ඉස්ලාමය කාන්තාවන්ට ලබා දුන් නිසි තැන

ඉස්ලාම් දහම දේශනා කිරීම සඳහා අල්ලාහ් තෝරා පත් කර එවන ලද අවසාන දේව පණිවුඩකරුවා වන මුහම්මද් ﷺ තුමා පැමිණෙන විට ලෝකයේ සදාචාරය පිරීහි තිබුණු අතර මෙම කාල වකවානුව හඳුන්වනු ලබන්නේ “ජාහිලියා” කාල වකවානුව ලෙසයි. මෙම කාලයේදී කාන්තාවන්ට සමාජය විසින් දී තිබුණේ ඉතා පහත් ස්ථානයක්. අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙස සැලකු බවත්, පවුලක කාන්තාවක් සිටීම ලැජ්ජාවට කාරණයක් ලෙස සැලකු බවත්, වෙළද පොළේ වෙළද භාන්ඩයක් ලෙස අලෙවි වූ බවත් ඉතිහාසගත තොරතුරුවලන් පැහැදිලි වෙනවා. මේ පිළිබඳව අල් කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා:

“ඔවුන්ගෙන් කිසිවකුට ‘ගැහැණු දරුවෙකු ඉපදී ඇත’ යන පුවත ලැබුණේ නම් ඔහුගේ මුහුණ අඳුරු වී යනු ඇත. තවද ඔහු සිත සංවේගයෙන් පිරී යනු ද ඇත. ඔහුට දන්වනු ලැබූ පුවතෙහි සංවේගය නිසා ඔහු (ලැජ්ජාව නිසා) මිනිසුන්ගෙන් තමාව වසන් කරගනුද ඇත. අවමානය විඳ දරා ඇයව ඔහු සමග තබා ගන්නේ ද නැත්නම් ඇය (පණපිටින්ම) වළදා දමන්නේද? (යන පැනය ඔහු තුල පැන නඟී) නිශ්චය වශයෙන්ම නපුරු වන්නේ (එම බිළිදා මරා දැමිය යුතුය යන) ඔවුන්ගේ තීරණයයි.” [අල් කුර්ආනය 58:59]

කාන්තාව සම්බන්ධයෙන් තිරිසන් ආකාරයටත්, මිලේච්ඡ ජාතියක් ලෙසත් කටයුතු කල ඒ නූගත් සමාජයේ ඉස්ලාම් දහමේ ප‍්‍රචාරය මුහම්මද් ﷺ තුමාණන් විසින් ආරම්භ කරනු ලැබුවා. කාන්තාවන්ට සමාජයේ හිමිවිය යුතු නිසි තැන ලබා දීම මුහම්මද් ﷺ තුමා දේශනා කළ ඉස්ලාම් දහමේ වගකීමක් ලෙස තිබුණා. මෑත වකවානුවේ, එනම් මීට සියවස් 03 කට පමණ පෙර කාන්තාව මනුෂ්‍ය ඝනයට අයත්ද?, කාත්තාවට පණ තිබෙනවාද? ඇයට හැඟීමන් තිබෙනවාද?, ඇයට කිසියම් ආකාරයක අයිතීන් ලබාදීමක් අවශ්‍යද?… යනාදී ලෙස වාද විවාද පවත්වමින් සිටින විටත් කාන්තාවගේ අවශ්‍යතාවයන් හා වගකීමන් හොදින් අවබෝධ කරගෙන සිටි ඉස්ලාම් දහම මීට වසර 1420 ට පෙර පැවති ඒ මිලේච්ඡ සමාජය ඉදිරියේ කාන්තාවට සියළුම ආකාරයේ අයිතීන් හිමවිය යුතු බවත්, ඇයට ද නිදහසක් අවශ්‍ය බවත්, පැවසීමෙන් නතර නොවී ඒ අයිතීන් කි‍්‍රයාවට නංවා ඔවුන් ද ශ්‍රේෂ්ඨ වු සමාජයක කොටස්කරුවන් බව තහවුරු කරනු ලැබුවා.

හයවැනි සියවසේ ජීවත් වූ මුහම්මද් ﷺ තුමාණන් සමාජය විසින් කාන්තාවට එරෙහිව පනවා තිබු සියළු අගුළුවලින් ඇය නිදහස් කිරීමෙන් නතර නොවී කාන්තාව මවක් වශයෙන්, දියණියක් වශයෙන්, භාර්යාවක් වශයෙන් සමාජයෙහි ඇයට හිමිවිය යුතු අයිතිවාසිකම් හා ගෞරවය ගෞරවාන්විත ආකාරයට ලබා දීමට කටයුතු කළා. මෙය සනාථ කරන මුහම්මද් ﷺ තුමාණන්ගේ ප්‍රකාශයන් කිහිපයක් වෙත අවධානය යොමු කරමු.

පෙර සදහන් කලාසේ මිලෙඡ්ච සමාජයක් ඉදිරියේ එදා කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් කුමක් අවධාරණය කරනවාද යන්න බලන්න. “ජාහිමා (රලි) තුමා, නබි (සල්) තුමාණන් වෙත පැමිණ ‘ශාස්තෘවරයානනි! මම (ඉස්ලාම් දහම ආරක්‍ෂා කිරීමේ) සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමි’ කීවේය. එවිට නබි (සල්) තුමන් ‘ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේ දැයි?’ ප‍්‍රශ්ණ කළහ එම මිත‍්‍රයා ‘එසේය’ යැයි පැවසු විට නබිතුමාණන් ‘ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිබෙන්නේය’ යැයි පැවසූහ.” [ග‍්‍රන්තය : අහ්මද්, නසායී]

මුහම්මද් ﷺ තුමා මෙසේද පවසා තිබෙනවා:

“ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා, ඇය පෝෂණය කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය” [ග‍්‍රන්ථය : අහ්මද්]

“දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක්‍ෂාව සපයනු ඇත” [ග‍්‍රන්ථය : බුහාරි]

“අධ්‍යාපනය ලබා දීම, හොද (යහපත් අරුතක් ඇති) නමකින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කරදීම සියළු පියවරුන්ට තමන්ගේ ගැහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි.” [ග‍්‍රන්ථය : බුහාරි]

මුහම්මද් ﷺ තුමාගේ ඉහත ප්‍රකාශයන් අනුව ඇය විවිධ අවදීන් පසුකලත් ඇයගේ ගෞරවාන්විත අයිතීන් පිලිබදව ඉස්ලාම් දැඩි හා පැහැදිලි ස්ථාවරයක සිටන බව පැහැදිලියි. නමුත් ඉස්ලාම් මගින් කාන්තාව වෙත තහවුරු කරන අයිතීන් හා කාන්තාවගේ අයිතීන් දිනාගැනීම සදහා ඒ මිලෙඡ්ච ජන සමාජය ඉදිරියේ කරන ලද විප්ලවීය අරඟල බටහිර ලොවේ කාන්තා නිදහස පිලිබදව ක‍්‍රියාකාරී පිරිස් දැනගෙන ඇත්තේ ස්වල්ප වශයෙන්වීම ඉස්ලාම් අද සමාජයේ මුහුණ දෙන ඛේදනීය තත්වයක්. එදා ඉස්ලාම් ප‍්‍රකාශ වන මුල් අවධියේ සමාජය කාන්තාව සැලකුවේ මිනිසාගේ අවශ්‍යතාවයන් පිනවීම සදහා මවන ලද නිවසට පමණක් සීමා වූ සත්වයකුට වඩා නොදෙවනි තත්වයකයි. මෙවන් වූ තත්වයකින් ඇය මුදවාගෙන ඉස්ලාම් කාන්තාවට ලබාදුන් අයිතීන්ට අමතරව බටහිර ශිෂ්ඨාචාරය මඟින් කිසිදු වැඩදායි යමක් ඇයට ලබාදී නැහැ. ලබා ඇති යමක් තිබෙනවා නම් එය දූෂණයටත්, අනාචාරයටත් වැඩි නිදහසක් ලබාදීම පමණයි. අනාචාරය, සල්ලාලකම, අශීලාචාර බව, නීචත්වය හා චරිත දූෂණය වැනි දේ ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැහැ. එම ගුණාංගයන් අහිමි කිරීම කාන්තාවගේ දියුණුවට බාධාවක් වෙනවාද? එය කාන්තාවගේ දියුණුවට බාධාවක් නම් එවැනි නිදහසක් බුද්ධිය ඇති කිසිදු යහපත් කාන්තාවක් බලාපොරොත්තු වන්නේ නැහැ.

ඉස්ලාමීය ස්ථාවරය “ස්ත‍්‍රී පුරුෂ දෙදෙනාම මනුෂ්‍යත්වයේ පාරමිතාව අත්පත් කරගත හැකි ස්වභාවයෙන් යුතුව දෙවියන් වහන්සේ විසින්ම නිර්මාණය කරණු ලැබූවෝය” යන්නයි. මෙම සංකල්පය වෙනත් ආගම්වල දක්නට නැහැ. එසේ නැතුවා පමණක් නොවේ, ඇයගේ එම මූලික අයිතීන්ට හානිකර ප‍්‍රකාශනයන් ආගමික මූලාශ‍්‍රයන්වල දක්නට ලැබෙනවා. මේ පිලිබදව “ඉස්ලාමය හා අරාබි ශිෂ්ටාචාර” (Islam and Arab Civilization)  නම් ග‍්‍රන්ථයේ 519 පිටුවේ මෙසේ සදහන් වෙනවා: එනම්, “දහස් සංඛ්‍යාත පුරුෂයින් අතර දේවාශිර්වාදය ලද කෙනෙක් සොයා ගත හැකියි. එහෙත් එවැනි තත්වයට පත්වු එක් ස්තී‍්‍රයක් හෝ ලෝක කාන්තාවන් අතර සොයාගත නොහැකියි.” මෙය තමා කාන්තාව සම්බන්ධයෙන් ලොව බහුතරයකගේ ස්ථාවරය. මේ ආකාරයට ලොව සියළු ආගම් ලිංග භේදය අනුව යම් යම් සීමාවන් නිර්මාණය කරගෙන ක‍්‍රියාත්මක වෙද්දී ඉස්ලාම් පියවරක් ඉදිරියෙන් හිද දෙවියන් වහන්සේගේ අභියස ස්ත‍්‍රී පුරුෂ භේදය සලකනු නොලබන බවත්, මේ දෙපල එකින් එකා හා සමාන බවත්, සෑම කෙනෙක්ම උත්තරීතර අධ්‍යාත්මයකින් හෙබි ජීවයන්ය කෙනෙකු අනෙකුට වඩා විශේෂත්වයක් උසුලන්නේ දෙවියන් වහන්සේ අභියස සුචරිතය, ශ‍්‍රද්ධාව, අධ්‍යාත්මික හා සදාචාරාත්මක ගුණයහපත්කම ආදියෙන් පිරිපුන් හා ඉහලින් සිටින තැනැත්තා බවත්, මෙවන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීමට ස්ත‍්‍රී පුරුෂ දෙපලටම පුළුවන් බවත්, අවසාන විනිශ්චය දිනයේ දී විනිශ්චය ඔවුන ඔවුන්ගේ ක‍්‍රියා කලාපය මත පමණක් තීන්දු කරනවා මිස ඔවුන් ඔවුන්ගේ ලිංගිකත්වය අනුව නොවන බවත් පැහැදිලිවම පවසනවා. මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන කුර්ආන් වැකි කිහිපයක් දෙස අවධානයට යොමු කරමු.

“පුරුෂ වුවද ස්ත‍්‍රී වුවද (මෙම දහම) විශ්වාස කර හොද ක‍්‍රියාවන් කරන්නෝද ඔවුන් ස්වර්ගයට ඇතුල් වන්නෝය. ඔවුනට ස්වල්ප ප‍්‍රමාණයකින් හෝ අසාධාරණයන් සිදු නොකරන්නේය.” [අල් කුර්ආනය 4:124]

“යහපත් ක‍්‍රියාවන් කරන කෙනෙකුට ස්ත‍්‍රීය වේවා පුරුෂයා වේවා සැබෑ ව්ශ්වාසවන්තද වේ නම් එවැන්නාට අප මෙලොවේදී ඉතා යහපත් ජීවිතයක් සකස් කර දෙන්නෙමු. එලොවේ දී ඔවුන් ඔවුන්ගේ ශ‍්‍රමයට ප‍්‍රතිපල ලබා දී මේදී ඔවුන් කල ප‍්‍රමාණයට වඩා හොද ප‍්‍රථිපල ලබා දෙන්නෙමු.” [අල් කුර්ආනය 16:97]

ඒවගේම ස්තී‍්‍රය හා පුරුෂයා යනු එකිනෙකාගේ ඌනපූරකයන් බව ඉස්ලාම් දහම පවසනවා.

“ඔවුන්ගේ ප‍්‍රාර්ථනයට සවන්දුන් ඔවුන්ගේ ස්වාමියා කීවේය. ඔබලාගෙන් ස්තී‍්‍රය හෝ වේවා පුරුෂයා හෝ වේවා කිසිවකුගේ යහකම්වලට යහපත් ප‍්‍රථීපල නොදී මා අපතේ නොයවන්නෙමි. ඔබලා එකින් එකා අනෙකා මත රැඳීසිටින්නෙහිය.” [අල් කුර්ආනය 3:195]

මේ ආකාරයට දෙවියන් ඉදිරියේ තීරණාත්මක සාධකය වන්නේ ලිංග භේදය නොව ඇයගේ හෝ ඔහුගේ අවනතභාවය හා විශ්වාසණියත්වය බව ඉස්ලාම් අවධාරණය කිරීම තුල ඉස්ලාම් කාන්තාවට ඇයගේ අපේක්‍ෂිත සීමාවට වඩා බොහෝ දෑ ලබාදී ඇති බව පැහැදිලියි. මෙහි සුවිශේෂි කාරණය වන්නේ ලොව සෑම සමයක්ම කාන්තාවගේ ආගමික අයිතිය පවා අහිමි කරද්දී ඉස්ලාම් ඇයගේ ආගමික අයිතිය පමණක් නොව ලෞකික ජීවිතයේ ඇයට අවශ්‍ය සියළුම ආකාරයේ වරප‍්‍රසාදයන් නොඅඩුව ලබාදෙන්නේ ඇයගේ කිසිදු ආකාරයක මැදිහත්වීමක් හෝ ආයාචනයකින් තොරවයි.

කෙසේනමුත් ඉස්ලාම් දහමේ සෑම ඉගැන්වීමක්ම ස්ත්‍රී, පුරුෂ යන දෙපාර්ශවයට එකම අකාරයෙන් ලබා දී නැහැ. කාන්තාවන් හා පිරීමීන් අතර ශාරීරික, හැසිරීම්, හැඟීම් යනාදී ගති ලක්ෂණ වල සැලකිය යුතු වෙනස්කම් රාශියක් තිබෙනවා. එනිසා සෑම අවස්ථාවකදීම සමාන ඉගැන්වීම් ස්ත්‍රී පුරුෂ යන දෙපාර්ශවයටම ලබා දීම බුද්ධිමත් තීරණයක් වන්නේ නැහැ. මේ දේවල් සැලකිල්ලට ගනිමින් මිනිසා ගැන හොඳින් දන්නා මිනිසාගේ නිර්මාණ කරු අවස්ථා කිහිපයකදී පිරිමීන්ට හා කාන්තාවන්ට වෙන් වෙන් වශයෙන් නීති ලබා දී තිබෙනවා. ඉස්ලාමය විවේචනය කරන ඇතැම් අය පවසන්නේ මෙලෙස කාන්තාවන්ට හා පිරිමීන්ට වෙන් වෙන් වශයෙන් ඉගැන්වීම් තිබීම අසාධාරණ බවයි.

එනිසා මුලින්ම “කාන්තාවන් හා පිරිමීන් යනු එකිනෙකාට සෑම අකාරයෙන්ම සමානයි, එනිසා දෙදෙනාටම සම අයිතිය ලබා දිය යුතුයි” යන සංකල්පය පිළිබඳව සාකච්ඡා කරමු. මෙම සංකල්පය ඇසීමට ප්‍රිය ස්ථාවරයක් වුවද බුද්ධිමත්, නිවැරදි හා ප්‍රයෝගික සංකල්පය නොවේ. මෙයට හේතුව කුමක්ද?

පිරිමීන් හා කාන්තාවන් අතර ශාරීරික, හැසිරීම්, හැඟීම් යනාදී ගති ලක්ෂණ වල සැලකිය යුතු වෙනස්කම් රාශියක් තිබෙන බව කලින් සඳහන් කළා. පිරිමියෙක්, සැබෑ ලෙස පිරිමියෙක් වන්නේත්, කාන්තාවක්, සැබෑ ලෙස කාන්තාවක් වන්නේත් මේ හේතුව නිසයි. සැබැවින්ම කාන්තාව හා පිරිමීයා අසමානව පැවතීම තමා මනුෂ්‍ය පැවැත්මේ රහස. කාන්තාව කාන්තාවක් ලෙස ජීවත් විය යුතුයි. පිරිමියා පිරිමියෙක් ලෙස ජීවත් විය යුතුයි. එසේ නොවන අවස්ථාවන් සමාජය පිලිකුල් කරනවා යන්න ප‍්‍රායෝගික සත්‍යයයි. අප සමාජයේ සමහරක් “ඔහු ගෑණියෙක් වගේ” එසේත් නැත්නම් “ඇය පිරිමියෙක් වගේ” යයි පිලිකුල් සහගතව කථා කරනවා අනන්තවත් දැක ඇත්තෙමු. ගතිගුණ වලින් පමණක් නොවේ “ඒක ගෑණූ වැඩ” එසේත් නැත්නම් “ඒක පිරිමි වැඩ” යනුවෙන් ක‍්‍රියාවන් පවා කාන්තාවට හා පිරිමින්ට වෙන වෙනම වෙන් කර සමාජය හදුනාගෙන ක‍්‍රියා කරනවා යන්න යථාර්තයයි.

මින් පෙනී යන්නේ ගැහැණිය හා පිරිමියා යන්න සෑම අතකින්ම සමානයි යැයි පැවසීම නිවැරදි නොවන බවයි. මේ නිසාකාන්තාවන්  හා පිරිමීන් අතර සමාන අවස්තාවලදී ඔවුන් දෙදෙනාටම සමාන නීති තිබිය යුතු වන අතර වෙනස්කම් තිබෙන අවස්ථාවල මෙම වෙනස් කම් සැලකිල්ලට ගෙන ඔවුන්ට ගැලපෙන නීති තිබිය යුතුයි.

බොහෝ අවස්ථාවලදී කාන්තාව හා පිරිමියා අතර සමානතා තිබෙන නිසා මෙවන් අවස්තාවලදී දෙදෙනාටම එකම අකාරයේ ඉගැන්වීම් ඉස්ලාම් දහම ලබා දී තිබෙනවා. ඒ වගේම කාන්තාව හා පිරිමියා සමවිය නොහැකි අවස්තාවලදී ඒ දෙපාර්ශවය සමව දැකීම ඉස්ලාමය ප්‍රතික්ෂේප කරනවා. එනම් පිරිමීන්ට නොමැති ඇතැම් විශිෂ්ඨ ගති ලක්ෂණයක් කාන්තාවන්ට තිබෙන්නේ නම් එම විෂයෙහි කාන්තාවන් උසස් වන අතර කාන්තාවන්ට නොමැති ඇතැම් විශිෂ්ට ගති ලක්ෂණයක් පිරිමීන්ට තිබෙන්නේ නම් එම විෂයෙහි පිරෙමීන් උසස් වනවා. ඒ වගේම පිරිමින්ගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරන අතර කාන්තාවගේ ශාරීරික ස්වභාවයන් පදනම් කරගෙන ඔවුනට යම් යම් වරප‍්‍රසාද, යුතුකම් හා වගකීම් ඉස්ලාම් පවරනවා.

උදාහරණයක් ලෙස මව නමැති උසස් ස්ථානය පිළිබඳව මුහම්මද් තුමා එක් සිදුවීමකදී මෙසේ පැහැදිලි කරනවා:

“එක්තරා අවස්ථාවක කෙනෙකු පැමිණ ‘මම අධිකව යුතුකම් ඉටු කිරීමට ඇත්තේ කාහටද?’ යනුවෙන් විමසන ලදී. එයට නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. නැවත ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයට නබිතුමාණෝ නැවතත් ‘මවට’ යයි පවසන ලදී. නැවතත් ඔහු ඊළඟට කාටද? යයි විමසන ලදී. එයටත් නබිතුමාණෝ ‘මවට’ යයි පවසන ලදී. ඉන්පසු නැවත් ඔහු ‘ඊට පස්සේ කාටද?’ යයි විමසූ විට ‘නුඹේ පියාට’ යයි නබිතුමාණන් පවසන ලදී.” ග‍්‍රන්ථය :- බුහාරී 5971

ඉහත නබි වදන අනුව මවට දෙවැනි තැන නොව තෙවැනි තැන පවා පියා නොමැති තරමට මෙම කාරණයේ දී ඉස්ලාම් කාන්තාවට සුවිශේෂි ස්ථානයක් ලබාදී ඇති බව පැහැදිලියි. එනම් පියාට වඩා උසස් ස්ථානයක් මවට හිමි වන බව මින් පැහැදිලිය. මෙයට හේතුව තම කුසතුල මාස ගණනක් අපව දරාගෙන, වේදනාවෙන් අපව බිහි කර, කවා පොවා උස් මහත් කිරීමට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මව වීමයි. සෑම මොහොතකදීම උසස් වන්නේ පිරිමියා නම් මෙවන් ඔවදනක් මුහම්මද් තුමා පවසන්නේ නැති බව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.

ඒ වගේම පිරිමියාගේ වගකීම, තම බිරිඳට, පවුලට ආරක්ෂාව ලබා දී ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දීම නිසා මෙම විෂයේ පිරිමියා සතුව උසස් ගති ලක්ෂණ තිබෙන බව ඉස්ලාම් දහම පවසනවා:

අල්ලාහ් ඇතැමකු ඇතැමකුට වඩා උසස් කර තිඛෙන බැවින් ද පුරුෂයින් තමන්ගේ ධනයෙන් වියදම් කරන බැවින් ද පුරුෂයෝ ස්ත්‍රීන් කෙරෙහි පරිපාලකයෝ වෙති. [අල් කුර්ආනය 4 : 34]

කාන්තාවන්ට හා පිරිමීන්ට වෙනස් වූ ඉගැන්වීම් තිබීම අසාධාරණ බව ඇතැම් විවේචකයන් පැවසුවද මෙහි තිබෙන බුද්ධිමත්භාවය සරල උදාහර්ණයක් මගින් තේරුම් ගන්න පුළුවන්.

එක් පවුලක වයස අවුරුදු 20 හා අවුරුදු 01 ක දරුවන් දෙදෙනෙකු සිටිනවා යයි උපකල්පනය කරන්න. මේ දරුවන් දෙදෙනාම මව බිහිකර ඇත්තේ දසමසක් කුසේ දරා සිටීමෙන් අනතුරුවයි. මවගේ කෝණයෙන් තම දරුවන් දෙදෙනාම තමාට එක සමානයි. එමනිසා මව කිසිදු විටෙක තම දරුවන්ට අසාධාරණයක් සිදු කරන්නේ නැහැ. දැන් මේ මව දරුවන්ගේ කුසගින්නට වැඩිමල් දරුවාට ඝන ආහාර ලබා දෙනවා. එසේම බිලින්දා කුසගින්නේ හඩනවිට ඉහත ඝණ ආහාර ලබානොදී පළතුරු හා කිරි වැනි සරලව දිරවන්නට පහසු ආහාර ලබා දෙනවා. දැන් මේ දෙස බලා සිටින ඔබ ඒ මව දරුවන් අතර අසාධාරණ අයුරින් කටයුතු කරන බව පවසනවාද? එසේම මෙම දරුවන් දෙදෙනා එකවර කුසගින්නේන් ආහාර ඉල්ලා සිටින විට මව බාලම දරුවාගේ කුසගින්නට ආහාර දීමෙන් පසුවයි වැඩිමල් දරුවා ගැන බලන්නේ. මෙහි දී ඉහත මව තම දරුවන් අතර අසාධාරණයෙන් ක‍්‍රියා කරනවා යයි කිසිවකුට තර්ක කල හැකි ද ? මේ දරුවන් දෙදෙනාගේ ශරීර ස්වභාවය අනුව මව සාධාරණව ක‍්‍රියා කරන්නේ නම් ක‍්‍රියාකලයුතු එකම ආකාරය ඉහත ආකාරය පමණක් බව බුද්ධිමත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මේවා සමාජයේ එදිනෙදා දකින ප‍්‍රායෝගික සත්‍යයි. සාමාන්‍ය දරුවන් සැලකූවිට ඉහත ආකාරයේ අසමානකම් කෙටිකාලීනව පැවතියත් කාන්තාව හා පිරිමියා සැලකූවිට ඉහත දුර්වලතාවයන්ට වඩා වැඩි දුර්වලතාවයන් සධාකාලිකව පවතිනවා. එම වෙනස හදුනා ගෙන ඔවුනට සාධාරණය ඉටුකිරීම බාහිරින් අන්තවාදීව දකින ඕනෑම කෙනෙකුහට අසාධාරණයක් ලෙස පෙනෙන්නට පුළුවන්. නමුත් සැබැවින්ම එහි අසාධාරණයක් නැහැ. මනුෂ්‍යාගේ හැකියාවන් හා දුර්වලතාවයන් හොදින් දන්නේ අපව මැවූ දෙවියන් පමණයි. පිරිමියාට පිරිමින්ගේ දුර්වලතාවයන් එක්තරා දුරකට පැවසිය හැකියි. ඒ ආකාරයටම කාන්තාවට කාන්තාවගේ දුර්වලතාවයන් පැවසිය හැකියි. නමුත් මෙම දුර්වලතාවයන් එකට එක සාපේක්‍ෂව හොදින්ම දන්නේ දෙවියන් පමණයි. සමහරක් අවස්ථාවල දී යහපත් ගුණාංග පවා දුර්වලතාවයන් බවට පත්වෙන අවස්ථාවන් තිබෙනවා.

මේ අනුව ඉස්ලාම් දහමේ පැහැදලි ස්ථාවරය වන්නේ

  • සෑම අතින්ම පිරිමීන් උසස් ද නොවේ
  • සෑම අතින්ම කාන්තාව පහත් ද නොවේ
  • සෑම අතින්ම මේ දෙපාර්ශවය සමාන ද නොවේ

මේ අනුව ඉස්ලාම් කාන්තාවට ලබාදී ඇති අයිතීන් හා නිදහස අද ලොව කාන්තාවට ලබා දී ඇති අයිතීන්ට හා නිදහසට වඩා ගෞරවනීය එකක් බව වටහාගත යුතුයි. ඒ අනුව සමාජය තුල කාන්තාවට හිමි විය යුතු ස්ථානය වන්නේ සමතැන නොව නිසි තැන යන්න පැහැදිලි කරුණක්. ඉස්ලාම් කාන්තාව සම්බන්ධයෙන් ලබාදෙන නිදහස හා වරප‍්‍රසාද ගැඹුරින් අධ්‍යනය කරන විට ඉස්ලාම් කාන්තාවට ලබාදෙන නිසි තැන සමාජයේ කාන්තාව ඉල්ලා සිටින සමතැනට වඩා උසස් ස්ථානයක් බව පැහැදිලි ලෙස අවබෝධ කරගත යුතුයි.

මේ කිසිවක් පිලිබදව අධ්‍යනයන් සිදු නොකොට පටු සීමාවල හා පූර්ව නිගමනවල හිද පදනම් විරහිතව ඉස්ලාම් දහම හා මුස්ලීම්වරුන් විවේචනය කිරීම ඉස්ලාමය විවේචනය කරන්නන්ගේ අනවබෝධයට වඩා අන්තවාදීත්වය මනාව ප‍්‍රදර්ශනය කරනවා.


මෙම ලිපිය යහමග වෙබ් අඩවියේ ඉස්ලාම් දහම තුල කාන්තා අයිතිය යන ලිපිය සුළු වශයෙන් වෙනස් කර සංස්කරණය කරන ලද ලිපියකි.

Share Button