අල් කුර්ආනයේ කතෘ දෙවිඳුන්(අල්ලාහ්) බව පිළිගැනීමට හේතුව

මෙම ලෝකයේ අප ගත කරන මිනිස් දිවියට එක් අරමුණක් තිබෙනවා. මෙම අරමුණ කුමක්ද යන්න ගවේෂණය කිරීමේදී මෙම අරමුණ අපට කියා දෙන අපව නිර්මාණය කළ නිර්මාණකරුවෙකු නොඑසේනම් දෙවිකෙනෙකු සිටින බව අපට අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් දිවියේ අරමුණ ඇත්තෙන්ම නිසි ආකාරව කියා දිය හැක්කේ මෙම නිර්මාණකරුවාට පමණයි. මේ සඳහා මෙම නිර්මාණකරුවා පණිවුඩකරුවන් රාශියක් යොදාගෙන තිබෙනවා. මෙම පණිවුඩකරුවන්ගේ කාර්යභාරය වූයේ තම ජනසමූහයා වෙත ගොස් සැබෑ දෙවියන් එක් කෙනෙකු බවත්, නැමැදිය යුත්තේ ඔහුට පමණක් බවත් දේශනා කිරීමයි. මිනිස් දිවියේ අරමුණද මෙයයි. මීට අමතරව මෙලොව හොඳ ජීවිතයක් ගත කරන්නේ කෙසේද යන්නත් කියා දීම ඔවුන්ගේ වගකීමක්ව තිබුණා.

මෙම පණිවුඩකරුවන් සැබෑ දේව පණිවුඩකරුවන් ලෙස ජනයාට ඒත්තු ගැන්වීම සඳහා මෙම පණිවුඩකරුවන්ට විවිධ ප්‍රාතිහාරයන් කිරීමේ හැකියාව දෙවියන් ලබා දී තිබුණා. මෙම ප්‍රාතිහාරයන් මෙම පණිවුඩකරුවන්ගේ පණිවුඩය ස්ථීර කරනවා. මෙම ප්‍රාතිහාරයන් සාමාන්‍ය මිනිසුන්ට කරන්න පුළුවන්කමක් නැහැ. එය කළ හැක්කේ එසේ කිරීමට සර්වබලධාරී දෙවි හැකියාවක් ලබා දුන්නොත් පමණයි. අදේවවාදීන්, භෞතිකවාදීන් හා ඇතැම් චින්තකයන් ප්‍රාතිහාරයන් යැයි දෙයක් නැති බවත් ප්‍රාතිහාරයන් තිබෙන්න පුළුවන් යැයි පිළිගැනීම වැරදි අවබෝධයක් බවත් පවසනවා.

“ප්‍රාතිහාරය” ලෙස පරිවර්තනය කර ඇති “Miracle” යන වචනය බිහි වී තිබෙන්නේ Miraculum නමැති ලතින් වචනයෙනුයි. මෙම ලතින් වචනයේ තේරුම “ආශ්චර්යමත් යම්දෙයක්” යන්නයි. දාර්ශනිකව බැලීමේදී “ප්‍රාතිහාරයක්” යනු ස්වභාවයේ උත්පාදක හැකියාවෙන් පරිබාහිරව සිදුවෙන සිදුවීම්[1]. එනිසා මෙම සිදුවීම්වලට ස්වභාවාත්මක පැහැදිලිකිරීමක් ලබාදෙන්න පුළුවන් වන්නේ නැහැ. දේව පණිවුඩකරුවන්ට හිමි වූ ප්‍රාතිහාරයන් ඇත්තෙන්ම ස්වභාවයේ උත්පාදක හැකියාවෙන් පරිබාහිර දේවල් නිසා මෙයට කිසිඳු ස්වභාවාත්මක පැහැදිලිකිරීමක් නැහැ. නිදසුනක් ලෙස මෝසෙස් නමැති දේව පණිවුඩකරුවාගේ කාළයේ  විවිධ දස්කම්පාන ඉන්ද්‍රජාලිකයන් සිටියා. නමුත් මෝසෙස්ට ලැබුණු ප්‍රාතිහාරයන් තුලින් ඔහු කළ ක්‍රියාවන් එකල සිටි ඉන්ද්‍රජාලියන්ට කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඒ වගේම යෙහෙසුගේ කාළයේ සිටි වෛද්‍යවරුන්ට කළ නොහැකි අන්දමින් යෙහෙසුස් ක්‍රිස්තූන් මැරුණු මිනිසුන්ට නැවත පණ ලබා දී තිබෙනවා. උපතින්ම ඇස් අන්ද අයට පෙනුම ලබා දී තිබෙනවා. මෙම ක්‍රියාවන්වලට කිසිම ස්වභාවාත්මක පැහැදිලිකිරීමක් ලබාදෙන්න පුළුවන් කමක් නැහැ. එනිසාම මෙම ක්‍රියා “ප්‍රාතිහාරයන්” ලෙස අර්ථදක්වන්න පුළුවන්. කෙසේනමුත් මෙම පණිවුඩකරුවන් ඉදිරිපත් කළ ප්‍රාතිහාරයන් ඔවුන්ගේ කාළයේ මිනිසුන් ඉදිරියේ පෙන්වන්න පුළුවන් වුනද අද සිටින මිනිසුන් ඉදිරියේ ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නැහැ. මේවා ඉතිහාසගත වූ සිදුවීම් පමණයි. අවසාන වශයෙන් පැමිණි මුහම්මද් ﷺ තුමාටද දෙවි විවිධ ප්‍රාතිහාරයන් ලබා දී තිබුණා. මේ අතුරින් ප්‍රධානම හාස්කම වන්නේ අල් කුර්ආනයයි.

මුහම්මද් ﷺ තුමා මෙසේ ප්‍රකාශකර තිබෙනවා:

මිනිසුන් විශ්වාස කිරීම සඳහා සෑම දිවැසිවරයෙකුටම (අල්ලාහ් විසින්) ප්‍රාතිහාරයන් ලැබ තිබෙනවා. නමුත් මට ලැබී ඇත්තේ අල්ලාහ් විසින් අනාවරණය කළ දිව්‍යඥානයයි (අල් කුර් ආනයයි). එනිසා නැවත නැගිටවනු ලබන දිනයේදී මාගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනෙකුත් දිවැසිවරුන්ගේ අනුගාමිකයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩි වන බව මා විශ්වාස කරනවා [2].

අනෙකුත් දිවසිවරයන්ට ලැබුණු ප්‍රාතිහාරයන් මෙන් නොව අල් කුර්ආනය දැනටත් අප ළඟ තිබෙන නිසා මෙහි ආශ්චර්යය අද සිටින ජනයාටත් බලා ගන්න පුළුවන්.

අල් කුර්ආනයේ තිබෙන ප්‍රතිහාරය කුමක්ද?

අපි අල් කුර්ආනයේ භාෂා ශෛලිය අධ්‍යයනය කළේ නම් එය කෙනෙකුට අනුකරණය කළ නොහැකි අද්විතීය භාෂා ශෛලියකින් ලියවී තිබෙන බව වටහා ගන්න පුළුවන්. අල් කුර්ආනයේ මෙම ලක්ෂණයට ස්වභාවාත්මක පැහැදිලිකිරීමක් ලබාදෙන්න පුළුවන් වන්නේ නැහැ. එනිසා එය ඇත්තෙන්ම හාස්කමක්. කුර්ආනය අධ්‍යයනය කළ බෘස් ලෝරන්ස් නම් ප්‍රාචීන ශාස්ත්‍රඥයා මෙසේ පවසනවා:

ප්‍රත්‍යක්ෂ කළ හැකි සාක්ෂි ලෙස, කුර්ආණ වැකි විපුල සත්‍යයක් එළිදරව් කරන සුළුය, ඒවා විවිධ මට්ටමේ තේරුම් ලබා දෙනවා, ආලෝකය පිට ආලෝකයද, ප්‍රාතිහාරයන්ද පෙන්නුම් කරනවා  [3]

අරාබි භාෂාවට අනුව ඔනෑම ප‍්‍රකාශයක් ගද්‍ය හා කාව්‍යය (සාජ් හා මුර්සල්) යන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් අරාබි භාෂාවේ
ස්වභාවික උත්පාදක සීමාව මෙයයි. නමුත් අල් කුර්ආනයේ ප‍්‍රකාශ මේ අකාර දෙකටම අඩංගු කරන්න බැහැ. අල් කුර්ආනයේ භාෂා ශෛලීය අධ්‍යයනය කළ විද්වතුන් මේ බව තහවුරු කරනවා [4],[5]. එනම් අල් කුර්ආනය අනුකරණය කළ නොහැකියි. අල් කුර්ආනය මිනිසා විසින් අනුකරණය කළ නොහැකි වන්නේ එහි ඇති භාෂා ශෛලියෙන් අපට කිසිමවිට ප‍්‍රකාශයක් ඉදිරිපත් කළ නොහැකි වීමයි.

එසේ නම් අනුකරණය කළ නොහැකි අද්විතීය භාෂා ශෛලියකින් ලියා තිබෙන මෙම කුර්ආනයේ කතෘවරයා කවරෙක්ද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු හතරක් අපට යෝජනා කරන්න පුළුවන්.

  1. අරාබිවරයෙක්
  2. අරාබි නොවනන්නෙක්
  3. මුහම්මද්ﷺ තුමා
  4. සර්වබලධාරි දෙවි

මෙම පිළිතුරු හතරෙන් නිවැරදි පිළිතුර කුමක්දැයි අපි දැන් බලමු.

1. අරාබිවරයෙක්

මුහම්මද්ﷺ තුමාගේ කාළයේ සිටි අරාබිවරුන් යනු භාෂාමය හැකියාවෙන් කාව්‍යමය හැකියාවෙන් උසස් තත්වයක සිටිය පිරිසක්. එකල සිටි අරාබිවරුන් පිළිබඳව ඉබ්නු රාශික් නමැති ලේඛකයා මෙසේ පවසනවා:

“අරාබිවරුන් එකිනෙකාට සුබ පතන්නේ දරුවෙකුගේ උපතක් සිදු වූ විට හා ඔවුන් අතර කවියෙක් බිහි වූ විට පමණි. ” [6]

අල් කුර්ආනය යනු සාමාන්‍ය අරාබි කාව්‍ය හා ගද්‍ය වලින් වෙනස් බව එකල සිටි අරාබිවරුන් පවා පිළිගත්තා.

එක් සුවිශේෂී උදාහරණයක් අපිට සලකන්න පුලුවන්. මුහම්මද්ﷺ තුමාගේ මිතුරෙකු වන කාලිද් බින් වලීද් ගේ පියා වන්නේ අල් වලීද් ඉබ්නු අල් මුගීරාහ් ය. මොහු ප්‍රවීන කවියෙක් වන අතර අනෙකුත් කවියන් අතරින් මෙන්ම සමාජයේ ඉහළ ස්ථානයක් මොහු හිමිකරගෙන සිටියා. දිනක් මොහුට මුහම්මද්ﷺ තුමා කුර්ආනය පරායනය කරනවා අසන්නට ලැබුණා. මෙය ඔහුට පැහැදිලි බලපෑමක් ඇති කළ අතර මේ බව අබූ ජහල් ඇතුළු අනෙකුත් මිනිසුන්ට දැකගන්න පුළුවන් වුණා. අබූ ජහල්ටද මෙම බලපෑම ඇති වූ අතර එය පාලනය කිරීමට ඔහු උත්සහ දැරුවා. අබූ ජහල්ගේ මෙම උත්සාහය දුටු අල් වලීද් අබූ ජහල්ට මෙසේ පිළිතුරු දුන්නා: “මම මොනවා පවසන්නද?, අල්ලාහ්(a)  මත  දිවුරා පවසමි, ඔබ අතරින් කිසිවෙකුට මා තරම් කාව්‍යය හැකියාවක් නොමැත. ඒ වගේම ඔබ කිසිවෙකුට වාක්‍ය රචනයෙන් හා වාගලංකාරය අතින් මා සමග තරඟ කිරීමටද නුපුළුවන, ජින්වරුන්ගේ කාව්‍යමය නිර්මාණවලටද මා සමඟ තරඟ කළ නොහැක. නමුත් මම අල්ලාහ් මත දිවුරා පවසමි, මුහම්මද්ගේﷺ මෙම වැකි මා දන්නා කිසිම දෙයකට සමාන වන්නේ නැහැ. ඒවගේම මම අල්ලාහ් මත දිවුරා පවසමි, ඔහු පවසන දේවල් ඉතා මිහිරිය, අලංකාරබවින් හා ආකර්ශනීයබවින් යුක්තය. එහි මුල් කොටස ඵලදායීය, අවසාන කොටස විපුල බවින් යුක්තය. මෙය මීට පෙර ආ සියල්ල පොඩිකර විනාශ කර දමන්නේය [7].

එනම් අල් කුර්ආනය අරාබිවරයෙකුගේ නිර්මාණයක් යැයි පවසන්න පුළුවන්කමක් නැහැ.

2. අරාබි නොවන්නෙක්

අල් කුර්ආනයේ කතෘ අරාබි නොදන්න පුද්ගලයෙක් හෝ අරාබි නොවන කෙනෙක් යැයි පැවසීම කිසිසේත්ම නිවැරදි නැහැ. ඇතැම් අය අල් කුර්ආනය අරාබි නොවන කෙනෙක්ගේ නිර්මාණයක් බව පවසනවා. මුහම්මද්ﷺ තුමාගේ කාලයේද ඇතැම් අය මෙසේ පැවසුවා. මොවුන්ගේ ප්‍රකාශ පැහැදිලිවම අසත්‍ය ප්‍රකාශ බව ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. මෙයට ප්‍රධාන හේතුව අල් කුර්ආනය අරාබි භාෂාවෙන්ම ලියවී තිබීමයි. මෙම වැරදි චෝදනාව පිළිබඳව කුර්ආනයේම මෙසේ සඳහන් වෙනවා:

ඔහුට එය(අල් කුර්ආනය) එක් මිනිසෙකු උගන්වන්නේය යැයි ඔවුන් කියන බව අපි නියත වශයෙන්ම දනිමු. මොවුන් ද්වේශ සහගතව ඉඟි කර පෙන්වන (එම) තැනැත්තාගේ භාෂාව විශේෂ වූවකි. මෙය (අල් කුර්ආනය) නම් පැහැදිලි අරාබි භාෂාවෙන්ය. [අල් කුර්ආනය 16:103]

3. මුහම්මද් ﷺ

මුහම්මද්ﷺ කියන්නේ අරාබි ජාතිකයෙක්. අරාබිවරුන් අල් කුර්ආනයේ කතෘවරුන් විය නොහැකි බව අපි ඉහත සාකච්චා කර තිබෙනවා. ඒ වගේම එකළ සිටි අරාබි භාෂාවේ ප්‍රවීනයන් අල් කුර්ආනයේ කතෘ මුහම්මද්ﷺ තුමා යැයි චෝදනා කළේ නැහැ. එයට හේතුව මුහම්මද්ﷺ තුමා ලියන්නවත් කියවන්නවත් දන්න පුද්ගලයෙක් නොවන බව ඔවුන් දැන සිටීම හා අල් කුර්ආනය මුහම්මද්ﷺ තුමාගේ නිර්මාණයක් විය නොහැකි බව ඔවුන් දැන සිටීමයි.

අල් කුර්ආනයේ කතෘ මුහම්මද්ﷺ තුමා නොවන බව තවත් අකාරයකින් පැහැදිලි වෙනවා. මුහම්මද්ﷺ තුමාගේ ජීවිත කාලයේදී බොහෝ දුක් කම්කොටලු වලට මුහුණ දුන්නා. ඔහුගේ දරුවන් මිය ගියා, ඔහුගේ ආදරණීය බිරිඳ කදීජා තුමිය මිය ගියා, ඔහුගේ ඥාතීන් ඔහුව ප්‍රතික්ෂේප කළා. ඔහුව තම උපන් ස්ථානයෙන් පිටමං කළා, ඔහු ලඟින් සිටි මිතුරන් මුහම්මද්ﷺ තුමාට සතුරුකම් කළ අය විසින් ඝාතනය කරනු ලැබුවා. අල් කුර්ආනයේ කතෘ මුහම්මද්ﷺ තුමා නම් මෙවන් අවස්ථාවකදී මෙම තොරතුරු අල් කුර්ආනයේ සඳහන් කර තිබිය යුතුයි. මෙය සාමාන්‍යයි. මුහම්මද්ﷺ තුමා අත්දැද්ද හැඟීම්බර සිදුවීම් කිසිවක් අල් කුර්ආනයේ සඳහන් වන්නේ නැහැ. ඔහුගේ ජීවිතයට අදාළ කිසිඳු හැඟීම්බර ප්‍රකාශයක් අල් කුර්ආනයේ සඳහන් වන්නේ නැහැ. ඒ වෙනුවට තිබෙන්නේ මුහම්මද්ﷺ තුමාට අල් කුර්ආනයේ කතෘ නියෝග කරන හා අවවාද කරන ප්‍රකාශ. නිදසුනක් ලෙස පහත කුර්ආන් වැකිය සලකන්න පුළුවන්.

ඔහු(මුහම්මද්) බොරු ගොතා යම්කිසි දෙයක් අපට ආරෝපණය කළා නම්, අපි ඔහුගේ දකුණතින් හසුකර ගන්නෙමු. පසුව අපි ප්‍රාණ නැහැ ඔහුගෙන් කපා හරින්නෙමු. එවිට (එසේ කිරීම) ඔහුගෙන් වලක්වා ගන්න නුඹලාගෙන් කිසිවෙකුත් නැත [අල් කුර්ආනය 69:44-47]

කතෘවරයෙක් තමා මුහුණ දුන් දුක්බර සිදු වීම් තම ලියකියවිලි වල සඳහන් කිරීම මනෝවිද්‍යාත්මක සත්‍යයක්. නමුත් මුහම්මද් ﷺතුමාගේ මෙම දුක්බර සිදුවීම් අල් කුර්ආනයෙන් පිළිබිඹු නොවීමෙන් තහවුරු වන්නේ අල් කුර්ආනයේ කතෘ මුහම්මද්ﷺ තුමා නොවන බවයි.

එපමනක් නොවේ. මුහම්මද්ﷺ තුමාගේ ප්‍රකාශ හදීස් යැයි හැඳින්වෙන වෙනම ග්‍රන්ථවල ලියවිලා තිබෙනවා. අල් කුර්ආනයේ ඇති භාෂා ශෛලිය හා හදීස් ග්‍රන්ථ වල ඇති මුහම්මද්ﷺ තුමාගේ ප්‍රකාශ වල භාෂා ශෛලීය සංසන්දනය කිරීමේදී පැහැදිලි වෙනෙසක් අපට බලාගන්න පුළුවන්. හදීස් ග්‍රන්ථ වල තිබෙන්නේ සාමානය අරාබි භාෂා ශෛලියට අනුව ලියවුනු ප්‍රකාශ. මේ පිළිබඳව හලීම් සයෞද් නමැති විද්වතා මෙසේ පවසනවා:

පර්යේෂණ සියල්ලේම ප්‍රතිපලවලට අනුව ප්‍රධාන නිගමන දෙකකට එළඹෙන්න පුළුවන්. (1) පළමුවැන්න, විමර්ශනය කළ පොත් දෙකට වෙනස් කතෘ වරුන් සිටිය යුතුයි. (2) දෙවැන්න, අද්විතීය පොතකින් උපුටා ගත් ඛණ්ඩ සියල්ල ශෛලීගත සමානතාවයක් තිබෙන බව දක්නට ලැබීම. මෙනිසා, මෙම පර්යේෂණයට අනුව අල් කුර්ආනය මුහම්මද්ﷺ තුමා විසින් ලියවුනු නොලද්දක් බවත් එය අද්විතීය කතෘවරකුට අයිති බවත් අපට තීරණය කරන්න පුළුවන් [8].

ඒ වගේම හදීස් ග්‍රන්ථ වල ඇති වචන 62% අල් කුර්ආනයේ භාවිතා වී නොමැති අතර අල් කුර්ආනයේ ඇති වචන 83% හදීස් ග්‍රන්ථ වල භාවිතා වී නැහැ. මෙම පොත් වර්ග දෙකේ තිබෙන වචන මාලාවේ වෙනස එම ග්‍රන්ථ දෙක කතෘවරුන් දෙදෙනෙකුගේ බවට ඇති ඉහත නිගමනය තවදුරටත් තහවුරු කරනවා.

මේ කරුණු වලින් පැහැදිලිවන්නේ අල් කුර්ආනයේ කතෘ මුහම්මද්ﷺ තුමා නොවන බවයි.

4. අල්ලාහ් (දෙවියන්)

අනුකරණය කළ නොහැකි අද්විතීය භාෂා ශෛලියකින් ලියවුනු අල් කුර්ආනයේ කතෘ කවුරුන්ද යන ප්‍රශ්නනයට ඉදිරිපත් වූ අනෙකුත් සියලු පිළිතුරු විස්තීර්ණ නොවන නිසා හා නොගැලපෙන නිසා අල් කුර්ආනයේ කතෘ අල්ලාහ් බව තහවුරු වෙනවා.

අල්ලාහ් ඉදිරිපත් කරන අභියෝගය

අල් කුර්ආනය මිනිසෙකුගේ නිර්මාණයක් නම් එය මිනිසෙකු විසින් අනුකරණය කළ හැකිවිය යුතුයි. නමුත් කුර්ආනයට පෙර හා පසු බිහිවූ නිර්මාණ සාමාන්‍ය අරාබි භාෂා නීතිරීති වලට අනුකූල වුවද කුර්ආනයේ භාෂා ශෛලීය සුවිශේෂ මෙන්ම අද්විතීයයි. එනම් එය මිනිසාට අනුකරණය කරන්න බැහැ. එනිසා මෙම අල් කුර්ආනය මිනිස් නිර්මාණයක් යැයි පවසන්නන්ට විශ්වයේ නිර්මාණකරු මෙන්ම අල් කුර්ආනයේ ලේඛකයා වන අල්ලාහ් මෙසේ පුංචි අභියෝගයක් ඉදිරිපත් කරනවා.

”….තම ගැත්තා (මුහම්මද්) වෙත අප අනාවරණය කර ඇති දෙය ගැන නුඹලා සැක කර එහි සත්‍යවන්තයන් ලෙසද සිටින්නෙහු නම් මෙවන් පරිච්ඡේදයක් ගෙන එනු! අල්ලාහ් හැරෙන්න නුඹලාගේ අනෙකුත් සෑම උදව්කරුවෙකුම එක්රැස් කර ගන්න. නුඹලාට මෙය කිසිසේත් කළ නොහැක….” [අල් කුර්ආනය 2:23,24]

අල් කුර්ආනයේ කුඩාම පරිච්ඡේදයේ ඇත්තේ වාක්‍ය තුනක් පමණයි. එනිසා කෙනෙකු ඉහත අභියෝගය භාර ගන්නවා නම්
ඔහු කළ යුත්තේ අල් කුර්ආනයේ භාෂා ශෛලියෙන් වාක්‍ය තුනකින් සමන්විත පරිච්ඡේදයක් නිර්මණය කර ඉදිරිපත් කිරීම පමණයි. අල් කුර්ආනය අනුකරණය කිරීමට අරාබි භාෂාවේ ප‍්‍රවීණයන් උත්සහ දරා තිබෙනවා. නමුත් මේ සියලූ උත්සහයන් අසාර්ථකයි.  බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන F.F. අර්බත්නට් නම් ප්‍රවීන ප්‍රාචීන ශාස්ත්‍රඥයා කුර්ආනය ගැන මෙසේ පවසනවා:

අල් කුර්ආනය මෙන් නිර්මාණයක් බිහි කිරීමට නොයෙකුත් උත්සාහයන් ගනු ලැබුවද ලෙවීමේ දර්ශනීයභාවය සැලකීමේදී කිසිම උත්සහයක් සාර්ථක වී නොමැත. [9]

කුර්ආනයේ අභියෝගයට පිළිතුරු දීමේදී භාෂාමය ප‍්‍රවීනයන්ගේ උත්සහයන් සියල්ල අසාර්ථක නම් අභියෝගයට මුහුණ දීමට වෙනත් අයට පුළුවන් වේවිද?

මේ අනුව බැලීමේදී අල් කුර්ආනය මිනිස් නිර්මාණයක් විය නොහැකි වන අතර එය විශ්වයේ නිර්මාණකරුවා වන අල්ලහ්ගෙන්ම  මුහම්මද්ﷺ තුමාට අණාවරණය වූ බව වැඩි වැඩියෙන් තහවුරු වෙනවා.

මූලාශ්‍රයන්

[1] Dr. William Lane Craig, The Problem of Miracles: A Histor-ical and Philosophical Perspective. Available online.

[2] Sahih al-Bukhari 4981 (http://sunnah.com/bukhari/66/3)

[3] Bruce Lawrence, The Qur‟an: A Biography. Atlantic Books, p 8

[4] Bruce Lawrence. Journal of Qur’anic Studies. Vol VII, Issue I 2005. Approximating Saj’ in English Renditions of the Qur’an: A Close Reading of Suran 93 (al-Duha) and the basmala p. 64

[5] Lecture entitled “Prose in the second and third centuries after the Hijra” delivered at the Geographical Society in Cairo 1930. Dar al Ma-arif.

[6] Ibn Rashiq, Umda, vol. 1, p. 65.

[7] Ibn Katheer, The Valley Came Alive: Life of The Last Messenger (PBUH)

[8] Halim Sayoud, Author discrimination between the Holy Quran and Prophet‟s statements by  Literary and Linguistic Computing, Vol. 27, No. 4, 2012

[9] F. Arbuthnot, The Construction of the Bible and the Koran, London, 1885, p 5.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *