විශ්වයට නිර්මාණකරුවෙකු සිටිනවා යැයි සනාථ කරන විශ්වයේ සියුම් සැකැස්ම

මෙම විශ්වය දිහා සුපරික්ෂාකාරීව බැලීමේදී ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් තිබෙන බව අවබෝධකර ගන්න පුළුවන්. මෙය හඳුන්වන්නේ විශ්වයේ සියුම් සැකැස්ම (Fine Tuning) ලෙසයි. මෙම සියුම් සැකැස්ම හොඳින් තේරුම් ගැනීමට උදාහරණ කිහිපයක් අපට සලකන්න පුළුවන්.

  • ගුරුත්වාකර්ෂණයේ ප්‍රබලතාවය හා පරමාණුක දුර්වල බලය: භෞතික විද්‍යාඥ P. C. W. ඩේවිස් පවසන්නේ ගුරුත්වාකර්ෂණ බලයේ හෝ පරමාණුක දුර්වල ශක්තියේ හෝ කුඩා වෙනසක් පවතිනවා නම් අපගේ බිහිවීමට පරිසරයක් ලබා දෙන විශ්වයක් බිහි වීමට ඉඩ නොතිබෙන බවයි. එනම් අපට සිතන්නටවත් නොහැකි කුඩා වෙනසක් තිබුනේ නම් විශ්වයට මිනිසාගේ බිහිවීමට නිසි පරිසරයක් ලබා නොදෙන බව මෙතුළින් අපට තේරුම් ගන්න පුළුවන් [1].
  • වියහැකි විශ්වයන්ගේ අවධි අවකාශයේ (phase space of possible universes) පරිමාව: ඔක්ස්ෆෝඩ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥය රොජර් පෙන්රෝස් පැහැදිලි කරන්නේ: අපගේ පැවැත්මට පරිසරයක් ලබා දෙන විශ්වයක් නිර්මාණය කිරීමට නිර්මාණකරු අපේක්ෂාවෙන්ම වියහැකි විශ්වයන්ගේ අවධි අවකාශයේ (phase space of possible universes) පරිමාව ලෙස ඉතා කුඩා පරිමාවක් යොදා ගෙන තිබිය යුතු බවයි. මෙය තරමක් තාක්ෂණික විද්‍යාවක්, නමුත් අප මෙම ප්‍රශ්නය ඇසිය යුතුයි: එනම් මෙම පරිමාව කෙතරම් නම් පෙන්රෝස්ට අනුව මෙය 1/10 හි X නම් බලයක එනම් 10123 ක පරිමාවක්.  මෙම විශ්වය ඩාර්ට් ක්‍රීඩාවේ රවුම් ඉලක්ක පෙතක් නම් එහි එක් ප්‍රෝටෝනයක් ඝට්ටනය කිරීමට අවශ්‍ය සුනම්‍යතාවයට වඩා ඉතා ඉහල සුනම්‍යතාවයක් අපගේ බිහිවීමට, පැවැත්මට ඉඩ ලබා දෙන විශ්වයක් බිහි වීමට අවශ්‍යයි [2].

විශ්වයේ සියුම් සැකසුම පිලිබඳ තවත් බොහෝ වැදගත් කරුණු අනුක ජීවවිද්‍යාඥයෙකු වන මයිකල් ඩෙන්ටන් තමාගේ ස්වභාවයේ ඉරණම නමැති පොතේ සඳහන් කර තිබෙනවා:

ගුරුත්වාකර්ෂණ බලය ට්‍රිලියන් වාරගණනක් බලවත් නම් මෙම විශ්වය ඉතාමත් කුඩා වන අතර ජීව ඉතිහාසයද ඉතා කෙටි වෙනවා. සාමාන්‍ය තරුවකට සූර්යයා මෙන් ට්‍රිලියන් වාරගණනක් අඩු ස්කන්ධයක් හා වසරක් අඩු ආයු කාලයක් වෙනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් බැලූ විට, ගුරුත්වාකර්ෂණ බලය අඩු නම් කිසිම තරුවක් හෝ මන්දාකිණියක් බිහි වන්නේත් නැහැ. අනෙකුත් සබැඳියාවන් හා අගයන් වැදගත් නොවෙනවා නොවේ. පරමාණුක ප්‍රබල ශක්තිය තරමක් දුර්වල වී තිබුනේ නම් ස්ථාවර මූලද්‍රව්‍යය වන්නේ හයිඩ‍්‍රජන් පමණයි. අනෙකුත් කිසිම පරමාණුවක් පවතින්න බැහැ. විද්‍යුත් චුම්බකත්වය ගැන සැලකීමේදී මෙම ශක්තිය තරමක් ප්‍රබල නම් න්‍යෂ්ටියේ ප්‍රෝටෝන දෙකක් පමණක් තිබෙන මූලද්‍රව්‍ය විශ්වයේ ස්ථාවර අංගයක් වෙනවා. එනම් හයිඩ‍්‍රජන් තියෙන්න පුළුවන්කමක් නැහැ. එනිසා යම් තරුවක් හෝ මන්දාකිණියක් ගොඩ නැගෙනවා නම් ඒවා දැන් පවතින ඒවා වලට වඩා දැඩි ලෙස වෙනස් විය යුතුයි. පැහැදිලිවම මෙම බලයන් හා නියතයන් දැන් තිබෙන අගයන් වලට නිසිලෙස සමාන නොවී වෙනස් වෙනවා නම් කිසිම තරුවක් බිහි වන්නේ නැහැ, supernovae (අද්භූත තාරකාව) බිහි වන්නේත් නැහැ, කිසිම ග්‍රහලෝකයක් බිහි වන්නේත් නැහැ. කිසිම පරමාණුවක් බිහි වන්නේත් නැහැ, කිසිම ජීවයක් හට ගන්නේද නැහැ [3].

මෙම උදාහරණ ලෙස බැලීමේදී අපට පෙනී යන්නේ අදහාගත නොහැකි අයුරින් අපගේ පැවැත්මට පරිසරයක් ලබා දීම සඳහා මෙම විශ්වය සියුම් ලෙස සැකසී තිබෙන බවයි.

මෙවන් සියුම් ලෙස සැකසුනු විශ්වයක් බිහි වූයේ කෙසේද? මේ සඳහා ලබා දිය හැකි පැහැදිලි කිරීම් තුනක් තිබෙනවා. එනම් විශ්වය මේ අයුරින් සියුම් ලෙස සැකසී තිබෙන්නේ

  1. භෞතික අවශ්‍යතාවයක් නිසා
  2. අහඹු සිදුවීමක් නිසා
  3. මේ අයුරින් නිර්මාණය කර තිබෙන නිසා

නමුත් මින් නිවැරදි පිළිතුර වන්නේ කුමක්ද?

භෞතික අවශ්‍යතාවයක් නිසා විශ්වය සියුම් ලෙස සැකසී තිබෙන්න හැකියාවක් නැහැ.

භෞතික අවශ්‍යතාවයක් නිසා විශ්වය සියුම් ලෙස සැකසී තිබෙන්නවා යයි පැවසීම තර්කානුකූල නැහැ. ඉහත සාකච්චා කල නියතය්න් හා ප්‍රමාණයන් වලට දැන් තිබෙන අගයන් ලබාගෙන තිබීම සඳහා කිසිම භෞතික හේතුවක් නැහැ. භෞතික විද්‍යාඥ P. C. W. ඩේවිස් මේ බව මෙසේ පැහැදිලි කරනවා:

භෞතික නියමයන් අද්විතීය වුවද මේ නිසා විශ්වය අද්විතීය වන්නේ නැහැ. විශ්වීය මුල් තත්වයන් විසින් භෞතික නියමයන් වර්ධනය වී තිබිය යුතුයි. “මුල් තත්වයන්ගේ නියමයන්” හා භෞතික නියමයන් සමඟ එකඟ වීම (විශ්වයේ) අද්විතීයභාවය පිළිබිඹු කරන බව පැවසීමට “මුල් තත්වයන්ගේ නියමයන්” පිලිබඳ අද පිළිගන්නා මතයන් කිසිවක් නැහැ. මින් පෙනී යන්නේ මෙම භෞතික විශ්වය දැන් තිබෙන අන්දමින් තිබිය යුතු වන්නේ නැති බවයි. මෙය වෙනත් අකාරයකින් පවතින්න ඉඩ තිබුණා [4].

අද සුප්‍රසිද්ධ නාස්තිකවාදියෙකු වන රිචර්ඩ් ඩෝකින්ස් පවසන්නේ ශ්‍රීමත් මාර්ටින් රීස් මෙම පිළිතුර ප්‍රතික්ෂේප කරන අතර ඔහුද මාර්ටින් රීස්ගේ ස්ථාවරයට එකඟ වන බවයි [5].

“ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම විශ්වයක් හට ගෙන තිබෙන්නේ භෞතික අවශ්‍යතාවයක් නිසා” යන ස්ථාවරය කෙනෙක් දරනවා නම් ඉන් අදහස් වන්නේ ජීවයට ඉඩ ලබා නොදෙන විශ්වයක් හට ගැනීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේනමුත් භෞතික විද්‍යාඥයන් පවසන්නේ අප ජීවත් වන මෙම විශ්වය මේ අන්දමින්ම තිබිය යුතු වන්නේ නැති බවයි. මෙය වෙනත් අකාරයකින් පවතින්න ඉඩ තිබුණ බවත් ඔවුන් පවසනවා. එනම් විශ්වයේ සියුම් සැකසුමට හේතුව භෞතික අවශ්‍යතාවයක් (physical necessity) බව පැවසීම නිවැරදි නැහැ.

අහඹු සිදුවීමක් නිසා විශ්වය සියුම් ලෙස සැකසී තිබෙන්න හැකියාවක් නැහැ.

කිසිසේත්ම විශ්වය අහම්බෙන් ඇති විය නොහැකි බව තේරුම් නොගන්නා ඇතැම් පුද්ගලයින් පවසන්නේ මෙම විශ්වය අහම්බෙන් බිහි වූ බවයි. නමුත් අහම්බෙන් විශාල අලියෙක් තම නිවස තුළ සිටින්න පුලුවන්ද? නොඑසේනම් අහම්බෙන් විශාල හෙලිකොප්ටරයක් තම මිදුලේ නවතා තිබෙන්න පුලුවන්ද? මෙසේ පිළිගැනීම අතාර්කික යයි දැනදැනත් ඔවුන් විශ්වය අහම්බෙන් බිහි වූ බව විශ්වාස කරනවා. මෙහිදී ඇත්තෙන්ම අප සාකච්චා කළ යුත්තේ හුදෙක් අහඹු සිදුවීමක් ගැන නොවේ, අප සාකච්චා කළ යුත්තේ විලියම් ඩෙම්ස්කි වැනි න්‍යායවාදීන් පවසන නිරූපිත සම්භාවිතාවය (specified probability) පිළිබඳවයි. 

නිරූපිත සම්භාවිතාවය යනු ස්වායත්ත රටාවකට අනුකූල වන සම්භාවිතාවයකි. මෙය තේරුම් ගැනීමට පහත උදාහරණය සැලකිල්ලට ගමු. පැය 24ක් පුරාවටම එක් වඳුරෙක් එක්තරා කාමරයක සිටිනවා යැයි සිතමු. මෙම වඳුරා ඔබගේ ලැප්ටොප් පරිගණකයේ යතුරු ඔබමින් සිටිනවා යැයිද සිතන්න. පසුවදා උදෙන්ම ඔබ ඔබගේ පරිගණකයේ “To be or not to be!” යැයි සඳහන් වී තිබෙනවා දකිනවා. මෙය ෂේක්ස්පියර්ගේ නාටකයේ එන එක් වැකියක්. “house,” “car,” හා  “apple” යන වචන ඔබගේ පරිගණකයේ අහඹු ලෙස සඳහන් වී තිබේවි යයි ඔබ බලාපොරොත්තු වෙන්න ඇති. නමුත් සිදු වී තිබෙන්නේ අසම්භාවී ලෙස ඉංග්‍රීසි වචන බිහිවී තිබෙනවා පමණක් නොව ඉංග්‍රීසි භාෂාවේ ව්‍යාකරණ වල තිබෙන එක්තරා විශේෂ ස්වායක්ත රටාවකට අනුව වැකියක් බිහි වී තිබීමයි. මෙය හුදෙක් අහඹු සිදුවීමක් ලෙස පිළිගැනීම අතාර්කික බව පැහැදිලියි. මේ පිළිබඳව එක් බ්‍රිතාන්‍ය ගණිතඥයෙක් සිදු කළ ගණනය කිරීමට අනුව මෙම වඳුරා තමාට ලැබෙන සෑම මොහොතකම පරිගණකයේ යතුරු පුවරුවේ යතුරු එබුවා නම් “To be or not to be” නම් වැකිය ලබා ගැනීමට වසර බිලියන 28ක් ගත වෙනවා. එනම් මෙම විශ්වය අහඹු ලෙස ඉබේම බිහි වුණා යැයි පිළිගැනීම අපගේ බිහිවීම හා පැවැත්ම අසත්‍ය බව පිළිගැනීම හා සමාන වෙනවා.

එනම් විශ්වයේ සියුම් සැකසුමට හේතුව හුදෙක් අහඹු සිදුවීමක් බව පැවසීම නිවැරදි නැහැ.

විශ්වය සියුම් ලෙස සැකසී තිබෙන්නේ මේ අයුරින් නිර්මාණය වී තිබෙන නිසා

පළමු හා දෙවන පැහැදිලි කිරීම් නිවැරදි නොවන නිසා, ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් සහිත විශ්වයක් බිහි වී තිබෙන්නේ එලෙස මෙම විශ්වය නිර්මාණය කරනු ලැබූ නිසයි. එනම් මෙම විශ්වය අධිස්වාභාවික නිර්මාණයක් ලෙස අපට තීරණය කරන්න සිදු වෙනවා. වෙනත් අකාරයකින් පවසනවා නම් මෙම විශ්වය ඉහළ බුද්ධියක නිර්මාණයක් විය යුතු බව අපට පහසුවෙන් තීරණය කරන්න පුළුවන්.

මේ අනුව බැලීමේදී විශ්වය සියුම් සැකසුම ඉහළ බුද්ධියක්, නොඑසේනම් සර්වබලධාරී දෙවි කෙනෙක් සිටින බව තහවුරු කරනවා.

ඉහත අප සාකච්චා කළ “විශ්වයේ සියුම් සැකසුම” දෙවි කෙනෙක් සිටින බව තහවුරු කරන නිසා ඇතැම් පුද්ගලයින් මෙම විශ්වයේ සියුම් සැකසුම ඇති වී තිබීමට හේතුව වශයෙන් තවත් විකල්ප පැහැදිලි කිරීමක් ලබා දෙනවා. ඒ තමයි බහුවිශ්ව වාදය (Multiverse)

බහුවිශ්ව (Multiverse) වාදයෙන් පැවසෙන්නේ: විවිධ භෞතික නියමයන්ගෙන් හා නියතයන්ගෙන් යුත් විවිධ විශ්ව අනන්තයක් බිහි වී තිබෙන අතර අපගේ විශ්වය ඉන් එකක් බවයි. එනම් එක් විශ්වයක තිබෙන භෞතික නියමයන් අනෙක් විශ්වයේ භෞතික නියමයන් වලට වඩා වෙනස්. එනිසා විශ්වයේ සියුම් සැකසුමෙහි කිසිම ආශ්චර්යයක් නොමැති බව මොවුන් පවසනවා.

බැලූ බැල්මට මෙම පිළිතුර ප්‍රබල පිළිතුරක් ලෙස පෙනුනද මෙහි සත්‍යතාවය පිළිබඳව අවධානයෙන් බලනවා නම් නමැති සංකල්පය පිළිගත නොහැකි බව අපට අවබෝධ කර ගන්න පුළුවන්.

පළමුව බහුවිශ්ව වාදය (Multiverse) නම් සංකල්පය විද්‍යාත්මක නොවන බව අප වටහා ගත යුතුයි, මේ සඳහා කිසිම නිරීක්ෂණයක් අද වෙනතුරු ලැබිලා නැහැ. භෞතික විද්‍යාඥය ජෝන් පොල්කින්හොර්නි පවසන්නේ බහුවිශ්ව වාදය (Multiverse) යනු භෞතික විද්‍යාවට අදාළ නොවන දෙයක් වන අතර එය පාරභෞතිකවාදයක් බවයි. බහුවිශ්ව වාදය (Multiverse) පිළිගැනීමට කිසිම පැහැදිලි විද්‍යාත්මක හේතුවක් නොමැති බවද ඔහු පවසනවා. [6]

මෝහතකට බහුවිශ්ව වාදය (Multiverse) සත්‍ය ලෙස පිළිගත්තද විවිධ භෞතික නියමයන්ගෙන් විවධ විශ්ව බිහි වීම සඳහා හේතු වන ඇති සූක්ෂම මුල් භෞතික නියමයක් තිබිය යුතුයි. එනිසා නම් සංකල්පය විශ්වයේ සියුම් සැකසුම ඉහළ බුද්ධියක් නිර්මාණයක් යන පිළිතුර තවදුරටත් තහවුරු කරනවා මිස ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. භෞතික විද්‍යාඥ ඩේවිස් මේ පිළිබඳව මෙසේ පවසනවා:

බහුවිශ්ව වාදය යෝජනා කරන්නන් මෙම විශ්ව අතර විවිධ නියමයන් සඳහා වූ අගයන් තෝරා ගනු ලැබූ අකාරය පිළිබඳව නොපැහැදිලි ස්ථාවරයක් දරනවා. එක් විශ්වයක තිබෙන භෞතික නියමය අනෙක් විශ්වයේ භෞතික නියමයෙන් වෙනස් වන අන්දම පැහැදිලි කරන භෞතික නියමන් සඳහා වූ භෞතික නියමයක් තිබෙනවා නම් අප කර ඇත්තේ ප්‍රශ්නය තව මට්ටමකින් ඉහළ නැංවීම පමණයි. හේතුව? දැන්, පළමුව, භෞතික නියමන් සඳහා වූ භෞතික නියමය පැමිණියේ කොහේ සිටද යන්න පැහැදිලි කළ යුතුයි. [7]

භෞතික විද්‍යාඥ ස්වින්බර්න් පවසන්නේ:

එක් විශ්වයක තිබෙන ගුණාංගයක් පැහැදිලි කිරීම සඳහා ට්‍රිලියන ගණනක (එකිනෙකට සම්බන්ධ නොවූ) විශ්ව උපග්‍රහණ ලෙස යොදා ගන්නවා වෙනුවට එක් උපග්‍රහණයක් වන දෙවියන් (ඉහළ බුද්ධියක්) යොදා ගැනීම සුදුසුයි.  [8]

මෙහිදී නැවත වරක් මෙම භෞතික නියමය නිර්මාණය වූ ලද්දක් බව අවසාන වශයෙන් තීරණය කළ යුතු වෙනවා.

මේ අනුව බැලීමේදී ජීවයේ සම්භවය හා පැවැත්ම සඳහා ඉඩකඩ ලබා දෙන අන්දමින් ඉතා සූක්ෂම හා නිවැරදි භෞථික නියමයන් හා නියතයන් ගෙන් යුත් විශ්වයක් නොඑසේනම් සියුම් ලෙස සැකසුනු විශ්වයක් බිහි වී තිබෙන්නේ එලෙස නිර්මාණය වී ඇති නිසා බව අපට තේරුම් ගන්න පුළුවන්. එනිසා මෙවන් විශ්වයක් නිර්මාණය කළ නිර්මාණකරුවෙකු, නොඑසේනම් ඉහළ බුද්ධියක් සිටින බවද අපට තීරණය කරන්න පුළුවන්.

මූලාශ්‍රයන්

[1] Paul Davies, Superforce: The Search for a Grand Unified Theory of Nature, 1984, p. 184

[2] Roger Penrose, The Emperor’s New Mind, 1989; Michael Denton, Nature’s Destiny, The New York: The Free Press, 1998, p. 9

[3] Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, p. 12-13

[4] Paul Davies. The Mind of God. Simon & Schuster. 1992, p. 169

[5] Dawkins, God Delusion, 144.

[6] One World, London, SPCK, 1986, p. 80

[7] Davies, “Universes Galore: Where Will It All End?”

[8] Richard Swinburne, “Design Defended,” Think (Spring 2004): 17.

Share Button