනම් වූවක් වන අතර විශේෂයෙන්ම වයස අවුරුදු 4 සිට 6 දක්වා වූ ජපාන දරුවන් අතරේ හා ආගමික විශ්වාසයන් හතකට අයත් වූ වයස අවුරුදු 5 සිට 7 දක්වා වූ බ්‍රිතාන්‍ය දරුවන් 400 අතරේ කළ අධ්‍යයනයන් මෙම නිගමනයට ඒමට උපකාරී වූ බවයි. අදේවත්වය සහතික වශයෙන්ම තමන් විසින් අත්කර ගන්නා ස්ථාවරයක් වන අතර මිනිස් සහජත්වයේ කොටසක් නොවන බව ඇය විසින් තරයේම පවසා සිටින ලදී”. මේ පිලිබඳ වැඩි විස්තර ආචාර්ය ඔලිවෙරා පෙට්‍රොවිච්ගේ “Child’s Theory Of The World” නම් පොතේ සඳහන් වෙනවා [1]. 

ඒ වගේම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යාව හා මනස පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යේෂ්ඨ පර්යේෂකයෙකු වූ ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett)ද මිනිසුන් තුළ තිබෙන මෙම සහජ දේව විශ්වාසය පිළිබඳව මෙසේ පවසනවා:

“පසුගිය දශකයක පමණ කාලයක් තුළ ඒකරාශී වූ විද්‍යාත්මක සාක්ෂීන් විමසුමකට ලක් කිරීමේදී තවත් වැදගත් කරුණක් අනාවරණය වෙනවා. එනම් අපි පෙර නොසිතුවාට වඩා බොහෝ දේවල් ළමා මනසේ වර්ධනය තුළ සහජයෙන්ම අන්තර්ගත වී තිබෙනවා. ස්වාභාවික ලෝකය නිර්මාණය වූ එකක් හා එයට අරමුණක් ඇති බවත් යම් ආකාරයක ඉහල බුද්ධියක් මෙම අරමුණ පසුපස සිටින බවත් පිළිගැනීමේ හුරුපුරුදු බවක්  ළමා මනසේ ස්වාභාවිකවම ඇති වී තිබෙන බව දැකගන්න පුළුවන්”

ආචාර්ය ජස්ටින් බැරට් (Dr. Justin Barrett) පවසන අන්දමට යොවුන් වියේ සිටින්නන් ලොව සියලු දෑ අරමුණක් ඇති ව නිර්මාණය කොට ඇති බව සිතන නිසා  ඔවුන් අතර උත්තරීතර දෙවිකෙනෙකු විශ්වාස කිරීමේ පූර්ව නැඹුරුවක් තිබෙනවා. එනම් කෙනෙක් දෙවිව(නිර්මානකරුවාව) විශ්වාස කරන්නේ මිනිස් මනස එසේ විශ්වාස කිරීමට ස්වාභාවිකවම හැඩ ගැසී තිබීම නිසයි. ජස්ටින් බැරට් පවසන්නේද මෙම විශ්වය නිර්මාණය කර පරිපාලනය කරන්නා නිර්මාණකරුවෙකු සිටිනවා යන විශ්වාසය සමාජයේ බලපෑමෙන් කෙනෙකුගේ සිත තුළ ඇති නොවන බවයි [2]. දෙමව්පියන් විසින් හෝ පාසල් අධ්‍යාපනය තුළින් දේවත්වය පිළිබඳ ඉගැන්වීමක් නොකළ ද කුඩා දරුවන් තුළ දේව විශ්වාසයක් ඇති වන බව පවසන ඔහු කාන්තාර දූපතක තනි ව හදා වඩා ගත්තත් මෙම විශ්වාසය ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අවසාන තීරණයයි.

“අපි ළමුන් කිහිපදෙනෙක් එක් දූපතකට දැමුවාට පසු ඔවුන් එහි ඔවුන් විසින්ම ස්වාභාවිකව හැදී වැඩුනා නම් ඔවුන් දෙවියන්ව(නිර්මානකරුවාව) විශ්වාස කරනවා” [3].

මෙම පරීක්ෂණ වලින් අපට පෙනී යන්නේ මිනිසා සහජයෙන් අදේවවාදියෙකු හෝ නාස්තිකවාදියකු නොව දෙවිකෙනෙක් විශ්වාසකරන්නෙක්, දේවවාදියෙක් ලෙස උපදින බවයි. මුහම්මද් ﷺ ධර්ම දුතයාණන් වරෙක පවසා සිටියේ සෑම දරුවෙක් ම මෙම පිවිතුරු සහජ හැඟීම (ෆිත්රා) සමග බිහි වන අතර එම දරුවාගේ දෙමව්පියන් විසින් විවිධ විශ්වාසයන් කරා ඔහු ව යොමු කර වන බවයි[4]. මෙම සත්‍යය ස්වභාවයෙන් බැහැර ව එම සත්‍යය විශ්වාසයට පටහැණි ආදේශකයන් තබා ගැනීමයි අද සිදුවෙමින් පවතින්නේ. එනම් සමාජයේ කිසිම බලපෑමකින් තොරව මිනිසුන් හැදී වැඩුනා නම් ඔවුන් එක් දෙවි කෙනෙකු විශ්වාසකරන පිරිසක් ලෙස සිටිනවා නියතයි. මෙය ඇතැම් ගවේෂකයන්ගේ ගවේෂණ ප්‍රතිපල වලින්ද සනාත වෙනවා.

‘එමිල් ඩර්ක්හයිම්’ නමැති සමාජ විද්‍යාඥයා විසින් බාහිර ලෝකය සමග කිසිඳු සබඳතාවකින් තොරව වර්ෂ දහස් ගණනක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික සමාජ සංස්ථාවන් සහිත ව ජීවත් වූ ආදිවාසී ජන සමුහයක් පිළිබඳ ව පවත්වන ලද පර්යේෂණයක කරුණු අන්තර්ගත කොට ඩබ්ලිව්. එස්. එෆ්. පිකරින්ග් විසින් සකස් කරන ලද “Durkheim on Religion” නමැති ග්‍රන්ථයේ පහත සඳහන් අයුරු කරුණු විග්‍රහ කොට තිබෙනවා.

“මෙම ආදිවාසී පිරිසගේ දෙවිඳුන් සදා ජීවමාන සදාතනිකයෙකි. ඔහුගේ ආරම්භය අන් කිසිවක් මත නොමැත. විශ්වයේ සියල්ල කෙරෙහි බලය ඇත්තෙකි. හිරු සඳු ආදී සියලු තාරකාවන් පාලනය කරන්නේ ඔහුය. සියල්ලෙ හි නිර්මාතෘ ඔහුය. විදුලි කෙටීම් හා අකුණු සැර ඔහුගේ අණ පරිදි සිදු වේ.” [5].

මෙම ආදිවාසී ජන සමුහයේ දේව විශ්වාසය හා ඉස්ලාමයේ දේව විශ්වාසය අතරේ කිසිඳු පරස්පරතාවක් නැහැ. බාහිර සමාජ බලපෑම් කිසිවක් නොමැති ව තම ජන්මතාවට අනුකුල ව  ‘විශ්වාසය’ සකස් කර ගන්නට යමෙකුට අවස්ථාවක් ලැබෙන්නේ නම් ඔහුගේ තත්ත්වය සත්‍යය වශයෙන්ම සැකසෙන්නේ මේ අයුරු බව කිසිම සැකයක් නැහැ. මෙම කරුණු මගින් සනාථ වන්නේ ‘දේව විශ්වාසය’ මිනිසාගේ සහජ හැඟීම් වලින් එකක් බව නොවෙයිද? මෙලොව ජනිත වන සෑම මිනිසෙකුම මෙම ප්‍රතිඥාව ‘පරමාධිපති’ දෙවිඳුන් වෙත ලබා දී බිහි වී ඇති හෙයින් ඔවුන්ට කුමන සංස්කෘතික හා සමාජයීය තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වුවත් තම චෛතසිකයේ නොමැකිය හැකි ආකාරයෙන් සනිටුහන් වී ඇති දේව විශ්වාසයෙන් බැහැර විය නොහැකියි. ඉහත උදාහරණය මෙයට ඉතා උචිත නිදසුනකි.

කෙසේනමුත් සහජයෙන් හිමිවෙන මෙම දේව විශ්වාසය, සමාජයේ විවිධ බලපෑම් නිසා මිනිස් මනසේ සැඟවෙන්න පුළුවන්. මෙම සමාජ බලපෑම නිසා කෙනෙක් සබැ දෙවි වෙනුවට වෙනත් දෙවිවරුන් විශ්වාස කිරීමට යොමු වෙනවා. දෙවිවරුන් ප්‍රතික්ෂේප කලත් කෙසේ හෝ තමා උසස් යැයි සලකන දෙයකට වහල් වී එය තම පරමාධිපති ලෙස පිළිගැනීමටද මිනිසුන් යොමු වී තිබෙනවා. එසේ මිනිසුන් යොමු වන්නේ ස්වාමියෙකුට නමස්කාර කිරීමේ, නොඑසේනම් අවනත වීමේ ස්වභාවය මිනිස් මනස තුළ සහජයෙන්ම තැන්පත් වීම තිබීම නිසයි. නිදසුනක් ලෙස දේවවිශ්වාසය බැහැර කළ ස්ටාලින්, මාඕ සේතුං වැනි පුද්ගලයන්ටම ප්‍රතිමා ඉදිකර, එම ප්‍රතිමා වලට මාල දැමීම ගරු බුහුමන් දැක්වීම යනාදී ක්‍රියාකාරකම් තුළින් පෙනී යන්නේ මිනිසා තුළ තිබෙන මෙම වහල්භාවයයි. ඇතැම් විටි මිනිසා වහල් වන්නේ සමාජය විසින් ඉදිරිපත් වී තිබෙන විවිධ මතවාද හා සංකල්ප වලටයි. ඇතැම් විට, කෙනෙකු සිතිය යුතු ආකාරය, ඇඳිය යුතු ඇඳුම්, සදාචාරය යනාදී දේවල් තීරණය වෙන්නේ සමාජීය මතවාද වලින් බව සමාජය දෙස අවධානයෙන් බලන්නෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙහිදී සිදු වී තිබෙන්නේ තමාගේ සැබෑ ස්වාමියා වන සර්වබලධාරී දෙවියන් වෙනුවට අන් දේවල් වලට වහල් වී කටයුතු කිරීමයි.

කෙසේනමුත් මනසේ සැඟවී තිබෙන සැබෑ සහජ දේව විශ්වාසය අවදි කිරීමට ඇතැම් සාධකයන් උපකාර වෙනවා. මින් එකක් වන්නේ හදිසි අපදාවන්ය. හදිසි ආපදාවක් අනතුරක් ඇති වූ විට මිනිසා විසින් විශ්වයේ සත්‍ය වූ ශක්තිය වෙනුවෙන් ඇති කර ගනු ලැබූ ආදේශකයන් අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් මතු වී එන්නේ සත්‍යයේ හඬයි. ගසකට පිළිරුවකට මිනිසෙකුට තැබූ ආදේශය අමතක වී ගොස් ඔහුගේ සිත අභ්‍යන්තරයෙන් විශ්වයේ සැබෑ ශක්තියට ආමන්ත්‍රණය කිරීමේ හඬ ඉස්මතු වී එන හැටි අප විවිධ අවස්ථාවන් හි දැක තිබෙනවා. අදේවත්වයේ මග අනුගමනය කරන්නන් පවා මෙලෙස අසරණ වූ අවස්ථාවන් හි සරණ පතා හඬ නගන හැටි අප දැක තිබෙනවා. අද ප්‍රචලිත අදේවවාදියෙකු වන රිචර්ඩ් ඩෝකින්ස් පවා එක් විටක නොදැනුවත්ව දෙවියන් පැතීම මෙයට  සුළු නිදසුනකි[6].

මීට අමතරව සඟරාවක සඳහන් වූ ඉතා වැදගත් තොරතුරු කිහිපයක් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු. ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයක් වූ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයින් පිරිසක් තමන් තෝරා ගත් විෂය ධාරාවක් ඔස්සේ ආචාර්ය උපාධිය වෙත යොමු වූ පර්යේෂණාත්මක අධ්‍යයන පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වුණා. මෙම ශිෂ්‍යයින්ගේ අයදුම්පත් පරීක්ෂාකර බැලු මහාචාර්ය මණ්ඩලයට එක් පොදු ලක්ෂණයක් මෙම අයදුම්පත් හි දකින්නට තිබුණා. එනම් එක් ශිෂ්‍යයෙකු හැර අන් සියල්ලම ‘දහම’ යන කොටුව සඳහා ලබා දී තිබුණේ තමන් අදේවවාදී යන අර්ථය ඇති පිළිතුරුයි. මෙම අයදුම්පත් පරීක්ෂා කර බැලූ මහාචාර්ය මණ්ඩලය ශිෂ්‍යයින්ගේ මෙම පොදු සාධකය පදනම් කර ගෙන පර්යේෂණයක් කරන්නට සැලසුමක් සකස් කර ගත්තා. මෙම විශ්ව විද්‍යාලයේ පර්යේෂණාත්මක පාඨමාලාවට සහභාගි වන ශිෂ්‍යයින් හට තම සතුට ප්‍රකාශ කිරීමක් ලෙස පහතින් පියාසර කළ හැකි හා පිනුම් ගැසිය හැකි ගුවන් යානයක් තෝරා ගෙන විශ්ව විද්‍යාලය පිහිටා ඇති නගරයේ සංචාරයක යෙදී ආපසු පැමිණියායින් පසු මහාචාර්ය මණ්ඩලය සමග තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ආරාධානා කරනු ලැබූවා. ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු යානයේ පාලනය තමන් වෙත නොමැති බව නිවේදනය කරන ලෙස මහාචාර්යවරුන් විසින් ගුවන් යානයේ නියමුවාට උපදෙස් දී තිබුණා. ‘කරුණාකර අවධානය යොමු කරන්න! ගුවන් යානයේ පාලනය මාගෙන් ගිලිහී ගොස් ඇත! කරුණාකර ආසන පටි පැලඳ අසුන්ගෙන සිටින්න!’ මෙවන් නිවේදනයක් ගුවන් යානයක් මගීන් සමග ගුවන්ගත වූවායින් පසු නියමුවා විසින් නිකුත් කළ විට සියලුම ගුවන් මගීන්ගේ සිතෙහි ඇති විය හැකි එකම හැඟීම නම් ගුවන් යානය කඩා වැටී සියල්ලන්ම ජීවිතක්ෂයට පත් වීමේ තත්ත්වයට පත් වනු ඇතැයි යන්නයි.

ඉහත ගුවන් යානයේ එක් අයෙකු හැර සියල්ලන්ම අදේවාදීන්ය. අදේවවාදියෙකුට මරණින් මතු ජීවිතයක් පිළිබඳ විශ්වාසයක් නැහැ. ඔහුට මරණය යනු බියක් ජනිත කළ යුතු කාර්යයක් නොවේ. කෙසේ නමුත් ගුවන් යානය කඩා වැටී විවිධ ආකාරයේ බරපතළ කායික පීඩා ඇති විය හැකි බව හැඟෙන්නට ඉඩ තිබෙනවා. මෙවන් බියකරු තත්ත්වයක් තුළ ගුවන් යානයේ සිටි මගීන්ගේ ප්‍රතිචාරය කුමක් විය හැකි දැයි මොහොතකට ආවර්ජනය කර බලන ලෙස ඔබගෙන් අප කාරුණික ව ඉල්ලා සිටිනවා. මහාචාර්යවරුන්ගේ උපදෙස් පරිදි ගුවන් යානය තුළ සිදු වන දෑ සටහන් කර ගැනීම පිණිස වීඩියෝ කැමරා සවිකර තිබූ නිසා නියමුවාගේ පාලනයෙන් ගුවන් යානයේ පාලනය ගිලිහී ගියා යැයි පැවසු මොහොතේ සිට සිදු වූ සියල්ල වාර්තා වී තිබුණා. තමන්ගේ අයදුම්පත භාරදෙන මොහොතේ වීරයින් ලෙසින් තමන් අදේවවාදීන් යැයි පැවසු සැවොම ගුවන් යානය තුළ හඬා වැටෙමින් ‘අහෝ දෙවියනි! අපව ආරක්ෂා කරනු මැනව!’ වැනි වදන් පවසමින් කන්නලව් කළ ආකාරය සැබැවින්ම හද කම්පා කරවන සුළුයි. අදේවවාදීන් ලෙස වහසිබස් දොඩවන්නන් භයානක තර්ජනයකට මුහුණ දෙන අවස්ථාවක තම හදවතේ ජන්මයෙන්ම සනිටුහන් වී  ඇති ඒක දේවත්වය ඉස්මතු වී මෙලෙස  එම විශ්වයේ අධිපති දෙවිඳුන්ගෙන් උපකාර ඉල්ලමින් කන්නලව් කරන තත්ත්වයන් අප දැක තිබෙනවා. ‘පරමාධිපති’ දෙවිඳුන් විසින් මිනිසාගේ නිවැරදි මඟ පෙන්වීම සඳහා පහළ කළ අවසන් හා ලොව අවසානය දක්වා පවතින එකම දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයේ මේ පිළිබඳ ව දක්වා ඇති කරුණක් කෙරෙහි අපගේ අවධානය යොමු කරමු.

ගොඩ බිමෙහි ද මුහුදෙහි ද නුඹලා ගමන් කරවන්නේ ඔහු ය. නුඹලා නැවෙහි සිටින්නෙහු ය. යහපත් සුළඟක් ඔවුන් යාත්‍ර කරවයි. එමගින් ඔවුහු සතුටු වූ විට සුළි සුළඟක් ඔවුන් වෙත පැමිණෙයි. මුහුදු රළ ද ඔවුන් වෙත සෑම පසෙකින් ම පැමිණෙයි. එවිට තමන් වට කර ගන්නා ලදැයි ඔවුහු තීරණය කරති. (එම මොහොතේ දී) නැමදුම චිත්ත පාරිශුද්ධියෙන් අල්ලාහ්ට ම පිළිගන්වා “ඔබ මෙයින් අප ආරක්ෂා කළෙහි නම් අපි ඔබට කෘතඥ වන්නෙමු”යි අල්ලාහ් වෙත ඔවුහු ප්‍රාර්ථනා කරති. [අල් කුර්ආනය 10:22]

මීට අමතරව මිනිසාගේ මනසේ සැඟවී තිබෙන සහජ දේව විශ්වාසය අවධි කරවීමට මිනිසාගේ විචාර බුද්ධියද උපකාර වෙනවා. අපගේ විචාර බුද්ධිය තුළින් මෙම විශ්වය යම් සූක්ෂමව සැලසුම් කරන ලද ධර්මතාවයකට අනුව ක්‍රියා කරන බව පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙවන් ධර්මතාවයක් ඉබේම හට ගත නොහැකි නිසා මෙම ධර්මතාවය ඇති කළ ඉහළ බුද්ධියක් සිටිය යුතු බව අවසානයේදී තීරණය කරන්න පුළුවන්. මෙම විශ්වයේ ස්වභාවික සංසිද්ධි පිලිබඳ අවධානය යොමු කිරීමේදී මේ දේවල් පිටුපස බුද්ධිමත් නිර්මාණකරුවෙකු සිටිනවා යන සහජ හැඟීම අවදි කරගන්න පුළුවන්. මෙම විශ්වය දෙස අවධානය යොමු කරන මෙන් අල් කුර්ආනයේ සඳහන් වන්නේ මේ නිසයි. විශ්වයේ ඇති දේවල් පිලිබඳ අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටින වැකි රාශියක් අල් කුර්ආනයේ සඳහන් වෙනවා. ඉන් කිහිපයක් පහත සඳහන් කර තිබෙනවා.

වසර ගණන ද (දින) ගණන ද නුඹලා දැන ගනු පිණිස ඉර දීප්තිමත්ව ද සඳ ආලෝකමත් ව ද පිහිටුවා එයට (සඳට) විවිධ මණ්ඩල පරිමාණයන් නියම කළේ ඔහු ය. අල්ලාහ් මෙය සාධාරණ හේතුවක් මත මිස නිර්මාණය නොකළේය. අවබෝධ කර ගන්නා ජනතාවට ඔහු වැකි පැහැදිලි කරයි. [අල් කුර්ආනය 10:5]

“අහස්හි ද පොළොවෙහි ද තිබෙන දේ ගැන සිතා බලන්නැ”යි (මුහම්මද්,) පවසන්න. විශ්වාස නොකරන පිරිසකට සාධක හා අවවාද ප්‍රයෝජනවත් නොවේ.” [අල් කුර්ආනය 10:101]

කෙසේනමුත් දෙවියන් ප්‍රතික්ෂේප කරන අදේවවාදීන් පවසන්නේ දේව විශ්වාසය යනු පරිසරයේ විවිධ කරුණු වලට බිය වීම හේතුකොටගෙන මිනිසා විසින්ම ඇතිකරගත් ව්‍යාජ විශ්වාසයක් බවයි. ඒ වගේම මිනිසා උපතින්ම අදේවවාදියෙකු බවත් ඔවුන් පවසනවා. අදේවවාදීන්ගේ මෙම ප්‍රකාශ නිවැරදි නොවන බවද දේව විශ්වාසය මිනිස් මනසේ සහජයෙන්ම පවතිනවා යන්නද ඉහත කරුණු වලින් පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. කලක් අදෙවවාදියෙකුව සිටි ඇන්තනි ෆ්ලු නම් දාර්ශනිකයා පවසන්නේද උපතින්ම මිනිසා අදේවවාදියෙකු යැයි පැවසීම ඉතා අසීරු බවයි. ඒ වගේම ඇල්වින් ප්ලේටින්ගා වැනි අනෙකුත් දාර්ශනිකයන් මෙම ස්ථාවරයට විරුද්ධ වුණ බවත් සාර්ථකව මෙම මතයට පිළිතුරු දුන්න බවත් ඇන්තනි ෆ්ලු පවසනවා[7]. ඇල්වින් ප්ලේටින්ගා නම් දාර්ශනිකයා පවසන්නේ දේව විශ්වාසය “මූලික විශ්වාසයක්” (Basic Belief) බවයි. එනම් මෙම විශ්වාසය ගොඩ නගා ගන්නේ යම් බාහිර මාධ්‍යකින් නොවන අතර බාහිර දේ පිලිබඳ දැනුම ගොඩනාග ගැනීමට මෙම “මූලික විශ්වාසය” යොදා ගැනෙනවා. නිදසුනක් ලෙස අප දකින අවට තිබෙන භෞතික පරිසරය සලකමු. අප අවට සැබෑලෙසම භෞථික පරිසරයක් තිබෙනවා යන්න එක් “මූලික විශ්වාසයකි”, එනිසා එය වෙනත් බාහිර මාධ්‍යකින් සනාථ කළ යුතු වන්නේ නැහැ.

“දේව විශ්වාසය යනු පරිසරයේ විවිධ කරුණු වලට බිය වීම හේතුකොටගෙන මිනිසා විසින්ම ඇතිකරගත් ව්‍යාජ විශ්වාසයක්” යන ප්‍රකාශය පිළිබඳව අප තවදුරත් සාකච්චා කරමු.

ඇතැමුන් තුළ දේව විශ්වාසය ඇති වී තිබෙන්නේ මේ හේතුව නිසා යැයි කෙනෙක් පිළිගත්තද, මිනිසුන් සියලු දෙනා තුළම දේව විශ්වාසය ඇති වී තිබෙන්නේ පරිසරයේ විවිධ දේවල් වලට තිබුණු බිය නිසා යැයි පැවසීම නිවැරදි නැහැ. මෙය තර්කානුකූලද නැහැ. තර්ක ශාස්ත්‍රයට අනුව මෙම වැරදි නිගමනයට පවසන්නේ ජානමය මුලාව(Genetic Fallacy) ලෙසයි. ඉන් අදහස් වන්නේ, යම් විශ්වාසයක් මිනිසා තුළ බිහිවූ ආකාරය ප්‍රශ්න කරමින් එම විශ්වාසයම වැරදියි යැයි පැවසීම නිවැරදි නොවන බවයි. අතීතයේ ඇතැම් මිනිසුන් අතර මෙවන් වැරදි දේව විශ්වාසයක්ද තිබුණු බව ඇත්තක්. සැබෑ දෙවියන්ව අවබෝධ කරගෙන ඔහුට වන්දනා කරනවා වෙනුවට මෙම පිරිස් දෙවියන්ගේ නිර්මාණ වලට දේවත්වය ආරූඪ කළා. එනිසා මොවුන් සූර්යයා, චන්ද්‍රයා වැනි වස්තූන් වලට වන්දනා කළා, ඇතැමෙක් විවිධ ප්‍රතිමා නිර්මාණය කර ඒවාට වන්දනා කරන්න පෙළඹුණා. කෙසේනමුත් දේව විශ්වාසය මිනිසා තුළ ඇති වූයේ මේ අකාරයෙන් නොවේ. නිවැරදි දේව විශ්වාසය තිබු බුද්ධිමතුන්ද ඒ දවස් වල සිටියා. මොවුන් මිනිසුන්ට ආරාධනා කළේ ව්‍යාජ විශ්වාස අතහැර දමා සත්‍ය විශ්වාසය පිළිගන්නා ලෙසයි. ආදම්, නූහ්, ඒබ්‍රහම්, ලූත්, මූසා, දාවුද්, ඊසා, මුහම්මද් (දෙවිගේ ශාන්තිය මොවුන්ට හිමි වේවා) යනු මිනිසාව නිවැරදි විශ්වාසය කරා අරාධනා කළ බුද්ධිමතුන්ය. අල් කුර්ආනයේ පහත වැකිය දෙස අවධානය යොමු කරමු.

“රාත්‍රිය ඔහු (ඉබ්‍රාහීම්) ව ආවරණය කළ විට ඔහු තරුවක් දැක ‘මෙයයි මාගේ පරමාධිපති’ යැයි පැවසුවේය. එය අස්ත ගත වී (නොපෙනී) ගිය විට ‘අස්ත ගත වන දෑ මම ප්‍රිය නොකරමි’ යි පැවසුවේය. පසු ව සඳු උදා වනු ඔහු දුටු විට ‘මෙයයි මාගේ පරමාධිපති’ යැයි ඔහු පැවසුවේය. එය අස්ත ගත වී ගිය විට ‘මාගේ පරමාධිපති මට නිවැරදි මඟ නොපෙන්වුයේ නම් සැබැවින්ම මම නොමග ගිය පිරිසෙන් කෙනෙකු වන්නෙමි’ යැයි ඔහු පැවසුවේය. ඉන් පසු හිරු උදා වනු ඔහු දුටු විට ‘මෙයයි මාගේ පරමාධිපති මෙය අති විශාලය’ යැයි ඔහු පැවසුවේය. එය අස්ත ගත වී ගිය විට ‘මාගේ ජනයිනි නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වූවෙකු වෙමි’ යැයි පැවසුවේය.” [අල් කුර්ආනය 6 : 76 – 78]

මෙම අල් කුර්ආන් වැකි අනුව තාරකා හිරු සඳු වැනි භෞතික නිර්මාණයන් වෙත දේවත්වය ආදේශ කිරීම ඉබ්‍රාහිම් ධර්ම දුතයාණන්ගේ යුගයේත් පැවති බව පැහැදිලි වෙනවා. මෙම ආදේශ කිරීම් අර්ථ ශූන්‍ය හා බුද්ධි ගෝචර ක්‍රියාවන් නොවන බව ඉතා සරල පිළිවෙතක් අනුගමනය කරමින් තම ජනයාට පැහැදිලි කර දීමට ගත් ප්‍රවේශය ඉතා අලංකාරය. ඉබ්‍රාහීම් ධර්ම දුතයාණන්ගේ යුගය ක්‍රි. පූ. 2000 පමණ වෙතැයි නිගමනය කිරීමට සාක්ෂි තිබෙනවා. එනම් දැනට වර්ෂ 4000 කට පෙර ඒක දේවත්වය පිළි ගත් සම්ප්‍රදායක් ප්‍රචලිත ව පැවත ඇති අතර එලෙසම ඒක දේවත්වයට ආදේශ තැබීම ද එකල පැවත ඇති බව පැහැදිලියි.

ඒ වගේම උතුරු ජෝර්දාන පෞරාණික දෙව් මැදුරේ සොයාගත් සාක්ෂි වලින්ද පෙනී යන්නේ අතීතයේ ඒක දේව විශ්වාසය මිනිසුන් අතර තිබුණු බවයි. මෙම දෙව් මැදුර පිළිබඳව සකස් කළ වාර්තාවේ පරිවර්තනය පහත සඳහන් අයුරින් සංක්ෂිප්ත ව ඉදිරිපත් කොට තිබෙනවා. (සම්පුර්ණ වාර්තාව කියවීමට http://cogweb.ucla.edu/Culture/Monotheism.html යන යොමුවට පිවිසෙන්න)

“ජෝර්දානයේ අප්‍රසිද්ධ තැනක පිහිටා ඇති දෙව් මැදුරක කුටියක් පුරා විද්‍යාඥයින් විසින් සොයා ගැනීමෙන් පසු ‘දෙවිඳුන්’ පිළිබඳ අපගේ ච්න්තනය සහමුලින්ම වෙනස් කිරීමට හේතු වනු නොඅනුමානය.

ජෝර්දානු නදී මිටියාවතේ තෙත් කඳු වලට ඇලී පිහිටා ඇති අති විශාල ගල්පර්වතයන් ‘මිග්ඩොල්’ දෙව් මැදුරේ පුරාතන ශක්තිමත් ලෙස සැකසුනු තාප්ප ජාලයක් ලෙස පෙනුන ද මෙහි පයේෂණ කටයුතු වල යෙදී සිටි ඕස්ට්‍රේලියානු හා ජෝර්දාන  පුරා විද්‍යාඥයින් හට ඉතා පැහැදිලි ව පෙනී ගියේ ශිලා ලේඛනයක් වශයෙන් සකස් කරන ලද අති පැරණි පුස්තකයක් පුනර්නිර්මාණය කරන බවය. මීටර 29ක් දිග හා මීටර 22ක් පළල මෙම ‘මිග්ඩොල්’ දෙව් මැදුරෙන් සොයා ගත් වර්ෂ 3600ක් පැරණි ශිලා ලේඛනය මගින් ඒකදේවත්වයෙන් බහුදේවත්වයට සංක්‍රාන්තිය සිදු වූ ආකාරය විස්තර කොට ඇත. මෙම දෙව් මදුර පිහිටි ප්‍රදේශය මිහිතලය මත පැරණිම ජනාවාස බිහි වූ එක් ප්‍රදේශයක් ලෙස කරුණු සොයා ගෙන ඇත. වර්ෂ 9000 ක පමණ පැරණි මිනිස් ජනාවාසයක ඉතිහාසයක් මෙහි පුරා වස්තු අතරේ සැඟ වී ඇති බව මෙහි කැණීම් කරන සිඩ්නි විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාඥ ස්ටීෆන් බර්ක් පවසයි”.

මේ අනුව මිනිසා විසින් දේවත්වය නිර්මාණය කර ගත්තා යැයි ඉදිරිපත් කොට ඇති පදනම් විරහිත මතවාදයන් බිඳ වැටෙන අතර මිනිසා ඔහුගේ මිහිතලය මත ආරම්භක කාලයේ සිට ඒක දේවත්වය මත තම ආගමික විශ්වාසයන් සකසා ගෙන කටයුතු කොට ඇති බව නිසැකවම ඔප්පු වන කරුණක්. බහු දේවත්වය පසුකාලීන විකෘතියකින් සිදු වූවක් බව ද මෙයින් පැහැදිලිවම වටහා ගන්න පුළුවන්. ඉස්ලාමීය මූලාශ්‍ර අපට පවසන්නේ පළමු මිනිසා වන ආදම් (දෙවිගේ ශාන්තිය ඔහුට හිමි වේවා) තුමාගේ කාළයේ පටන් මිනිසුන් තුළ නිවැරදි ඒක දේව විශ්වාසය තිබුණු අතර දෙවියන්ට ආදේශ තැබීම හා  බහු දේවත්වය බිහි වූයේ පසු කාලයකදී බවයි.

එනම් දැහැමි ජීවිතයක් ගත කළ මින්සුන් තිදෙනෙක් වන සුවාඋ, යඌස, නස්ර් නම් තිදෙනා මිය ගිය පසු ඔවුන් වෙනුවෙන් ප්‍රතිමා සාදන්න එකල මිනිසුන් යොමු වූ අතර පසු පරම්පරාව මෙම ප්‍රතිමා ඉදිරියට ගොස් ඔවුන්ගේ ගුණ ගයන්න පටන් ගත්තා. පසුව ක්‍රමක්‍රමයෙන් මෙම ගුණ ගැයීම වන්දනා කිරීම දක්වාම ගියා. එක් විශ්වාසයකින් සිටි ජන සමූහයා බෙදී ගියේ මේ අකාරයෙනුයි. මේ පිළිබඳව අල් කුර්ආනය මෙසේ පවසනවා:

(මුලදී) සියලූ මිනිස්සු (එකම ධර්මයක් පිළිගත්) සමූහයක් වශයෙන් සිටියහ. (පසුව ඔවුහු භේද වූහ.) එවිට අල්ලාහ් ශුභාංරචිය දෙන්නා වූද අවවාදානුශාසනා කරන්නා වූද නබිවරයන් එව්වේය. තවද ඔවුන් මතභේද වූ දැයෙහි මිනිසුන් අතර විනිශ්චය කිරීම පිණිස ඔවුන් (නබිවරුන්) සමග සත්‍යය ග්‍රන්ථද පහළ කළේය. පැහැදිලි සාධකයන් ඔවුනට පහළ වූවායින් පසු, එය ලැබූ අය එකිනෙකාට ඉහලින් සිටීමට මිස, ඒ ගැන භේදභින්න නොවූහ.230 ඔවුන් සත්‍යය පිළිබඳව මතභේද වූ දේ ගැන (නබිවරුන්) විශ්වාස කළ අයට අල්ලාහ් ඔහුගේ අනුග්‍රහයෙන් යහමඟ පෙන්වූයේය. අල්ලාහ් (තමාට) අභිමත වූ අය සෘජු මාර්ගය වෙත යොමු කරයි. [අල් කුර්ආනය 2:213]

මෙම වැරදි විශ්වාසයෙන් මිනිසා මුදවාගැනීම පිණිස දෙවි යවනු ලැබූ මුල්ම පණිවුඩකරුවා වනුයේ නූහ් (දෙවිගේ ශාන්තිය ඔහුට හිමි වේවා) තුමන්ය. නූහ් හා පළමු මිනිසා වන ආදම් තුමා (දෙවිගේ ශාන්තිය මොවුන්ට හිමි වේවා) අතර කාල පරාසය සියවස් දහයක් බව මුහම්මද් ﷺ තුමා පවසා තිබෙනවා. නූහ් තුමා තම ජනයාට සත්‍ය කරා අරාධනා කළ විට එම ජනයින්ගේ නායකයන් තම ජනතාවට පැවසුවේ නූහ් තුමාට සවන් නොදෙන ලෙසයි. “තවද (ඔවුන්ගෙන් වූ අය තමන්ගෙන් වූ අන් අයට) ‘ඔබ, ඔබගේ දෙවිවරුන්ව අත්හැර නොදමනු. ‘වද්’ (නමැති පිළිරුව)ද (අත්හැර නොදමනු). ‘සුවාඋ, යඌස, නස්ර්’ (ආදී පිළිරූ)ද අත්හැර නොදමනු” යයි ඔවුන් පැවසුවෝය.”[අල් කුර්ආනය 71:23]

වැරදි දේව විශ්වාසය මිනිස් සමාජයට ඇතුළු වුණේ මේ අකාරයෙනුයි. මෙම වැරදි විශ්වාසයෙන් මිනිසා මුදවා ගැනීම සඳහා විවිධ ප්‍රදේශයන් වලට විවිධ දේව පණිවුඩකරුවන් දෙවි යවා තිබෙනවා. මින් අවසාන පණිවුඩකරුවා වනුයේ මුහම්මද් ﷺ තුමානන්ය. ඉස්ලාමය මිනිසාට අරාධනා කරන්නේද මෙම නිවැරදි විශ්වාසයට පිවිසෙන ලෙසයි.බුද්ධිමත් අප කළ යුත්තේ වැරදි දේව විශ්වාස ඉවත් කර දමා නිවැරදි දේව විශ්වාසයට පිවිසීමයි. මෙලොව මෙන්ම පරලොව ජය ලබා ගත හැක්කේද මෙම නිවැරදි විශ්වාසය හා එය මත පදනම් වූ නිවැරදි ක්‍රියා හේතුකොටගෙනයි.

[1] Dr Olivera Petrovich, Childs Theory of World

[2] Justin L. Barrett, Jonathan A. Lanman, The Science of Religious Beliefs

[3] Justin L. Barrett, Why Would Anyone Believe in God?

[4] Sahih Muslim, Hadees No:2658

[5] W. S. F. Pickering, “Durkheim on Religion” Routledge and Kagan Paul, London 1975

[6] https://www.youtube.com/watch?v=zBRk2nfB9zo

[7] Antony Few, There Is A God, Harper One, 2007, p55.

Share Button