මුස්ලිම්වරුන් ඌරු මස් අනුභව නොකරන්නේ ඇයි?

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත (හලාල්) හා තහනම්-අනුමැතියක් නොමැති (හරාම්) දෑ සම්බන්ධ ව ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත. ඌරු මස් අනුභවය පිළිබඳ ව අල් කුර්ආනයේ 2:173, 5:3, 6:145 සහ 16:115 වැකියන් හි එය තහනම් (හරාම්) මාංශයක් ලෙස ඉතා පැහැදිලි අයුරින් දක්වා ඇත.

“(ස්වභාවික ලෙස) මියගිය සතුන් ද රුධිරය ද ශුකර මාංශ ද අල්ලාහ් නොවන දෑ හි නාමයෙන් කපන ලද දෑ ද ගෙළ මිරිකා මරණ ලද දෑ ද පහර දී මරණ ලද දෑ ද වැටී මරණයට පත් දෑ ද (තවත් සතෙකු විසින්) ඇන මරණයට පත් දෑ ද මාංශ භක්ෂකයෙකු විසින් (ගොදුරු කොට) සපා කන ලැබූ දෑ ද – (ඒවා අතුරින් පණ පිටින් සිටි සතුන්ගෙන්) නුඹලා විසින් නිසි ලෙස කැපු දෑ ද හැර – නැමදුම් කිරීමට සිටුවන ලද දැයට කැපු දෑ ද තවද ඊතල වලින් නිමිති සෙවීම ද නුඹලාට තහනම් කරන ලදී”. (අල් කුර්ආන් 5:3)

ඉස්ලාමිකයෙකු ලෙස මහා කාරුණික අල්ලාහ්ගේ ඉගැන්වීම් අනුව තම ජීවිතය සකස් කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. මේ අනුව ඌරු මස් අනුභවය මුස්ලිම් වරයෙකුට අනුභවයට තහනම් මාංශයකි. අනුමත මාංශ වර්ග පිළිබඳ ව ඉගැන්වීම් ඇති අතර කිසිදු මාංශයක් අනිවාර්යයෙන් ම අනුභව කළ යුතු යැයි කිසිදු තැනක සඳහන් නොවේ.      

ඌරු මස් අනුභවය තහනම් බව අනෙකුත් අහම් හි ද සඳහන් වේ. මේ පිළිබඳ ව අවසානයට කරුණු දක්වන්නට අදහස් කරන්නෙමු. ආගමික ඉගැන්වීම් හි ඇති තහනම හැර අනෙකුත් යථාර්ථවාදී හේතු පිළිබඳ ව ද විමසා බලමු.

1. ඌරු මස් අනුභවය හේතුවෙන් රෝගාබාධ රාශියකට මුහුණ පෑමට සිදුවන බව නුතන වෛද්‍ය විද්‍යාව සොයාගෙන ඇත. පණු රෝග රාශියකට මෙය හේතුවන අතර මෙයින් පටිපනුවා (taenia solium) මගින් සිදුවිය හැකි හානිය ඉතා බරපතල එකකි. පටිපනුවා උදරයේ වැඩෙන අතර උගේ බිත්තර රුධිර නාල වලට ඇතුල් වී ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් වෙත යා හැක. මොළය හදවත ආදී වැදගත ඉන්ද්‍රියයන් හි බරපත රෝගාබාධ වලට මෙය හේතු වේ. ඌරු මස් උයන විට ඇති සාමාන්‍ය උෂ්ණත්වය තුළ මෙම බිත්තර විනාශ නොවන බව ද සොයාගෙන ඇත.

2. අනෙකුත් මාංශ සමග සැසඳීමේ දී ඌරු මස් හි ඉතා අධික මේද ප්‍රමාණයක් ඇති අතර මෙය අනුභව කිරීමේ දී රුධිර නාලයන්හි තැන්පත් වී අධික රුධිර පීඩන හා හදවත් රෝගයන් ඇතිවීමට හේතුවේ.

3. ඌරා ඉතා අපිරිසිදු සතෙකි. කසල ශෝධක සතෙකු ලෙස ඌරා දැක්වේ. අශුචි, කුණුවූ දෑ හා අනෙකුත් අපිරිසිදු දෑ ඌරා අනුභව කරයි. ඌරා තම අශුචි ද අනුභව කරන අතර වැසිකිලි පහසුකම් නොමැති ප්‍රදේශයන් හි එම කටයුත්ත කරනු ලබන්නේ ඌරන් විසිනි.

4. ඌරාගේ මුත්‍රා මගින් යුරික් අම්ලය පිටකරනු ලබන්නේ 2% ක් පමණි. ඉතිරි යුරික් අම්ල ප්‍රමාණය ශරීරයේ රැඳෙන අතර මෙම අධික යුරික් අම්ල ප්‍රමාණයක් ඇති මාංශය අනුභව කිරීමෙන් හන්දි ඉදිමීමේ (gout) රෝගය ඇතිවීමට හේතු වේ.

“අප නුඹලාට සපයා දී ඇති දැයින් පිරිසිදු දෑ අනුභව කරනු. තවද එහි සීමාව නොඉක්මවනු” (අල් කුර්ආන් 20:81).

එහෙයින් අපිරිසිදු දැයින් වැලකී පිරිසිදු දෑ පරිභෝජනයට ගැනීමට ඉදිරිපත් වෙමු. වර්තමාන ලොව ඉතා අධික ඌරු මස් අනුභවයේ යෙදෙන කිතුනුවන්ට ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථයේ මේ පිළිබඳ ව සඳහන් වන්නේ කුමක් ද යන්න විමසා බලමු. මෙම සමයාන්තර මතය ඉදිරිපත් කරන්නේ බුද්ධිමය කෝණයකින් දැක්මක් ඇතිකර ගැනීම අරමුණු කොට ගෙන මිස ආගම් විවේචනය සඳහා නොවන බව ඉතා කාරුණිකව දන්වා සිටින්නෙමි.

කිතුනු දහමින්

මේ පිළිබඳව බයිබලයේ වාක්‍යයන් පරිශීලනය කිරීම ප්‍රමාණවත් යැයි අපි සිතන්නෙමු.

“ඌරාගේ කුරය බෙදී වෙන් ව තිබෙන නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය.” (බයිබලය – ලෙවීගේ ව්‍යවස්ථාව 11:1-8)

“ඌරා කුරය බෙදී ඇති සතෙකු නමුත් ඌ වමාරා නොකන බැවින් අපවිත්‍ර සතෙකු මෙන් සැලකිය යුතුය. උන්ගේ මස් නොකෑ යුතු අතර උන්ගේ මළකුණු ස්පර්ශ නොකළ යුතුය” (බයිබලය – ද්විතීය නීති සංග්‍රහය 14:3-8)

“සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. ‘උයන් වල පුද පුජා ඔප්පු කරනු පිණිස තමන් ම පිරිසිදු කර ගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟය. ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කළ මාගේ තේජාලංකාරය කුමක්දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.” (බයිබලය – යෙසායා 66:17)   

ඉහත විස්තර අනුව බයිබලයේ ඉගැන්වීම වනුයේ ඌරු මස් කිතුනුවන්ට කෑමට අවසර නොමැති මාංශයක් වන අතර එය අනුභව කිරීම දෙවිඳුන්ගේ දැඩි කෝපයට හේතු වන කරුණක් බවය. නමුත් ඔවුන් ඌරු මස් අනුභව කිරීම පිණිස බයිබල අනුමැතිය ලෙස පෙන්වන්නේ පාවුළු තුමා රෝම වැසියන්ට යැවූ ලිපියක අඩංගු කරුණක්ය.

“කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍රය.” (බයිබලය – රෝම 14:20)

“යුදෙව්වන් හා විජාතිකයින් එක් කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන්වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමු සේක.මේ දෙජාතිය නව මනුෂ්‍යත්වයක් කොට මවා සමඟිය ඇති කරන පිණිස උන්වහන්සේ නීති රීති ඇතුළත් ව්‍යවස්ථාව අවලංගු කළ සේක” (බයිබලය – එපිස 2:14-15)

පාවුළු තුමාගේ ඉහත ප්‍රකාශනය ජේසු තුමාගේ (එතුමා කෙරෙහි දෙවිඳුන්ගේ ආශිර්වාදය අත්වේවා) ඉගැන්වීම් වලට සහමුලින්ම පටහැනි බව පහත සඳහන් ප්‍රබල ප්‍රකාශනයෙන් පැහැදිලි වෙයි.

“මම (ජේසු තුමා) ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව, සම්පුර්ණ කිරීමටය. සැබැවින් ම මම ඔබට කියමි, අහස හා පොළොව පහ ව ගියත්, සියල්ල පරිපුර්ණ වනතුරු, ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක්වත් පාපිල්ලක්වත් පහ වී නොයන්නේමය. එබැවින් මේ ආඥා වලින් ඉතා සුළු එකක්වත් කඩ කරන හෝ කඩ කරන ලෙස මිනිසුන්ට උගන්වන හෝ කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැයි කියනු ලබන්නේය. එහෙත්, ඒවා පිළිපදින, ඒවා උගන්වන කවරෙකු වුව ද, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේය. මන්ද, ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවීසෙන්නහු යැයි ඔබට කියමි” (බයිබලය – ශුද්ධවර මතෙව් 5:17-20)

ඉහත මතයට එකඟතාවක් ඇති ප්‍රකාශනයක් පේදුරුතුමා විසින් පවසා ඇත.

“අකැප, අපවිත්‍ර දෙයක් කිසි කලෙකත් මම නොකෑවෙමි” (බයිබලය – ක්‍රියා 10:14)

හින්දු දහමින්

‘මනුස්මෘති හා මානව ශිෂ්ටාචාරය’ – ආරියදාස සෙනෙවිරත්න -208-209 වැනි පිටු

මනුස්මෘති 5:19 – විෂ්ණු සුත්‍ර 5:49

බුදු දහමින්

ත්‍රිපිටකයේ, දීඝ නිකායේ මහා පරිනිබ්බාන සුත්‍රයේ කොටසද පහතින් උපුටා දක්වා ඇත්තෙමු.

“භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබ පිළියෙල කළ සුකර මද්දවයෙන් මා වළඳවන්න. පිළියෙළ කල අනිත් කෑම් බීම් වලින් භික්ෂු සංඝයා වළඳ වන්න’

‘එහෙමයි, ස්වාමීනි’ කියා පිළිතුරු දුන් චුන්ද කර්මාර පුත්‍ර ඒ අන්දමින් වැළඳ වීය.

භාග්‍යවතුන් වහන්සේ: ‘චුන්ද, ඔබේ ඉතිරි සුකර මද්දව වළලන්න. චුන්ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි දෙව් මිනිසුන් සහිත සත්ව ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ හැර එය අනුභව කොට දිරවිය හැකි වෙන කිසිවෙකුත් නොදකිමි’.

එය පිළි ගත් චුන්ද ඉතිරි සුකර මද්දව වළ දමා භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පසෙක වාඩි විය. භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් චුන්ද පහදවා නැගී සිටි සේක. චුන්දගේ දානය වැළඳු භාග්‍යවතුන් වහන්සේට දරුණු ලෝහිත පක්ඛන්දිකා රෝගය ඇති විය.

මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි ගේ “ධර්ම විනිශ්චය” ග්‍රන්ථයේ 238 වැනි පිටුවෙන් පහත සඳහන් කොටස උපුටා දක්වන්නට කැමැත්තෙමු.

ප්‍රශ්න අංක 100: චුන්දකර්මාර පුත්‍රයා විසින් තථාගතයන් වහන්සේට පිළිගැන් වූ සුකරමද්දවය කුමකින් කෙසේ පිළියෙල කරන ලද්දක්ද?

පිළිතුර: ‘සුකරමද්දවය’ යනු ඉතා ළපටි ද නොවූ ඉතා තරුණ ද නොවූ තනිව වාසය කළ සුකරයකුගේ මෘදු වූද, සිනිඳු වූද මසින් පිළියෙල කළ ආහාරයකැයි මහා පරිනිර්වාණ සුත්‍ර අටුවාවේ පවසා තිබේ. මෙය අටුවාචාරීන් වහන්සේ විසින් පිළිගත් මතයයි. මස් වැළඳුහ යි කීම තථාගතයන් වහන්සේට අගෞරවයක යැයි සැලකු අය අතීතයෙහි ද වුහ. ඔවුන්ගෙන් ඇතමෙකු සුකරමද්දවය මෘදු වූ බතට පස්ගෝරස යොදා පිසූ ආහාරයකැයි කියන බවත් ඇතමකු තථාගතයන් වහන්සේ ගේ පිරිනිවීම සිදු නොවීම සඳහා පිළියෙල කළ රසායන බෙහෙතකැයි කියන බවත් පරිනිර්වාණ සුත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. තවත් සමහරු සුකරමද්දවය හතු වර්ගයකින් පිළියෙල කළ ආහාරයකැයි කියති. සුකරමද්දවය ගැන මෙසේ නානා මත පළ කරන අයට ඒවා ස්ථීර කිරීමට කිසිම සාක්ෂියක් නැත. ඇතැම්හු බුදුවරු, රහත්හු මත්ස්‍යමාංශයෙන් යුක්ත ආහාර නො වළඳන්නාහ යි සිතා සුකරමද්දවය මසින් පිළියෙල කළ අහරක් නො වෙති යි කියති. එය ඔවුන්ගේ මතිමාත්‍රයකි. බුදුන් වහන්සේ මත්ස්‍යමාංශ නො වළඳනා බවට පිටකත්‍රයෙන් සාධක නො දැක්විය හැකිය. වැළඳු බවට නම් පිටකත්‍රයෙන් හා අටුවාවලින් සාක්ෂ්‍ය දැක්විය හැකි ය.”

“සුකර මද්දවය: තරුණ ඌරන්ගේ මාංශය; පැසි ඌරු මස”. (බෞද්ධ ශබ්ද කෝෂය – 1644 වැනි පිටුව)

Share Button